බලු කතාවක්.


doggy

සොයිසා මහත්තයා විශ්‍රාමිකයෙක්. 65 ක් විතර ඇති. ඒත් තවම ඉලංදාරියෙක් වගේ තමා හිත සහ වැඩ. බිරිඳ මිය ගිහින්. දරුවන් තුන් දෙනයි. තුන් දෙනාම කසාද බැඳල පිට වෙලා ගිහින් දූරට දූරට.
සොයිසා මහත්තය නිතරම යාළුවොත් එක්ක තම දරුවන්ගේ පුරාජේරු කතා කලා. එයාගෙ තනි නොතනියට හිටියෙ මම විතරයි.
මගෙ නම රෝවර්. මම බල්ලෙක්.

අපේ ගෙදරට නිතරම වාගෙ ආ – ගිය හිල්ඩා නෝන ළඟ පාත ගෙදරක වැන්දඹුවක්.

” කොහොමද අපේ බ්‍රැන්ඩිත් එක්ක ඔයාගේ රෝවර් ක්‍රොස් කළොත්?” එහෙම ආ දවසක හිල්ඩා අහනව.

මළ සමයං. මම දැකල තියෙනව එයාගේ බ්‍රැන්ඩි.. මගෙ බල්ලටවත් එපා. මීයෙකුගෙ වගේ හොම්බක් තියෙන බ්‍රැන්ඩි සමහරදාට එන්නේ හිල්ඩගෙ හෑන්ඩ් බෑග් එකේ. අඩු ගානෙ බුරන්ටවත් පුළුවන්ද? නිකං කහිනව වගේ. මුන් මොක්කුද ? බල්ලොද ? අපේ ජාතියටත් නිග්‍රහයක්.

මම රවුමක් කැරකිල මගේ ඇඟ දිහා බැලුව. කොච්චර ගාම්භීරද ?
” ඩැඩී..මෙයා හරියට වුල්ෆ් කෙනෙක් වගේ නේද ?” දවසක් පාරෙ ගිය කුඩා දැරියක් මාව දැකල එයාගෙ තාත්තගෙන් අහනව.

“බ්‍රැන්ඩිව fix කරල නැද්ද?” නෑ අනේ. මෙයා ගේ ඇතුලෙමනෙ ඉන්නෙ. මම කොහාටවත් අරින්නෙ නෑ”

ජරා මිනිසුන්ගෙ දහ බලු වැඩ. මුන් අපේ අය හුරතලේට හදන්න කියල අරන් පැටව් නොහැදෙන්න වඳ සැත්කම් කරනව. අපේ අයිතිවාසිකම් නැති කරනව.

” රෝවර්ව fix කරලද?”
” ඌ මොනවට fix කරන්නද? ඌ පිරිමි සතෙක්. ආයෙ පැටව් හැදෙයි කියලයැ.. ඌට ඇති ඔය අහල – පහල පැටව් ඔනෑ තරම්”
” ඔව් ඉතින්.. හාම්පුතා වගේ නැතෑ”

මට ගැලපෙන එකම එකියයි ඉන්නේ. ඒ අල්ලපු වත්තෙ තට්ටු දෙකේ ගෙදර ලෙයිලා.. මගේ ජාතියේමයි. මගේ කුලේමයි. මං කවද හරි යනව නම් යන්නෙ ඒකි ගාවට. එහෙම බැරි උනොත් හැමදාම මෙහෙම ඉන්නව. ඔය අපේ අනික් උන් වගේ හැම පඳුරකටම කකුල උස්සන ජාතියෙ එකෙක් නෙමෙයි මම.

අපේ ගෙවල් දෙක වෙන් වුනේ අඩි හතර හමාරක් විතර උස ලී තාප්පෙකින්. දවසක් මම දැක්ක ලෙයිල.. ” කූං… කූං” ගගා ඇවිදිනව. මොන යකෙක් වැහිලද මන්ද. ටික වෙලාවකින් එයා අත් දෙක තාප්පෙට හේත්තු කරල හිට ගත්ත. මම යාන්තමට එයාගෙ මූන දැක්ක. මමත් ගියා ළඟට. එයා කූං…. කූං .. ගානව. මම මගේ අත් දෙකත් තාප්පෙට හේත්තු කරල හිට ගත්ත. අපේ අත් යාන්තමට එකට ගෑවුනා.
ආදරයට කොහෙදෝ බාධා නැත්තේ
” මේ පැත්තට එන්න පුළුවන්ද?”
“කෝමද?”
“දැන් කෑම කාලද ඉන්නේ?”
“ඔව් අර තියෙන්නෙ කාපුවා. ගරාජ් එකේ බිම . සිමෙන්ති කොට්ටයක් වගේ. ඔය ජරාව තමා තුන් වේලටම කන්න දෙන්නෙ.. මට නම් එපා වෙලා. මැරෙන්න බැරි කමට කනව.”
” මට නම් හොඳයි. මේ දැන් කාල ඉවර වුනා විතරයි. මස් කටුත් එක්ක බත්.. මගෙ ළඟ තව කටුවක් තියෙනව. ඔයාට දෙන්නද?”
” බඩ බුරුල් වෙනව කියල එයාල කන කෑම මට දෙන්නෙ නෑ”
” මම මේ තාප්පෙට යටින් හාරන්න පටන් ගන්නව අද රෑට. පස් බුරුල්. එච්චර අමාරු වෙන එකක් නෑ. වැඩේ හරි ගියොත් මට ඔය පැත්තට එන්න පුළුවන්”
” කරන දෙයක් මේ සුමානෙ ඉවර වෙන්න කලින්”
” අර මොකෝ?…”
” කියන්නෙම නෑ”
“ඒක නෙවි.. ඔයාට අර සර්ජරි එක කරල නැද්ද?”
” අපෝ නෑ.. අපේ තිසරණී නෝන හරි හොඳයි. එයා හිමිකම් සංවිධානයක සභාපති”

වැඩේ එච්චර අමාරු උනේ නෑ. වත්තෙ කොනේ මුල්ලක , තාප්පෙට යටින් මට රිංගල යන්න පුළුවන් තරමේ සිදුරක් හෑරුව. සොයිස කාරය හිතන එකක් නෑ මම කවදාවත් මෙහෙම වැඩක් කරයි කියල.

දවසක් තිසරණී නෝනා මහ හයියෙන් කෑ ගහනව.
” මදැයි කොලා.. හතර වටේටම තාප්ප දාලත් බේර ගන්න බැරි උනානෙ..”
” කෑ ගහන්න එපා අම්මි.. අපි පත්තරේ දැන්වීමක් දාල පැටව් ටික විකුණමු. හොඳ ගාණක් හොයා ගන්න පුළුවන්”
තිසරණී නෝනගෙ අඟර දඟර ලොකු දුව කීවා.

ඔහොම කාලෙ ගත වුනා කියමුකො.
ඔය කාලෙට හොඳට කන්න ඕනලු. මගේ ළඟ ඉතිරි කර ගත් හරක් මස් කටුවක් තියෙනව. ඒත් ඉතින් කොහොමද දෙන්නෙ? මට බයයි. ලෙයිලට මොනව වෙලාද දවස් දෙකකින් දැක්කෙ නෑ. අද රෑට නම් යනව කොහොම හරි. තිසරණී නෝන කොස්සෙන් ගැහුවත් කමක් නෑ.
.
මම රිංගන්න හැදුවා ගුලෙන්. කවුදෝ ගුල වැහෙන්න නිල් පාට ඉටි රෙදි කෑල්ලක් දාල. එය ඇතුළෙ යමක් දඟලනව මට පෙනෙනව.
දෙයියනේ…. සුදු පාට.. දුඹුරු පාට පුළුන් ගුලි තුනක් වගේ පැටව් තුන් දෙනෙක්. මේ මගේ….
මම විගැහින් ලෙව කෑව තුන් දෙනාවම මාරුවෙන් මාරුවට. එක්කෙනෙක් පිරිමි. දෙන්නෙක් ගෑණු. ලෙයිලා ආවා තාප්පෙ අයිනෙට.
” මුං මහ ජරා මිනිස්සු.. පත්තරේ දැන්වීමක් දාල මෙයාල විකුණන්න. මට බයයි. ඊට කලින් ඔයාට පෙන්නන්න ඕන උනා.

කොහොම හරි අඟර දඟර ලොකු බේබිට හොයා ගන්න පුළුවන් උනා.. මගේ පැටව්.
එදා හවස ආවා තද රතු පාට කාර් එකක්.
” අනේ.. ස්වීට් අනේ. මට එපා කික්කියො. මම මෙයාව ගන්නව.”
මම වත්ත හතර වටේට දුව දුව කෑ ගැහුව. ලෙයිල අසරණ වෙලා. ගරාජ් එකේ බිම බුදි.
මම දැක්ක කාර් එකේ නම්බර් ප්ලේට් එක. මට හොඳට මතකයි. Oregan. හැතැප්ම දාහයි. මට ඒක එච්චර දුරක්යැ. මම යනව කොහොම හරි හොයා ගෙන. මට මතකයි එයාගෙ සුවඳ.
oregan

පහුවදාත් කාර් දෙකක්ම ආව. පවුල් දෙකක්. ඉතිරි දෙන්නත් දෙපැත්තකට අරන් ගියා. අනේ ආයෙ ඉතින් කවද කියල දකින්නද?

” හෙන ගහනව තොපිට…”

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

11 Responses to බලු කතාවක්.

  1. //මළ සමයං. මම දැකල තියෙනව එයාගේ බ්‍රැන්ඩි.. මගෙ බල්ලටවත් එපා. මීයෙකුගෙ වගේ හොම්බක්//
    //මට ගැලපෙන එකම එකියයි ඉන්නේ. ඒ අල්ලපු වත්තෙ තට්ටු දෙකේ ගෙදර ලෙයිලා.. මගේ ජාතියේමයි. මගේ කුලේමයි. මං කවද හරි යනව නම් යන්නෙ ඒකි ගාවට.//

    බල්ලන්ටත් හැඟීම් දැනීම් තියනව. දුක සතුට තියනව. ඉතිං මම ඔය උපුටාගත්තුවත් හිතෙනව ඇති නේද?
    හොඳ කතාවක් නිහාල්.

  2. salu පවසයි:

    දැන් ඉතින් ඔයා ඔරිගන් යන්නෙ කවදාද?

    ඇත්තටම දුක හිතෙන ලව් ස්ටෝරි එකක්. මොනවා කරන්නද? පෙර කරුමයක්ම තමයි.

  3. Nihal Gurusinghe පවසයි:

    පොඩ්ඩි.. ඕන මැන්ටල් … ස්තූතියි ප්‍රතිචාර වලට.
    වයසත් වැඩියි වැඩත් වැඩියි. පරණ පුරුද්දෙන් මිදෙන්න බැරි නිසා මාසෙකට එකක් මොනව හරි ලියනවා.
    ඒත් ඔබලා ලියන ඒව කොහොම හරි කියවනවා. කමෙන්ට් කරන්න නම් තාම හොරයි. ඉඳ හිට අන්තිම පේළියටත් ලියනවා. දැන් අන්තිම පේලිය හරි දියුණුයි.

  4. ඕනමැන්ටල් පවසයි:

    එක අතකට වද සැතකම් කරන එක හොදයි නේද පැටවු පාරවල අතාරින්නෙ නැතුව ?

  5. පොඩ්ඩි පවසයි:

    මේ කතාව ඔයා කලින් දාපු එකක්ද? කියවපු ගතියක් දැනෙනවා. කොහෙද නිහාල් ගිහින් හිටියේ? 🙂

  6. පින්ග්කිරීම: බලු කතාවක්. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )