
බොරු කියන අයගේ දත් පණුවො කනවා… කට ගඳ ගහනවා. අන්තිමට අපායේ යනවා.. යයි කියා දුන් අපේ අත්තම්මා කවදාවත් ඉස්කෝලෙකට ගොඩ වී නැත. ඒත් උන්දෑ දැනුම් සාගරයකි. උපහාස- උපහැරණ කතා කීමට දස්සියකි.
මගේ අත්තම්මා ඇතුළු බොහෝ අයගේ අත්තම්මලා බොරුවේ උපතයි.
කැලේ කපටි රජා නරියා යැයි කියා දුන්නේ මගේ අත්තම්මාය. ඒ අර කපුටා සහ කේජු කෑල්ල කතාවේ කපුටාගේ හොටේ තිබුණු කේජු කෑල්ල කපටි කමින් උදුරා ගත්තු නරියෙක් නිසාය. තවත් දිනක ඇල පාරක් අයිනේ හුන් ඉබ්බෙකු අල්ලා ගත් නරියෙක් ඌ කෑමට සැරසුනා.
ඉබ්බා – “ඒයි යාළුවේ.. මගේ කටුව තදයි. ඔහොම කන්න බෑ. අර දිය පාරේ දාල ටිකක් පොඟවල ගත්තා නං…”
නරියා, ඉබ්බා දියට දමා , උගේ එක පාදයක් ඉබි කට්ට මත තබා ගෙන හිටියා.
නරියා – ” දැන් පෙඟිලා ඇද්ද ?”
ඉබ්බා – ” දැන් නම් පෙඟිලා.. ඒත් උඹේ කකුල තියෙන තැන නම් තාම මදි”
නරියා කකුල ටිකක් බුරුල් කලා. ඉබ්බා සුටුස් ගා දිය යටින් පීනා ගොස් පණ බේරා ගත්තා.
ඊයේ නරියා කපටියෙක් උනෙත්, අද නරියා මෝඩයෙක් උනෙත් කොහොමද කියා මා ඇසුවේ නෑ. සමහර විට ඒ වෙන නරියෙක් වෙන්න ඇති.
ලංකාවේ සිංහයින් නැත. ඒත් අත්තම්මා කියන්නේ සිංහයාගේ ගර්ජනාවට අලි ඇතුන්ගේ කුම්බස්තලය පුපුරා යන බවය. උන්දෑ මහනුවර බෝගම්බරදී මද්දුම බණ්ඩාරගේ හිස ගසා දැමූ හැටි විස්තර කරන්නේ දෑහින් දුටු ගාණටය.
අත්තම්මලා විතරක් නොවේ අම්මලාද බොරු කියත්. මේ ලෝකෙට බබාලා දෙන්නේ සුරංගනාවියන්ය. මා අහුලා ගෙන ඇත්තේ රෝස කැලෙන්ය. එතකොට තාත්තලාගේ කාර්යභාරය කුමක්ද ?
ඊ ළඟට ඉස්කෝල සම වයසේ මිතුරන්ගෙන් අපි බොරු ඉගෙන ගනිමු. අපේ රංචුවේ සිටි චූලරත්නයා කතා සාගරයකි. සුදු සාරියකින් සැරසී ළමයෙක් වඩා ගෙන සිටින මෝහිණී ඔහු දැක ඇත. රෑ කාලයේ මූසල හඬකින් කෑ ගහන බෝදිලිමා පිරිමියෙකු දුටු විට යකෙකුගේ වේශය ගෙන පිරිමින්ගේ ඇඟට පැන ඇඟ සූරා දමයි. දවල්ට ඌ කටුස්සෙකි.
ඊ ළඟට ඉහල පන්ති වලට ගියාම..
“ලෝකෙන් උතුම් රට ලංකාවයි- සිරි ලංකාවයි..
වවමු.. වවමු.. වවමූ”
ගීතය ලියා ඇත්තේ හිටපු අධ්‍යාපන ඇමැත්තෙක් වූ ඊරියගොල්ල මහතාය. එහෙත් ඊට බොහෝ කලට පෙර අලසකමින් නිදා සිටි සිංහළයන් අවදි කිරීමට ” ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ” යයි කියා ඇසුවේ විජාතිකයෙකි. එසෙම සිංහළත් නොවන ගායිකාවක් ” අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් එන්නා” කියා ගැයුවාය. පිටරටින් බඩු එන කොට අපේ ඩොලර් හිග වේ. ඒ නිසා දැන් තියෙන ඩොලර් හිගයට හේතුව ගෝටාබය නොවේය. ඒ උත්තමයා පන්නා දැමීමට අප ඉක්මණ් උනා වැඩි යයි මට සිතේ.
ඊ ළඟට ඓතිහාසික බොරු…. අප සහල් පිටරට පැටවූවා යයි කිසිම සාක්ෂියක් නැත. එහෙත් අපිම අපේ රට හඳුන්වන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලාය. 1980 මුල හරිය වන තුරු කොටුවේ දුම්රිය ස්තානයට විරුද්ධ පැත්තේ ටිකක් කොටුව පැත්තට වෙන්නට තිබුණු ටකරන් තහඩු වලින් සෑදූ විශාල ගොඩනැගිල්ලක් විය. එහි විශාල ඉංග්‍රීසි අකුරෙන් “THE GRANARY” යයි ලියා තිබුණේය. Granary කියන්නේ ධාන්‍යාගාරය කියන එකයි. දෙවන ලෝක යුද සමයේ ඉංගිරිසි සොල්දාදුවන් සඳයා මෙහි ධාන්‍ය ගොඩ ගසා තිබෙන්නට ඇත. මිලිටරි බාසාවෙන් මෙයට Eastern Granary කියා කියන්නට ඇත. එයම පසු කලෙක පෙරදිග ධාන්‍යාගාරය ලෙසට ඔපමට්ටම් වෙන්න ඇත.
“අප ශ්‍රී ලංකා”… අපේ ජාතික ගීයේද ඇත්තේ බොරු සාගරයකි. “ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ” සියළුම ධාන්‍ය පිටරටින් ගෙන්වයි. ඒ විතරක්යැ.. ගස් යට කුණු වී වැටෙන සියඹලා පවා ඉම්පෝට් කරයි . ඒ විතරක්යැ දැන් කිකිළි බිත්තරෙත් පිට රටින් ගේනවාලු.
ලංකාවේ මිනිසුන් රැවටීමට ඉතා පහසුය. අවශ්‍ය වන්නේ හාමුදුරුනමක් සහ TV හෝ රේඩියෝ චැනල් එකක් පමණි. මාස ගණන් නිට්ටෑවුන්ට රැවටුනු අපි , කැළණි ගඟ දෙබෑ කරගෙන නාග ලෝකයෙන් මතු වූ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්තෙමු. එතැනින් නොනැවතී කාලි අම්මා සාදා දුන් කෝවිඩ් පැණියට රැවටුනෙමු.
ඊ ළඟට අපේ හාමුදුරුවන්ද ඇති තරම් බොරු දෙසා බායි. විශේෂයෙන් උපාසකම්මලා රැවටීමට ඉතා පහසුය. පින්කළාම, පින් රැස් කළාම මතු ආත්මයක විසාකා මහ උපාසිකාව වී , මේළ පළඳනාවක් පැළඳීමට පුළුවන. ඒ මේළ පළඳනාව ඇතෙකුගේ බරට සමානය.
මේ බොරු වලට රැවටී ඇති අපි කොතරම් නිවටුන් වී ඇද්දැයි කියනවා නං… අපි තවමත් ” රාවණා ” නැගිටින තුරු බලා සිටින්නෙමු.
රතු මල් මාලා පැළඳ , තඩි කඩුවක් අමෝරා සිටින බඩතඩි වදකයෙක් දුටු විට සත් හැවිරිදි සාමාන්‍ය පොඩි එකෙක් නම් බිය වී කෑ ගසනු ඇත. අම්මාගේ ඔසරි පට අස්සේ සැඟවෙනු ඇත. එහෙත් 7 හැවිරිදි මද්දුම බණ්ඩාරයන් වදකයා ඉස්සරහට පැන ” මැරෙන හැටි මම පෙන්වමි ” කියූ කතන්දරය විශ්වාස කරන අපි, අම්මිගේ බඩෙන් එළියට ආ විගසම පියවර හතක් ඇවිද පොර ටෝක් එකක් දෙන බෝසත් පැටියා කියූ කතාවද විශ්වාස කරන්නේ බාල කාලයේ සිටම අපේ මොළ ගෙඩි අපවිත්‍ර කරන අපේම අත්තම්මලා නිසාය.