දෝන කුසුමාවතී – නමවන කොටස


“ඩිෂුම්….ඩිෂුම්..”
සිරිමල් තනිවම කාටදෝ පහර දුන්නා. බිම ඇද වැටුනා. ආයෙම නැගිට පහර එල්ල කළා. කෙසෙල් පැලයකට පා පහරක් එල්ල කළා.
” ඩිෂුම්… ඩිෂුම්..”
බේබිනෝනා තම මුණුබුරාගේ සුරතල් විලාශයන් බලා ගෙන හිටියා.
“මොකද පුතේ කරන්නේ?”
” ආච්චි අම්මේ මම තමා ගාමිණී පොන්සේකා..”
“කවුරූ…?”
“අපි බලපු පිචර් එකේ ගාමිණී තනියම හතර දෙනෙකුට ගහනවා… දුවන්ට… ඩිෂුම්… ඩිෂුම්”
“මොන පිචැර් එකේද?”
“අම්මයි,මමයි ලයනල් අන්කලුයි ගිය සතියේ බලපු එක”
“ඩිෂුම්”
එහෙනම් මේ ගමේ උන් කියන කතාව හරි. කුසුමාවතී සිනමාහලකට ඇතුළු වෙනවා ගමේ එකෙක් දැකල තියෙනවා.
” ආච්චි අම්මේ… ඒ අන්කල් හරී හොඳයි”
********************************************************
ගේ ළඟ හෝල්ට් එකේ බස් එකක් නැවැත්තුවා.
“ආං තාත්තා එනවා”
සිරිමල් ගෙට දිව ගියා.
විල්සන් මේ ගෙදර එන්නේ අවුරුද්දකට විතර පස්සෙ. කාඩ්බෝඩ් පෙට්ටියක් පිරෙන්නම අඹ . කරත්ත කොළොම්බන්.
“අඹ ඉදෙනකන් හිටියද ගෙවල් දොරවල් මතක් වෙන්න ?” කුසුමාවතී මවා ගත්තු සිනාවකින් ඇහුවා. විල්සන් රත්තරං දත යාන්තමට පෙන්නලා හිනා උනා.
” ආ.. මේ සල්ලි ටික අරන් තියන්න වියදමට”
” අම්මේ.. අපි පෘට් සැලඩ් හදමු…”
කුසුමාවති විගැහින් සිරිමල්ගෙ කට වැහුවා.
තවත් රාත්‍රියක් උදා උනා. සිරිමල් ජනේලය ළඟ සුපුරුදු ඇඳේ. අම්මයි-තාත්තයි එහා ඇඳේ. අද සිරිමල්ට සතුටුයි. හෙට ඉස්කෝළෙ ගිහින් කියන්න ගොඩක් දේ තියෙනව. තාත්ත ආවා. අඹ ගෙනාවා. ඒත් සිරිමල්ට නින්ද නම් ආවේ නැහැ. අදත් කවුරුහරි ජනේලෙට තට්ටු කරයිද ? අම්ම දොර ඇරගෙන එළියට යයිද ? තාත්ත , ගාමිණී පොන්සේක වගේ ජනේලෙට තට්ටු කල අයත් එක්ක පයිට් කරයිද ? ඒ වගේ සිතිවිලි ගොඩාරියක්.
කාමරේ ලාම්පුව නිවල තිබුණට කොහෙන්දෝ ආ එලියක් කාමරේට වැටිල තිබුණ.
“නිකම් ඉන්න… ළමයත් තාම නිදි නෑ.” රහසෙන් නමුත් සැරෙන් අම්මා කී දේවල් සිරිමල්ට හොඳට ඇහුනා.
සිරිමල් හිස් කෙලින් කරල ඒ දිහාව බැලුවා. තාත්තා අම්මගේ අතක් වැරයෙන් අල්ලා ගෙන පොර බදන බවක් සිරිමල් දැක්කා.
සිරිමල්ට කෑ ගැස්සුනා. ” අම්…මේ…හ්”
” අම්මේ.. මේ මිනිහ මං මරන්න හදනව..” කුසුමාවතී අල්ලපු කාමරේට ඇහෙන්ට කෑ ගැහුවා.
” තිරිසන් වැඩ කරනවා. පොඩි එකත් ඉස්සරහ පිට.. පුතේ උඹ මේ කාමරේට වරෙන්..”
සිරිමල් කොට්ටෙත් ඇදගෙනම ආච්චි අම්මා සහ සීයා ඉන්න අල්ලපු කාමරේට දිව්වා.
සිරිමල් අවදි වෙන විට අම්මත් තාත්තත් අවදි වෙලා. කවුරුවත් ඉකුත් දා රෑ සිදු වූ දේවල් ගැන කිසිවක් කතා කළේ නෑ.
” පුතේ.. තාත්තගෙන් අහන්න.. කවදද යන්නෙ කියල”
පුතා තාත්තගෙන් ඇහුවා.
“ඒක තමා.. මං එනවට කැමති නෑනෙ. ආවම කවදද යන්නෙ අහනවා. එන්නැති කොට වැඩ කරන තැනට හොයන් එනවා. පුදුම කරුමයක් මේක”
විල්සන් තවත් දවස් දෙකක් ඉඳල ආපහු ගියා. ආයෙ කවද්ද එන්නෙ කියලා කවුරුවත් ඇහුවේ නැහැ. අඩු තරමින් සිරිමල්වත්.

********************************************************
” අම්මේ මං කොහොමද මේ ගෙදරට ආවෙ ?” දවසක්දා සිරිමල් ඇහූ ප්‍රශ්නෙට ඈ කීවේ, අපිට පුතා සුරංගනාවියක් ගෙනත් දුන්නා කියලයි.
දෙවි කෙනෙක් ගෙනත් දුන්නා. රෝස කැලෙන් ඇහින්දා වගේ කතා පිළිගන්න සිරිමල් තව දුරටත් පොඩි එකෙක් නොවේ. ගමේ ඉස්කෝලෙ 5 වැනි පන්තියේ. වයස අවුරුදු 10 යි. එකම පන්තියේ පේල් වෙවී හිටපු ඇට්ටර කොල්ලො කියල දුන්නෙ පොඩි ළමයි එන්නෙ අම්මගෙ බඩ අස්සෙන් කියලයි. ඒත් බඩ ඇතුළට යන විදිය ගැන පැහැදිලි අදහසක් තවම ලැබුණේ නැහැ.
ඒ කොයි හැටි වෙතත් තම මව වෙනත් පිරිමි සමඟ බයිස්කෝප් බලන්න යන එක නම් වැරදි වැඩක් බව සිරිමල්ට තේරුම් ගොස් හමාරයි. ඒත් තාත්තා ගෙදර එන්නෙත් නැහැ. අම්මා තරහ කර ගෙනත් බැහැ.
දවසක් අම්මයි අන්කලුයි එක්ක සිරිමල් බයිස්කෝප් එකක් බලන්න ගියා. පස්සෙ කෑම කන්න වෙනත් හෝටලයකට ගියා. එතන අන්කල්ගෙ තවත් යාළුවො කීප දෙනෙක් හිටියා සෝඩා දාල සැර බීම බිබී.
” අම්මේ මට රුපියලක් දෙන්න. මට ගෙදර යන්න ඕන”
කුසුමාවතී ඇස් උඩ තියා ගත්තා. අම්මා ගෙන් රුපියලක් උදුරා ගත්තු සිරිමල් තනිවම බස් එකේ නැගල ගෙදර ආවා.
එදා රෑත් කවුදෝ ජනේලෙට තට්ටු කළා. වෙලාව කීයද කියන්න බැහැ. ආච්චි අම්මත් සීයත් එහා කාමරේ තරඟෙට ගොරවනව. අම්ම දොර ඇර ගෙන එළියට ගියා. සිරිමල්ට තව දුරටත් මේක දරා ගන්න බැහැ.
සිරිමලුත් ඉස්සරහ දොර ඇර ගෙන එළියට ගියා.
” අම්මේ මට චූ බරයී…”
අම්මා දර මඬුව පැත්තෙ ඉඳල සිරිමල් දිහාවට ආවා. කිසිවක් පැහැදිලිව නොපෙනෙන අඳුරක් තිබුනත් ඒ තිත්ත කරුවල නොවේ.
” හා.. චූ කරල යමු නිදා ගන්න . මාත් මේ චූ කරන්න ආවේ”
සිරිමල් ඉස්සර කර ගෙන කුසුමාවතී ගෙට ගියා. සිරිමල්ට විශ්වාස නෑ අම්ම මොකද්ද ඇඳන් හිටියේ කියල. සිරිමල් ආයෙම හැරිල බැලුව.
” යං .. යං.. ඔහොම යං”
********************************************************
එදා වත්තෙ කාවල්කාරයා නිවාඩු. බාලන්ට තමා මුර වැඩේ කරන්න උනේ. දෙකට කඩන තුවක්කුවත් කරේ එල්ල ගත්තු බාලන් වත්ත අයිනේ පාර දිගේ මහ පාරට ආවෙ ගෙදරට ගිහින් තේ කෝප්පයක්වත් බොන්න හිතා ගෙන.
රෑ මැදියම වගේ වෙලාව. කුසුමාවතිලයි ගේ පැත්තෙ ඉඳන් ඡායාවක් පාරට ඇදෙනවා. බස් හෝල්ට් එක දිහාවට. තුවක්කුවක් තියෙන කොට කාටද බය. කිට්ටු කරල බැලුව. කලිසම්කාරයෙක්. ගමේ කෙනෙක් නෙවේ. බාලන් කෑර හූරල තුහ් ගාල කෙල ගැහුවා.
” මහත්තය කවුද ? මොකද මේ වෙලාවෙ?”
” මං මේ විල්සන් අයියගෙ පණිවිඩේකට ආව.. දැන් ආපහු මාතලේ බස් එක අල්ල ගන්න තියෙනව”
” මං මේ ඇහුවෙ මීට කලින් දැකල නැති නිසා”
( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )