ගමනක අවසානය.


මගේ ශරීරයේ අවයවවලින් 50% ක් – ඒ කියන්නේ හරි අඩක්ම මට අවනත නොවේ. ඒවා කාටවත්ම අවනත නොවේ. ඇඳ සුව පහසුය.එහෙත් එකම ඉරියව්වෙන් දිගු වේලාවක් සිටින්නට වීම නිසා කටු යහනාවක් මෙන් දැනේ. ඇඳ ඉදිරි පස රූපවාහීනියෙන් විවිධ දේ පෙන්වයි. ඒ එකක්වත් මට නොතේරේ.

වම් අත සිදුරු කර බටයක් සවි කර ඇත. සේලයින්ලු. බඩ මැද සිදුරු කර සවි කර ඇති ප්ලාස්ටික් බටයකින් යම් දියරයක් ඇඳ විට්ටමේ එල්ලා ඇති පොලිතින් බෑගයකට වෑස්සේ. මගේ මූත්‍රා ලු.

කුස මත දවල් කෑමට ලැබුණු ආහාර බන්දේසිය මේසයක් කර ගෙන මම ලියමි. මතක් කර කර ලියමි. බොහෝ දේවල් මතකයට නොඒ. සමහර ඒවා මට සිදු උනු ඒවාද , මා අසා ඇති , දැක ඇති ඒවාද කියා නිගමනය කල නොහැක. සමහර විට මේ මගේ අවසන් පෝස්ටුවද විය හැකිය. මගේ මිණිපිරිය හෙට හෝ අනිද්දාවක මා ලියා ඇති දෑ මගේ බ්ලොගයට අප්ලෝඩ් කරනු ඇත.
තව ටිකකින් ඇය – මගේ බිරිඳ එනු ඇත. දහසක් රහස් සඟවා ගත් ඇගේ මුහුණ සිහියට නගා ගන්නට මම වෑයම් දරමි. ඇය දුටු මුල්ම දවස..

අප දෙදෙනා සේවය කළේ එකම ආයතනයක. එකම අංශයක. මට පිටුපසින් ඇය.
එක් දිනක් ඇය පෙනෙන්නට සිටියේ නැත. වැඩට ඇවිත් නැත. 9.30 ත් පහු උනා. දැන් නම් එන එකක් නැත.


මම කුරුටු ගෑවා- කවියක් වගේ එකක්
” මා සිත ගත් කත – අද ඇවිදින් නැත
පාළුයි දස අත
නාඬන් හදවත
හෙට නම් එනු ඇත”


බකල් ගගා කැරකුණු සීලිං පංකාවේ සුළඟට අසුවුනු කඩදාසි කැබැල්ල පා වී ගිහින් නැවතුනේ ඇගේ මිතුරියක් වූ චිත්‍රාවන් අතට. චිත්‍රා තමා කපුකම කළේ. එහි ප්‍රතිපලය දරුවන් දෙදෙනෙක්. කෙල්ලොම දෙදෙනෙක්.
අපේ ජීවිත නතර උනේ ඇමරිකාවේ. දුක සේ සැප විඳින්නට. අපේ ජීවිත වෙනස් උනා. හෝමාගම බස් එකේ තුනට නැවිල , දාඩිය පෙරා ගෙන උදේ හවා ආ ගිය මම , නවීන වාහනයක උජාරුවට වැඩට ගියා. ළමයි සිංහළ වලට වඩා ඉංග්‍රීසි කතා කලා. එයා සුපුරුදු සාරිය – රැළි ගවුම් අත හැර කළිසමට බැස්ස..
අපට හැම සති අන්තයකම පාටි. කෑම – බීම. කෑමට වඩා බීම. සමහර පාටි නිමා උනේ පහුවදාට එළි වන්නට. ලව් කරන කාලයේ මා ඇගේ වීරයා වන්නට ඇත. ඇගේ ලෝකයේ සිටි එකම පිරිමියා මා වන්නට ඇත. මට කිසිම දක්ෂතාවයක් තිබුණේ නැහැ. ගීයක් ගයන්නට.. සංගීත භාණ්ඩයක් වයන්නට.. නටන්නට.. ඒ තබා තාලයකට අත්පුඩියක්වත් ගසන්නට.
ඒ දක්ෂතාවයන් නොඅඩුව ඇති කවුරු හෝ ඇගේ ලෝකය ආක්‍රමණය කරන්නට ඇති. ඒවා එහෙමයි. සාමාන්‍යයි.

මට ඕන උනා ඇගේ ඊ මේල් චෙක් කරන්නට. ඩවුන්ලෝඩ් කර ගත්තා software එකක්. softartstudio. එයා ටයිප් කරන හැම දෙයක්ම එයාට රහසින් මගේ ඊ මේල් එකට එනවා.
මම කොතනක හෝ කීවා වගේ මතකයි.. අපිට හැමදාම වගේ පාටි කියලා. එහෙම ගියාම එකිනෙකා බදා වැළඳ ගැනීම, හග් කිරීම ඇමරිකානු සම්ප්‍රදායේ හැටියට සාමාන්‍ය දෙයක්. මට කියන්න බෑ එයාට වෙනත් පිරිමියෙකුට හග් එකක් දෙන්න එපා කියල. ඒක මොන විදිහේ ජරා අදහසක්ද ?
ඒත් එක පිරිමියෙක් ඇයට හග් එකක් දුන්නේ ටිකක් අමුතු විදිහකට. මට වෙනසක් තේරුණා. ඇය වැඩිපුර ඊ මේල් කළෙත් ඔහුට. ඇයට වැඩිපුරම ඊ මේල් ලැබුණෙත් ඔහුගෙන්.
( sorry.. මට කියන්න බැරි උනා. ඔය කාලේ text message/sms හොයා ගෙන තිබුණෙත් නෑ, ..smart phone/ iphone හොයා ගෙන තිබුණෙත් නෑ)

ඒ වන විට අප ඇමරිකන් පුරවැසියන්.

” මට ඇමරිකාවේ ඉන්න papers නෑ. ඒ නිසාම හොඳ රස්සාවක් කරන්න බෑ. ඉක්මණට මොනව හරි කරන්න වෙනව. නැත්නම් ආපහු යන්න වෙනව. ආපහු ගියොත් ආයෙ එන්න බෑ” ඒ ඔහුගෙන් ආ එක ඊ මේල් එකක්.
” ලේසිම ක්‍රමය තමා citizenship තියෙන කෙනෙක් මැරි කරන එක” ඒ තව එකක්.

ඒ අතරතුර ගොඩක් දෙවල් වෙන්න ඇති. ඇයට මා නැතිව ජීවත් වෙන්න බෑ එක වහලක් යට. මට එයා නැතිව ජීවත් වෙන්න බෑ එක වහලක් යට.. ආර්තිකව. බිල්.. බිල්.. බිල්..
” ඔයා එන්න . ළමයි දෙන්නත් එක්කම. අපි යමු වෙන ස්ටේට් එකකට. ටෙක්සාස් වගේ. “
ඒක මාරාන්තික ආරාධනාවක්.
එයා නිතරම ඈත පළාත් වලට යනවා රැකියාවේ වැඩ වලට. සමහර වෙලාවට දින දෙක තුන ගෙදර එන්නේ නෑ..ගොඩක් දේවල් වෙන්න හොඳටම ඉඩ තිබුණා. මට ඇයගෙන් ප්‍රශ්න කරන්න හිත දුන්නේ නෑ. තමන්ගේ බිරිඳගේ උනත් පුද්ගලික ඊ මේල් චෙක් කරන එක අශෝභන වැඩක් . මට පුළුවන්කම තිබුණා මුලදිම එයාගෙන් ප්‍රශ්න කරන්න. එහෙම කළා නම් මේක වෙනස් විදියක අවසානයක් වෙන්න තිබුනා.
මට පුළුවන් මගේ ජීවිතේ නැති කර ගන්න. ඒත් මට බෑ. මගේ ළමයි තවම පොඩියි. එයාලගෙ අනාගතය අඳුරු වෙයි. ඇරත් මම මහා දුර්වල මිනිහෙක්. මට මගේ ළමයින්ගෙ දියුණුව දකින්න ඕන. ලංකාවේ ජීවත් වෙන මගේ දෙමව්පියන්ට මුදලින් උදව් කරන්න ඕන.
මට පුළුවන් ඕකිව ඉවරයක් කරල දාන්න. පිස්සුද ? පැය 24න් මා අල්ලා ගනීවි. එතකොට මගේ දරුවන්ට මොකද වෙන්නේ ? එහෙම නූනත් මම කොහොමද එක පඩියකින් ජීවත් වෙන්නේ ? මට පුළුවන් උන් දෙන්නම ඉවරයක් කරල දාල, දරුවන්ටත් වහ දීල , මගෙ ජීවිතෙත් නැති කර ගන්න. බෑ . මම මහා දුර්වලයෙක්.

එයා ආවා. ලස්සන ගවුමක් ඇඳල. මල් ටිකකුත් අරන්. වාස් එකේ තිබුණු පරණ මල් අයින් කරල අලුත් මල් ටික ඒකට දැම්ම. එයාගේ මුහුණ මැලවිලා. ලංකාවේ වගේ “වහෙන් ඔරෝ “නෑ. මෙහේ දොස්තරල මූණටම කියනව, කියන්න ඕන දේ. මම ජීවත් වෙන්නේ තව මාස කීපයලු.
එයා මොනවද කියන්න හදනව. මට තේරුණා. පාපොච්චාරණයක් වගේ දෙයක්.
” මට තේරෙනවා ඔයා කියන්න යන දේ. දැන් ඕව කියල වැඩක් තියෙනවද? අපි හැමෝගෙම ජීවිත රහස් වලින් පිරිල. මම හැමදේම දැන ගෙන හිටියේ. මම ළමයි ගැන හිතල ඉවසුවේ. දැන් ළමයි ලොකුයි. අපේ රහස් අප අතරම තිබුණාවේ.
මම තරහ නෑ. කැමති නං විතරක්.. ආයෙ එන කොට අර බෝරිච්චි අත් දාපු.. සුදු බෝල බෝල තියෙන දුඹුරු පාට ගවුම ඇඳ ගෙන එන්න…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to ගමනක අවසානය.

  1. DGM බස්සා පවසයි:

    ඔබ ආයේ ලියන එක සතුටක්. ඉස්සර වගේම ලිපි ටික නියමයි. එක දිගටම කීපයක්ම කියෙව්වත්,
    පරණ ලිපි නිසා ඒවට ප්‍රතිචාර දැම්මෙ නෑ. මම බ්ලොග් රෝලෙ එල්ල ගත්තා ආයෙ අලුත් ලිපි මඟ නෑරෙන්න.
    කාළයක් නොලියා හිටි නිසා මඟහැරුනා. ඒ කාලෙ අපට හිටි හොඳම බ්ලොගර්ලා බොහෝ දෙනෙක් පැදුරටත් නොකියාම වාෂ්ප වුනා. සංසාරේ හැටි ඔහොම තමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න