ණය


ශ්‍රී ලංකාවේ ජාතික ගීතය මුලින්ම ලියා තිබුණේ “නමෝ නමෝ මාතා- අප ශ්‍රී ලංකා” කියා පටන් ගන්නටය. එහෙත් කවුදෝ බක පණ්ඩිතයෙක් “න” අපායාක්ෂරයක් යැයිද, ඒ විදියට ජාතික ගීය පටන් ගැනීම රටට සුබදායක නොවන බවද කියා එය වෙනස් කළේය.
හැබැයි රටට ඇතිවූ සුගතියක් නැත. හැඳිගෑවිලාම ගියාය.
ඇත්තටම අපායාක්ෂරය විය යුත්තේ “න” නොව “ණ” යි. ඒ මන්ද කියනවා නම් “ණ’ යන්නෙන් පටන් ගන්නා වචන සිංහළ ශබ්ද කෝෂයේ ඇත්තේ (මා දන්නා පරිදි ) එකෝම එක වචනයකි. ඒ “ණය”ය.
ඕනෑම ව්‍යාපාරයක් කර ගෙන යාමේදි “ණයට” දීම සිදු කළ යුතුය. එය ගනුදෙනු කරුවන් අද්දා ගැනීමේ උපක්‍රමයකි. එහෙත් අත්පිට මුදලට වඩා “ණය” ගනුදෙනු කරන සමහර ව්‍යාපාරස්තාන වල මේ වාගේ උපහැරණ වාක්‍ය මා දැක ඇත.

ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ.
ණයට ඉල්ලා අමනාප නොවන්න
ණය දීමෙන් මුදලත් බිරිඳත් නැතිවේ
අද මුදලට හෙට ණයට

මා විවා වන තුරුම කිසිවෙකුට ණය වී තිබුණේ නැත. එහෙත් ක්‍රමයෙන් ජීවිතය සංකීර්ණ වෙද්දී , ආපදා ණය, වාර්ෂික ණය,බයිසිකල් ණය, වාහන ණය, අර්තසාදක ණය, සේවක ණය යනාදී මෙකී නොකී ණය වලට ඇබ්බැහිවීමට මට සිදුවිය.
ණය ගැනීම විලි ලැජ්ජා නැති වැඩකි. ණයට දෙන්නා, ණයහිමියා වන අතර ණයට ගන්නා, ණයගැතියාය. ණයහිමියා, ණය ගැතියා සොයා නිවසටම එන විට සිදුවන්නේ “නිවාස ණය” අරන් සැදූ ගේ ඇතුලේම හැංගෙන්නටය.
මාතරින් පැමිණ අපේ ගමේ කාන්තාවක් හා විවාහ වූ බන්දුලසේන මාමා රැකියාවට කළේ 8% පොලියට ණය දීමය. 8% එක දවසකටය. හැමදාම හවසට පොලී මුදල් එකතු කරන්නට නගරය පුරාම ඇවිදීම බන්දුලසේන මාමාගේ දින චරියාවයි.
ඔහුගේ බිරිය , කමලා නැන්දා එදා වේල යාන්තමින් ගැටගහ ගත් කාන්තාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇයගේ අත- මිට සරු වන්නට විය. ගමේ උන් කීවේ කමලා නැන්දා , බන්දුලසේන මාමාගේ පරණ ණය කාරයෙක් බවය.
පොරොන්දුවූ පරිදි නියමිත දිනට ණය මුදල නොගෙවූ කෙනෙකුට ඔහු බැණ වැදුනේ “ලබන ආත්මේ ගෙවාපිය” කියලාය.
බැංකුවල සේවය කරන අය නම් Bad Debts (බොල් ණය) සහ Doubtful Debts ණය ගැන දනිති. දැනට රැකියාවක් කරන මගේ දියණිය ඉඳහිට මගෙන් ගානක් ඉල්ලයි. දෙවතාවක් නොසිතා ඇය ඉල්ලන්නේ කීයක්ද, එම මුදල ඇයට ලබා දෙන්නේ ඉතා කැමැත්තෙන්ය.
” තාත්තෙ මේක කවද්ද ආපහු ඕන?”
” නෑ.. මම ඒක doubtful debts පොතේ ලියා ගත්තා” කියනවිට ඇය ඊට දක්වන සුන්දර සිනහව දුටුවිට එම මුදල bad debt -බොල් ණය පොතේම ලියා ගන්නට සිතේ.

” ළමායී.. අපේ රටේ ප්‍රධාන ආදයාම් මාර්ග මොනවාද ” ප්‍රජාචාරය ඉගැන්වූ විජේරත්න ගුරුතුමිය එසේ අසනවිට අපි කට පාඩමෙන් “තේ – රබර්- පොල්” යැයි කීවෙමු.
ඊට කලකට පසුව අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ “ඇඟලුම් සහ අරාබියට යවන හවුස් මේඩ්ලා”ය.
දැන් අපේ අලුත්ම ආදායම් මාර්ගය විදේශ ණයය.
අප විදේශයන්ට ණය වී ඇති ප්‍රමාණය ටක්කෙටම කීමට රටේ ජනාධිපතිට, අගමැතිට තබා රටේ මුදල් හසුරුවන මහ බැංකුවේ අධිපතිටවත් නොහැකිය.
හැබැයි මේ ටික නම් ටක්කෙටම කීමට මට පුළුවන.
මේ ණය , මේ කපේදී නම් ගෙවා ඉවර කළ නොහැකිය. රටේ සංවර්ධනයක් නැත.
සුදු සංචාරයෙක් හෝටලයකට ගොඩ වී, කළමණාකරු අතට මුදල් නෝට්ටුවක් දී තමාට ඉස්තරම් කාමරයක් අවශ්‍ය බැව් කීය. “ටිකක් ඉන්න ” කී කළමණාකරු වහා ගොස් , හෝටලයට කෑම බීම සපයන සැපයුම්කරුට ඒ මුදල් නෝට්ටුව දුන්නේය. ඒ මීට කලින් ණයට ගෙන ඇති දේ සඳහාය.සැපයුම්කරු වහාම පොලී මුදලාලි සොයා ගොස් අර මුදල් නෝට්ටුව දී පැරණි ණයක් ගෙවා දැමීය. “ණයමුදල ” ලැබීම නිසා චූන් වූ පොලී මුදලාලි වහාම නගරයේ සිටි ගණිකාව සොයා ගොස් අර මුදල් නෝට්ටුව දුන්නේ කලින් “ණයට” බුදියා ගැනීම වෙනුවෙන්ය. ගණිකාව ඒ මුදල් නෝට්ටුවම රැගෙන හෝටලයේ කළමණාකරුගේ පැරණි ණයක් ගෙවා දැම්මේය.
“උඹලගෙ හෝටලෙ මහ සවුත්තුයි.. කස්ටමර් සර්විස් අන්තිමයි” සංචාරකයා අර මුදල් නෝට්ටුව උදුරා ගත්තේය.

හෝටලය, සැපයුම්කරු, පොලී මුදලාලි , ගණිකාව යන සිව් දෙනාම ණය බරින් නිදහස්ය. එහෙත් අලුතින් දෙයක් එකතු වී නොමැත.
අපේ රටේ ආර්තිකයද මීට සමාන යයි මට සිතේ.

තරුණ කාලේ මුඩුක්කු පාරක ඇවිදින්නට යනවිට බාගෙට ඇඳ ගත් අවිනීත කාන්තාවක් ” අදත් ණයට හු*න්ට ආවද ? බැහැපිය එලියට” කියා මිනිහෙක් දොට්ට දැමූ අයුරු මට සිහිවේ. මැදපෙරදිග සේවයට යන බොහොමයක් ගැහැණුන්ට තම හාම්පුතා සමග බුදියන්නට සිදුවේ. ඒත් ණයටය. නැත්නම් මාසේ අන්තිමට ලැබෙන පඩියට හිලව්වටය. තවත් විදියකට කියනවා නම් ලංකා මාතාව ණයට හු*න ගණිකාවකගේ තත්වයට පත් කොට ඇත.
වී ගොවියා පොහොර ටික,බිත්තර වී ටික, වල් නාශක , කෘමිනාශක ටික ගන්නේ ණයටය. ණයහිමියා කමතටම පැමිණ ණයට හිලව්වන්නට අස්වැන්න රැගෙන යයි. ණය වී කුඹුරු කරනවාට වඩා කඩේ හාල් කෑම ලාබය. ඒ සාමාන්‍ය කුඹුරු ගොවියාගේ මතයයි.

ඒ කාලේ අපේ තාත්තාට පඩි ලැබුණේ 25 දාය. දවස් 24 ක් කඩේ ණය පොතට බඩු ගන්නා අම්මා 25 දා වහාම ණය ගෙවා දමයි. ණයට ගන්න නිසා සාමාන්‍ය මිළට වඩා වැඩි පුර ගණන් දමා ඇත.

ඒ ගැන ඇසූ විට කඩේ මාමා කියන්නේ ” අපිත් බඩු ගන්නේ ණයටනේ.. මාසයක්ම බලා ඉන්න එපායැ” ඊට එහා අම්මාවත් තාත්තාවත් කතා නොකරයි. කතාව ඇත්තය. කඩේ මාමා ඔරොප්පු උනොත් කාටත් පෙනෙන්නට අපේ ණය පොත කඩේ බිත්තියේ එල්ලා තබන්නට බැරි නැත.
මාසයක් තිස්සේ අතටම දියවූ ණය පොත වෙනුවට කඩේ මාමා අලුත් පොතක් දෙයි. ඊට අමතරව ජනවාරි 1 දා කැලැන්ඩරයක්ද දෙයි.
ණය වීම විලි ලැජ්ජා නැති වැඩක් නිසා අම්මා කඩේට යන්නේ ගනුදෙනුකරුවන් අඩුවෙලාවක් බලාය.
ණය වී මගුල් කෑම ඊටත් වඩා විලි ලැජ්ජා නැති වැඩකි.
“බැංකු ණයක්වත් ගම්මුද?” කියා අම්මා ඇසුවේ මගේ නංගීගේ මගුලට අවශ්‍ය මුදල් සපයා ගැනීමටය. තාත්තාටත්, බාප්පාටත් හවුලේ තිබුණු ඉඩමේ තාත්තාගේ කොටස බාප්පාගෙම කොල්ලෙකුට විකුණා දැමූ තාත්තා සතුටින් ගෙදර ආවේය. අපි රතිඥ්ඥා පත්තු කළෙමු. ණය වෙනවාට වඩා තියෙන දෙයක් විකුණා ගෙන කෑම හොඳය.
ඔන්න ඔහේ එන පාරත් පොහොට්ටුවටම ගහනවාය.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

බොරු ගොඩක්


බොරු කියන අයගේ දත් පණුවො කනවා… කට ගඳ ගහනවා. අන්තිමට අපායේ යනවා.. යයි කියා දුන් අපේ අත්තම්මා කවදාවත් ඉස්කෝලෙකට ගොඩ වී නැත. ඒත් උන්දෑ දැනුම් සාගරයකි. උපහාස- උපහැරණ කතා කීමට දස්සියකි.
මගේ අත්තම්මා ඇතුළු බොහෝ අයගේ අත්තම්මලා බොරුවේ උපතයි.
කැලේ කපටි රජා නරියා යැයි කියා දුන්නේ මගේ අත්තම්මාය. ඒ අර කපුටා සහ කේජු කෑල්ල කතාවේ කපුටාගේ හොටේ තිබුණු කේජු කෑල්ල කපටි කමින් උදුරා ගත්තු නරියෙක් නිසාය. තවත් දිනක ඇල පාරක් අයිනේ හුන් ඉබ්බෙකු අල්ලා ගත් නරියෙක් ඌ කෑමට සැරසුනා.
ඉබ්බා – “ඒයි යාළුවේ.. මගේ කටුව තදයි. ඔහොම කන්න බෑ. අර දිය පාරේ දාල ටිකක් පොඟවල ගත්තා නං…”
නරියා, ඉබ්බා දියට දමා , උගේ එක පාදයක් ඉබි කට්ට මත තබා ගෙන හිටියා.
නරියා – ” දැන් පෙඟිලා ඇද්ද ?”
ඉබ්බා – ” දැන් නම් පෙඟිලා.. ඒත් උඹේ කකුල තියෙන තැන නම් තාම මදි”
නරියා කකුල ටිකක් බුරුල් කලා. ඉබ්බා සුටුස් ගා දිය යටින් පීනා ගොස් පණ බේරා ගත්තා.
ඊයේ නරියා කපටියෙක් උනෙත්, අද නරියා මෝඩයෙක් උනෙත් කොහොමද කියා මා ඇසුවේ නෑ. සමහර විට ඒ වෙන නරියෙක් වෙන්න ඇති.
ලංකාවේ සිංහයින් නැත. ඒත් අත්තම්මා කියන්නේ සිංහයාගේ ගර්ජනාවට අලි ඇතුන්ගේ කුම්බස්තලය පුපුරා යන බවය. උන්දෑ මහනුවර බෝගම්බරදී මද්දුම බණ්ඩාරගේ හිස ගසා දැමූ හැටි විස්තර කරන්නේ දෑහින් දුටු ගාණටය.
අත්තම්මලා විතරක් නොවේ අම්මලාද බොරු කියත්. මේ ලෝකෙට බබාලා දෙන්නේ සුරංගනාවියන්ය. මා අහුලා ගෙන ඇත්තේ රෝස කැලෙන්ය. එතකොට තාත්තලාගේ කාර්යභාරය කුමක්ද ?
ඊ ළඟට ඉස්කෝල සම වයසේ මිතුරන්ගෙන් අපි බොරු ඉගෙන ගනිමු. අපේ රංචුවේ සිටි චූලරත්නයා කතා සාගරයකි. සුදු සාරියකින් සැරසී ළමයෙක් වඩා ගෙන සිටින මෝහිණී ඔහු දැක ඇත. රෑ කාලයේ මූසල හඬකින් කෑ ගහන බෝදිලිමා පිරිමියෙකු දුටු විට යකෙකුගේ වේශය ගෙන පිරිමින්ගේ ඇඟට පැන ඇඟ සූරා දමයි. දවල්ට ඌ කටුස්සෙකි.
ඊ ළඟට ඉහල පන්ති වලට ගියාම..
“ලෝකෙන් උතුම් රට ලංකාවයි- සිරි ලංකාවයි..
වවමු.. වවමු.. වවමූ”
ගීතය ලියා ඇත්තේ හිටපු අධ්‍යාපන ඇමැත්තෙක් වූ ඊරියගොල්ල මහතාය. එහෙත් ඊට බොහෝ කලට පෙර අලසකමින් නිදා සිටි සිංහළයන් අවදි කිරීමට ” ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ” යයි කියා ඇසුවේ විජාතිකයෙකි. එසෙම සිංහළත් නොවන ගායිකාවක් ” අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් එන්නා” කියා ගැයුවාය. පිටරටින් බඩු එන කොට අපේ ඩොලර් හිග වේ. ඒ නිසා දැන් තියෙන ඩොලර් හිගයට හේතුව ගෝටාබය නොවේය. ඒ උත්තමයා පන්නා දැමීමට අප ඉක්මණ් උනා වැඩි යයි මට සිතේ.
ඊ ළඟට ඓතිහාසික බොරු…. අප සහල් පිටරට පැටවූවා යයි කිසිම සාක්ෂියක් නැත. එහෙත් අපිම අපේ රට හඳුන්වන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලාය. 1980 මුල හරිය වන තුරු කොටුවේ දුම්රිය ස්තානයට විරුද්ධ පැත්තේ ටිකක් කොටුව පැත්තට වෙන්නට තිබුණු ටකරන් තහඩු වලින් සෑදූ විශාල ගොඩනැගිල්ලක් විය. එහි විශාල ඉංග්‍රීසි අකුරෙන් “THE GRANARY” යයි ලියා තිබුණේය. Granary කියන්නේ ධාන්‍යාගාරය කියන එකයි. දෙවන ලෝක යුද සමයේ ඉංගිරිසි සොල්දාදුවන් සඳයා මෙහි ධාන්‍ය ගොඩ ගසා තිබෙන්නට ඇත. මිලිටරි බාසාවෙන් මෙයට Eastern Granary කියා කියන්නට ඇත. එයම පසු කලෙක පෙරදිග ධාන්‍යාගාරය ලෙසට ඔපමට්ටම් වෙන්න ඇත.

“අප ශ්‍රී ලංකා”… අපේ ජාතික ගීයේද ඇත්තේ බොරු සාගරයකි. “ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ” සියළුම ධාන්‍ය පිටරටින් ගෙන්වයි. ඒ විතරක්යැ.. ගස් යට කුණු වී වැටෙන සියඹලා පවා ඉම්පෝට් කරයි . ඒ විතරක්යැ දැන් කිකිළි බිත්තරෙත් පිට රටින් ගේනවාලු.
ලංකාවේ මිනිසුන් රැවටීමට ඉතා පහසුය. අවශ්‍ය වන්නේ හාමුදුරුනමක් සහ TV හෝ රේඩියෝ චැනල් එකක් පමණි. මාස ගණන් නිට්ටෑවුන්ට රැවටුනු අපි , කැළණි ගඟ දෙබෑ කරගෙන නාග ලෝකයෙන් මතු වූ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්තෙමු. එතැනින් නොනැවතී කාලි අම්මා සාදා දුන් කෝවිඩ් පැණියට රැවටුනෙමු.

ඊ ළඟට අපේ හාමුදුරුවන්ද ඇති තරම් බොරු දෙසා බායි. විශේෂයෙන් උපාසකම්මලා රැවටීමට ඉතා පහසුය. පින්කළාම, පින් රැස් කළාම මතු ආත්මයක විසාකා මහ උපාසිකාව වී , මේළ පළඳනාවක් පැළඳීමට පුළුවන. ඒ මේළ පළඳනාව ඇතෙකුගේ බරට සමානය.
මේ බොරු වලට රැවටී ඇති අපි කොතරම් නිවටුන් වී ඇද්දැයි කියනවා නං… අපි තවමත් ” රාවණා ” නැගිටින තුරු බලා සිටින්නෙමු.
රතු මල් මාලා පැළඳ , තඩි කඩුවක් අමෝරා සිටින බඩතඩි වදකයෙක් දුටු විට සත් හැවිරිදි සාමාන්‍ය පොඩි එකෙක් නම් බිය වී කෑ ගසනු ඇත. අම්මාගේ ඔසරි පට අස්සේ සැඟවෙනු ඇත. එහෙත් 7 හැවිරිදි මද්දුම බණ්ඩාරයන් වදකයා ඉස්සරහට පැන ” මැරෙන හැටි මම පෙන්වමි ” කියූ කතන්දරය විශ්වාස කරන අපි, අම්මිගේ බඩෙන් එළියට ආ විගසම පියවර හතක් ඇවිද පොර ටෝක් එකක් දෙන බෝසත් පැටියා කියූ කතාවද විශ්වාස කරන්නේ බාල කාලයේ සිටම අපේ මොළ ගෙඩි අපවිත්‍ර කරන අපේම අත්තම්මලා නිසාය.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පාපොච්චාරණය


“පහසුවෙන් ඉඳගන්න. මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන එනවා. ඔබට දැන් හොඳටම නිදිමතයි. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. නිදි… නිදි….”

මානසික රෝහලේ විශේෂඥ වෛද්‍ය තිලක් ප්‍රනාන්දු මහතා මේ නිද්‍රාවට පත් කළේ, මතු පිටින් කිසි අසනීපයක් පෙනෙන්න නැති , එහෙත් අසාමාන්‍ය මානසික ව්‍යාධියකින් පෙළෙන ආරියදාස වීරසිංහ යන අයයි.
ඔහු රජයේ ලිපිකරුවෙක්.දෙදරු පියෙක්. හොඳ සැමියෙක්. හොඳ මිත්‍රයෙක්. හොඳ අසල්වැසියෙක්. යහපත් පුරවැසියෙක්. එහෙනම් මොකක්ද මේ ප්‍රශ්නේ ?…..

උදේ හොඳින් නිවසින් පිටවන ඔහු හවස ආපසු එන්නේ යකා ආරූඪ වෙලා වගේ. වෙනත් කාගෙන් හෝ සිදුවූ වරදකට..සිත් රිදවීමකට කාගේ හෝ එල්ලෙන්න බලා ගෙන. ඉස්සරහට හමුවන්නේ ඔහුගේ බිරිඳද , දරුවන්ද කියන එක ඔහුට ප්‍රශ්නයක් නෙවේ. අතට අහුවන කුමකින් හෝ ඔවුන්ට පහර දුන්නා. ඒත් තත්පර කීපයකින් සියල්ල සමතයකට පත් වෙනවා. පොඩි එකෙක් වගේ පහර කෑ එකා බදා ගෙන වැලපෙනව.

” මම පොරොන්දු වෙනව. ආයෙ නම් මෙහෙම වෙන්නේ නැහැ” ඔහු බිරිඳට පොරොන්දු උනා.
” අනේ ඔයාගෙ පොරොන්දු.. කී දවසක් ඒ පොරොන්දු කඩ කරල ඇද්ද?… මම කියනවට අපි නිකමට වගේ යමුද මානසික වෛද්‍යවරයෙක් බලන්න?”
ආරියදාසගෙ වයසේ අනික් අය කසාද බැඳල ලස්සන පවුල් ජීවිත ගත කරනව. සමහරුන්ට පෙම්වතියන් ඉන්නව. ආරියදාසට පෙම්වතියක් නෑ. එයාට කවුරුවත් කැමති උනේ නැහැ එයාගෙ බාහිර පෙනුම නිසා.
ආරියදාසට හොඳ මතකයක් තිබුණා. එයා පොඩි කාලේ හරි හුරුබුහුටි සාමාන්‍ය පෙනුමැති ළමයෙක්. ඒත් පාසල් යන්න උනාම එයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ගමේ සමහරු එයාට චීනා, ජපනා කීවා. ඒත් ඒ ඇයි කියලා එයාට තේරුණේ නෑ. අසල පන්තිවල ගුරුවරුන් , විශේෂයෙන් ගුරුවරියන් එයාගේ තාත්තගෙ නම මොකද්ද කියල ඇහුවා. ඒ එකක්වත් තේරුම් ගන්න කුඩා ආරියදාසට අපහසු උනා.

පුංචි කටත් , පැතලි නාසයත් , හීන් ඇස් දෙකත් නිසා ආරියදාස ශ්‍රී ලාංකිකයෙකුට වඩා පෙනුමෙන් සමාන වුනේ ටිබෙට් හෝ පිලිපීන ජාතිකයෙකුට. කඩවසම් සිරුරක් වත් ඔහුට තිබුනේ නැහැ. ඔහු සමහරදාට කොණ්ඩෙ කොටට කපනව. ආයෙම වවනව. රැවුල් කපනව. පොයින්ට් එක තියනව. හිටි ගමන් සම්පූර්ණයෙන් බූ ගානව.
ආයෙම නිකටට පහළින් එළු රැවුලක් වවනව. මේ එකකින්වත් ආරියදාසගෙ මුහුණේ පෙනුම වෙනස් වුනේ නැහැ. සමහරදාට ආරියදාස ගෙදර කාමරේ දොර වහගෙන මුහුණ බලන කුඩා කණ්ණාඩියක් අරන් ලොකු කණ්ණාඩියක් ළඟට ගිහින් හරහට ඉඳල තමන්ගේ මුහුණේ පැති පෙනුම කොහොමද කියල බලනව.
අවසානයේ ප්ලාස්ටික් සැත්කමක් කරල හරි තමන්ගේ මුහුණේ විසුළු පෙනුම වෙනස් කර ගන්න ඔහු හිතුවා.
අම්ම කීවේ.. ” උඹේ ඔය කියන තරම් කැතක් නෑ. හිටපන් තව ටිකක්.. උඹේ ඉරණම් කාරි කොහේ හරි ඇති.

අම්ම හරි..වැඩි දවසක් ගියේ නැහැ. ආරියදාසට එයාගෙ ඉරණම් කාරි හමුවුනා.

ලංගම බස් එක පොල් පටවල වගේ. ආරියදාස දුවල ගිහින් ෆුට් බෝඩ් එකේ අන්තිම පඩියට ගොඩ උනා. ඊට ඉහලින් සාරි පොටක්. කළු සාරියක්.. රන්වන් පාට බෝඩරයක් තියෙන. කළු හැන්ඩ්බැග් එකක්. මුහුණ පේන්න නෑ. “බියනෙත්‍ර” ඕ ඩි කොලෝන් පුසුඹක්.
” අනේ මං වැටෙන්න යනව”
ආරියදාස වහාම ඇගේ බඳ වටා අත යවල ඈ අල්ල ගත්ත.

නාවලින් බසයට ගොඩවුනු ඇය , නුගේගොඩින් බැහැල , ආරියදාසට මොකද්ද අමුතු සැම්පලේ හිනාවකින් සංග්‍රහ කරල ” තැන්කියු” කියා ගෙනම සුපර් මාකට් එක පැත්තට ගියා.
ඒක හරිම සාමාන්‍ය සිදුවීමක්. කොච්චර සාමාන්‍යද කියනවානං , ආරියදාසට ඒ ළමය හීනෙන්වත් පෙනුනෙ නෑ.පහුවදා.. මෙන්න එයා ආයෙමත්. කළු හැට්ටයක්. සුදු පසුබිමේ පළල කළු තීරු තියෙන සාරියක් ඇඳල.

” ගොඩක් පිං.. ඊයෙ මාව බේරගත්තට. තව ඩිංගෙන් මම පාරට වැටෙනව.”
“???????”
” නෑ අයියො. මම බෝඩ් වෙලා ඉන්නෙ. විජයබා මාවතේ ගෙදරක..”
“??????????”
” කලු අග්ගල.. අවිස්සාවේල්ල බස් එකේ ගිහින් තව බස් එකක යන්න ඕන”
“???????”
” හා…. එන්න..”
එයාගෙ නම කමණි. උසේ හැටියට මහත. කෝපි මල් හිනාව. තළ එළළුයි.
එයා කැමති වෙල තියෙන්නෙ බාහිර පෙනුමට නෙවි. ආරියදාසගෙ කතාවට. අවංක අදහස් වලට.

එක් සෙනසුරාද දිනක ජෝඩුවම කලු අග්ගල ගියා. බස් එකෙන් බහින කොටම පාර අයිනෙ හිටි ගෑණියෙක් කම්මුලේ අත තියා ගත්ත.

ආරියදාස සාලෙ ඇවිදිමින් බිත්තියේ එල්ල තිබුණු පිංතූර නැරඹුව.
” ඇයි අක්කෙ.. ඔයට ඇස් දෙකක් නැද්ද”? ඒ කමණිගෙ නංගි..

” මේක මගෙ කැමැත්ත. මම එයාට කැමති උනේ එයාගෙ බාහිර රූපෙට නෙවි. මට එයා හොඳයි.. එයා හොඳ කෙනෙක්”

ආරියදාසගෙ ළමා කාලය දුක්මුසු එකක්. තරුණ කාලය ඊටත් එහා. ළමා කාලයේ අනෙක් ළමුනට තිබූ රෝද තුනේ බයිසිකළයක්වත් , ඉලංදාරි කාලෙ රෝද දෙකේ බයිසිකළයක්වත් එයාට තිබුණෙ නැහැ. නිදා ගන්න වෙනම කාමරයක් වත්…..තාත්ත ගෙදර ආවෙ ඉඳල හිටල. ඒ ආවාමත් ගෙදර රණ්ඩු. අම්මත් එක්ක. තාත්ත අම්මට වඩා වයසින් ගොඩක් වැඩි. ආරියදාස හැමදාම වගේ උදේට ඇහැරුනේ , එහෙම නැත්නම් රෑ නින්දට ගියේ ළමා මනසට නොගැලපෙන වචන රොත්තක් දෙකන් වල පුරව ගෙන. ඒ එකම මිදුලේ යා බදව පදිංචිව සිටි අම්මගෙ මල්ලියි , නෑනයි එක්ක අල්ලන රණ්ඩු නිසා. වයස අවුරුදු 15 දී විතර ආරියදාස හිතාගත්ත, එයා නම් කවදාවත් අහල පහල අයත් එක්ක රණ්ඩුවට යන්නෙ නෑ, කසාද බැන්දම එයාගේ අම්මට- තාත්තට තමන්ගෙ අයටම වගේ සලකන්නට.

ඒත් එහෙම වුනේ නැහැ.
” අනේ මේහ්.. පොඩි දුවට නං හොඳ උස මහත පෙනුම තියෙන කෙනෙක් හොයල දෙන්න ඕන” ආරියදාස තම නැන්දම්මත් එක්ක වෛර බැඳ ගත්තෙ එදා. හරියටම ඒ දෙන්නගෙ විවාහය රෙජිස්ටර් කළ දා හවස.
” අනේ ඔය උස මහත මට හොඳටම ඇති” අඩු ගානේ කමණි එහෙම කිව්ව නම් මේව මෙච්චර දිග දුර යන එකක් නැහැ.
” මොකද්ද කමණි.. ඔයාට මාව මදිද? ඊයෙවත් කිව්ව නං”….

කාලය ගෙවෙද්දි කමණි නිවුන් දරු දෙන්නෙක් බිහි කළා. දෙන්නම කෙල්ලො. මාස තුනේ නිවාඩුවෙන් පසු කමණි රැකියාවට ගියා. බබාල බලා ගන්න කෙනෙක් හොයා ගත්ත.කමණිගෙ අම්මයි තාත්තයි දෙන්නත් ආව. කොහොම උනත් සේවිකාව වැඩි කලක් හිටියෙ නෑ. හැම තැනම හෙව්වත් , තමන්ට දරා ගන්න පුළුවන් ගානට කෙනෙක් හොයා ගන්න බැරි උනා. තිබුණු එකම විසඳුම ආරියදාසගෙ අම්ම. ඔන්න ඒ අම්මත් ආව බබාල බලා ගන්න.
ඉස්සෙල්ලම දවසෙ කට්ටියම එකට එක මේසෙට වාඩි වෙලා කෑම කෑව. බබාලගෙ විස්තර කිව්ව. දෙවෙනි දවසෙ අම්මල දෙන්න දෙපැත්තක් බලා ගෙන හිටිය. ආරියදාසගෙ අම්ම TV එකේ නාට්‍යක් බල බල ඉන්න කොට කමණි ගේ අම්ම ඇවිත් ඒක් ඕෆ් කළා. ඔන්න තුන්වන ලෝක යුද්දෙ පටන් ගත්තු හැටි.
ආරියදාස උදේ වැඩට යන්න ලෑස්ති වෙලා රේඩියෝ එක දැම්ම. බණ. බණ උනත් වෙලාවකට මහ වදයක්.
” යමක් කරන කොට හොඳට හිතා බලන්න ඕන. නැත්නම් වෙන්නෙ පසුව පසුතැවිලි වෙන්න” අපෙ හාමුදුරුවෝ බණට එහෙම වදාලා.
“ඒක නම් සම්පූර්ණ ඇත්ත” කමණිගෙ අම්මා ලොකු කතාවක් ආරම්භ කලා”
” ඇයි අක්කා අපි පවුලට එකතු උනු එක වැරැද්දක්ද?”

” අම්මේ, අම්ම ගෙදර යන්ට.. මම මොනව හරි කරන්නම්..” ඒ ජනවාරි පළවැනිදාවක්. ආරියදාසගේ අම්ම අඬ අඬා යන්න ගියා. ආරියදාස බාර් එකකට ගිහින් ලා වට ෂොට් එකකුත් දා ගෙන ගෙදර ගියා.
” අද ජනවාරි පළවැනිද..මම අපේ අම්ම දොට්ට දැම්ම. ඒ මනුස්සය ආවෙ මගේ ළමයි බලා ගන්න. මේක මගේ හිතේ හැමදාටම තියෙයි…

“ඔන්න ඔය අනන් මනන් විකාර නෙවෙයි.. මේ දරු දෙන්නට යන කලක් බලා ගන්න” එහෙම කීවෙ කමණිගෙ අම්ම.
“මම කිසි වෙනසක් කරන්නෙ නැතුව හැමෝටම එක වාගෙ සැලකුව. ඒත් මං අහගෙන මෙයා අපෙ අම්මට සැරෙන් කතා කරනව. පොඩි උන් දෙන්න ගැන හිතල මම ඉවසුව, නැත්තම් මම දෙනව එයාගෙ හොම්බ කැඩෙන්ට”
” තමුසෙ කොහොමද එහෙම කරන්නෙ ? එක එකාගෙන් ගුටි කන්න අපි ළමයි හදල නෑ”
ආරියදාසට තද උනා නහුතෙටම අර ” තමුසෙ” කතාවට.
” මේ.. අන්කල්.. ඔය අයිසෙ – තමුසෙ කතාවට නං මං ආස නෑ.. හරිද ?”
එහෙම කියන්න ආරියදාසට ශක්තියක් ආවෙ කොහෙන්ද කියල බලන්න වගේ කමණි ඇස් උඩ තියා ගත්ත.

” ඕං.. මතක තියා ගන්න.. පොඩි දුවට නං හොඳට හොයල බලල කටයුත්තක් හොයන්න ඕන. මේ වගෙ හොල්මනක් නැතුව”

ඒ ටිකත් ආරියදාසට ඇහුන.. ඒත් නෑහුන ගානටම හිටිය. ඊට එරෙහිව යමක් කීවෙ නෑ.
ඒක ගෙදරක් නෙවි කුඩා ඇනෙක්සියක්. එක කාමරයයි. තිබුණේ. තිබුණු එකම කාමරය මහ ජෝඩුවට දීල කමණි-ආරියදාස ජෝඩුව නිදා ගත්තෙ. සාලෙ. එදා රෑ.. කමණි , නිදා ගන්න ලෑස්ති උනා. කමණිගෙ අම්මා..” මෙන්න මෙහාට වෙලා නිදා ගනින්. යනව කාළකණ්ණි බෝ කරන්න”… ආරියදාස මීක් කියන්නෙ නැතිව ඔහේ අහගෙන හිටියා.
තමන්ට සලකන ආකාරය ගැන ආරියදාසගෙ හිතේ තිබුනෙ කැකෑරෙන වෛරයක්.

කාලයත් එක්ක ප්‍රශ්න යටපත් උනා. ආයෙමත් පවුල් දෙකේ උදවිය යන්න එන්න පටන් ගත්ත. කෙල්ලො දෙන්න මොන්ටිසෝරි යන වයසට ලොකු උනා. මොනව වෙනස් උනත් වෙනස් නූනෙ ආරියදාසගෙ හිතෙ තිබුනු වෛරය විතරයි.

” ඔයා මොනවද රෑට තනියම කියවන්නෙ ? ඊයෙ මං බලා ගෙන ඔයා බිත්තියට ගහනව”
” නෑ මොනවත් නෑ.. මම කෙනෙක් එක්ක හිතෙන් සටන් කරනව”

කමණි ඇහැට කණට පේන කාන්තාවක් උනත් , එයාගෙ නංගි නම් පවුලේ කවුරුවත් වගෙ නෙවෙයි. හරියටම පිට ලෑල්ලක් වගේ. එයාට මනමාලයො හොයන එක තමා ප්‍රශ්නෙ.
දවසක් කමණිගෙ නංගි ආරියදාසලගෙ ගෙදර ආවා.. එදා ආරියදාස නිවාඩුවක් දාල ළමයි
බලා ගත්ත.

කමණි උදෙන්ම වැඩට යන්න ලෑස්ති වෙලා පොඩි විහිළුවක් කළා.
“ඔන්න මං වැඩට යනවා.. ඔයයි නංගියි විතරයි ගෙදර”
” ඔයාගෙ නංගි ළඟට මං යන්න.. ? ඊට වඩා හොඳයි දොර මුල්ලට ගිහින් * පාරක් ගහනව” ආරියදාස තමන්ටම කියා ගත්ත.

දවල් කෑමෙන් පස්සෙ පොඩි උන් දෙන්න හොඳ නින්දක් ගැහුව. ආරියදාසට අමුතු අදහසක් ආව.ඒ ක්‍රෝධ ගින්නත් එක්ක ආ පවිටු චේතනාවක්. කමණිගෙ නංගි කාමරෙ.. මොකද්ද වැඩක්.. පිටු පසින් ගිය ආරියදාස ඇය තදින් බදා ගෙන තොල් සිප ගත්තෙ නෑ.. විකුව…
” ඌයි.. මේ මොකද මේ? කවදාවත් මූණවත් නොබලන මිනිහ?”
” අක්ක මොකද ? නංගි මොකද ? ඔන්න ඔහොම ඉන්නව”
විනාඩි කීපයකින් සියල්ල සන්සුන් උනා. පොඩි ඉකියක් ඇහුන.
” මම ලබන මාසෙ බඳිනව. එයා දැන ගනී.. මම මොකද කරන්නේ ?”
” තමුසෙ බය නොවී ඉන්නව.. අක්කට කියල තිබුනොත් මං හොඳ වැඩක් කරනව.. තමුසෙල දන්නෙ නෑ මගෙ හැටි”
ආරියදාසට එදා රෑ හොඳට නින්ද ගියා. ලස්සන හීන ගොඩකුත් දැක්ක.

ආරියදාසගෙ යාළුවෙක් ඉන්නව. මහ රෝහලේ ෆාමසිස්ට් කෙනෙක්. සෝමරත්න.
” මචං මාර වැඩේ”
” ඇයි ආයෙම හිටලද ?”
“උඹට නං දිවැස් තියෙනවද කොහෙද … පොඩි අත් වැරදීමක්. කෙල්ලො දෙන්නත් තාම පොඩියි. අපිට තව බබෙක් ඕන නෑ.. බැරිද මේකට මොනව හරි කරන්න ?”
” මං බෙහෙතක් ලියවල දෙන්නම්. හැබැයි මාස තුන හතරක් ගිහින් නම් අපි දෙන්නම ගස් යන වැඩක්”
කමණිගෙ නංගිගෙ මඟුල්දා , ආරියදාස අර බෙහෙත් පෙති ටිකක් දුන්න ඇයට බොන්න කියල. හරියටම හනිමූන් දා අර මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ හැදුනා. පහුවදා අළුත් මස්සිනාගේ ජයග්‍රාහි හිනාව දැක්කමආරියදාසට පස්ස පැත්තෙනුත් හිනා ගියා.
ආරියදාසට එදා රෑත් හොඳට නින්ද ගියා.

” මචං සෝමෙ..”
” ඒ පාර මොකද ?”
“නෑ බං.. එහෙම එකක් නෙවේ. අපෙ අම්මටයි , තාත්තටයි දෙන්නටම සනීප නෑ. ඩයබිටිස්. හොඳටම නැගල. මාසෙකට සැරයක් ක්ලිනික් යනව. මට නිතරම යන්න එන්නත් බෑ. උඹට බැරිද මාස දෙක තුනකට සෑහෙන්න බෙහෙත් ටිකක් දෙන්න.?”
මහගෙදර කවුරුවත් නැති නිසා ඒක කුලියට දීල කමණිගෙ අම්මයි තාත්තයි දෙන්න ආරියදාසලගෙ ගෙදර ආවා.

දැන් කාලයක ඉඳල ආරියදාස තමයි උදෙන්ම නැගිටල ගෙදර හැමෝටම තේ හදන්නෙ. එක දවසක් මාමණ්ඩිගෙ තේ එකට අර දියවැඩියා පෙති දෙක තුනක් කුඩු කරල දාන්නත් අමතක කළේ නැහැ. මේක මාස දෙක තුන විතර එක දිගට සිදු උනා.
ආරියදාස දවස ගත කළේ හරි ප්‍රබෝධයකින්.

මාමණ්ඩි දවසක් ඇද ගෙන වැටුනා. කලන්තෙ දාල. තාප්පෙ හදන්න ගෙනල්ල තිබුනු කළු ගලක ඔළුව වැදිල ලේ ටිකකුත් ආවා. සිහිය නැති උනා. ඉස්පිරිතාලෙට අරන් ගියා. ආපහු සිහිය ආවෙ නෑ. ඒක ස්වභාවික මරණයක්.
ආරියදාස අවමඟුල් කටයුත් මහත් ඕනෑකමකින් ඉටු කළා. දර සෑයට ගිනි තිබ්බෙත් ආරියදාසමයි.

ඊට අවුරුද්දකට පස්සෙ කමණි ගෙ අම්ම බාත් රූම් එකේ ලිස්සල වැටුනා.ඉස්පිරිතාලෙට අරන් ගියා. සතියක් විතර “කෝමා” එකේ හිටිය. ආපහු සිහිය ගන්න බැරි උනා. ඒකත් ස්වාභාවික මරණයක්.
කමණි -ආරියදාස යුවලගෙ නිවුන් දියණියන් දෙන්නා දැන් ලොකුයි. අවුරුදු 18 ක්. ආරියදාස මොකක් හරි සුළු දෙයක් ලොකු කරගෙන හැමදාම වගේ කමණිත් එක්කයි , දුවලත් එක්කයි රණ්ඩු කළා. බඩු මුට්ටු , පිඟන් කෝප්ප පොළොවේ ගැහුවා.
ඒත් එක් දිනක්, “තාත්තෙ , තව අවුරුදු කීයක් අපි මේව බලන්න ඕනද? තාත්තට මොකක් හරි ප්‍රශ්නයක් – අසනීපයක් තියෙනවද?”

” කමණි මම කැමතියි ඔයාගෙ යෝජනාවට. අපි දොස්තර කෙනෙක් බලන්න යමු”
මනෝ වෛද්‍ය තිලක් ප්‍රනාන්දු , ආරියදාස අවසිහියෙන් කී හැම දෙයක්ම පටිගත කළා.
මේක අවුරුදු 18 කට පමණ පෙර සිදුවූ දෙයක්. ඔහු කල්පනා කළා. අවංක රජයේ සේවකයෙක් ලෙස තම යුතුකම ඉටු කළා. ආරියදාස අත් අඩංගුවට ගැණුනා.

“මිසිස් ආරියදාස , ඔයාගෙ හස්බන්ඩ්ගෙ මේ හැසිරීමට හේතුව… එයා අතින් මිනී මැරුම් දෙකක් වෙලා තියෙන.. සෑහෙන කලකට ඉස්සර. එයා දැන් ඒකට පසුතැවිලි වෙනව. එයා නිතරම බයෙන් ඉන්නෙ. අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබුණොත් අපිට එයාව
සනීප කර ගන්න පුළුවන් වෙයි.
ඉහළ අධිකරණයේ මාස ගණනක් තිස්සේ විභාග වුනු මේ නඩුවට පුවත් පත් වලින් ලැබුණේ මහත් ප්‍රචාරයක්.

” ලංකා අධිකරණ ඉතිහාසයේ මේ වගේ දෙය සිදුවුනු ප්‍රතම වතාව මේ. කෙනෙක් බලෙන් නිද්‍රාවට පත් කරල ඔහුගේ යටි හිතට ඕනෑම දෙයක් ඇතුල් කරන්න දක්ෂ මනෝ විද්‍යාඥයෙකුට පුළුවන්. ඒ වගේමයි එහි අනෙක් පැත්තත්. කෙනෙක් මනෝ විකාරයකින් කියන දේ අධිකරණයේ සාක්ෂියක් හැටියට ගත හැකිවුවත් , කෙනෙක් වරදකරුවෙකු කිරිමට එය ශක්තිමත් මදි.උදාහරණයක් විදියට , බීමත් අයෙක් , උම්මත්තකයෙක් හෝ නින්දෙන් ඇවිදින අයෙක් කළ මිනී මැරුමකට ඔහුට හෝ ඇයට මරණ දණ්ඩණය දීම අසාධාරණයි. මොහු මානසික රෝගියෙක් බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනව. මෙය වසර 18 ක් පැරණි සිදුවීමක්. පිළිගත හැකි සාක්ෂි අද එකක්වත් නැහැ”

විනිසුරුවරයාගේ ප්‍රකාශයත් , අධිකරණ තීන්දුවත් විවාදයකට හේතු උනා. ආරියදාස නිදහස් මිනිහෙක් වුනා.

” ඔයා මට සමාවක් දෙන එකක් නැහැ?”
” අපි දෙන්නම දැන් වයසයි. මේවට මමත් වග කියන්න ඕන. මගෙ අතිනුත් ගොඩක් වැරදි උනා. ඉතිරි කාලෙවත් ලස්සනට ඉන්න බලමු”

කමණි බිඳුණු හඬින් කිව්වා.

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පොඩි හාමුදුරුවෝ


උඩුගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ”ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. උඩුගම කියන්නේ මාතලේට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළුදෙනාම පාහේ ගොඩ හා මඩ ගොවිතැනින් වේල සරි කර ගත් අහිංසකයන්. පොහොසතුන් හැටියට හිටියේ කඩේ මුදලාලිත් , ඉස්කෝලේ මහත්තයාත් , ග්‍රාම සේවක තැනත් විතරමයි.

තරමක් උස් බිමක් මත පිහිටා තිබුනු නිසා කන්දේ විහාරය කියාද , ආවාස ගෙට මදක් ඔබ්බෙන් අලියෙක් දණ ගසා සිටින විට මෙන් හැඩ හුරු කමක් ගත් විශාල ගල් කුළ මත ඝණ්ටාවක හැඩය ගත් කුඩා දාගැබත් නිසා ගලේ විහාරය කියාද කිවූ එහි වැඩ වාසය කළේ පනස් වි‍යැති යටවත්තේ ජිනරතන හිමියනුත් ඇබිත්ත කම් කළ; එහෙත් දෑසම නොපෙනෙන කිරි බංඩාත් පමණි. කොපමණ අග-හිග කම් ඇතත් සීට්ටු දානය ගම්මුන් වැරැද්දුවේ නෑ. එහෙත් ඉඳ හිට එහෙම දවසුත් නැතුවාම නොවේ.

පන්සලට අල්ලපු වත්තේ හිටියේ සීලවතියි මුතුබණ්ඩයි කෙල්ලො තුන්දෙනයි,කොල්ලයි. බොහොම අමාරුවෙන් ජීවත් උනු මේ පවුලට පන්සලවත් කිට්ටූව නොතිබ්බා නම් , මෙලාකට වලලපු තැන් වල රූස්ස ගස්.

සීලවති පන්සලේ පිටි පැත්තෙන් දං ගේ පැත්තට ගියේ කිරි බණ්ඩ ඉන්නවද බලන්න…

“සීලවතියේ .. මොකද මේ පැත්තේ… ඉඳපන් උඹට මං ඊයේ අරන් තියාපු කෑම ටිකක් ඇති…ඔහොම රවුමෙන් වරෙං මයෙ කාමරේට…”
“අනේ .. අද නං බෑ කිරි බණ්ඩයියෙ.. මට මේ පපුවෙ අමාරුවක්.. හාමුදුරුවන් ගෙන් බෙහෙත් තෙල් ටිකක් ඉල්ල ගන්නත් එක්කයි ආවෙ”..
” උඹලට ඔය රුදා නැත්තෙ කවදද කියපන්කො බලන්ට.. ඕං හාමුදුරුවො ඉස්සරහ අව්ව තපිනව..”


සීලවති මොකෝ මේ පැත්තෙ ? උඹ එන්ට එන්ටම කෙල්ල වෙනවනේ..
” අනේ අපෙ හාමුදුරුවන්ගෙ කවටකං”… මයෙ මේ පපුවෙ ඇවිලිල්ලක්.. බේත් තෙල් ටිකක්වත් ඉල්ල ගන්න කියල.”
” ඔය තෙල් ගාල හරියන්නෙ නෑ.. ඔන්න මං වත් ගෑව නං…”
” අනේ අපෙ හාමුදුරුවො කියන ඒව.. චීවරයකුත් දරාගෙන.. හතර අපායෙ පැහෙන්නට වෙයි ඔන්න..”
“ඇයි බං මං නරක දෙයක් කිව්වද ? වෙදකම වගේම හෙදකමත් තියෙන්න ඕන.”
” අපොයි.. මං නොදන්නවයැ කටේ හැටි “
” ඔං සිද්ධාර්තෙ තෙල් තියෙනව.. කිරි බංඩෙගෙන් ඉල්ල ගනිං.””


” උඹේ කොල්ල බුද්ධ පූජාවවත් ඉතුරු කරන්නෙ නෑ දැන්… කුරෝ කූඹියෝ කාල යන එකනේ කියල මාත් ඔන්න ඔහේ ඉන්නව..”
” උඹේ කොල්ල ? හනේ හැබෑට… අපේ උන්දැ කොස් ගහෙන් දෙරි ගැහුවට පස්සෙයි කොල්ල බඩට ආවෙ. හොඳ වෙලාවට ඒ අසරණය හිතුව මේක කලින් වෙච්චි දෙයක් කියල.”
” හරි.. හරී.. මං නෑ කිව්වයැ”


” අම්මේහ්.. මට ඉස්කෝලෙ යන්න බෑ..”
” ඇයි අර ?”
“කොල්ලො නම් වනම් කියනව.. පන්සල් බතා කියනව.”
” අක්කලත් අතරමග නැවතුනා. මදෑ… මං හිතුවා උඹවත් ඉගෙන ගනී කියල… ඔය නම් පටබඳින උන් ගෙන් අහපන්.. එක්කොත් ඕන නෑ මං ගිහින් කතා කරන්නම් උන්ගෙ මහ උන්ට.”


” සිරිමල් ළමයෝ… මෙහෙට වරෙන් ඩිංගිත්තකට”
” ඇයි හාන්දුරුවනේ ?”
” ඔය දොර වහල ඇවිත්.. මේං මේ තෙල් ටික මගෙ බඩේ ගාපන්.. හොඳ පොඩි එකා වගේ. නිකම් දැවිල්ලක් වගේ “
” යටි බඩේ තමයි දැවිල්ල වැඩි.. ඔං ඔය හරියෙ.. තව ටිකක් පහලට වෙන්ට..”
සිරිමල් ලොකු හාමුදුරුවන්ගෙ යම් දෙයක් දැක මවිත උනා. තෙල් ගගා හිටි අත නොදැනීම කටට ගියා.
” මට බෑ…අපෙ අප්පේ ඒකෙ ලොකු..මං ගෙදර ගිහින් කියනව.”
” ඇයි උඹටත් තියෙන්නෙ ඔය පොඩි එකක්. මං වගේ ලොකු වෙනකොට ඒකත් ලොකු වෙනව “
” ආං ඒක තව ලොකු වෙනව..”
” ඒක තමා බං ලෙඩේ… උඹ ඔය අතේ තියෙන තෙල් ටික ඒකෙත් ගාල පහලට ඇදපන්.. මං උඹට හොඳ බඩුවක් දෙනව”
“ඔය ඇඳ යට තියෙන කාඩ්බෝඩ් පෙට්ටිය ගනිං.. ඉඳා උඹට මෝටර් එකක්. බැටරි කෑල්ලක් දාපුවම ඕක වැඩකරනව.. එන වෙසක් එකට උඹට බුදු රැස් වලල්ලක් කරකවන්න පුළුවන්”

සිරිමල් ගෙ ඉහේ මලක් පිපුනා..එක හුස්මට දුවල ගිහින් ගිහින් නැවතුනේ පන්සලේ වැට අයිනේ.
”හාංදුරුවනේ .. ආයෙ කවදද තෙල් ගාන්න එන්නේ…හ්?”


සිරිමල් දංගේ පැත්තට ඇදුනේ කටේ දාගන්න දෙයක් ඇද්දැයි බලන්න. කිරි බංඩේ බුද්ධ පූජාව අයින් කරල. පාත්තරේක මොනවද තිබුන කෙහෙල් කොලේකින් වහල……ලැවරිය…අද මුදලාලිලගෙ ගෙදරින් දානෙ. එහෙන් ගේන්න ඇති. සිරිමල් එකක් කාල , තව එකක් ගත්ත අක්කලට ගෙනියන්න.
දංගෙට අල්ලපු කිරිබණ්ඩගේ කාමරෙන් මොකක්ද කසු-කුසුවක් ඇහෙනව. දොර වහල. දොරේ පැළුණු තැනකින් ටිකක් ඇහැ එබුවා සිරිමල්.
දෙයි හාංදුරුවනේ… කවුදෝ ගෑනු කෙනෙක්.. ඇඳ විට්ටමේ තිබුනු චීත්ත රෙද්ද වගේ එකක් සිරිමල්ගෙ අම්මටත් තියෙනව. ඒත් ඔය සමූපෙන් බෙදපු රෙදි. ගමේ ගෑණු වැඩි දෙනෙකුට තියෙනව ඔය චීත්තෙම.

”සීලවතී… සිලවතී….. උඹ තමයි ගෑනි.. මගෙ සරුවාංගෙම උරා ගත්ත වාගෙ”
“උඹලත් එහෙමයි.. තව කොහෙද ඇස් දෙක පේනව නම්…”
”කළුවරේ කෑව කියල බත් ගුලිය නාහෙට යනවයැ සීලවතියෝ.. ඒව නියම තැන් වලට යයි.. ”
“අනේ මන්ද .. මට තව බඩක් නම් හදන්න එපා. පන්සලේ ළිඳටම පැනල මැරෙනව”
“උඹ බය නොවී හිටින්.. ඔය වැට දිගට තියෙන්නෙ අන්නාසි ගැට.. සතකුප්ප.. බැරි උනොත් මං අපෙ හාංදුරුවන්ට කියල බෙහෙතක් හදවල දෙන්නං”


”අපෙ හාමුදුරුවනේ… මං අපෙ එක්කෙනාගෙනුත් ඇහුවා. කොල්ලත් කැමතියි..සිරිමල් කැමතියි මහණ වෙන්න”
”එහෙම මහණ වෙන්න බෑ ආවට – ගියාට.. ඒකට පින තියෙන්න ඕන.. මේ වගේ කෑම බීම ටික දෙපතුල ළඟට වැටෙන්න කොච්චර පින් කරල තියෙන්න ඕනද කියල උඹ හිතන්නේ?.. කොල්ලගෙ කේන්දරේ අරන් වරෙන් බලන්න”


සිරිමල් පන්සලේ පදිංචියට ආවා. පන්සලේ තිබුණු පොඩි පොඩි වැඩ සිරිමල්ට කරන්න නියම උනා.

“කිරි බණ්ඩ සීයෙ.. මට බඩගිනියි.. කන්ට මොනවත් නැද්ද ?”
”සීයා… ? මට සීය කියන්ට එපා .. උඹලෑ තාත්තයි මායි එකට දණ ගෑවෙ ඔය පීල්ලෑවෙ.. ඇත්තම කියනවා නං උඹලෑ තාත්තට වඩා මං මාස දෙකක් බාලයි.. ….මාමා කියාපන්.”
”ඔය පෙට්ටියේ ඇති අළුවා වගයක්.. එකක් කාල අම්මටත් ගිහින් දීල වරෙන්”

ඔහොම අවුරුද්දක් හමාරක් විතර යන්න ඇති. එක් වාසනාවන්ත දවසක, දෙනෝ දාහක් ඉදිරියේ , ”ඕකාස අහං භන්තෙ… පබ්බජ්ජං යාචාමි…” සිරිමල් ගෙ හිස මුඩු උනා. රත්නායක මුදියන්සේලාගෙ සිරිමල් බණ්ඩාර, උඩුගම සීලානන්ද නමින් සාසනේ පැවිදි උනා.
සීලානන්ද හාමුදුරුවෝ ඔලුව උස්සල අවට බැලුවෙ ටිකක් ලැජ්ජාවෙන් ඒත් ආඩම්බරයෙන්. මට දැන් හරක් පස්සෙ දුවන්න ඕන නෑ. කොල්ලන්ගෙන් ටොකු කන්න ඕන නෑ.. උන්නාන්සේට තව ටිකක් ඉහළයි , කඩේ මුදලාලිත් , ඉස්කෝලේ මහත්තයත් තමන්ට දණ නමස්කාර කරන කොට.

ඒත් ටිකක් රෑ බෝ වී ගෙන එනකොට ලොකු භයංකර හැඟීමක් සීලානන්ද පොඩි හාමුදුරුවන්ගෙ හිතට ඇතුළු උනා.


”අපෙ හාංදුරුවනේ.. අර පොඩි උන්නාන්සෙ අඬ අඬා ඉන්නෙ ?… උණත් ටිකක් තියෙනව.. කක්කුස්සි යන්ට බැරිලු.. මළ පහ වෙන තැනින් ලේ පිට වෙනවළු.. දැවිල්ලලු”
” කූඬැල්ලෙක්වත් කාල වෙන්ටෑ.. මං බලන්නම්… උඹ ගිහින් කෝපි දළු මිටක් කොටා ගෙන වරෙන්”


”මොකෝ උන්නාන්සෙ?..”
“මොකෝ තමයි…”
”මේං මේ බේත ඔය ලේ පිට වෙන තැන තියා ගත්තනම්.. දවස් දෙකක් දියර අහර විතරයි…”

පොඩි හාමුදුරුවො තමන්ටත් වඩා උස කළු කුඩයකුත් අරන් දෙපයට බාටා දෙකකුත් දාගෙන පිරිවෙනට ගියා ඉගෙන ගන්න. උන් වහන්සේ ඉගෙන ගන්න දස්සය.


සීලානන්ද හාමුදුරුවො ඉගෙන ගන්න දස්සය. පේරාදෙණිය විශ්ව විද්‍යාලෙන් විශේෂ සාමාර්තයකුත් එක්ක උපාධිය සමර්ත උනා. ගම්මු තමන්ට වඩා පොඩි හාමුදුරුවන්ට සැලකිල්ලක් දක්වන්ට වීම , යටවත්තේ ජිනරතන හාමුදුරුවන්ට නම් එච්චර හොඳ දෙයක් වුනේ නෑ. ඒ විතරක් නෙවි පොඩි හාමුදුරුවෝ මිහිරි හඬින් මුල – මැද – අග ගලපල බණ කියන්නත් දස්සය.
ඔය අතර වාරෙ තමයි තවත් හාමුදුරු නමක් පන්සලට පදිංචියට ආවෙ. ඒ ලොකු හාමුදුරුවන්ගෙ නෑ කමට ඥාති පුත්‍රයෙක්. යටවර උත්තරානන්ද.

උඩුගම සීලානන්ද හාමුදුරුවොත් , යටවර උත්තරානන්ද හාමුදුරුවොත් සාමදානෙන් පන්සලේ වැඩ කටයුතු කර ගෙන ගියා..

” සීලානන්ද , ඔය කාමරවල යතුරු කැරැල්ල උත්තරානන්දට දෙන්න. සීලානන්දට දැන් වැඩත් වැඩියි නේ.. ඒකයි.”

උත්තරානන්ද හාමුදුරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සීලානන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්ට වැඩි දවසක් ගියේ නැහැ. ඔන්න ඔය දවස් වලයි ලොකු හාමුදුරුවෝ පිටරට පන්සලකට තැපෑලෙන් යැවූ ගුවන් තැපැල් ලියුමක් ආපහු ආවෙ.
”අපෙ හාන්දුන්නේ… මේකට අඩුවෙන් මුද්දර ගහල තියෙන්නේ.. ඒකයි රිටන් ආවෙ..” ඒ ලියුම් බෙදන්නා.
මම ඕකට මුද්දර ගහල ආපහු දාන්නද ?”
ලොකු හාමුදුරුවන්ට ඉංග්‍රීසි බෑ. ලිපිනය ලියා ඇත්තේ උත්තරානන්ද. මොකක්ද මේ ඇමරිකාවෙ පන්සලක් එක්ක තියෙන ගනු දෙනුව.
”නෑ.. මමත් යනව ටවුමට . මමම තැපැල් කරන්නම්”

සීලානන්ද හාමුදුරුවෝ ලියුම පරිස්සමට විවෘත කළා. ලියුම ලියා තිබුනේ ලොකු හාමුදුරුවෝ. ලිපිය කියවූ සීලානන්ද හිමියන්ගේ දෙකන්සෙන් ගින්දර පිට උනා. දත් මිටි කැවුනා.
”කිරි බණ්ඩ මාමෙ… දැක්කද මූ කරන්ට යන දහ පදුරා වැඩේ. මගෙන් දස බලු වැඩ අරන්.. මට දස වධ දීල , පන්සල මට දෙනව කියල… දැක්කද මේ ලියුම ?”
” මට පේන එකක්යැ”
(“පොට්ට හුත්ත “)
”මයෙ ඇස් විතරයි පොට්ට. කන් පොට්ට නෑ. අපෙ හාමුදුරුවෝ ඔය වචනෙ මීට ඉස්සරත් මට කියල තියෙනව. නිකං පවු පුරෝ ගන්ට එපා… තරහක් තියෙනවා නං හිමීට කතා කරමු.. තරහ අඩු උනාම”
”මේ යකා ඇමරිකාවෙ ඉන්න හාමුදුරු කෙනෙකුට මේ ලියුම යවල තියෙන්නේ. මුද්දර අඩුවෙන් ගහල.. ඒකයි ලියුම ආපහු ආවෙ.. හොඳ වෙලාවට මම මේක කැඩුවෙ… ඕං අහගන්ට එහෙනං.. ….මුගෙ අම්මට…………
….-ශ්‍රී ජිනරතනාරාමය ,
උඩුගම, ශ්‍රී ලංකාව.
එක්වා දහස් නමසිය අනූවේ සැප්තෑම්බර මස පස් වන බුද දින..
තිසරණාධාර වේවා.. අප හිතවත් නායක හාමුදුරුවන් වහන්සේ වෙත නමස්කාර පූර්වකව ලියමි… මෙම ලිපිය ලියන්නේ ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙන්ය. දැනට මෙහි වාසය කරන යටවර උත්තරානන්ද පොඩි හාමුදුරුවෝ නෑ කමට මගේ ඥාති පුත්‍රයෙකි.උපාධිදාරියෙක්ය. මතු දිනෙක මෙම පන්සලේ භාරකාරත්වයද පැවරීමට ඉටා ගෙන සිටිමි. වැඩි දුර අධ්‍යාපනය සඳහා ඔය රටට ගෙන්වා ගැනීමට ඇවැසි කටයුතු සම්පාදනය කරන මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමි. බර පැන දැරීමට මා සූදානම්ය.

මීට හිතවත් , යටවත්තේ ජිනරතන

”මට ඔබ වහන්සේ වෙනුවෙන් කරන්ට බැරි දෙයක් නෑ. ඔබ වහන්සේට තියෙන දැනුමෙන් දූවිල්ලක් තරමවත් මා දන්නේ නෑ. මොළේ කල්පනා කරල සීරුවෙන් වැඩ කරන්න. මං මෙයාට දෙන්නම් මාස තුනෙන් අපවත් වෙන්ට බේත.

ඇමරිකාවට ලියුමක් යන්න සති දෙකක් යනව. උත්තර එන්නත් තව සති දෙකක්. සීලානන්ද හිමියන් අර ලියුම නියමිත මුද්දර ගාස්තුව ගෙවා නැවත තැපැල් කළා. ඊට පෙර යටවර උත්තරානන්ද කියන එක සියුම්ව ඉවත් කරල ඒ වෙනුවට තමන්ගේ නම යොදන්නටද අමතක කළේ නැහැ.

සීලානන්ද හිමියන්ට කීප වතාවක් කොළඹ යන්න සිදු උනා. සියල්ල සිතූ පරිදි සිදු උනා. ඇමරිකාවට යාමට සියළු ලියකියවිලි උඩුගම සීලානන්ද හිමියන් නමට රහසේම පත් උනා.

සීලානන්ද පොඩි හාමදුරුවෝ හිටි ගමන් අතුරුදන් උනා.

”උඹ කලබල වෙන්න එපා.. සීලවතියේ.. උන් වහන්සේ ඉන්න තැන දන්නෙ මං විතරයි දන්නෙ… මං උඹටවත් කියන්නේ නෑ.. ඒව රහස්.. ගෑණුන්ට කවුද බං රහස් කියන්නෙ… උඹල මොකුත් නොදන්න ගානට හිටපන්. වෙලාව ආවම මම කියන්නම්. උන් වහන්සේ හොඳින් ඉන්නවා.. කට පරිස්සං කර ගනින්…”

ඔය අතර වාරෙ ලොකු හාමුදුරුවෝ හදිසියේම තද බල ලෙස රෝගාතුර උනා. සමහර විට වැරදීමකින් හෝ කිරි බණ්ඩා අතින් උන් වහන්සේගේ ගිලන්පස එකට කබර තෙල් බින්දුවක් , දෙකක් වැටුනද කියන්න බෑ.

ඇමරිකාවේ නිව්යෝර්ක් හි ලංකාරාමයේදී සීලානන්ද හිමියන්ට මුණ ගැහුනා නිමල් තිලකරත්න කියල හරි හොඳ මහත්තයෙක්.
” මහත්තයෝ.. මට උපකාරයක් අවශ්‍යයි.. මට මගේ පවුල ගොඩ ගන්ට ඕනෑ. මගේ අම්ම දුක විඳිනව. කසාද බඳින වයසේ අක්කල තුන් දෙනෙක් ඉන්නව. ඒ අය දුක් විඳිද්දී මට තනියම සසරෙන් එතෙර වෙන්න බෑ… මං සිවුරු අරිනවා… මට රස්සාවක් කරන්න ඕන..”

” මං ඒක අනුමත කරන්නේ නම් නෑ.. ඒත් මම උදවු කරන්නම්.. මට තේරෙනව…. මම නවතින්න තැනක් හොයල දෙන්නම්.. මම දන්න ඉරාන කාරයෙකුගේ ලිකර් ෂොප් එකක රස්සාවක් තියෙනවා. සුමාන දෙකක් විතර පුරුදු වෙන්න වෙයි.”

සීලානන්ද හිමියෝ අඳනය , සිවුර ඇඳ උඩ දිග ඇරල , අතින් රැලි පිරි මැදල පොතක් වගේ ලස්සනට නමල.. නළල උඩ තියා ගත්තා. ඊට පස්සෙ ඇඬුම් බරව ආයෙත් එය සිඹ නිමල් තිලකරත්න මහත්තයෙගෙ අල්මාරියේ පැත්තක තැන්පත් කළා..

“මෙහේ උන්ට නම් ගානක් නෑ. අපේ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ …? සිවුරේ හිටි කෙනෙක් කියල දැනගත්තොත් සැලකිල්ල අඩුවෙයි. මේ රහස මගෙන් පිට වෙන්නේ නෑ. ටිකක් ඔය පිළිවෙළ වෙනස් කරන්න. හැමෝටම නෝනා.. මහත්තයා.. කියන්න එපා. නම කියල කතා කරන්න.. ටික දවසක් යනකොට සේරම හරි යයි”

තරමක් කලබල සහිත වීදියක කෙළවරේ ප්‍රේමක්කගෙ ගෙදර තිබුනේ. එහේ හිටියේ එයයි , එයාගෙ මහත්තයයි.. එකම දුව ශ්‍රියානියි , තව බෝඩිම් කාරයෙකුයි.. ගෙදර පිටින් නම් එතරම් ආටෝප නැති උනාට ඇතුළ හොඳයි, සායි බාබා අදහන බෞද්ධයන්. . ඒ තමයි සිරිමල්ගෙ නවාතැන.
ගෙදර හැමෝම වැඩට ගියා. එහෙමත් දවසක තමයි කට්ටිය එකට මුණ ගැහෙන්නෙ. කෙනෙක් රෑ වැඩ. දවල්ට නිදි. දවල් වැඩ අය රෑට නිදි. සෙනසුරාදා – ඉරිද කියලවත් වෙනසක් නෑ.

සිරිමල් දවස් පහක් වැඩ කළා. කොමියුනිටි කොලේජ් එකට බැඳිල ඉංග්‍රීසි හා නර්සිං කෝස් එකකුත් කළා . නර්ස්ලට මෙහෙ හොඳට ගෙවනවා.

ප්‍රේමක්කගෙ හිත ඉක්මණටම සිරිමල් කෙරෙහි පැහැදුනා.. එයාගේ සන්සුන් ගති පැවතුම් නිසා.
”මං සිරිමල් ගෙන් අහන්නමයි හිටියෙ.. මං හොඳ තැන්පත් කෙනෙක් හොයනව අපේ දුවට.. සිරිමල් කැමති නම්.. ඔයා ගේ ගොඩක් ප්‍රශ්න විසඳෙයි. අවුරුද්දක් ඇතුළත ග්‍රීන් කාඩ් හදා ගන්න පුළුවන්. ”
සාලෙ පරණ පින්තූරයක් එල්ලල තිබුණ . ඒ වප් මගුල. එදා තමා බමුණන් කාල වාක්‍ය කීවේ සුදොවුන් රජතුමාට..” ඔබේ පුතා ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙයි.. මහණ වුනොත් බුදු වෙයි” කියල
අනාරාධනාත්මකවම තම දෙපතුළ ළඟට එන මේ වාසනාව කුමක්දැයි සිරිමල් විපිළිසර උනා.
ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිරිමල් – ශ්‍රියානි විවා මඟුල සිදු උනා. ශ්‍රියානි නමට තිබූ අපාර්ට්මන්ට් එකකකට නව යුවළ පදිංචියට ගියා.
රස්නෙ කාලවල් , ශීත කාලවල් කීපයක්ම ගෙවී ඉවර උනා.

සිරිමල් නමට ලංකාවෙන් ලිපියක්. එවා තිබුණේ පන්සලේ කිරිබණ්ඩා මාමා.

තෙරුවන් බෙලෙන් සැප ලැබේවා,
පොඩි හාමුදුරුවන් වෙත ඉතා හදිසියෙන්ය , ලොකු හාමුදුරුවෝ හදිසියේ අපවත් උනා. උත්තරානන්ද හාමුදුරුවොත් ආ ගිය අතක් නෑ. වහාම පැමිණ පන්සලේ බාරකාරත්වය ගන්න.
මේ වගට හිතයිසී , කිරි බණ්ඩා….

”මිස්ටර් තිලකරත්න… මම අර දවසක් අරන් තිබ්බ ඇඳුම් පාර්සලේ තවම තියෙනවද ?”
“අර මොකෝ.. ආයෙම ගිහිගේ එපා වෙලාද ?”
” නෑ මම ලංකාවට යනව. ආ විදියටම යන්න ඕන. නැත්නම් ප්‍රශ්න ගොඩයි”

”ඔයා ඉක්මණටම ආපහු එනව නේද ? මටත් එන්න තිබුන… ඒත් දැන්මම දුර ගමන් හොඳ නෑ”
චන්න ඇමතිය , කන්තක අසුත් සමඟ එළියේ බලන් ඉන්නව. හඳ ලොකුවට රවුමට පායල තිබුන. යශෝධරා , අළුත උපන් කුමරා තුරුල් කර ගෙන නිදි.. එහෙම පින්තූරෙකුත් සාලෙ එල්ලල තිබුන.

” නෑ… එහෙම නං මම ගමන කල් දානව……” සිරිමල් තීරණාත්මකව කිව්ව.

ඉවරයි.

Posted in Uncategorized | ප්‍රතිචාර 4

සුදු බෑණා


උග්‍ර ජාතිවාදියෙක් හා උග්‍ර ආගම්වාදියෙක් වන මගේ බලාපොරොත්තුව වූයේ මගේ දියණිය කවදා හෝ විවා විය යුත්තේ KGB කාරයෙක් සමඟ පමණක් බවය.

KGB යනු Kandy-Govi-Buddhist ය.
ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු මෙම බලාපොරොත්තුව ක්‍රමයෙන් පටු වන්නට විය.
ලංකාවේ ( අපේ කාලයේ නම් ) කෙල්ලක් අවුරුදු 25 වන විට සහ කොල්ලෙක් නම් අවුරුදු 30 වන විට ආවාහ – විවාහ කටයුතු නිමා කර තිබිය යුතුය.


ඉතා කුඩා කාලයේදීම ඇමරිකාවට සංක්‍රමණය වූ මගේ දියණිය මෙහිම පාසැල් ගොස්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කර, රැකියාවක් කරන , මෙහේ තාලයටම නිදහසේ හැදුනු වැඩුනු, රූප සම්පත්තියෙන්ද අඩුවක් නැති, වෙනත් විශේෂ දක්ෂතා රැසක්ද ඇත්තියකි.
ඇය ලංකාවේ කොල්ලන්ට කැමති නැත. ඒ උන්ගේ කතා විලාශය අමුතු නිසාය. උන් පාටි වලදී හොඳට බොයි. එකිනෙකා බදා ගැනීම,සිප ගැනීම වැනි විකාර ක්‍රියා කරයි. අඬයි. ඕනෑ දේටත් එපා දේටත් හඬ නගා සිනාසෙයි.පන්සල් යයි. සිල් සමාදන් වෙයි. කෙලින් මුහුණ බලා කතා කරනවා වෙනුවට පපුව දිහා බලා ගෙන කතා කරයි.

අපිට 100% ක් අංග සම්පූර්ණ ගෑණු හෝ පිරිමි හොයන්න බෑ. එහෙම අය ඇත්තෙත් නෑ. ඔයා උනත් 100% ක් perfect නෑ.- ඒ මගේ තර්කයයි.
ඔයාට දැන් 26 යි. ඔයා කරන්න ඕන 75%ක් perfect කෙනෙක් හොයා ගෙන ඉතිරි 25% ට අනුව ඔයාට වෙනස් වෙන එකයි. ඔයාට 30 වන තුරු කෙනෙක් හොයා ගන්න බැරි උනොත් 40 ක කොල්ලෙක් තමා . ඒත් 75% perfect නැතිවෙයි 50%ක කෙනෙක් තමා. ඔයාගෙ වයස යන්න යන්න මේ ඉලක්කම් දරුණු විදියට ඉහල පහල යයි.


මගේ KGB සිහිනය කෙමෙන් බොඳ වී යයි. එහෙම උන් මෙහේ හොයන්න අමාරුය. එකෙක් බොහොම අමාරුවෙන් හොයා ගත්තා. ඒත් ඌ , උගේ අම්මගෙ පුතෙකි.
1 වන date එකට ආවේ උගේ අම්මත් එක්කයි. කොල්ලගේ මහ එවුන් අප දන්නා අඳුනන කියන්න වරදක් නැති අයවළුන්ය. දෙන්නට දෙන්න නිදහසේ මුණ ගැසී කෙලින් කතා බහ කර ගැනීමට date එකක් යොදා ගැණිනි. ඒ මුහුද අද්දර පිහිටි රෙස්ටොරන්ට් එකකය. ළඟකදී වුනු රිය අනතුරක් නිසා කොල්ලා රිය පදවන්නේ නැත. කොල්ලාගේ මව කොල්ලාගේද මගේ දියණියගේද මුහුණු සිඹ ” දෙන්නටම good-luck ” කියා , පුතා ගොඩක් රෑ වෙන්න එපා. මට කෝල් කරන්න.. මම ඔයාව pick කරන්න එන්නම් කියා යන්නට ගියාය.
මගේ දියණියගේ තීරණය අනුමාන කිරීම ඔබට බාරය.
මොකෙක් හරි කමක් නෑ. කොල්ලෙක්. හැබැයි මුස්ලිම් නොවන. මගේ බලාපොරොත්තු තවත් පටු විය.
සුදු බෑණා අපේ නිවසට ආවේ එහෙමය. බැලූ බැල්මට වරදක් නැත. හොඳ උස මහත, උගත්.. රැකියාවක් ඇති.. උන්ට කොහෙන්ද කුල මල?
මගේ දියණිය ඔහුට අතින් කෑමට පුරුදු කර ඇත. ඉහින් කණින් දාඩිය පෙරා ගෙන, අතේ මැණික් කටුව දක්වාම ඉඳුල් ගා ගෙන delicious කියමින් කෑම පිඟානත් එක්ක පොර බදන මගේ වෙන්ඩ බෑණා ගැන මට අනුකම්පාවක් ඇති විය.
සුද්දන් හොඳය. කෙලින් කතා කරයි. කියන්ට ඇති දේ මූණටම කියා දමයි.
අම්මා කවුද ? තාත්තා කවුද ? සීයා කවුද? කරන රස්සාවල් මොනවද ? ඉන්නේ කුලියටද ? උන්ට ඒවායේ වගේ වගක් නැත. දෑවැද්ද ගැන , සුදු රෙද්දේ රතු පැල්ලම් ගැන උන්ට වැඩක් නැත.
උඩු කයට කිසිවක් නෑඳ, සරම් කෙටියක් පමණක් ඇඳ දවස ගෙවන මම, සුදු බෑණා එන දවසට T-shirt එකක්, බාච්චු කොට කළිසමක් හෝ දිග කළිසමක් ඇඳීමටත්, කොණ්ඩා හා රවුලු කපා පිළිවෙලකට ඉන්නටත් පුරුදු වූයෙමි. මගේ බෑණා සුද්දෙක් නිසා මාද සුද්දෙක් විදියට හිතන්නට ඕනෑය.
මස් මාංශ වලින් වැලකී සිටින මම BBQ ග්‍රිල් එකක් මිළදී ගෙන එහි බඩ ඉරිඟු, ලොකු ලූණු, ඇස්පැරගස්, හතු පුළුස්සා කෑමට පටන් ගතිමි. සුද්දෙක් වෙන්නේ එහෙමය.
සුදු බෑණා සමඟ ගමනක් යන විට මට ඉතා විශාල ශරීරයක් ඇති බව දැනේ. මා කාටවත් බිය විය යුතු නැත. මට මහත් ආරක්ෂාවක් දැනේ. කල්ලෙක් ( කලු ජාතිකයෙක්) හෝ මැක්කෙක් (මැක්සිකානුවෙක්) මට පාට් නොදමනු ඇත.
සුදු බෑණා සමඟ shopping කිරීමද පහසුය. ඔහුට අවශ්‍ය දේ ඔහු මිළදී ගනී. මගේ දියණිය, ඇයට අවශ්‍ය දේ මිළදී ගනී. දෙදෙනා වෙන වෙනම මුදල් ගෙවයි. එකට කෑවට මොකෝ බොක්ක වෙනස්ය.
සුදු බෑණා සමඟ විනෝද ගමන් යාමද ඉතා පහසුය. දින දෙකේ කෙටි විනෝද ගමනක් යාමට මගේ බිරිඳට ලොරි බාගයක්වත් අවශ්‍ය වේ. rice cooker එක.. හිරමණයෙන් ගාන ලද පොල්. හාල් බෑග් එක, එළවලු, ලුණු මිරිස් තුනපහ යනාදිය. මොටෙල් එකක එකම කාමරයක් වෙන් කරවා ගෙන වරකට දෙන්නා බැගින් හොරෙන් ඇතුළු වී එක ගොඩේ වැටී නිදියා ගත්තත්, සුදු බෑණාට privacy එක අවශ්‍යය. අප වෙන වෙනම හෝටල් කාමර වෙන් කරවා ගන්නට පුරුදු උනේ එහෙමය.
ඇඳුමක් දෙකක් පිටේ එල්ලා ගෙන යන බෑග් එකේ දමා ගෙන වතුර බෝතලයක් පමණක් රැගෙන විනෝද ගමන් යන සුදු බෑණාගේ වැඩ සරලය. හිතට බරක් නැත. හැබැයි එකා දෙන්න උනාම නම් මේ පිළිවෙල ටිකක් වෙනස් වනු ඇත. ඇත්තටම මගෙ මුණුබුරා හෝ මිණිපිරිය කවුරු වගේ වනු ඇද්ද ? සුදු හම , නිල් ඇස් සහ තඹ පාට කොණ්ඩය ? එහෙම නැත්නම් දුඹුරු හම , කළු ඇස් සහ කළු කොණ්ඩය ? කොහොම උනාම මොකද ? උන්ට නම් තැබීමට අහුබුදුවන් සොයා යාමට අවශ්‍ය නොවනු ඇත. නෙතුලි- මෙතුනි-සියුම්- දැහැමි වගේ අච්චාරු නම් වෙනුවට
කොල්ලෙක් නම් ඩේවිඩ් , මාටින් , විලියම් කියාද,
කෙල්ලක් නම් සිල්වියා- ඔලිවියා මේරි-වයලට් කියාද නම් තැබිය හැක.
සුද්දන්ගේ වැඩ ඉතා සරලය. කෙටිය. පහසුය.
උන්ගේ නව දිවිය බොහෝ කලක් අල්ලන් යන්නට ලැබේවා. ඒත් එක්කම මගේ බලාපොරොත්තුද ඉටු වේවා යයි ද කියා ප්‍රාර්තනය කරමි.

Posted in Uncategorized | ප්‍රතිචාර 8

මොඩර්න් චතුරාර්ය සත්‍යය


1 ඩොලර්
2 ඩොලර් ඇති වන හැටි
3 ඩොලර් නැතිවීමට හේතු
4 ඩොලර් රැස් කර ගන්නා ආකාරය


1 ඩොලර්
මගේ මව් පස හෝ පිය පස කිසිවෙක් උපන් රටින් පිටට අඩියක් තබා නැත. අඩුතරමින් දඹදිව වන්දනා කිරීමටවත් , සාරි බිස්නස් කිරීමට මැඩ්රාසයටවත්. තරුණයෙකු වන තුරුම කිසිම විදේශීය මුදලක් අත ගා නැත.

For a few dollars more . කව් බෝයි චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වී සිටි කාලයේ ඒ චිත්‍රපටය නැරඹීමෙන්ද , ඒ අනුසාරයෙන් මගේ ප්‍රියතම කතා කරු ඩීමන් ආනන්දයන් විසින් ලියන ලද එම කුඩා පොත් පිංච කියවීමෙන්ද ඩොලරය ගැන දැන ගතිමි.
මුල්ම ඩොලරය තඹ හා නිකල් ලෝහ මිශ්‍ර කර සෑදූ ග්‍රෑම් 25 ක් පමණ බර කාසියකි.
මලලසේකර ශබ්දකෝෂයට අනුව ඩොලරයක වටිනාකම රුපියල් 5 කි. ඇමරිකාව ඇරුනු කොට කැනඩාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ තවත් රටවල් කීපයක මුදල් ඒකකය ඩොලර්ය. අප අද කරන්නේ ඇමරිකන් ඩොලරය ගැනයි.

2 ඩොලර් ඇති වන හැටි
තම රටේ තම භූමියේ ඇතිවන දේ සහ තම රටේ නිපදවිය හැකි දෑ ඇමරිකාවට විකිණීමෙන් අපට ඩොලර් හිමිවේ.
උදා: අප රුපියල් ලක්ෂයක් වටිනා නිමි ඇඳුම් ඇමරිකාවට පැටවූ විට , ඇමරිකාව එය භාර ගෙන , රුපියල් ලක්ෂය ඩොලර් වලට පරිවර්තනය කර උන් ළඟ ඇති පොතක ඒ බව සටහන් කර ගනී. අද 2022 මාර්තු 30 දින ඇමරිකන් ඩොලරය රුපියල් 298 කි. මෙම පොත ගිණුම කියා හඳුන්වා එහි දකුණු අත පැත්තේ එනම් බැර පැත්තේ 335 ක් ලකුණු කරයි.අපි ඊ ළඟට රුපියල් ලක්ෂයක් වටිනා තේ තොගයක් ඇමරිකාවට පටවා අද රේට් එක අනුව අර ගිණුමේම බැර පැත්තේ තවත් 335 ක් ලකණු කර ගනිමු. දැන් එකතුව 670 කි.
අන්න ඩොලර්. අපිට අයිති සල්ලි එනම් අපේ විදේශ සංචිත ඩොලර් 670ක් ඇමරිකාවේ ඇත.

වරාය කටයුතු භාර ගරු අමාත්‍ය ධුරන්දර රෝහිත මැතිතුමා කියන විදියට අපට නැව් වල පටවා අපට අයිති ඩොලර් එවන්නේ නැත. එය පොත් සටහනක් පමණි.

3 ඩොලර් නැතිවන හැටි.

අපි ඇමරිකාවට කතා කරල කියනවා උඹල ගාව තියන අපට අයත් සල්ලි වලින් ඩොලර් 200 ක් වටිනා බෙහෙත් ටිකක් එවාපන්ය කියා. ඇමරිකන්කාරයා අර පොතෙන් 200 ක් අඩු කරනවා හෙවත් වම් පැත්තේ නොහොත් හර පැත්තේ 200 ක් ලියනවා.
අපට දැන් විදේශ සංචිත 370 ක් තියෙනවා ( 670 – 200 )
අප්පට සිරි.. 6 න් 2 ක් ගියාම 4 යි නේ. අපට තියෙනවා විදේශ සංචිත 470 ක්.ඉස්සර තිබුණා විනිමය කටයුතු කොමිසමක්. ඉස්සර හිටියා විනිමය පාලකවරයෙක්. දැන් එහෙම ඒවා තියෙනවාද කියා නොදනී. අපි පිට රටකට සංචාරයකට හෝ ශිෂ්‍යත්වයකට යන කොට අප අරන් යන මුදල් මේ විනිමය පාලකවරයා ලවා අනුමත කර ගත යුතුය. ඔහු දන්නවා යම් දිනක අප සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ටක්කෙට කියන්ට.
1977 බලයට ආපු JR ආර්තිකය ඇරල දැම්ම අර මොකද්ද එක වගේ. කොල්ලයි බල්ලයි හැම එකාම පිට රට දේ මෙහි ඇද්දා. ආනයන කරන්න පටන් ගත්තා ඕනෑ දේයි එපා දේයි. ඒ අර 470 න් . මම මේ ළඟදී දැන ගත්තේ බෝතල් කරන ලද වතුරත් ආනයනය කළා කියල. මේ තරමින්වත් රට දුවන එක පුදුමයක්.

4 ඩොලර් රැස් කර ගන්නා ආකාරය.
ලංකාවේ වගා කරන්න පුළුවන් දේ සහ වැවෙන දේ ආනයන කිරීම වහාම තහනම් කළ යුතුය. ලංකාවේ නිපදවිය හැකි දේ ආනයන කිරීම වහාම නැවැත්විය යුතුය. රට බඩු තමා හොඳම බඩු යන ආකල්පය මිනිසුන් කෙරෙන් අතු ගා දැමිය යුතුය.
ලංකාවේ මිනිස්සු මහ වස කම්මැලි ජාතියක්. මීට වසර 75 කට පෙර විජාතික හාමුදුරු නමක් “ඇස් ගෙඩි වලට හෙණ ගහල සිහලුන්ගේ ” කියා ඇසුවේ ඒකයි.
ලාංකිකයා විශේෂයෙන් සිංහලයා ලොකු බත් පිඟානක් සහ කෙටි පාරවල් සොයන්නෙක්. පොඩි උන් බට පතුරු වලින් හදන සරුංගලයත් , වෙසක් කූඩුවත් චීනෙන් ආනයන කළා ඒ අර 470 වගේම චීනය සතුව තිබූ අපේ සංචිත වලින්.
දැන් කොහොමද ? දැන් සැපද…. ?

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ගූ කතා ගොඩක්


අද ගූ කතා ලියන්න හිතුනේ මාධ්‍යවේදී චමුදිතට ගූ ගැසූ නිසාම නොව , මගේ නිවස අසල නිවසට අලුතින් ආ කෙනෙකුගේ නාම පුවරුව දැකීම නිසාය.
Julio Gu ඔහුගේ නමයි.
ගු ගේ නම දුටු විට මගේ සිත ඈත අතීතයට ඇදී ගිහින් නතර විය.

මට සිංහළ ඉගැන්වූ මඩදෙණිය ගුරුතුමා නියම ගුරු පියෙකි. මල – මළ වෙනස ඉගැන්වීමට ඔහු පීරියඩ් එකෙන් අඩක්ම වැය කළේය.
සද්දෙ එක වගේ උනාට දෙක සම්පූර්ණයෙන්ම වෙනස්.
අරලිය මල , රෝස මල
මළ ගෙදර, මළ පහ කිරීම, මළ කඩ..

මල පියකරු දෙයක් වුවද , මළ යනු මැරුණු අර්තයයයි. යකඩයක් වාතයට – ලවණ වලට නිරාවර්ණය වීමෙන් එහි මතුපිට මිය යයි. හෙවත් මළකඩ කයි. මිනිසෙක් මැරුණු පසු ඒ ගෙදර මළ ගෙදරයි.
අප මුඛයෙන් ගන්නා ආහාර අන්න ශ්‍රෝතය හරහා ආමාශයට ගොස් නොයෙක් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වී කුඩා බඩවැල් වලදී පෝෂ්‍ය කොටස් ශරීරයට උරා ගැණීමෙන් පසුව ඉතිරිය වකුගඩු මගින් පෙරී මළ කොටස ශරීරයෙන් පිට කරයි. මේ මළ සිංහලේ “ගූ” කියා හැඳින්වේ.

ව්‍යවහාර කෙරෙනවා යන්න වැහැරෙනවා කියන්න පුළුවන් නම්
බැහැර කෙරෙනවා යන්න බැහැරෙනවා කියන්න නොහැකිද?

මළපහ කිරීමට ගැමියන් කියන්නේ රෙනවා කියාය. එය බැහැර කෙරෙනවා- බැහැරෙනවා යන වදන් වලින් නිර්මාණය වී ඇත.එසේම “Renal” යන්න වකුගඩු සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක වචනයකි. උදා Renal Failure. මළ ද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ වකුගඩු මගින් නිසා Renal යන වචනයද රෙන වචනය සෑදීමට උදව් වී ඇත.

නිදහස් වෙළඳ කලාපේ රැකියාවකට හම්බන්තොට පිටිසර ගමකින් ආ ලාලනී ඉතා ලස්සනය, ඇයට තිබුණේ ගැමි පෙනුමක් මුසු වූ ප්‍රංශ යුවතියකගේ පෙනුමකි. අංශය භාර තරුණයාගේ සිත ඈ කෙරේ ඇදී ගොස් ඔවුන් ඉතා ඉක්මණින් පෙම්වතුන් විය.
“මං එන්නද ඔයාලගෙ ගෙදර”- මහත්තයා ලාලනීගෙන් ඇසීය.
“දැම්ම එපා. අපේ ගේ වැඩ ඉවර නෑ. පස්සෙ දවසක එන්න.”
කෙසේ වෙතත් මහත්තයා ලාලනී ගමේ ගිය පසු ඇයට නොදන්වාම ඇය සොයා ගියේය.

“දුවේ ..ලාලනී. මේං කවුද මහත්තයෙක් ඇවිත් උඹ අහනව”.
“අම්මේ…හ්… මං රෙනෝ..”

“මහත්තයා ටිකක් ඉන්ට. කෙල්ල අකුලට ගිහින් රෙන්ට”.

මහත්තයා කාටත් නොදන්වා අතුරුදහන් විය. ගුවන් තොටුපොලවල් , වරායවල් ඇතත් මේවායේ සාමාන්‍ය ජනයා ඉන්නෙ පැලේ- රෙන්නෙ කැලේය.
වකුගඩුවලින් පෙරෙන මේ මළ ද්‍රව්‍ය ගූ විදියට ඉවතට යන්නේ ගුද මාර්ගය ඔස්සේය. ගමේ ඕකට කියන්නෙ රෙන මග කියලාය. ඕන රෙනමගක් !
ගොටාගේ වියත් මගද දැන් රෙන මගකි.

විවිධ සතුන්ගේ ගූ විවිධය. හා, එළු බැටළු සතුන්ගෙ ගූ කුඩා ගුලි වශයෙන් පිට වේ . එතරම් ගඳ නැත. අශ්වයා කෙතරම් රාජකීය ගාම්භීර සතෙක් වුවද උගෙ ගූ මාර ගඳය. ධාතු කරඬුව වඩම්මන හස්තියාගේ ගූද මාරම ගඳය. එහෙත් ඒවා හොඳ පොහොරකි. ගවයාගේ ගූ ගව-මළ ගොම වී ඇත.

එය එළවලු වලට , මල් වලට නියම පොහොරකි. ටිකක් ගඳ උනාට ගම්වල ගැහැනු ගව ගූ හෙවත් හරක් ගූ අතින් අල්ලා, බිම උලා ගෙබිම ඔප දැමීමට භාවිතා කරයි.

දැනට අවුරුද්දක් වයසැති මගේ මිණිබිරිය ඔලිවියා තවම ආහාරයට ගන්නේ ඇගේ අම්මාගේ තන කිරි පමණය. එහෙත් ඔලිවියාගේ ගූ මාර ගඳය. හප්පා එහෙම ගඳක්.
මගේ දියණියන් කුඩා කල , ඔවුන් රැක බලා ගැනීමට ආච්චි කෙනෙක් විය. පොඩි උන් වතුරට බෝ කියනව වාගේ ගූ වලට කියන්නෙ කක්කි කියාය.
“තාත්තෙ මට කක්කි බරයි” එකියක් කීවා. ඈ මගේ දියණියයි. ඇගේ කක්කා මට ගඳ නැත. අතින් ඇල්ලීමට පිළිකුලක්ද නැත. “තාත්තෙ. ආච්චි නම් අපෙ කක්කා හෝදන්නෙ කකුලෙන්.”
මට මළ පැන්නේ එවිටය.” ආච්චිට මේ පොඩි උන්ගෙ පස්ස හෝදන්න ඔච්චරම අප්පිරියද ? මම හොඳ පඩියක් ගෙවනවා නේද ? බැරි වෙලාවත් නිය පොත්තක් එහෙම ඇණුනොත්?…”
” මහත්තය.. ඔය බබාලගෙ බොරු.”
බබාලා බොරු නොකියත්.

නිරෝගී මිනිසෙකුගේ ගූ කහ පාටය. ඒ කක්කි කහ පාටය.

ගොටුකොළ , මුකුණුවැන්න වැනි පළා ජාතියක් ආහාරයට ගත් දාට ගූ වෙන පාටකි. බීට් රූට් කෑ දාට වැඩේ බලගන්න පුළුවන්ය. කෙහෙල්මුව කෑ දාට ගූ යන්නේ පඳුරු පිටින්ය.

උඹට දෙන්නෙ රෙවෙන්ට. තාත්තා මට දිනක් තර්ජනය කළේය.

රෙද්දේ රෙවුනා ඒ තරම් ගාණක් නැත. ඒත් කළිසමේ රෙවුනාම , කකුල් දෙක පල්ලෙන් බේරෙන කොට අප්පිරියාවක්, කිතියක් පිළිකුළක් ඇතිවේ. එවිට මුහුණ විකෘති වේ. කට ඇද වේ.

කලිසමේ රෙවුණු එකෙක්

ගවයන්ගේ මූත්‍ර “ගොමූත්‍රා” ලෙස ලස්සන අසුරණ වල බහා ඉන්දියන් සුපර්මාකට් වල විකිණේ.

සෝනුම් කපූර්ලා, අයිශ්වර්යා රායිලා ඔය තරම් ලස්සන මේ ගො මූත්‍ර බොන නිසාය.

බුදුන්වහන්සේද , තමන් වහන්සේගේ මූත්‍රා ටිකක් පානය කල වග බුද්ධ බේත නම් පොතක සඳහන් වේ. උන් වහන්සේ තමන් වහන්සේගේ ගූ වැළඳුවා යයි කොහේ හෝ ලියැවිලා තිබේ නම් එය මහඟු ව්‍යාපාරික අවස්තාවකි. අපටද අපේම ගූ පැකට් කර හොඳ ආදායමක් ගන්නට පුළුවන. ඇසුරුමේ පියුමි ගේ පින්තූරයක් උනත් දමන්නට පුළුවන්ය.

අප සුද්දාට පරිභව කරන්නේ උන් පුක හෝදන්නෙ නැති. ගූ ටික කඩදාසි වලින් පිහ දාන අසෝබන ජාතියක් කියාය. උන් අපට , අතට-අත දීමට මැලි කරන්නේ අප අතින් පුක හෝදන නිසාය. ඒත් අප පුක හෝදන්නේ වම් අතින් පමණක් බව උන් නොදනී.

දකුණු අතට සුරත කියයි. සු යන්නෙන් කියැවෙන්නෙ හොඳ යන්නයි. ආහාර ගැනීම , අකුරු ලිවීම වැනි හොඳ වැඩ වලට දකුණු අත පාවිච්චි කරයි. සුරත යන්නට සුරු අත – හුරු අත කියාද කිව හැකිය. ලෝකයේ වම් අත හුරු අය අඩුය. ඒ නිසා චමුදිත ගේ ගෙට ගූ ගහන්නට ඇත්තේ බත් කන දකුණු අතෙන්ය. බත් කන අතින් ගූ ඇල්ලීම ගූ වැඩකි.

නිරෝගී මිනිසෙක් දිනකට ගූ අවුන්ස 15 ක් පමණ පිට කරයි. ගෙදරකට ගැසීමට මිනිසුන් කී දෙනෙකුගේ ගූ අවශ්‍යද?

ගූ පිට කල පසු රෙන මග , නැත්නම් රෙන තැන ගඳය. අප්‍රසන්නය. ඒ නිසා ලෝකයට ඇඳුම් කියා දෙයක් ඇති විය. රෙන දර්ශනය අසෝබනය. ඒ නිසා දොරවල් සහිත වැසිකිලි ලෝකයට එකතුවිය.

වසර 2500 ක ඉතිහාසයක් ඇති, 92%ක සාක්ෂරතාවක් ඇති, පිටරටවලටත් හාල් එක්ස්පෝට් කල ජාතියක් අනුන්ගේ ගූ බත් කන අතින් අල්ලා තවත් කෙනෙකුගෙ ගෙදරකට විසි කිරීම අමු ගූ වැඩකි.
ඇමරිකන්කාරයා සතුරාට පහර දීමට මිසයිල. ඇල්ෆා කිරණ , ගැමා කිරන යොදා ගන්නා විට අපි සතුරන්ට පහරදීමට අපේම ගූ යොදා ගනී. අප රාවණාගේ නෑයන් නොවන්නේ යයි කාට කිව හැකිද?
ජවිපෙට බිත්තර ගැසූ එකාම චමුදිතගෙ ගෙට ගූ ගැහුවා වෙන්නටද පුළුවන.

චමුදිතට පියුමි සමඟද ප්‍රශ්නයක් ඇත. කවුරු තරහ කර ගත්තත් ඔය වගේ ගෑණු තරහ කර ගැනීම ශරීරයට හොඳ නැත. මක් නිසාද යත් උන්ට රජවරුන් සමගද, පුත් කුමාරවරුන් සමගද, සිටුවරුන් සමගද , මිනීමරුවන් හොරුන් සහ කොරුන් සමඟද සම්බන්ධකම් ඇති බැවිනි.

අවසන් වශයෙන් එක් දෙයක් කියමි. අපි යක්ඛ පුත්තු බොලව්.., රාවණාගේ නෑයෝ. කරන දෙයක් හරියට කරපියව්. ආයේ කාගේ හරි ගේකට ගූ ගහනවා නම් එකකට එකක් පොල්තෙල් කලවම් කරල ගහපියව්. ඒ කියන්නේ ගූ බාල්දියකට පොල්තෙල් බාල්දියක්.

ආයෙ මේ ආත්මෙට සෝදා පිරිසිදු කළ නොහැකිය.

බුදු සරණයි

Posted in Uncategorized | ප්‍රතිචාර 2

කලවම ? කවලම ?


මෙයින් නිවැරදි කොයි එකද කියා මා නොදනී.
මා කුඩා කල අසනීප වූ විට රැගෙන ගියේ ටවුමේ ඩිස්පැන්සරියේ අයියදුරේ දොස්තර මහතා ළඟටය. ඔහු , දිව , ඇස් පරික්ෂා කර බලා , බඩ තද කර , ඉන් පසු උණකටුවෙන් උණ මැන, කුඩා කොල කැබැල්ලක නොතෙරේන බසකින් කුරුටු ගා කවුන්ටරයට දෙන්න කියා කියයි.
කවුන්ටරයේ ඉන්නා එක්කෙනා විශාල ප්‍රමණයේ බෝතල කීපයකින් ටික ටික ගෙන එකට කලවම් කර බෝතලයකට දමා කෑමට පෙර තුන් පාරයි කියා අපට දෙයි. කලවම් කරන එක ඔහුගේ රැකියාවයි.

කලවම් කිරීමෙන් හොඳ ප්‍රතිපල මෙන්ම නරක ප්‍රතිපලද ලැබේ.බෙහෙත් කලවම් කරන එක හොඳය.
අපේ මිනිසුන් කලවම් කිරීමට දක්ෂයන්ය. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු කලවම් කිරීමද , ගම්මිරිස් ඇටවලට වියලන ලද ගස්ලබු ඇට කවලම් කිරීමද බොහෝ විට සිදුවේ. කහ කුඩු වලට පාන් පිටි කලවමද තව එකකි.

සතුන්ද මෙසේ කලවම් හෝ කලවම් කල හැකිය. පෙලපතින් ඉහල බල්ලෙක් හා ගමේ වල් බැල්ලියක කලවම් කිරීමෙන් ඉතා අනර්ඝ තත්වයේ බලු පැටියන් ලබා ගැනීම ඉතා හොඳ ව්‍යාපාරයකි.

සිංහධේනුවක හා කොටියෙකු කලවම් කිරීමෙන් ලයිගර් නම් අමුතු සත්වයෙකුද , කොටි දෙනක හා හිංහයෙකු කල්වම් කිරීමෙන් ටයිලොන් නම් අමුතු සත්වයෙකුද නිර්මාණය කර ඇති බව සතුන් ගැන ඉගෙන ගන්නා අය දන්නවා ඇත.

ජාතීන් දෙකක් කලවම්වීමෙන් ඇති වන දරුවන් ඉත බුද්ධිමත් බව මානව විද්‍යාඥයෙකු වන Dr.Peter Joshi පවසයි.

ඔය කලවමේ නරක පැත්තකුත් තියෙනව.
බ්‍රිතාන්‍ය රාජ පරම්පරාවේ එක කලු රජෙක්වත් ඉන්නවද ? එහෙම වෙන්න බෑ. බැරි වෙලාවත් හැරී කුමාරයට සහ කළු ජාතික මෙගන්ට කලු හම සහ බොකුටු කොණ්ඩ ඇති පුත් කුමාරයෙක් ලැබිල , එයා බ්‍රිතාන්‍ය කිරීටයට උරුම කම් කියන්න උනොත්…

“මං ඔයා මීට කලින් වෙන කොහේදි හරි දැකල තියෙනව.. ඔයා දකුණෙද?”
“නෑ.. මම අනුරාධපුරේ”
එක වගේ හත් දෙනෙක් ලෝකෙ ඉන්නවා කියනවනේ

මේ වගෙ දෙබසක් ඔබ නවකතා පොතක කියවලා ඇති. ටෙලි නාට්‍යක නරඹා ඇති. කොහොමද එහෙම වෙන්නේ?

අපි මහ කලවම් ජාතියක්. අපි කාට කාට කවලම් වෙලා තියෙනවද කියල http://www.23andme.com නම් වෙබ් අඩවියෙන් බලා ගත හැකිය.
අපි වගේ පෙනුම තියෙන උන් පෘතුගාලෙ , ස්පාඤ්ඤෙ , මෙක්සිකෝව පැත්තෙ, නෙදර්ලන්තය පැත්තෙ, එංගලන්තෙ පැත්තෙ ඕන තරම් ඇති.
මොකද උන් අපේ රටවල් අල්ලන්න එනකොට උන්ගෙ ගෑනු අරන් ආවයැ. උන් ගෑනු අපේ රටෙන් හොයා ගෙන පැටව් රොත්තක් හදල ආපහු උන්ගෙ රටවලට යන්නැති.


7 – eleven කියන්නේ හදිසියකට මිළදි ගන්න පුලුවන් ඇස්පිරින් පෙත්තෙ හිටං කොන්ඩම් එක දක්වා බඩු විකිණෙන කුඩා මිනි මාර්කට් විශේෂයක්. මේවායේ ශාඛා ඇමරිකාව පුරා හැම හන්දියකම පාහේ පිහිටා තිබෙනව. මේවායේ අයිති කරුවන් බොහෝ විට ඉන්දියන් ජාතිකයන් වීම විශේෂයක්. ඒ වාගෙම මේවායේ සේවය කරන්නේ අනවසර සංක්‍රමණිකයන්. මාත් 7 eleven එකක වැඩ කරල තියෙනව ටික කලකට පෙර.
ඒ කාලෙ මට මතකයි ලංකාවෙ අපේ ගමේ, මහන ගෙදර සුසිලක්කා වගේ පෙනුම තියෙන මෙක්සිකානු ගෑනියක් නිතරම එනව. ගමන,හිනාව, උස මහත ඇරපු අතක් නෑ .. ඒ නං සුසිලක්කාමයි.

ඔන්න 7 eleven කියන කොට මතක් උනේ . අපේ ජනාදිපති ගෝටාබය ඇමරිකාවෙ ඉන්න කාලෙ වැඩ කලේ 7 eleven එකක කියල රාවයක් යනව. ඒව නං ඔය කඩප්පුලි කොල්ලන්ගෙ කතා. එහෙම නං කොහොමද ඒ උත්තමයා ඔරැකල් ඩේටබේස්, ආටිෆිශල් ඉන්ටෙලිජන්ස් වගේ බරපතල වචන දන්නේ?
මට කෙනෙක් ඊ මේල් එකකුත් එවල තිබුනා. මේකත් කවුරුහරි පොටෝ ශොප් වලින් හදාපු එකක්ද, නැත්නම් අර වාගෙ කලවම් වෙච්චි එකෙක්ද කියල කවුද දන්නෙ.

අපි හැමෝම හැමෝටම කලවම් වෙලා. එහෙම කලවම් නොවුනු ජාතියක් ඉන්නවා නම් ඒ ජර්මනියේ අමිශ්‍ර – අමිශ් කියන ජාතියයි. අඩු ගානේ සෙල් ෆෝන් එකක්වත් පාවිච්චි නොකරන, තම පවුල ඇතුලෙන්ම ආවාහ-විවාහ කටයුතු කෙරෙන මේ අමිශ් ජාතිකයන් ඇසුරෙන් නිර්මාණය වුනු Amish නම් හොලිවුඩ් චිත්‍රපටය අන්තර්ජාලයෙ තියෙනව. රඟපාන්නේ හැරිසන් ෆෝඩ්.

Posted in Uncategorized | ප්‍රතිචාර 8

අමුතු කතාවක්


mihiri teacher

රන්කොත් ගෙදර සිරිපාල වෘත්තියෙන් කරණැවෑමීයෙක්. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබර් කෙනෙක්.
සිරිපාලගෙ බාබර් සාප්පුව පිහිටා තිබුනේ ටවුමෙ කොනකට වෙන්ට සංවර්ධනයට අසු නොවුනු තැනක. ඒකෙ තිබුණේ එක පුටුවයි. එක කණ්ණාඩියයි. එක තුවායයි. කොණ්ඩා රවුල් කැපීමට අවශ්‍ය කළමණා ටිකයි. උළුවස්සේ හම් පටියක් එල්ලා තිබුණු අතර ඒ දැලිපිහිය මුවාත් කිරීමටයි. පිට ලෑලි එකට පුරුද්දීමෙන් සෑදුනු හතර බිත්තිය නළු නිළි පිංතූර වලින් ආවරණය වී තිබුණා. ඒ කාලේ කොල්ලන් වූ ආනන්ද ජයරත්න, ඔස්වල්ඩ් ජයසිංහ වගේ අය. සහ ලක්ස් රෙක්සෝනා සුරූපිනියන් වූ ජීවරාණී කුරුකුලසූරිය.. සන්ධ්‍යා කුමාරිලා ගේ පිංතූර වලින්.
පොඩි එකෙක් ආ දවසට පුටු ඇඳි දෙක හරහා ලෑලි කෑල්ලක් දමා පුටුව උස් කිරීමට සිරිපාල දැන ගෙන හිටියා.
කොණ්ඩෙ කපල අර තුවායෙන්ම කෙස් කොට ටික පිහල දාල, ගෙල වටට ටැල්කම් පුයර දාල..දිලිසෙන කහපාට ක්‍රීම් තැම්බක් ගාල බම්ප් එක තියල.. රැවුල කපල දෙකම්මුලට ඕඩි කොලොන් ටිකක් දමා දෙපාරක් ගසා දැන් හරි කීවාම වැඩේ ඉවරයි.
දෙකේ පන්තියට අළුතින් ආ ටීචර් දුෂ්කර පළාතකට පත් වීමක් ලැබුණු කොළඹ හැදුනු වැඩුනු සක්කර වට්ටමක්. කිහිලි පේන්න අත් නැති හැට්ටෙ ඇඳල, අඩියක් විතර උසට ඔබේ තීරෙ හිටින්න සාරියක් ඇඳල .. ඒ මදිවට සුවඳ.. ඒ සුවඳ කොහෙන් එනවද කියල හිතා ගන්න නිමල් ප්‍රේමතිලකට බැරි උනා, නිමල් ප්‍රේමතිලක කියන්නේ අර බාබර් ගෙ එකම පුතා.

” අපිට ප්‍රධාන කෑම වේල් තුනක් තියෙනවා..කීයද ?… ” තුනායි..” ළමෝ උත්තර දුන්නා. මිහිරි ටීචර්ගෙ ප්‍රශ්න වලට. ඔව් .. ටීචර්ගෙ නම මිහිරි.
” ඒ කෑම වේලවල් තුනට වෙන වෙනම නම් තියෙනවා.. උදේ කෑමට කියන්නේ breakfast කියල ඉක්මණට කාල ඉස්කෝලෙට හරි රස්සාවට හරි යන්න පුළුවන් ඉක්මණ් කොට කෑමක්.
” නගරයෙ අය නම් සැන්ඩ්විච් එකක් වගේ දෙයක් කනවා. ඔයාල වගේ ගම්වල අය නම් උදේට.. ඒ කියන්නෙ breakfast එකට ආප්ප.. ඉඳි ආප්ප, රොටී.. පිට්ටු වගේ දෙයක් කනවා. එහෙම නේද ?
“ඔව් ටීචර්..”
“එතකොට දවල් කෑමට කියන්නේ lunch කියල.. මොකක් කියලද ?”
” ලාන්ච්”… ළමයි එක හඬින් උත්තර දුන්නා. සමහරු කීවේ ” ලාන්ශ්” කියල. උන් පොඩි කාලෙ ඉඳන්ම බුලත් විට කන්න පුරුදු වෙලා.”ච” සද්ද වෙන්නෙ නෑ.
” අපි lunch එකට බත් හෝ පාන් කනවා එළවළු , මස් , මාළු හෝ බිත්තර එක්ක”
” අපි දැන් දෙකක් ඉගෙන ගත්තා.. කීයක්ද ?…”
” දෙකාක්…”

අපි රෑ කන කෑමට කියන්නේ dinner කියල. ගම්වල අය නම් රෑ කෑමට බත් කනවා.. ඒත් නගරයෙ අය නම් පාන් වගේ බර අඩු කෑමක් තමා කන්නේ.
උදේ කෑම අපි කන්නේ උදේ 7 -8 ත් අතර.
දවල් කෑම 12 ත් 1.00 ත් අතර
රෑ කෑම 7 ත් 9 ත් අතර
කොළඹ ඉඳන් ආ ගුරුතුමිය කියන්නේ ඇත්තද කියා පන්තියේ ගොඩක් උන්ට හිතුනා.
ගුරුතුමිය ආයෙත් කතාව පටන් ගත්තා.
” නගරයේ සමහර අය නම් උදේට ටිකක් වැඩිපුර නිදා ගෙන ඉඳල නැගිටල දවල් 11 ට විතර කන කෑමට කියන්නේ brunch කියල. ඒ කියන්නෙ breakfast එකත් lunch එකත් අතර මැද ඒ දෙකම වෙනුවට.
” ටීචර් තුන් වේලටම එක සැරයක් කන කෑමට එකට නමක් නැද්ද?”
පන්තියේ හිටි වැඩි දෙනෙකුට දැන ගන්න අවශ්‍ය උනු දේ නිමල් ප්‍රේමතිලක ඇහුවා. කවුරුවත් හිනා උනේ නෑ.

ටවුමේ දොස්තර – දත් දොස්තරට සමහරු කීවේ දතා කියල. මිනිහගෙ පුතත් නිමල්ගෙ පන්තියේ . තුෂාර බණ්ඩාර නවරත්න. ඊ ළඟ අවුරුද්දේ කොළඹ ඉස්කෝලෙකට යන තුරු නිමල්ලගෙ පන්තියේ.
තාත්ති උදෙන්ම කාර් එකෙන් ගෙනත් බස්සල යනව. දවල්ට හිර කළිසමක් ඇඳල නළලට කළු කණ්ණාඩි දාගත්තු ගෑණු කෙනෙක් ඇවිල්ල තුෂාර එක්ක යනව. ඒ එයාලගෙ අම්මි.
නිමල් ප්‍රේමතිලක බලන් හිටියා තුෂාර එයාහේ පොත් බෑග් එකෙන් හුරුබුහුටි පෙට්ටියක් එළියට අරන් එ තුල තිබුණු කෑමක් ටික ටික කනව.
“ඔයාටත් ඕනද”
තුෂාර කාපු තැනින්ම නිමල් කටක් කඩන් කෑව. පොඩි උන් එහෙමයි.
පාන් පෙති දෙක මැද්දට ගෝවා කොලයක් වගේ එකක් , තක්කාලි පෙත්තක් තව හීනියට කැපූ අපුල රසක් ගෙන දුන් තවත් දෙයක් එහි තිබුණා.
“රසද?”
පාන් කෑල්ල නිමල්ගෙ උඩු තල්ලෙ ඇලිලා. කතා කර ගන්න වචන පිට උනේ නෑ. “හුග්” (ඔව්) මෙලෝ රහක් නෑ.
ටීචර් ආයෙත් කතාව පටන් ගත්තා.
“ඔය අතර මැද්දට , ඒ කියන්නේ lunch එකයි dinner එකයි මැද හවස 3 ට 4 ට විතර පැණි රස කෑමක් කාලා තේ බොනව. ඒකට කියන්නේ supper කියල

එද රෑ නිමල් අම්මත් එක්ක කීවා තමන් උගත් දේ. අම්මත් අහන් හිටියා.
” අම්මේ මට හෙට උදේට ඉස්කෝලෙ ගිහින් කන්න මොනව හරි හදල දෙනවද ?” ” තුෂාර එයාගෙ කෑමෙන් මට ටිකක් දුන්න. හරි රහයි.”
” ඒ කවුද?”
” අර දතාගෙ කොල්ල. ටවුමෙ දත් දොස්තරයගෙ..”
තාත්ත දෙකක් දාගෙන..
” අට්ටි ඉමස්මිං. කායේ කේසා ලෝමා නකා දන්තෝ.. නව ගාරයෙනි ගලනා ඕජස් මේ කුණූ සිරුරා.. ඌ දත් ගලවනව.. දත් සුද්ද කරනව.. මම කොණ්ඩෙ කපනව . කොණ්ඩෙ ලස්සන කරනව.. ඌයි මායි දෙන්නම එකයි… මහ පොලවට පස් වෙනවා.. මේ කුණූ සිරුරා…”
” අද මොනවද?” නිමල් ඇහුවා.
දෙන්න තමන්ගෙ breakfast මාරු කර ගත්තා.
නිමල්ගෙ අම්මා පිටි ගුලියක් තුනී කරල ඒ මැද්දට රෑ ඉතුරු උනු කොළ මැල්ලුම් ටිකක් තියල දෙකට නමල රොටියක් පුච්ච්ල දුන්න නිමල්ට breakfast එකට.
” හරි රහයි,,, අපි මෙහෙම කරමු.. හැමදාම මට ඔයාගෙ එක දෙන්න. මම මගෙ එකත් දීල දවල් ඉස්කෝතු තුනත් දෙන්නම් ඔයාට.”
නිමල් හැමදාම ඉස්කෝලෙ ආවෙ දවල්ට ඉස්කෝතු ලැබෙන නිසා. දැන් හරි මගෙ ඉස්කෝතු තුනයි.. නිමල්ගෙ තුනයි .. හයයි.
අම්මටයි මටයි supper එකට…

Posted in Uncategorized | ප්‍රතිචාර 9

අම්මගේ දැක්ම


 

mom copy

පුතේ උඹ නැගිටලද
මට නම් තාම උදේ
ඊයේත් මේ වෙලාවට උඹව මතක් කලා
නැහැය දෑවෙ නැද්ද?
මට කොයින්ද
ටෙලිපෝන්
ඉන්ටර්නෙට්
SMS
ගිය මාසෙ එවාපු සල්ලි
බෙහෙත් වලටම ඉවරයි
එවාපන් ඩොලර් පනහක්
දැන් එකසිය හැත්තෑවක්
ඉස්සර එකසිය තිහයි
මට නම් හොඳයි සිරිසේන
රාජපක්ෂට වඩා
කාල ඉන්න එපායැ කොයි දේ කරන්ටත්
සල්ලි ඕන උනාම උඹ සිහි කරන්නම්
මට කොයින්ද SMS
නැහැය දෑවොත්
එවාපන් පනහක්

Posted in Uncategorized | ප්‍රතිචාර 2