දෝන කුසුමාවතී – සයවන කොටස


නිල් පාට රුවල් නැවක පිංතූරයක් තියෙන සුදු පාට පළංගාන කුසුමාවතී අතින් බිඳී ගියා. ඒ හඬ අසා නැන්දම්මා කුස්සියට ආවා.
” හප්පොච්චියේ.. අවුරුදු දෙසීයක් පරණ පළංගාන. ඕක මට ලැබුණේ අපේ අම්මගෙන්. එයාට , එයාගෙ අම්ම දුන්නු එකක්”
” මේ සබන් වලට අත ලිස්සුව. මං හිතල කරපු එකක්යැ”
” එනකොට ගෙනාපුව නෙවෙයිනේ.. අනුන්ගෙ බඩු අත පත ගාන කොට ටිකක් පරෙස්සම් උනා නම් හොඳයි.” එහෙම ලොකු ඇණුම්පදේකුත් කියාගෙන..
” අත දම දම ඇවිල්ල මෙතන”… තව ලොකු දේකුත් කියා ගෙන නැන්දම්මා ගෙට ගියා.
” මට ඇහුණ ඔය අම්ම කියාපු එක.. දෑවැදි ගෙනාවෙ නෑ කියලද ඔය කියන්නේ..?”

” අපි දන්න අඳුනන මුදලාලි කෙනෙකුගෙන් හොඳ යෝජනාවක් ඇවිල්ල තිබුණේ.. හොඳ දෑවැද්දකුත් එක්ක එයා ගේ දුවට.. අර පියවතීගේ බල කිරීමට මේකට කැමති උනා මිසක්”
කුසුමාවතිත් කට පියා ගෙන හිටියේ නෑ..
” හපොයි.. දෑවැදිත් අරන් එන්න වටින මිනිහා…”
” ඇයි අපෙ එකාගෙ මොනවද අඩු පාඩු .. ඔය වගේ නිවිච්ච ගති ගුණ තියෙන එකෙක් මේ අහල ගං හතකවත් නැතුව ඇති”
” ගතිගුණ හොඳ වැඩියි.. ඒකයි තියෙන ප්‍රශ්නේ..”

කතාව තුනී වෙලා ගියා. තවත් දවසකට කොණක් ඉතිරි වෙන්න ඇරලා.

කුසුමාවතී වමණය කරනු අසා දුකට හා සන්තාපයට පත් නැන්දම්මා ඇයට කරුණාවෙන් කතා කළා.
” මට ටිකක් කේන්ති ගියා.. අර පළංගානට වෙච්චි දේ දැක්කම. සැට් එකෙන් එකක් අඩු උනා කියන්නේ ආයෙ ඒකෙන් වැඩක් නෑ”

” අර කතුරු මුරුංග ගහේ මල් පිපිල යමරෙට. මං එළඟිතෙල් ටිකක් දාල මලවල ගන්නං. රතු හාල් බතට හොඳයි”
කුසුමාවතීටත් හිතුනා තමා කතා කළ වේගය වැඩියි කියා.

” මං නාගෙන ඇවිත්ම කන්නම්”
නැන්දම්මා , තම ලේලිය දිය නාන අයුරු කුස්සියේ ජනේලයෙන් බලා හිටියා.

හවස නැන්දම්මා නිදා සිටි වෙලාවේ ලක ලෑස්ති උනු කුසුමාවතී ගාලු පාර දිගේ තම සැමියා එන පෙර මගට ඇවිද ගියා.

මස් කඩේ , පාරට පෙනෙන්නට අලුත්ද පරණද කියා හොයා ගන්න බැරි හරක් ගාත් කීපයක්ද එළු ගාත් කීපයක්ද එල්ලුනා.
බිම් තට්ටුවක් මත කඳ හරහා බාගෙට කපන ලද ඌරෙකුගේ ශරීරයක්ද විකුණන්ට තිබුණා. මස් කඩේට යාව තිබුණේ මාටින්ගේ වින්කලේ..

” ෂූ… ෂූ”
කුසුමාවතී නැවතුනා.
” ඇයි නංගී හුළං ගහන්නද ? පැච් එකක් දාගන්නද ?”
” මයෙ මොකේට හුළං ගහන්නද ? මං බැලුවේ මස් කඩේ කවුරුවත් ඉන්නවද කියල.”
” නෑ.. මං නිකමට ඇහුවෙ.. විල්සන් අයියත් හුළං ගහන්න එන හින්ද ”
” ඔය අයියා අපේ එක්කෙනා දන්නවද ?”
” නංගිට මස් ඕනද ? ඉන්ට මං අරන් දෙන්නම්. නංගි ගියොත් දෙයි කටු ගොඩක්”
” එපා.. එපා.. මට මස් එපා. අපෙ ගෙදරට මස් මාංස ගේන්නෙ නෑ”
” හරි හරි මට දැං තේරුනා. ඔය කාලෙට ඔහොම තමයි.. අපෙ ගෑණි තරං මස් උයන්න දන්න කෙනෙක් මේ කිට්ටුව පාතක නෑ. මං හදවල එවන්නම්. මොන මස්ද ? ඌරු මස්ද ? හරක් මස්ද ?”
” ඌරු මස්….” ” එක්කොත් එපා. විල්සන් අයියගෙ අම්ම දකී..”
” හරි හරී.. මං එවන්නංකො හොර පාරෙන්”

නැන්දම්මා විල්සන් සමඟ මොනවද කුටු කුටු ගෑවා. කුසුමාවතී දැක්ක. ඒත් ඇහුනෙ නෑ.
” ඈ පුතේ.. මගුල් ගෙදර තිබුණේ ගිය මාසෙ නේද ? අර තුන් මාසෙක විතර බඩක් කොහෙන්ද ?”

” අම්මේ.. අම්මලා තනි වෙන නිසා මං ගෙදර ආවා. අම්මලා කරදර කළ නිසා මං කසාද බැන්දා. අම්මලාම කෙනෙක් හොයල දුන්නා. දැන් නැති ප්‍රශ්න හදන්නෙ නැතුව ඉන්න.. එහෙම ප්‍රශ්නයක් නෑ…”
” ඕන එකක් – මයෙ මොකෝ”

************************************
“අර මාටින්ගෙ පවුලට කියල වල් ඌරු මස් උයවගෙන කාල තියෙන්නෙ.. මොන අසප්පුරුෂයෙක් ඉන්නවද දන්නෙ නෑ කුසේ”
” අම්මේ .. විහාරමහ දේවිට මී වදයක් කන්න ඕන උනේ.. පිලව් කී දෙනෙක් මැරෙන්න ඇද්ද ? මොකද මෙයා ඌරා මරා ගෙන කෑවද ?”

” මට ඌරු මස් හොදිත් එක්ක අමු රෝස් පාන් කන්න ආසාවක් ඇති උනා. හොදි විතරයි කෑවෙ. අර කෑලි ටික තාම ඇති පිඟානෙ වහලා”
” මං ගෙදර ඉඳිද්දි මස් මාළු කෑවා.. මෙයා මට කිව්වද මස් මාළු කන්න එපා කියල. කීව නං මං නොකා ඉන්නවනේ..”
” ඔය මාටින්ල ආස්සරේට හොඳ අය නෙවේ”

” ඌරු මස් තියා උම්බලකඩ කෑල්ලක්වත් ගෙනා ගෙදරක්ද මේක ?”

” මං ගෙදර ගිහින් ඉන්නද ටික දවසකට. මේ වමණෙ ටිකක් නතර වෙනකන්?”
*************************

කුසුමාවතී ගෙදර ගිහින් නැවැත්තුවා. විල්සන් සුමාන දෙකකට සැරයක් කුසුමාවතී බලන්න ගියා. කුස මේරුවා බලා ඉඳිද්දී වගේ.
විල්සන්ගේ කන්තෝරුවට ඔඩිට් එකෙන් පැන්නා. කවුදෝ පෙස්සමක් ගහල. බඩු වගයක් අඩුයි. සප්ලයි එකේ මහත්තයෙකුයි , විල්සනුයි වැඩ තහනමකට ලක් උනා. දැන් ඒකට නඩු. කම්කරු උසාවියේ. කොච්චර කලක් යයිද කියන්න බැහැ. විල්සනුත් කුසුමාවතීලගෙ ගෙදරට ආවා. කුසුමාවතිගේ අම්මයි තාත්තයි එහා කාමරේ. ජයසේන- කුසුමාවතීගෙ අයියට ආණ්ඩුවෙන් ඉඩම් හම්බුවෙලා පදිංචියට ගියා පදවියට.
*********************

කුසුමාවතීට දරුවා ලැබුණා. පුතෙක්. අම්මයි බබයි හොඳ සනීපෙන්. අම්මගෙ පාට. තාත්තගෙ නහය-කට. කුසුමාවතී සැනසුම් සුසුමක් හෙළුවා. යාළුවන් ගෙන් ගමේ අයගෙන් තෑගි බෝග ලැබුනා. ප්ලැනල් රෙදි කෑලි..බේබි සෝප්.. බේබි පුයර, ගෙදර හැමෝම පාවිච්චි කළේ බේබි සෝප්.
රණසිංහ මුහන්දිරමලාගේ විල්සන්. ඒ විල්සන්ගෙ සම්පූර්ණ නම. බබාට නමක් දාන්න අකුරු හදාගෙන ආවෙ විල්සන්ගෙ පැත්තෙන්.
විල්සන්ලගෙ සාලෙ එල්ලල තිබුණා එංගලන්තෙ රජ පවුලෙ පිංතූරයක්. ගෑණියක් වෙනුවෙන් ඔටුන්න අත හළ අටවන ජෝජ් මහ රජ්ජුරුවෝ තමයි විල්සන්ගෙ තාත්තගෙ වීරයා. විල්සන්ගෙ තාත්තට ඕන උනේ ඉන්ග්‍රීසි නමක් දාන්න.
කුසුමාවතීගෙ අම්මට – තාත්තට නම් ඔන්න ඔහෙ ඕන එකක්.
කුසුමාවතීට තමා අන්තිම තීරණය ගන්න පුළුවන් උනේ.
” සිරිමල්” ඒක හොඳයි. රණසිංහ මුහන්දිරමලාගෙ සිරිමල්.. එහෙම කියන කොට නිකම් මහ මිනිහෙක් වාගේ. අපි දාමු රණසිංහ මුහන්දිරමලාගේ සිරිමල් රණසිංහ කියල”
හැමෝම ඒකට කැමති උනා.

එක අම්ම කෙනෙක් රණසිංහ මුහන්දිරමලාගේ සිරිමල් රණසිංහ කොරහේ නාවල , නිල් පාට ප්ලැනල් රෙදි කෑල්ලකින් වතුර මාත්තු කරල අනෙක් අම්මා අතට දුන්නා.
ඒ අම්මා ගම්මිරිස් ඇට දෙකක් හපලා සිරිමල්ගේ පුරුෂ සංකේතයට හුස්මක් පිම්බා.
කුසුමාවතී සිරිමල්ගේ බෙල්ලටයි බඩටයි මලකින් බේබි පුයර ටිකක් දාල , තට්ටේට ඕඩි කොලොන් ටිකකුත් දාල විල්සන් අතට දුන්නා.
විල්සන් නුහුරට බබා වඩා ගත්තා.

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to දෝන කුසුමාවතී – සයවන කොටස

  1. සූටික්කා පවසයි:

    පලවෙනි සැරේට ආවේ…… දෝන කුසුමාවතී ගේ ඔක්කොම එක දිගට කියෙව්වා….
    ඉතිරි ටිකත් කියවන්නං …..

  2. Lalith perera පවසයි:

    බ්ලොග් එක අදයි දැක්කේ, ගොඩක් කථා කියෙව්වා. ලස්සනට ලියලා තියෙනවා.
    sinhalabloggala.blogspot.com

  3. akila පවසයි:

    ”ගෑණියක් වෙනුවෙන් ඔටුන්න අත හළ අටවන ජෝජ් මහ රජ්ජුරුවෝ තමයි විල්සන්ගෙ තාත්තගෙ වීරයා”

    onna minissu !!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )