අලියාගෙ ඉඳල පනුවා දක්වා ලිව්වා. ආයෙ මොක්කු ගැනද ලියන්නෙ කියල හිත හිතා ඉන්න කොටයි අර දෙන්න දාල ගිය , ඉබේටම මගෙ වුනු මාළු ටැංකිය දැක්කෙ. හිත කලබල වෙලාවට මාළු ටැංකිය දිහා ටිකක් වෙලා බලං හිටියාම අර කලබල හිත ටිකක් මෙලෙක් වෙලා ඉහිරිලා යනව. එහෙම නං අද ලියමු මාළු ගැන.
මාළු කියන්නෙ කට නිසා නහින ජාතියක්ලු නෙ. බිලි කොක්කේ නලියන පනුවා කන්ට ගියාම ඌ දන්නෙම නැතිව කොක්කෙ ඇමිණෙනව. ඒත් දැලට අහු වෙන මාළු නහින්නෙ කට නිසා නෙවි , මෝඩකම නිසා හෙවත් ඔළුවක් නැතිකම නිසා.
අපෙ එක්කෙනා දස්සයි මාළු ඔළු හොදි හදන්න.
මම කඩේ යන්න ලෑස්ති වෙන කොට මට කියනව ” ඒයි.. මාළු ගේනවනං ඔළු ටික වෙන ම ඉල්ලගෙන එන්න” කියල.
මං ඇහුව මාළුන්ට ඔළු කොහෙන්ද කියල. එකා පස්සෙ එකා ගිහින් දැලට රිංගනව. ඔළුවක් තියේ නං ඉස්සරහ එකාට වෙන දේ දැකල ඊලඟ එකා හැරිල එන්න එපායැ.
ඒක අහල එයා මාළුවෙක් වගෙ කට උල් කරල මොනවද කිව්ව.
මාළු ටැංකියේ හිටිය ගෝල්ඩ් ෆිශ් කෙනෙකුත් කට උල් කරල වායු බුබුළක් උඩ ඇරිය.
එයා මීන – මාළු ලග්නෙ. මම මේෂ – එළු ලග්නෙ. ඒ උනා බරණ ගනිතාචර්යතුමා කියන්නෙ මේෂ කියන්නෙ මේසෙට කියල.
” පෙර රැස නගා පලහා අන්තිම රාසී
යුග රැස වන් දනෝ
පස් රැස මෙන් දොඩවයි වාසී” ඒ රාශි දොළහ ගැන. වැඩි විස්තර අපේ වෙදනා තුමන් ගෙන් දැන ගන්ට පුළුවන් . ලංකාප්රියත් දන්නව ඇති.
ගෑණු අයගේ ඇස් දිගටි නිසා මාළුවන්ට උපමා කරනව. ඉස්සර හින්දි නිළියක් හිටිය මීනාක්ෂි කියල. පව්.. දැන්නම් හොඳටම නාකි ඇති.
” මීන නුවන් යුගින් බලන් මීනා” කියල වික්ටර් රත්නායක ගයන ගීයකුත් තියෙනව.
අපේ පළාත්වල මාළු කියන්නෙ මාළු පිණි නැත්නම් වෑංජන වලට. රට මැද්දෑවට වෙන්ට තියෙන ගොඩේ ගම් වලට මුහුදු මාළු යන්නෙ නැති නිසා වෙන්නැති ඒ.
පොළොස් මාළුව , අඹ මාළුව , අන්නාසි මාළුව , හත් මාළුව.. හැබැයි ආන මාළු කියන්නෙ කෙසෙල් ජාතියක්.
මාළු ප්රධාන වර්ග දෙකයි.
කරදිය මාළු :
මුහුදේ ඉන්න , තෝරු , මෝරු
මිරිදිය මාළු
වැව් මාළු , ගඟෙ මාළු , වෙල් මාළු
ඊට මතරව ටිං මාළු , ෆෝමලින් දැමූ මාළු , අයිස් දැමූ මාළු.
මිරිදිය මාළු වල කටු ටිකක් වැඩියි. පිළී ගඳත් ටිකක් වැඩියි.
” මානෙල් සුවඳමය
කුඩමසු පිළී ගඳමය” කුඩමැස්සත් මිරිදිය මාළුවෙක්.
ආන මාළු වගේ නෙවේ ආඳ මාළු. ලිස්සනව. ආඳ මාළු ඉරට්ටෙන් කෑව වගේ , ආඳා යවා තබාලා වල් පත ගත්තා වගේ කියල ප්රස්තා පිරුළු තියෙනව. සමහර මිනිස්සුත් ඉන්නව ගල් ආඳො වගේ ලිස්සල යන.
ආඳ මාළු ලිපේ අළු යට පුච්චල හොඳයිලු ඔයා බවලතුන්ගේ මොකක්ද ලෙඩේකට. නදීලට , ගිම්හානිලට , ප්රවීනලට ඕක සහසුද්දෙන්ම දැනගන්න පුළුවන් වෙදනා තුමාගෙන්.
පුංචි හාල්මැස්සගෙ පටන් තල්මහ දක්වා මුහුදෙ ඉන්න මාළු විවිධාකාරයි. පොඩිම එකා ඊලඟට ටිකක් ලොකු එකාගෙ ආහාරය වෙනව. ඌ , ඊට ටිකක් ලොකු එකාගෙ ආහාරය වෙනව. ඊට අමතරව මුහුදු පැලෑටි කාල මාළු ඉබේටම ලොකු වෙනව. ඒ උනාට මාළු කාරයො අපිට මාළුවල ගණන් කියන්නෙ හරියට කන්ට දීල ඇතිකරල වගේ. එතකොට තමයි ඇඟේ මාළු නටන්නෙ.
මාළු නිදාගන්නෙ කොය් වෙලාවටද දන්නැහැ නිහාල්
ලකීගේ කමෙන්ට් එක නිසා මතක් වුනේ,
දවසක් වීදාගම හාමුදුරුවෝ ගමනක් යනවලු, වෙලක නියරක් උඩින් යන්න තියනවලු, දැන් හාමුදුරුවෝ දකිනවලු, මේ පොඩි රාහුල හාමුදුරුවො ඉන්නවා බිලී කොක්කට පනුවා ගහලා වතුරට දමලා මාලුවෙක් ඇම කනකන්, හාමුදුරුවෝ ඇහුවලු එක පාරටම” කොලුවෝ අටවකදා මාලු බාල තෝ කොයි වල යන්නද කියලා” එතකොට කොලුවා උත්තර දෙනවලු ” හාමුදුරුවනේ මේකෙ වක දෙකයි, මේ වලේ නැත්තන් වෙන වලකට යනවා කියලා” ඔන්න ඔය මුඛරිකම නිසාලු වීදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ව මහණ කලේ.
තව දවසක් ඒත් වීදාගම හාමුදුරුවෝ වඩින වෙලේක මේ කොලුවා පාරේ තැනක වාඩිවෙලා එලි බහිනවලු. අතින් ආප්පයක් අරගෙන ඒකත් කකා තමයි මේ වැඩේ කොරලා තියන්නේ. එතකොට හාමුදුරුවො ඇහුවාලු, කොලුවො තොට කැත නැද්ද කිකලා. එතකොට මේක කියපි ” අනේ හාමුදුරුවනේ මම කලහම තමයි කැත එතකොට ඔය වරායේ එක පැත්තකින් බඩු බාන ගමන් අනිත් පැත්තෙන් පටවන්නේ කියලා.”
අපි නම් මස් කන්නේ නෑ කිය කියා මාළුන්ගේ මස් කන කී දෙනෙක් ඉන්නවාද ලංකාවේ… ආකර්ශණීය ලිපියක්…
ඔය වීදාගම හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ව මහණ කමට අල්ලගන තියෙන්නෙත් පෝය දවසක මාළු අල්ලමින් ඉන්න වෙලාවකලුනෙ..එතනත් හරි ලස්සන කතාවක් තියනවා …
ඒක නෙවෙයි නිහාල් අයියා..ඔය මැලතියන් ගහපු මාළු කිව්වෙ ෆෝමලින් ගහපු මාළුන්ටද ?..
මීට අවුරුදු තිහකට විතර ඉස්සෙල්ල කෑගල්ලට කැන්දං ගියපු අපේ පුංචි අම්ම බලන්න ඉස් ඉස්සෙල්ලම නෑගං ගිහිල්ල දවල් කෑමට වාඩි උනාම අළුත් නැන්දම්ම ඇවිල්ල කියනවලු පුතේ ඔය මාළු බෙදාගන්ට ! කියල, බැලුවට මේන්නෙ මෙලෝ මාළුවක් නෑ මේසෙ උඩ. බැරිම තැන කිව්වලු “අනේ අම්මෙ මයෙ එච්චර මනාපයක් නෑ මාළු වලට කියල. මාතර ඉඳපු අපේ අම්මල නොදන්න මාළු. !!
අපෝ නිහාල් මාව දාල තියන අමාරුවක්. මේවා දැක්කම ඇගේ මාලු ගඟේ නටනවා. කොහොම හරි මාලු කියන්නේ බොහෝම වටිනා අහරක්. හැබැයි වැඩියෙන් මාලු තියන කළුතර තමයි වැඩියෙන් අයඩීන් ඌනතාවය තියන්නේ. එතකොට අයඩීන් ඌනතාවයට හොඳම මාලු ගන්න එක. පේනවනේ වැඩේ, මුන් මාලු අල්ලලා විකුනනවා. ඒ සල්ලි වලින් මාලු අඩුවෙන් ගැනීමෙන් ඇතිවන රෝග වලට බේත් ගන්නවා. යසයි නේද ?
හැබෑට මොකක්ද අර ලෙඩේ?
කතාව ලස්සනයි. මාතෘකාවේ එන සතා ගැන දැන ගන්නවා වගේම ඒකෙන් වීසිකරන තොප්පි ගැනත් යම් අවබෝධයක් ලැබෙනවා. (කැමති අයට දාගන්ටත් පුලුවන්නේ.) ඒ විදියට කතා කියන එක හරි අමාරුයි. ඒ අමාරු වැඩේ නිහාල් හරිම දක්ෂ විදිහට කරනවා.
හා… දැන් ඉතින් මහ වෙදනාට පණිවිඩයක් යවලා ගෙන්නගමු බලන්ට…..:D:D:D
එතුමා ඊයේ ඔබා අය්යා මාරය්යාගේ පොස්ට් එකෙදී මේ වගේ ආරාධනයක් කලාම ඇවිත් මරු විරහ කවියක් දාල ගියා.. බලමු ඔයාගේ ආරාධනාවටනම් අනිවාර්යෙන් දෙනවා හොද පිලිතුරක්…
නෑ… එක්කොත් ඕන නෑ. ඒක ලෙඩකුත් නෙවේ. මහවෙදනත් ලිස්සල ගියා ආඳා වගේ උත්තරයක් නොදී.
හපොයි එතුමා ඔහොමම තමා. මගේ ප්රශ්න කීයක් මගහැරලා තියනවද? මගේ ප්රශ්න කීවෙ මේ වෙදගෙදරදී අහපු ප්රශ්න.
නටන්න පුළුවන් මාළු ඇඟේ ඉන්නාවාලු.
මාලු කීවම නිහාල් අය්යේ දැන් ඔය ගාලු ප්රදේශයේ අමුතු ජාතියේ මාලුවෙක් ඉන්නවනේ . ඒකා ගොඩට ඇවිත් විනාඩි 17ක් ඉන්නවලු.ඒ ගෙදෙර දරුවෝ ඒකා කොට්ටෙ තියල නිදිකරනවත් පෙන්නුවා. මාර මාලුවෙක් නේද.
ඔක්කොටම කලින් දැනගන්න ඕන මොකක්ද අර ලෙඩේ කියලා. අපිටනම් ඒත් මුකුත් ලෙඩක් නෑ. දාගන්න ලෙඩ තමයි තියෙන්නේ.
is that a snake fish?
http://en.wikipedia.org/wiki/Snakehead_(fish)
ගොඩක් රස වින්දා. මටත් මාළු ටැංකිය දිහා බැලුනා. මාළු ගැන කතාකරනකොට සුරංගනී සහ කුසල් හාමි ( පින් මාළු වලේ මාළු බාන) අමතක කරන්න එපා .