රට ගිය ගොඩයාගේ කතාව.


ගොඩයා රට ගියේය. රට කීවාට මේ හැම කොල්ලයි-බල්ලයිම යන දෝහා-කටාර් නෙවි. ඇමරිකාවටය. ඒ 1997 වසරේය.

මෙතෙක් කතාව…

ගොඩයාගේ දුර ඥාතියෙක් ඇමරිකාවේ පදිංචිවී සිටියේය. දුර කීවාට එතරම් දුර නොව ගොඩයාගේ බිරිඳගේ නංගි බැඳපු එක්කෙනාය.
ගොඩයාට රට යන ආසාව ඇති උනේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා කාලයේමය. ඒත් නොයෙකුත් අමාරුකම් නිසා ඒ ආසාව පස්සා පැත්තේ ගසා ගැනීමට සිදුවිය.

පස්සා පැත්තේ ගසා ගත් රට යන ආසාව යළිත් කැසිල්ලක් සේ මතුව ආයේ .. ගොඩයාගේ බාරියාවගේ නංගිගේ එක්කෙනාගේ සවුබාග්ගිය දුටු විටය.
” හප්පා.. උගෙ ළඟ තියෙන පුසුඹ “

ගොඩයාට ඔහුගේ ඇති නෑදෑකම කුමක්දැයි තෝරා ගත නොහැකි වූ අප්‍රභංශයකි. ඔහු ගොඩයාට සොහොයුරෙක් විය නොහැකිය. මස්සිනාද විය නොහැකිය. ගොඩයාගේ බිරිඳගේ නංගී ගොඩයාගේ නෑනාය. නෑනා ගේ එක්කෙනා මස්සිනා වුවද , යම් හෙයකින් ගොඩයාගේම එක කුස උපන් මල්ලී ගොඩයාගේ නෑනා බැන්දා නම් ඔහුට මස්සිනා කිව නොහැකි නිසාය. කෙසේ වෙතත් ඔහු ගොඩයාට වඩා වයසින් අඩු නිසා ” ඔන්න ඔහෙ මල්ලි කියල දානව” ගොඩයා තීරණය කළේය. ගොඩයා එතරම් උස මහත පෙනුමැති එකෙක් නොවීය. උස යාන්තමට අඩි 5 කුත් අඟල් 5 කි. ජෙල් ගා බම්ප් එක තැබූ දාට පහයි හයකි.
ශරීර ප්‍රමාණයෙන් ගොඩයාට වඩා අඩු එවුන් පමණක් ගොඩයාගේ හොඳම මිතුරන් විය. එහෙත් ගොඩයාට වඩා උසින් මහතින් වැඩි අය කෙරෙහි ගොඩයා තුළ වූයේ ඉරිසියාවකි. ක්‍රෝධයකි.

පුසුඹ ගහන අර මල්ලී ගොඩයාට වඩා මිටි නිසා .. අනෙහ් උගෙ පම්පෝරිය.. මල්ලී නිතර කතා කලේ ඩොලර් වලිනි. හරියටම මුළු ඇමරිකාවම උගේ වගේය. ඇමරිකාව හොයා ගත්තේත් ඌ වගේය. ඕනෑම සබ්ජෙක්ට් එකක් ගැන කතා කිරීමට ඌ දනී. ලාබ කඩ සාප්පු වලට ඌ යන්නේ නැත.ලාබ හෝටල් වලින් ඌ කන්නේ නැත

පුසුඹ ගහන මල්ලී ගොඩයාගේ නෑනාත් සමඟ විවා ගිවිස ගත් පසු දෙවරක්ම ලංකාවට ආවේය. ඒ දෙපාරටම ගෙදර කට්ටිය හැමෝම සමඟ ගොඩයාද කටුනායක ගුවන් තොටුපළට ගියේය.

ක්‍රීම් පාට සූට් එකක්.. ඔව්.. ඔව්.. කළිසමයි.. කෝට් එකයි ඇඳල ඊටම ගැලපෙන රතු ටයි එකත් දාල අව් කණ්ණාඩිය නළලට දාගෙන රෝද දැමූ තරමක් විශාල කළු පාට බෑගයක් තල්ලු කරගෙන තවත් ඒ සැම්පලේම බෑගයක් කාට් එකක දාගෙන පුසුඹ මල්ලී මගී දොරටුවෙන් එලියට ආවේ ශාරුක් ඛාන් වාගේය. ගොඩයාට ඉරිසියාවක් මිශ්‍ර ගෞරවයක් මුලින් ඇතිවිය.
ආඩම්බරයෙන් ඇවිද්ද පුසුඹ මල්ලී යාර දහයක් විතර ඈතින් බිම බලා කාටත් පොදු හිනාවක් දැම්මේය.
ගොඩයාගේ බිරිඳ ගොඩයාගේ වැළමිට කෙනිත්තුවේ ආදරයට නොව “ඔන්න මිනිස්සු” කියනා බැල්මෙන්ය.

” අපිටත් බැරිද ඒ පැත්ත බලා ගෙන කියා ගෙන යන්න එන්න” ගොඩයා නිකම් ලිස්සා ගෙන යන විදියට පුසුඹ මල්ලී ගෙන් ඇසුවේය.

” අයිය යන්න කෙළින්ම එම්බසියට. ටුවරිස්ට් විසා හදා ගන්න.. ඉතිරි ඒව මං බලා ගන්න. Not a big deal .. කොහොමද අයියගෙ කඩ්ඩ පොලිෂ්ද ?”
ගොඩයාට ඔහු අල්ලා ඉඹ ගන්නට සිතුනි.
ගොඩයා වැඩ කළේ පුද්ගලික බැංකුවකය. කවුරු හරි බැලන්ස් එක ඉන්ග්‍රීසියෙන් ඇහුවොත් හරියටම උත්තරේ ඉන්ග්‍රීසියෙන් දෙන්ට ගොඩයා දනී. ඊට අමතරව මොන ඉන්ග්‍රීසිද ? උදේට ගුඩ් මෝනින්ග් කියන්ටද . හවස OT කරන උන්ට ගුඩ් නයිට් කියල එළියට එන්ටද ගොඩයා දනී. ඒ මදෑ.

මේ කාලය වන විට ඉහ ගෙන කන වල පිහ ගෙන කන්ට ගොහින් ජොබ් එකට කෙළවා ගෙන හිටි ගොඩයා හිටියේ හොඳටම හිඳිලාය. හතේ හත වැදිලාය. ගොඩයා එක එක විදියේ බිස්නස් කළේය. රෙදි බිස්නස් කළේය.. ඇක්සයිස් පොත් බිස්නස් කළේය. ත්‍රී වීලර් එකක් එලෙව්වේය. එකකින් වත් වැඩක් නැත.
ගොඩයා වැඩ කළ බැංකුවේ ලොක්කා ප්‍රොමෝෂන් වලින් ඉහළ ගිය මැනේජරයෙකි. ලෝකෝත්තරයෙකි. අංකූරෙකි. ඔහු මාටියා ගැසුවේය. OD පාස් කර දී කස්ටමර්ලාගෙන් ජරාව ගත්තේය. ආණ්ඩුවට යන්ට ඕනෑ stamp duty ආණ්ඩුවට නොයවා ඔහුගේ නැන්දම්මාගේ ගිණුමකට බැර කර ගත්තේය.
every debit has a credit.

stamp duty ඩෙබිට් එක වූ අතර නැන්දම්මා ක්‍රෙඩිට් එක විය. මෙය ගොඩයා දැන ගත්තේය.
” ගණන් ගන්න එපා. මේක මෙ කල්පෙ අහු වෙන්නෙ නෑ. මම තමුසෙටත් සලකන්නං කෝ…” ඉඳ හිට ගොඩයාගේ ගිණුමටද ටිකක් බැර විය. බොස් දැන් ගොඩයාගේ මස්සිනා වගේය.
every action has a reaction කළමනාකරු වේල පහින්ම රටින් පැන්නේය. කටු ලෙව කෑ ගොඩයා මාට්ටු විය. misappropriation of funds. ගොඩයාගේ ජොබ් එකට කෙළ උනේ එහෙමය.

හෝමාගම – පාදුක්ක පැත්තේ හාමුදුරු නමක් කේන්දරය බලා හරියට කිරි ගහට මෝල් ගහෙන් අනිනවා වාගේ ටක්කෙටම සාස්තර කියන බවත්. අපල උපද්‍රව – හදි හූනියම්- මල් පැන්නුම් – නූල් පැන්නුම් ඇතොත් ඒවාත් දුරින්බූත කර සෙත් සාන්ති කරනා බව දැන ගත් ගොඩයා බාරියාවත් සමඟ එහි ගියේය. වැඩියෙන්ම ගොඩයාට ඕනෑ කළේ රට යන සළකුනු තම කේන්දරයේ ඇද්දැයි බලා ගැනීමටය.
” මහත්තයා .. දකුණු අත පොඩ්ඩක් බලමු.. ”
” හප්පා..මේ තියෙන්නේ රට යන රේකාව. ආයෙ දෙකක් නෑ.. තව මාස දෙකකින් මහත්තය සත් සමුදුරෙන් එහා”
( අම්මට සිරි.. මේ යකා කොහොමද ඒක ටක්කෙටම කීවේ?)

පූජා වට්ටියට තැබූ රුපියල් සීයට තව සීයක් එකතු කළ ගොඩයා වරුවක් විතර බුදුන් දහම් සඟුන් හා හතවරවරම් දෙවිවරුන් වැඳ පුදා ගත්තේය.

මතු සම්භන්ධයි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to රට ගිය ගොඩයාගේ කතාව.

  1. Menaka Niroshan පවසයි:

    රට කීවාට මේ හැම කොල්ලයි-බල්ලයිම යන දෝහා-කටාර් නෙවි… Why????

    • Nihal Gurusinghe පවසයි:

      “ඉස්සර නම් මිනිස්සු රට ගියේ එක්කෝ ශිෂ්‍යත්වෙකට – නැත්නම් වැඩිදුර ඉගෙනීමට. මේ විවෘත ආර්තිකේ හින්ද රට බල්ලට ගිහින්.
      නයිලෙක්ස් සාරි ඇඳල දෙපයට බාටා සෙරෙප්පු දාල පිළිවෙළක් නැති හෑන්ඩ් බෑග් කරේ එල්ලා ගත් මැදිවියේ ගෑණුන් ගෙන්ද , සාය හැට්ට ඇඳන් කුඩා අත් ලේන්සු පොඩි වලින් පෝනි ටේල් ගැට ගසා ගත් නෑම්බියන්ගෙන්ද එයාපෝට් එක පිරී තිබුණා. ඒ මැද පෙරදිග යන කට්ටිය.”
      මේක (ගොඩයා ඇතුළු) බටහිර රටවලට , ඕස්ට්‍රේලියාවට යන ගොඩක් අයගේ මානසිකත්වය. අහංකාර උන්මාදය

  2. rangi පවසයි:

    ඔබේ කතාවක් කියවන්න බලන් හිටියේ. කලින් කතාවේ නම් එයිට වඩා හොඳ අවසානයක් දෙන්න තිබුනා සියළු ජනයාගේ හුදී ජන සංවේගය වෙනුවෙන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )