පළා බබා – 3


රත්නපාල මහත්තයලගෙ ගෙදරට කිට්ටුම නගරයට හැතැක්ම එක හමාරක් විතර ඇති. නගරයේ ඉඳල රත්නපාල මහත්තයලගෙ ගෙදරට එන කෙනෙක් ඒ ගේ පහු කරල ගියාම පාරේ වම් පැත්තේ කුඩා උප තැපැල් කාර්යාලයක් තියෙනවා. වැඩ කළේ මැදිවියේ කාන්තාවක් තැපැල් ස්තානාධිපතිනිය විදියට. මනි ඕඩර්-ටැලිග්‍රෑම්-පිං පඩි- මුද්දර වගේ සේවාවන් එතැනින් සැපයුනා. ලොකුම අඩුවකට තිබුණේ ටෙලිපෝන් එකක් නැතිකම.

හිටි හැටියේ ටෙලිකොම් එකෙන් ඇවිල්ල නගරයේ ඉඳල කොන්ක්‍රීට් කණු තිහ හතළිහක් විතර පාර දිගේ එලා ගෙන එලා ගෙන ගියා.
ඊ ළඟ සතියේ උප තැපැල් කාර්යාලයෙන් ක්‍රීං ක්‍රීං ගාන සද්දයක් ආවා.

” ඔය තැපැල් නෝනද ? මේ කතා කරන්නේ රත්නපාල වෙද මහත්තයා. ඔන්න ලොකු අඩු පාඩුවක් වෙලා තිබුණු දේත් මම ඉටු කළා. ඒ වගේම නෝන මහත්තයලත් අපිට යුතුකම් ඉෂ්ට කරන්න ඕන”
පුදුමයි. ඒත් ඇත්තයි. දුරකතනයක් ඉල්ලල අවුරුදු 5 කටත් වඩා වැඩියි.

ගේ ඇතුළේ එක ගාල ගෝට්ටියයි. සාලෙ කොණක කෝනර් ස්ටෑන්ඩ් එකේ කිරි ටොයිය වගේ අළුත්ම ටෙලිෆෝන් එකක්.
” හලෝ… නංගිද ? මම මේ මේ දයා අක්කා.. ඔව්. ඔව්. අපි ටෙලිපෝන් ගත්තා. දැන් ඉතින් ලේසියි හැම දේටම. මේ පැත්තේ ඇවිල්ල යන්න එන්න. සිකුරාදාවක. සිකුරාදා මෙහේ ඉඳල කැළණි විහාරෙටත් ගිහින් , පස්සෙ සත්තු වත්ත එහෙම බලල යන්න බැරියැ.. ඔව්.. ඔව්.. අපෙ වෑන් එකේ.. එහෙනං තියන්නං.. බුදු සරණයි.. චෙරියෝ..”

ගෙදරට එන කිසිම කෙනෙක් හිස් අතින් ආවෙ නැහැ. කුස්සිය පිරෙන්න එළවළු.. දයා මැණිකේ පොලේ ගිය කාලයක් මතක නෑ. දැන් හැමදාම රෑ කෑමට දහයක්,පහළොවක් විතර වරදින්නෙ නෑ. ආරක්ෂාවට ආ කට්ටිය. කට්ටියක් ඕබි බැලුවා. තව කට්ටියක් කැරම් ගැහුවා. ඩ්‍රයිවර් – සිසිර කුමාර; රත්නත් එක්ක මුකුළු කළා. රත්නා හැමෝටම තේ- කෝපි ඇල්ලුවා විටෙන් විටේ.

වෙද මහත්තයා කුස්සියට එබුනා. බිම එළන ලද පැදුරක අළු කෙසෙල් කැනක්, පිපිඤ්ඤ ගෙඩි හතරක් – පහක්, වට්ටක්කා ගෙඩියක්,මෑකරල් මිටියක්,කරවල කූරියෙක්, සාඩින් ටින් කීපයක්..
දයා මැණිකෙත් ආවා රෑ කෑමට මොනවද උයන්නෙ කියල බලන්න.
” ඔය අළු කෙහෙල් එහෙම නිතරම උයන්න එපා.”
” ඇයි මක් වෙනවද ? ”
” පිරිමින්ට හොඳ නෑ.. හිරකාරයන්ට දෙන්නෙත් අළු කෙහෙල්.. උන්ගෙ මදන කුලප්පුව මට්ටු කරන්න”
” අපෙ මහත්තයට අපිව මදි වෙයිද දන්නෙ නෑ පහු වෙනකොට”

සෙනසුරාදා රත්නපාල මහත්තයා කොළඹ ගියා වෑන් එකේ. කොටුවේ කපාඩියා එකෙන් සිංහළ බෙහෙත් බඩු ටික ගන්නයි.. තිඹිරිගස්යායෙ හර්කියුලස් එකට රෙදි වගයක් බලන්නයි. ජාතික ඇඳුම් කට්ටල් 4 කටම රෙදි අරන් දුන්නා.. ටිකක් කහ පාටට හුරු.
ටේලර් කොල්ලා වෙද මහත්තයගෙ බඩ වටේ ප්‍රමාණය මැන්නා. සයිස් එකේ හැටියට ඌ හිතන්න ඇති එක්කෝ ඇමති කෙනෙක් නැත්නම් ලොකු මුදලාලි කෙනෙක් කියල.
” සිසිර මගෙ මේ බඩ ගෙඩිය එදා ඉඳලම තිබුණු එකක්. මිනිස්සු කියන එකක් නෑ දිනුවට පස්සෙ බඩ ආවා කියල.. අනික මං මේ කියන්නම හිටියේ . පිට මිනිස්සු ඉස්සරහ අපිට නෑකම් කියන්න එපා. මිනිස්සු හිතයි මුළු පරම්පරාවම ගෙදර ගෙනත් දාගෙන කියල”

වෙද මහත්තය එහෙම කිව්වේ තව එකක් හිතේ තියා ගෙන. වෙද මහත්තයට ඉව වැටිල තිබුණෙ රත්නත් එක්ක තිබුණු අසාමාන්‍ය කුචු කුචුව. ඇවැස්ස නෑනල -මස්සිනාල තමා. ඒ උනාට අපි කොහොමත් නෑයො නේ. පිටින් එකතු කර ගන්න ඕන. එතකොටයි පවුල ලොකු වෙන්නේ. මැණික් මුදලාලි කෙනෙක් දැනටමත් අහල එවල තිබුනා එයාගෙ පුතාට. නෑයෝ කියල ආවට- ගියාට; ලපයි-සිපයි කිට්ටු කරගෙන බෑ.
මේක මේ ඩෝබිගෙ පිරුවටෙ වගේ.. මේ පාර නං දිනයි. ඊ ළඟ පාර පරදින්නත් පුළුවන්.
ඊට කලින් අහස් මාළිගා…. හීන මාලිගා…. ගොඩයි.

ටවුමෙ ලයිට් කණුවකට ගැට ගහල තරුණයෙක් මරා දාල. අනේ මේ අහිංසකයන් මෙහෙම මරා දමන්නේ ඇයි. උන් රටෙන් භාගයක් ඉල්ලුවද ? රටේ පවතින නීතිය අනුව නඩු අහලා වරදක් කර ඇත්නම් දඬුවම් කරන එක නේද හරි. මේ තරුණයාටත් අම්මෙක් අප්පෙක් ඇති නේද ?
“රත්නම් මහත්තයා.. මම නම් කියන්නේ මුන් පණ පිටින් ප්‍රසිද්ධියේ පුච්චන්න ඕන. අනික් උන්ට පාඩමක් වෙන්න”
“එහෙමමත් කියන්න එපා. උන් හරි.. උන් කියන දේ පිළිගන්න අපි ලෑස්ති නෑ. අපේ උගත්කම්-සමාජ රටාව- පවුල් පසුබිම් නිසා අපි කැමති නෑ උන්ට එකතු වෙන්න. ඒත් කවදා හරි දවසක් එනව උන් දිනන..”
“තුවක්කුවේ බලයෙන් මිනිහා පාලනය කරන්න හදපු යල්පැන ගිය ක්‍රමයක් ඕක රත්නම් මහත්තයා.. හැම එකාටම සහෝදරයා කිය කියා.. උන් කියන මේලෝකෙ දෙයක් මට නම් තේරෙන්නෙ නෑ”
“යල් පැන ගිය ක්‍රමයක් උනාට.. යම් තත්වයකට එන තුරු අපේ වගේ කුඩා රටකට ගැලපෙන්නෙ ඔය ක්‍රමයම තමා වෙද මහත්තයා.”

This entry was posted in Uncategorized. Bookmark the permalink.

1 Responses to පළා බබා – 3

ප්‍රතිචාරයක් ලබාදෙන්න