මේවා මා ලියන්නේ හුදු විනෝදය පිණිස මිස කාටවත් කැපිල්ල දැමීමට නොවේය.
මිනිසුන් කැපීමට සහතික අවශ්‍යය. ඒ දොස්තරලාටය. එහෙත් මිනී කැපීමට සහතික අවශ්‍ය නැත.
කැපීම හිරේ හෝ ගස් යන වැඩකි.
අපේ කැපිල්ල පටන් ගන්නේ තිඹිරි ගෙය හෙවත් ලේබර් රූම් එකෙන්ය.
බෙලි කැපිල්ල හිරේ යන වැඩක් උනාට , මගේ පෙකණි වැල කපා, මා දෙකකුලෙන් උස්සා, සට්ටමට පාරක් ගසා මා ඇඬවූ දොස්තරයා හිරේ ගියේ නැත.
අරාබි ජාතිකයන් බෙලි කැපීමට දක්ෂය. ලංකාවේ රිසානාගේ බෙල්ල කපා මරා දැමීමට නියමිතව තිබුණු නමුත් එංගලන්තයේ චාල්ස් කුමරයා පවා ඇයට ජීවිත දානය දෙන්නැයි ඉල්ලා සිටි බැවින් දැන් එය කල් දමා ඇත. .. ලංකාවටද අවශ්‍ය වන්නේ මෙවන් දැඩි නීති ක්රමයකි.
අප කපන්න බැරි අත සිඹින්නද, සිඹින්න බැරි අත කපන්නද දනිමු.
බේබි කැපිල්ල කඩදාසි කුට්ටමෙන් කරන ක්‍රීඩාවකි. එහෙත් බේබිට කැපිල්ල නොමනා ක්‍රියාවකි.
ඉස්සර කාලයේ ගොයම් කැපිල්ල බලා ඉන්න ලස්සනය. පහත් වී ගොයම් කපන ලඳුන්ගෙ ගෙල බැඳි මාලය මුකුලු කරන බව සිංහල කවියා පවසයි.
ගෙවල් සෑදීමට ගඩොල් අවශ්‍යවේ. කලු ගල් ද අවශ්‍යවේ. ගඩොල් කපා පුලුස්සා ගත්තද, ගල් කපනු නොලැබේ. කුලු ගෙඩියෙන් ගසා කැබලි කර ගත යුතුය.රත්නපුර පැත්තේ නම් ගල් කපනු ලැබේ. ඒ මැණික් ගල්ය.
මුස්ලිම් වෙලෙන්දෙක් මැනික් ගල් කපා ඔප දමන බිස්නස් එකක් පටන් ගෙන , මැනික් ගල් කැපීම සඳහා දක්ෂ පිරිමින් අවශ්‍ය යැයි පෝස්ටරයක් ගැසුවේය. පහුවදා කවුදෝ පාහරයෙක් එහි “මැනික් ” යන වචනය මකා දමා තිබුනේය.
කපන්ට කපන්ට කොට වෙනවාය. එහෙත් රැවුල , කොන්ඩය සහ නියපොතු කපන්ට කපන්ට දික් වෙනවාය. පාර වල් ද කපන්ට කපන්ට දික්වේ.
චන්දෙට පසුදාම කරන්නේ පාරවල් කැපීමය. ඒ විරුද්ධ පක්ෂයේ එකාගේ ඉඩම මැදින්ය.
1982 අපේ ඉඩමක් උඩින්ද පාරක් කැපුනේය.
වටිනා , පීදීගෙන එන කරාඹු ගස් 18 ක්ම කපන්ට සිදුවිය. ඒ දැක අපේ අම්මා හැමෝටම දෙහි කපන්ට විය.
දෙහි කපන්නේ කට්ටඬියාය. ඒ ග්‍රහයන්ට හෙවත් ගිරහයන්ටය. දෙහි කපන්නේ ගිරයෙනි. අත්තම්මා පුවක් කපන්නේද ගිරයෙනි. ගිරහයන්ට දෙහි කපන නිසා ගිරයට ඒ නම ලැබුනේද, එහෙම නැත්නම් ගිරවෙකුගේ හැඩය නිසා ගිරයට ඒ නම ලැබුනේද කියා බුදු වන්නට ගොසින් අහු වූ මහතාගෙන් වත් අසා බැලිය යුතුය.
දිය කපන්නේ දියවඩන නිලමේය. පරණ මිනිස්සු කියන්නේ කඩුවෙන් වතුරට කොටා, දිය දෙබෑවූ තැනින් ජලය කළයකට ගෙන ඊළඟ වසර දක්වා තබා ගන්නා බවය.
මල් කැපීමද දෙ ආකාරය. අපේ ගමේ ආරියරත්න අයියා සහ සෝමෙ මාමා මල් කපන්ට දක්ෂයින්ය.
ආරියරත්න අයිය මල් කපන්නේ කඩදාසි වලින්ය. පිරිත් මඩු, මඟුල් මඩු ගැසීමට ඔහු කාගෙන්වත් මුදල් අය නොකරයි. සෝමේ මාමා කපන්නේ කිතුල් මල්ය.
කිතුල් මල කපා ඊට යටින් මැටි මුට්ටියක් එල්ලා, එකතුවෙන ද්‍රවයෙන්, පැනිද, රා ද හැදීමට ඔහු දනී.
ලංකාවට රූප පෙට්ටිය ආ කාලයේ අපේ ගෙදරටත් කළු සුදු රූපවාහිනියක් ගෙනාවේය. මුල් කාලයේදී අපේම කියා වැඩසටහන් නොතිබුනු නිසා ඉන්ගිරිසි සංගීත සංදර්ශන වාගේ ඒවා විකාශනය විය. බෝනියම් ලා ගේ නැටුමක් දිහා බලා ගෙන සිටි කඩේ කොල්ලා කිව්වේ ” ඕව නැටුම් ද ? කැපිච්ච පණුවෝ වාගෙ” කියාය.
එක් මිනිසෙකුට කතා කරන ගිරවෙකු සිටියේය. ඌ වැඩියෙන් කතා කරන්නේ කුණුහරප නිසා ඌට දඬුවමක් දීමට සිතූ ගිරවාගේ අයිතිකරු , ගිරවාගේ බෙල්ල බාගෙට කපා වැසිකිළියේ දොරේ ඇතුල් පැත්තේ එල්ලුවේය.
මූත්‍රා කිරීමට වාඩිවූ ඔහුගේ බිරිඳ ගිරවා දැක , ” හොඳටම කැපිල නේද?” කියා ඇසීය. එවිට ගිරවා ” මේක මොන කැපිල්ලක්ද .. ඕකනෙ කැපිල්ල” යැයි කියා ඇත.
තව කැපිලි ජාති බොහෝය.
වෙස් මූණු කැපිල්ල , කැටයම් කැපිල්ල , හූණියම් කැපිල්ල අපේ සංස්කෘතිකාංග උනාට ගැට කැපිල්ල නං අපාගත වන වැඩකි
(මෙය මීට පෙර ” අන්තිම පේලියට ” මා විසින් ලියන ලද්දකි. අන්තිම පේලියෙන් මා කැපී ගිය නිසාත් , මට කැපිල්ල දැමීමට මෙහේ කවුරුවත් නැති නිසාත් මෙහි නැවත පළ කරමි.)
මෙහෙමත් කැපිල්ලක්, කපනව නේද හිටු කියල. ඇයි අර සියාතු අයියගෙ කපන්න කපන්න මුවහත්වෙන කිඹුලා උදැල්ල අමතක උනැයි
මට මතකයි නිහාල් අයියගෙ මේ පෝස්ට් එක අන්තිම පේලියෙ තියනව . . . .
අයියට කැපිල්ල දාපු එවුං ටික දැං නිකම්ම වගේ අන්තිම පේලියෙං කැපිල ගිහිල්ල.
අන්තිම පේලියේ තිබුණු මගේ ලිපි අත් වැරැද්දකින් ඩිලීට් උනා. හොඳ වෙලාවට මගේ ළඟ ඩ්‍රාෆ්ට් එක ඉතුරු වෙලා තිබුනා.