දෝන කුසුමාවතී- පස්වන කොටස


විල්සන්ලගෙ ගෙදර පිහිටා තිබුණෙ මොරටුවේ, ගාලු පාර අයිනෙමයි. ඒක කුලී ගෙයක්. කාමර දෙකයි , සාලෙයි, කුස්සියයි. වැසිකිළිය තිබුණේ ගෙට යාර විසි පහක් විතර ඈතින්. නෑමට එතරම් ගැඹුර නැති ළිඳකුත් තිබුණා.

සුරුට්ටු ගඳ හැම තැනම. විල්සන්ගෙ තාත්තා සුරුට්ටු බිව්වේ. විල්සන් නම් සමහර විට සිගරට් බොනව ඇති. එයාට සුරුට්ටු උරන්න දෙන්න නරකයි. එතකොට නාකියි වගේ. කටත් ගඳ ගහනව.

ලයනල් දවසක් සිගරට් එකක් බීල කුසුමාවතීගේ මූණට දුම් වලලු යැව්වා. “ඒයි.. යා.. එප්…පා අයියෝ..”
කුසුමාවතී ජීවිතේටම බයිස්කෝප් දෙකයි බලල තිබුනේ. එකක් තමා පන්සලේ බණ මඩුවෙ පෙන්නාපු බරව බයිස්කෝප් එක. අනික පාතාල භෛරවී.. දෙමළ එකක්. ගමේ කවුරුවත් දකී කියල දෙන්න දෙපැත්තෙන් ගිහින් නුවර වෙම්බ්ලි සිනමාහලේ බැල්කනියෙ ඉඳන් බැලුවේ.
ලයනල් එයාගෙ සීට් එකේ පාත් වෙලා කුසුමාවතිගේ උරහිසට මූණ ඔබා ගෙන මොනවද කියෙව්ව. රාම් රාඔ ගෙයි මාලතීගෙයි රංගනයට වශී වෙලා හිටි කුසුමාවතිට ලයනල් කී දේවල් ඇහුණෙ අතරින් පතර.
” මම විබාගෙ ඉවර වෙච්චි ගමන්ම රස්සාවක් හොයා ගන්න බලනව. මට ලංගමේට ගියෑකි. නුගවෙල ඩිපෝවෙ ලොක්කෙක් ඉන්නවා මගෙ දුර නෑයෙක්. අපි පැනල යමු. ගිහින් කසාද බඳිමු. ටික කලක් යනකොට අම්මලා කැමති වෙයි.”
බයිස්කෝප් එක ඉවර වෙනතුරු ලයනල් , කුසුමාවතිගේ අත මිරිකගෙන හිටියේ.

” නෝනෙට හොඳටම නින්ද ගිහින් තිබුණා. ගමන් මහන්සියට වෙන්ටෑ. මං ආයෙ මොකටද කියල කීද්දුවෙ නෑ”
විල්සන් රත්තරං දත පේන විදියට හිනා වෙලා කුසුමාවතිගෙ අතින් ඇල්ලුවා. ඊට පස්සෙ චිමිනි ලාම්පුව නිවා දැම්මා. පියවතී නැන්ද අඳින්න කියපු සිලික් ගවුම දැන්ම අඳිනවද ? නැද්ද ? කුසුමාවතී හිතුව.
මහ වෙලාවක් ගියේ නෑ. ගම හරහා දුවල ආව වගේ හති දැම්ම විල්සන් අනෙක් ඇලයට හැරිලා නිදා ගත්තා.

ඇයි දන්නෙ නැහැ එයාට එහෙම උනේ. එයා මගෙ අතින් ඇල්ලුවෙත් බයෙන් බයෙන් වගේ. හරියට මං එපා කියයි කියල වගේ.
එදා බාලන් ඔය ගාවදි තමන්ට බලාත්කාරෙන් කල දේ මීට වඩා කොච්චර සනීපද කියල හිතුන. බාලන්ගෙ හැඩි දැඩි බාහු වලට මිරිකී චප්ප උනු කුසුමාවතීට බයක් දැනුනේ නෑ. ඒක අමුතු මිහිරියාවක්. උණුහුමක්. හොඳ වෙලාවට අහල පහල කවුරුවත් හිටියේ නැහැ. කවුරු හරි බලා ගෙන හිටියා නම් වඩාත් හොඳයි කියල කුසුමාවතීට හිතුනා.
ගමේ ගියාම මං යනව බාලන් බලන්න. මං තරහ නෑ කියලත් කියනව.

කුසුමාවතියි , විල්සනුයි උදෙන්ම නා ගන්න ළිඳට ගියා. ළිඳ එච්චරම ගැඹුරු නෑ. විල්සන් වතුර බාල්දි හත අටක් ඇදල දුන්න. තවම අළුත් මනමාලිනේ කියල.

විල්සනුයි අම්මයි මොනවද කුටු කුටු ගෑව. ඒ මොනවද කියල ඇහුනේ නැහැ.

” උඹ අර පිරුවටේ අරන් තිබ්බද ?”
” ඒක පාවිච්චි කළේ නැහැ අම්මේ”
” උඹ මොනවත් දැක්කද ?”
” ඔව්.. එයාගෙ ගවුමේ. අර උදෙන්ම හෝදල දැම්මේ අප්පිරියයි කියල”
” දැන් ඒකිගෙ ඔළු ගෙඩියද පෙන්නන්නෙ අර මහ ගෑණිට?”
” මම ඕව එච්චර ගණන් ගන්නෙ නෑ”
” ගිහි ජීවිතේට ආවා නම් ගිහියෙක් වගේ හිතන්න කරන්න වෙනව”

” අම්මේ.. විල්සන් අයිය මොන වගේ රස්සාවක්ද කරන්නේ… ?
” ඒක ලොකු කන්තෝරුවක්.. අපේ පුතා තමා දවල්ට ඒක බලා ගන්නෙ. රෑට වෙන කෙනෙක් ඉන්නවා. දැක්කද අර යතුරු කැරැල්ලෙ ලොකු. අපේ පුතාගෙ බාරෙ තමයි වටින කියන දේවල් සේරම තියෙන්නේ”

විල්සන් සේවය කළ කන්තෝරුව පිහිටා තිබුනේ රත්මලානේ. වැඩට ගියේ බයිසිකලේ. එක දවසක් විල්සන් වැඩ ඇරිල එන වෙලාව අල්ලල කුසුමාවතී ගාලු පාර අයිනෙන් ඇවිද ගෙන ගියා.

” අම්මට සිරි.. අර කවුද බොල…?”
වින්කලේ බයිසිකල් රෝදයක ඇද අරිමින් හිටි මාටින් ඇහුවා..
” ඇයි බං අර.. තැපැල් කන්තෝරුව ඉස්සරහ ලැටිස් ගහපු ගේ..”
” ඉතින්?”
” ඇයි බං ඊයෙත් පැච් එකක් දා ගෙන ගියේ..”
” අර හීරළුවගෙ ගෑණිද ඔය? අප්පට සිරි.. මට හිතයි පොඩි බාසාවක් දාල බලන්න”
” පවු පුරව ගන්නෙ නැතුව ඉඳින්”

හරියටම වෙලෝනා එක ළඟදි විල්සනුත් , කුසුමාවතිත් එකිනෙකා මුණ ගැසුනා.
” මට ගෙදර ඉන්න කම්මැලියි… ආ එක හොඳ මදිද ?”
” ඒකට කමක් නෑ.. ඒත් ගවුම නෑඳ..සාරියක් පටලගෙන ආව නම් හොඳයි..”
විල්සන් , කුසුමාවතී බාර් පොල්ලෙ හරහට තියා ගෙන බයිසිකළේ පැද්දා.

රෑ අටට , අට හමාරට විතර ඇති. රෑ කෑමෙන් පස්සෙ විල්සන් සිගරට් එකකුත් පත්තු කරන් කාමරේට ආවා.
පළඟැටියෙක් චිමිනි ලාම්පුව වටේ කැරකි කැරකි හිටියා.
” මේ මොකද මේ “?
” මේ ගවුම තමා අපේ පියවතී නැන්දා මට කිව්වෙ මගුල් දා රෑට අඳින්න කියල. කොහෙද ? නින්ද ගියානෙ…”
” සේරම පේනවනෙ ඇතුල..”
” ඉතී…………..න් ,,”?

විල්සන් සාක්කුවෙන් දිලිසෙන කොළයකින් දවටපු බුල්ටෝ වගේ එකක් අරන් කටේ දා ගත්තා.
” කෝ මටත් දෙන්න ”
” මේක පිරිමින්ට විතරයි”
කුසුමාවතී දවටනය උදුර ගෙන බැලුවා. තඩි මහත අයෝමය පුරුෂයෙක් මස් ගොබ පුම්බ ගෙන ඉන්න පින්තූරයක්. ” ලේගියම්”
” ඕක කෑවාම වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. අපෙ වැඩ පොළේ එක්කෙනෙක් කීවෙ.”
” එහෙනං දෙකක් විතර කන්න” කුසුමාවතී කිව්වා.

චිමිනිය අස්සට වැටුනු පළඟැටියා අඬු පඬු උඩ දා ගෙන මොහොතක් දඟලලා කරවී නිහඬ උනා.
විල්සන් දෙපතුල් එකට හප්පා පිස දා ගෙන ඇඳට ගොඩ උනා.

මේ පිරිමි ගෑනු මත්තෙ මෙච්චර මොකට නැහෙන්න හදනවද ? ගෑණුත් එහෙමයි. මට නොදැනෙන උන්ට දැනෙන අමුතු සැපක් ඕකෙ තියෙනවද? පන්තියෙ හිටපු පැහිච්චි කොල්ලො කෙල්ලො වල් කතා රහසින් රස කර කර කතා උනා. මොන රසයක්ද ?

පහුවදා උදේ පුරුදු පරිදි විල්සන් රස්සාවට ගියා. වැඩිපුර මූණ දුන්නෙ නැහැ කුසුමාවතීට. වැරැද්දක් කරල අහුවුන පොඩි එකෙක් වගේ විල්සන් හැසිරුනේ. පියවතී නැන්ද හරියට හරි. දහ දෙනෙක් ගත්තොත් දහ විදියයි.

” මේ ගෙට වෙලා ඉඳින්. ඔය ගවුම් කොටෙත් ගහගෙන පෙර ගමන් යන්න ඕන නෑ. ඌ එන වෙලාවක එයි. පිරිමියෙක් නේ…තව ටික දවසක් යන කොට ඔය කම්මැලි ගතිය ඇරිල යයි. නැන්දම්මා කීවා.

ලයනල්ල මොනව කරනවද දන්නෙ නෑ. විබාග ප්‍රතිපල ආවද ? රස්සාවකට ගියාද ? ඒත් මට මොනාටද ඒව? මං දැන් කසාද බැඳපු ගෑණියක්.

හදිසියෙන්ම දවසක් පෑලිසුයි , බේබි නෝනයි කුසුමාවතී බලන්න ආවා වැලිතලප වගයක් එහෙම හදා ගෙන.
” අනේ අම්මේ.. මං ටික දවසකට ගෙදර එන්නද ? එයා හොඳයි.. ඒත් මහ අමුතුයි.. මුල දවස්වල ටිකක් හොඳට හිටියා. මං වෙන පිරිමියෙක් දිහා බැලුවත් සැකයි.. කතා කළත් සැකයි…”
” උඹ ආවට කමක් නෑ. ටික දවසකට.. එත් එනවා නම් ඒ ළමයත් එක්කම වරෙං. නැත්තං කතා හැදෙයි උඹ දීගෙ ඇරිල ඇවිත් කියල”

( මතු සම්බන්ධයි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to දෝන කුසුමාවතී- පස්වන කොටස

  1. Sumith Niriella පවසයි:

    “බුල්ටො“ එක කාලවත් ගොඩදාගන්න බැරිවෙලා වගේ.

  2. අටම්පහුරෙන් දැකලා ආවේ…
    ඒ වුණාට කලින් කියවලා තියෙනවා මේ සම්පූර්ණ බ්ලොග් අඩවියම වගේ…
    පට්ට කතාව…
    බලා ගෙන ඉන්නවා එනකම් ඉතුරු ටික…

  3. පැට් ටා පවසයි:

    නිහාල් අයියා…. සතුටුයි නැවතත් ඒ සුපුරුදු කතා විලාශය කියවන්න ලැබුනට, ඒත් මට හිතෙනවා සමහර තැන් වල කතාව වේගවත් වැඩී කියලා.

  4. කොටස් පහම කියෙව්වා.

    නිහාල් ගේ ආගමනය සතුටක්. ඔබ ගැන මා සෑහෙන්න හෙව්වා කලින් පාර අතුරුදහන් වී සිටි කාලේ. දෙවෙනි වර සිතුනේ බ්ලොග් එපා වෙන්න ඇති කියලයි.

    මේ කතාවේ මට මේ වන විට ඇති නොගැලපෙන තැන තමයි සිවුරේ සිටි කෙනෙකු පසුව මුරකරු වගේ රුකියාවකට යන එක!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )