බෙදිල්ල


බෙදිල්ල විවිධාකාරය.
ශාකයක් , ශාකා වලට බෙදෙන කොට ලස්සනය. හෙවනට හොඳය. ගංගාවක් ද බෙදෙන කොට ලස්සනය.

බෙදිල්ල හා බෙදීමද විවිධාකාරය.
අප ඉපදී ඇත්තේම බෙදෙන්නටය. මගේ මිතුරන් ලොව පුරාම සිටී. ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්න සහතික මා දැක ඇත. ඒවා ප්‍රමාණයෙන් හාෆ් ෂීට් එකෙනුත් භාගයකි. ඒවායෙ ඇත්තේ මවගේ නම, පියා ගේ නම , උපන් රෝහල හා උපන් දිනය පමණය. එහෙත් අපේ ?…
උපන් රෝහල, පියාගේ නම, රැකියාව, ආගම, උපන් දිනය, මවගේ නම, ආගම, උපන් දිනය, සීයාගේ නම, ආගම, යනාදී වශයෙනි.

උප්පැන්න සහතිකය දකින 1 වසරේ ගුරුතුමිය (හැමෝම එහෙම නැත ) ළමුන් වර්ග වලට බෙදයි. ඊළඟට නිවාස වලට , කුල වලට ආදී වශයෙන්ද බෙදී යයි.

නරකම බෙදිල්ල වන්නේ දේශපාලන බෙදිල්ලය. එහි කෙළවරක් නැත..
කෑම බෙදිල්ල තව එකකි. අම්මලා දරුවන්ට බෙදන්නේ එකම හැන්දෙනි. පවුලේ වැඩිමලා කියා මට එක හැන්දකින්ද, එකම ගෑනු ළමයා කියා නංගීට තව හැන්දකින්ද අපේ අම්මා බෙදා නැත. අපේ අම්මා හැම විටම බෙදා ගත්තේ අඩුවෙනි. ඒ අප කා ඉතිරි කරන පංගුවෙන් වේල පිරි මසා ගත හැකි නිසාය.

කුඩම්මලා තමාගේ දරුවන්ට වැඩියෙන් බෙදයි.

අම්මලා එසේ වුවද, තාත්තලා බෙදන්නේ වෙනස් විදියකටය.
අවසන් කාලයේ සීයා සිටියේ අපේ තාත්තා ළඟ නිසා, සීයා අපේ තාත්තාට වැඩියෙන් බෙදුවේය. ඒ ඉඩම්ය.

ලියුම් බෙදිල්ල තව එකකි. මගේ නමට තිබූ ” රාජ්‍ය සේවය පිණිසයි ” ලියුම් කීපයක්ම, ලියුම් බෙදන රණතුංග මාමා මට නොබෙදූ නිසා මගේ මිතුරන් ඔහුට බෙදුවේය. ඒ ඔහුගේ පිට කොන්දටය.

ඉඩම් බෙදනදාට නම් හොඳ සිහි කල්පනාවෙන් සිටිය යුතුය. අපේ ඉඩම් බෙදන දා , තාත්තා නිහඬවම ගෙතුලට වී සිටියේය. ” යන කොට ඕව ගෙනියනවායැ, මට හතර රියනක් තිබුනාම මදෑ” කියා තාත්තා කිව්වත්, ගමේ සොහොන් පිටියද, බෞද්ධ, කතෝලික හින්දු, මුස්ලිම් වශයෙන් කොටස් වලට බෙදී ඇත.

මා හිතන විදියට මෝඩම බෙදිල්ල ආගමික වශයෙන් බෙදීමය. බුදුන්වත්, ජේසුමාවත්, නබි තුමාවත් අපට බෙදන්නේ නැත. අපේ සුදු අත්තම්මා කියන්නේ ” අත වැනුවොත් – කට වැනෙයි” කියාය. එහි තේරුම මහන්සිවී වැඩ කළොත් බඩ කට පුරවා ගත හැකි බවය.

ඇයට දරු මුනුපුරන් රාශියකි. ඇය හැම ගෙදරකම දිනක් හෝ දෙකක් නවතී. නංගී කියන්නේ ඇය තෙල් බෙදන්නට යන බවයි.

බෙදී නැසෙමුද, එක්වී රැකෙමුද කිය ධර්මපාලතුමා ඇසුවේය. ඊට කන් නුදුන් අප ආගම්. කුල, පක්ෂ වලට බෙදී අසමගිවීම නිසා ප්‍රබාකරන් රට බෙදන්නට තැත් කළේය. අවුරුදු 30 ක් පරිප්පු කන්නට සිදු වුවත් ප්‍රබාට රට බෙදන්නට බැරි විය. ඒ වෙනුවට බෙදුනේ ඔහුගේ හිස් කබලය.

මගෙන් ගණන් අහ ගන්නට ආ ප්‍රදීපාට මම දවසක් ” ඔයා කොන්ඩෙ බෙදල කරල් දෙකකට ගොතනවානං තව ලස්සනට තියෙයි” කීවෙමි. ඇය විවාහ වී ගමෙන් පිටවන තුරුම කොන්ඩෙ පීරුවේ බෙදාය.

කවුරු මොනවා කිව්වත් දන් බෙදිල්ල නිසා ආයුෂ , වර්ණ , සැප හා බල ලැබෙන් බව බුදු බණේ සඳහන් ය.

උපුටා ගත්තේ අන්තිම පේලියෙනි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to බෙදිල්ල

  1. දුකා පවසයි:

    මේ ලිපියත් කලින් කියෙව්වා.

    අපූරුයි අප්පා මේ ලියන ස්ටයිල් එක් නම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )