දෝන කුසුමාවතී – අවසන් කොටස


” ගල්වැටේ අන්නාසි ගෙඩියක් තිබුණා. පැහිල.මං දානෙට අන්නාසි වෑංජනයක් හදන්නයි හිතන් හිටියේ. කවුදෝ කඩා ගෙන ගිහින්. නැත්නම් සතෙක් කාල”
” මමයි ඒක කෑවෙ අම්මේ..”
” මං මේ උඹෙන් අහන්නමයි හිටියේ. අසනීපයක්ද ? මූණත් පිපිහලු වෙලා”
” ඔව් අම්මේ. ලෙඩ හැදුනෙ නෑ මාස තුනකින්”
” ඒ කිව්වේ ….?”
” බබෙක් .. මං හිතන්නේ..”

” අනේ අපේ පවුලට වෙන්ට යන නස්පැත්තියක්. පාරක තොටක යන්ට බෑ… මං මේව සේරම දාල යනව පදවියේ. පුතා ගාවට.. උඹ ඕන මගුලක් නටා ගනින්”
” මට මේකෙන් ගැලවෙන විදියක් කියන්න අම්මේ..”
” කාගෙද ළමය. අර ලයනල් කියන එකාගෙද ?”
” මගෙන් අහන්න එපා අම්මේ”

කුසුමාවතී ලයනල් හොයා ගෙන ඩිපෝවට ගියා.
” ඇයි මෙහෙ ආවෙ?”
” මං වෙන කොහාට යන්නද ? ගෙදරට එන්නද කියන්නේ?”
” මොකද වෙලා තියෙන්නෙ?”
” මට ලෙඩ හැදුනේ නෑ මාස තුනකින්.. මං හිතන්නේ බබෙක්”
” යමු මං දන්න දොස්තර කෙනෙක් ඉන්නවා..”
” ළඟ පාතක නම් බැහැ. ගමට ආරංචි වෙයි”
” නෑ අලව්වේ. පොල්ගහවෙලින් බැහැල යන්න ඕන.. මිනිහ මාස පහේ- හයේ ඒවත් අරන් දානවා”

එක් සෙනසුරාදාවක ලයනල් කුසුමාවතිත් එක්ක අලව්වෙ ගියා. සිරිමලුත් ඒ එක්ක ගියා. සිරිමල් හිතුවේ වෙනද වගේ බයිස්කෝප් බලන්න යනව කියලයි.

ලයනල් වෙනද නම් සිරිමල් එක්ක වචනයක් දෙකක් කතා කරනව. අද නම් එහෙමවත් නෑ. අලව්වෙ , රසායනාගාරය කියල ගහල තිබුණු බෙහෙත් සාප්පුවේ ඉදිරිපස රාක්ක වල අරිෂ්ට බෝතල් පුරවල තිබුණ. ඒත් පෙනෙන්න කිසි කෙනෙක් නෑ.
අපේ හඬ අසා අත් කොට කමිසයක් සහ සරමක් ඇඳ කෝපි ඇටයක් මෙන් හිටින්ට කෙස්ස පීරූ මැදිවියේ අයෙක් ඉස්සරහට ආවා. ඔහු තමා කුසුමාවතීගෙ ජීවකයා.
සිරිමල් සාලයේ පුටුවක වාඩි උනා. ලයනල් කුසුමාවතී සමඟ ඇතුලේ කාමරයකට ගියා.
ඔහොම පැය බාගයක් විතර ගෙවෙන්න ඇති. ලයනල් ඇවිත් සිරිමල්ට කිට්ටුව පුටුවක වාඩි උනා. කතා බතා නෑ. බලා ගත්තු අතේ බලා ගෙන හිටියා. තවත් ටික වෙලාවකින් කුසුමාවතී එළියට ඇවිත්,
” අඟල් හතක විතර බටයක් ඇතුල් කලා ” කියල ලයනල්ට කීවා. සිරිමල්ට ඒ වචනවල තේරුමක් දන්නෙ නෑ.
ලයනල් මුදල් නෝට්ටු කීපයක් ජීවකයට දුන්නා.

තවත් මාස කීපයක් ගත උනා. කුසුමාවතිගෙ කුස ඉදිරියට නෙරා ආවා.
” ඉපදෙන්න වාසනාව තියෙන එකා ගහේ ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ.. ඕව මෙලොවදීම සහගහන පවුකාර වැඩ” බේබිනෝනා කිව්වා.

” තාත්තේ.. අම්මගේ බඩේ මල්ලි බබෙක් හරි නංගි බබෙක් හරි ඉන්නවා. අම්මගෙ බඩ ලොකුයි. තාත්තට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්න” සිරිමල් වචන ගලපල තව මොන මොනවදෝ ලියල විල්සන්ට තැපැල් කළා.

අපරාදෙ කියන්න බෑ. 25 පඩි අරගෙන 26 දා උදෙන්ම විල්සන් ගෙදර ආවා. විල්සන් හොඳටම දන්නවා ඇගේ කුසේ ඉන්නේ තමන්ගෙ ලෙයින් හැදුනු දරුවෙක් නොවන වග. කලක් මහණදම් පිරූ නිසා සමහර විට විල්සන්ට හිතෙන්න ඇති එවන් තත්වයක ඉන්නා කෙනෙකුට අවශ්‍ය කරන මානසික සුවය. සමහර විට කුසුමාවතීට රිද්දන්න පුළුවන් හොඳම විදියත් මේක බව විල්සන් සිතන්නට ඇත.

එක්තරා දවසක මෙතෙක් යාන්තමට දඟලමින් කුස තුළ උන් අවාසනාවන්තයාගේ දැඟලිල්ල නැතුව ගියා. එදින රෑ…
” අම්මේ…හ්.. මගේ ඇඟ සීතල කරනවා. මට බයයි අම්මේ.. මට මොනව හරි උනොත් සිරිමල් බලා ගන්න.. අම්මේ මට අමාරුයි..” කුසුමාවතී විකාරයෙන් දෙඩෙව්වා.

කුලී වාහනයක් ගෙනැත් කුසුමාවතී රෝහලට ගෙන ගියා.

දොස්තර මහතා කීවේ දරුවා කුස තුල මිය ගොස් ඇති බවත්, ප්‍රසූතියට නියමිත දින ගණන් හරි නිසාත් ස්වාභාවිකව ” මළකුණ” ප්‍රසූත වන්නට ඉඩ හැරිය යුතුය කියාය.

සියල්ල සිදුවන්නේ පතා ගෙන-කියා ගෙන ආ හැටියටය. ප්‍රසූතියේදී සිදුවූ අධික රුධිර වහණය නිසා දෝන කුසුමාවතී නැවත ඇස් ඇරියේ නැත. ප්‍රසව මාර්ගයේ සිර වූ දරුවාගේ මළකුණ කැබලි වශයෙන් එළියට ගැණිනි.
“වහාම එන්න” ටැලිග්‍රෑමය දුටු විගසම ආ විල්සන් කෙළින්ම ගියේ රෝහලටයි.
” මට දරුවා බලන්න ඕන”
” එතන දරුවෙක් නෑ. මැරිලයි හම්බ උනේ. කෑලි කෑලි එළියට ගත්තේ.. මෙලාට වලදාලත් ඇති.” ඇටෙන්ඩන් කෙනෙක් කියා හිටියා.

ගම්වල මිනිස්සු කෝන්තර පැසව පැසවා තියා ගන්නේ නැත. විල්සන්, සිරිමල් සනසන්න මහන්සි ගත්තා. ගමේ මිනිස්සු පුවක්ගස් කැපුවා. ගොක් කොළ කැපුවා. ගෙදරට කෑම බීම හදා ගෙන ආවා.
සොහොන් පිටිය තිබුණේ මහ පාර කිට්ටුව පල්ලමක. ” කුසුමා රණසිංහ මහත්මියට නිවන් සැප ලැබේවා” බැනරය සහිත පුවක් ගස් හා ගොක් කොළින් සොහොන සැරසුනා.
” ඩිපෝව” කියල බෝඩ් එකක් ගහපු ලංගම බස් එකක් ඇවිත් සොහොනට යන පාර අයිනේ නතර කළා. එහි සිටියේ බස් එකේ ඩ්‍රයිවර් සහ ලයනල් විතරයි. ලයනල්ගේ මූණ රතු වෙලා තිබුනා.

” උඹ හිතා මතා කළ දෙයක්යැ” මිතුරා ලයනල් සනසවන්න හැදුවා.
ලවුස්පීකර් නොදැම්මත් හාමුදුරුවරුන් පස් නමක් විසින් සජ්ජායනා කල ” යතාවාරි මහා පූරා” ගායනා ශබ්දය සොහොන් පිටියේ කන්ද නැග ගෙන ලංගම බසය තුලට ගමන් කළා. ලයනල් හිස බදා ගෙන වැලපුනා.

මළානික හිරු අවරට යද්දී සොහොන්පළේ ඉතිරි වුනේ කීප දෙනෙක් විතරයි. ලයනල් වලට පස් දැම්මා. බක්කර කඩේ රත්නපාලත් එහෙම කළා. විල්සනුත් වලට පස් දමමින් ගාතාවක් වගේ දෙයක් තාලෙට කීවා. වලට පස් දමා වල ගොඩ කල බාලන් උදළු තලයෙන් පස් ගොඩැල්ලට තඩි බා “පට්ට වේසි” කියා කීවා.
විල්සන් කොත් කරන ලද පස් ගොඩ මත ඉටි පන්දමක් දැල්වීමට උත්සාහ කළත් සුළඟ එය වැලැක්වූවා. ලයනල් දෑතින් සුළං ආවරණය කළා. බක්කර කඩේ රත්නපාල පස් ගොඩැල්ලේ කුඩා වලක් සාදා ඉටි පන්දම එහි රුවා ගිනිකූරක් ගැසුවා.

ලයනල් රැගත් “ඩිපෝව” බෝඩ් එක ගැසූ බස් රතය නියුට්‍රල් එකේම මාතලේ පැත්තට ඇදී ගියා. තමාට කසාදයක් කර ගැනීමට තිබුණු එකම බාදකය ඉවත්වීම නිසා හිත සැහැල්ලු කර ගත් රත්නපාල ” සංසාරෙ හැටි ඔහොම තමයි” කියා සොහොන් පිටියෙන් ඉවතට යන රංචුවට එක් වුනා. ඒ රංචුවේ කෙලින්ම ඉස්සරහ බලා ගෙන හැඟීමක් රහිතව ගමන් කළ විල්සනුත් හිටියා.
සිරිමල් දිව ගොස් විල්සන්ගේ සුළඟිල්ල අල්ලා ගත්තා. විල්සන් ඒ අත අත හැරියේ නැහැ.

සමාප්තයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

12 Responses to දෝන කුසුමාවතී – අවසන් කොටස

  1. Viraja Leelaratna පවසයි:

    A prominent film director wants to contact you to make a film. Please let me know your contacts. Telephone, email or facebook.

  2. නිර්නාමික පවසයි:

    කමෙන්ට් කලේ නැති උනාට මුල ඉඳලාම කතාව කියෙව්වා. ලස්සනයි.

  3. Nihal Gurusinghe පවසයි:

    අන්තර් ජාලයේ තිබී හමුවූ, මව වේසියක් නිසා සිංහළ අවුරුදු දා තම මවට වැඳීමට බැහැයි කිවූ නංගීට අයියා කෙනෙක් කී අපූරු කවිය සහ මීට කලකට ඉහත දී මා බැලූ Abused නම් ඉංග්‍රීසි චිත්‍රපටය සහ මා උපන් ගමේ සමහර සිද්ධි වල මිශ්‍රණයක් තමා දෝන කුසුමාවතී. කියවූ සහ ප්‍රතිචාර කල සැමට මාගේ ස්තූතිය.

  4. පැට් ටා පවසයි:

    නිහාල් අයියා කතාව හොදයි…. කලිං කමෙන්ට් එකකදි කිව්වා වගේ කතාව එකපාරම වේගවත් වෙලා ඉවර උනා ඉක්මන් වැඩී වගේ.. ලියවිල්ල සුපිරියි. අනිත් පෝස්ට් එකත් හැකි ඉක්මනින් දාන්න.

  5. marayagehorawa පවසයි:

    කමෙන්ට් කලේ නැති උනාට මුල ඉඳලාම කතා පෙල බලාගෙන හිටියේ… මුල ඉදලා හිමිහිට ගලාගෙන ආව කතාව එක කොටසින් අවසන් වෙච්චි හැටි ටිකක් ඔරොත්තු දෙන්නේ නැහැ නැහැ වගේ…
    කොහොම උනත් කථාව උපරිම හොඳින් තිබුනා…
    කොහොමත් නිහාල් අයියගේ කතාවල අමුතුම ජීවයක් තියෙනවා…

  6. දිල්ෂාන් පවසයි:

    අවසානය නම් ටිකක් දුක්බරයි නේද ?? අලුත් කතාවක් ලියන්න මහත්මයා…..

  7. හිතුවට වඩා ඉක්මනින් නොහිතපු විදිහට ඉවර උනා

  8. නිර්නාමික පවසයි:

    ලස්සන කතාව මුල ඉදන් ඔක්කොම කියෙවුවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )