රට ගිය ගොඩයගේ කතාව – 11


ගෑණු වෙලා උපදින්නේ පවු කරපු අය කියලා මේ ළඟකදි ගොඩයා දැක්කා අන්තර්ජාලයේ සැරිසරන විට. ජනප්‍රිය රැල්ලේ එක් බෞද්ධ භික්ෂුවක් එසේ වදාරා තිබුනා. ඒක දැකපු ගොඩයගේ හිතට ආවා හොඳ කුණුහරුප ටිකක්. ප්‍රතිචාර දක්වන්න ගොඩයා පාවිච්චි කළේ පුසුඹගේ විශාල කොම්පියුටරය. ගොඩයට කොම්පියුටරේ මැජික් වගේ. ඇත්තම කියනවා නම් ගොඩයා මවුස් එක පාවිච්චි කරන්නවත් දැන ගෙන හිටියේ නැහැ. ඒ නුහුරුකම නිසාම දවසක් ගොඩයා අතින් කොම්පියුටරය stuck උනා. ඒ කියන්නේ වින්ඩෝස් ගොඩක් ඇවිල්ල ඒව ක්ලියර් කර ගන්න දන්නෙ නැතිව එහෙම්ම දාල උදේ වැඩට ගියා. හවස පුසුඹා මල්ලි ආවා. කොම්පියුටරයට වෙලා තියෙන දේ දැක්ක. ඒක මහ අවුලක් නෙවේ.
” අයිය මගෙ කොම්පියුටරේ පාවිච්චි කළාද ?”
” ඔවු පොඩි අප්සෙට් එකක් උනා. මම දන්නෙ නැහැ කොහොමද ඒක හරි ගස්සන්නෙ කියල”
” මොන මගුලක් කරනවද මන්ද මේක අස්සට වැදිල ” එහෙම කියාපි.
( මගුල කියන වචනෙ නෙවේ පාවිච්චි කලේ. ඒක ගැහැණු අවයවයකට කියන ග්‍රාම්‍ය වචනයක්. ඒක මට මෙතන ලියන්න බැරි කමක් නැහැ. ඒත් ඒ සිද්ධිය මතක් වෙන කොට මට මා ගැනම දුක හිතෙනව. ඇයි මේ වගේ පොඩි දේකට මට මේ විදියට කතා කරන්නෙ කියල.. අඩු තරමෙ මම එයාට වඩා වැඩිමල් කියන එක ගැනවත් හිතන්න ඕන )
ගොඩයගෙ හිතේ පුසුඹා ගැන වෛරයක් නෑ. ඒත් කරුණාවකුත් නෑ. හතුරෙක් කියමුකෝ.
හතුරාගේ හතුරා මගේ මිතුරා.
පුසුඹා ***නන්ද හාමුදුරුවොත් එක්ක තරහයි. ඒ නිසා ***නන්ද හාමුදුරුවෝ ගොඩයාට සමීප වූයේ පුදුම ඉක්මණට.
” මහත්තයා.. ඔය මනුස්සයා මෙහෙට ආවේ ලංකාවෙන් ආ නැටුම් කණ්ඩායමක් එක්ක. ඔය ඇන්ඩෲ ළඟ රස්සාව හොයල දුන්නෙත් මම. මිනිහා හිටි ගමන් මා එක්ක අමනාප වෙලා මට විරුද්ධව තැන් තැන්වල කියවන්න පටන් ගත්තා.. ඇන්ඩෲ බෞද්ධයෙක්. ඉස්සර මෙහාටත් ආවා. අපට ආධාරත් කළා. දැන් අරයගෙ කීම අහල මහායාන පන්සල් වලට යනව. අනේ හොඳයි. මට කමක් නෑ”
ගොඩයත් කොම්පියුටරයක් ගත්තා. දැන් ටික ටික දේවල් දන්නවා. ගෑණු ගැන අරෙහෙම කියල තිබුණු හාමුදුරුවන්ට හොඳ පිළිතුරක් යැව්වා. කට උත්තර නැති වෙන්ටම. පිස්සෙක්. උගෙ අම්මා ගෑණියක් නෙවෙයිද ? ගෑණු නැත්නම් මේ ලෝකෙ කාන්තාරයක් වගේ වෙයි නේද ?
ගෑණු මල් වාගෙ. සමහර මල් ලස්සනයි. සමහර මල් සුවඳයි. සමහර මල් පාට පාටයි තවත් සමහර මල් වල පැණි පිරිල. ඒ හැම දෙයක්ම එහෙම වෙලා තියෙන්නෙ තම වර්ගයා ඉදිරියට ගෙන යන්නට.
ගෑණුත් එහෙමයි. සමහරු ලස්සනයි. තවත් සමහරු අවලස්සනයි කියන්න මම කැමති නැහැ .. ලස්සනෙන් අඩුයි. ඒත් ලස්සන අඩු අයට අනෙක් අයට නැති විශේෂ දෙයක් මැවුම්කාර දෙවියන් දීල තියෙනව.
ගොඩයගේ පන්තියේ හිටි විජිතා කට්ට කලුයි. ඒත් නන්දා මාලිනිගේ ගීත ගායනා කරන කොට ඇඟේ මයිල් කෙලින් වෙනව. අවලස්සන ගැහැනුන්ට කුමක් හෝ ආකර්ශනීය දෙයක් ලැබිල තියෙනව ස්වාභාවයෙන්ම.
ඒත් මේ මං කියන්න යන ගෑණිට නම් දෙවියන් වහන්සේගෙන් කිසි අනුකම්පාවක් ලැබිල නැහැ.
පන්සලේදී මට හමු වූ ” චන්ද්‍රා” මිටි මහත ගෝලාකාර ශරීරයක් ඇත්තියක්. ඒ මදිවට කොරියන් මුහුණ තවත් කැත වෙන්ට කොණ්ඩෙ කොල්ලෙකුගේ වගේ කොටටම කපල.
” ඔයා තනියමද ඉන්නේ ?” චන්ද්‍රා ගොඩයගෙන් ඇහුවා.
ගොඩයා ” ඔවු” කියන්න ඔලුව වැනුවා.
” අනේ.. ඔය වයසට මොනවටද තනියම ඉන්නේ ?” චන්ද්‍රා මනමාල බැල්මක් හෙළුවා. ඒත් ඒ බැල්මට ගොඩයාගේ එක් ශරීර අවයවයක්වත් වෙනස් උනේ නැහැ.
” එයා ගෑණුන්ට ආස නෑ” ***නන්ද හාමුදුරුවෝ උත්තර දුන්නා. ( උන් වහන්සේට තියෙන්නෙ මහ වාචාල කටක්)
” එහෙනම් අහවලාගෙ ජාතියේ …”
” ඔවු .. එයාගෙ ළඟ ඥාතියෙක්”
ඒ සිද්ධිය එතනින් ඉවරයි.

” අයියට ලියුම් වගයක් ඇවිල්ල තියෙනව.. යතුර තියෙනවනේ.. පුළුවන් වෙලාවක ඇවිල්ල අර ගෙන යන්න. කුස්සියේ මේසෙ උඩ ඇති” පුසුඹා මල්ලි ගොඩයගේ ආන්සරින්ග් මැෂින් එකේ මෙසේජ් එකක් තියලා.
ඌට ඕන කමක් තියෙනවා නම්. යනින් එනින් ගමන් දීගෙන යන්න බැරිද. ගොඩයා වැඩ කරන 7 ඉලෙවන් එක තියෙන්නේ පුසුඹා දෙවෙනි ජොබ් එකට යන පාරෙමයි. හේතුව මේකයි.. මිනිහ කැමති නෑ මිනිහගෙ ඥාතියෙක් 7- ඉලෙවන් එකක වැඩ කරනවා කියල කවුරුවත් දැන ගන්නවට. ( 7-ඉලෙවන් රැකියා කියන්නේ හදිස්සියෙන් හොයාගන්න පුළුවන්.. නීතිවිරෝධීව ඉන්නා අය වැඩ කරන; වැඩ වැඩි; පඩි අඩු රස්සාවල්) ඌ හිතන හැටියට සුද්දගෙ කිරිච්චපල්ල ලෙව කන එක ඊට වඩා නම්බුයි. මහ ඔළුව ඉදිමිච්චි එකෙක්.

ගොඩයා එක හැන්දෑවක ගියා එයාගෙ ලියුම් ටික අර ගන්න. පුසුඹගෙ කාර් එක තියෙනවා. ඒ කියන්නෙ මිනිහ ගෙදර ඇති. කාමරෙන් හිනා හඬක් ඇහෙනවා. ගෑණු හිනාවක්. කෙඳිරියකුත් ඇහෙනව. ඒක වෙන්න බෑ. පුසුඹට ගෑණු ඇලර්ජික්. කෝකටත් ගොඩයා කුස්සියේ වාඩි වෙලා ලියුම් එක එක කඩල බලමින් හිටියා. පුසුඹා ජංගි කොටේ පිටින් බාත් රූම් යන්න ආවා.
” ආ.. අයිය ගොඩක් වෙලාද ඇවිල්ල?”
ඊ ළඟට තන් දෙකට උඩින් තුවායක් දවට ගත්තු බවලතෙක් එළියට ආවා.
ඒ අර “චන්ද්‍රා”
” මම යන්න ඕන. පස්සෙ වෙලාවක කතා කරන්නම්.”
ගොඩයා යන ගමන් එක දිගටම කල්පනා කලේ ඒ සීන් එක මොකක්ද කියල.
එදා රෑ පුසුඹ මල්ලිම කෝල් කලා.
” උඹ මහ පුදුම මිනිහෙක්.. උඹට කෙලින් වෙනවද ඔය ගෑණි දැක්කම? . අනික උඹ පිරිමින්ටනෙ කැමති”
” මම කැමති පිරිමින්ට තමා. ඒත් ගෑණුන්ට කැමති නෑ කියල කවද හරි කියල තියෙනවද ? මම gay නෙවෙයි මම bi-sexual .. මේව අයියලා වගෙ ගොඩයින්ට නම් මැජික් වගේ ඇති. ජීවිතේ රස විඳින්න අළුත් අළුත් දේ අත් හදා බලන්න ඕන. ඔය ගුහාවෙන් එළියට එන්න. ලෝකය අපි දකිනවට වඩා සුන්දරයි. අපි ලෝකෙ explore කරන්න ඕන”

ගොඩයට දැන් වයස 40 ක්. තරුණයෙක් නෙවි. ගොඩයා නොදන්න දේ තව කොච්චර ඇද්ද ?

( මතු සම්බන්ධයි )

Posted in Uncategorized | ප්‍රතිචාර 2

රට ගිය ගොඩයගෙ කතාව – 10


පුසුඹා මල්ලී නිතරම බැලුවේ කොහොම හරි ගොඩයට රිද්දවන්න. ඒ එයාගෙ අඩු පාඩු වහගන්න.
මෙහේ තියෙනවා සිස්ටම් එකක් ..තමන්ට කැමති ඕනෑම ෆිල්ම් එකක් ගෙදර ඉඳන්ම TV එකෙන් බලන්න. ඒකට කියන්නෙ PPV – Pay Per View
කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක්. දුරකතන අංකයක් තියෙනවා .. ඒක ඩයල් කරන්න විතරයි අවශ්‍ය. නියම වෙලාවට ෆිල්ම් එක ප්ලේ වෙනව එක දිගටම.. අතර මැදින් ප්‍රවෘත්ති – වෙළඳ දැන්වීම් නෑ. එකක් ඩොලර් 7 ක් 8 ක්. මාසෙ අන්තිමට තමා බිල ගෙදරට එන්නේ.
” ගොඩය අයිය පෝර්නො බලල තියෙනවද ? ලංකාවෙ කියන්නෙ බ්ලූ ෆිල්ම් කියල ?”
” මම කීපයක් බලල තියෙනව”
” අපි අද එකක් බලමු”
පුසුඹා මල්ලි බිත්තර 5 ක් විතර කඩල දාල ඒකටම අමු මිරිස් , උම්බලකඩ, චීස් , බේකන් කෑලි කීපයක් දාල මරු ඔම්ලට් එකක් හැදුව. නිකම් හෙල්මට් එකක් වගේ. ඒකත් අරන් බියර් බෝතල් දෙකකුත් කඩාන දෙන්න සෙට් උනා.
ඒක Gay බ්ලූ එකක්. ගොඩයා හිතන් උන්නෙ gay කියන්නෙ ගෑණු පෙනුම තියෙන ගෑණු වගේ කතා කරන ඇවිදින පිරිමි කියල. එහෙම එකක් නෑ මේකෙ ඉන්නෙ නියම හැඩි දැඩි පිරිමි.
බුදු අප්පේ… ගොඩයා කියන්නේ නිකම්ම නිකම් ළිං මැඩියෙක්. ගොඩයා නොදන්න දේ තව කොච්චර තියෙනවද මේ ලෝකේ ?
සංසාරෙ හැටි. මෙච්චර ලස්සන ඉටි රූප වගේ ගෑණු ඉන්නා රටේ. ඔන්න එකෙක් අනෙකා ළඟ දණ ගැහුවා.
” බෑ.. මට බෑ. මේ දහ ජරාව බලන්න. නැද්ද ගෑණු ඉන්න එකක්?”
” අයියට බලන්න බැරි නම් කාමරේට යන්න. මම තව ටිකක් බලන්නම්”
” මල්ලි දන්නවද අර දූරියන් කියන ෆෘට් එක. කොස් ගෙඩිය වගේ ඊට වඩා උල් කටු තියෙන?”
” ඉතින් ?”
” දූරියන් මදුලු දෙකක් ,වරකා මදුලු දෙකක් , මුදවපු කිරි ටිකක්, ඉදුනු කෙහෙල් ගෙඩියක් , කිතුල් පැණි ටිකක් , ගස්ලබු කෑල්ලක් , රට ඉඳි කීපයක් සේරම බ්ලෙන්ඩරයක දාල ජූස් හදල මුන්ට බොන්න දෙන්න ඕන දෙවේලක්”
“එතකොට?”
” එතකොට මතක් වෙයි පුක තියෙන්නෙ මොකටද කියල”

දැන් ගොඩයටත් යාළුවො ඉන්නවා. ලංකාවෙ අය. කෙනෙක් සංගීත සංදර්ශනයක් සංවිධානය කරල. ටිකක් ඈත තියෙන්නේ. හැතැක්ම 50 ක් විතර ඈත. ගොඩයට යන්න විදියක් නෑ. පාලිත සිල්වා එහෙම එනවලු තව නැටුම් කණ්ඩායමක් එක්ක.
යාළුවෙක් ඇවිත් ගොඩයා එක්ක ගියා. ඒක ඉවර වෙන කොට රෑ 10.00 විතර උනා. ඊට පස්සෙ තව යාළුවෙකුගෙ ගෙදර ඩිනර් එක. ඒකටත් ගිහිල්ල ගොඩයා ගෙදර ආවෙ පහුවදා පාන්දර 5.00 ට විතර.
පහුවදා ඉරිදා. ගොඩයත් ගෙදර. පුසුඹ මල්ලිත් ගෙදර. එයා මොනවද බිල් වගයක් චෙක් කරනව.
” ඔයා මං ගෙදර නැති වෙලාවට ෆිල්ම් බලනවද ඕඩර් කරල?” මේං ලොකු බිලක් ඇවිල්ල තියෙනව. ඩොලර් 80 ක්. ගෙවන්න වෙයි”
” නෑ ඒක වෙන්න බෑ. වැරදීමක් වෙන්න ඇති”
” වරදින්න. ඇමරිකාවෙ එහෙම වැරදීම් වෙන්නෙ නැහැ”
” කෝ දෙන්න බලන්න”
” මේ දැක්කද.. මේ දවසෙ මම ගෙදර ආවෙ පාන්දර 5.00 ට. මේ පාන්දර 2.00 ටත් එකක් බලල තියෙනව. මේක වැරදීමක්. මම ඕන නම් දිවුරන්නම්”
” හරි.. හරී.. ඕක බිග් ඩීල් එකක් කර ගන්න එපා. මම බිල ගෙවල දාන්නම්”

” මම ළඟදි මෙහෙන් යනවා”
පුසුඹා මල්ලී ඇස් ලොකු කර ගෙන ගොඩයා දිහා බැලුවා.

ගොඩයා කුලියට ගත්තා ස්ටූඩියො එකක්. ඒ කියන්නේ කුඩා 12 x 10 සයිස් එකේ කාමරයක්. වෙන් කරපු කාමරයක් නෑ. ඒ උනාට කුස්සියක් , බාත් රූම් එකක් තියෙනවා. කුස්සියට අවශ්‍ය කරන ශීතකරණයක් ,ගෑස් උදුනක් තියෙනවා. 1 බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක් ගන්නවාට වඩා ලාබයි.

” මල්ලි මම studio එකක් ගත්ත කුලියට. මට ඇඳක්.. මේසයක් පුටුවක් වගේ දේවල් ටිකක් ගන්න ඕන”
” හරි අපි යමු. සැල්වේෂන් ආමි එකෙන් අඩුවට ගත්තෑකි”
දෙන්නම සැලවේෂන් ආමි එකට ගියා. පාවිච්චි කළ බඩු. ඒත් හොඳ තත්වයෙන් තියෙනවා.
ප්‍රශ්නෙ වුනේ ගෙවන්න ගියාම. ක්‍රෙඩිට් කාඩ් මැෂිම වැඩ කරන්නෙ නෑ. කෑෂ් විතරයි. පුසුඹා මල්ලි ගෙව්වා.
දෙන්නා දැන් ඔන්න බඩුත් පටවගෙන එනවා. පුසුඹා යමක් හදිසියෙන් මතක් වූ කලෙක මෙන් වාහනය අයිනට කර නැවැත්තුවා. සාක්කුවට අත දමා ..
” මෙන්න බිල.. පොඩි පොඩි බිල් නම් කමක් නෑ, මේජර් බිල් හරියට ගෙවන්න ඕන”
” හරි මම පැනල යන්නෙ නෑ. ඔය ATM එකක් ගාව නවත්තන්න. මම සල්ලි අරන් දෙන්නම්”
පුසුඹා ඒ ජාතියේ දසයෙක්.

ගොඩයා දැන් දවස ගෙවන්නේ හරිම ප්‍රබෝධයකින්. වැඩ කරන්නෙත් එහෙමයි. ගොඩයා හැමදාම අළුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඒවා ජීවිතයේ අත්දැකීම් වලට එකතු කර ගන්නවා.
දවසක් ගොඩයට ලංකාවෙන් කෝල් එකක් ආවා. ගොඩයගෙ බිරිඳ කතා කළේ.
” ඇත්තද ඔයා කවුද ගෑණියක් එක්ක රවුම් ගහනව කියන්නේ ?”
පුසුඹා ගින්න පත්තු කරල.
” ඔයා ඕන එකක් හිතා ගන්න. මම ඒ ගෑණිත් එක්ක කීප වතාවක් එහෙ මෙහෙ ගියා තමයි. හේතුව මම දැන්ම ඔයාට කියන්නෙ නැහැ. මට වඩා අවුරුදු 15 ක් වයස කළු කැත ගෑණියක්.
මම ඔයාට කියල තියෙනවනේ මම යතොත් යන්නෙ ඔයාට වඩා ලස්සන ගෑණියක් එක්ක විතරයි කියල.”
( එයා ඒ පැත්තෙ ඉඳන් ටෙලිෆෝන් එක ළඟ තියෙන ප්ලාස්ටික් බිගෝනියා පැළේ නියපොතු ගගහ කෝමළ හිනාවක් ගුලි කර ගන්න ඇති )
ගොඩයාගෙ බිරිඳ ගොඩයා කිවූ දේවල් විශ්වාස කළා.
ගෑනියෙකුට ලස්සනයි කියල කීවොත් ගෝණි නැතුව කරේ යන්න පුළුවන්.

ගොඩයා බලා ගෙන හිටියා පුසුඹා එනකන්. හොඳට කට එහෙම මුවහත් කරගෙන. හොඳවයින් දෙකක් කතා කරන්න. බලු වැඩ කරන්න එපා මිනිහෝ කියල කියන්න. වැඩක් නැහැ, ඌ මිනිහෙක්යැ. පුසුඹා එන්න පරක්කු උනා. ගොඩයගේ කේන්තිය දියාරු වෙලා ගියා.

” මල්ලි දැන් මෙහේ සිටිසන්ද?”
” තාම නෑ”
” එහෙනම් ග්‍රීන්කාඩ්ද?”
” තාම නෑ. බොස් ස්පොන්සර් කරල තියෙන්නේ. දැන් පේපර්ස් ප්‍රොසෙස් වෙනව. තව ටික කලක් යයි.”

” අයිය හෙට මෙහෙන් යනවනේ… අද අපි එළියට යමු. රෑ කෑමට. ඔය හිතේ තියෙන කහට යන්නත් එක්ක.”
එහෙම කියල පුසුඹා මල්ලි ගොඩයගෙ අතින් ඇල්ලුවා. ගොඩයට වස අප්පිරියාවක් දැනුනා. හරියට ගැරඬියෙක් අත ගෑ උනා වගේ.

( මතු සම්බන්ධයි )

Posted in Uncategorized | ප්‍රතිචාර 7

රට ගිය ගොඩයගේ කතාව – 9


ගොඩයා උදෙන්ම හැරියට් වැඩ කරන තැන හොයා ගෙන ගියා. වීදුරු කාමරයේ සිටි හැරියට් දුර තියාම ගොඩයා හැඳිනගෙන අතවනා නැවත බිම බලා ගෙන වැඩෙහි නිරත උනා. ගොඩයා නිය පිටින් ජනේලයට පොඩි තට්ටුවක් දැම්මා.
” Are you looking for me ?” වගේ බැල්මකින් හැරියට් හිස ඔසවා බලා ප්‍රශ්නාර්තයක් සමඟ කාමරයෙන් එළියට ආවා.
” ගුඩ් මෝනින්ග් මිස් හැරියට්.. ඊයේ චෙක් කරල දාල ගිය ටිකට් එක මම නිකමට වගේ චෙක් කලා. ඉලක්කම් 5 න් 5 ම තියෙනවා. ඔයාට තමා ජැක්පොට් එක. මේකයි වෙලා තියෙන්නේ ස්කෑනර් එක හිර වෙලා.. මෙන්න ටිකට් එක”
හැරියට් මූණ කළු කර ගෙන ඉද්ද ගැහුවා වගේ එක එල්ලේ ගොඩයා දිහා බලා ගෙන හිටියා.
ඒ බැල්මේ තිබුණේ;
උඹ එහෙනම් මීට කලිනුත් මගේ ටිකට් චෙක් කරලා ඒවට දිනුම් තිබුණ නම් අර ගන්න ඇති, නැත්නම්,
චඃ.. තව ටිකෙන් මට ලැබෙන්න තිබුණු වාසනාව මේ යකා ගන්නව; නැත්නම්,
මූ වගේ ගොන් හරකෙක්; එහෙමත් නැත්නම් මේ මිනිහ නම් අදහන්න වටින මිනිහෙක් කියන එකද කියල හරි හැටි තේරුම් ගන්න බැරුව , ඒ බැල්මට හසු නොවී ගොඩයා බිම බලා ගත්තා. ගොඩයගේ දෙතොල් වෙවුලුවා.
” මම යනවා. මිස් හැරියට්. මට වැඩට යන්න තියෙනවා”
” පොඩ්ඩක් ඉන්න .. මම ගිහින් දාන්නම්”
හැරියට් , ගොඩයා වැඩ කරන 7 ඉලෙවන් එකට එයාගේ වාහනෙන්ම එක්ක ගියා. ගියා කෙළින්ම මැනේජර්ගෙ කාමරේට. මැනේජර් ජග්දීප් සින්ග් යම් වැඩක නිරත වෙලා හිටියා. මොනවාදෝ එයා එක්ක කුටු කුටු ගෑවා. යන්න ගියා.
ජග්දීප් සින්ග් ගොඩයාට කතා කලා.
” උඹ කළ වැඩේ හොඳයි. මෙතන වැඩ ටික හොඳට ඉගෙන ගනින්.. මම ළඟදී තව ස්ටෝර් එකක් ගන්නවා.
මම උඹව එතන මැනෙජර් හැටියට දාන්නම්. මම උඹේ පඩියත් ඩොලර් එකකින් වැඩි කළා”
( ගොඩයට ලැබුණේ පැයකට ඩොලර් 6.00 යි. ඊ ළඟ පඩිය හැදෙන්නේ පැයකට 7.00 ගානේ )

ගොඩයා ඕෆ් වෙන්නේ හවස 4.00 ට. ඒ වෙලාවටම හැරියට් ආවා. සමර් එක පටන් ගෙන… හතරටත් මද්දහන වගේ වගේ අව්ව සැර.
” මම උඹව ගිහිල්ල දාන්නම් ඉන්න තැනට. මේ අව්වේ කොහොම පයින් යන්නද ?”
ගොඩයා වාහනයට ගොඩ උනා. කවුරුවත් කතා කළේ නැහැ. වචන හිර වෙලා. ගොඩයා බලන් හිටියා හැරියට් දැන් කතා කරයි.. දැන් කතා කරයි කියල.. ගේ ළඟටත් ආවා.
” මොනවා..හ් මේකද උඹේ ගේ ?”

