මගේ ලංකා ගමන – ඉතිරිය- ආ – ගිය කතා


අපේ එවුං හදන්ටම බැරිය. ආයෙම ලොකු සුනාමියක් ඇවිත් අවුරුදු 10 න් පහල උන් විතරක් ඉතුරු වෙලා අනික් උන් හැම එකාම හැඳි ගෑවිලා ගියොත් , ආන්න එදාට අලුතින් හිතන්න පුළුවන් කට්ටියක් හදන්ට පුළුවන් කියා මට හිතෙනවාය.
” රනිල් වික්‍රමසිංහට එක්ස්පීරියන්ස් තියෙනවා.. අනුර කුමාරට එහෙම එකක් නෑ” මේ අපේ නෑයෙකුගේ දේශපාලනයයි
ඔය කොළේ අවුරුදු 75 ක් ම..එක්ස්පීරියන්ස් තියෙන උන් එකතු වෙලා.
මට එහෙම කියන්ට කට කහනවාය. ඒත් ඉතින් මොකටද මේ ඉන්නා සති දෙකට අළුතින් තරහ කාරයෙක් හදා ගන්නේ?
අහසේ තරු මිලියන 5.4 ක් තියෙනවා.. මුහුදේ වතුර ගැලුම් මිලියන 10.8 ක් තියෙනවා කීවොත් එක පයින් පිළිගන්න අපේ අය දේශපාලනයේදි එකඟ නොවන දෙදෙනෙක් සොයා ගැනීම අපහසුය.
ලංකාවට ගොඩ බට දිනයේදී මස්සිනාට ආ ටෙලිෆෝන් කෝල් රාශියකි.
” ආ මස්සිනා ආවලු නේද ? ගෙනල්ල ඇති නේද?”
එදා රෑ කටුනායක duty free එකෙන් ගත්තු red label එක විවෘත කිරීමට සාදයක් සූදානම් විය.
මස්සිනා බයිට් ගෙනාවේය. පැටිස් 5 ක්. කට්ලස් 5 ක්. රට කජු හුණ්ඩු භාගයක්. පෙති කපන ලද පිපිඤ්ඤා ගෙඩියක්. මස්සිනා මා බලා සිටියදීම කට්ලස් සහ පැටිස් දෙකට කැපුවේය. එය බලා සිටින්නට අප්‍රසන්න ජවනිකාවක් නමුත්..මස්සිනාට ඩොලර් නැත. පැටිසක් රුපියල් 110 කි.
මස්සිනාද, මා ද ඇතුළුව කට්ටිය පස් දෙනෙකි. තුන් දෙනෙක් ගමේ ඉස්කොලේ එකට ගිය යහළුවන්ය. සම වයසේ උනාට උන් මට වඩා හම්පඩ වී ඇත.
” උඹ නම් තවම හොඳට ඉන්නවා නේද ?”
මම ඇඳුම් මාරු කර ගෙන එන ටිකට එකෙක් බෝතලේ විවෘත කර ඇත. “චියර්ස්” කිරිල්ලක් නැත.
මට ඔය ඉන්ගිරිස් ක්‍රමේට බොන්න බෑ. එක් යහළුවෙක් සැන්ඩි නැතිවම වීදුරුවක් එක හුස්මට ගිල දමා මිදුලට කෙල ගසයි.

උඩතලවින්නේදී තම්බින් 10 දෙනෙක් වෙඩි තබා මරා දැමූ දේශපාලකයාගේ තග් පුතා සහභාගි වන රැස්වීමක් ඊ ළඟ දා සංවිධානය කර තිබිණ.
මහ පොළොව ගිනි ගෙන දැවෙයි. කාෂ්ටක පොලවට උදළු පාරක් ගැසිමට බැරිය. අර දේශපාලුවා පොල් පැලය බැගින් බෙදා ගෙන යයි. ඇයි සජිත් වාගේ හාල් කිලෝ 20 බැගින් බෙදන්න බැරි. ඒක තව ප්‍රායෝගිකයි.
මස්සිනා අමු UNP කාරයෙකි.
අපි ඉතින් එදා ඉඳලම UNP නේ. වෙන කාට දෙන්නද ? දෙන්ට කවුද ඉන්නේ. මුන් එක්ක දේශපාලනය කතා කරනවාට වඩා, වැඳිරියකට ළමා සාරි අන්දවා දහම් පාසල් එක්ක යාම පහසුය.

අරගලය මතක නැත. 88/89 අරන් ගිය අයඩින් කාඩ් එක තවම හදා ගෙන නැත.
කියන්නට ඇති, නොකියා හිතේ හිර කර ගෙන ඉන්න දහසකුත් එකක් දේ නිසා කට කකියයි. හකුපාඩා රිදුම් දෙයි. ඉන්න දින කීපය උන් එක්කම ලගින එක නුවණට හුරුය.

ඉහළ තැන් වල මුල් පුටු වල දක්ෂ උගත් අය හිටියත්, ගම් වල ඉන්න ජෙප්පන් කතා කරන්නවත් නොදන්න උන්.
NPP එක ගැන මගේ නංගීගේ මතයයි. අයියේ අර පුංචි අම්මගේ කතාව ඇත්තක්ද ?

මිනිසුන්ගේ පුද්ගලික දේවල් අමතක කරල මේ පාර මාලිමාවට කතිරෙ ගහමු.
ඔය කොයි එකා ආවත් එච්චරයි. ඒ අපේ නංගීගේ දේශපාලන මතයයි.
ඇත්තටම ඇත්තත් එයම නොවේද ?

නිමාව.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to මගේ ලංකා ගමන – ඉතිරිය- ආ – ගිය කතා

  1. නිර්නාමික පවසයි:

    ලිපිය යම් පමනකට දේශපාලනික උනත් බොහොම අපූරුවට ලියලා තියෙනවා.අර සාදයේ විස්තරයත් වැදිරියකට ලමාසාරි අන්දවගෙන දහම් පාසල් රැගෙන යාමේ උපමාවත් හරිම පන්කාදුයි.

  2. නිර්නාමික පවසයි:

    තවම ඉන්නවා රට බේරාගත්තු අප්පච්චිට චන්දෙ දෙන්න ඌනේ කියන උන්,
    මිනිස්සු පාරට බැහැල ජනදිපතිවයි පාර්ලිමේන්තුවේ උන් ඔක්කොමයි ගෙදර පලයල්ලා කිව්වේ පිට රට බලපෑමකින් කියල හිතන මිනිස්සුත් ඉන්නවා..

  3. නිර්නාමික පවසයි:

    think this is full Jeppa propaganda, no one drin ks red label anymore bro

    • මුන් දෙගොල්ල අවුරුදු 75 ක් මාරුවෙන් මාරුවට අපි රැවැට්ටුවා. අපිත් රැවටුනා. අපිට වෙන විකල්පයක් තිබුණෙ නැහැ. ගෝටා කොළඹ ලස්සන කලා. පිටරටවල මිනිස්සු පවා කතා කලා කොළඹ ලස්සන – පිරිසිදුකම. මමත් ගෝටට කඩේ ගියා. ඒත් මා ඇතුළු ගොඩ දෙනෙකුට තේරුම් ගන්න බැරි උනා කොළඹ කියන්නේ ලංකාව නොවේ කියන එක. අපි එයාටත් රැවටුනා. ඉතුරු වෙලා ඉන්නෙ ජෙප්පො විතරයි. එක්කො උන් රට හදයි. උනුත් රට කෑව කියන්න බෑ කාටවත් .මොකද කියනවා නං තවත් කෙනෙකුට කන්න දෙයක් මුන් දෙගොල්ල ඉතුරු කරල නෑ.
      එන්න,අපි ආයෙමත් පාරක් රැවටෙමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න