හැපි වැලන්ටයින්ස් ඩේ
අද 2018 පෙබරවාරි 14. මේක ලියන්න පටන් ගන්න කොට වෙලාව උදේ 7.30 යි.එයා උදේ වැඩට යන්න ලෑස්තිය.මට තව වෙලාව තියෙනව. මම යන්නෙ ටිකක් පරක්කු වෙලා.
” අද වැලන්ටයින්ස් ඩේ.. මොනවද ඕන? එළියට යනවද රෑ කෑමට?”
” මට මොනවත් ඕන නෑ. ඉක්මණට එන්න. අපි උයමු”
” ගිය පාර මතකද ?”
අපි පැයකටත් වඩා එහා මෙහාට ගියා වාහනය පාක් කරගන්න තැනක් නැතිව. රෙස්ටොරන්ට්වල එළියෙත් එක්ක පෝළිම. අපි ආපහු ආවා. එන ගමන් ෆ්‍රෙන්ච් බ්‍රේඩ් එකකුයි,ස්පිනැච් ඩිප් එකකුයි ගෙනල්ල නිදහසේ භුක්ති වින්දා.
එයා ගියාට පස්සෙ මම කල්පනා කලා.. මට දැන් 60 යි. එයාට 58 යි. අපිටත් පුළුවන්ද වැලන්ටයින්ස් ඩේ එක සමරන්න.
මේ කෙටි සටහන කියවල ඉවර වෙලා බලන්න උඩින් තියෙන වීඩියෝ එක. කෙතරම් ලොකු වෙනසක්ද එදා මෙදා තුර වෙලා තියෙන්නේ කියල.
අපේ කාලෙ කෙල්ලෙකුගෙන් කැමැත්ත ගන්නවා කියන්නේ යුද්ධයකින් දිනනවා වාගෙ වැඩක්. අද වගෙ ගිහිල්ල කෙළින් කතා කරන සිස්ටම් එකක් තිබුණේ නැහැ. බොහෝ විට යාළුවන්ගේ මාර්ගයෙන්. එදා අද වාගෙ sms/text/facebook තිබුණේ නැහැ.
මට අද වගේ මතකයි මට කෙල්ලෙකුගෙන් “හා” එකක් ලැබුණු දිනය.
එයා නවකතා පොතක් අස්සෙ දාල ලියුමක් දුන්නා, මගේ පපුව ගැහුනා. දකුණු ඇහි බැම නැටුවා. ඇයි කියල කියන්න බැහැ. එදා ගෙදර ගිහින් අම්මට මුහුණ දෙන්න බැරුව සෑහෙන වෙලාවක් හිටියා. මම ලොකු වරදක් කළා වගේ හැඟීමක් දැනුනා.
පොත අස්සෙ තිබුණේ ලියුමක් නොවේ.නිසඳැසක්.එයාට ලස්සනට ලියන්න පුළුවන්, වයසට වඩා මුහුකුරා ගිය ලස්සන අදහස් තිබුණේ.
මම ඉතින් නිසඳැස් ලියන්න දන්න එකක්යැ. “ලොවේ කොයි කාටත් හොරෙන් – ලැගුම් ගන්නද මා.. ඔබේ සිත් යහනේ “ඒ ජනප්‍රිය ගීතයක කොටසක්. මම ඒක ලියල එයාට දුන්නා. එයා ඒකට හිනා වෙලා කවකටු පෙට්ටිය තුළට දාගත්තා.
සතියකින් ආයෙමත් අපි හමු උනා. ඒ නුවර ස්ටේෂන් එකේදි. ඇය ටියුෂන් ක්ලාස් යනව. මම එතකොට 10 පන්තියේ. වයස 15 යි. ඇන්දේ කොට කළිසම. එයත් එක්ක කතා කරද්දී මගේ පිරිමි අවයවය වෙනස් වන බව මට දැනුනා. ඒත් ඒ ඈ සමඟ තනි වෙන්නට ඇත්නම් කියන චේතනාවෙන්වත්; එයාගෙ දණිස්සට උඩින් තියෙන්නෙ මොනවද කියල දැන ගන්න ආසාවෙන්වත් නොවේ. මා දැන් වැඩිහිටියෙක්ය යන සංඥාව මොළයට කාන්දුවීමෙන් ඇති වූ රසායනික ප්‍රතික්‍රියාවක්.
අපි එක ගමේ. අපි හමු උනේ ඉරිදා දහම් පාසළේදී. සතියක් ගතවෙලා ඉරිදා වන තුරු බලන් ඉන්නේ පුදුම ආසාවකින්.
නොවරදවාම දහම් පාසල් එන ශිෂ්‍යාට හිමි වන ත්‍යාගය පිට පිටම දිනා ගත්තේ මමයි.
ඒ කාලේ තිබුනා බියනෙත්‍ර කියල සුවඳ ජාතියක් සහ රෝමියා කියල පුයර ජාතියක්. එයා පාවිච්චි කළේ ඒවා. එයා යන හෑම තැනකම ඒ සුවඳ රැඳිල තිබුනා.
පසු ගිය වසරේ ලංකාවට ගියාම මම මගේ පරණ පොත් කබඩ් එක සුද්ධ කළා. නංගිගෙ දුවට ඕන වෙලා මගේ කබඩ් එක. ඒ නිසා අනවශ්‍ය දේවල් විසි කළා.
රංජිත් රුබේරුගෙ උද්භිද විද්‍යා පොත අස්සෙ තිබිල හතරට නැවූ ලේන්සු පොඩියක් හමු උනා. නංගිගෙ දුව ඒක දැක්කා.
“ඔය මාමගෙ හපන්කම් තමා” එයාගෙ අම්මා කීවා.
මම ලේන්සුව නැහැයට ලං කලා. මට දැන ගන්න ඕන උනේ අර රෝමියා සුවඳ තාම තියෙනවද කියල .
අර බූරු කෙල්ල ඒකත් දැක්ක.
” ආව්.. ආව්”
දැන් නම් ඒක පුස් ගඳයි.
පෙම්වතුන්ගේ දිනය බටහිර රටවල් වලින් දැන් ලංකාවටත් බෝ වෙලා. ඒක මේ කොම්පනි කාරයින්ගෙ වැඩක්. බටහිරින් එන බොහෝ දේවල් ලංකාවෙ අය බදා ගන්නේ වැරදි විදියට. පෙම්වතුන්ගේ දිනය; පෙම්වතිය තම පෙම්වතාට තම පිරිසිදු කම – කන්‍යාභාවය පූජා කරන පව්කාර දිනයක් වෙලා ලංකාවේ.
sms/text/e-mail/facebook නොතිබුනු ඒ කාලයේ තරුණ කොලු කෙල්ලන් අතර ඔටොග්‍රාෆ් කියල ජාතියක් හුවමාරු උනා. ඒවායෙ තිබුනේ ලස්සන කියමන්.”ආදරය දෙවෙනි වන්නේ නිර්වාණයට පමණි” ඒ එහෙම එකක මා කියවූ දෙයක්. එවන් ආදරය අද අවතක්සේරු වෙලා.
යුද්දයකින් දිනනවා වගේ ලබා ගත් ආදර කතා බොහොමයක් කෙළවර උනේ විවාහයෙන්.
ඒත් සමහර ඒවා දිවි නසා ගැනීම වලින්. දුම්රිය පාර අසල පදිංචි පරාජිත පෙම්වතුන් දුම්රියට පැනීමෙන්ද;ගංගා අසල ජීවත් වූ පරාජිත පෙම්වතුන් ගඟට පැනීමෙන්ද; රබර් වගා අශ්‍රිතව ජීවත් උනු අය ඇසිඩ් පානය කිරීමෙන්ද , තවත් සමහර අය ගෙල වැලලා ගැනීමෙන්ද තම දුක නිවා ගත්තා.ආදරය සුන්දර දෙයක් මෙන්ම එය බිඳ වැටීමෙන් ඇතිවන විරහව ද විඳ දරා ගත නොහැක්කක්.
එයාලගෙ තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කළ කෙනෙක්. ස්ථාන මාරුවක් ලැබීමෙන් එයාල වෙනත් පළාතකට පදිංචියට ගියා. මාස කීපයක් යන තුරු අපි ලිපි හුවමාරු කර ගත්තා.කාලයාගේ ඇවෑමෙන් එයාට මටත් මට එයාවත් අමතක වී ගියා.
එයා තවම ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවා නම් වයස 59 ක්. සමහර විට ආච්චි අම්මා කෙනෙක්.
තම පෙම්වතාට/පෙම්වතියට, සැමියාට/බිරිඳට අවංක වන්න. ගරු කරන්න. පොඩි වැරැද්දකට හෝ “සොරි” කියන්න. දුසිම ඩොලර් 10 කට විකිණෙන ලාබ රෝස මල් පොකුරකට වඩා ඔහු/ඇය ඒවා අගය කරනවා ඇත.
කියවූ අයටද, කියවා ප්‍රතිචාර දැක් වූ අයටද හොඳ පෙම්වතුන්ගේ දිනයක් වේවා.
අප්ෆා
මම මුකුත් කියන් නෑමයි
පලා බබාට වැලන්ටයින් නැද්ද දනිනෑ.