රට ගිය ගොඩයගෙ කතාව -3


” මම ඉන්නෙ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක. හතර පස් දෙනෙකුට උනත් නවතින්න පුළුවන්. අයිය කිසි දේකට බය වෙන්න එපා. මං සේරම බලා ගන්නම්.. මෙහේ බෙහෙත් ඇඳුම් වගේ දේවල් තමා ටිකක් ගණන්. ඒ නිසා ඇඳුම් ටික විතරක් අරන් ආවොත් ඇති. මොකද මගෙ ඒව අයියට අඳින්නත් බැහැනේ…”

පුසුඹ මල්ලි පිටත් වෙන්න කලින් අවසන් වරටත් හැමෝම ඉඹ ගත්තා. හප්පා උගෙ ළඟ තියෙන පුසුඹ..
********************************************************
“මල්ලී මම ගොඩය.. ගොඩය ගොඩ.. අවුරුදු 5 කටම විසා ගහ ගත්ත. දැන් මොනවද ඉතිරි වැඩ?”
දුරකතනය විසන්ධි උනා.
ගොඩයා ආයෙම පහුවදත් කතා කළා.
” ආ…මල්ලි.. ඊයේ කෝල් එක කට් උනා. මගෙ විසා- පාස් පෝට් සේරම හරි..දැන් ඊ ළඟට මොකද කරන්නේ ..?”

තප්පර ගණනාවක නිහැඬියාවක්.
ගොඩයගෙ කඩ්ඩත් පොලිෂ් නෑ. කිසිම පර්සනැල්ටි එකකුත් නෑ. පුසුඹ මල්ලි හිතන්න ඇති ගොඩයා එම්බසි එකේදී ඇන ගන්න ඇති කියල.
අවසානයේ පුසුඹ මල්ලි කතා කලා.
” හරි අයියා.. මෙහෙම කරමු.. හැමදාටම මගේ ගෙදර ඉන්න බෑ. මටත් තියෙන්න එපායැ privacy එකක්. මම මොකක් හරි රස්සාවක් හොයල දෙන්නම්. පන්සලේ උනත් නවතින්න පුළුවන්. එන දවස කියල මට කෝල් එකක් දෙන්නකෝ”

ගොඩයට පුසුඹ මල්ලිගේ කතා විලාසය ඇල්ලුවේ නෑ.
සරත් චන්ද්‍රසිරි ඉස්සර OTS එකේ වැඩ කළේ. ඌ හිත හොඳ එකා. ගොඩයගේ ගජ යාළුවා.
” මචං මම කීප දවසක් ලොස් ඇන්ජලිස් පන්සලේ *** නන්ද හාමුදුරුවොත් එක්ක කතා කරල තියෙනව. පොර හොඳයි. උඹෙ ඥාතියා පොල්ල තිබ්බොත් කෙලින්ම පලයන් පන්සලට ටැක්සියක් අරන්. ගිහින් ඇත්ත කියපන්… බය වෙන්ට එපා බං අඩෝ මොකද්ද බං ළමිස්සි වගේ. පිරිමියෙක් වෙයං. උඹ ගොඩ ඔය අවුරුදු 5 හරියට ඇද ගත්ත නං. කාර් හේදුවත් සල්ලිනෙ බං”

පුසුඹ මල්ලි ආයෙම දවසක් කතා කලා.
” අයියේ මෙහේ බඩු හැම දේම වගේ ගණන්. එනකොට ගේන්න පුළුවන් සේරම දේ අරන් එන්න. මතක තියා ගන්න. රැවුල හොඳටම කපන්න. රැවුල තියෙන අයට මෙහේ සලකන්නෙ නෑ. අපිරිසිදුයි කියලයි මිනිස්සු හිතන්නෙ.
( ඇයි යකෝ.. ඒබ්‍රහම් ලින්කන්ටත් රැවුලක් තියෙනවනේ.. මම එහෙම කියන්න ගියේ නෑ)
ඒ වගේම ඇමරිකාවට ගොඩ බහින කොට ඔයා ෆුල් සූට් ඇඳල ඉන්න ඕන. first appearance එකෙන් තමයි කෙනෙක් මනින්නෙ. T ෂර්ට් එහෙම ඇඳන් එන්න එපා.
මටත් මෙහේ එච්චරම අල්ලන්නෙ නෑ. මම ලංකාවට ඇවිල්ල බිස්නස් එකක් පටන් ගන්න සල්ලි එකතු කරනවා. නැත්නම් ටිකට් එක මට අරන් එවන්න තිබුණා.
ගොඩයා තමන්ට විකුණන්න පුළුවන් හැම දෙයක්ම වික්කා. අරූ ගැන විශ්වාසයක් තියන්න බැරි නිසා. ඌ මොන හේතුවකට හරි තමන් මග අරින්න හදන බව ගොඩයට තේරුනා. එහෙම උනොත් සුමානයක් දෙකක් මොටෙල් එකකටවත් සෙට් වෙන්න පුළුවන් විදියට සල්ලි ටිකක් ලෑස්ති කර ගත්තා.

ගොඩයා රට යන බව දැන ගෙන ගොඩයගෙ අම්ම වැලපෙන්න පටන් ගත්තා. අම්මලා එහෙමනේ ඉතින්.
” අනේ ඉතින් ආයෙ ලෙඩකටද දුකකටද.. මං කොහොමද උඹව දකින්නේ?”
” අම්මේ අම්මගෙ පුතා යන්නෙ ඩුබායි නෙවේ. ඇමරිකාවේ.” ගොඩයගෙ බිරිඳ නැන්දම්මට කවදාවත් නැති සෙනේහයකින් කතා කලා.
” කටක් ඇරල කියන්න පුළුවන් නේද මගෙ පුතා ඇමරිකාවෙ ඉන්නෙ කියල” ගොඩයගෙ බිරිඳ වැඩි දුරටත් කියා හිටියා. ඒත් ඒ ස්වරයෙ ගැබ් වෙලා තිබුණේ වෙනත් අදහසක්.
” අම්මා මැරුණුදාකට පත්තරේ අවමංගල තීරුවෙ දාන්න පුළුවන් නේද … මෙයට සෝකයට පත් පුතා – වරහන් ඇතුලේ USA කියල”
ආන් ඒවගේ හඬක්. එයා කොහොමටත් රඟපාන්න දස්සි.
ගොඩයා රට යන දවස කිට්ටු උනා. ගොඩයා අහල පහල තියෙන හැම දේවාලෙකටම ගියා. විශේෂයෙන් අළුත්නුවර දේවාලෙට. නිවාඩුවට ආවාම රූපෙට රූපයක් ඔප්පු කරන්න බාර උනා. දකුණු අතේ මැනික් කටුවට පහලින් තිබුනු කළු පාට උපන් ලපේ වැහෙන තරමට පිරිත් නූල්.
ගොඩයා රට යන දවසෙ වෑන් දෙකයි. දෙකම කට කපල පුරවල. එකක ගොඩයගෙ පවුලේ අය. ඒ කියන්නේ in-laws ල. ගොඩයගෙ මාර්ගෙන් ගොඩ යන්න බලන් ඉන්න කට්ටිය. අනික් වාහනේ ගොඩයගෙ අම්මයි-තාත්තයි ගමේ කට්ටියයි.
ත්‍රස්තවාදී කලබල නිසා මග දිගට චෙක් පොයින්ට්.
ගුවන් හමුදා නිලධාරියෙක් ඉස්සෙල්ලම ගිය ගොඩයගෙ වාහනේ නතර කළා.
” කොහෙද මේ කට්ටිය”
“ගොඩයා වහාම තම ලියකියවිලි පෙන්නුවා. ” කී දෙනෙක් යනවද ?”  “මං විතරයි”
මිනිහටත් හිනා. 35 දෙනෙක් විතර එක මිනිහෙකුට ටටා කියන්ට. එහෙම තමා ගම් වල උදවිය. ඔය ගමන්ම දෙහිවල සත්තු වත්තටත් ගිහින්, ගෝල්ෆේස් ගිහින් රැල්ලත් පාගල , යනින් ගමන් කැළණියත් වැඳ පුදා ගෙන යන්න ආ කට්ටිය.

ගොඩයා දැක්ක රට යන ගෑනු-පිරිමි එකිනෙකා බදා ගෙන සමු ගන්නවා. ගොඩයා හොඳටම කලබල වෙලා. excite වෙලා. හකුරු- ගම්මිරිස්- ක්‍රීම් ක්‍රැකර්- පැනඩෝල්-සිද්ධාලේප- එන්සාල්- දොදොල්- අළුවා- පුරවපු බෑග් එකයි, ඇඳුම් කැඩුම් පුරවාපු බෑග් එකයි ඇද ගෙන ගොඩයා ටිකට් කවුන්ටරේට ගියා.

මුළු එයාපෝට් එකම සුවඳයි. හරියටම ඒ සුවඳ තමා පුසුඹ මල්ලි ළඟත් තියෙන්නෙ.
ඉස්සර නම් මිනිස්සු රට ගියේ එක්කෝ ශිෂ්‍යත්වෙකට – නැත්නම් වැඩිදුර ඉගෙනීමට. මේ විවෘත ආර්තිකේ හින්ද රට බල්ලට ගිහින්.
නයිලෙක්ස් සාරි ඇඳල දෙපයට බාටා සෙරෙප්පු දාල පිළිවෙළක් නැති හෑන්ඩ් බෑග් කරේ එල්ලා ගත් මැදිවියේ ගෑණුන් ගෙන්ද , සාය හැට්ට ඇඳන් කුඩා අත් ලේන්සු පොඩි වලින් පෝනි ටේල් ගැට ගසා ගත් නෑම්බියන්ගෙන්ද එයාපෝට් එක පිරී තිබුණා. ඒ මැද පෙරදිග යන කට්ටිය.
ගොඩයා කිසි දෙනෙක් දිහා ඔලුව උස්සල බැලුවෙ නෑ. ගොඩයා වරින් වර ටයි ගැටේ චෙක් කලා. වරින් වර ස්ටයිල් එකට ඇවිද්දා. කළිසමේ පිටි පස්ස සාක්කු දෙකට එබූ ලොකු ලෙදර් වොලට් දෙකට පිං සිද්ධ වෙන්ට ගොඩයගෙ පර්සනැල්ටි එක දැන් හොඳයි. ගොඩයා ඉන හරියෙන් බඩ ඉස්සරහට දාගෙන පුක පස්සට දාගෙන හරියටම පුසුඹ මල්ලි ඇවිදින විදියට ඇවිදින්න උත්සාහ කළා.

T ෂර්ට් ඇඳල ලොකු බාච්චු කොට කළිසම් ඇඳල දෙපයට සැන්ඩ්ලස් දා ගත්තු තරුණ ගැටව් මහත් සැහැල්ලුවෙන් හැසිරුනා. උන් නම් මැද පෙරදිග යන උන් නෙවෙයි. මූණු වලින් කියන්න බැරිද ?
ගොඩයට ඔළුව හරවන්න බෑ. කමිසේ උඩ බොත්තමට බෙල්ල හිර වෙලා. මොකද්ද මේ වදේ ? තව පැය කීයක් මෙහෙම ඉන්න වෙයිද ?

මතු සම්බන්ධයි.

 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to රට ගිය ගොඩයගෙ කතාව -3

  1. sadun kumara පවසයි:

    අවුරුදු 05 කට ඇමරිකාවට විසා දෙන්ඩ පිස්සෙක්ද අම්බසියේ හිටියේ…
    කතාව ලස්සනයි..

  2. නිර්නාමික පවසයි:

    ඊලඟ කොටසත් ඉක්මනට දාන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )