කළු පූසා


කළු පූසාගෙ නම “ඇබී” ය. ඇත්තටම ඒ පූසියෙකි. කට්ට කළු පාටය. හරියට Black Panther කෙනෙකුගේ මල්ලී – නංගී කෙනෙක් වගේය. ඇබීගේ අම්මා තාත්තා කවුද කියා මා නොදනී. ඇබී අපේ ගෙදරට ආ දවස අද ඊයේ වගේ මතකය. එදා වැසි දවසක්. සතුන්ට ආදරේ කරන මගේ දියණිය එවකට සේවය කළේ National Guard එකේ.
දවසක් මහ වැස්සේ ගෙට ගොඩ උනු ඇය තම නිල ඇඳුමේ උඩ සාක්කුවෙන් ගත් කළු පාට ගුලියක් මේසය මත තැබුවාය. ගුලිය දඟලයි. ඒ පූස් පැටියෙක්.
“මෙයා පාර අයිනේ හිටියේ.. තව ටිකකින් වාහනයකට අහුවෙල චප්ප වෙලා යන්න ඉඩ තිබුණා”
“කවුරුහරි පව් කාරයෙක් ගෙනල්ල දාල යන්න ඇති” එය පිහි ඇණුමක් වගේ ප්‍රකාශයකි.

අතීත කතාව

1980 ගණන් වලදී අප නිවසේ මිදුලට යමෙකු විසින් කාඩ්බෝඩ් පෙට්ටියක් දමා ගොස් ඇත. මම පෙට්ටියට පයින් ගැසුවා. එය සැහැල්ලුය. බෝම්බයක් විය නොහැක. පෙට්ටිය ඇතුලේ සුදු පාට පුළුන් ගුලි තුනක් වගේ පූස් පැටව් තුන් දෙනෙක්. මගේ බිරිඳ දැක්කොත් මුන් තුන් දෙනාම ගෙට ගේනවා. ඇති කරනවා. මාර කරදරයක්. ගේ හැම තැනම ජරා කරයි. ලොකු උනාම පැටව් ගහයි.
මම පෙට්ටිය පිටින්ම උන් තුන් දෙනාම හැතැම්ම දෙකක් විතර ඈතින් ඇති පන්සල් වත්තට ගිහින් දැම්මා.

අතීත කතාව හමාරයි.

“ඔය TV එකේ නිතරම වගේ කියන්නේ ප්‍රවෘත්ති වලට. ළමයි අතුරුදන් වෙලා කියල. ඔහොම පව්කාරයන්ගේ දරුවන්ට ඔහොම තමා වෙන්නේ. ඇය පිට පිටම පිහි පාරවල් වගේ ප්‍රකාශ නිකුත් කරයි.
සුරතල් සතුන් සමඟ එකට හැදෙන ළමයි අනෙකුත් ළමයින්ට වඩා මනසින් නිරෝගියි.
හිස් සපත්තු පෙට්ටියක් ඇබීගේ නිවස විය. මගේ දියණිය සහ බිරිය පහන් තිරයකින් ඇබීට කිරි පෙව්වා. ටික දවසක් මී පැටියෙක් වගේ චීප් චීප් ගෑ ඇබී; ඥාව් ගන්න පටන් ගත්තා. ඉතා ඉක්මණින් වැඩුනද ඇබී කවදාවත් මා ළඟට , මගේ ඔඩොක්කුවට ආවේ නැත.

” සත්තු උනත් දන්නවා කා ළඟ ද ආදරය තියෙන්නෙ කියල” ඇනුම්පද කෝටියයි.
ඇබී වෙනුවෙන් ලිපි ගොනුවක් ඇරුණා. ඇබීගෙ පින්තූර. රේබීස් වලට ලබා දුන් එන්නත් පිළිබඳ සටහන. එහි ඇතුළත් විය.
” අම්මි මෙයාව Fix කරන්න ගෙනියන්න ඕන. ඒ කියන්නේ පැටව් නොහැදෙන්න කරන සැත්කමක්.
“ඔහොම ගෑණුන්ට තමා ඊ ළඟ ආත්ම වල ළමයි නැති වෙන්නෙ.” මමත් දුන්න රිටර්න් පිහිපාරක්.

ඇබී මාර ඇණයකි. මුළු ගේම උගේ වගේය. අපි , උගේ ගෙදර කුලියට ඉන්නවා කියලයි ඌ හිතන් ඉන්නේ. මගේ බිරිඳ , මට වඩා ඇබීට කිට්ටුවන්ත කමක් පෙන්වයි.

ළඟදී විවා පත් වූ තරුණ යුවළකට සුරතල් පූසෙක් විය.තරුණිය නිතරම පූසා සමඟ ගැවසීම නොරිස්සූ පිරිමියා ඌ කොහාට හෝ ගෙන ගොස් දැමීමට තීරණය කළා.

