අමුතු කතාවක්


mihiri teacher

රන්කොත් ගෙදර සිරිපාල වෘත්තියෙන් කරණැවෑමීයෙක්. තේරෙන බාසාවෙන් කිව්වොත් බාබර් කෙනෙක්.
සිරිපාලගෙ බාබර් සාප්පුව පිහිටා තිබුනේ ටවුමෙ කොනකට වෙන්ට සංවර්ධනයට අසු නොවුනු තැනක. ඒකෙ තිබුණේ එක පුටුවයි. එක කණ්ණාඩියයි. එක තුවායයි. කොණ්ඩා රවුල් කැපීමට අවශ්‍ය කළමණා ටිකයි. උළුවස්සේ හම් පටියක් එල්ලා තිබුණු අතර ඒ දැලිපිහිය මුවාත් කිරීමටයි. පිට ලෑලි එකට පුරුද්දීමෙන් සෑදුනු හතර බිත්තිය නළු නිළි පිංතූර වලින් ආවරණය වී තිබුණා. ඒ කාලේ කොල්ලන් වූ ආනන්ද ජයරත්න, ඔස්වල්ඩ් ජයසිංහ වගේ අය. සහ ලක්ස් රෙක්සෝනා සුරූපිනියන් වූ ජීවරාණී කුරුකුලසූරිය.. සන්ධ්‍යා කුමාරිලා ගේ පිංතූර වලින්.
පොඩි එකෙක් ආ දවසට පුටු ඇඳි දෙක හරහා ලෑලි කෑල්ලක් දමා පුටුව උස් කිරීමට සිරිපාල දැන ගෙන හිටියා.
කොණ්ඩෙ කපල අර තුවායෙන්ම කෙස් කොට ටික පිහල දාල, ගෙල වටට ටැල්කම් පුයර දාල..දිලිසෙන කහපාට ක්‍රීම් තැම්බක් ගාල බම්ප් එක තියල.. රැවුල කපල දෙකම්මුලට ඕඩි කොලොන් ටිකක් දමා දෙපාරක් ගසා දැන් හරි කීවාම වැඩේ ඉවරයි.
දෙකේ පන්තියට අළුතින් ආ ටීචර් දුෂ්කර පළාතකට පත් වීමක් ලැබුණු කොළඹ හැදුනු වැඩුනු සක්කර වට්ටමක්. කිහිලි පේන්න අත් නැති හැට්ටෙ ඇඳල, අඩියක් විතර උසට ඔබේ තීරෙ හිටින්න සාරියක් ඇඳල .. ඒ මදිවට සුවඳ.. ඒ සුවඳ කොහෙන් එනවද කියල හිතා ගන්න නිමල් ප්‍රේමතිලකට බැරි උනා, නිමල් ප්‍රේමතිලක කියන්නේ අර බාබර් ගෙ එකම පුතා.

” අපිට ප්‍රධාන කෑම වේල් තුනක් තියෙනවා..කීයද ?… ” තුනායි..” ළමෝ උත්තර දුන්නා. මිහිරි ටීචර්ගෙ ප්‍රශ්න වලට. ඔව් .. ටීචර්ගෙ නම මිහිරි.
” ඒ කෑම වේලවල් තුනට වෙන වෙනම නම් තියෙනවා.. උදේ කෑමට කියන්නේ breakfast කියල ඉක්මණට කාල ඉස්කෝලෙට හරි රස්සාවට හරි යන්න පුළුවන් ඉක්මණ් කොට කෑමක්.
” නගරයෙ අය නම් සැන්ඩ්විච් එකක් වගේ දෙයක් කනවා. ඔයාල වගේ ගම්වල අය නම් උදේට.. ඒ කියන්නෙ breakfast එකට ආප්ප.. ඉඳි ආප්ප, රොටී.. පිට්ටු වගේ දෙයක් කනවා. එහෙම නේද ?
“ඔව් ටීචර්..”
“එතකොට දවල් කෑමට කියන්නේ lunch කියල.. මොකක් කියලද ?”
” ලාන්ච්”… ළමයි එක හඬින් උත්තර දුන්නා. සමහරු කීවේ ” ලාන්ශ්” කියල. උන් පොඩි කාලෙ ඉඳන්ම බුලත් විට කන්න පුරුදු වෙලා.”ච” සද්ද වෙන්නෙ නෑ.
” අපි lunch එකට බත් හෝ පාන් කනවා එළවළු , මස් , මාළු හෝ බිත්තර එක්ක”
” අපි දැන් දෙකක් ඉගෙන ගත්තා.. කීයක්ද ?…”
” දෙකාක්…”

අපි රෑ කන කෑමට කියන්නේ dinner කියල. ගම්වල අය නම් රෑ කෑමට බත් කනවා.. ඒත් නගරයෙ අය නම් පාන් වගේ බර අඩු කෑමක් තමා කන්නේ.
උදේ කෑම අපි කන්නේ උදේ 7 -8 ත් අතර.
දවල් කෑම 12 ත් 1.00 ත් අතර
රෑ කෑම 7 ත් 9 ත් අතර
කොළඹ ඉඳන් ආ ගුරුතුමිය කියන්නේ ඇත්තද කියා පන්තියේ ගොඩක් උන්ට හිතුනා.
ගුරුතුමිය ආයෙත් කතාව පටන් ගත්තා.
” නගරයේ සමහර අය නම් උදේට ටිකක් වැඩිපුර නිදා ගෙන ඉඳල නැගිටල දවල් 11 ට විතර කන කෑමට කියන්නේ brunch කියල. ඒ කියන්නෙ breakfast එකත් lunch එකත් අතර මැද ඒ දෙකම වෙනුවට.
” ටීචර් තුන් වේලටම එක සැරයක් කන කෑමට එකට නමක් නැද්ද?”
පන්තියේ හිටි වැඩි දෙනෙකුට දැන ගන්න අවශ්‍ය උනු දේ නිමල් ප්‍රේමතිලක ඇහුවා. කවුරුවත් හිනා උනේ නෑ.