ඇන්ඩෲ සහ පුසුඹා මල්ලි මිදුලේ කාර් එක හෝදනවා. ඇන්ඩෲ ඇඳල හිටියේ රතු ලොකු මල් තියෙන බාච්චු කොට කළිසමක්. එයා ගේ ලය පේශි වයසක කාන්තාවකගේ වගේ එල්ලා වැටුනා. පුසුඹා මල්ලි හිරට හිරේ කෙටි ජංගියක් වගේ එකක් ඇඳන් රබර් හෝස් එකෙන් වතුර විද්දා. ඇන්ඩෲ ගෙ ඇඟට. එයා ලොඹු හිනාවක් දැම්මා
හා… හා. හා.. කියල. හරියට අළුත බැඳපු ජෝඩුවක් වගේ. නොදකින් විතරක්.
” ඇන්ඩෲ මහත්තය බලා ගන්නේ මගෙ ඥාතියෙක්. අපි දෙන්න මේ ගේ පිටි පස්සෙ කාමරේක ඉන්නේ”
හැරියට් ගොඩයට ලොකු හග් එකක් දීල… ” මම හරියට හවස 7.00 ට එනවා. හොඳට ලෑස්ති වෙලා හිටපන්.. අපි හොඳ රෙස්ටොරන්ට් එකකට ඩිනර් එකට යනවා” කියා ගෙන යන්න ගියා.
පුසුඹ මල්ලි මේ සේරම බලා ගෙන.
” අම්මට සිරි.. කවුද යකෝ ඒ ? නෑකි ගෑනියෙක් නේද ?”
” නාකි උනත් ගෑණියක්නේ මල්ලී..” ගොඩයා එයාගෙ ප්‍රතම ප්‍රහාරය එල්ල කළා.
යුද්ධ කරන්න සල්ලි ඕන. දැන් ගොඩයට සල්ලි තියෙනව.

“මිස් හැරියට් කැමති දෙයක් ඕඩර් කරන්න.” ගොඩයා කියන්නේ අමුම අමු ගොඩයෙක්. නොදන්න කෑම ඕඩර් කරල කා ගන්න බැරුව බඩගින්නේ ඉන්නෙ මොකටද.. මම එයා කන විදිය බලා ගෙන කනව..ගොඩය හිතුව.
” මම හෙට ටිකට් එක එක්ස්ප්‍රස් මේල් එකේ යවනව. සති දෙකකින් මට චෙක් එක ලැබෙයි. මේක ලොකු ගණනක්. මගෙ පොඩි පොඩි ණය වගයක් තියෙනවා. ඒ ටික ගෙවල දාන්න ඕන. පල්ලියට ටිකක් දෙනවා. මම ඔයාට ඩොලර් 5000 ක් දෙනවා”
” 5000 ක් …?”
“ඇයි මදිද ?”
” නෑ.. මට සතයක්වත් එපා. මේ මිස් හැරියට්ගෙ වාසනාව. අනුන්ගෙ සල්ලි වලට ආස වෙන්න එපා කියල අපේ ආගමේ කියල තියෙනවා”
මිස් හැරියට් ඇස් පිල්ලන් ගහන්නෙ නැතුව බලන් හිටියා. ගොඩයට හොඳටම උවමණාව තිබුණා අර ” අටුවේ වී ” ගැන මෙයාට කියල දෙන්න. ඒත් ගොඩයට ඒක කියල දෙන්න තරම් හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණේ නැහැ. ඇරත් මේ ගෑණි අටුවක් දැල ඇති එකක්යැ. අටුවට ඉංග්‍රීසියෙන් මොකක්ද කියන්නේ ?
“මගේ මැනේජර් මට පඩි වැඩි කළා. මට ඒ ඇති.”
” උඹ නම් පුදුම මිනිහෙක්”

” මිස් හැරියට්….”
” ඇයි මොකද ?”
” පුළුවන් නම් මට මේ උදව්ව කරන්න. ඒකට යන වියදම් මම ගෙවන්නම්.. මට පේපර්ස් නැහැ. මට මෙහේ දිගටම ඉන්න විදිහක් හදල දෙන්න”
” හරි ලබන සතියේ දවසක වරෙන් යන්න මාත් එක්ක. මම දන්න immigration lawyer කෙනෙක් ඉන්නවා.. හැබැයි ප්‍රොසෙස් එකට අවුරුද්දක් විතර යයි”
” බොහොම ස්තූතියි.. ඒ හොඳටම ඇති” හැරියට් රෑ 10.00 ට විතර ගොඩයා ගෙනත් ගේ ළඟ බැස්සුවා.

ගොඩයා ඇවිද ගියේ යුද්ධයක් දිනූ සෙන්පතියෙක් වගේ.. සුදු අසුන් යෙදූ රතයක. වෙනදා හෙමින් සීරුවේ දොර අරින ගොඩයා ” ක්‍රාස්” කියල දොර ඇරල ” දඩාස්” ගාල දොර වහල ගෙට ගියා.
” මිහිරැති වසන්ත කාලේ – ඇයි ඔබ මෙතෙක් නො ආවේ ..” ගීතයද මුමුණමින් ඒ ඇඳුම් පිටින්ම ඇඳට වැටුනා.

( මතු සම්බන්ධයි )

Posted in Uncategorized | ප්‍රතිචාර 5

රට ගිය ගොඩයගෙ කතාව – 8


ගොඩයා, හැරියට් මේසය උඩා දාල ගිය ටිකට් එක ස්කෑන් කළා. සාමාන්‍යයෙන් ස්කෑන් කරන කොට “කීක්” ගාල සද්දයක් එනවා. සද්දයක් නෑ. not a winner කියන එකත් තාම තියෙනවා. මේකයි වෙලා තියෙන්නේ. ස්කෑනර් එක freeze වෙලා. එහෙම වෙන්න පුළුවන්ද ? මොකෝ බැරි ? ඔය වෙලා තියෙන්නේ.
ගොඩයා වහාම ප්‍රතිපල චෙක් කලා. ඇස් පිහදාල චෙක් කලා. ඉලක්කම් 5න් 5 ම තියෙනවා. ගොඩයාට හිනාවක් ගියා කෝමද දන්නවද ? කියල වැඩක් නෑ. කස්ටමර්ස්ලා දෙන්නෙකුටම ඉතිරි සල්ලි දෙනකොට වැඩියෙන් දෙවුනා. උන් දෙන්නත් අහනව.. whats wrong with you කියල.
තෑගි මුදල ඩොලර් 274,000 ක්. ටැක්ස් අඩු වුනාම අඩු ගානේ ඩොලර් ලක්ෂ දෙකක් විතර. ඊට වැඩි මිසක් අඩු නෑ.
රුපියල් වලින් නම් ලක්ෂ 125 ක් විතර. බුදු සන්තෝ. fixed deposit එකක් දාල පොලියෙන් විතරක් ජීවත්වෙන්න පුළුවන්.
ගොඩයා තනියම හිනා වෙවී freeway එක යටින් දිවෙන බිංගේ අස්සෙන් වෙනද වගේම ඇවිදන් ගියා. ඒ පුරුදු පාරම උනත් වෙනදා නැති අමුතු එළියක් පාර පුරාම වැටිල. උදේ එන කොට සතෙක් මැරිල කුණු ගඳ ගැහුව. දැන් ඒ ගඳ දැනෙන්නෙත් නෑ. හැම තැනම පිච්ච මල් වගේ මල් පිපිල වගේ පෙනුන. නම කීමට නොදන්නා දැවැන්ත ගස් අතු බිමට නැමිල ගොඩයාට ආචාර කරනව වගේ පෙනුන. හිටපල්ලකෝ උඹලට… මට පකුම් පාට් දාපු හැමෝටම යස පාඩමක් උගන්නනවා. නෑනලාටයි මස්සිනාලටයි රෙද්දෙම රෙවෙන්නට කතා කරනවා. ගොඩයට පිස්සු.. පිස්සු.

නෑ. එහෙම වෙන්න බෑ. මේ සල්ලි මට අයිති නෑ. මේක අනුන්ගෙ වාසනාවක්. මට වාසනාවක් තියේ නම් මටයි ඇදෙන්න ඕන. මාත් ටිකට් ගන්නව නිතරම. මම මේක හැරියට්ට දෙනව. ආපහු දෙනව. ගොඩය තීරණය කළා.
මොකද්දෝ අඳුරු ඡායාවක් ගොඩයට මෙහෙම කියනව.
” තෝ වගේ බූරුවෙක්. ඕක හොරකමක් නෙවෙයි. ඕක තොගෙ වාසනාව. වාසනාවට පයින් ගහන්නද හදන්නේ..හ්?”

ගොඩයා හොඳ බෞද්ධයා. ඔය දැන් ඉන්න හාමුදුරුවන්ට වඩා හොඳට බණ දහම් දන්නවා. ඒ මේ ලෝකේ පය ගහල ජීවත් වෙන්න අවශ්‍ය කරන සරල බණ දහම් මිස අභිධර්මය වගේ ගැඹුරු දහම් කොටස් නෙවි.
ගොඩයා වඩාත්ම කැමති සෝභිත හාමුදුරුවන්ගෙ බණ අහන්ට. උන් වහන්සේගේ කට හඬ ආකර්ශනීයයි. බණ කියන කොට කාටවත් තේරුම් ගන්න බැරි අමාරු පාලි පාඨ කියන්නේ නැහැ. ඒ වෙනුවට අසා සිටින්නවුන් ගේ නිදිමත දුරු කරමින් – සභාව ඇද බැඳ ගනිමින්, මුල -මැද-අග ගලපමින් කාලින මාතෘකාවක් යටතේ බුදු දහම කියල දෙන්න උන් වහන්සේ මාර දක්ෂයා.

” අද රටේ දුරාචාරය වැඩි. හොර මැරකම්, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ අනන්තයි, අප්‍රමාණයි.”
” ඒත් උන්ටමනේ දෙයියො දෙන්නේ ” අපෙ හාමුදුරුවනේ… එක කටකාර උපාසකම්ම කෙනෙක් ඇහුවා.
” එක මෙහෙමයි.. ඒ ඇත්තන් ගිය ආත්මවල රැස් කර ගත්තු කුසල කර්ම තමා ඔය පල දෙන්නේ. මේ දැන් ලැබෙන්නේ. මේ ආත්මයේ කරන කර්මවල විපාක ලැබෙන්නේ ඊ ළඟ ආත්මයේ.. ඕක හරියට අටුවෙන් වී ගන්නව වාගෙ.. අටුවෙන් වී ගන්ට ගන්ට වී අඩුවෙනවා. ආයෙම උඩින් දාන්න ඕන. නැත්නම් අටුවේ වී ඉවර වෙනවා. කුසල කර්මත් ඒ වගේ. කුසල කර්මවල විපාක ඉවර වෙන්ට වෙන්ට ආයෙම අළුතින් කුසල කර්ම රැස් කරන්න ඕන.

ගොඩයගේ ජීවිතයෙත් පසුබෑම් , හැල හැප්පිම් එමටයි. ඒත් ගොඩයට ලැබුනු හොඳ ප්‍රතිපල වැඩියි. තියෙන වී ටික ඉවර වෙන්න කලින් උඩින් දාන්න ඕන.
ගොඩයා කල්පනා කලා. හිටගෙන කල්පනා කලා. ඉඳ ගෙන කල්පනා කලා. ඇවිද- ඇවිද කල්පනා කලා.

නෑ. මං ජීවිතේ ගොඩක් වැරදි කරල තියෙනව. මගෙ අටුවෙ වී ඉවර වෙන්න ළඟයි. තව ටිකක් උඩින් දාන්න ඕන. එතකොට තමා යටින් ගන්න පුළුවන්. මට ලැබිල තියෙන දේවල් හොඳටම ඇති. මෙච්චර දෙයක් වෙලත් මං එක වේලක් හරි බඩගින්නෙ ඉඳල තියෙනවද ? නෑ. කාටවත් අතපාල තියෙනවද ? නෑ. ඒ මං ගිය ආත්මවල රැස් කළ පින්. පිං ඉවර කර ගෙන බෑ. මේක හොරකමක්. මම මේ ටිකට් එක හෙට උදෙන්ම හැරියට්ට දෙනව.

ආයෙම අර අඳුරු ඡායාව.. ” ගොන් තඩියා.. අර ගෑණි උඹට හිනා වෙයි. තෝ මහ ගොනෙක් කියල. ඒක අපේ රටටත් හොඳ මදි. අපේ රටේ ඉන්න හැමෝම තෝ වගේ ගොන් හරක්ද කියල ඒ ගෑණි පුකෙනුත් එක්ක හිනා වෙයි”
” නෑ. මට එපා. ආයෙ දෙකක් නෑ. ඕන එකෙක් හිනා උනදෙන්. මං යනව හෙට උදෙන්ම හැරියට් හම්බවෙන්න.

ඔන්න ආයෙම අරූ මගෙ හිතට ආවේශ වෙන්න එනවා. පව්කාරයා. පලයන්න .. ගොඩයා දත් ඇඳි එකට තදකර ගත්තා. දිවෙන් උඩු තල්ල උඩට තල්ලු කළා. හරි ඌට ආයෙ එන්න බෑ..
මං අවංක මිනිහෙක්. අවංක වෙන්න උත්සාහ කරන මිනිහෙක්. මං මෙහෙම කියනව.
” මිස් හැරියට්.. ඔයා මේසෙ උඩට දාල ගියේ දිනුම් ටිකට් එකක්. මේකයි උනේ. අපේ ස්කෑනර් එක කැඩිලා. මම ආයෙම චෙක් කරල බැලුව නිකමට.. ඉලක්කම් 5 න් 5 ම තියෙනවා. මේක ලොකු ගාණක්. මට තිබුණා මේ සල්ලි ටික අර ගන්න. ඒත් මට ඕන නෑ අනුන්ගෙ සල්ලි. මෙන්න ටිකට් එක අර ගන්න. ඔයා කැමති නම් මට කීයක් හරි දෙන්න”
නෑ එහෙමත් එපා. මට සතයක්වත් එපා. අනුන්ගෙ ඒවා අනුන්ගෙමයි.
” මිස් හැරියට් .. ගුඩ් මෝර්නින්.. එදා දාල ගිය ටිකට් එකට දිනුමක් තියෙනවා. අපේ ස්කෑනර් එක කැඩිලා. මම නිකමට චෙක් කලා. මෙන්න ටිකට් එක.

ඔව්.. එහෙම හොඳයි.. මගේ හිත සන්සුන්.. සන්සුන්.. උදව්වක් කරල කවදාවත් ප්‍රති ලාභයක් බලාපොරොත්තුවෙන්න හොඳ නෑ…
ගොඩයා නිදා ගන්න උත්සාහ කලා. කොහෙද නින්ද අහලකවත් නෑ.
( මතු සම්බන්ධයි )

Posted in Uncategorized | ප්‍රතිචාර 3

රට ගිය ගොඩයගේ කතාව – 7


දවසක් ගොඩයා පන්සලට ගියා පයින්ම. ගෙදර ඉඳන් හැතැක්ම 3 ක් විතර ඇති. ගොඩයට ගොඩාක් දුක හිතිලා. තමන්ට අත දෙන්න කෙනෙක් නැති වීම ගැන සහ කරදර ගොඩක පැටලී ඉන්න තමන්ට සළකන විදිය ගැන සීතල සුළඟට දුක කිය-කියා තමා ඒ මුළු දුරම ඇවිද්දේ.

පන්සලේ ලොකු හාමුදුරුවෝ හිටියා මිදුලේ තවත් ශ්‍රී ලාංකිකයෙක් සමඟ කතා බස් කර කර.. උන් වහන්සේ ඔහුට ගොඩයා හඳුන්වා දුන්නා.
” ජාගොඩ මහත්තයෝ.. මේ අර අහවලාගෙ ළඟ නෑයෙක්. විසිටින් වීසා වලින්. ඇවිල්ල මාසයක් විතර වෙනව. පුළුවන් නම් බලන්න මොකක් හරි රස්සාවක් හොයා දෙන්න.”

ජාගොඩ මහත්තය ලංකාවෙ ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ පුතෙක්.
” කොහොමද ජීවිතේ … රස්සාවක් හොයා දෙන්න මස්සිනා උනන්දුවක් නැද්ද ?”
” මම රෙසමි කීපයක්ම තැපැල් කරලයි තියෙන්නෙ.. තවම නෑ උත්තර”
” රෙසමි යවල හරි යන්නෑ.. මම කියල දෙන්නම් කරන විදිය.. ඔෆීස් වල රස්සාවල් ලැබෙන තුරු බලන් ඉන්න එපා. ඔයාට තියෙන්නේ විසිටින් වීසා නම්. අර වගේ රස්සාවක් කරන්න ග්‍රීන් කාඩ්වත් තියෙන්න ඕන.. ඔයාට මං හොයල දෙන්නම් ගෑස් ස්ටේෂන් එකක් හරි- 7 ඉලෙවන් එකක් හරි. ඒවාට ඔය පේපර්ස් බලන්නෙ නෑ… ඊට පස්සෙ දිගටම ඉන්න ඕන නම් පේපර්ස් හැදෙන විදියක් බලන්න. ඊට පස්සෙ ඉස්කෝලෙ ගිහිල්ල මොනව හරි කෝස් එකක් කළාම ඔෆීස් ජොබ් එකක් කරන්න පුළුවන්.. බය වෙන්න එපා අපි උදව් කරන්නම්”

ගොඩයගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ දැන්. කාන්තාරයක අතරමං උනු අයෙකුට ළිඳක් හම්බ උනා වගේ.

” ඔයාගෙ ඥාතියා මං දන්නවා. මහ ඔළුව ඉදිමිච්ච එකෙක්. මිනිහගෙ හිතේ සුද්දා එයාට ඔය දේපළ සේරම දෙයි කියල. සුද්දො මහ අමාරුකාරයො. මිනිහට ළමයි නැති උනාට මිනිහට මල්ලි කෙනෙක් ඉන්නව. එයාට දරුවන් ඉන්නව. මේ යකා ඔය සුද්ද කියන ඒවට රැවටිල.. නිකම් අසෝබන වැඩ කරනව.. මෙහේ කිසි කෙනෙක් ඔයාගෙ ඥාතියට කැමති නෑ”.

ඔය කාලෙ i Phone තිබුණෙ නෑ. පුසුඹ මල්ලිගෙ ෆෝන් එක නාද උනා. කීප සැරයක් නාද වෙලා නතර උනා. ආයෙම නාද වෙන්න පටන් ගත්තා. ආයෙම නැවතුනා. ගොඩයා නිකමට ගිහින් බැලුවා. පුසුඹා මල්ලී නිදිවත්ද කියල. කාමරේ නෑ. ෆෝන් එකේ අංකය සටහන් වෙලා තිබුනා. +94…. ලංකාවෙන් ආ කෝල් එකක්.
හදිසියක්වත්ද දන්නෙ නෑ . කවුරු හරි මැරිලද දන්නෙ නෑ. ගොඩයා පුසුඹා මල්ලි හොයා ගෙන ගියා.

සුද්දගෙ බාත් රූම් එක බාගෙට ඇරල. ඒ තුල දෙන්නෙක් ඉන්න බව ගොඩයා දැක්ක. “මල්ලී.. මල්ලී” කියල සැරෙන් කතා කලා. බාත් රූම් එකේ දොර ඇරුනා.
සුද්දයි- පුසුඹ මල්ලියි ටබ් එකේ. උඩ කෑල්ල විතරයි දැක්කෙ. ෂුවර් එකටම දෙන්නම හෙළුවෙන්.
” Hey.. young man .. you wanna join us ” සුද්ද ගොඩයගෙන් අහනව. චිඃ විතරක්. ඊට වැඩිය හොඳයි කොමෝඩ් එකට ඔළුව ඔබා ගන්නවා.
“ලංකාවෙන් කෝල් එකක්. කීප සැරයක්ම රින්ග් උනා. ඒකයි ආවෙ. සොරි.”

ගොඩයට රැකියාවක් ලැබුනා. 7 ඉලවෙන් එකක. 7 ඉලවන් කියන්නෙ දවසෙ පැය 24 ම අවුරුද්දේ දින 365 ම ඇරල තියෙන හදිසියකට ඕන වෙන ඇස්පිරින් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා විකුණන්ට ඇති මිනි සුපර්මාකට් ජාතියක් කිව්වොත් හරි.
අයිතිකාරයා ඉන්දියන්කාරයෙක්. මුලදී ලැබුනේ පිරිසිදු කරන වැඩ. ඒක ටිකක් බිසි තැනක්. උදේම කට්ටිය එන්නේ කෝපි බොන්න. දවස පුරාම පල් වෙවී තියෙන කෝපි ” ඕ .. ගුඩ් කොෆී” කිය කිය තලු මර මර බොනව. ඒවා ලංකාවෙ කෝපි තරම සුවඳත් නෑ. ලංකාවෙ පෙට්ටි කඩේක උනත් කෝපි හදන කොට පළාතම සුවඳයිනෙ .. නැද්ද හා..?
වැඩි හරියක් ආවේ මෙක්සිකන් මිනිස්සු. උන් පෙනුමෙන් ලංකාවෙ අයට සමානයි. අපේ මහන ගෙදර සුසිලක්කා වගේම ගෑණියෙකුත් එනවා උදේට.. හායි අමිගෝ.. බුඑනෝස් දියෙස් කියා ගෙන.
ටිකක් කල් ගත වෙනකොට ගොඩයත් ඉගෙන ගත්ත ඒ භාෂාවෙන්ම ඒවට උත්තර දෙන්න. එහෙම තමයි ඕනම කෙනෙකුට අළුත් පරිසරයක හැඩ ගැහෙන්න ටිකක් කල් ගත වෙනව. අරූ කියන්නෙ ගොඩයා ෆෝවර්ඩ් මදි කියලනෙ. ඌ අමුතුම වැජයිනා එකකින් එළියට ආ එකෙක්.

” ඔය ජාගොඩ ජෝඩුව ඉන්නව නේද ? උන් දෙන්නටම ඉංග්‍රීසි බෑ”
එහෙම කියන්න හේතුව පුසුඹ මල්ලිට ආරංචි වෙලා ගොඩයට රස්සාව අරන් දුන්නෙ ජාගොඩ මහත්තය කියල.
පුසුඹා කියන්නේ කිසිම කෙනෙකුගෙ හොඳ නොදකින sperm dog කෙනෙක්.
ගොඩයා බැරිම තැන ඇහුව මල්ලිට කොහොමද ඔච්චර හොඳට කඩ්ඩ පුළුවන් උනේ”? කියල.
” ඒව එහෙම තමයි” …හරියට උගෙ පරම්පරාවෙ සේරම ඉංග්‍රීසි කතා කරන උන් වගේ.
අනේ .. කේ.. නන්නානේ .. කියල ගොඩයට හිතෙන් කියැවුනා.
රට ගිය ගොඩය ගේ කතාව කියවන ඔබ සමහර විට හිතනව ඇහි ” ඇයි ගොනෝ කට ඇරල දෙකක් කියන්න බැරි ඕකට” හැමදාම හිතෙන් බැණ බැණ ඉන්නෙ කියල.
උත්තරේ මේකයි. ගොඩයා සාමාන්‍යයෙන් වලියට බර කෙනෙක් නෙවේ. ගොඩයා තාමත් ඉන්නෙ එයාගෙ තැන. ඉන්නේ විසිටින් වීසා වලින්. හරි හමන් රස්සාවක්- ඉන්න තැනක් තිබ්බ නං ගොඩයා දනී ඌට උත්තර දෙන හැටි.