” ඩාලිං .. මම ටිකකට එලියට යනවා”
” අනේ මේ පූසත් අරන් යන්නකො.. එයාටත් කම්මැලි ඇති”

ඔහු වචනයක්වත් නොකියා නගරයේ ඈත කෙළවරක පූසා තනිකර දමා ගෙදර ආවේය. පුදුමයක්. පූසා තරුණියගේ ඔඩොක්කුවේය. ඌ කලින්ම ගෙදර ඇවිත්.
කෝප වූ පිරිමියා දිනක් පූසා වාහනයේ දමා ගෙන සැතපුම් 50 ක් විතර පාළු පාරක ගොස්, වාහනය පාර අයිනේ නවතා කැලයට රිංගුවේය. කැලය ඇතුළට තවත් හැතපුම් දෙකක් විතර ගොස් පූසා තනිකර දමා ආපහු එන විට පාර වැරදුනි. සිග්නල් නැති කමෙන් දුරකතන ඇමතුමක් ගන්න විදියකුත් නැත. ටිකක් කළුවර වෙද්දී තරුණිය ගෙන් ඔහුට ඇමතුමක් ආවේය. ” කොහෙද ඔයා. මේ පූසත් ගෙදර ආවනේ..”
” එහෙනම් පූසට ෆෝන් එක දෙනවද මට ගෙදර එන පාර අහ ගන්න”

“ගොත ගසන එකම සත්වයා මිනිසාය” ගුරුතුමිය පන්තියේ කියා දෙන විට අණ්ඩපාලයෙක් වූ ඇම්ඩා “නෑ ටීචර් පූසොත් ගොත ගසනවා”.

මොනවා කියාපන් බලන්න,

අපේ දඩෝරියට අල්ලපු ගෙදර පූසා පේන්න බෑ. මාර තරහයි. දවසක් වැරදීමකින් පූසා අපෙ වත්තට ආවා. අපේ දඩෝරියා ඌව කන්න පැන්න. අනේ අර පූසා ඇඟ පුම්බල , පිට කොන්ද දුන්නක් වගේ නමල F..F..F..F.ගෑවා අනේ ඌට .. Fuck කියල කියා ගන්න බැරි උනා අපේ දඩෝරියා ඌව කාලම දැම්ම..

කුඩා ළමයෙක් පූස් පැටියා සමඟ සෙල්ලම් කරමින් සිටින විට ඌ අල්ලපු වත්තට ගියේය. දරුවා පූසා අල්ලා ගැනීමට අල්ලපු වත්තට ගිය විට , අල්ලපු ගෙදර ඇන්ටී මිදුලේ පුටුවක වාඩිවී යමක් කරමින් සිටියා.

ඇන්ටී.. මගේ පූසා ආවද?’
” දෙන්නෙම නෑ පූසා. පුළුවන් නම් පුටුව යටින් ඇවිත් අර ගන්න,
” එපා. ඒ මගේ පූසා නෙවේ. මගේ පූසගෙ කට ඔහොම නෑ”

මට දවසක් මළ පැන්නේ මා ඉතා ආසාවෙන් නඩත්තු කළ ගොටුකොළ පාත්තියේ ඇබී ජරා කර තිබෙනු දැකීමෙන්. දැන් ඉතින් පිරියකින් ගොටුකොළ සම්බෝලෙ කාලත් ඉවරයි.”
” අනේ මේහ්.. ඔයාගෙ වගාව. මම මාකට් ගියාම ගොටුකොළ ඕන තරම් ගෙනත් දෙන්නම්”
Google නොදන්න දෙයක් නැත. how to kill a cat secretly පූසෙක් රහසින් මරා දමන්නේ කෙසේද මම search කළෙමි. උත්තර රාශියක් ලැබිනා. ඉන් වඩාත්ම සිත් ගන්න එක වූයේ..

“Coolant” වාහන රේඩියටර් වලට දැමීමට ගන්න දියරය. එක තේ හැන්දක් දුන්නාම ඇති. පැය 24 න් වැලිගම. මගේ බිරිඳ කී දේවල් දෙසවණේ දෝංකාර දෙයි. මටත් කවුරු හරි මතු ආත්මයක වස දෙයිද ?.

ඔන්න ඔහේ හිටියාවෙ. මම ඇබීගේ හිස අත ගෑවෙමි. ඌ පුදුමයෙන් මා දිහා බලා හිටියේය. දින කීපයක් මෙසේ කල පසු ඌ දිනක් මගේ ඔඩොක්කුවට විත් ගුලි ගැසුනේය.

මම දැන් මගේ බිරිඳට වඩා ඇබීට ආදරය කරමි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to කළු පූසා

  1. Nihal Gurusinighe පවසයි:

    ප්‍රතිචාරයට ස්තූතියි. මම කලින් සත්වලෝලියෙකු නොවෙ. හැබැයි දැන් හරිම ආදරෙයි සතුන්ට.

  2. නිර්නාමික පවසයි:

    Cats are very arrogant. But I still like them.

  3. Dhanushka Fernando පවසයි:

    Lassana post eka. I have read most of your stories

ප්‍රතිචාරයක් ලබාදෙන්න