ටවුමේ දොස්තර – දත් දොස්තරට සමහරු කීවේ දතා කියල. මිනිහගෙ පුතත් නිමල්ගෙ පන්තියේ . තුෂාර බණ්ඩාර නවරත්න. ඊ ළඟ අවුරුද්දේ කොළඹ ඉස්කෝලෙකට යන තුරු නිමල්ලගෙ පන්තියේ.
තාත්ති උදෙන්ම කාර් එකෙන් ගෙනත් බස්සල යනව. දවල්ට හිර කළිසමක් ඇඳල නළලට කළු කණ්ණාඩි දාගත්තු ගෑණු කෙනෙක් ඇවිල්ල තුෂාර එක්ක යනව. ඒ එයාලගෙ අම්මි.
නිමල් ප්‍රේමතිලක බලන් හිටියා තුෂාර එයාහේ පොත් බෑග් එකෙන් හුරුබුහුටි පෙට්ටියක් එළියට අරන් එ තුල තිබුණු කෑමක් ටික ටික කනව.
“ඔයාටත් ඕනද”
තුෂාර කාපු තැනින්ම නිමල් කටක් කඩන් කෑව. පොඩි උන් එහෙමයි.
පාන් පෙති දෙක මැද්දට ගෝවා කොලයක් වගේ එකක් , තක්කාලි පෙත්තක් තව හීනියට කැපූ අපුල රසක් ගෙන දුන් තවත් දෙයක් එහි තිබුණා.
“රසද?”
පාන් කෑල්ල නිමල්ගෙ උඩු තල්ලෙ ඇලිලා. කතා කර ගන්න වචන පිට උනේ නෑ. “හුග්” (ඔව්) මෙලෝ රහක් නෑ.
ටීචර් ආයෙත් කතාව පටන් ගත්තා.
“ඔය අතර මැද්දට , ඒ කියන්නේ lunch එකයි dinner එකයි මැද හවස 3 ට 4 ට විතර පැණි රස කෑමක් කාලා තේ බොනව. ඒකට කියන්නේ supper කියල

එද රෑ නිමල් අම්මත් එක්ක කීවා තමන් උගත් දේ. අම්මත් අහන් හිටියා.
” අම්මේ මට හෙට උදේට ඉස්කෝලෙ ගිහින් කන්න මොනව හරි හදල දෙනවද ?” ” තුෂාර එයාගෙ කෑමෙන් මට ටිකක් දුන්න. හරි රහයි.”
” ඒ කවුද?”
” අර දතාගෙ කොල්ල. ටවුමෙ දත් දොස්තරයගෙ..”
තාත්ත දෙකක් දාගෙන..
” අට්ටි ඉමස්මිං. කායේ කේසා ලෝමා නකා දන්තෝ.. නව ගාරයෙනි ගලනා ඕජස් මේ කුණූ සිරුරා.. ඌ දත් ගලවනව.. දත් සුද්ද කරනව.. මම කොණ්ඩෙ කපනව . කොණ්ඩෙ ලස්සන කරනව.. ඌයි මායි දෙන්නම එකයි… මහ පොලවට පස් වෙනවා.. මේ කුණූ සිරුරා…”
” අද මොනවද?” නිමල් ඇහුවා.
දෙන්න තමන්ගෙ breakfast මාරු කර ගත්තා.
නිමල්ගෙ අම්මා පිටි ගුලියක් තුනී කරල ඒ මැද්දට රෑ ඉතුරු උනු කොළ මැල්ලුම් ටිකක් තියල දෙකට නමල රොටියක් පුච්ච්ල දුන්න නිමල්ට breakfast එකට.
” හරි රහයි,,, අපි මෙහෙම කරමු.. හැමදාම මට ඔයාගෙ එක දෙන්න. මම මගෙ එකත් දීල දවල් ඉස්කෝතු තුනත් දෙන්නම් ඔයාට.”
නිමල් හැමදාම ඉස්කෝලෙ ආවෙ දවල්ට ඉස්කෝතු ලැබෙන නිසා. දැන් හරි මගෙ ඉස්කෝතු තුනයි.. නිමල්ගෙ තුනයි .. හයයි.
අම්මටයි මටයි supper එකට…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to අමුතු කතාවක්

  1. Lakmal Kandevidane පවසයි:

    කාලෙකින් අලුත් ඒකක් දාලා

  2. Rasika Suriyaarachchi පවසයි:

    ඉස්කෝලවල විස්කෝතු දුන්නු කාලේ, ඒ කියන්නේ 70 දශකයේ, එහෙමත් ළමයෙක් තමයි ගෙදරින් කෑම ගෙනාවේ. බ්‍රන්ච් වගේ වචන ව්‍යවහාරයේ තිබුණා ද මන්දා?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )