දූ දරුවෝ


ලීලාවතී රෑ මැදියම ඇහැරුනේ තම සැමියා , වීරසිරි කෙඳිරි ගානු අසාය. ඇය වේලාව බැලුවාය. රෑ 12.30 යි.
” ඇයි මොකද ?”
” පපුව ටිකක් රිදෙනව”
” මං සිද්ධාර්තෙ ටිකක් ගාල අතුල්ලන්නද? වාත අමාරුවක් වෙන්නැති. ඔය ඇලේට නිදා ගත්තාමත් ඔහොම වෙනව. කොයි එකටත් මං උදේට සුදු ලූනු ටිකක් තම්බල දෙන්නම්”
ලීලාවතී , වීරසිරිගේ පපුවේ තෙල් ගා ටිකක් පිරි මැද්දා. මොහොතකින් ඔහු ආයෙම නින්දට වැටුනා.
පහුවදා උදේ ටිකක් පරක්කු වෙලයි වීරසිරි ඇහැරුනේ. උදේ 9.00 ට විතර. ලීලාවති නැගිට කුස්සියේ වැඩක යෙදෙමින් හිටියා.
” මං ඊයේ හොඳටම බය උනා. මං මැරෙන්ට බය නෑ. එක අතකට මෙහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි ඒක. මට දුක ඔයා ගැන. ඔයා තනි වෙනව.”
” මූසල කතා කියන්නෙපා .. උදේ පාන්දර”

” නෑ ඊයේ මට ලොකු බයක් දැනුනා. මම හීනයක් දැක දැක හිටියෙ. මං වත්තක් මැදින් ඇවිදිමින් හිටිය. ගහ කොළ , කොල පාටට දැක්ක. හුළඟට හෙල්ලුනා. එක පාරට අර හෙල්ලෙන ගහ කොළ නැවතුනා. මට ඇවිද ගන්නත් බැරුව ගියා. ඒත් එක්කම පපුවේ ඇවිලිල්ලක් ආවා.”
ලීලාවති කුස්සියේ ජනේලය ඇර බැලුවේ ඇයට ඇහුනු සද්දයක් නිසාය.
” අන්න අර මිනිහ අදත් කොස් කඩා ගෙන යනව. ඔහේ බලා ඉන්නව ඇරෙන්න වෙන් මක් කොරන්නද?”
” එහෙම කොහොමද?.. ඉන්න මං දෙකක් කතා කරන්ට”
” මෙන්න මෙහෙට වෙලා ඉන්ට.. පුළුවන් දෙයක් ඕන කරන්ට”
” ඕයි… ඕයි…මොනවද උස්සගෙන යන්නේ…හ්.. ඕවට අයිතිකාරයෝ ඉන්නවා…”
” අනේ මහත්තයෝ.. මේ දවල්ට කන්ට කොස් ගෙඩියක් කඩා ගත්ත”
” අපි ඉන්නෙ ගෙදර. හොරකම් කරන්නෙ නැතුව අහල හිටිය නං අපි එපා කියනවද ?”
” ගස් යට වැටිල කුණු වෙල යන එකනේ.. කියල හිතුව”

” දැන් හොරු වැහි වැහැල.. පොලිසියේ ලොකු මහත්තයා අපේ රට ඉන්න පුතාගේ යාළුවෙක්. මං එක කෝල් එකයි දෙන්නෙ.. කුදලගෙන ගිහින් ඉල ඇට දෙක තුනක් කඩල දායි… ඕං බලාගෙන”
” කාටද වීරසිරි උන්නැහේ උදේම කෑ ගහන්නේ ?” වීරසිරි කෑගහන සද්දෙට අල්ලපු වත්තෙ පෙරේරා ඉස්කෝලෙ මහත්තයත් ආව.
” පුතා ඊයෙත් කෝල් එකක් දුන්නා… මොනව හරි තියෙනව නං පොලිසියේ ලොකු මහත්තයට කතා කරන්න කියල.. මුං දන්නෙ නෑ මගෙ හැටි”
” මම මේ බබා දහම් පාසැල් එක්ක යනව.. ඊයෙ ආවෙ. ලොකු දුවගේ පොඩි එකා”
*************************************
අපේ මහත්තයට මතකද මන්ද… අපේ පුතයි දුවයි පුංචි කාලෙ.. පුතාට පොඩි නැෂනල් එකයි , දුවට ළමා සාරියයි අන්දවල දහම් පාසල් එක්ක යනව”
” මොකෝ මට මතක නැත්තෙ ? මං මැරිල උපන්නයැ?.. මං හිතන්නෙ පුතාට 10 යි.. දුවට 8 යි”
” හිනාත් යනව මතක් වෙන කොට..ළමයි දෙන්න බලෙන්ම දහම් පාසලට දාල ඔයා ගෙදර එනව. ඊට පස්සෙ අපි දෙන්න විතරයි ගෙදර. ඔයා මට කරන ඒව.. සමහර දාට මට ඔයාගෙ මූණ බලන්නත් ලැජ්ජයි. කොහෙන් ඉගෙන ගෙනද මන්ද ?”

” ඇයි ඔයා නිකම් ඉන්නවද ? කොහෙන් ඉගෙන ගෙනද මන්ද ?”
” අනේ කාලේ වනේ වාසේ කිව්වලු”
” වෙන මොනවද ඔයාට මතක?”
” ඇයි.. ඔයාට නිතරෝම තේ බොන්න ඕන. මං තේ එක හදල දෙනකං මේං මෙතන කවුන්ටරේ උඩ වාඩි වෙලා ඔහේ මොනව හරි කියවනව. මගෙ තේ එක රහයි කියල ආයෙ ඉල්ල ගෙන බොනව”
” පුතා කාලෙකින් කතා කලේ නෑ. අනේ ඒ ළමයිටත් වැඩ ඇති. ආයෙ කතා කළාම මටත් දෙන්ට ටිකක් කතා කරන්ට”
” නිතරම කතා නොකලාට චෙක් එක නං වරද්දන්නෙ නෑ. ඔය ගිය මාසෙත් එවල තිබ්බෙ ඩොලර් 100 ක්ම.. මේ මාසෙ පැන්ෂන් එක ගන්න ගියාම ඒකත් මාරු කරල පොතටම දානව”
” වීරසිරි අන්කල් පුතාට කියල ටිකක් වැඩි පුර ගෙන්න ගන්නකෝ.. දැන් රුපියල් 125 ක් ගේවනවා ඩොලර් එකකට”
එහෙම කිව්වෙ ලංකා බැකුවෙ වැඩ කරන ජයසූරිය. පෝලිමේ ඉන්නෙ නැතුව ඉක්මණටමට වැඩ ටික කරල දෙන්නෙ ජයසූරිය ළමය”
” අනේ පුතේ.. මගෙ පුතාට එහෙම වැඩිපුර එවන්න බැරි කමක් නෑ. අපෙ පුතා කියන කතාව ඇත්ත. මිනිහ උපාධියට කෙරුවෙ ආර්තික විද්‍යාවනෙ.. ඒ ළමයින්ට අපිට වඩා තේරෙනව”

දවසක් වීරසිරි ඒ කතාව කිව්ව පුතාට ටෙලිෆෝන් කල වෙලාවක.
” තාත්තෙ.. මට 100 ට 200 ක් එවන්න බැරි කමක් නෑ. ඒක තාත්තලටමයි හොඳ නැත්තෙ. මෙහෙම හිතමුකෝ.. මම 100 ගානෙ ඒවනවා හැම මාසෙම. මේ උදාහරණයක් විතරයි.. තාත්තා සීනි ග්‍රෑම් 500 ක් ගේනවා. මාසෙකට. මම 200 ක් එව්වොත් .. තාත්තට සල්ලි වැඩි. තාත්තා සීනි කිලෝ එකක් ගන්න පුරුදු වෙනව. හදිසියේ මට අසනීපයක් හැදුනා.. මම මැරුණයි කියල හිතමුකෝ.. තාත්තලට මොකද වෙන්නෙ..ආපහු ග්‍රෑම් 500 ට පුරුදු වෙන්න අමාරුයි නේද ?”
” ඒත් පුතේ.. මට පුතා ගෙන් සල්ලි එපා.. අම්මටයි , මටයි හොඳටම ඇති මගේ පැන්ෂන් එක. මේ ගමේ මිනිස්සු කියන කතා…..”
” තාත්තලගෙ රට දියුණු වෙන්නෙ නැත්තෙ ඔන්න ඕක නිසා.. හැම දේම වෙන්න ඕන ගමේ මිනිසුන්ට , පිට මිනිසුන්ට ඕන විදියට. ඒකට මෙහේ .. අල්ලපු ගෙදර මිනිහ මැරිල කුණු වෙන තුරු කවුරුවත් දන්නෙ නෑ”
” එහෙම ජීවත් වෙල ඇති පලේ මොකද පුතේ…? අපේ ගෙදර ටිකක් රෑ වෙන කං ලයිට් පත්තු උනොත් අඩු ගානෙ දෙතුන් දෙනෙක්වත් ඇවිල්ල අහනව මාමෙ – නැන්දේ තාම නිදි නැද්ද කියල?”
” පුතා මේ අවුරුද්දෙවත් එනවද ? අනේ කට්ටියම එන්න.. මට ආසයි පොඩි පැටව් ටික බලන්න. දැන් තුන් දෙනෙක්ලු නේද ?”
” ළමයි එක්ක ඇවිල්ල කොහොමද තාත්තෙ ? ඉන්නෙ කොහේද ? අඩු ගානෙ හොඳ වැසිකිලියක්වත් තියෙනවද?… මං කියන්නම්.මගෙ හිතේ කාලෙක ඉඳල මේක තිබුණේ. තාත්තගෙන් අහන්න. ඔය ගේ අම්මටයි ,තාත්තටයි ලොකු වැඩි. වෙල මැද තියෙන්නේ. මං වැකේෂන් බන්ග්ලෝ එකක් හදන්නම්. අපට ආ දාක හෝටල් වල නවතින්න ඕනත් නෑ. මෙහෙන් එන මගේ යාළුවන්ට කුලියට දීල හොඳ ගානක් හොයා ගන්නත් පුළුවන්. තාත්ත මොකද කියන්නේ ?”
” බලමුකෝ”
ආයෙම දවසක වීරසිරිගෙ පුතා ටෙලිෆෝන් කලා.
” තාත්තෙ .. අර මම කීව වැඩේ කොහොමද ? මම හැමදාම ලංකාවෙ නිවුස් බලනවා. හැමතැනම මිනී මැරුම්. තාත්තල ළඟ සල්ලි ඇති කියල හිතල කවුරු හරි අම්මටයි තාත්තටයි කරදරයක් කරන්න පුළුවන්.
මගෙ යාළුවෙක් ඉන්නවා. වත්තල. මූද අයිනෙ එයාගෙ වැකේෂන් හෝම් එකක් තියෙනවා. අම්මටයි තාත්තටයි ටික දවසක් එහේ ගිහින් ඉන්න පුළුවන්. හැම දේම එයාල බලා ගනී. ඒ අතරතුරේ මං තාත්තල ඉන්න ගෙදර වෙනස් කරල ගන්නම් ටුවරිස්ට් හොටෙල් එකක් ගානට. තාත්ත කැමතියි නේද?”
” පුතාගෙ කැමැත්තක්.. මං ඕව යනකොට අර ගෙන යනවායැ”
එක්තරා උදෑසනක කිරිපාට ටොයොටා හයී-ඒස් වෑන් එකක් වීරසිලගෙ වත්තට හැරෙව්වා.

” මිස්ට වීරසිරි.. මිස්ට වීරසිරිගෙ පුතා මගෙ හොඳ යාළුවෙක්.. මං සේරම බලා ගන්නම්. අපි යන්න ලෑස්ති වෙමු. කිසි දෙයක් ගන්න එපා. වටිනා ලියකියවිලි තියෙනවා නම් ඒවයි ,ඇඳුමුයි ගත්තාම ඇති”
වීරසිරියි , ලීලාවතියි රැගත් ටොයෝටා හයි ඒස් එක මීගමු පාරෙ ටිකක් දුර ගිහින් වත්තල හරියෙදි මූද පැත්තෙ පොඩි පාරකට හැරෙව්ව. ලොකු දිග තාප්පයක්. රතු පාට , දම් පාට බෝගන්විලා මල් වලින් පිරුනු තඹ පාට නාම පුවරුවේ ” වැඩිහිටි නිවාසය” කියල ලොකු අකුරෙන් ගහල තිබුනා.
” ඈ ලීලෝ.. මේක මේ මහළු මඩමක් නේද? අපෙ පුතා ඇයි අපි මහළු මඩමකට දාන්නෙ ඇයි? අපි යමු ආපහු”
” කලබල නොවී අපි ටික කාලයක් ඉමු. වෙනසකටත් එක්ක, නැත්නම් පුතාගෙ හිත නරක් වෙයි.”
” අන්න හරි.. අම්මට තේරෙනවා.. පුතා අපට අවුරුද්දකටම සල්ලි ගෙවල තියෙන්නේ. මෙහේ කිසි කරදරයක් නෑ.”
” නෑ…හ්.. මහත්තයො… මහත්තයා අපේ පුතත් එක්ක ඒ ගනු දෙනු බලාගන්න. අපි මහළු මඩම් වල ඉන්න ඕන අය නෙවේ. මම ආණ්ඩුවේ හොඳ රස්සාවක් කල කෙනෙක්. මට හොඳ පැන්ෂන් එකක් ලැබෙනවා”
ලීලාවතියි , වීරසිරියි ආපසු ගෙදර ආවා.
” ඕං කා එක්කවත් එහෙම කියන නෙවෙයි අපි ගිය ගමන. ඒක අපේ ළමයින්ට හොඳ නෑ.. අපේ ළමයින්ගෙ වැරදි , අඩු පාඩු පිට මිනිස්සු එක්ක කියන්න ඕන නෑ. විශේෂයෙන් අල්ලපු වත්තෙ පෙරේරලත් එක්ක”
” ඔයා තමා කතාවට ගියාම කට පරිස්සම් කර ගන්න ඕන. කියන්න ගියාම ඕන දේත් කියනව.. එපා දේත් කියනව පිට මිනිස්සු එක්ක”
පසුවදා වීරසිරියි ,ලීලාවතියි ඇහැරුනේ එක දිගටම දුරකතනය නාද වීම නිසයි.” පුතා වෙන්නැති… මට නම් බෑ .. ඔයාම කතා කතා කරන්න. දැන් එහේ රෑ. අපිට බනින්නද දන්නෙ නෑ කතා කරන්නෙ”
” තාත්තෙ.. මම නරකක්ද කරන්න හැදුවෙ? ඔය ගෙදරට වෙලා ඉන්නවාට වඩා නරකද එකම වයසේ කට්ටියත් එක්ක විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න එක. මාසෙකට සැරයක් දොස්තර ඇවිල්ල බලනව. හොඳ කෑම වේලක් ලැබෙනව. TV තියෙනවා. පුස්තකාලයක් තියෙනව”
” ඒත් පුතේ ඒක මහළු මඩමක් නේ ? ඇයි අපි එහෙම තැන් වල ඉන්නෙ.. පුතා එවන සල්ලි නැතුවත් අපි දෙන්නට මගේ පැන්ෂන් එක ඇති ජීවත් වෙන්න”
” මඩම?.. තාත්තලගේ ඔය වචන තමා ප්‍රශ්නෙ. මහළු මඩම.. අනාත මඩම , ගනිකා මඩම?…..ඒක adult care center එකක්. බලන්ට එපායැ මෙහේ.. තාත්තලගෙ වයසෙ අය ඒවට වෙල කොච්චර විනෝදෙන්ද ඉන්නෙ කියල.. මං දන්නෑ.. ඕන එකක් කර ගන්න.. හදිසියේ ලෙඩක් දුකක් හැදුනා.. කවුද බලන්න ඉන්නෙ…තාත්තලට මෙහේ ඇවිල්ල ඉන්නත් බෑ”
” පුතාට කේන්ති ගිහින්.. අද ඔයා ගැන ඇහුවෙත් නෑ”
” ඒකට කමක් නෑ.. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද ? අපි කාත් කවුරුවත් නැති අයද? ඔයාට මම ඉන්නවා.. මට ඔයා ඉන්නවා..”
” පෙරේර ඉස්කෝලෙ මහත්තය වාසනාවන්තයි. දුවල දෙන්න සති අන්ත වල මාරුවෙන් මාරුවට එනව. බැරි වෙලාවත් ආවෙ නැත්නම් මහ දෙන්න යනව එයාල බලන්න.. බලන්න එපායැ.. පෙරේරා පොඩි උන් එක්ක මිදුලේ සෙල්ලම් කරන හැටි..
අනේ මගෙ ළමයි.. කොහොම ඉන්නවද.. වෙලාවට කනව බොනවද ?… මේ මුළු ගේම මූසල පාටයි.. පාළුයි.. තෙතයි..’
” අපි ලොකු පවක් කරල ඇති.ඔයාට මතකද.. දවසක් අපෙ බැළලි පැටව් ගහල.. ඔයා කඩදාසි බෑග් එකක දාගෙන ගිහින් උන් කොහාටද දාල ආව?”
” ඔයාමනෙ කිව්වෙ පන්සල් වත්තට ගිහින් දාන්න කියල.. මම ඊටත් එහා ගිහින් දැම්ම. නැත්නම් උන් පාර හොයා ගෙන එනව.”
” ඒවයෙ විපාක තමා මේ.. ගිය ආත්ම වලත් අපි දෙන්නම එකතු වෙල ඔය වාගෙ අසප්පුරුෂ වැඩ කරල ඇති.. “බණ නම් නිබොරුය මුනිවරයින්නේ…”……මේ අනික් පදේ මට කල්පනා වෙන්නෙ නෑනෙ”

හදිසියේම දවසක් උදේ වීරසිරි අසනීප උනා. ඇඳෙන් නැගිට්ටෙ බොහොම අමාරුවෙන්. දෑස් නිලංකාර වෙලා නොපෙනී ගියා. ආපහු ඇඳ උඩටම කඩා වැටුනා. ඇඳ විට්ටමේ ඔලුව වැදුනා.කට පැත්තකට ගියා. කතා කර ගන්න බැරුව ගොත ගැහුනා.
ලිලාවතී , අහල පහල අයගෙ උදව් ඇතුව වීරසිරි ඉස්පිරිතාලෙ අරන් ගියා.

” හොඳ වෙලාවට ලෙඩා ගෙනාවෙ. තව පැයක් පරක්කු උනා නම් මොනව වෙයිද කියන්න බෑ. තව ටික දවසකින් ලෙඩා ගෙදර ගෙනියන්න පුළුවන්. ඇස් පෙනීම දැන් සතුටුදායකයි. ඒත් දකුණු අතයි ,කකුලයි නම් අප්‍රාණිකයි. අපට මීට වඩා යමක් කරන්න අමාරුයි මේ වයස ප්‍රශ්නෙ නිසා. බලන්න සිංහළ වෙදකමක්වත් කරල”
” අනේ දොස්තර මහත්තයෝ.. එහෙම නම් පිටරකට හරි ගෙනියන්න අපට ලියුමක් දෙන්න. අපේ පුතා ඇමරිකාවෙ.. දුව ඔස්ට්‍රේලියාවෙ. ළමයින්ට කිව්ව නම් දුව ගෙන එයි.”
” එච්චර දුර ගෙනියන එක හොඳ මදි අම්මේ”
ලීලාවති බලා ගෙන හිටිය පුතා කතා කරයි කියල. දුව නම් ඉතින් කවදාවත් කතා කරන එකක්යැ. සුදු මහත්තයෙක්නෙ බැඳල ඉන්නෙ. නීති තද ඇති. නැත්නම් කතා නොකර ඉන්නෙ නෑ.. අනේ .. ඒ ළමයින්ටත් වැඩ ඇති නේ..”
” ලීලෝ.. මේ වැඩෙ ඉක්මණට ඉවරයක් කරන්න ඕන.. මේ ගේයි , ඉඩමයි ළමයි දෙන්න නමට ලියල දාන්න ඕන. නොතාරිස්ටයි , සාක්කියට අස්සන් කරන්න ඉස්කෝලෙ මහත්තයටයි එන්න කියන්න හෙට අනිද්දටම”
” මං ඔයාට ජීවිත බුත්තිය තියලයි ලියන්නෙ.. මගෙ අකවුන්ට් එකෙත් සල්ලි ටිකක් ඇති”
” මා ළඟත් සල්ලි ටිකක් ඇති.. මං වෙනම එකතු කළා අපි දෙන්නට දඹදිව යන්න කියල හිතා ගෙන”

වීරසිරි දොට්ට පිලට ගියෙත් අමාරුවෙන්. ඇඳේ එකම පැත්තකට වෙලා ඉඳල පිට පැත්ත තුවාල වෙලා වණ උනා. ලීලාවතී එහා ගෙදර රංජිතුත් අල්ලගෙන සුමානයකට සැරයක් විතර වීරසිරි නාවල , පිරිසිදු කරල පිට කොන්දට පව්ඩර් දැම්ම.
” ඈ ලීලෝ.. ඔයාට බුදු බව ලැබෙනව මගෙ කැත කුණු අත ගානවට. ඔයත් තව කී දවසක් මේක කරයිද ?”
එක දවසක් වීරසිරි ඇඳේම මළ පහ කර ගෙන තිබුන. උදේ තේ එක දෙන්න ගිය ලීලාවතීගෙ නැහැය ඉබේම ඇකිළුනා. වීරසිරි ඒක දැක්ක.
” මම මොනව කරන්නද ? අපි අර පුතා ලෑස්ති කරපු දේට කැමති උනා නම්… මට උදව්වක් කරන්න. ඔයාට පව් නෑ. මේ කොට්ටෙ මගෙ මූණට තියල ටිකක් තද කර ගෙන ඉන්න.”
” චිහ්.. පව් කතා.. අවුරුදු 40 ක් 50 ක් ඔයාගෙ පස්සෙන් වැටී ගෙන ආවෙ ඔය ටික අහ ගන්නද ? මට පුළුවන් තරම් කල් කරන්නම්”

අහල පහල කවුරු හරි අල්ල ගෙන ලීලාවති තම සැමියා ඇඳ පිටින්ම ගේ පිටු පස මිදුලට අරන් ගිහින් , වතුර උණු කරල නෑව්වා. පුළුවන් විදියට පිරිසිදු කළා.
” පුතේ.. රංජිත්.. අද මාමව නාවන්න ඕන.. මේ අව්ව තියෙන වෙලාවෙ..”
” අනේ නැන්දෙ.. මම මේ ගමනක් යන්න ලෑස්ති වෙලා. වෙන කාට හරි කියන්න. තව කී දවසක් මේක කරන්නද ?”
“ජරාව මොනවත් නෑ පුතේ… මම සුද්ද කළා. ඇඳ එළියට අරන් දුන්නොත් ඇති.”
” කතාව නම් ඩොලර් වලින්… ඇයි දරුවො දෙන්නෙක්ම ඉන්නව නේද ? සල්ලි කාරයෝ.. ඇයි වැඩට කවුරු හරි ගන්නෙ නැත්තෙ? මේ ජරාව කර ගහල වැඩට ගියාම දවසම මස්ත බාල්දුයි.”
එදා රෑ වීරසිරි නෙස්ටොමෝල්ට් එකක් හදල ඉල්ලුව. ඒකෙනුත් හැඳි දෙකයි බිව්වෙ. ලීලාවතී , ඇඳ උඩ එලල තිබුනු රෝස පාට රබර් ෂීට් එක ටිකක් එහාට කරල තම සැමියට හේත්තු වෙලා නිදා ගන්න උත්සාහ කළා.
පසුදා…” පුතේ.. රංජිත්….”
” ඇයි අද මොකද ? ඊයෙත් නෑව්ව නේද බබා?”
” පුතේ.. මාම ටිකක් එක විදියකට නිදා ගෙන ඉන්නව.. හුස්ම වැටෙන්නෙත් නෑ. ඇවිල්ල බලනවද ටිකක්?”
රංජිත් උදේ වැඩට යන්න ලෑස්ති වෙල, කමිසෙ බොත්තම් පියවමින්ම දුව ගෙන ආව.
” නැන්දේ.. පොඩ්ඩක් ඔහොම ඉන්න , මම ඉස්කෝලෙ මහත්තයයි , වෙද මහත්තයයි එක්ක එන්නම්”
විනාඩි කීපයක් ඇතුළත ගමේ කට්ටිය විස්සක් විසි පහක් විතර ගෙදරට පිරුනා.
” ලිලාවතී නෝනෙ.. හිත කලබල කර ගන්න එපා.. ලෙඩාගෙ පණ ගිහින් දැන් පැය තුනක් විතර වෙනව. අපි දුවටයි පුතාටයි එහෙම දැනුම් දීල අවමංගල කටයුතු හොඳින් කරමු.
ලීලාවතී පුටුව උඩ ඉඳ උනා. උගුර කට වියලී ගියා.

” ඉස්කෝලෙ මහත්තයෝ.. දුවටයි පුතාටයි ෆැක්ස් කරන්න ඕන. මතක ඇතුව ඉංග්‍රීසියෙන් ලියන්න. පත්තරේට දාන්නත් ඕන. ඉංග්‍රීසි පත්තරේට. කාට හරි කියල වීඩියෝ කර ගන්නත් ඕන. බැරි වෙලාවත් එක්කෙනෙකුට හරි වෙලාවට ඒ ගන්න බැරි උනොත්.. ලේසි පාසු දුරක්යැ.. නිවාඩු ගන්න ඕන. වීසා ගන්න ඕන.
පත්තරේට දානකොට අපෙ මහත්තයා වැඩ කරපු දෙපාර්තමෙන්තුවෙ නම දාල වරහන් ඇතුලෙ විශ්‍රාමික කියල දාන්න. පුතාගෙ නම දාල වරහන් ඇතුලෙ ඇමරිකාව කියලත් දාන්න ඕන. මුණුබුරන්ගෙ නම් මට මතක නෑනෙ”

” නැන්දේ.. හවස 5.30 ත් උනා. දෙන්නගෙන් කවුරුවත් එන පාටක් නෑ. ඉර බැස්සට පස්සෙ මිනිය උස්සන්න බෑ. අපි මේ කටයුතු ඉවරයක් කරල දාමු නේද ?”
ආගමික වතාවත් වලින් පසුව කීප දෙනෙක් ගුණ කතා කීපයක් පැවැත්තුවා.
මළානික හිරු ගේ දුර්වල අවසන් අව් රැල්ලත් කඳු අතරින් මැකී යද්දී මිනී පෙට්ටිය වල තුලට බෑවුනා. ලීලාවතී ආයෙමත් පාර දිහා බැලුවා. අවසන් මොහොතේ හෝ තම දරුවන් බලා පොරොත්තුවෙන්.

මං කවදාවත් ඔයාට වරදක් කරල නෑ. අපි දෙන්න අවුරුදු 40 කටත් වඩා එකට ජීවත් උනා. කවදාවත් උඹ නොදකින් කියා ගෙන නෑ. අපි කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ජීවත් උනු අය. ඔයා දැනටමත් හොඳ තැනක ඉපදිල මා දිහා බලන් ඇති.
මද සුළඟට ලෙල දුන් සුදු කොඩි වැල් , ගොක් රැහැන් , මැයි මාර ගහේ අතු එක්වරම නැවතුනා.

” ඔය දෙන්න පතා ගෙන ආ හැටි වෙන්නැති” කවුදෝ කිව්ව.

නිමි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

දූ දරුවෝ සදහා ප්‍රතිචාර 21ක් දක්වා ඇත

  1. පෘතග්ජන පවසයි:

    නිහාල් මහත්තයො , දෑන් මාසයක් වෙනවා. අලුත් එකක් ලියන්න වෙලාවක් තියෙයිද.

  2. පෘතග්ජන පවසයි:

    උගුරෙ ගුලියක් හිරවෙල, ඈස් දෙක කදුලින් පිරෙන කතාවක්. බොහොම හෑගුම්බරව හිටිය සෑහෙන වෙලවක්. මේක තමය් යතාර්තය

  3. පිටරට මයිග්‍රේට් වෙන ගොඩක් පිරිසගෙ දෙමාපියන්ගෙ තත්වය මේක තමයි. ඛේදවාචකයක් තමයි.

  4. ANSEL පවසයි:

    this problem is due to
    මේ ර​ටේ උගත් දොස්තරවරු , ඉන් ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති. නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි. අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත​. එවැනි රටවල සිටින සුලුතරයක් වූ බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත​. නූගත් පාදඩ වනචාරීන් විසින් බලය ගෙන යන රටක තම ඔපීනියන් දීම යනු දෙකයි දෙකේ පොල්ලක් ඔලුව හරාහා වැදීමය​. එම නිසා මොවුන් බොහෝ විට කරන්නේ තම ඔපීනියන් තමා තුල තබා ගෙන මේ මජර ක්‍රමය හරහා මුදල් උපයා ගැනීමය​. එසේ උපයන් මුදල් වලින් මොවුන් තම දරුවන් දියුණු රට වලට ඉගෙනුම සඳහා යවා ඉන්පසු ඔවුන්ට ඒ රටවල පුරවැසි භාවය ලබා දෙති. තම දරුවා ලංකාව වැනි සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික නූගත් රටක පුරවසියෙකු වීමට වඩා සංස්කෘතික, ආර්ථික සහ සමාජමය වශයෙන් දියුණු රටක දෙවන පන්තියේ පුරවැසියෙකු වීම වඩාත් යහපත් බව ඔවුන් විශ්වාස කරති. මෙය ප්‍රසිද්ධියේ නොකීවද සත්‍ය තත්වය මෙයයි. මේ ගැන කල හැකි දෙයක් නැත​. ප්‍රසිද්ධියේ රට ජාතිය ගැන කථා කරන් නලීන් ද සිල්වාලා ගුනදාස අමරසේකරලාවත් තමන් ගේ දරුවන් හා දරුවන් ගේ දරුවන් වත් ලංකාවේ තියා ගත්තේ නැත​. හේතුව ලංකාව යනු සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බව ඔවුනද හොඳාකාරවම දන්නා නිසාය​.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )