දෝන කුසුමාවතී- තුන්වන කොටස


අමුත්තෙක්….? ඉදිරිපස දොරට තට්ටු කරනු අසා චීත්ත පොටෙන්ම අත පිස දමමින් බේබිනෝනා ඉස්සරහට ගියා.
” හප්පේ.. මේ විජේරත්න ඉස්කෝළෙ නෝන නෙවැ”
“ඕං හොයාගෙනම ආවා.. කුසුමාවතී දවස් දෙකක් ඉස්කෝළෙ ආවෙ නැති නිසා.. ඉස්කෝළෙ නෑවිත් ඉන්න එපා මොන වැඩේ තිබ්බත්”

බේබිනෝනට නම් තේරුම් ගියා යමක්, මේක මේ නිකමට ආ ගමනක් නොවේය කියා.
” මෙහෙ වරෙං බේබිනෝනා. මම එහා ගමේ. අපි කවුද කියන එක උඹට අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනේ..
මම මේ තැන් වලට එන්න ඕන ගෑණියෙකුත් නොවන වග උඹට තේරෙනවනේ…
” මේකයි කාරනේ .. කුසුමාවතී මගේ පුතත් එක්ක මොකද්ද පළහිලව්වක්… ඕව කවද කෙරෙන වැඩද ?”

“උඹේ කෙල්ල තමයි අපෙ එකාට ලියුමක් දීල තියෙන්නෙ.. ලොකු ඉස්කෝළෙ මහත්තයට කිව්වොත් ආයෙ දෙකක් නෑ. අස් කරනව ඉස්කෝළෙන්..
මට ඒ අපරාදෙට හවුල් වෙන්න ඕන නෑ. කුසුමාවති ඉගෙන ගන්න දස්සයි. මහ විබාගෙට ලිව්වට පස්සෙ ඔය කාට හරි හොඳ කෙනෙකුට දීල දාපං. ඕං මං ගියා. මට ආයෙම සැරයක් එන්න තියන්න නං එපා.. දුවට තදින් කියපන් ඉවර කරන්න බැරි දේවල් පටන් ගන්න එපා කියල”

“උඹ ඔන්න ඔහෙ ගෙදර හිටපං. අර රෙදි ඉස්කෝළෙට පලයන්. කීයක් හරි හොයා ගන්න පුළුවන්”.

කුසුමාවතිගෙ ඉස්කෝළ ගමන හමාර උනා.

“දුවේ උඹ කැමති නං අර පියවතී නැන්දගෙ නෑදෑ කෙනෙක් ඉන්නවලු. ලබන සුමානෙ දිහාට එයි මේ පැත්තෙ.. ඒ මිනිස්සු එන්නෙ උඹ බලන්න. පියවතී කිව් විදියට ආණ්ඩුවෙ රාජකාරියක් කරන කෙනෙක්”

“අම්මේ එයා කළිසම් අඳින එක්කෙනෙක්ද? වේට්ටිකාරයෙක් නම් මට එපා”

කුසුමාවති සිහින මැව්වා.. කුසුමාවතිගෙ ලෝකයේ ඉන්නෙ පිරිමි කීප දෙනෙක් විතරයි. ලයනල්.. විජේරත්න ටීචර්ගෙ පුතා. අනිකා බාලන්.. අනෙක් එක්කෙනා තමා හොෆ්මන් මහත්තයා.
එයා ලයනල් වාගෙ විහිළුකාරයෙක්ද ? බාලන් වාගෙ පීනස් ගඳයෙක්ද දන්නෙ නැහැ. හප්පා.. ඒකට හොෆ්මන් මහත්තයා. කකුලෙ ඇඟිලි වලත් නියපොතු ගානට කපල. අල්ලල ඉඹ ගන්න හිතෙනව. ළඟින් යන්න බෑ පුසුඹ. එංගලන්තෙන් ගේන සැන්ට් ජාතියක් වෙන්නැති.

” මං කැමතියි.. අම්මේ.. මට ඕන මේ ගෙදරින් යන්න. අම්මලටත් හොඳයිනේ”

සුදු සරමට සුදුකෝට් එකක් ඇඳල කරුංක ගෙඩියක තරමට කොන්ඩෙ බැඳපු පිරිමියෙකුයි , එයාගෙ පවුල කියල හිතන්න පුළුවන් බවලතෙකුයි , තව පිරිමියෙකුයි පියවතීලගෙ ගේ පැත්තෙ ඉඳන් කුසුමාවතීලගෙ ගෙදර පැත්තට ආව.

” බේබි නෝන අක්කෙ.. මේ අර කියාපු කට්ටිය”.

ඔය වෙලාවෙ, කුසුමාවති ගේ පිටුපස ජම්බොලෙ ගහ යට පියවතීගෙ දුවත් එක්ක කොටු පනිමින් හිටියේ.

“අපි මේ පියවතීලගෙ ගෙදර ආ ගමන්. මේ පැත්තටත් ගොඩ වෙල යන්න හිතුව. පස්සෙ බැරිය සිරිතට එන්න.අපේ මේ පුතාට තමා හොයන්නේ. කොළඹ රස්සාව කරන්නෙ. ඕන නම් මේ පැත්තට මාරුවක් උනත් ගන්න පුළුවන්”.

කුසුමාවතිගෙ හීන ලෝකය බිඳ වැටෙන්න ළඟයි.
” අම්මේ එයා වයස පාටයි. කළිසම් අඳින්නෙත් නෑ.. “
” පස්සෙ බැරියැ කියන්න කළිසම් අඳින්න කියල. උඹට වඩා ටිකක් වයස පාටයි නම් තමා.. ඒත් ගෑණු අපි විගහට නාකි වෙනව. පිරිමින්ට වඩා”

බේබි නෝනා කුසුමාවතී වත්තම් කරගෙන ඉස්සරහට ආවා බුලත් හෙප්පුව දෙන්න. කුසුමාවති ලැජ්ජ බය ඇරල කෙළින්ම මුහුණ දිහා බැලුව මනමාලයගෙ. කොණ්ඩෙ රැලි .. පස්සට පීරල. වේට්ටියක් ඇඳල. සුදු කමිසෙ කොලර් එක වටේ රතු පාට ලේන්සුවක් . දාඩියට වෙන්ටෑ.

“නැන්දේ.. ඒ මනුස්සය අපේ තාත්තටත් වඩා ටිකක් බාල ඇති”.

“තිස් පහක්. ඉතින් උඹට 17 යි. ලබන අවුරුද්දෙ 18 යි. ළමයි දෙතුන් දෙනෙක් වදාපුවම ගෑණුන්ගෙ හපේ විතරයි. දැන් බලපං මං උඹලයි මාමත් එක්ක එනකොට මට පහලොවයි. උඹලෑ මාමට තිහ පැනල. මම දමල ගහල ගියාද ?

“ඊටත් වඩා මරුමුස් පෙනුමයි. උඩු ඇන්දෙ රත්තරං දතකුත් තියෙනව. මහ මුඩුමයෙක්”.

“මේ මොනව කියනවද ? ඒ ළමය ටික කාලයක් සිවුරෙත් ඉඳල තියෙනව. අම්මා තාත්ත බලා ගන්න කවුරුවත් නැති වෙයි කියලයි සිවුරු ඇරල තියෙන්න”.

” එතකොට හීරළුවෙක්?”

” එහෙම පාච්චල් කරන්න එපා.. බේබි නෝන අක්කෙ. ඒ මනුස්සය උඹෙ දුව ඇහැක් වගේ බලා ගනී. උඹ අහල තියෙනවද ? ඔය සිවුරු ඇරපු උන් ගෑණු පෙරේතයෝ..”

(මතු සම්බන්ධයි)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )