Caputo


Caputo යනු ඉතාලියානු වාසගමකි. ලෝකයේ මේ වාසගම ඇති ජනප්‍රිය පුද්ගලයින් රාශියකි. අපේ ක්‍රමයට අනුව නම් ඒ පක්ෂියෙක්. අම්මලාට- තාත්තලාට- පෙම්වතුන්ට වෙන වෙනම දින නියම වී ඇති ලෝකයේ කපුටාටද දිනයක් ඇත. ඒ ජාතික කපුටු දිනය සැමරෙන්නේ අප්‍රේල් මස 27 දාය. කපුටාට ඉන්ගිරිසියෙන් crow , raven යන වචන පාවිච්චි කළද ; raven , crow ට වඩා පෙනුමෙන් ටිකක් විශාලය.
කුණු ගොඩක් කොතනද කපුටා එතනය. මිනිසාට අපල ගෙන එන සෙනසුරාගේ වාහනය කපුටෙකි. සෙනසුරු අපලයෙන් බේරීමට කපුටුවන්ට කෑම දීම හෙවත් කපුටු දානය ගම්වල සිරිතකි. නිතරම බඩගිනි වන කපුටන්ට එළඟිතෙල් මිශ්‍ර කිරිබත් දීමෙන් එම අපල උපද්‍රව මග හරවා ගැනීමට පුළුවන. ඇමතිතුමා අල්ලගන්න පහසුම ක්‍රමය තමා ඉස්සෙල්ලම එයාගෙ ඩ්‍රයිවර් අල්ලා ගැනීම..එළඟිතෙලින් පෙඟවූ පහන්තිර කපුටන්ට දීමෙන් වලකින්න. එය පවුකාර වැඩකි. නැති අපල , පල දීමට පුළුවන.
කපුටා වරෙක මෝඩ පක්ෂියෙකි.
උදා: කපුටා සහ කේජු කෑල්ල.
කපුටාගේ හොටේ තිබුණු කේජු කෑල්ල ගැනීමට සිතූ නරියෙක් උගේ රුව වර්ණනා කර, උඹේ ඇඟ ඔච්චර ලස්සන නම් කට හඬ කොච්චර මිහිරි ඇද්ද ? සිංදුවක් කියාපන් යැයි කපුටාට කීවා. මෝඩ කපුටා සිංදුවක් කීමට කට ඇරියා විතරයි කේජු කෑල්ල බිම. එහෙත් දැන් ඉන්න කපුටන් කරන්නේ කේජු කෑල්ල පයින් පාගා ගෙන සිංදුව කීමට කට (හොට) ඇරීමයි. ඒ කොළඹ කාක්කන්ය.
අපේ කාලේ.. ඉලංදාරි වයසේ කොල්ලෙක් අපිළිවෙලට කෙස්ස පීරා තිබෙණු දුටුවොත්, කපුටු කූඩුව වගේ කියා කියත්. අනෙක් පක්ෂීන් පිළිවෙලකට , කලාවකට තම කූඩුව නිර්මාණය කළත් , කපුටාට ලස්සනින් වැඩක් නැත. ඌ ජරා පක්ෂියෙකි. රත වාහන අළුත්වැඩියා කරන තැනක් අසල වූ ගසක තිබූ කපුටු කූඩුව සාදා තිබුණේ අවට පරිසරයෙන් සොයා ගත් කම්බි කූරු, වයර් යනාදියෙනි. ඒ ද කොළඹ කාක්කෙකි.
මිනීපෙට්ටි සාප්පු වලින් කොමිස් ගන්නා අයට මිනී කාක්කන් යයි කියත්. ඉස්පිරිතාලයක යමෙක් මිය ගිය විට, ළඟම නෑයන් සමඟ කරට කර සෝක වන මොවුන් ” දැන් ඉතින් අඬල දොඩල වැඩක්යැ. අපි අවසන් කටයුතු හොඳට, ලස්සනට කරමු.. මා දන්න තැනක් තියෙනවා ටිකක් අඩුවට , හොඳට කර ගන්න පුළුවන්. ඒ මිනී කාක්කන්ය. ඔහුට දෙපාර්ශ්වයෙන්ම කොමිස් ලැබේ.
කපුටා සහ කළගෙඩියේ කතාව කපුටාගේ නුවණක්කාරකම පෙන්වයි.
උස භාජනයේ අඩියේ තිබූ වතුර බීමට , කුඩා ගල් කැබලි දැමූ කපුටා වතුර මට්ටම ටිකක් ඉහලට ගත් කතාව විශ්වාස කිරීමට අපහසු නමුත් , මේ වීඩියෝව බලන්න.


සමහර සංස්කෘත තුළ කපුටන් දැකීම අසුබ ලකුණක්. අසුබ පෙර නිමිත්තක්. ගමේ ගෙදරක කුස්සිය පැත්තේ ගසක සිට කපුටෙක් අඬයි නම් ඒ ළඟ ඥාතියෙකු හෝ මිතුරෙකු එන බවට සුබ ආරංචියකි.
කපුටා හෙවත් කාක්කා කළු පාටය. කලු සමක් ඇත්තෙකුට හෝ ඇත්තියකට කපුටා හෝ කපුටී කියා සමච්චල් කිරීම අපගේ හැටියක්ය. මනාලයාට කලු පාට සහ මනාලියට පැහැපත් සමක් ඇත්නම් ඒ තැඹිලි ගෙඩියේ වහපු කපුටෙකි. දුටුගැමුණු රජතුමාගේ පියාද කලු පාටය. කාක වන්න තිස්ස , කාවන්තිස්ස වී ඇත.
උත්පත්තියේ සිට මරණය දක්වාම කපුටා අපට සමීපය.කපුටු කාක් කාක් කාක්- ගොරක දේන් දේන් දේන් ඉස්සර අම්මිලා බබාලා නලවා ගත්තේ එහෙමය.
මෝල් ගහේ දළුලන තුරු- කලු කපුටා සුදු වනතුරු , අවුරුදු කාලෙට නැකතට හිස තෙල් ගාන්නේ එහෙමය.


අවුදුම්බර භවං පුෂ්පං ශ්වේත වර්ණංච කාකයෝ මත්ස්‍ය පාදේ ජලේ පේශ්‍යාත්- ස්ත්‍රී චිත්තම් න විශ්වසේත් කියාය. සුදු පාට කපුටෙක් දැක්කත් ගෑනු නම් විශ්වාස කරන්න එපා….. පෙර සෘෂිවරු කාන්තාවන් ගැන කීවේ එහෙමය..

මේ කපුටන් සම්බන්ද තවත් කතා පිංචකි.
ගහක මුල කොල රොඩු අතර සිටි ගෙම්බෙක් , ගහේ ඉහළ අත්තක සෑහෙන වේලාවක් නිසොල්මණේ වසා උන් කපුටෙක් දෙස බොහෝ වෙලා බලා සිටියේය. ගෙම්බා ඒ ගැන උගෙන් විමසීමට සිතා; “යාළුවේ මම දැන් සෑහෙන්න වෙලා බලන් හිටියා. උඹ ඔතනට වෙලා කිසි දෙයක් නොකර ඔහේ බලන් හිටියා.. මටත් බැරිද එහෙම ඉන්න? “
කපුටා: ” මොකෝ බැරි”..

ගෙම්බාත් ගස මුලට වී ඔහේ ඉන්න පටන් ගති. ඔය වෙලාවේ ඔතනින් ගිය නරියෙක් ගෙම්බා දැක එක කටට ඌ ගිල දැම්මේය.
ආදර්ශය: මොකවත් නොකර නිකම් ඉන්න නම් ඔබ ඉහළ තැනක සිටිය යුතුය.

මොකවත් නොකර නිකම් ඉන්න නම් ඔබ ඉහළ තැනක සිටිය යුතුය.

කුණු ගොඩක් ඇත්තේ යම් තැනකද එතන සොයා යන කම්මැලි නැති,කඩිසර පක්ෂියෙකි,කපුටා. ඒ නිසාම යම් අයෙක් ඈලි මෑලි ගතියෙන් සිටින විට ” මොකද නිකම් ලෙඩ කපුටෙක් වගේ” කියා අසන්නට පුළුවන්.කපුටා කෑදර සතෙකි.
ගඟක පාවී යන ඇතෙකුගේ මළකුණ දුටු කපුටෙක් .. හා මට දැන් මාස ගානකට කෑම ඇති.. කියා සතුටින් ඇත් කුණ බුදින්නට පටන් ගත්තේය. ඇත් කුණ ක්‍රමයෙන් පා වී ගොස් මහා සාගරයට එක් විය. කපුටා පක්ෂියෙකු වුවද ඌ කෙටි දුරක් පමණක් පියෑඹීමට හැකි පක්ෂියෙකි. ආපසු ගොඩට පියාඹා ඒමට නොහැකි කපුටා ඇත්කුණ වළඳමින්ම මැරී වැටුනේය. ඒ හා සම්බන්ධ මේ ගීතය රස විඳින්න.


කපුටා කරදරකාර පක්ෂියෙකි. එක කපුටෙක් මරල උගෙ පිහාට්ටක් එල්ලුවා නම් වෙන එක කපුටෙක්වත් කරදර නොකරන බව අපට කියා දුන්නේ රජයේ උගත් අමාත්‍යවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු ගරු ඇමතිතුමා ,ඒ අර අරගල කාලයේදීය.කපුටා බුද්ධාගමට කෙතරම් උපදෙස් සැපයුවත් , කපුටු වර්චස් සමඟ පිටවන බෝ ඇට තැන තැන පැලවීමෙන් ඇතිවන කපුටු බෝ සහ රියල් (real) බෝ , වෙන් කර හඳුනා ගැනීමට අපි දනිමු.

මුල සිට අගටද; අග සිට මුලටද ලියූ විට එකම ශබ්දය සහ අර්තය දෙන වචන ඉන්ගිරිසියේ Palindrome කියා හඳුන්වයි. උදා” mom…dad.. racecar…civic…radar.. සිංහළයේද මෙවන් වචන ඇති නමුත් ඒවා හැඳින්වෙන්නේ කෙසේද කියා මා නොදනී.
උදා: කපුටුපුක

සිංහළ ගීත සාහිත්‍යටද කපුටා කර ඇති සේවය ඉමහත්ය.ගැයුවට ඉමිහිරි රස උපුටා – කොවුලෙකු වෙනවද කලු කපුටා.. සී ටී ප්‍රනාන්දු ගීතයකින් කියන්නේ කපුටාට පෙනුමෙන් සමාන කොහා කිරිල්ලිය ඇගේ බිත්තර කපුටු කූඩුවේ රක්කවා ඇතිවන කොහා පැටවුන් සහ කපුටු පැටවුන් වෙනස් බවය.
පෙර කල පණිවුඩ ගෙන ගියේ පුහුණු කරන ලද කුරුල්ලන්ය. හංස සංදේශය. සැළලලිහිනි සංදේශය. උලකුඩය දේවියට දරු සම්පතක් ලබා දෙන ලෙසට කන්නලව්වක් අඩංගු පණිවිඩය විභීෂණ දෙවියන් වෙත අරන් ගියේ සැළලිහිණියෙකි. ඒත් කපුටු සංදේශය කා විසින් කාට යැවුනු එකක්දයි මට සොයා ගත නොහැකි විය.ඒත් මුල – අග එළිසමය රකිමින් කා විසින් හෝ රචිත කපුටු සංදේශයේ එන කවි කීපයකි මේ.

සුරපුර මිහිපිටට ගෙන ආ කොළොම් පුර
මනහර මග දෙපස හමුවන තුරු මහ සයුර
සිහිකර ණය කන්ද ගෑවෙන නිල් අඹර
අනතුර නොදුටු ලෙස නිති පියඹන් මිතුර

කළුත් සුදු ලෙසට දැක විශ්මය මවන
තලුත් මරන ගිජුවට ඉහළම අසුන
සළුත් උනා එළි පිට කෙළියෙකි අඟන
අළුත්කඩේ විශ්මය මොණරුන් රඟන

කවර නරපතින් ආවත් නොම වන දියුණු
නපුර දැක දැකත් තව සිහියක් නොවුණු
දෙඋර මතට පටවන් ණය ගොඩ ගැසුණු
එපුර දනන් දූ කෙළිනා දෙස බලනු

මන්දිර පෙනේ බැස ගිය සඳ කැළණි දිය
රන් දහදියට හුරු නොමැතිය සැදුණු කය
කන් පිනවන්න රිසි ඝෝෂා කටුකමය
තුන් සක් රියෙක නැඟ බලනුව තුරුණු විය

පැරකුම්බා හරවා වැසිදිය බතට
කර නින්දා එනිරිඳු කළ මෙහෙවරට
නියවන්නා දත කට මැති පිට රටට
උරුවම්බා සහලුත් එන නැව් තොටට


රටක හදවත බඳු ආර්තිකය හැසිරවීමට , ආර්තික විද්‍යාව, බැංකු ක්‍රම ගැන අබැටක් පමණවත් නොදන්නා අය පත් කරයි.
පරිසරය රැකීමට වෛද්‍යවරුන්ද , සෞඛ්‍ය රැකීමට නීතිවේදින්ද පත් කරයි. කිසි ගැලපීමක් නැත. රට මේ තරමටවත් දුවන එක ලෝක පුදුමයකි.

අසල්වැසි රටවල මුදල් ඇමතිලා හා අපේ හිටපු මුදල් ඇමති ගේ සුදුසුකම් සංසන්දනය කර බලන්න,

-Mohamed Shafeeq-මාලදිවයින-
He completed his PhD in Business Administration from the IIC University of Technology, Cambodia, via the European Institute of Professional Education in Sri Lanka. He got his Master of Business Administration from the University of Ballarat, Australia. He also holds a BA (Hons) Finance and Accounting from the University of East London, United Kingdom.

-Nirmala Sitharaman -ඉන්දියාව
She was born in a Tamil Iyengar family in Madurai, Tamil Nadu, to Savitri and Narayanan Sitharaman. She had her schooling from Sacred Heart Convent Anglo Indian Higher Secondary School Villupuram till primary level and also from Madras and Tiruchirappalli. She obtained a Bachelor of Arts degree in economics at the Seethalakshmi Ramaswami College, Tiruchirapalli in 1980, Master of Arts degree in economics and M.Phil. from Jawaharlal Nehru University, Delhi in 1984. She then enrolled for a Ph.D. program in Economics with a focus on Indo-Europe trade; but later left this program and moved to London (when her husband secured a scholarship in London School of Economics) because of which she was unable to complete her degree.

අපේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ:
ඉසිපතන සහ ආනන්ද විද්‍යාලවලින් අධ්‍යාපනය හදාරා ඇත.ඔහු ව්‍යක්තව ඉන්ගිරිසියෙන් කතා කරන සැටි..

ආදර්ශය: නිහඬව සිටින තාක් කල් යමෙක් උගතෙක් වේ.

බල්ලා ගැන කීමට ගොස් උගේ ඇඟේ ඉන්න මැක්කා ගැන කියනවා මෙන් මා මේ කියන්නේ මොනවාද? බැසිල් රාජපක්ස මැතිඳුන්ගේ උපන්දිනයද අප්‍රේල් 27 ය. ජාතික කපුටු දිනය සැමරෙන්නේද අප්‍රේල් මස 27 දාය. එතුමාට සුබ උපන් දිනයක් පතමු.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to Caputo

  1. නිර්නාමික පවසයි:

    බැසිල් රාජපක්ස මැතිඳුන්ගේ උපන්දිනයද අප්‍රේල් 27 ය. ජාතික කපුටු දිනය සැමරෙන්නේද අප්‍රේල් මස 27 දාය. එතුමාට සුබ උපන් දිනයක් පතමු.

    Esema veva….  RIP basil and family//

    Lalith Perera… Saudi…

ප්‍රතිචාරයක් ලබාදෙන්න