හිල


යකඩ මල්ල ගුල්ලො විදපුවාම හාල් මල්ල බලන්නෙවත් නැතිව විසි කරන්න කියල ගැමි කතාවක් තියෙනව. මින් අදහස් කෙරෙන්නේ ගුල්ලන් හිල් කරන්නට සමර්තයන් බව, නොව වෙනත් කතාවකි. ගුල්ලන්ට ඕනෑම දෙයක් හිල් කිරීමට පුළුවන.
වඩුවන්ද හිල් කිරීමට දක්ෂයින්ය. ඒ සඳහා වඩුවන් බුරුමය , අවගාරය වැනි මෙවලම් යොදා ගනී. ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. දැන් ඕනෑම දෙයක් සුටුස් ගා හිල් කිරීමට නවීන උපකරණ ඇත.
හිල කියන එක කුණුහරපයක් වගේ එකක් යැයි මා දැන ගත්තේ ගමේ ඉස්කෝළේ බාලාංශ පන්තිවල ඉන්නා කාලයේමය. එකම පන්තියේ අවුරුදු ගණන් පේල් වෙවී – පේල් වෙවී හුන් සූරියම්පල , දසනායක වැනි අයගෙන් මම කුණුහරප අත්පොත් කළෙමි.
” ඒයි අළුත් හින්දි බයිස්කෝප් එකක් ඇවිල්ල තියෙනවා”
” ඒ මොකක්ද ?” කිසිවක් නොදන්නා මා වැනි තවත් අහිංසකයින් අසයි.
” හිංගියේ ජලක්.. ජලක්” උන්ට අනුව හිල විතරක්ම නොව ජංගියද කුණුහරපයක්ය.
ගමරාළ , ගමහාමිනේ සමඟ නිදා ගන්න ලෑස්ති උනා. ලාම්පුව නිවා දැම්මා. ගමරාළ “කෝ හිල.. කෝ හිල” කියමින් යමක් හෙව්වා. ගමරාලට ඇඳේ තිබී අලයක් හමු උනා. එයා ඒක පහුවදා උදේම පැල කලා. කාලයක් ගියාම එය දළු ලා, පසුව අල ලබා දුන්නා. දසනායකලාට අනුව කොහිල අලයේ උපත එයයි.
ඒක ලස්සන අහිංසක කාලයක්. අපේ කුණුහරුප ඒවායි.
දසනායකලා තරම් “පැහී” නොසිටි මම පාසලේදී උගත් දේ දෙමාපියන් ඉදිරියේම ඇද බාමි.
බොහෝ විට අම්මා රවා බලයි. සිනාවක් ගුලි කර ගනී, ලොකු නැන්දා අතින් කට වහ ගෙන එළියට දිව යයි.
” සාගරයක් මැද – පුංචි රටක් ඇත
පුංචි උනත් රට- ලොකු වැඩ කර ඇත. මේ ඒ කාලේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ ගීතයක කොටසක්. දසනායකලාට සූරියම්පලලාට වෙන මොනවා බැරි උනත් මේවා නම් පුළුවන.
“මයිල් ගොඩක් මැද- පුංචි හිලක් ඇත
පුංචි උනත් හිල ලොකු වැඩ කර ඇත”. මේ උන්ගේ නිර්මාණයක්.
මේ ළමයා පුළුවන් තරම් ඉක්මණට වෙන ඉස්කෝලෙකට දාන්න ඕන. මගේ ගායනය අසා ලොකු නැන්දා කීවාය.

පරිප්පු වඩේ එකට වඩා උළුඳු වඩේ එකේ මිළ වැඩිය. ලාබ බඩුවේ හිලක් කිව්වාට මොකද හිල ඇත්තේ උළුඳු වඩේ එකේය.
හිල විවිධාකාරයෙන් අපේ ජීවිත වලට සම්බන්ධ වේ. ලොකු මාමා සතු මොරිස් මයිනර් කාර් එකක් විය. බැටරිය බැස්සදාට ලොකු මාමා “L” අකුර හැඩය ඇති යකඩ කොක්කක් කාර් එකේ බොනට් එකට පහලින් ඇති හිලකට ඔබා වෑයමින් කැරකූ විට රිය අපූරුවට පණ ගැන්වෙයි.
හිල ලොකු උනත් ප්‍රශ්නයක්. පොඩි උනත් ප්‍රශ්නයක්. පිරිමි වන අපි දනිමු. ඉඳි ආප්ප වංගෙඩියේ හිල්ද ගාණට තිබිය යුතුය.
හිලට ඉංග්‍රීසියෙන් “හෝල්” කියයි. ශාලාවට කියන්නේද “හෝල්” කියලාය. සද්දෙ එක වගේ උනාට ලියන්නෙ දෙවිදියකටය.
කාන්තා විද්‍යාලයේ අභිනව ශාලාව විවෘත කිරීමට ගිය හිටපු ජනාධිපති, ප්‍රේමදාස මහතා ” අයි හෑව් නෙවර් සීන් අ හෝල් ලයික් ලේඩීස් හෝල් ” යැයි කියා ඇත. ඒ අර hole එක නොව hall එකය.
මේ හිලක් ගැන තවත් කතා පිංචකි.
තරු පහේ හෝටල කාමරයක හුන් මැදිවියේ කාන්තාව , Front Desk එකට කතා කොට පිරිමියෙක් හෙළුවෙන් ඉන්නා බවට රපෝර්තු කළාය. කළමණාකරු වහා දිව ආයේ ඒ අවිනීත මිනිසාට යස පාඩමක් උගන්වන්නටය.
” කෝ කොහේද?”
” ඔය මේසෙ උඩින් පුටුව තියල ඒකට නැගල අර පුංචි හිලෙන් එහා කාමරය දිහා බලන්නකො. මම කියන්නෙ බොරුද කියලා..”
නවගාරයෙනී ගලනා ඕජස් මේ කුණු සිරුරා. “මේ බුදු දහමට සම්බන්ධ ගීයක කොටසකි. ඉන් කියැවෙන්නේ උඩින් කොච්චර ඔප දැම්මත් හිල් 9 කින් ඕජස් ගලන ශරීරය කුණු ගොඩක් බවය. ඒ හිල් 9 මොනවාදැයි මම ගණන් කර බලමි. ඔබත් එසේ කර බලන්න.
විය සිදුරෙන් අහස බැලීම, හිල් කූඩෙන් වතුර ඇදීම , මේ ආගමට සම්බන්ධ හිල් ගැන තවත් කතාය.
දෙහිඕවිට පැත්තේ තරුණියක හා විවා වූ ලොකු මාමා ඇය කැන්දා ගෙන ආවේ හත්දා මගුලක් කෑමෙන් පසුවය. ඒ කාලේ හනිමූන් කියා කොහේවත් ගියේ නැත. අප ජීවත් වූ එම නිවසේ එකම ජනේලයක් සහ එකම දොරක් ඇති අද්භූත කාමරයක් විය. අප එය හැඳින්වූයේ කළුවර කාමරේ කියලාය. පවුලේ අය හනිමූන් ගියේද , කාන්තාවන් දරුවන් ලැබුවේද ඒ කාමරය තුළය.
ඔය කාලේ මගේ වයස අවුරුදු 7 කි. මා සමඟ එකට වැඩුනු මගේ ඥාති සොහොයුරාට 12 කි. ඔහු මට වඩා දේවල් දනී. ” ඒයි වරෙන් වැඩක් පෙන්නන්න” ලොකු මාමා සහ නැන්දා කලුවර කාමරයේ දොර වසා ගත් පසු ,දොරේ යතුරු හිලෙන් බැලීමට සොයුරා හිල මට බාර දුන්නේය.
“මුන් හැදිලා ඉවරයි. දුවපියව් යන්ට” පිටුපසින් ආ අම්මා මට පහර දුන්නේ මොකකින්දැයි මට මතක නැත.
හිල සම්බන්ධ ක්‍රීඩාද ඇත. ඒ වස කම්මැලි “ගොල්ෆ්” සහ “කැරම්” ක්‍රීඩාවන්ය. ගොල්ෆ් ක්‍රීඩාවේදී බෝලය හිලට දැමිය යුතු අතර ඉත්තන් හිල් වලට දමන්නේ කැරම් ගහන විටය.හිල් අපට ප්‍රයෝජනවත් උවද පපුවේ හිල් හට ගැනීම මාරාන්තික රෝගයකි.
තම දියණියගේ පපුවේ හිලක් ඇති බවට ව්‍යාජ ලේඛණ සාදා ගෙන, ඇය ඉන්දියාවට ගෙන යාමට අවශ්‍ය බව කියමින් හතරවටින් සම්මාදම් කොට, ඒ ගමන නොගොස් නවීන පන්නයේ නිවසක් සාදා ගත් පියෙක් ගැන ඒ කාලේ පත්තරවල වාර්තා විය.
ජීවිතයේ සැඳෑ සුවය ගෙවන මගේ හිතට හිල ගැන ලියන්න අදහස් ගලා එන්නෙ දිය ඇල්ලකින් වාගේය.
මේ තවත් කතා පිංචකි.
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ දිග පෝලිමකි. රෝහල් සේවකයෙක් , ඉතා සුන්දර කෙල්ලක් ගෙනැවිත් පෝලිමේ මුලට හිටවීය. ඔහුගේ මරුමුස් පෙනුම නිසා කවුරුවත් කතා කලේ නැත.
ඒත් එක් කට හැකරයෙක්.. ” ඕං හිලේ බලේ” යැයි කීවේය. හිලේ බලේ පෙන්වීමට අපට 2024 දී පුළුවන.
ලංකාවේ දේශපාලකයින් තෝරන්නේ අපේක්ෂකයාගේ නමට ඉදිරියෙන් ඇති හිස් කොටුවේ කතිරයක් ගැසීමෙන් උනාට ඇමරිකාවේ කෙරෙන්නේ අපේක්ෂ්කයාගේ නමට ඉදිරියෙන් හිල් කිරීමය.
කෙතරම් මහළු වුවද හිලේ රසය සහ බලය ගැන තව තවත් ලිවීමට සිත් දේ.
මට ඉතා මනරම් තරුණ කාලයක් විය. මා නාරාහේන්පිට බෝඩිමක නතර වී හිටි කාලයේ එහි තරුණ බෝඩිම්කාරියන් තුන් දෙනෙක්ද, මාද ඇතුලුව පිරිමි බෝඩිම්කාරයන් හතර දෙනෙකුද විය. විශාල නාන කාමරය ගඩොල් බිත්තියකින් දෙකට බෙදා එක් පැත්තක් ගැහැණුන්ටද, අනෙක් පැත්ත පිරිමින්ටද වෙන් කර තිබුණි. ගඩොල් බිත්තියේ බැලූ බැල්මට නොපෙනෙන හිලකි.
ඉතා සුන්දර “මැණිකේ”බෝඩිමට ආවාට පසුව අර හිල ටිකක් ලොකු වූ හැටිද මට මතක් වේ.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to හිල

  1. හිල් ගැන මෙහෙම රහ කතා ටිකක්… එකදිගට කියෙව්වමයි 😂

  2. PriyanPerera87 පවසයි:

    නිහාල් අංකල්ගේ මගහැරිච්ච කතා කියවන්න ඕනෙ නිසාම JetPack App එක දා ගත්තා. අංකල්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේව! 🙏🏼🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න