7 ඉලෙවන් එකට එනවා ලොතරැයි ගන්න- හූරන්න නා නා ප්‍රකාර අය. මෙක්සිකන්- ඉතියෝපියන්-කළු-සුදු ජාතිකයන්. සමහර උන් මාර බුද්ධිමත්. උන් ලංකාව ගැන ගොඩයට වඩා දේ දන්නව. ගොඩයා දන්නා විදියට තමන්ගේ රට ප්‍රොමෝට් කලා. රටේ හොඳම කිව්ව.
එකෙක් අහනව ඇයි එහෙනං මෙහේ ආවෙ කියලා. දීපල්ලකෝ උත්තර.
” ඩොලර් එකක් මගේ සල්ලි වලින් හැටක්. (රුපියල්) මම සල්ලි ටිකක් එකතු කරන් ගිහින් බිස්නස් එකක් පටන් ගන්නයි අදහස” ගොඩයා පැහැදිළි කළා.

ලොතරැයි ගන්න එනවා කළු ගෑණියක් නම හැරියට්. රස්සාව කළේ පොලිසියේ. ෆයිලින්ග් ක්ලාර්ක් කෙනෙක්. හැමදාම ලොතරැයියක් ගන්නව. ඒව ඇදිලද කියල තමන්ටම බලන්න පුළුවන් ස්කෑනර් එකක් තියෙනව. ලොතරැයියෙ බාර් කෝඩ් එක ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ. කිසි හොර බොරුවක් නෑ. හැම එකාම ලොතරැයි ගන්නෙ එකම අරමුණකින්. ඒ ලොකු ගානක් ඇදුනොත් පහුවදාම රස්සාවෙන් අස්වෙන්න.
හැරියට් හැමදාම ලොතරැයි පත ස්කෑන් කරල ” බෑක් ටු වර්ක් ” කියල ඒක කුණු කූඩෙට විසි කරනව. සමහරදාට මේසෙ උඩම දාල යන්න යනව.
ගොඩයගේ සෙනසුරු ඒරාෂ්ටකය ඉවරයි. දැන සඳුගේ මහ දසාව ලබල තියෙන්නේ. ගොඩයා ලක් කාරයා.

කෙනෙක් ආවා. කලින් දා ගත්තු ටිකට් එක ස්කෑන් කලා. ” not today ” කියල කුණු කූඩේට විසි කරල යන්න ගියා. ඒත් එක්කම හැරියට් ආවා. එයගේ ටිකට් එකත් ස්කෑන් කලා. “not a winner ” කියල ස්කෑන් තිරයේ සටහන් උනා. ටිකට් එක මේසෙ උඩම දාල යන්න ගියා.
( මතු සම්බන්ධයි )

Posted in Uncategorized | ප්‍රතිචාර 6

රට ගිය ගොඩයගෙ කතාව – 6


අද තමා ගොඩයයි පුසුඹ මල්ලියි ලස්සන ගෑණු බලන්න යන දවස.
පුසුඹ මල්ලි කාර් එක එලෙව්වා. ගොඩයා දකුණු පැත්තේ ආසනේ. ඇමරිකාවේ වාහන වල රියැදුරු අසුන තියෙන්නේ වම් පැත්තේ බව සියල්ලන් දත යුතුය.
පුසුඹා මල්ලී ඉස් ඉසෙල්ලම කතාව පටන් ගත්ත. ” අර මාතරයා ඉන්නව නේද ලෝකයා. ඌට ඉංග්‍රීසි බෑ. උගෙ ගෑණිටත් බෑ. අනික උගේ ගෑණි ෆාස්ට් නම්බර් එකක්”
ගොඩයා කතාව වෙනස් කළා. අපි අපේ දෙයක් කතා කරමු.
” ඇයි මල්ලි අර සුද්දත් එක්ක එකට ඉන්නෙ ? ලංකාවෙ ඉන්න කොටත් ඔහොම පුරුදු තිබුණද ?” ගොඩයගේ කුතුහලය වැඩියි.

පුසුඹා මල්ලි දිග කතාවකට මුල පිරුව.
” මං ඉස්සර ආසයි අපේ අක්කලාගේ ගවුම් අඳින්න. නිය පොතු පාට කරන්න. දවසක් මම අපෙ පොඩි අක්කගෙ බොඩිය ( බ්‍රා එක ) ඇඳල බැලුව. මාර ගති. යටට ලන්කට් එක. මාර ලස්සනයි. කෙල්ලො කොච්චර ලස්සනට අඳිනවද පළඳිනවද ? උන්ට යන යන තැන සැලකිලි හම්බ වෙනව. අපිට මේ ලබ්බක් දීල …
ඒ ආසාවල් එහෙම්ම යට ගියා. ඒත් මගේ යටි හිතේ තිබුණෙම ගෑණියක් වෙලා උපන්න නම් කොච්චර හොඳද කියන එක. ගෑණුන්ට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකෙ. ඕනම බලවතෙක් ගෑනිට යටයි. ගෑණු කොච්චර ලස්සනට ඇවිදිනවද ? … මම ආස ගෑනියක් වෙලා පිරිමින්ට රිද්දන්න. ඒත් මෙහේ ආවට පස්සෙ ඒ ආසාවල් යට ගියා.
” ඇන්ඩෲ මට ආදරෙයි. මිනිහට කාත් කවුරුවත් නෑ. මිනිහ මට පොරොන්දු උනා මිනිහගේ සේරම දෙපළ මට ලියන්න. ඉතින් ඔන්න ඔහොමයි…. මිනිහ මට සළකනව. මාත් මිනිහට සළකන්න එපායැ .. නැද්ද ?”

මං ගෑණුත් එක්ක එකට ඉඳල තියෙනව. ඇමරිකන්.. මෙක්සිකන්.. ඒත් ගෑණියෙකුගේ හෙළු ඇඟට හේත්තු වෙනකොට තියෙන සැපයට වඩා මාර අමුතු ජොලියක් තියෙන්නෙ පිරිමියෙක් බදා ගත්තම.. ඒක අමුතු සැපක්”
” සමහර විට ඒක විකෘති ආසාවක් වෙන්න ඇති. ඒත් ඔය ජාතක කතාවකත් තියෙනව මිනිහා විකෘති දෙවල් කරන්න ආසයි කියල. ගෑනු උනත් එහෙමයි”

කතා කරන ගමන් පුසුඹා මල්ලි දෙපැත්තෙ වීදුරු දෙකම පාත් කළා. එළියෙ මාර සීතලයි. ජැකට් එකක් ඇඳන් හිටියත් ගොඩයට ඒ හීතල දරා ගන්න බැහැ.
” ඇයි මල්ලි වීදුරුව ඇරියෙ ? සීතල නැද්ද ? ”
” අයිය ළඟින් මොකද්ද ස්මෙල් එකක් එනව.. ඒකයි වීදුරුව ඇරියෙ”
” මල්ලි මෙහෙමයි… මට ලංකාවෙ වාහන තිබුණෙ නෑ. මම ආවෙ ගිය බස් වල. සමහරදාට හොඳටම හිර වෙල. මිනිස්සුන්ගෙන් එක එක ගඳ එනව. බෙහෙත් තෙල් ගඳ.. පීනස් ගඳ – සුරුට්ටු ගඳ – දාඩිය ගඳ සමහර විට පඩ ගඳ.. අපි කවදාවත් කෙනෙකුගෙ මූණට කියන්නෙ නෑ උඹ ගඳයි කියල ඉවසගෙන ඉන්නව මිසක..”
” මම නං මූණට කියනව”
” ඒ ඉතින් එක එක් එකෙනාගේ උගත්කමේ හැටියට..”
” අයිය කියන්නෙ මම උගත් නෑ කියන එකද ?”
” නෑ .. උගත්කම කියන්නෙ උපාධි – සහතික නෙවේ .. සමහරදාට මල්ලි ළඟත් ගඳක් තියෙනව.. මම ගෙදරමයි ඉන්නෙ. වැඩක් නැති නිසා සමහරදා මම දවසට දෙපාරක් නානව. මල්ලි දීල තියෙන බොඩි වොෂ් ගානව”

” හරි.. හරී.. ඕක බිග් ඩීල් එකක් කර ගන්න එපා” අර මං දීල තියෙන perfume පාවිච්චි කරන්න. රස්සාවක් කරන කොට තමන් කැමති දෙයක් ගන්න බැරියැ”

” මම කවද්ද රස්සාවක් කරන්නේ. මං ඇවිල්ල මාසෙකටත් වැඩියි.. මට බැරිද මල්ලි වැඩ කරන තැන මොකක් හරි කරන්න. ඔයා මැනේජර් කෙනෙක් කිව්ව නේද ?”

” ඔයාගෙ ඉංග්‍රීසි හරි මදිනෙ එතෙන්ට දාන්න. ”
” මට තියෙන්නෙ ඉංග්‍රීසි ප්‍රශ්නයක් නෙවෙයි. මුන්ගෙ ඇක්සන්ට් එක නොතේරෙන එකනේ”
” එහෙනම් ඉතින් රෙසමි එකක් හදා ගෙන කොම්පනිවලට දීගෙන දීගෙන යන්න. ගොඩක් අයට එහෙම තමා රස්සාවල් හරියන්නෙ”

ගොඩයට resume කියන වචනය මැජික් වගේ. ලංකාවෙ bio data කියන එකට මෙහේ කියන්නෙ රෙසමි කියල.
දවසක් ගොඩයා පුසුඹ මල්ලීට කියල රෙසමියක් හදා ගත්ත.
” ෂා.. ඔයාගෙ රෙසමි එක මරුනේ. කොහොමද ඔච්චර විභාග ගොඩක් පාස් කර ගත්තේ ?”

ගොඩයා රෙසමියක් අරන් vacancy කියල ගහල තිබුණු තැනකට ගියා. ඒක මොටෙල් එකක්. ඒ vacancy වෙන ජාතියක්. මොටෙල් එකේ හිස් වූ කාමර තියෙනවා කියන අර්තයයි ඒ.
” කොහාට හරි ගිහින් අහන්න ඕන openings තියෙනවද කියල” පුසුඹා මල්ලි පැහැදිලි කළා.
සේරම කණ පිට. ඉංග්‍රීසි වලට අමතරව මේ අළුත් වචනත් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යයි. ගොඩයා බය උනා.

ඊළඟ සතියේ දවසක් ගොඩයා පුසුඹ මල්ලිත් එක්ක පන්සලට ගියා. ලොකු හාමුදුරුවෝ උඩරට කෙනෙක්. උන් වහන්සේ ගොඩයාගෙන් ගමේ විස්තර අසන්නට පටන් ගත් සේක.
” මහත්තයලගෙ ගමේ පන්සලේ හාමුදුරුවෝ දෙවුරම වහනවද ? නැත්නම් එක උරයද ?”
ඔන්න ඔහොමයි. පොරට ඕන උනේ ගොඩයගෙ කුලේ දැන ගන්න.
ගොඩයා උගෙ මෑණියන්ට පින් දෙමින් ඉන්න අතරේ උන්වහන්සේ ගොඩයාගේ සුරතේ පිරිත් නූල් වහන්සේ නමක් බැඳි සේක.

දෙවුරම වහන එක හොඳයිනේ. උරිස්ස ඇරල කිහිල්ලෙ මයිල් බූසිය ලෝකෙට පෙන්වන්නෙ නැතුව.

මතු සම්බන්ධයි.

Posted in Uncategorized | ප්‍රතිචාර 4

රට ගිය ගොඩයගේ කතාව – 5


අළුත් ලිපිනයේ සිටියේ මාතරයෙක්. මාතරින් පැමිණ ලොස් ඇන්ජලිස් කිට්ටුව කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරන කෙනෙක්.
ඔහු ගොඩයා හොඳින් පිළිගත් අතර කන්ට – බොන්ට දී විඩා නිවා ගන්නා ලෙසට උපදෙස් දී පුසුඹා මල්ලීට ඇමතුමක් ගත්තේය.
” මොකද බං කරන්නේ ? කොහේද ඉන්නේ ? මෙන්න මස්සිනා ඇවිත් ඉන්නවා. අතරමං වෙලා.. ඇයි බං මිනිස්සුන්ට ලණු දෙන්නේ ?”
පුසුඹා මල්ලි තව විනාඩි 15 කින් එනු ඇත.
” මං කිව්වා කියල කිව්වත් කමක් නෑ.ඕකා මහ දසයා. ඕකත් එක්ක කී දවසක් එකට ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ. පුළුවන් තරම් ඉක්මණට ජොබ් කට්ටක් හොයා ගන්න බලන්න ”
මාතරයා පුසුඹා මල්ලී ගැන කදිම රෙකමදාරුවක් දුන්නේය.
විනාඩි 15 කින් පුසුඹා මල්ලී නවීන පන්නයේ කාරයකින් පැමිණියේය.
” මට ඔයා මග ඇරුනනේ.. මම හතර පස් වතාවක්ම ගියා එයාපෝට් එකට.. දැන් ඉතින් කතා කරල වැඩක් නෑ. අපි යමු”

පුසුඹා මල්ලී පදිංචි වී සිටියේ ඉකුත්දා රෑ දුටු මන්දිරයේ පිටුපසය. ඔහුට කාමර දෙකක් සහ පොදු කුස්සියක් තිබුණේය.
” මං හිතුවේ මල්ලි ඉන්නෙ වෙනම ගෙදරක කියල”
” මම වෙනම තමා ඉන්නේ. not a big deal . මට වෙනම කාමර දෙකක් තියෙනවා. වෙනම එන්ට්‍රන්ස් එකක් තියෙනවා”

පුසුඹා මල්ලී ඇඳුම් මාරු කර ගත්තේය. ඒ අර අත් නැති විශාලෙට කිහිලි කැපූ බැනියමක් සහ රතු බෝල බෝල තියෙන රෙද්දකින් මැසූ කළිසම් කොටයකි. අප්පා උගෙ කකුල් දෙකේ ලස්සන. එක මයිල් කළඳක් නෑ. කෙල්ලෙකුගෙ වගේ.. දුකේ බෑ ඒ දිහා බලා ඉන්ට. චිඃ.. මං හිතන ඒව. මූ නිකම් පොන්සියෙක් වගේ.

හා.. මට කලින් කියන්න බැරි උනානෙ. පුසුඹා මල්ලිගේ නියම නම තිස්ස. ඔහුගේ බිරිඳ ඔහු ඇමතුවේ “තිසා” යන හුරතල් නාමයෙනි.
” ටී– ශා…” යමෙක් සැරෙන් කතා කරනවා ඇහුනා.
” බොස් ” ….”මම බලල එන්නම් මොකද කියල” .
බොස් කුස්සියට ඇවිල්ලා. අපි හිටපු කාමර දෙකයි බොසාගෙ ගෙදරයි අතර මැද තමා පොදු කුස්සිය තිබුනේ. බොසා මොනවද මහ හයියෙන් හයියෙන් කිව්වා. ඒ ඉංග්‍රීසි බව නම් ෂුවර්. ඒත් කිසි දෙයක් තේරුනේ නෑ. අන්තිමට ස්ටුපිඩ් කීවා… ඒක නම් තේරුනා.
මොහොතකින් පුසුඹා මල්ලී මූණ රතු කර ගෙන ආවා.
” බොස්ට ටිකක් තරහ ගිහින්. මගෙ අතින් පොඩි ටයිපින් මිස්ටේක් වෙලා. තව ටිකකින් මගෙන් සමාව ගනී. මිනිහ එහෙම තමයි”
මා ඉස්සරහ පුසුඹ මල්ලිට වස ලජ්ජාව උනේ.
” මල්ලි මිනිහගෙ ප්‍රයිවට් සෙකට්‍රි නෙවෙයිද ? ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙකුට ඔහොම කෑ ගහනවද ?”
” මං එයා ගෙ පර්සනල් ඇසිස්ටන්ට් .. ඔය දෙකම එකයි”
” හැබැයි මම නම් හිතන්නෙ හරි වචනය බට්ලර් කියන එක” ගොඩයට ඒ වචනෙ අහු උනේ පුසුඹා මල්ලිගේම කාමරයේ තිබුණු මලලසේකර ශබ්දකෝෂයෙන්.
” කවුරු උනා මොකද ? ඔයාට එහෙම එකක්වත් තියෙනවද ? මගේ අනික් ජොබ් එකේ මම මැනේජර් කෙනෙක්” පුසුඹා මල්ලි කියා ගෙන කියා ගෙන ගියා. මිනිහට හොඳටම ලැජ්ජ හිතිල.
පුසුඹා මල්ලි සෙල් එකත් අරන් බාත් රූම් එකට ගියා. කොමෝඩ් එකේ වාඩිවෙලා ( වෙන්නැති ) කාටදෝ විධාන වගයක් දුන්නා. ( මට ඇහෙන්ට ) ඇනස්ටිනා– ඩු දිස් – ඩු දැට් කියල

“දැක්කද ? මැනේජර් කෙනෙක් උනාම ගෙදර ඉඳල උනත් මැනේජ් කරන්න පුළුවන් වෙන්න ඕන”
උගෙ අම්මගෙ රෙද්ද. ගොඩයා තමාටම කියා ගත්ත.මම ඇවිල්ල තවම දවස් දෙකයි..

අයියට බඩගිනි නම් කෑම තියෙනවා ෆ්‍රිජ් එකේ. බොස් නැති වෙලාවක් බලල බතක් උයා ගත්තත් කමක් නෑ. බත් ගඳට බොස් කැමති නෑ. මම නම් එළියෙන් කන්නේ. කුස්සියේ කවුන්ටරේ උඩ ඇබිත්තං සයිස් රයිස් කුකර් එකක් තිබුනා. ෆ්‍රිජ් එකෙත් ඇති ලබ්බක් නෑ. සලාද කොළ පැකට් කීපයක් මිස. මල් පාත්තියක් වගේ ඕවා කන්න පුළුවන්ද ?

” ටී… ශා…” බොස් කතා කලා. ලෝගුවක් වගේ එකක් ඇඳ ගත් බොස් තඩි උස මහත නාකි සුද්දෙක්. ඌ කුස්සියට ඇවිත් වාඩි උනා. පුසුඹා මල්ලී පිඟානකට සැලඩ් කොළ ටිකක් බෙදුවා. බොසා ගෑරුප්පුවෙන් ඇන ඇන ඒව කටේ දා ගන්නා ගමන් තැපෑලෙන් ඇවිත් තිබුනු ලියුම් වගයක් කැඩුවා. පුසුඹා මල්ලි හිටියේ බොසාට ටිකක් පිටුපස්සෙන් දකුණු අත පැත්තෙන්. බොස් දකුණු අත ටී ශා ගේ වම් කලවය දිගේ ජංගියක් වගේ කොට කලිසම අස්සට අරන් ගියා.
ගොඩයා ඒ දර්ශනය බල ඉන්න අප්පිරියාවේ කාමරේට ගිහින් දොර වහ ගත්තා.

“පුසුඹ මල්ලි මොකද්ද ඒ වැඩේ ? මිනිහ කොලු කාරයෙක්ද ?”
” මේක මගේ තැන මට ඕන දෙයක් කරන්න පුළුවන්. ලැජ්ජ නැද්ද අනුන්ගෙ පර්සනල් දේවල් හොරෙන් බලා ඉන්න ?”
” මට කමක් නෑ.. මල්ලි මොනව කළත්. ඒත් ඇයි අර අසරණ කෙල්ල කසාද බැන්දෙ ?”
( තාම රෙජිස්ටර් කරල විතරයි )
මෙහේ ඉන්න කෙනෙක් අපේ ගෙදරට ලියුමක් යවල මම gay කියල. මට ඒක බොරු කරන්නයි ඕන උනේ. නැත්තං වෙන මොනවටවත් නෙවේ. ඕව හොඳය් ගෑණු දැකල නැති අයට.

අපි අද හවස යමු නියම පොට් එකකට. අයියට හාර්ට් ප්‍රොබ්ලම් එහෙම නෑ නේද ?

ගොඩයගෙ වයිෆ් මගින් මගට කිව්වේ කොහේ යන්නත් කලින් පන්සලකට ගොඩ වෙන්න කියල

( මතු සම්බන්ධයි )

 

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

රට ගිය ගොඩයාගේ කතාව- 4


ගොඩයා ගොඩ උනේ EVA AIR ගුවන් යානාවකට. සේරටම ඉස්සෙල්ල කියන්න ඕන මේ ගොඩයගෙ පළමු ගුවන් ගමන.
ගොඩයා අඩු තරමින් මාලදිවයිනටවත්, සාරි බිස්නස් කරන්න මැඩ්‍රාස්වලටවත් ගිහින් නෑ.
වෙලාව අළුයම 1.00 ට විතර ඇති. රෑ කෑම කෑවේ ගෙදරින් පිටත් වෙන්න කලින් හවස 7.00 ට විතර. excitement එක නිසා ගොඩයට බඩගින්නක් තිබුණේ නැති උනත් දැන් නම් බඩේ පනුවෝ එකා පිට එකා නැගල ගුස්ති ඇන ගන්නව.
කෙට්ටු ශරිරයක් ඇති, හීන් ඇස් ඇති ගුවන් සේවිකාවක් ඉංබිත්තං රට කජු පැකට් එකකුයි තිත්ත දොඩම් යුෂ වීදුරුවකුයි බැගින් බෙදා ගෙන ගියා.
හැටි විතරක් ඒකිගෙ. පිට ලෑල්ලක් වගේ. ඉස්සරහත් නෑ. පස්සත් නෑ. එන්න තිබුණේ ශ්‍රී ලන්කන් එකක. සියරට දේ- සිරි සැපදේ.

දැන් ගොඩයට මේ ලෝකෙ දෙයක් මතක නෑ. ආවේ කොහෙ ඉඳලද ? යන්නෙ කොහාටද ? ඉන්නෙ කොහෙද ? ගුවන් යානය එකම තැන නවත්වල තියෙනව වාගෙ .. අවට කිසි දෙයක් පේන්න නෑ.
ගොඩයා ලොස් ඇන්ජලීස් වලට ගොඩ බැස්සේ පැය 24 කට විතර පස්සෙ. ඒ වෙන කොට දෙතුන් වතාවක්ම කවදාවත් පාවිච්චි කරල නැති ටොයිලට් කඩදාසි පාවිච්චි කරල තිබුණු නිසා ගොඩයට දැනුනේ පුදුම අපහසුතාවයක්.

වෙලාව රෑ 8.00 ට විතර ඇති. මගී කොරිඩෝව දිගේ එළියට එන තම නෑ හිතවතුන් පිළිගන්න සූ ගාල සෙනග. සමහරු මල් පොකුරු අරන් ඇවිත්..එකට ඉඳන් පොටෝ ගන්නවා.. වැඩ හැටයි. ගොඩය හැම තැනම බැලුව පුසුඹ මල්ලිත් මල් ටිකක් අරන් ගොඩයා පිළිගන්න බලන් ඇති කියල. එහෙමයි පොරොන්දු වෙලා හිටියේ.
ගොඩයා හතර වටේ බැලුව. ඇවිද ඇවිද බැලුව. ඒ කෙළවරේ සිට මේ කෙළවර දක්වා කී වතාවක් එහාට මෙහාට යන්න ඇද්ද ?
බඩගිනියි.. චූ බරයි.. කක්ක බරයි. බෑග් එළියෙ තියල චූ කරන්න යන්නත් බෑ. ගොඩයට කොහොමටත් ඒ වැඩේට සෑහෙන වෙලාවක් යනව.
දැන් රෑ 12.00 ත් පහු වෙලා. පුසුඹ මල්ලි එන පාටක් නෑ. කෝල් එකක් දෙන්න විදියකුත් නෑ. ගොඩයගෙ හිත නොසන්සුන් හොඳටම. බඩගින්න – අපිරිසිදුකම- චූ බර-කක්ක බර — මේ සේරම එකට හිර වෙලා- අමතක වෙලා. හොඳ වෙලාවට පුසුඹ මල්ලි ගේ ගෙදර පොටෝ එකක් ගොඩය ළඟ තිබුනා. ඒක පිටි පස්සෙ ලිපිනයත් තිබුණ. ගොඩයා හිතුවා තවත් බලන් ඉන්න එකේ තේරුමක් නෑ කියල. ගියා Information කවුන්ටරේට. එතන හිටි කළු ගෑණිත් ඒක වහල දාල ගෙදර යන්න ලෑස්තිය. ගොඩයා බොහොම අමාරුවෙන් කතා කරල එයා ගෙන් ඇහුවා ඒ ලිපිනයට ටැක්සියකින් යන්නෙ කොහොමද කියල.
45 මිනිට්ස් ට්‍රැෆික් කියල කියාපි. මොන හරුපයක්ද ඒ ?

” you need a taxi ?” ගොඩයට තමාගෙ පිටුපසින් ටිකක් කරුණාවන්ත කට හඬක් ඇහුනා. ගොඩයා අර ලිපිනය පෙන්නුවා.
” යමු.. ඩොලර් 30 යි” ගොඩයා කිසි කතා බහක් නැතුව ටැක්සියට ගොඩ උනා. ටැක්සි මහත්තයා ඇසූ ප්‍රශ්න වලට දන්න විදියට උත්තර දුන්නා. දැන් වෙලාව පාන්දර 1.00 යි. එක එල්ලේ දිවෙන පාරක ටැක්සිය පැදවුනා. ඔය කාලෙ GPS ඇවිල්ල තිබුනේ නෑ. ටැක්සි මහත්තයා සිතියමක් බලා ගෙන ටැක්සිය එලෙව්වා. ගොඩයා ටැක්සි මහත්තයට කිව්වේ තමන් යන්නේ තමන්ගේ සහෝදරයගෙ ගෙදරට කියලයි. බොරුවක් නෙවෙයිනේ !

105

ටික වෙලාවකින් ටැක්සිය, විශාල කුළුණු , දොර ජනෙල් ඇති ගාම්භීර නිවසක් අසළ නැවතුනා.. ගොඩය අඳුර ගත්තා ගෙදර. වහාම ටැක්සියෙන් බැහැල ගිහින් දොරේ බෙල් එක ගහන්න හිතුවා.
ටැක්සි මහත්තයා ගොඩයා නැවැත්තුවා.
” වෙලාව 2.00 යි. ඕක හරියන වැඩක් නොවේ. උඹට වෙඩි කන්න වෙයි. මේක උඹේ සහෝදරයගෙ ගෙදර නම් වෙන්න බෑ”
” දැන් මොකද කරන්නේ.. මං ළඟ එච්චර ලොකු සල්ලියක් නෑ. පුළුවන් මාව මේ කිට්ටුව ලාබ හොටෙල් එකකට ගිහිල්ල දාපං”
” උඹ අවංක මිනිහෙක්. මං උඹට උදව් කරන්නම් .. අපි හෙට උදේ ආපහු මෙතනට එමු.. මේ මගේ කාඩ් එක. “

ගොඩයා ඉස් ඉසෙල්ලම කළේ නා ගන්න එක. උණු වතුර. නෑවට පස්සෙ මාර බඩගින්නක්. කන්න කිසි දෙයක් නෑ. බොන්න වතුර ටිකක්වත්. ගොඩයා කවදාවත් හොටෙල් එකක – මොටෙල් එකක නැවතිල නැති අමුම අමු ගොඩයෙක්. කරන්න දෙයක් නෑ.. පුසුඹ මල්ලිගෙ වයිෆ් – ගොඩයාගෙ නෑනා පුසුඹ මල්ලිට දෙන්න කියල එවාපු අළුවා කෑල්ලක්, හකුරු කෑල්ලක් එක්ක කාල ටැප් වතුර ටිකක් බීල නින්දට වැටුනා.
හරියටම උදේ 10.00 ට ටැක්සි මහත්තයා කතා කලා.
” මං උඹේ ඩ්‍රයිවර්.. ලෑස්ති වෙලා හිටපන්. මම 11.00 ට එනවා”

ගොඩයට පුසුඹ මල්ලී දී තිබුණු ලිපි අස්සේ තිබී තවත් ලිපිනයක් හම්බ උනා. ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෙකුගේ.
ටැක්සිය වෙලාවට ආවා.
” අපි මෙහෙම කරමු. මගේ ළඟ තව ලිපිනයක් තියෙනවා. මගේ බ්‍රදර් හිටියෙ නැත්නම් අපි මේ ලිපිනයට යමු”
“උඹ හිතනවාද මෙයා උඹට උදව් කරයි කියා?”
ටැක්සි මහත්තයා සිතියම බැලුවා. මේක මේ ළඟ. අපි මෙතනට ඉස්සෙලම යමු.

මතු සම්බන්ධයි

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

රට ගිය ගොඩයගෙ කතාව -3


” මම ඉන්නෙ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක. හතර පස් දෙනෙකුට උනත් නවතින්න පුළුවන්. අයිය කිසි දේකට බය වෙන්න එපා. මං සේරම බලා ගන්නම්.. මෙහේ බෙහෙත් ඇඳුම් වගේ දේවල් තමා ටිකක් ගණන්. ඒ නිසා ඇඳුම් ටික විතරක් අරන් ආවොත් ඇති. මොකද මගෙ ඒව අයියට අඳින්නත් බැහැනේ…”

පුසුඹ මල්ලි පිටත් වෙන්න කලින් අවසන් වරටත් හැමෝම ඉඹ ගත්තා. හප්පා උගෙ ළඟ තියෙන පුසුඹ..
********************************************************
“මල්ලී මම ගොඩය.. ගොඩය ගොඩ.. අවුරුදු 5 කටම විසා ගහ ගත්ත. දැන් මොනවද ඉතිරි වැඩ?”
දුරකතනය විසන්ධි උනා.
ගොඩයා ආයෙම පහුවදත් කතා කළා.
” ආ…මල්ලි.. ඊයේ කෝල් එක කට් උනා. මගෙ විසා- පාස් පෝට් සේරම හරි..දැන් ඊ ළඟට මොකද කරන්නේ ..?”

තප්පර ගණනාවක නිහැඬියාවක්.
ගොඩයගෙ කඩ්ඩත් පොලිෂ් නෑ. කිසිම පර්සනැල්ටි එකකුත් නෑ. පුසුඹ මල්ලි හිතන්න ඇති ගොඩයා එම්බසි එකේදී ඇන ගන්න ඇති කියල.
අවසානයේ පුසුඹ මල්ලි කතා කලා.
” හරි අයියා.. මෙහෙම කරමු.. හැමදාටම මගේ ගෙදර ඉන්න බෑ. මටත් තියෙන්න එපායැ privacy එකක්. මම මොකක් හරි රස්සාවක් හොයල දෙන්නම්. පන්සලේ උනත් නවතින්න පුළුවන්. එන දවස කියල මට කෝල් එකක් දෙන්නකෝ”

ගොඩයට පුසුඹ මල්ලිගේ කතා විලාසය ඇල්ලුවේ නෑ.
සරත් චන්ද්‍රසිරි ඉස්සර OTS එකේ වැඩ කළේ. ඌ හිත හොඳ එකා. ගොඩයගේ ගජ යාළුවා.
” මචං මම කීප දවසක් ලොස් ඇන්ජලිස් පන්සලේ *** නන්ද හාමුදුරුවොත් එක්ක කතා කරල තියෙනව. පොර හොඳයි. උඹෙ ඥාතියා පොල්ල තිබ්බොත් කෙලින්ම පලයන් පන්සලට ටැක්සියක් අරන්. ගිහින් ඇත්ත කියපන්… බය වෙන්ට එපා බං අඩෝ මොකද්ද බං ළමිස්සි වගේ. පිරිමියෙක් වෙයං. උඹ ගොඩ ඔය අවුරුදු 5 හරියට ඇද ගත්ත නං. කාර් හේදුවත් සල්ලිනෙ බං”

පුසුඹ මල්ලි ආයෙම දවසක් කතා කලා.
” අයියේ මෙහේ බඩු හැම දේම වගේ ගණන්. එනකොට ගේන්න පුළුවන් සේරම දේ අරන් එන්න. මතක තියා ගන්න. රැවුල හොඳටම කපන්න. රැවුල තියෙන අයට මෙහේ සලකන්නෙ නෑ. අපිරිසිදුයි කියලයි මිනිස්සු හිතන්නෙ.
( ඇයි යකෝ.. ඒබ්‍රහම් ලින්කන්ටත් රැවුලක් තියෙනවනේ.. මම එහෙම කියන්න ගියේ නෑ)
ඒ වගේම ඇමරිකාවට ගොඩ බහින කොට ඔයා ෆුල් සූට් ඇඳල ඉන්න ඕන. first appearance එකෙන් තමයි කෙනෙක් මනින්නෙ. T ෂර්ට් එහෙම ඇඳන් එන්න එපා.
මටත් මෙහේ එච්චරම අල්ලන්නෙ නෑ. මම ලංකාවට ඇවිල්ල බිස්නස් එකක් පටන් ගන්න සල්ලි එකතු කරනවා. නැත්නම් ටිකට් එක මට අරන් එවන්න තිබුණා.
ගොඩයා තමන්ට විකුණන්න පුළුවන් හැම දෙයක්ම වික්කා. අරූ ගැන විශ්වාසයක් තියන්න බැරි නිසා. ඌ මොන හේතුවකට හරි තමන් මග අරින්න හදන බව ගොඩයට තේරුනා. එහෙම උනොත් සුමානයක් දෙකක් මොටෙල් එකකටවත් සෙට් වෙන්න පුළුවන් විදියට සල්ලි ටිකක් ලෑස්ති කර ගත්තා.

ගොඩයා රට යන බව දැන ගෙන ගොඩයගෙ අම්ම වැලපෙන්න පටන් ගත්තා. අම්මලා එහෙමනේ ඉතින්.
” අනේ ඉතින් ආයෙ ලෙඩකටද දුකකටද.. මං කොහොමද උඹව දකින්නේ?”
” අම්මේ අම්මගෙ පුතා යන්නෙ ඩුබායි නෙවේ. ඇමරිකාවේ.” ගොඩයගෙ බිරිඳ නැන්දම්මට කවදාවත් නැති සෙනේහයකින් කතා කලා.
” කටක් ඇරල කියන්න පුළුවන් නේද මගෙ පුතා ඇමරිකාවෙ ඉන්නෙ කියල” ගොඩයගෙ බිරිඳ වැඩි දුරටත් කියා හිටියා. ඒත් ඒ ස්වරයෙ ගැබ් වෙලා තිබුණේ වෙනත් අදහසක්.
” අම්මා මැරුණුදාකට පත්තරේ අවමංගල තීරුවෙ දාන්න පුළුවන් නේද … මෙයට සෝකයට පත් පුතා – වරහන් ඇතුලේ USA කියල”
ආන් ඒවගේ හඬක්. එයා කොහොමටත් රඟපාන්න දස්සි.
ගොඩයා රට යන දවස කිට්ටු උනා. ගොඩයා අහල පහල තියෙන හැම දේවාලෙකටම ගියා. විශේෂයෙන් අළුත්නුවර දේවාලෙට. නිවාඩුවට ආවාම රූපෙට රූපයක් ඔප්පු කරන්න බාර උනා. දකුණු අතේ මැනික් කටුවට පහලින් තිබුනු කළු පාට උපන් ලපේ වැහෙන තරමට පිරිත් නූල්.
ගොඩයා රට යන දවසෙ වෑන් දෙකයි. දෙකම කට කපල පුරවල. එකක ගොඩයගෙ පවුලේ අය. ඒ කියන්නේ in-laws ල. ගොඩයගෙ මාර්ගෙන් ගොඩ යන්න බලන් ඉන්න කට්ටිය. අනික් වාහනේ ගොඩයගෙ අම්මයි-තාත්තයි ගමේ කට්ටියයි.
ත්‍රස්තවාදී කලබල නිසා මග දිගට චෙක් පොයින්ට්.
ගුවන් හමුදා නිලධාරියෙක් ඉස්සෙල්ලම ගිය ගොඩයගෙ වාහනේ නතර කළා.
” කොහෙද මේ කට්ටිය”
“ගොඩයා වහාම තම ලියකියවිලි පෙන්නුවා. ” කී දෙනෙක් යනවද ?”  “මං විතරයි”
මිනිහටත් හිනා. 35 දෙනෙක් විතර එක මිනිහෙකුට ටටා කියන්ට. එහෙම තමා ගම් වල උදවිය. ඔය ගමන්ම දෙහිවල සත්තු වත්තටත් ගිහින්, ගෝල්ෆේස් ගිහින් රැල්ලත් පාගල , යනින් ගමන් කැළණියත් වැඳ පුදා ගෙන යන්න ආ කට්ටිය.

ගොඩයා දැක්ක රට යන ගෑනු-පිරිමි එකිනෙකා බදා ගෙන සමු ගන්නවා. ගොඩයා හොඳටම කලබල වෙලා. excite වෙලා. හකුරු- ගම්මිරිස්- ක්‍රීම් ක්‍රැකර්- පැනඩෝල්-සිද්ධාලේප- එන්සාල්- දොදොල්- අළුවා- පුරවපු බෑග් එකයි, ඇඳුම් කැඩුම් පුරවාපු බෑග් එකයි ඇද ගෙන ගොඩයා ටිකට් කවුන්ටරේට ගියා.

මුළු එයාපෝට් එකම සුවඳයි. හරියටම ඒ සුවඳ තමා පුසුඹ මල්ලි ළඟත් තියෙන්නෙ.
ඉස්සර නම් මිනිස්සු රට ගියේ එක්කෝ ශිෂ්‍යත්වෙකට – නැත්නම් වැඩිදුර ඉගෙනීමට. මේ විවෘත ආර්තිකේ හින්ද රට බල්ලට ගිහින්.
නයිලෙක්ස් සාරි ඇඳල දෙපයට බාටා සෙරෙප්පු දාල පිළිවෙළක් නැති හෑන්ඩ් බෑග් කරේ එල්ලා ගත් මැදිවියේ ගෑණුන් ගෙන්ද , සාය හැට්ට ඇඳන් කුඩා අත් ලේන්සු පොඩි වලින් පෝනි ටේල් ගැට ගසා ගත් නෑම්බියන්ගෙන්ද එයාපෝට් එක පිරී තිබුණා. ඒ මැද පෙරදිග යන කට්ටිය.
ගොඩයා කිසි දෙනෙක් දිහා ඔලුව උස්සල බැලුවෙ නෑ. ගොඩයා වරින් වර ටයි ගැටේ චෙක් කලා. වරින් වර ස්ටයිල් එකට ඇවිද්දා. කළිසමේ පිටි පස්ස සාක්කු දෙකට එබූ ලොකු ලෙදර් වොලට් දෙකට පිං සිද්ධ වෙන්ට ගොඩයගෙ පර්සනැල්ටි එක දැන් හොඳයි. ගොඩයා ඉන හරියෙන් බඩ ඉස්සරහට දාගෙන පුක පස්සට දාගෙන හරියටම පුසුඹ මල්ලි ඇවිදින විදියට ඇවිදින්න උත්සාහ කළා.

T ෂර්ට් ඇඳල ලොකු බාච්චු කොට කළිසම් ඇඳල දෙපයට සැන්ඩ්ලස් දා ගත්තු තරුණ ගැටව් මහත් සැහැල්ලුවෙන් හැසිරුනා. උන් නම් මැද පෙරදිග යන උන් නෙවෙයි. මූණු වලින් කියන්න බැරිද ?
ගොඩයට ඔළුව හරවන්න බෑ. කමිසේ උඩ බොත්තමට බෙල්ල හිර වෙලා. මොකද්ද මේ වදේ ? තව පැය කීයක් මෙහෙම ඉන්න වෙයිද ?

මතු සම්බන්ධයි.

 

Posted in Uncategorized | ප්‍රතිචාර 4

රට ගිය ගොඩයාගේ කතාව – 2


” මල්ලී ඉතින් මොකද්ද එහේ කරන රස්සාව ?”
ගොඩයාට පුසුඹ ගහන මල්ලී පෙනෙන්නේ තමන් දිව්‍ය ලෝකයට කැඳවා ගෙන යාමට ආ මාතලී දිව්‍යපුත්‍රයා වාගේය.

” මම එහේ රස්සා දෙකක් කරනවා. මගේ මේන් ජොබ් එක ඇවිල්ල… ඇන්ඩෲ මල්හොලන්ඩ්.. මිනිහ මාර සල්ලිකාරයා. මිනිහ කොම්පණි කීපයක අයිතිකාරයා. දැන් වයසයි. මම තමා එයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි.. මට දරුවෙකුට වාගෙ තමා සලකන්නෙ”
” මොනවද ඉතින් මල්ලිට තියෙන රාජකාරි?” ගොඩයා ගොන් ප්‍රශ්නයක් ඇහුවා.
” දන්නෙ නැද්ද ප්‍රයිවට් සෙකට්‍රි උනාම තියෙන වැඩ. උදෙන්ම එයාගෙ මේල් එක චෙක් කරනව. බිල් ගෙවනව. බැංකුවට යනව. ඊ මේල් චෙක් කරනව. ඒවට උත්තර යවනව. ෆෝන් එකට ආන්සර් කරනව.. තව.. මිනිහට තියෙනව ප්‍රයිවට් ජෙට් එකක්. තව ලක්ෂරි බෝට් එකක්. ඒවගෙ මේන්ටෙනන්ස් … වගේ දේවල්…”

“මිනිහ රට රටවලට ෆ්ලයි කරනව. මාත් එක්ක තමා නිතරම යන්නෙ. බිස්නස් ක්ලාස්.. සතියකට සැරයක් අපි ලොකු හෝටලයකට රෑ කෑමට යනව.”

” මටත් බැරිද ආවොත් ඒ වගේ රස්සාවක් කරන්න?”
පුසුඹ ගහන මල්ලී ගොඩයාගේ කේශාන්තයේ සිට පාදයේ සුළඟිල්ලාන්තය දක්වා බැල්මක් දාල කෝචොක් එකට වගේ හිනා වෙලා මෙහෙම කිව්වා.
” අයියට ඒව කරන්න අඩු තරමෙ අවුරුදු 5 ක් වත් යයි.. අනික ඒ වගේ රස්සාවකට හොඳ පර්සනැලිටි එකක් තියෙන්න ඕන”
ගොඩයට ගොඩාක් දුක හිතුනා. ඔය කියන විදියේ පර්සනැලිටියක් තමා ළඟ නැද්ද කියල හිතුනා. මලලසේකර ශබ්දකෝෂයට අනුව පර්සනැලිටි එක කියන්නේ බාහිර පෙනුම විතරක් නෙවි.

” පුක තමා”.. ගොඩයා තමාටම කියා ගත්තා. හරියටම හරි. පුක තමා පර්සනැලිටි එක කියන්නේ. පුසුඹ මල්ලි ඇවිද්දේ පුක පස්සට දාගෙන. පුකේ මොනව හරි හිර වෙලා වගේ.

ගොඩයා බාත් රූම් එකේ දොර වහගෙන තමා ගේ පස්සා පැත්ත ටිකක් පරීක්සා කළා. අවාසනාවට ගොඩයගේ බාත් රූම් එකේ කණ්ණාඩිය සරුවාංගෙම පෙනෙන ජාතියේ එකක් නෙවි. ගොඩයා රෙදි හෝදන ප්ලාස්ටික් බේසම අනික් පැත්ත හරවලා.. ඒ උඩට නැගලා ආයෙම බැලුවා.
ගොඩයට තිබුණේ ලෑටි පුකක්. හෙවත් පැතලි පස්සා පැත්තක්. ඒත් ගොඩයා කලබල උනේ නැහැ.

Every problem has a solution.

පිටකොටුවට ගිය ගොඩයා මිළදී ගත්තා ලොකු ලෙදර් වොලට් දෙකක්. දා ගත්තා කලිසමේ පස්සා සාක්කු දෙකේ. අම්මට සිරි. ඔය තියෙන්නේ මගේ පර්සනැලිටි එක.
********************************************************
” ඉතින් මල්ලී.. එහේ බඩු එහෙම කොහොමද ?”
” බඩුද ? බඩු වැහි වැහැලා..”
(ගොඩයා ඇහුවේ කන-බොන-අඳින-පළඳින බඩුවල මිළ ගණන්)

” ඉරිදාවක වෙනිස් බීච් එකට ගියොත් පිස්සු හැදෙයි. 90% ක් හෙළුවෙන් ඉන්නේ. කෝකට ගහනවද කියල හිතා ගන්න බෑ. අපි වගේ අයට උන් පැනල දෙන්නේ.. අපිත් ඉතින් ෆෝවර්ඩ් විදියට ඉන්න ඕන”
ගොඩයා හිතුවා අපරාදෙ මූට මල්ලි කිව්වේ කියල. මූ වැලේ වැල් නැතුව ඉන්න මා එක්ක මගුල් කතා කරනව.

පුසුඹ මල්ලී එයාගේ ඩොලර්වල උණුසුම දුප්පත් නෑයින්ට පෙන්නල සුමාන දෙකකට විතර පස්සෙ ආපහු ගියා.

පාදුක්කෙ හාමුදුරුවොම හදා දීපු නැකතට ගොඩයා දකුණු පය ඉස්සරහට තියල කොල්ලුපිටියේ ඇමරිකන් එම්බසිය බලා පිටත් උනා. කිට්-බිට් ගහල.. මගුල් දවසේ ඇන්ද කිට් එක. කිසි දෙයක් වෙලා නෑ ඒකට. වෙනසකට පෙනුනේ පිම්බිච්ච පස්ස පැත්ත විතරයි.

වීසා නිකුත් කළ ඇමරිකන් ජාතිකයා තරුණ පහේ හාදයෙක්. ඌ අහපු ගොඩාක් දේවල් ගොඩයාට තේරුණේ නැහැ. තේරුණා වගේ ගොන් හිනාවක් දාගෙන අහන් හිටියා. සමහර ප්‍රශ්න ඌම අහල ඌම උත්තරත් දෙන ජාතියේ ඒවා. ගොඩයා ලක් කාරයා. කතා බහක් නැතුවම අවුරුදු 5 කට සීල් එක ගහල දුන්නා.

ඌට හතර මහ නිධානය පහල වෙන්න ඕන. කෙළවර බුදුන් දැක නිවන් දකින්න ඕන.

ගොඩයා තනිවම හිනා වෙවී – තනියම කතා කර කර කොල්ලුපිටියේ ඉඳන් බම්බලපිටියට පයින් ගියා. කීප වතාවක් පය පැටලිල වැටෙන්නත් ගියා. වතාවක් ලයිට් කණුවක ඔලුව වදින්නත් ගියා.(පිස්සු මහත්තයෙක්- පාරෙ හිටි උන් එහෙම කියන්න ඇති.)

බස් එකේ කොන්දොස්තර ටිකට් එක දුන්නාම ගොඩයා තැන්ක් යූ කිව්වා. කොන්දා උඩ බිම බැලුවා. ( රට ඉඳල ආපු මහත්තයෙක්- කොන්දා එහෙම හිතන්න ඇති )

ගොඩයා ගෙදරට කිට්ටු වෙන කොටම දැක්කා ගොඩයගේ බිරිඳයි එයාගේ නංගියි මිදුලේ ඉන්නව. ගොඩයා දැක්කා විතරයි දෙන්නම ගේ ඇතුළට ගියා. මොන එකකට රස්සාවකුත් නැති එකෙක් පිළිගන්න පෙර ගමන් යනවද කියල අක්ක-නගාලා හිතන්න ඇති.

පට්ට බැල්ලි.. ජොබ් එක නැති උනා කියලා හොඳටම දැන දැනත් සුමානෙකට විතර පස්සෙ කෝල් කරල අහනව ” ගොඩය අයිය අද නිවාඩුද” කියල.

හිටපියව් .. මම පෙන්නන්නම් මේ ගොඩයා කවුද කියල !

මතු සම්බන්ධයි

Posted in Uncategorized | ප්‍රතිචාර 5