ස්වෙත්ලානා-2


ලානා පාසැල් ගේට්ටුවෙන් එළියට එනවා සැඟවී බලා සිටි දිමිත්‍රි ඈ පසු පස ගියා. වෙලාව 2.00 ට විතර ඇති. ලානගෙ යාළු කොලු කෙල්ලන් “බායි ලානා” කියා ගෙන ඔවුනොවුන් රැගෙන යාමට පැමිණි වාහන වල නැගී නොපෙනී ගියා. දිමිත්‍රිලාට වාහනයක් තිබුණේ නැහැ.

හැතැම්මක් විතර අලස ගමනින් ඇවිද ගිය ලානා අවන්හලකට ගොඩ උනා.
පවු. කෙල්ලට බඩගිනි ඇති. මේ හොඳට කන්න බොන්න ඕන කරන වයස. ඇඟවල් හැදෙන වයස. ඒත් කෙල්ලට කොයින්ද සල්ලි?
පැය භාගයකට වඩා ගෙවුනා. ලානා එළියට නොආ නිසා දිමිත්‍රි ඇතුළට ගියා.
පාසැල් ඇඳුමට උඩින් ඒප්‍රන් එකක් ඇඳන් ලානා මේස පිහ දානවා.
“ඩැඩී යන්න ගෙදර. මම පැය දෙකකින් එන්නම්. ඇවිල්ල විස්තරේ කියන්නම්”

දිමිත්‍රිට දුකයි. පැය දෙකකට විතර පස්සෙ ලානා ගෙදර ආවා.
” ඩැඩී මම එතන පැය දෙකක් වැඩ. සතියට පැය 10 ක්. මට පඩියක් ගෙවනවා. වැඩි වැඩක් නෑ. මේස පිහදාන්න විතරයි තියෙන්නේ”
“ඒත් ළමයෝ ඔයාගෙ ඉස්කූල් වැඩ. හෝම් වර්ක් ?”
” ඩැඩී මට ඕන සල්ලි. ඩැඩීගෙන් නො ඉල්ලා ඉන්න. කොහොමටත් මට දුරට ඉගෙන ගන්න ආසාවක් නෑ. හයි ස්කූල් ඉවර උනු ගමන් මම රස්සාවක් හොයා ගන්නවා. මට ඕන ඩැඩීට උදව් කරන්න. ඔයාගෙ බෙහෙත් ටික අරන් දෙන්න”
දින කීපයකට පසු ලානා අළුත් සන්තෝෂයකින් හිටියා.
” ඩැඩී ෆැෂන් මැගසින් එකකින් මට කෝල් කලා. ඔඩිෂන් එකකට. මගේ පින්තූර ඒ මැගසින් එකේ පළ කරනවා. . හොඳට ගෙවනවා”
“ඕව කොහෙන් කෙළවර වෙයිද? තමන්ගෙ පරෙස්සම තමන් බලා ගන්න ඕන”
ලානාගේ තිබුණේ වයසට වඩා මෝරපු පෙනුමක්. සමහරවිට ඒ කුඩා කළ සිටම කටුක අත්දැකීම් වලට මුහුණ දුන්නු නිසා වෙන්නැති. ඒත් ඒ මෝරපු පෙනුම ලානට ගෙනත් දුන්නේ අපූරු සුන්දරත්වයක්. නියම ඇත් දළ පාට හම. අනෙක් ඇමරිකන් කෙල්ලන්ට නොතිබුණු දීප්තිමත් ඇස් දෙකක්.

එක් සෙනසුරාදාවක ලානා , දිමිත්‍රිට ලොකු හග් එකක් දීල පිටව ගියා අර කියපු ඔඩිෂන් එකට.
හොලිවුඩ් බුලවාඩයේ දැවැන්ත නිවසක විශාල ශාලාවක්.. විවිධ හැඩ ගත් තරුණ හා මැදිවියේ ගැහැණුන් සහ පිරිමින් කඩිගුලක් සේ විවිධ කාර්යන්හි නිරතවී සිටියා. සමහරුන් නොයෙක් මාදිළියේ කැමරා ආම්පන්න සවි කරමින් සිටියා.
ලානා තම හැඳුනුම් පත ඉස්සරහ කවුන්ටරයෙ හිටි සමනළියට දුන්නා.
“russian bitch” එකියක් අනිකියට කෙඳිරුවා.

ටික වෙලාවකින් තමන්ට මෙතැනට ඒමට මග සැලැස්සූ කාන්තාව , ලානා සොයා ගෙන ආවා. ලානාව ඇතුළු ගෙයකට රැගෙන ගියා.
“ඔයා හරි ලස්සනයි. අමුතුම ෆිගර් එකක්. ලස්සන පාටක් තියෙන්නේ. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා” වසර ගණනාවකින් පනාවක් නුදුටු, දෙකණ් වලට අරුංගල් දැමූ, ගෑණියෙක්ද පිරිමියෙක්ද කියල හරියටම කියන්න බැරි කෙනෙක් ලානට එහෙම කීවා.

“මේක ගොඩාක් දුර යන්න පුළුවන් ෆීල්ඩ් එකක්. අපි ඔයත් එක්ක වැඩ කරන්න කැමතියි. අපි අද පේමන්ට් එක අදම කරනවා. සාමාන්‍යයෙන් අපි මේ වගේ වැඩ ලියකියවිලි ඇතුවයි කරන්නේ. ඒත් එහෙම කරන්න බෑ ඔයාට තාම 15 නිසා. අපිට පොරොන්දු වෙන්න ඕන අපිත් එක්ක විතරයි වැඩ කරන්නේ කියල.

ලානාට අඳින්න නියම උනා කෑලි දෙකේ නාන ඇඳුමක්. බිකිනියක්. කෙටිම කෙටි එකක්. ඊට උඩින් අර දොස්තර නෝනලා අඳින ලෝගුවක් වගේ එකක් ලානාට ඇන්දූ වේශ නිරූපන ශිල්පියා ඉතා සීරුවට ලානාගේ යට ඇඳුම් ඉවත් කළා. කොච්චර ශීලාචාර පිරිමිද ?

කැමරා ශිල්පියා; ඕකේ… නයිස්.. වෙරි නයිස්.. බියුටිෆුල් වගේ වචන විටින් විට කියමින් විවිධ කෝණ වලින් ලානාගේ රුව කැමරාවට හසු කර ගත්තා.
සහායකයෙක් පැමිණ වතුර ස්ප්‍රේ කරන බෝතලයකින් ලානා ඇඳ සිටි ලෝගුව තෙත් කලා. නැවත හැරි හැරී පොටෝ ගත්තා.
වැඩ ඉවර උනු විගසම ඩොලර් 1500 ක චෙක්පතක් ලැබුණා. ලානා අත ගා ඇති විශාලම මුදල.
ඩැඩීට ගෙනියන්න ඕන හොඳ කියුබන් සුරුට්ටු පෙට්ටියක්. තව මොනවටද ඩැඩී ආස..?

මාසෙකට විතර පස්සෙ ජනප්‍රිය විලාසිතා සඟරාවක මුල් පිටුවේ ලානාගේ ආකර්ශනීය පින්තූරයක් පළ උනා.
ඒත් මම මේක කොහොමද මේක ඩැඩීට පෙන්නන්නේ?
එදා අර ගත්තු පින්තූර වලින් මැගසින් එකට අරන් තිබුනේ අර පෝරිසාදයා තෙත බරියන් කළ ඇඳුමින් ගත්තු පොටෝ එක විතරයි. එහි ලානාගේ ලපටි සිරුරේ රස මුසු තැන් මනාව උලුප්පා ප්‍රදර්ශනය උනා. ලානා සඟරාව තම පියාට නොපෙන්වා හැංගුවා. එයාට තමන් ගැන දැනුනේ ලොකු ආඩම්බරයක්.

පස්සෙ දවසක අර කාන්තාව– ලානා සඟරාවට යොමු කළ කාන්තාව– අපි කියමුකෝ එයා ලානගෙ ඒජන්ට් කියල-
ලානාට දුරකතනයෙන් කතා කලා.
” මේක මහා තරඟකාරී බිස්නස් එකක්. අළුත් මුහුණු එනවා- යනවා.කොච්චර ලස්සන උනත් එකම මුහුනක් දකින්න විශේෂයෙන් පිරිමි කැමති නෑ. ඔයාට මේ ජොබ් එක කරන්න පුළුවන් වැඩිම උනොත් වයස 20 – 25 වෙන තුරු විතරයි. ඊට පස්සෙ හැමෝම හොයන්නේ 16 – 18 කෙල්ලෝ.
ඔයාට ඉක්මණට පොහොසත් වෙන්නනේ ඕන.. මම කියන්නම්…”

අපි හරියටම සතියකින් කියවමු ලානගෙ ඊ ළඟ පිම්ම මොකක්ද කියල.

Posted in Uncategorized | ප්‍රතිචාර 3

ස්වෙත්ලානා


මම සුපුරුදු පරිදි ඇවිද යමි. පසුගිය වසර විසිපහ පුරාවටම හැමදාම හවසට ඇවිද ගිය පාරේ හැම අඟලක්ම මට මතකය. බඩ අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් අඩු කර ගැනිමට, සිතට දුකක්-ආවේගයක් දැනුනු විට , බිරිඳ සමඟ අමනාපව ඇයටම දිනුම දීමට අවශ්‍ය වූවිට වැස්ස හෝ තද ශීතල නැති හෑම හැන්දෑවකම ඇවිද ගියේ මේ මාර්ගය ඔස්සේය.
සුදු තීන්ත ගෑ ලී වැටක් ඇති කුඩා එහෙත් දැකුම්කළු නිවසේ පදිංචි වී සිටියේ රුසියන් ජාතිකයෙකි. ඔහුගේ නම දිමිත්‍රි බැව් ඔහු හඳුනාගත් දිනක මට කියා ඇත.
මිදුලේ ඔංචිල්ලාවකි. එහි පැද්දෙනවා වෙනුවට ලණු දෙපොට එකට ඇඹරී යන පරිදි එකම තැන කැරකෙමින් සිටි කෙළි පොඩිත්තකි.
” හලෝ හව් ආර් යූ ඩුයින්ග්?” කියා ගෙන ඔහු මා අසළට- වැට අයිනට ආවේය.
“මිණිබිරීද?”
“ඔව්.. ස්වීට්ලානා.”

“ලානා” යනු කෙල්ලකට ගැලපෙන කදිම කෙටි නමකි. මා දන්නා ලානා නම ඇති කෙල්ලන් කීප දෙනෙකි. උන්ගේ නම ලානා වූවාට නියම නම ස්වෙත්ලානාය. මා දන්නා හැම ලානාවක්ම ස්වෙත්ලානාවකි.
“ග්‍රෑන්ඩ් පා…. මම ස්වෙත්ලානා..ස්වීට්ලානා නෙවේ”
පොඩිත්තිය සිනාසුනාය. ඇගේ උඩු ඇන්දේ එක් දතක් වැටී ඇති බව මා දැක්කේ එවිටය.
” හරි.. ස්වීට් කියන්නේ ලස්සන.. ස්වෙට් කියන්නේ දාඩිය… ඔයා මගෙ ස්වීට්ලානාද ? එහෙම නැත්නම් දාඩිය ගඳ ලානාද?”
ලානා බිම බලා ගෙන ඔංචිල්ලාවේ ඇඹරුම දිග ඇරෙන්නට ඉඩ දී කුඩා දෙපා ඉහළට ඔසවා ගත්තාය. දිමිත්‍රි සුරුට්ටුවේ අග කතුරකින් කපා දමා නැවත දල්වා ගත්තේය.
“කෝ බබාගෙ පේරන්ට්ස්ලා?”
” නෑ කවුරුවත් නෑ. මම තමා මෙයා බලා ගන්නේ. මට මෙයා විතරයි. මෙයාට මං විතරයි”
රෝස පාට රවුම් මූණ විඩාවෙන් රතු වෙලා. ගෙතූ කොණ්ඩ කරල් දෙක ඇයට ටිකක් වැඩුමළ් පෙනුමක් එක් කලා. ඇය සමහර විට අම්මා වගේ වෙන්නැති. පවු.. අම්ම කෙනෙකුගෙ උණුහුම අවශ්‍යම වයස..
” ලානගෙ තාත්ත නම් කවුද කියල මම දන්නෙ නැහැ. මගේ දුව මට කිව්වෙත් නෑ. මම හාර අවුස්සන්න ගියෙත් නෑ.. දුව අපිව දාල ගියා.. හරියටම කියන්න බෑ කොහේ ඉන්නවද කියල”

“කොහොමද එහෙම උනේ. බලපන් මගේ කෙල්ලට දැන් විසි අටක්. වෙනම ඉන්නේ. මම හැමදාම කෝල් කරනවා. ඒයා ඒකට කැමති නෑ. ඒත් බැරිවෙලාවත් එක දවසක් කතා නොකළොත් මට සැර කරනවා ඇයි කතා නොකලේ කියල.”
“මගෙ දුවත් මට ආදරෙන් හිටියා. ඒ නිසාම තමා මට ඈ අහිමි උනේ.. එයාට ඕන උනා මට හොඳට සළකන්න”
දිමිත්‍රි ඔහුගේ කතාව දිග අරින්නට පටන් ගත්තේය.
මගෙ දුවගෙ නමත් ලානා.. ස්වෙත්ලානා. ස්වෙත්ලානා පොපොවිච්..
******************************************************
” ඩැඩී… ඉස්කෝළෙ ළඟදී මාව ඉඹින්න එපා..”
“අර මොකෝ?”
“මොකෝ තමයි. ළමයි මට හිනා වෙනව.. මම දැන් ලොකුයි. මම ලොකු ගෑණු ළමයෙක්..”
දිමිත්‍රි, කර ගැඹුරට කැපූ මේස් බැණියමක් වගේ සැට්ටයක් ඇඳ සිටි තම දියණිය දෙස ඕන කමින් බැලුවා.
“හප්පා. ඇත්ත නේන්නම්.. ” දිමිත්‍රි ලැජ්ජාවෙන් දෑස් ඉවතට ගත්තා.
“ඩැඩී.. සල්ලි ටිකක් වැඩිපුර ලැබුනාම මට ඇඳුම් කීපයක් අරන් දෙන්න පුළුවන්ද? මම ආයෙ ගොඩ කාලෙකට කරදර කරන්නෙ නෑ”
ලානා දැන ගෙන හිටියා මට හම්බ වෙන ගාණ. ඒක සොච්චමක්. ගෙවල් කුලිය ගෙවල, ලයිට් බිල්, ෆෝන් බිල්,ගෑස් බිල් ගෙව්වම ඉතුරුවෙන බම්බුවක් නෑ..
“ලානා.. මොකද මේ ඔයාගෙ ස්කූල් බෑග් එකෙන් කුණු ගඳක් එන්නෙ?”
” අනේ ප්ලීස්.. ඩැඩී මගෙ බෑග් එක අදින්න එපා”
” ඇයි ළමයෝ මම ආසාවෙන් හදල දෙන ලන්ච් එක කන්නෙ නැත්තෙ. මේ දවස් තුනකට ඉස්සර හදල දුන්නු ලන්ච් එක. කුණුවෙලා…”
ලානාට ඉස්කෝළෙන් හොඳ දිවා ආහාර වේලක් හම්බ උනා. නොමිළයේ. ඒ ලානලාගේ-දිමිත්‍රිලාගේ වාර්ෂික ආදායම අඩු නිසා. දොඩම් යුෂ වීදුරුවක්… පිස්සා කෑල්ලක් හෝ බර්ගර් එකක්, චීස් පෙත්තක් සමඟ ඇපල් ගෙඩියක්..
“ඩැඩී ඒව කන්න බෑ. ළමයි සේරම දැන ගන්නව අපි දුප්පත් කියල. මට මොනව හරි හදල දෙන්න බැරිද උදේට ?”
ඔන්න ඔහොමයි දිමිත්‍රි හැමදාම උදේට පාන් පෙති දෙකක් මැදට තක්කාලි පෙත්තක්, සලාද කොලයක්, මස් කෑල්ලක් තියල ලන්ච් එක හදල දුන්නේ.
” ඔයාට මොනවද වෙලා තියෙන්නේ. ඉස්කොළෙන් දෙන එක කන්නත් බෑ. මම හදල දෙන එක කන්නත් බෑ..”
“මට උදේට ඩොලර් දෙකක් දෙන්න පුළුවන්ද? චිප්ස් පැකට් එකක් කාල සෝඩ එකක් බීපුහම ඇති”
ඩොලර් දෙකක් දවසකට. එතකොට මාසෙකට අමතර ඩොලර් හතලිහක් පණහක් විතර.
********************************************************
” ඩැඩී.. මම හෙට ඉඳල බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලට ටිකක් හවස් වෙන තුරු ඉන්නවා. බය වෙන්න එපා..”
දිමිත්‍රිට ඇත්තටම බය හිතුනා. නරක වයස. කෙල්ල ක්‍රීඩා වලට වැඩි කැමැත්තක් නැති බව දිමිත්‍රි දන්නවා.
දවසක් ඉස්කෝළ් ඇරෙන වෙලාව අල්ලලා දිමිත්‍රි, ලානට නොදැනෙන්න පස්සෙන් ගියා…

ලානා..ස්වෙත්ලානා.. දිමිත්‍රිගෙ දුව .. පවු…අම්මා නැති කෙල්ල. ඉස්කෝළෙ ඇරිල කොහේද යන්නෙ කියල දැනගන්න.. කියවන්න “ස්වෙත්ලානා” හරියටම තව සතියකින්…

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

පළා බබා- අවසන් කොටස


පන්සලේ ලොකු හාමුදුරුවෝ දවසක් වැඩම කළා මන්ත්‍රී බංගලාවට. ලොකුහාමුදුරුවෝය කිව්වට වයසක කෙනෙක් නෙවි, තරුණ පහේ හිමි නමක්.
“මන්ත්‍රිතුමත් එක්ක පෞද්ගලිකව කතා කරන්න හිටියේ ටික දවසක ඉඳල. කොහෙද වේලාවක් නෑනෙ..”
” අපෙ හාංදුරුවනේ ඝංඨාර කුළුණ?”
” ඒව නං පස්සෙ බැරියැ.. ඊට වඩා වැදගත් දෙයක්..”
“කිව්වනං හාංදුරුවනේ..”
” මට ඕව වැඩක් නෑ. ගිහියන්ගෙ පුද්ගලික දේ. දැන් අසෝබන කතා පැතිරෙනව . ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. ඒත් ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ නොවැ”
” මට තේරුණේ නෑ”
” මන්ත්‍රීතුමා .. මේ ගෑණු පලහිලව්වක්. ටීචර් කෙනෙකුට මාරුවක් හදා දෙන්ට කියල හෝටල් කාමරේකට අරන් ගියා කියල.. ඇත්තක් නං….. ඒ බවලතාගෙ මනුස්සය හමුදාවෙ..ටිකක් පරිස්සං උනා නං හොඳයි. අනික ලොකු මහත් වෙච්චි ගෑණු දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් නේද?”
” අනේ හාංදුරුවනේ.. මේ ඔය අනික් පැත්තෙ උන්ගෙ මඩ ප්‍රචාර”
*******************************************************
“මාමෙ වැඩේ සවුත්තු වෙන්නයි යන්නෙ. අර ටීචර් ගෑණිගෙ මිනිහට ආරංචි වෙලා. ටිකක් පරිස්සම් වෙන්න වෙයි.”
********************************************************
නාමලී.. දැන් මන්ත්‍රීතුමාගෙ දුවට ඔෆීස් වැඩ උගන්නනවා.
” මන්ත්‍රීතුමා මට මෙහේ නවතින්න නම් බෑ. මම උදෙන්ම ඇවිල්ල වැඩ ටික ටික කියල දෙන්නම්”
******************************************************
මන්ත්‍රීතුමා දැන් දවස ගෙවන්නේ අමුතු ප්‍රබෝධයකින්. ඉඳහිට පැරණි රසාංගයක් එහෙමත් මිමිණෙනවා. ඉතිරිව තිබූ කෙස් ගස් ටිකෙන් තට්ටය වසා හිස පීරුවා. ටිකක් තරුණ පහේ පෙනුමක් ගන්න අත් කොට කමිස , T ෂර්ට් වගේ ඒව ඇන්දා. අත්-පා වල නියපොතු පිළිවෙලට කැපුව. රැවුල ඔප දැම්මා.
රත්නා අළුතෙන් හිටවපු රෝස පාත්තියේ මල් පිරිල. සමනල්ලු ඇවිල්ල රොන් අරන් යන්ට.
දයා මැණිකේ තම දියණිය රත්නාත් එක්ක සුජාතා කුළඟන සමිතියේ රැස්වීමට ගියා. දයාමැණිකේ තමා ගරු සභාපතිනිය. ගෙදර හිටියේ මන්ත්‍රීතුමා විතරයි.
ටික වෙලාවකින් නාමලී ආවා.
” අනේ මන්ත්‍රී තුමා මෙහේ නම් බෑ. කවුරුහරි ආවොත් අපි දෙන්නම ඉවරයි. වෙන දවසක. කොහේ හරි ඈතකට ගිහින්..”
මන්ත්‍රීතුමා නාමලීගේ කම්මුලට සද්දෙ ඇහෙන කිස් එකක් දුන්න. නාමලී තම කම්මුලේ කෙළ , ලේන්සු පොඩියෙන් පිහ දැම්මා.
“එයාල දැම්ම එන්නෙ නෑ. ඔය ගෑණුන්ගෙ කච-කචේ ඉවර වෙනකොට පැය 3 ක් වත් යයි. ඒක ඉවරවෙල සතොසටත් ගිහිල්ලයි එන්නෙ. වෙනසක් උනොත් සිසිර මට කෝල් කරයි.. මන්ත්‍රී තුමා නාමලී ඉස්සරහ කාමරේට අරන් දොර අගුල් දැම්මා.
*******************************************************
“සිසිර අයියේ මම ලයිබ්‍රරි එකට යනවා. මට මෙතන ඉන්න කම්මැලියි. ඉවර උනාම අම්මත් එක්ක එන්න එතෙන්ට”
රත්නා පුස්තකාලයට ගියා. ඒත් ටික වෙලාවකින් ඇයට යම් අපහසුවක් දැනුනා. අර “ලෙඩේ” හැදිල.
ත්‍රී වීල් එකක් අරන් ගෙදර ගියා.
රත්නාට ගෙට ගොඩ වෙන කොටම යම් අමුත්තක් දැනුනා. දන්නවනේ ගෑණුන්ට තියෙන්නේ පුදුම ඉවක්නේ. නාමලීගේ පාවහන් යුවල ගෙයි දොරකඩ. ඉස්සරහ කාමරේ දොරත් වැහිලා. හිනා හඬක්..තාත්තත් පෙනෙන්න නෑ..
එහෙනං මේ ගමේ උන් කියන කතා හරි. මම කොහොමද මේ මිනිහට තවත් තාත්ත කියන්නේ? දෙයි හාංදුන්නේ.. අසරණ අම්මා. දෙයියන්ට වාගෙ සළකන්නේ. පැලිල මැරෙයි..
රත්නා පිස්සියක් වාගේ ගඟ පැත්තට දිව්වා. ගඟට පනින්න. තවත් ජීවත් වෙලා වැඩක් නෑ. කොල්ලො කියන්නේ වක්කලම අඩි 300 ක් විතර ගැඹුරුයි කියල. එතන බිලි ගන්න තැනක්.
ඒත් මෙහෙම මැරුනොත් කවුරුවත් දන්නෙ නෑ මට මොකද උනේ කියල. රත්නා කල්පනා කළා. ඇයි මම මගේ ජීවිතය නැති කරගන්නේ කියල.
මම මේක රහසක් විදියට තියා ගන්නවා. බැඳල යන්න යනවා. අර නාකියත් එක්ක. මේ පැත්ත පළාතෙ පස් පාගන්නෙ නෑ. මම අම්මට කියන්නෙ නෑ. මිනිසුන්ගෙ ජීවිතවල කොයි තරම් රහස් තියෙනවද?
රත්නා ආපහු ගෙදර ගියා. නාමලී ගස්සා ගෙන යන්න ගියා. ඇගේ මුහුණ රතුවෙලා තිබුණා.
” ආයෙ මෙහේ එන්න එපා. මට දැන් වැඩ ටික කර ගන්න පුළුවන්”

රෑ කෑම මේසෙට මන්ත්‍රීතුමා ආවෙ නෑ. ටෙලිෆෝන් කෝල් එකක්. ඒ අර එදා ආපු මනමාලයගෙන්.
” ඒ වැඩේ කෙරෙන්නෙ නෑ. මන්ත්‍රීතුමා. මට කෙනෙකුගෙන් දැන ගන්න ලැබුණා ඔහේගෙ කල්කිරියාව ගැන. අනික ඔහේගෙ දුව ඩ්‍රයිවර් එක්ක සම්බන්ධකමක් තියෙනවලු”
” සිසි.. ර.. මෙහෙ වරෙං පරයා. වේසිගෙ පුතා. තෝ මගෙන්ම කකා…”
මන්ත්‍රීතුමා කාමරයට දිව ගියා.ඒ අර ළඟදී ආණ්ඩුවෙන් දුන්නු පිස්තෝලෙ ගේන්න.
” අනේ ඔයා යන්න”
“ඔය ළමය යන්න.. ඔය දිව්වෙ තුවක්කුව ගේන්න”
********************************************************
“මචං මම සිසිර කතා කරන්නේ… ඔව් බං ඕකා මගෙ මාමා. මට බලු වැඩක් කලා. මං ඕකව නැති කරනවා.. උඹේ ගෑනිගෙ වැරද්දක් නෑ. හෝටලේ කතාව ඇත්ත. මමත් එතන හිටියා. ඒත් මොනවත් උනේ නෑ. ටීචර්ගෙ අතින් ඇද්ද විතරයි එයා කෑ ගහ ගෙන එලියට ආවා.
ඕකට දෙන්න ඕන වැඩක්.. සිකුරාද 10.00ට මගෙත් එක්කම යනව ලංකා බැංකුවට එයාගෙ වත්තෙ මිනිසුන්ට පඩි ගෙවන්න සල්ලි ගන්න. එච්චර ලොකු ගාණක් නෙවේ. ප්ලෑන් කරල මොනවහරි ලස්සනට කරපන්..”

********************************************************
සිකුරාදා මන්ත්‍රීතුමයි, බිරිඳයි බැංකුවට ගියා. සිසිර තමා වාහනය පැදෙව්වේ.
ජෝඩුව ඇතුළට ගියා. පොළිස්කාරයෙක් ඇවිත් කීවා එතන පාක් කරන්න බැහැය කියා. සිසිරකුමාර වාහනය අරන් ටිකක් ඈතට ගිහින් පාක් කලා. කාටදෝ කෝල් එකක් ගත්තා.
පැය බාගයකින් විතර ජෝඩුව එළියට ආවා.
විදුලි වේගෙන් ආ ට්‍රේලර් වර්ගයේ මෝටර් බයිසිකලයක් ජෝඩුව ඉස්සරහම නැවතුනා. අඳුනගන්න බැහැ. මූණ වැහෙන්න හෙල්මට් දාල. මන්ත්‍රීතුමා අත තිබුණු සල්ලි බෑගය උදුර ගෙන සල්ලි මිටි පිටින් ඈතට විසිකළා. සියල්ලටම ගත උනේ තප්පර ගණනයි.
පනහේ- සීයේ අළුත්ම අළුත් මුදල් නෝට්ටු හුළඟේ පාඋනා අර සිරී පාදෙ කාලෙට ඉගිල්ලෙන සමනල්ලු වාගේ.
ඒත් එක්කම පා පහරවල් දෙකක් දුන්න යටි බඩටම. මන්ත්‍රීතුමා සරම උස්සා ගෙන දුවන්න පටන් ගතතා. දයා මැනිකේ “සිසි..ර.. සිසි..ර” කියල කෑ ගැහුවා. හිස බදා ගෙන විලාප දුන්න.
හෙල්මට්කාරය මන්ත්‍රී තුමා පසු පස ගියා. මන්ත්‍රීතුමා කුණු කාණුවට වැටුනා. කොන්ක්‍රීට් ලෑල්ල කඩා ගෙන.
“ඔන්න කොන්ත්‍රාත් කරමයට වහපු කාණුව”
හෙල්මට්කාරයා මන්ත්‍රීතුමාගෙ පිට කොන්දට මිටි ගුලියෙන් පහරක් ගහල ට්‍රේලරයෙ නැගිල ඉගිල්ලුනා.
යටට ඇඳන් හිටිය කොළ පාට කොට කළිසම පිටින් මන්ත්‍රීතුමා කුණු පිහ දැම්මා.සිසිරයි. පොළිස්කාරයෙකුයි එකතුවෙලා මන්ත්‍රීතුමා ඉස්පිරිතාලෙට අරන් ගියා.
මිනිස්සු එතකොටත් සල්ලි නෝට්ටු රැස් කරමින් හිටියා.
********************************************************
“මැරුණොත් හොඳයි.. එදා මම ගෙදර එනකොට නාමලිත් එක්ක කාමරේ. තාත්ත කෙනෙක් කරන වැඩද ? මම අම්මට කිව්වෙ නෑ.. අපි බඳිමු..”
“අපි බඳිමු. මට මෙතන එයාගෙ රස්සාව ඕන නෑ. මට සල්ලි තියෙනව.”

සල්ලි ගත්තෙත් නැත්තෙ මේක අර රතු පාට කමිසකාරයින්ගෙ වැඩක්. අර විල්සන්ගෙ කොල්ල මම දැක්ක ඊයෙ හවස ඔය ජාතියෙ බයිසිකළේක යනව..
පුක කහ ගන්ට නියපොත්ත නෑ.. ආණ්ඩු පෙරලන්න යනව. ඕකුන් පණ පිටින් පුච්චන්න ඕන” දයා මැණිකේ එහෙම කියා සිටියා.

අවසානයි.

 

Posted in Uncategorized | ප්‍රතිචාර 2

පළා බබා -5


ගොඩපොල ගම්සභා පාර පිළිසකර කිරීම. පාර දෙපස සුද්ධ පවිත්‍ර කිරීම, වතුර බැස යාමට කොන්ක්‍රීට් කාණුවක් බැඳීම, බෝක්කු 4 ක් සෑදීම, හුළුගඟෙන් එගොඩ වීමට ඇති අබලන් ලී පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් භාර ගනු ලැබේ.

සාමාන්‍ය පෙදරේරුවෙකු වූ සිසිර කුමාරගේ පියා දැනට මේසන් වැඩ සඳහා ගෙවන වැඩ කුලී සහ වෙළඳපොලේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිළ ගණන් සෑම අයිටමයකට රුපියලක් , එකයි පනහක් බැගින් අඩු කොට සෑදූ ටෙන්ඩර් පෝරමය ආවොත් ආදෙන්- ගියොත් ගියාදෙන් කියා හිතාගෙන සීල් කරන ලද පෙට්ටියට බහා ලූවේය.

අදාල දිනයේදී හැමෝම ඉදිරිපිටදී පෙට්ටිය කඩන ලදී. එච්.එම්. පියසේන හෙවත් සිසිර කුමාරගේ පියා විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට ජයග්‍රහණය හිමිවිය.
” ඔය ගණන් වලට කොහොමද කරන්නේ?”
” බලමුකො කරන හැටි”
අනෙක් අයදුම්කරුවෝ අකුලාගෙන යන්නට ගියහ.

“හැබෑටම සිසිර උඹලට පිස්සුද?”
” මාමේ.. පාර සුද්ධ කරන එක මම ගමේ කොල්ලො ටික දාල ශ්‍රමදානෙන් කරගන්නම්. දවස් දෙකයි. කෑම ටිකකුයි, බූලියකුයි තිබුණාම හොඳටම ඇති”
” කාණු දාන එක තාත්තා කරයි. මා ළඟ පන්නපු යකඩ කූරු ගොඩකුත් තියෙනවා. අත්වැඩ වලටත් ගමේ කොල්ලො හවුල් කර ගත්තෑකි. උන්ට බොන්ට දෙන එක විතරයි… ශ්‍රමදානෙ.. ශ්‍රමදානෙ.. “

සිසිරකුමාර පළපුරුදු කොන්ත්‍රාත්කරුවෙක් මෙන් බදාම අනන අයට නියෝග දුන්නා. තාත්තා තමා හෙඩ් බාස්. යාන්තම් බදාම හැන්ද අල්ලන්ට අතහුරු ගමේ කොල්ලන් කාණුවට කොන්ක්‍රීට් දැම්මා.

පළාත්සභාවේ කාර්මික නිලධාරියත් ආවා ඉඳ හිට වැඩේ සුපර්වයිස් කරන්ට.
“මොකද මේ බදාමේ පාට අඩු?”
” සිමෙන්ති බාලයි දැන් තියෙන”
( සිමෙන්ති 1 ට වැලි 6 යි, ගල් කුඩු 2 යි කළවම් කලාම එහෙම තමා)

” ඉති බං වැස්සක් ආවොත් කාණුව හෝද ගෙන යයි නේ..?”
” අද හෙට ලොකු වැස්සක් එන එකක් නෑ”
” කවද හරි ආවොත්?”
” එතකොට ප්‍රතිසංස්කරණයට කියල ආයෙම සල්ලි ටිකක් පාස් කරව ගන්නවා. ඕවයෙ හැටි ඔහොම තමා”

තමා අත ගැසූ පළමු කොන්ත්‍රාත්තුව සාර්තකව , හිතුවටත් වඩා ලාබෙට නිම කළ සිසිර, මන්ත්‍රී තුමාගේ 10% ගෙවා දැම්මා.
” මාමෙ මට ප්‍රාතමිකේ කොන්ත්‍රාත් එකත් ගත්තෑකි නේද ?”

නාමලී හොඳ පත සයිස් කෝලිකුට්ටු ඇවරියකුයි බිස්කට් ටින් එකකුයි අරන් මන්ත්‍රී බංගලාවට ආවා.
” මන්ත්‍රීතුමා මගෙ වැඩේ…?
” තව ටිකක් ඉවසන්න වෙයි. මට දැන් රැස්වීමකට යන්න තියෙනවා”
නාමලීට සිසිරකුමාර හමු උනා කුස්සිය පැත්තෙදි.
“මොකද අරය අමුතු ටෝක් එකක් දානෙ. එයාගෙ වැඩේ කෙරුනට පස්සෙ”
“මිනිහට රහ වැටිල. තව පාරක් – දෙපාරක් අල්ලන්න වෙයි”
” රහ තමා.. මාර ගඳක් තියෙන්නේ”
“බෙහෙත් ගඳ වෙන්ටෑ”
” නෑ.. කටේ ගඳ.. කන්නෙ අසූචිද මන්ද “

මාස කීපයක්ම ඔහොම ගෙවී ගියා. නාමලීට රැකියාව ලැබුණේවත් ඒ තියා සම්මුඛ පරීක්ෂණයකටවත් කැඳවීමක් ලැබුනේ නැහැ.
ඒ වන විට රත්නපාල මන්ත්‍රී තුමා නාමලීගේ පහස දෙතුන් වතාවක් විඳ තිබුණා.

අළුත්ම පන්නයේ කාර් එකක් එක සෙනසුරාදා දිනක පෙරවරුවේ මන්ත්‍රී බංගලාවට ඇදුනා.
සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසුනු මැදිවියේ අයෙක් සහ මගුල් කපුවෙක් යැයි සිතිය හැකි වයසක කෙනෙක් නිවසට ඇතුළු උනා.

” අනේ.. සිසිර අයියේ… මොනව හරි කරන්න. ඒ මනමාලයලු.. අපෙ තාත්තට වඩා ටිකක් විතර බාල ඇති. අනේ මට නම් එපා..”

තේ පැන් සංග්‍රයෙන් පසුව ගනු දෙනු කතා කර ගත්තා. මනාල පාර්ශ්වය සතුටෙන් විසිර ගියා.

” මොනවද මාමෙ මේ කරන්න යන්නෙ. මේ කෙල්ල අර නාකියට දෙන්න හදන්නෙ ? නැන්ද දන්නව අපෙ සම්බන්ධයක් තියෙන විත්තිය.. ඇයි මෙහෙම කරන්නේ ? මම මේ මගුල කරන්න දෙන්නෙ නෑ”
” ඇයි උඹ මොනව කරන්නද ?”
” හැමෝම දන්නව උඹ අපෙ ඩ්‍රයිවර් කියල. උඹලගෙ තාත්තා මේසන් බාස්. උඹ, උඹට ගැලපෙන කෙනෙක් හොයා ගනින්.”

සිසිර කුමාර දත්මිටි කෑවා.

අද දෙකින් එකක් කියල නාමලී ආයෙමත් ආවා මන්ත්‍රී වෙද මහත්තය හම්බ වෙන්න. ඇගේ විලාශය දුටු මන්ත්‍රීතුමා සන්සුන් වෙන්න හිතා ගත්තා.
” හා.. මේ ළමයනේ. වැඩේ හරි.. තව මාසෙකින් විතර සම්මුඛ පරීක්ෂණයට කතා කරයි. මම කියන්නම් ඔය ළමයා මගේ කෙනෙක් කියල. රස්සාව ලැබුණ කියල හිතා ගම්මුකෝ”
ඒක නෙවේ. පුළුවන්ද අපේ ගෙදර නැවතිල අපේ දුවට ඔය ලියුමක් ටයිප් කරන හැටි වගේ පොඩි පොඩි ඔෆීස් වැඩ ටිකක් කියල දෙන්න. මොකද මටත් දැන් වැඩ වැඩි, මම ගෙදරටත් ලිපිකරුවෙක් ගන්නයි හිතා ඉන්නේ. දුව ඉක්මනට බැඳල මෙහෙන් යනව. කැමති නම් ඔය ළමයට පුළුවන් මගේ ලේකම් වෙන්න. ගෙවන්නෙ පළාත් සභාවෙන්”

මන්ත්‍රී තුමා යටි බඩ අත ගෑවා..

මතු සම්බන්ධයි

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

පළා බබා – 4


ලංකාවට අළුත් දෙයක්වූ පළාත් සභා මැතිවරණයට ඇත්තේ තව සතියකි.
අවසාන ප්‍රචාරක රැස්වීම ඇමතූ රත්නපාල වෙද මහත්තයා ඉතා දීර්ඝ එහෙත් මුල, මැද, අග නොගැලපෙන නීරස කතාවක් කළේය.
” අද අපේ ගමේ – පළාතේ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා. තැන් තැන් වල අලුතෙන් ගෙවල් ඉදිවෙනවා. අපේ ගම් වල කාන්තාවන්/පුරුෂයන් මැද පෙරදිග ගිහිල්ලා අපේ රටට විදේශ විනිමය එවනවා. දැන් බලන්න සවුදි රියාල් එකකට රුපියල් කීයක් ලැබෙනවාද කියා. අපි බලයට ආවාම අපි මහ ආණ්ඩුවත් එක්ක කතා කරල – සාකච්ඡා කරල ඒ ගණන තවත් වැඩි කර දීමට පොරොන්දු වෙනව.”
කන් බීරි කරවන තරමේ අත්පොළොසන් හඬක් . ඒ හඬ පරදවා විසිල් හඬක් නැගුනා. වෙද මහත්තයා හුස්මක් අරන් පපුව පුම්බා ආඩම්බරයෙන් වට පිට බැලුවා.

***********************************************************************************

” තාත්තේ.. මොකද්ද තාත්තා අර කිවූ ගොන් කතාව. ? ”
වෙද මහත්තයගේ පුතා, රුවන් පොඩි නිවාඩුවකට පේරාදෙණිය කැම්පස් එකේ ඉඳල ගෙදර ඇවිල්ලා.
” ඇයි මොකද වරද?”
” දේශපාලනේ කරනවා නං ඔය පොත් පත් ටිකක් කියවන්න. නොදන්න මගුල් කතා නොකර”

*******************************************************
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. මැතිවරණ කොට්ඨාශය පාතදුම්බර. පන්විල ප්‍රාදේශීය සභාව.
ඩී. ඇම්. රත්නපාල.. එක්සත් ජාතික පක්ෂය..ලබා ගත් ඡන්ද ප්‍රමාණය.. 3805 යි.
එච්.එම්. අත්තනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ලබා ගත්……
මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ ඩී.ඇම්. රත්නපාල මහතා වැඩි ඡන්ද 1591 ලබා….

හැමෝම සාලෙට දුව ගෙන ආවා. රත්නත් දුව ගෙන ආවා උඩු මහළේ සිට. ඇගේ ගවුම තවත් කොට වෙලා- කෙටි වෙලා. සන්තෝසෙ විලිලැජ්ජාවෙ බෑ.

රත්නපාල වෙද මහත්තයා සැනසුම් සුසුමක් හෙලුවා. විශාල විදුලි පහන සාලය ආලෝකමත් කලා. දැවැන්ත කවිච්චිය.. ඒ දෙපස බිත්තියට හේත්තු කළ සේසත් යුගලය. පුළුල් තිර රූපවාහිනිය. බිත්තිය සැරසූ අර්තය නොදන්නා චිත්‍ර.. මේවා මෙතෙක් දවස් තිබුණේ කොහේදැයි රත්නපාල වෙදමහත්තය කල්පනා කලා.

” එයාගෙ වැඩේ හරි. හෙට අනිද්ද දිවුරුම් දෙන්න යයි. ඊට පස්සෙ කොන්ත්‍රාත් අර ගනී, ගෙවල් ගනී.. වාහන ගනී. අපි හැමදාම මුර බල්ලගෙ ඩියුටිය කරන්න ඕන.. එහෙමද ?”
එළියේ සිටි ආරක්ෂක බටයෙක් බිඳුනු හඬින් කීවා.
” මේ ලෝකයේ මිනිසුන් දෙවර්ගයක් ඉන්නවා. එක වර්ගයක් පාලනය කරන්න උපන් අය. අනෙක් වර්ගය පාලනය වෙන්න උපන් අය”
” අපිට මේ රටාව වෙනස් කරන්න බැරිද ?”
එළියේ රැකවලේ සිටි , අධ්‍යාපනය අතරමඟ කඩා කප්පල් කර ගෙන එහි වරද සමාජය මත පටවමින් උන් තම පාසැල් මිතුරන් , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට නිවාඩුවට ගෙදර ආ රුවන් – රත්නපාල මන්ත්‍රී තුමාගේ පුතා සමඟ කතිකා කළා.
” වෙනස් කරන්න පුළුවන්.. අපේ තාත්තා වගේ දේශපාලනය කරපන්. ඊ ළඟ පාර. ඊට පස්සෙ කොන්ත්‍රාත්.. කොමිස්.. පගා..”
” ගම හදා අපි හැදෙනවද – නැත්නම් ගම කා අපි හැදෙනවද “

*************************************************************************************

නැන්දේ ගොඩපොළ ගම්සභා පාර හදන්නයි හුළුගඟෙන් එගොඩට යන්න පාලමක් හදන්නයි සල්ලි පාස් වෙලා. මාමට කියල ඒ කොන්ත්‍රාත් එක මට අරන් දෙන්න බැරිද ?”

රත්නපාල මන්ත්‍රීතුමාගේ ඇවැස්ස බෑණා- රියැදුරු, වැඩ තහනමට ලක්වී සිටින පොළිස් කොස්තාපල් සිසිර කුමාර තම නැන්දණිය ළඟ බැගෑපත් වුනා.

“ඔය ළමයට පුළුවන්ද ඕව කරන්න. අනික අපි පවුලට අදිනවා කියල මිනිස්සු කෑගහයි.”
” මම අපෙ තාත්තගෙ නමට අර ගන්නම්”
” මම කතා කරල බලන්නම්”
” නැන්දේ මාමට 10%ක්”
” කීයක් පාස් වෙලාද ?”
” ලක්ෂ 15 ක්”

************************************************************************************

එහෙම හිතූමතේට කොන්ත්‍රාත් බාර දෙන්න බෑ. ඒකට පළපුරුද්ද තියෙන්න ඕන. කලින් කොන්ත්‍රාත් කරල තියේ නම් ඒවයේ විස්තර ඕන.. අනෙක ටෙන්ඩර් පටිපාටියෙන් එහා මුකුත් කරන්න බෑ”
” අනේ හුකේ..” කියල හිතුනා සිසිර කුමාරට.
*******************************************************
” අනේ අයියේ මන්ත්‍රීතුමාට කියල මට රස්සාවක් හොයල දෙන්න. ඇඩ්වාන්ස් ලෙවලුත් තියෙනවනේ. මේ දවස් වල පළාත්සභා කාර්යාලයට ක්ලාක්ල ගන්නවලු.. මම ඕන දෙයක් කරන්නම්. අපිට ටිකක් අමාරුයි”

ඒ කතා කලේ නාමලී. සිසිර කුමාරහෙ හිටපු පෙම්වතියක්. දැන් කසාද බැඳල.
” ඕන දෙයක්. මට කරල හරියන්නෑ. කරපන් මන්ත්‍රීතුමාට”
“එයා ඒ ජාතියේද ?”
” පුළුවන් නම් උස්සල දීපන්. එපා කියයි”
” කට තමා වැඩේ!.. එනවද මේ පැත්තේ ? අරය මේ සුමානෙම රෑ වැඩ”

********************************************************
” මාමෙ…”
කවුරුවත් නැති තැනක් බලල සිසිර කුමාර රත්නපාල මන්ත්‍රීතුමාට කෙඳිරුව.
” මාමනෙ කිව්වෙ මෙක ඩෝබිගෙ පිරුවටේ වගේ කියල. ඒ හින්ද අපි මේ සැප සම්පත් සේරම භුක්ති විඳින්න ඕන, නැත්නම් පස්සෙ දුක හිතෙයි. අල්ලපු ගමේ කෙල්ලක් රස්සාවක් හොයනව. හොඳට ඉගෙන ගෙන තියෙනව. මාත් ටිකක් අඳුරනව. කසාද බැඳල. ඒත් තවම කෙල්ල වගේ”

මන්ත්‍රී තුමාගෙ කට කොනට හිනාවක් ආවා.
“උඹට කියන්ට සිසිර මම ඕව නවත්තල දැන් ටිකක් කල්. මම දැන් නාකියි”
” මාමට පිස්සු. මාමට හතළිස් ගණන් තමයි මට නම් පෙනෙන්නේ.. ඔන්න නැන්ද එක්ක ඉන්න කොට නම් හැටක් විතර පේනව”
” සිසිර .. මං හදාපු බේතක් තියෙනව. ඉඟුරු-සුදු ලූනු, බෙලි මල් එහෙම එකට දාල අඹරාපු. විලුඹේ ගා ගත්තම පැය භාගයක් විතර ඉන්න පුළුවන්”
” එහෙනම් මං එක්ක එන්නද ?”
” මේ කිට්ටුව නම් බෑ”
” හරි .. හරී.. හැබැයි කෙල්ලට රස්සාව හදල දෙන්න ඕන”
*******************************************************
දයා මැණිකේ , තම දුව රත්නගේ කාමරය අස්පස් කලා. මෙට්ටය යට තිබී හතරට නැමූ කඩදාසියක් හමු උනා. ලියුමක්. සිසිරගෙන්. මීට ඔයාගේම සිසිර කියලයි ඉවර කරල තිබුණේ.. පිටු තුනක් විතර ..
දයා මැණිකෙගෙ දෑත වෙවුලුවා.

” මම මෙහෙම හිටියට ලිංගික විද්‍යාවත් දන්නවා. බෙහෙතක් තියෙනවා. විලුඹෙ ගා ගත්තම ගොඩාක් වෙලා ඉන්න පුළුවන්..මම එක දවසකට හරි ඔයා ඔය ගෙදරින් පැහැර ගෙන යනවා”

ඒ ලිපියේ එහෙමත් ලියැවිල තිබුණා.

මතු සම්බන්ධයි

Posted in Uncategorized | ප්‍රතිචාර 3

හැපි වැලන්ටයින්ස් ඩේ


vala

හැපි වැලන්ටයින්ස් ඩේ
අද 2018 පෙබරවාරි 14. මේක ලියන්න පටන් ගන්න කොට වෙලාව උදේ 7.30 යි.එයා උදේ වැඩට යන්න ලෑස්තිය.මට තව වෙලාව තියෙනව. මම යන්නෙ ටිකක් පරක්කු වෙලා.
” අද වැලන්ටයින්ස් ඩේ.. මොනවද ඕන? එළියට යනවද රෑ කෑමට?”
” මට මොනවත් ඕන නෑ. ඉක්මණට එන්න. අපි උයමු”
” ගිය පාර මතකද ?”
අපි පැයකටත් වඩා එහා මෙහාට ගියා වාහනය පාක් කරගන්න තැනක් නැතිව. රෙස්ටොරන්ට්වල එළියෙත් එක්ක පෝළිම. අපි ආපහු ආවා. එන ගමන් ෆ්‍රෙන්ච් බ්‍රේඩ් එකකුයි,ස්පිනැච් ඩිප් එකකුයි ගෙනල්ල නිදහසේ භුක්ති වින්දා.
එයා ගියාට පස්සෙ මම කල්පනා කලා.. මට දැන් 60 යි. එයාට 58 යි. අපිටත් පුළුවන්ද වැලන්ටයින්ස් ඩේ එක සමරන්න.

මේ කෙටි සටහන කියවල ඉවර වෙලා බලන්න උඩින් තියෙන වීඩියෝ එක. කෙතරම් ලොකු වෙනසක්ද එදා මෙදා තුර වෙලා තියෙන්නේ කියල.
අපේ කාලෙ කෙල්ලෙකුගෙන් කැමැත්ත ගන්නවා කියන්නේ යුද්ධයකින් දිනනවා වාගෙ වැඩක්. අද වගෙ ගිහිල්ල කෙළින් කතා කරන සිස්ටම් එකක් තිබුණේ නැහැ. බොහෝ විට යාළුවන්ගේ මාර්ගයෙන්. එදා අද වාගෙ sms/text/facebook තිබුණේ නැහැ.
මට අද වගේ මතකයි මට කෙල්ලෙකුගෙන් “හා” එකක් ලැබුණු දිනය.
එයා නවකතා පොතක් අස්සෙ දාල ලියුමක් දුන්නා, මගේ පපුව ගැහුනා. දකුණු ඇහි බැම නැටුවා. ඇයි කියල කියන්න බැහැ. එදා ගෙදර ගිහින් අම්මට මුහුණ දෙන්න බැරුව සෑහෙන වෙලාවක් හිටියා. මම ලොකු වරදක් කළා වගේ හැඟීමක් දැනුනා.
පොත අස්සෙ තිබුණේ ලියුමක් නොවේ.නිසඳැසක්.එයාට ලස්සනට ලියන්න පුළුවන්, වයසට වඩා මුහුකුරා ගිය ලස්සන අදහස් තිබුණේ.

මම ඉතින් නිසඳැස් ලියන්න දන්න එකක්යැ. “ලොවේ කොයි කාටත් හොරෙන් – ලැගුම් ගන්නද මා.. ඔබේ සිත් යහනේ “ඒ ජනප්‍රිය ගීතයක කොටසක්. මම ඒක ලියල එයාට දුන්නා. එයා ඒකට හිනා වෙලා කවකටු පෙට්ටිය තුළට දාගත්තා.

සතියකින් ආයෙමත් අපි හමු උනා. ඒ නුවර ස්ටේෂන් එකේදි. ඇය ටියුෂන් ක්ලාස් යනව. මම එතකොට 10 පන්තියේ. වයස 15 යි. ඇන්දේ කොට කළිසම. එයත් එක්ක කතා කරද්දී මගේ පිරිමි අවයවය වෙනස් වන බව මට දැනුනා. ඒත් ඒ ඈ සමඟ තනි වෙන්නට ඇත්නම් කියන චේතනාවෙන්වත්; එයාගෙ දණිස්සට උඩින් තියෙන්නෙ මොනවද කියල දැන ගන්න ආසාවෙන්වත් නොවේ. මා දැන් වැඩිහිටියෙක්ය යන සංඥාව මොළයට කාන්දුවීමෙන් ඇති වූ රසායනික ප්‍රතික්‍රියාවක්.

අපි එක ගමේ. අපි හමු උනේ ඉරිදා දහම් පාසළේදී. සතියක් ගතවෙලා ඉරිදා වන තුරු බලන් ඉන්නේ පුදුම ආසාවකින්.
නොවරදවාම දහම් පාසල් එන ශිෂ්‍යාට හිමි වන ත්‍යාගය පිට පිටම දිනා ගත්තේ මමයි.
ඒ කාලේ තිබුනා බියනෙත්‍ර කියල සුවඳ ජාතියක් සහ රෝමියා කියල පුයර ජාතියක්. එයා පාවිච්චි කළේ ඒවා. එයා යන හෑම තැනකම ඒ සුවඳ රැඳිල තිබුනා.

පසු ගිය වසරේ ලංකාවට ගියාම මම මගේ පරණ පොත් කබඩ් එක සුද්ධ කළා. නංගිගෙ දුවට ඕන වෙලා මගේ කබඩ් එක. ඒ නිසා අනවශ්‍ය දේවල් විසි කළා.
රංජිත් රුබේරුගෙ උද්භිද විද්‍යා පොත අස්සෙ තිබිල හතරට නැවූ ලේන්සු පොඩියක් හමු උනා. නංගිගෙ දුව ඒක දැක්කා.
“ඔය මාමගෙ හපන්කම් තමා” එයාගෙ අම්මා කීවා.
මම ලේන්සුව නැහැයට ලං කලා. මට දැන ගන්න ඕන උනේ අර රෝමියා සුවඳ තාම තියෙනවද කියල .
අර බූරු කෙල්ල ඒකත් දැක්ක.
” ආව්.. ආව්”
දැන් නම් ඒක පුස් ගඳයි.

පෙම්වතුන්ගේ දිනය බටහිර රටවල් වලින් දැන් ලංකාවටත් බෝ වෙලා. ඒක මේ කොම්පනි කාරයින්ගෙ වැඩක්. බටහිරින් එන බොහෝ දේවල් ලංකාවෙ අය බදා ගන්නේ වැරදි විදියට. පෙම්වතුන්ගේ දිනය; පෙම්වතිය තම පෙම්වතාට තම පිරිසිදු කම – කන්‍යාභාවය පූජා කරන පව්කාර දිනයක් වෙලා ලංකාවේ.

sms/text/e-mail/facebook නොතිබුනු ඒ කාලයේ තරුණ කොලු කෙල්ලන් අතර ඔටොග්‍රාෆ් කියල ජාතියක් හුවමාරු උනා. ඒවායෙ තිබුනේ ලස්සන කියමන්.”ආදරය දෙවෙනි වන්නේ නිර්වාණයට පමණි” ඒ එහෙම එකක මා කියවූ දෙයක්. එවන් ආදරය අද අවතක්සේරු වෙලා.
යුද්දයකින් දිනනවා වගේ ලබා ගත් ආදර කතා බොහොමයක් කෙළවර උනේ විවාහයෙන්.
ඒත් සමහර ඒවා දිවි නසා ගැනීම වලින්. දුම්රිය පාර අසල පදිංචි පරාජිත පෙම්වතුන් දුම්රියට පැනීමෙන්ද;ගංගා අසල ජීවත් වූ පරාජිත පෙම්වතුන් ගඟට පැනීමෙන්ද; රබර් වගා අශ්‍රිතව ජීවත් උනු අය ඇසිඩ් පානය කිරීමෙන්ද , තවත් සමහර අය ගෙල වැලලා ගැනීමෙන්ද තම දුක නිවා ගත්තා.ආදරය සුන්දර දෙයක් මෙන්ම එය බිඳ වැටීමෙන් ඇතිවන විරහව ද විඳ දරා ගත නොහැක්කක්.

එයාලගෙ තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කළ කෙනෙක්. ස්ථාන මාරුවක් ලැබීමෙන් එයාල වෙනත් පළාතකට පදිංචියට ගියා. මාස කීපයක් යන තුරු අපි ලිපි හුවමාරු කර ගත්තා.කාලයාගේ ඇවෑමෙන් එයාට මටත් මට එයාවත් අමතක වී ගියා.

එයා තවම ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවා නම් වයස 59 ක්. සමහර විට ආච්චි අම්මා කෙනෙක්.

තම පෙම්වතාට/පෙම්වතියට, සැමියාට/බිරිඳට අවංක වන්න. ගරු කරන්න. පොඩි වැරැද්දකට හෝ “සොරි” කියන්න. දුසිම ඩොලර් 10 කට විකිණෙන ලාබ රෝස මල් පොකුරකට වඩා ඔහු/ඇය ඒවා අගය කරනවා ඇත.

 

Posted in Uncategorized | ප්‍රතිචාර 4

පළා බබා – 3


රත්නපාල මහත්තයලගෙ ගෙදරට කිට්ටුම නගරයට හැතැක්ම එක හමාරක් විතර ඇති. නගරයේ ඉඳල රත්නපාල මහත්තයලගෙ ගෙදරට එන කෙනෙක් ඒ ගේ පහු කරල ගියාම පාරේ වම් පැත්තේ කුඩා උප තැපැල් කාර්යාලයක් තියෙනවා. වැඩ කළේ මැදිවියේ කාන්තාවක් තැපැල් ස්තානාධිපතිනිය විදියට. මනි ඕඩර්-ටැලිග්‍රෑම්-පිං පඩි- මුද්දර වගේ සේවාවන් එතැනින් සැපයුනා. ලොකුම අඩුවකට තිබුණේ ටෙලිපෝන් එකක් නැතිකම.

හිටි හැටියේ ටෙලිකොම් එකෙන් ඇවිල්ල නගරයේ ඉඳල කොන්ක්‍රීට් කණු තිහ හතළිහක් විතර පාර දිගේ එලා ගෙන එලා ගෙන ගියා.
ඊ ළඟ සතියේ උප තැපැල් කාර්යාලයෙන් ක්‍රීං ක්‍රීං ගාන සද්දයක් ආවා.

” ඔය තැපැල් නෝනද ? මේ කතා කරන්නේ රත්නපාල වෙද මහත්තයා. ඔන්න ලොකු අඩු පාඩුවක් වෙලා තිබුණු දේත් මම ඉටු කළා. ඒ වගේම නෝන මහත්තයලත් අපිට යුතුකම් ඉෂ්ට කරන්න ඕන”
පුදුමයි. ඒත් ඇත්තයි. දුරකතනයක් ඉල්ලල අවුරුදු 5 කටත් වඩා වැඩියි.

ගේ ඇතුළේ එක ගාල ගෝට්ටියයි. සාලෙ කොණක කෝනර් ස්ටෑන්ඩ් එකේ කිරි ටොයිය වගේ අළුත්ම ටෙලිෆෝන් එකක්.
” හලෝ… නංගිද ? මම මේ මේ දයා අක්කා.. ඔව්. ඔව්. අපි ටෙලිපෝන් ගත්තා. දැන් ඉතින් ලේසියි හැම දේටම. මේ පැත්තේ ඇවිල්ල යන්න එන්න. සිකුරාදාවක. සිකුරාදා මෙහේ ඉඳල කැළණි විහාරෙටත් ගිහින් , පස්සෙ සත්තු වත්ත එහෙම බලල යන්න බැරියැ.. ඔව්.. ඔව්.. අපෙ වෑන් එකේ.. එහෙනං තියන්නං.. බුදු සරණයි.. චෙරියෝ..”

ගෙදරට එන කිසිම කෙනෙක් හිස් අතින් ආවෙ නැහැ. කුස්සිය පිරෙන්න එළවළු.. දයා මැණිකේ පොලේ ගිය කාලයක් මතක නෑ. දැන් හැමදාම රෑ කෑමට දහයක්,පහළොවක් විතර වරදින්නෙ නෑ. ආරක්ෂාවට ආ කට්ටිය. කට්ටියක් ඕබි බැලුවා. තව කට්ටියක් කැරම් ගැහුවා. ඩ්‍රයිවර් – සිසිර කුමාර; රත්නත් එක්ක මුකුළු කළා. රත්නා හැමෝටම තේ- කෝපි ඇල්ලුවා විටෙන් විටේ.

වෙද මහත්තයා කුස්සියට එබුනා. බිම එළන ලද පැදුරක අළු කෙසෙල් කැනක්, පිපිඤ්ඤ ගෙඩි හතරක් – පහක්, වට්ටක්කා ගෙඩියක්,මෑකරල් මිටියක්,කරවල කූරියෙක්, සාඩින් ටින් කීපයක්..
දයා මැණිකෙත් ආවා රෑ කෑමට මොනවද උයන්නෙ කියල බලන්න.
” ඔය අළු කෙහෙල් එහෙම නිතරම උයන්න එපා.”
” ඇයි මක් වෙනවද ? ”
” පිරිමින්ට හොඳ නෑ.. හිරකාරයන්ට දෙන්නෙත් අළු කෙහෙල්.. උන්ගෙ මදන කුලප්පුව මට්ටු කරන්න”
” අපෙ මහත්තයට අපිව මදි වෙයිද දන්නෙ නෑ පහු වෙනකොට”

සෙනසුරාදා රත්නපාල මහත්තයා කොළඹ ගියා වෑන් එකේ. කොටුවේ කපාඩියා එකෙන් සිංහළ බෙහෙත් බඩු ටික ගන්නයි.. තිඹිරිගස්යායෙ හර්කියුලස් එකට රෙදි වගයක් බලන්නයි. ජාතික ඇඳුම් කට්ටල් 4 කටම රෙදි අරන් දුන්නා.. ටිකක් කහ පාටට හුරු.
ටේලර් කොල්ලා වෙද මහත්තයගෙ බඩ වටේ ප්‍රමාණය මැන්නා. සයිස් එකේ හැටියට ඌ හිතන්න ඇති එක්කෝ ඇමති කෙනෙක් නැත්නම් ලොකු මුදලාලි කෙනෙක් කියල.
” සිසිර මගෙ මේ බඩ ගෙඩිය එදා ඉඳලම තිබුණු එකක්. මිනිස්සු කියන එකක් නෑ දිනුවට පස්සෙ බඩ ආවා කියල.. අනික මං මේ කියන්නම හිටියේ . පිට මිනිස්සු ඉස්සරහ අපිට නෑකම් කියන්න එපා. මිනිස්සු හිතයි මුළු පරම්පරාවම ගෙදර ගෙනත් දාගෙන කියල”

වෙද මහත්තය එහෙම කිව්වේ තව එකක් හිතේ තියා ගෙන. වෙද මහත්තයට ඉව වැටිල තිබුණෙ රත්නත් එක්ක තිබුණු අසාමාන්‍ය කුචු කුචුව. ඇවැස්ස නෑනල -මස්සිනාල තමා. ඒ උනාට අපි කොහොමත් නෑයො නේ. පිටින් එකතු කර ගන්න ඕන. එතකොටයි පවුල ලොකු වෙන්නේ. මැණික් මුදලාලි කෙනෙක් දැනටමත් අහල එවල තිබුනා එයාගෙ පුතාට. නෑයෝ කියල ආවට- ගියාට; ලපයි-සිපයි කිට්ටු කරගෙන බෑ.
මේක මේ ඩෝබිගෙ පිරුවටෙ වගේ.. මේ පාර නං දිනයි. ඊ ළඟ පාර පරදින්නත් පුළුවන්.
ඊට කලින් අහස් මාළිගා…. හීන මාලිගා…. ගොඩයි.

ටවුමෙ ලයිට් කණුවකට ගැට ගහල තරුණයෙක් මරා දාල. අනේ මේ අහිංසකයන් මෙහෙම මරා දමන්නේ ඇයි. උන් රටෙන් භාගයක් ඉල්ලුවද ? රටේ පවතින නීතිය අනුව නඩු අහලා වරදක් කර ඇත්නම් දඬුවම් කරන එක නේද හරි. මේ තරුණයාටත් අම්මෙක් අප්පෙක් ඇති නේද ?
“රත්නම් මහත්තයා.. මම නම් කියන්නේ මුන් පණ පිටින් ප්‍රසිද්ධියේ පුච්චන්න ඕන. අනික් උන්ට පාඩමක් වෙන්න”
“එහෙමමත් කියන්න එපා. උන් හරි.. උන් කියන දේ පිළිගන්න අපි ලෑස්ති නෑ. අපේ උගත්කම්-සමාජ රටාව- පවුල් පසුබිම් නිසා අපි කැමති නෑ උන්ට එකතු වෙන්න. ඒත් කවදා හරි දවසක් එනව උන් දිනන..”
“තුවක්කුවේ බලයෙන් මිනිහා පාලනය කරන්න හදපු යල්පැන ගිය ක්‍රමයක් ඕක රත්නම් මහත්තයා.. හැම එකාටම සහෝදරයා කිය කියා.. උන් කියන මේලෝකෙ දෙයක් මට නම් තේරෙන්නෙ නෑ”
“යල් පැන ගිය ක්‍රමයක් උනාට.. යම් තත්වයකට එන තුරු අපේ වගේ කුඩා රටකට ගැලපෙන්නෙ ඔය ක්‍රමයම තමා වෙද මහත්තයා.”

 

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

පළා බබා – 2


මස් කඩේ මුදලාලි සුල්ෆි නානා සිංහළ සමඟ දෙමළ කළවම් කරල; රත්නම් මහත්තයා සිංහළ, ඉංග්‍රීසි සමඟ දෙමළ කළවම් කරල දොඩමලු උනා. බීම බෝතල් එක එක හිස් උනා. රත්නම් මහත්තයා කිවු කතා වලට නම් කවුරුවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒකට සුල්ෆි නානා.. මාර කටක්.
හැමෝගෙම අදහස උනේ රජීව් ගාන්ධිට කෙළපු එක හොඳයි කියල.
දයා මැණිකේ .. ඒ කියන්නේ රත්නපාල මහත්තයගෙ පවුලයි , දුව- රත්නයි උදව්වට ඇවිත් උන්නු ළඟ පාත ගෑණු කෙනෙකුයි විටෙන් විටේ කුස්සියට දිව්වා. බයිට් සපයන්ට. හරක් මස්- කුකුළ් මස් බදින්ටයි.. මස් මාංශ නොකන රත්නම් මහත්තයට පපඩම් බදින්නයි.. බාලවයස්කාර කොලු ගැටවුනට ප්ලේන් ටී හදන්නයි.
පාටිය ඉවර වෙන කොට පහුවදා පාන්දර 2.00 යි. ඒ වෙන කොට රත්නම් මහත්තයාට බයිට් එක මාරු වෙලා කුකුළ් කටුවක් ලෑටි ගාමිනුයි හිටියේ.
” මචං.. අපි දෙන්නම් නියම ඔපීනියන්.. අපි දිනන්ට ඕන. නැද්ද මචං.. අපි මේ ගමේ මිනිස්සු. අපි මැරෙන්නෙත් මේකෙ. අරි..ද මචං.. අපි දිනල මේ ගමට සේවයක් කරමු..”
අවරුදු 15 ක විතර කොලු ගැටයෙකුට වැඩි වෙලා. උගෙ අම්මා ඇවිත් උගෙ කණට දෙකක් දීල ඇද ගෙන ගියා.
” අම්මේ…හ්.. අද මට සංතෝෂ වෙන්න ඕන දවසක්.. අම්ම යන්න.. මම එන්නම්.. අපි රත්නපාල මාම දිනවන්න ඕන..අරි.. ද.. අම්මා…හ්”
” යමන් ගෙදර.. දෙන්නම් මහ එකා ඉස්සරහ පිටම වෙරි බහින්ට”

සාලෙයි, මිදුලයි හරියට බෝම්බ දාල වගේ. කට්ටිය තැන් තැන් වල නිදි. ගල් අරක්කු බෝතල 15 කට එහා. බඩු මදි වෙලා ලුණු කැටත් දාල බීල තියෙන්නෙ. තැන් තැන් වල බාගෙට බීපු වීදුරු.. එකෙක් නියම හෝටලයක් දාල රත්නගෙ ඇන්තූරියම් පාත්තිය විනාසයි.
” අම්මේ. මට බෑ ඒ ජරාව අදින්න. දැන් නිදා ගම්මු. මම මේව හෙට අස් කරන්නම්”
” අද මෙහෙම නම් පහු වෙනකොට කොහොම තියෙයිද ? අද තමා ඔන්න තාත්තගෙ කෙරුවාවත් දැනගත්තෙ හරියට”

සාලෙ බිත්ති පුපුරල. තැන් තැන් වල ඩිස්ටෙම්පර් ගැලවිල. වේවැල් පුටු සැට් එක දයා මැණිකේ එනකොට ගෙනා එකක්. දහ දෙනෙක් එක පාර ආවොත් තේ හදන්න අහල පහල ගෙවල් වලට දුවන්න වෙනව.. පීරිසි කෝප්ප හොයන්න..කවදා ගොඩ එනටද මේ ජීවිතෙන්..

දහවල් 12.00 ට විතර මස් කඩේ මුදලාලිගෙ ලොරිය ආඟිරි ගා ගෙන වත්තට ඇතුළු උනා. ගේ දොර කඩට පස්ස සැට් වෙන්ට නතර කළා.
” මේක අපේ මුදලාලිගෙ ඕඩර් එකක්.. ගේ ඇතුළටම බාන්න කියලයි කිව්වේ”
අළුත්ම අළුත් පුටු සැට් එකක්. කෑම මේසයක්. ඒකට පුටු හයක්. තව සාමාන්‍ය පුටු දහයක් දොළහක් විතර.. ලොකු පොල් ලී වීදුරු කැබිනට් එකක්..
ඕං බලමුකෝ ඒකෙත් හැටි ? තව දිනලයැ. මේ මිනිස්සු කරන උදව් මතක තියා ගෙන ඉඳල ආපිට සළකන්න වෙයි ඔන්න”

ඉලෙක්ෂන් එකට සෑහෙන සල්ලියක් යාවි. ගමේ තියෙන කුඹුරු කෑල්ලවත් විකුණන්න ඕන. පස්සෙ බැරියැ ගන්ට එකට දහයක්..
ලොරිය පුටු ටික බාල ගියා විතරයි. ටොයෝටා හයි ඒස් එකක් ආවා. ඒක මිදුලේ අයිනේ පාක් කළා. ඩ්‍රයිවර් ගේ ඇතුළට ආවා.
ඒක එවල තියෙන්නේ පළාතේ ගරු මන්ත්‍රී තුමා.. හමීඩ් මහත්තයා. චන්ද වැඩ වලට වාහනයක් ඕනමයිනේ.
” මහත්තයට ඩ්‍රයිවර් කෙනෙක් නැත්නම් මට උනත් එන්න පුළුවන්.” ඩ්‍රයිවර් ගැටයා රත්නගෙ කකුල් දෙක දිහා හොරෙන් බලල එහෙම කිව්වා.”
අපි අපේ මල්ලිගෙ පුතාට එන්න කියමු. පොළිසියේ හිටියේ. දැන් වැඩ තහනම් කරල. ආරක්ෂාවටත් හොඳයි. විස්වාසෙටත් හොඳයි.

ගුරු මණ්ඩලයම දැන් දයා මැනිකේ ටීචර්ට පණ ඇරල.තේ බොන වෙලාවට ස්ටාෆ් රූම් එකට මොනව හරි කෑමක් අරන් එනව තරඟෙට. ඉස්කෝලෙ හාමිනේ දැන් උදේට ඉස්කොලේ යන්නෙ වෑන් එකේ. අතරමඟ ඉන්න අයත් දා ගෙන.

එදා රෑ තමයි රෑ.. එක පාරටම පිපිරුම් හඬක්. රතිඤ්ඤ වෙන්න බෑ. ඊට වඩා ලොකු බෙලෙක් සද්දයක්. ඊට පස්සෙ ගල් වරුසාවක්. වෙද මහත්තයගෙ බෙහෙත් සාප්පුවට.
” අනේ මේ මොන නස්පැත්තියක්ද ? අපි හිටපු විදියට හිටිය නං හොඳයි කියල හිතෙනව. තව ඉස්සරහට මොන මොන දේට මූණ දෙන්න වෙයිද ?”
” අර විල්සන්ගෙ කොල්ලගෙ නඩේ ඊයෙත් මේ පැත්ත බල බල ගියා. උන්ගෙ වැඩක් වෙන්න ඕන. පුක කහ ගන්න නියපොත්ත නෑ. රට අල්ලන්න යනව. හෙට බලා ගම්මුකෝ පොලිසියෙදි”
” නෝනාවරුනි. මහත්වරුනි.. සහෝද්ද සහෝදරයනි.. මට මේක දරා ගන්න බෑ. බොහොම මහන්සි වෙල හදපු අරිෂ්ට බෝතල් ටික. මම මේ ගමේ අයගෙන් තියා අහල ගමකින් ආවත් සල්ලි වලට බෙහෙත් දෙනවද?අතේ තියෙනවා නම් කීයක් හරි දීල යන්න කියවා මිසක්. මේවා කරන්නේකාටද? මව් වරුනි.. පියවරුනි.. මම මේ තමුන්නාන්සේලට හොඳ කරන්න නේද හදන්නේ…”

රත්නපාල වෙද මහත්තය බොහොම ආවේගවත් කතාවක් කළා. වචන ගලා ගෙන ආවෙ පීල්ලකින් වගේ. වයසක පහේ ගෑණු තුවා කෑලි වලින් කඳුළු මාත්තු කළා.

” නැන්දේ මාමට දැන ගන්න තියන්න එපා. ඒක කළේ මම. එහෙම තමයි චන්ද කඩන්නේ.. චන්ද එකතු කරන්නේ…මේ වැඩෙන් කී දෙනෙක් අපේ පැත්තට හැරුනද කියල නැන්ද හිතනවද ?”
එහෙම කිව්වෙ දයා මැණිකෙගෙ මල්ලිගෙ පුතා. අර ඩ්‍රයිවර් කමට ආ හාදයා.
” ඒත් අර විල්සන් ගෙ කොල්ල පොලිසියෙන් අරන් ගියේ?. උන්ගෙ අම්ම ඉස්සරහම පයින් ඇනල.. පව්..”
” එහෙම තමා නැන්ද චන්දෙ.. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි..”

මතු සම්බන්ධයි

Posted in Uncategorized | ප්‍රතිචාර 2

පළා බබා


උතුරේ දෙමළ පක්ෂ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටියා. එහෙත් LTTE නායකයා – ප්‍රභාකරන් කෙළින්ම ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයක්.
JR ජයවර්ධන ඉන්දියාව සතුටු කිරීමට පළාත් සභා අච්චාරුව ඇති කළේය. රට පුරාම උද්ඝෝෂණ පටන් ගැනින. පාසැල් වල පවා.
පාසැල් වලින් එළියට ආ සිසු සිසුවියන් “පළාත් සභා- අපට එපා” කියල කෑ ගැසුවා. මෙලෝ හසරක් නොදන්නා පොඩි පංති වල උනුත් කෑ ගැහුවා තමන්ගේ කන් වලට ඇහුනු විදියට.
” පළා බබා- අපට එපා”

අද කතාව අපේ පළාතේ පළා බබෙක් ගැනයි.

රත්නපාල වෙද මහත්තයා සර්වාංග වෙදෙක්. වෙදකම ගැන උගත්තෙක්වත් – පරම්පරාවෙන් පැවැතෙන වෙදෙක් වත් නොවේ. ගමේ උන් නම් කියන්නේ ප්‍රසිද්ධ වෙද මහතෙක් ළඟ සෑහෙන කාලයක් අත් උදව්වට හිටි කෙනෙක් කියලා. කෙසේ වෙතත් සිංහළ වෙදකම වැරදිලා ලේසියෙන් ලෙඩෙක් මැරෙන්නේ නැහැනේ.. ඒ නිසා ඔය ඉඳල හිටලා රත්නපාල වෙද මහත්තයා හොයා ගෙනත් කෙනෙක් දෙන්නෙක් ආවා. ලෙඩ බැලුවෙත් , බෙහෙත් කිරල මැනල දුන්නෙත් වෙද මහත්තයාමයි. බෙහෙත් නිකුත් කරන කවුන්ටරය උඩ යකඩ කූරක ඇමිනූ නොම්මර විස්සක් තිහක් විතර තිබුණා.
එක්කෙනෙක් ආවත් නොම්මරයක් නම් ගත යුතුමයි.
ලෙඩුන්ට වඩා වැඩි පුර ආවේ ආණ්ඩුවේ රස්සාවල් කරන මහත්තුරු නෝනලා හොර වෛද්‍ය සහතික අරන් යන්ට. සහ බැංකුවල වැඩ කරන මහත්තුරුන් සහ නෝනලා හොර කුවිතාන්සි අරන් යන්ට.
රත්නපාල වෙද මහත්තයගෙ පවුල – ඒ කියන්නෙ භාර්යාව ගුරුතුමියක්. ඈ පහල පංති වලට සෞඛ්‍යය, සමාජ අධ්‍යනය වගේ විෂයයන් ඉගැන්නුවා.

එයාලගේ අසල්වැසියා රත්නම් මහත්තයා යාපනේ දෙමළ ජාතිකයෙක්. බිරිඳ මිය ගිහින්. පාර්ලිමෙන්තුවේ ලිපිකරුවෙක් විදියට වැඩකරල දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නා කෙනෙක්.

රත්නම් මහත්තයා දවසක් හැන්දෑවක ආවා වෙදමහත්තය බලන්න. අරිෂ්ට ඩිංගිත්තක් ඉල්ල ගන්න. නියම බඩු. වැදගත් විදියට- කාටවත් නොදැනෙන්ට වීදුරු භාගයක් විතර බීල සුව නින්දක් ගහන්න පුළුවන්.

“දැක්කද නිවුස් ?”
” දැක්ක. දැක්ක.. කොහොමද අපේ එකා රජීව් ගාන්ධිට දෑත බදල දුන්නු හැටි.”
” චිඃ.. ජරා වැඩ. අන්සිවිලයිස්ඩ්.. හොඳ වෙලාවට ප්‍රෙසිඩන්ට් වැඩේ ෂේප් කර ගත්තා. නැත්තං උන් එහේ ඉඳන් මෙහාට ගහයි. අපි මොනව කරන්නද ? ආපහු ගහන්නද ? මොකෙන් ගහන්නද ?”
” නෑ මං කිව්වෙ මම ඔතන හිටියත් කරන්නෙ ඕක. උන්ට වැඩක්යැ වෙනත් ස්වාධීන රටකට අත පොවන්න.”

” එක නෙවි මං ආවෙ .. පළාත් සභා ඇති කරන්න යනවළු. හැම පළාතකටම ආණ්ඩුවක්. ”
“එතකොට මේ දැන් තියෙන ආණ්ඩුව?”
” ඒකත් එහෙම්ම තියෙනවා. දෙමළ මිනිහට, මුස්ලිම් මිනිහට සම සමව බලය බෙදා දෙන ක්‍රමයක්. ඕක මීට අවුරුදු ගාණකට ඉස්සර කරන්න තිබුණු දෙයක්”
” වෙද මහත්තය ඉල්ලන්න මේ පළාතෙන්.. UNP එකෙන්. බය වෙන්න එපා. අපි සපෝට් එක දෙන්නම්. පොල් පිත්තකින් puppet කෙනෙක් හදල තිබ්බත් දිනනවා. මිනිස්සුන්ට මේක අළුත් දෙයක්.
” මගෙ බල්ලටවත් එපා. මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න”
” ටිකක් හිතල බලන්න. ඉස්කෝළෙ හාමිනේ ගෙනුත් අහල..”
රත්නම් මහත්තයා ඇවිත් විෂබීජ වැපිරුවා. රත්නපාල වෙද මහත්තයට එදා නින්ද ගියේම නෑ.
හොඳ පඩියකුත් ලැබෙයිනේ. වාහනයක්. ආරක්ෂක පිරිවර.. උත්සව.. විවෘත කිරීම්. මළ ගෙවල්. මගුල් ගෙවල්. කොටහළු ගෙවල්. ගරු සැළකිලි..හප්පා..සුදු ජාතික ඇඳුම ඇඳල. මේ ඇඟිලි වැහෙන්න සපත්තු දාල.. ඕන වුනොත් පස්සෙ කළිසමට උනත් හුරු වෙන්න පුළුවන්.
පළාත් සභා මන්ත්‍රී.. ඇමති.. මහ ඇමති.. ඊ ළඟට රිංගනවා පාර්ලිමෙන්තුවට.. උප ඇමති.. ඇමති.. අගමැති.. ජනාධිපති වෙන්නත් පුළුවන්..
රත්නම් කාරය ඇවිල්ල මාර ලෙඩක් නේද දැම්මේ ?

” රත්නම් මහත්තයා.. ඔන්න මං අපේ පවුලගෙනුත් ඇහුවා. එයා නං උඩින්ම කැමතියි”

ඔය හොර මෙඩිකල් වලින් කීයක් හම්බ කරන්නද ? කෙල්ල කාට හරි දෙන්න ඕන. පුතාට මාසයකට සැරයක් සල්ලි යවන්න ඕන. ඔය මහපොලින් ලැබෙන ගාන මදිලු.

” වෙද මහත්තයා.. ඔය සේරම ප්‍රශ්නවලට තියෙන එකම විසඳුම… ඔන්න මාව අමතක කරන්න එපා..”
” සේරමත් හරි මට ඔය වේදිකාවල කැ ගහල පුරුදු නෑනෙ. ඉඳල හිටල සොහොන් පොළවල් වල නං කතා පවත්තල තියෙනව.
” අඩ්.. ඩඩ්.. ඩා.. මට ෂිංහල ලියන්න බෑනේ. නැත්නම් මට ලියල දෙන්න තිබුණා. කොහොමටත් ඕව මෙහෙමයි..
ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි.. අන්‍යාගමික පූජකයන්ගෙන්, පළාතේ මන්ත්‍රී තුමාගෙන් , දිසාපති තුමාගෙන්, පොළිස් නිලධාරි තුමන් ගෙන් , මව්වරුන්ගෙන් පියවරුන්ගෙන් ,සහෝද්ද, සහෝද්ද වරුන් ගෙන අවසර ගන්න කොට නිකම්ම විනාඩි පහක් ගිහින්.
ඊට පස්සෙ ටිකක් ඇදල පැදල ඔය ගම් පළාතේ කාණුවක්, බෝක්කුවක් ගැන, ගම්සභා පාරක අළුත්වැඩියාවක් ගැන කියල , කලින් ආණ්ඩුව ඒව ඉෂ්ට නොකළ එක ගැන ටිකක් සද්දෙන් කතා කරපුවම අපෙ උන් අප්පුඩි ගහයි කන් පැලෙන්න.”
” මාස දෙක තුනක් යන කොට නිකම්ම හුරු වෙයි.. peace of cake.
රත්නම් මහත්තය සහෝදරයෝ ගැන කියන කොටයි මට මතක් උනේ.. වේදිකාවෙ වගේ නෙවේ ඔය සභා වාරයකදි අරුන්ට එහෙම අහු උනොත් විනාසයි. උන්ට මාර දැනුමක් තියෙන්නේ.”
” ඒවට මුලින්ම කට දාන්න ඕන නෑ. දැන් ඔය පාර්ලිමෙන්තුවෙ කී දෙනෙක් නං කියල ඉන්නවද ඈණුමක් අරින්නවත් කට අරින්නෙ නැති මන්ත්‍රීලා”

රත්නපාල මහත්තයට නොමිනේෂන් ලැබුණා. එදා රෑ මාර ජය පාටියක් ගෙදර.
පළාතේ ගරු මන්ත්‍රී හමීඩ් මහත්තයගෙ පැජරෝ එක පිරිවරා ගෙන වාහන පෝලිමයි.
” තාත්තෙ මේ ආපු ටික චන්දෙ දුන්නත් අපිට දිනන්න පුළුවන් නේද ”
එකම දුව රත්නා අසා සිටියා.

මතු සම්බන්ධයි.

Posted in Uncategorized | ප්‍රතිචාර 2

රට ගිය ගොඩයගෙ කතාව- අවසන් කොටස


හැමදේකම අවසානයක් තිබිය යුතුය. කෝපය, ක්‍රෝධය, වෛරය, බලාපොරොත්තු බිඳ වැටීම, දුක වගේ සෘණ ආකල්ප සමඟ හිතේ කැකෑරුනු පීඩනය එළියට දමා හිත සන්සුන් කර ගැනීමට ගොඩයා ලියන්නට පටන් ගත් රට ගිය ගොඩයාගේ කතාව අදින් අවසන් වේ.
සමහරු හිතනවා ඇති මෙය හුදු ප්‍රබන්ධයක්ය කියා. සමහරු ප්‍රතිචාර දක්වා තිබුණා ලියන වේගය වැඩියි කියා. සමහරු අහනවා ඇයි ඉවර කරන්නේ කියා. හැම දෙයකම අවසානයක් තිබිය යුතුය.
location එකට ගිහින් episode එක ලියන මෙගා ටෙලියක් මෙන් මටත් මෙය ඇද ඇද ඉන්නට තිබුනාය. මෙය ප්‍රබන්ධයක් විතරක් නම්…..

අපිට පුංචි කාලේ රස කැවිල්ලක් ලැබුණම ටික ටික කන්නේ. ඉවර වෙයි කියන දුකට. ඒත් තිත්ත කෂාය නම් එක උගුරට ගිලල දානව. රට ගිය ගොඩයගේ කතාවත් තිත්ත කෂායක්. පිටින් ඉඳන් බලන කෙනෙකුට නම් ලොලිපොප් එකක් වගේ කියා හිතෙන්න පුළුවන්. ඒත් එහෙම නෑ.

” I am here… ( ඔන්න මම ආවා…)” අද එතැන් සිට…

ගොඩයා ඇඳන් හිටියේ සරමක්. ” are you wearing a skirt …?” එයා සරම් දැකල නෑ.
ගෙල වටා දෑත් යවා ගොඩයා වැළඳ ගත් මොනිකා ගොඩයාගේ දෙතොල් සිප ගත්තා. සරම ලිහිල් වී දෙපා මුල වැටුනා. මොනිකා මඳක් පහත බලා ” නොට් බෑඩ්..” කීවා.

මධු කියන්නේ පැණිවලට. ඒත් ගොඩයගේ මධුසමය තිත්තම තිත්ත එකක්. ” ඕක ඉතින් අදම කරන්න ඕනයැ.. අපි තව දෙතුන් දවසක්ම ඉන්නවනේ..” ඇය බය වෙලා.
ගොඩයා චිත්‍රපටි බලන්න ආසයි. සුදු-කළු චිත්‍රපටි තිබුණු කාලෙ , ගාමිණී-සන්ධ්‍යා, විජය- මාලිනී, තිස්ස- ගීතා රඟ පෑ එකදු චිත්‍රපටියක්වත් ගොඩයාට මග ඇරුණෙ නෑ. ඒවායේ ලව් සීන් වල සිප ගන්නා දර්ශන තිබුණත්, ඒවා දෙකම්මුල් සහ නළලත සිප ගන්නා මොන්ටිසෝරි කිස්.
හින්දි චිත්‍රපටි වලත් එහෙමයි. කිස් කරන්ට වාගෙ වාගෙ එනවා. ලං වෙනකොට කෙල්ල දුවනවා. ගොඩයගෙ බිරිඳත් ඒ වගේ. ඉවසන්න බැරිම තැන ගොඩයා දවසක් ඇහුවා ” ඇයි අහකට ගන්නෙ.. මගෙ කට ගඳද කියල”
එයා කීවා” නෑ අනේ මට හුස්ම ගන්න බෑ ” කියල.
හුස්ම හිරවෙල මැරුණත් මොකද .. මොනිකා , ගොඩයගෙ දෙතොල එහෙම්ම පිටින්ම එයාගෙ මුව තුලට ගත්තා.
ගොඩයා ඇඳේ පෙරළා ගත් මොනිකා ගොඩයගෙ නැහැය, නිකට සිප ගනිමින් පහලට පහලට ආවා. ගොඩය බලන් හිටියේ තවත් පහල යාවි කියල.. ගොඩයා මොනිකගෙ නිකට දබරැඟිල්ලෙන් උස්සල එයාගෙ මුහුණ බැලුවා.
” ඒව පස්සට” වගේ බැල්මකින් ඉහළට ආ මොනිකා , ගොඩයා තම සිරුර තුලට වද්දා ගත්තා.

ගොඩයා තම බිරිය හා එක්වූ හැම දවසකම එය නිමා කළේ කෝපයෙන්. අතෘප්තියෙන්. ” ඔයාට ගොනෙකුගෙන් ( වේස ගෑණියෙකුගෙන්) ටියුෂන් අරන් දෙන්න ඕන එහෙම දාක ගොඩයා කීවා.

හොඳ බිරිඳක් වීමට නම් ගැහැණියක් තුළ මවක්-මිතුරියක් සහ වෛශ්‍යාවක් ජීවත් විය යුතු බව පොත පතේ සඳහන් වෙනවා.
තනිකඩ කාලෙ .. ගෙදර ඉන්න දවස් වල ගොඩයා නිදිවර්ජිත බව දැන ගත්තොත් තම මව ” පුතේ උඹට නින්ද යන්නෙ නැද්ද ? තේ ඩිංගිත්තක් හදල දෙන්නද කියල අහනව.. ගොඩයගෙ බිරිඳත් එහෙමයි.. ” රෑ දෙගොඩ හරි කමක් නෑ, ගොඩයට තේ හදල දෙනව. එයා සමහර දවස් වලට වැඩ් ඇරිල එන්නෙ කෝච්චියෙ. ගොඩයා එයා අර ගන්න හෝමාගම ඉට්ටේසමට යනව. ඈත තියාම ගොඩයා ඇඳින ගන්න ඇය , කාලෙකින් නුදුටු මිතුරෙකුට වගේ සිනා පානව. එයා තුල මවක් සහ මිතුරියක් පමණක් සැඟව සිටියා.

ගොඩයාට දාව ඇයට දරුවන් තුන් දෙනයි. රෑ මැදියම අත පත ගාන්න ගිය දවසක ” අපිට තුන් දෙනෙක්ම ඉන්නවනේ.. දැන් ඉතින් ඔය මදෑ” එහෙම කියාපි. දරුවන් දෙතුන් දෙනෙක් හැදුවාම ජීවිතය එතනින් ඉවරයි කියා සිතන ලංකාවෙ බොහොමයක් ගෑණු හිතන්නෙ ලිංගික ක්‍රියාව තියෙන්නේ දරුවන් හැදීමට විතරක් කියලයි. එය දිව්‍යමය ක්‍රීඩාවක් . දෙවියන්ගෙ ක්‍රීඩාවක්.

මොනිකා නම් පුදුම කෙල්ලක්. බඩවතේ එක රැල්ලක් නෑ. ගොඩයට හිතා ගන්න බෑ කොහෙන් පටන් ගන්නවද කියල. යෝධයෙකුට වගේ යෝධ අතක් තිබුනා නම් මේ සේරම එක මිටට ගන්ට….
එහාට පෙරළුනා. ආයෙම මෙහාට පෙරළුනා. පරන යකඩ ඇඳ තෙල් නැතිව ක්‍රීක් ක්‍රීක් ගෑවා. ගොඩයා අහම්බෙන් දැක්කේ. ඇඳේ එහා පැත්තේ බිත්තියෙ එල්ලා තිබුනු මූණ බලන කණ්ණාඩිය. දෙදෙනාගේ නග්න සිරුරු දෙක ඒ තුලින් ලස්සනට පෙනුනා. එය මනස්කාන්ත දසුනක්.

ගොඩයාට තව දුරටත් එහෙම ඉන්න අමාරුයි.. ගොඩයා හිත වෙනතක යවන්න තැත් කළා. පහුවදා ඔෆීස් යන හැටි.. කරන්න තියෙන වැඩ කන්දරාව.. ගෙවන්න තියෙන බිල්… තව වට පිටාවෙ දේවල්.. එකකින්වත් වැඩක් උනේ නැහැ.
” මොනිකා. I can’t hold anymore…”
” Its ok baby. its ok.. let it come…” මොනිකා කෙඳිරි ගෑවා.වැව් බැම්මක් කඩා ගෙන ගියා වාගේ. සේරම ඉවරයි.

වටවන්දනාවෙ පයින්ම ගිහිල්ල කට්ට අව්වෙ ඇවිදල , පරාක්‍රම සමුද්‍රය බැම්ම අයිනෙ හිට ගත්තාම ඇඟේ වදින උණුසුම් සුළං ධාරාවක් වැදුනා වගේ සනීපයක් ගොඩයාට දැනුනා. තත්පර ගාණක තද ලොකු නින්දකට වැටුනා. ගොඩයට හොඳටම ෂුවර් ඒ වගේ සැපක් නම් ජීවිතේට දැනිලා නෑ කියල.
මොනිකා බිම වැටී තිබුණු ඇඳුම් එකතු කළා. සරම අහුල ගෙන ඒක ගොඩයගෙ මුහුණට දමා ගැහුවා. ගොඩයා කොට්ටය යටට අත දමා 100 නෝට්ටු දෙකක්ම මොනිකට දුන්නා.
” you are so sweet..” තවත් ටිකක් වෙලා ඉඳලා එයා යන්න ගියා.
මේ 200 වයිෆ්ට යවන ගානෙන් අඩු කරනවා.. ගොඩයා තීරණය කලා.

දිග කාලයකට පස්සෙ පුසුඹා මල්ලි කෝල් කලා. මිනිහගෙ ගෑස් බැහැල. කට හඬ හරිම දුක්මුසුයි.
” ඇයි?”
” අයියේ මම සමහර විට ඉක්මණටම ආපහු යනවා. ආයෙ එන්නෙ නෑ”
“ඒ මොකද ?”
” අරූ සේරම උගෙ නංගිගෙ පුතාට ලියල.. මට කීයක්වත් ලැබෙන්නෙ නැති පාටයි”

ගොඩයා දවසක් වැඩ ඇරිල ගෙදර ආවා. ගෙදර එයා කන්ඩිෂන් එක වැඩ කරන්නෙ නැහැ. මාර රස්නෙයි .. ඉස්සරහ දොර යාන්තමට වහල නා ගන්න බාත් රූම් එකට ගියා. ටික වෙලාවකින් ගොඩයට දැනුනා කවුරු හරි ගෙට ඇතුලු උනා කියල.
” කවුද…?”
” ඒ මම.. ඔයාගෙ ණය ගෙවල යන්න කියල ආවෙ.”
“ඔහොම ඉන්න ටිකක්”
ගොඩයා නා පිරිසිදු උනා. ඉකිලි දෙපස රතු වෙල. ටිකක් කහනවත් වගේ. ගොඩයා බය උනා. මේකි මොනව හරි ජරා ලෙඩක්වත් බෝ කලාද කියල. නෑ.. මේකයි වෙලා තියෙන්නෙ. shave කළ කෙස් ආයෙ වැවෙන්න පටන් අරන්.

ගොඩයා නා කියා ගෙන එන කොට මොනිකා ඇඳේ වැතිරිලා හිටියා.එයාගෙ උඩුකය විතරක් නිරුවත් වෙලා තිබුනා. තන පුඩු රෝස පාටයි. වත්ත පහල දර මඩුවේ පැටවු දාල හිටපු සුදු පාට බැල්ලි- රෝසිගෙත් ඒ වගේ. වස අප්පිරියයි. අර මුලදී තිබුනු එක්සයිට්මන්ට් එක අද නෑ. මොනිකගෙත් වැඩි උනන්දුවක් නෑ.

මේකිගෙ මිනිහ හිරේ ගියේ තුවක්කුවක් තියන් ඉඳල අහුවෙල. මූ නිදහස් වෙලා ආවාම මට වෙඩි තියයි. අණක් ගුණක් නැති ජාතිය. ඕව- මේව හිතේ තියා ගෙන ඒව – මේව කරන්න බෑ. ඕක භාවනාවක් වගේ දෙයක්. ඒ තියා ඔරලෝසුව ටික් ටික් ගාන සද්දෙටවත් ගොඩයා කැමති උනේ නෑ.. ” අර” වෙලාවට.
පුළුවන් තරම් ඉක්මණට මෙහෙන් යන්න ඕන. වෙන ඈත පළාතකට. මොනිකා යන්න ලෑස්තිය.” පොඩ්ඩක් ඉන්න මම බොන්න මොනව හරි අරන් එන්නම්”

ෆෝන් එක නාද උනා. වෙලාව හවස 7 ට විතර ඇති. ලංකාවෙ වෙලාව උදේ 8 ට විතර ඇති. මොනිකා ෆෝන් එක අරන් “හලෝ” කීවා.
” amigo.. call for you”
ගොඩයා වහාම කෝල් එක කට් කරල ෆෝන් එක ඇඳට විසි කළා…… “ආයෙ එහෙම මගෙ කෝල් වලට ආන්සර් කරන්න එපා.. මේ මගෙ රටෙන් ආ කෝල් එකක්. මගෙ වයිෆ් වෙන්න ඇති” මොනිකා ගස්ස ගෙන යන්ට ගියා.
ආයෙම පැයකින් විතර ෆෝන් එක නාද උනා. ඒ ගොඩයගෙ බිරිඳ. ගොඩයා ” හලෝ” කිව්වා. නෑ සද්දයක්. විනාඩි දෙකක් විතර ගියා. ඒ තමා මේ ලෝකෙ තියෙන දිගම විනාඩි දෙක.
” කවුද ඉස්සෙල්ල ගෑණියෙක් ෆෝන් එක ගත්තෙ ? මට ඇත්ත කියන්න. ඔතන තව කවුරු හරි ඉන්නවද ?”
ඇගේ කට හඬ තර්ජනාත්මකයි.
“පිස්සුද ඔයාට. ඔයා වැරදි නොම්මරයක් ගහන්න ඇති”
“වැරදි නොම්මරයක්…? මම re-dial කලේ. වරදින්නෙ කොහොමද ?”
” ඒ උනාට මෙහෙ කනෙක්ට් වෙන කොට වැරදි එකකට කනෙක්ට් වෙන්න ඇති”
” එහෙම වෙන්න පුළුවන්ද ඇමරිකාවෙ..?”
” මොකෝ බැරි.. ඔය වෙලා තියෙන්නෙ..”
” නෑ.. නෑ.. ඔයා එවන ලියුම් දැන් එන්ට එන්ටම කොට වෙනව. වෙනද වගේ කතා කරන්නෙත් නෑ. ඔය හිටිය ඇති ඔයා එන්න ආපහු.. මං තියනවා” ෆෝන් එක දඩස් ගාල තිබ්බා.
විනාඩි 10 කින් ආයෙම කතා කලා.
හලෝ කියන්නෙත් නැතිවම කෙලිම්ම කතාව පටන් ගත්තා.
” ඔයාගෙ තියෙන විසේ හැටියට ඔච්චර කාලයක් තනියම ඉන්න අමාරුයි. මං ඒක දන්නවා. ඔයා පහුගිය ලියුම් වල අල්ලපු ගෙදර ඉන්න ලස්සන කෙල්ලක් ගැනත් ලියල තිබුණා… මොනව හරි දෙයක් වෙනව ඇති.. ඔයා ඉක්මණට එන්න.. මම ආයෙ කියන්නෙ නෑ”
“ඔය ඉක්මණට මට එන්න බෑ. තව ටිකක් ඉන්න. මගෙ papers process වෙනව. තව මාස 6 ක්.. මම එතකොට සිටිසන්. මට ඔයාලවත් ගෙන්න ගන්න පුළුවන්..”
” මට ඕන උලව්වක් නෑ. ඔයා අවුරුදු 5 ක් හිටියා . ඔය හොඳටම ඇති. ළමයිත් දැන් මට කීකරු නෑ. ඔයා එවපු සල්ලි මම එකතු කරල තියෙනව. මගෙ EPF සල්ලිත් තියෙනව. අපි මොකක් හරි බිස්නස් එකක් කරමු”

” හරි මාස 6 ක් ඉන්න. මම මේව පිළිවෙළක් කරන තුරු”
” හරි ඔන්න මාස 6 යි. දන්නවද ? ඔයා දන්නෙ නෑ මං කවුද කියල. ඔයාගෙ ළමයින්ටත් වහ දීල මාත් වහ බොනව..”
ගොඩයට හිනා ගියා.
” හිනා වෙන්න එපා.. මම ඒක කරන එක කරනවාමයි”

ගොඩයට බය හිතුනා. ගෑණු ඕන දෙයක් බෙදා හදා ගෙන කයි. ඒත් ආදරය විතරක් බෙදා ගන්න කැමති නෑ. ගොනා පිදුරු කන්න දන්නෙත් නෑ. දන්න එකෙකුට කන්න දෙන්නෙත් නෑ..
ගොඩයා තීරණය කළා ආපහු යන්න. හිටියොත් වෙන්නෙ සමහරවිට වෙඩි කාල මැරෙන්න. තවත් එක මාසයක් ඔහොම රණ්ඩු වෙන කෝල් වලින්ම ගෙවිල ගියා.
ඊ ළඟ මාසේ පළමු සතියේ ගොඩයා බලා ගෙනම සිටි ලිපිය ලැබුණා. සම්මුඛ පරීක්ෂණයක්. ඒකෙන් පාස් උනොත්, ඇඟිලි සළකුණු චෙක් කරනවා.. ඊට පස්සෙ ලොස් ඇන්ජලිස් ඩවුන් ටවුන්වල තියෙන මහා විශාල ශාලාවක පුරවැසිකම් ප්‍රදානය කෙරෙනව.

ගොඩයට සම්මුඛ පරීක්ෂණය නම් අමාරු උනේ නැහැ. ලේසි ප්‍රශ්න. කීපයක් වැරදුනා. ඒත් ඒක ප්‍රශ්නයක් නෙවි.
මේ උත්සවය වඩාත් වැදගත් වෙන්නෙ දේශසීමාවෙන් හොරෙන් රිංගල ඇමරිකාවෙ අවුරුදු 10 , 15ක් ජීවත් වුනු මෙක්සිකානුවන්ට. එකිනෙකාගෙ නම කියල කතා කරන විට උන් ප්‍රීති ඝෝෂා කළා.
එක් මැක්සිකානුවෙක් ගිටාරයක් වයමින් සරණාගතයන් වෙනුවෙන් ලියැවුනු ගීතයක් ගායනා කළා. ගීය අවසන විනිසුරන් පවා ආසන වලින් නැගිට ඔහුට ප්‍රතිචාර දැක්වූවා. ගීතයෙන් කියැවුනේ ඔහු තමාගේ රටේදී මුහුන දුන් දුක සහ දේශ සීමාවෙන් පනිද්දී වින්ද දුක් ගැහැට.
ශ්‍රී ලාංකික – සිංහළ – බෞද්ධ යයි සිතිය කීප දෙනෙකුත් එදා හිටියා.. නමුත් කිසිවෙක් එකිනෙකා සමඟ කතා කළේ නැහැ. ඒ තමා අපේ 2500 වසරක් පාරම්බාන ඉතිහාස කතාව.

ගොඩයා දැඩි තීරණයක් ගත්තා. ඒ යන්ටම යන්ට. තමා දැන් පුරවැසියෙක්. ලංකාවෙත් පුරවැසිකම තාම තියෙනව.. ලංකාවට ගිහින් මාස තුනකට වඩා ඉන්න බැහැ. ගිහින් පවුල පිටින්ම එනවා. ළමයින්ගෙ අධ්‍යාපනයටත් හොඳයිනේ !

ගොඩයා අරුණ් රෙඩ්ඩි මහතා මුණ ගැහුනා.
” මිස්ටර් රෙඩ්ඩි. මම මෙහෙන් අස්වෙල ලංකාවට යනවා. ආපහු ආවාම මට මෙතනම රස්සාව කරන්න පුළුවන්ද?”
” කිසි ප්‍රශ්නයක් නෑ. ගිහිල්ල වරෙන්. මෙහෙ ආ කෙනෙක් කවදද ආපහු යන්ටම ගියේ ? ඇමරිකාවට බැණ බැන මෙහෙම ඉන්නවා මිසක්”

ගොඩයා ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කළා. පොඩි පොඩි වියදම් වලට. ඒ බැංකු දෙකට කතා කරල ලිමිට් එක වැඩි කරල දෙන්න කීවා. ගොඩයගෙ ක්‍රෙඩිට් history එක හොඳයි. 2500 ට තිබුනු ලිමිට් එක 5000 කරල තිබුනා.
ගොඩයා එක කාඩ් එකකින් ගුවන් ටිකට් පත ගත්තා. අනෙක් කාඩ් එකෙන් ගෙනියන්නට අවශ්‍ය බඩු අර ගත්තා. ආයෙ මාව කොහෙන් හොයන්නද? මේ වගේ ගානකට මා පස්සෙ පන්නන එකක් නෑ.

Mr ජාගොඩගෙ පුතා දැන් විශ්ව විද්‍යාලෙ. එයාට කාර් එකක් අරන් දෙන්න ජාගොඩට ඕන වෙලා.
” Mr ජාගොඩ මගෙ කාර් එක ගන්න. තව පොඩි ගානක් ගෙවන්න තියෙන්නෙ. mileage එකත් එච්චර නෑ. හොඳට පාවිච්චි කරල තියෙනව’
මිනිහ කරල තියෙන උදව් පදව් වල හැටියට ඕක මොනවද ?

මොනිකට කියනවද ? නැද්ද ? ගෑණි අඬයිද ? මොනිකා දැන් රස්සාවක් කරනව. බෝනිකි බබා දැන් ලොකුයි ඉස්කෝලෙ යනවා.
” මොනිකා .. මම යනව ආපහු මගෙ රටට.. අයෙ එන එක කියන්න බෑ. කරපු හැම උදව්වකටම thank you”
මොනිකා එයාගෙ බඩ අත ගෑවා. ගොඩයා හොඳටම සැලුනා.
” මට ෂුවර්.. මේ ඔයාගෙ. මම ඔයා ඇර වෙන කා එක්කවත් නිදා ගත්තෙ නෑ”

ආපහු ගෙට ගිය ගොඩයා කොට්ටෙ බදා ගෙන වැලපුනා. ඒක කොහොමද උනෙ කියල කල්පනා කලා.
” ඕව ඕන නෑ. මට ලෙඩ නෑ.” කොන්ඩම් එක දානවට මොනිකා කැමති උනේ නැහැ. රේන්කෝට් දා ගෙන නාල වැඩක් තියෙනවයැ. ඇත්තටම ගොඩයත් කැමති නෑ ඒකට.
ගොඩයා තමන්ටම සාප කර ගත්තා.
තම බිරිඳට පළමු බබා ලැබෙන්න හිටි දවස් වල එක් එක්කෙනා ගෙන් අහගෙන ඒ කාලෙට කන්න බොන්න ඕන කරන දේ තම බිරිඳට ගෙනත් දූන්නු හැටි. කැළණි වඳින්න ගිය හැටි.. ගේ වටා ගුරු පාරෙ සීරුවට ඇවිද්දපු හැටි.. එයාගෙ බඩ උඩ ඔලුව තියාගෙන විහිළු කතා කී හැටි..
මොනිකට ඒ කිසි දෙයක් නෑ.

ගොඩයා මොනිකා හොයා ගෙන ගියා.
” what you think ? are you going to keep this.. or…..?”
මිනිහෙකුට ගෑණියෙකුගෙන් අහන්න පුළුවන් ජරාම කතාව ඒක.
මොනිකා ඇස් ලොකු කර ගත්තා.
” no.. its a sin.. this is my baby”
” ඕන එකක්”

ගොඩයගෙ බඩ දැවිල්ල පටන් ගත්තා. ඒ දැවිල්ල අත පය පුරාම විසිරිලා ගියා. ගොඩයා ආයෙම මොනිකගෙ ගෙදරට ගියා.
” මොනිකා.. මගෙ ගෙදර තියෙන furnitures ඔයා අර ගන්න. කොම්පියුටර් එකත් ගන්න. මම පුළුවන් තරම් ඉක්මණට ආපහු එනවා”

ගොඩයා කියන්නෙ හිතක් පපුවක් නැති මහ ජරා මිනිහෙක්.

[තිත්ත කෂාය තොල ගගා ගගා බොන්නෙ නෑ. ඒ නිසා ඉතිරිය තව ටිකක් කොට කරල ඉවරයක් කරල දානව]

පුසුඹා මල්ලි කතා කළා.
” අයියේ. මම අනිද්දා යනව. කොන්ටේනර් එකක බඩු ටිකක් යැව්වා. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි ඉන්නේ.. මම කතා කලේ.. sorry කියන්න. මගෙ අතින් අය්යට වැරදි උනා.. ඒව හිතේ තියා ගන්න එපා…”
” its ok.. its not a big deal” ගොඩයා දුන්න රිදෙන්නම.
” ඒක නෙමේ මමත් අනිද්ද යනවා ඔයාගෙ flight එක මොකද්ද ?”
” නෑහ් ! මමත් යන්නෙ ඒකෙ.. අනිද්ද රෑ 9.15 ට “

එහෙම coincidence වෙන්න පුළුවන්ද ? මොකෝ බැරි ? ඔය වෙලා තියෙන්නෙ. ඒත් ගොඩයා දෙවියන්ගෙන් ඉල්ල සිටියා එක ළඟ සීට් නම් නොලැබේවා කියල.

පැතලි ලයක් සහ පැතලි පස්සක් ඇති ගුවන් සේවිකාවක් ඉං බිත්තන් රටකජු පැකට් එකක් සහ තිත්ත දොඩම් යුෂ වීදුරුව බැගින් බෙදා ගෙන ගියා. හැටි විතරක් උන්ගේ. පිට ලෑලි වගේ.

කටුනායකට ලෑන්ඩ් කරන කොට මධ්‍යම රාත්‍රිය පහුවෙලා.
පරිසරය උණුසුම්. පිටුපසින් ආ කෙනෙක් ගොඩයගෙ පිටට තට්ටුවක් දමා බෑග් එක තල්ලු කරන්න උදව් කලා. ඒ පුසුඹා මල්ලි. දෙන්නම ගියා ආගමන විගමන පෝලිමට.
” අයිය ඉන්නෙ වැරදි පෝලිමක. මේ foreign passport වලට”
” නෑ.. මම හරි. මට තියෙන්නෙ US පාස්පෝට්”

ගොඩයා පුසුඹට අවසන් ප්‍රහාරයත් එල්ල කලා. පුසුඹා බිම බලා ගෙන එයාගෙ පෝලිමට ගියා.

අවසානයි.

Posted in Uncategorized | ප්‍රතිචාර 24