අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්.
අවුරුදු කිට්ටු වෙන කොට මිනිස්සු හරි කලබලයි. අපේ ගමේ නම් වැඩ වැඩි වෙන්නේ මහන ගෙදර සුසිලා අක්කාටයි. ගෑණු – පිරිමි – ළමයි හැමෝගෙම ඇඳුම් මැහුවෙ සුසිලක්කා. පරණ අවුරුද්දට කලියෙන් ඉවරයක් කරන්නත් එපායැ.
මට වයස හතක් අටක් කාලෙ , අපේ අම්මා මටත් , නංගීටත් සූට් දෙක බැගින් මහනව සුසිලක්කට කියල. එකක් පරණ අවුරුද්දට අඳින්න. අනික අළුත් අවුරුදුදාට අඳින්න.
සිංහළ ක්‍රමේට නම් ඒ බක් මාසයයි. බක් කියන්නේ භාග්‍යය කියන එකයි. භාග්‍ය , බග් වෙලා පස්සෙ බක් වෙලා. කඩේ මුදලාලි බක් + කි කරත්තෙන් ගිහිල්ල වෙනද හිස් වෙලා තියෙන කඩේ බක්+ කි භාග්‍යයෙන් පුරවනව. ඒවට ” බග්ස්”ලත් ඇදෙනව. උනුත් එන්නෙ භාග්‍ය තියෙන තැන්වලට විතරයි.
බක් කියනව මුදල් වලටත්. හන්ඩ්‍රඩ් බක්ස්… ෆිෆ්ටි බක්ස්…. ටෙන් බක්ස්. ඒත් ඔය කියන භාග්‍යම තමයි. බක්ස් තියෙනවා නම් හැම දාම බක්.. අත මිට ඇත්නම් හැම දාම අවුරුදු.
” අත මිට ඇත්නම් – ගෑණු ද පංජං” ඔය ගමේ ගොඩේ කියමනක්. අත මිට නැති කල ආදරය පස්ස දොරෙන් පැනල යනව. අත මිට නැතුව ගෑනු කොච්චර හිටියත් වැඩක් නෑ. මෙක්සිකන් කාරයෝ කියන්නෙ මෙහෙමයි. ” no money – no honey ”
“බක් මහටයි පොද වැස්ස වැටෙන්නේ
බක් මහටයි අපි දීගෙක යන්නෙ”
ගමේ ඉරිසියාකාර ඇස් වලින් වහන් වෙලා ආදරෙන් බැඳුනු පෙම් වත්තු බක් මහ වෙනකං ඉන්නවා එක් තැන් වෙන්ට. බක් මහට තමා අස්වනු කපල , අටු කොටු පිරිල සරු වෙන්නෙ.
අපි පොඩි කාලෙ අපේ තාත්ත වැඩ කලේ ගලේවෙල. නිල නිවාසෙක නැවතිල. මාසෙකට සැරයයි ගෙදර ආවෙ. තාත්තා ගෙදර ආදාට අපිට අවුරුදු. තාත්ත ඒ පළාතෙම කෙනෙකුගෙ කුඹුරක් කෙරෙව්ව. බිත්තර වී , වල් නාශක , කෘමි නාශක , පොහොර , වැඩ කුලී ගෙව්වෙ තාත්තා. ඒ හිලව්වට තාත්තට වී ලැබෙනව.
හරියටම අවුරුද්දට සුමානයක් තියෙද්දි “මාටින් අප්පුහාමි සහ පුත්‍රයෝ ” නම ගහපු ලොරියක වීත් පටව ගෙන තාත්ත අපිට භාග්‍ය අරන් එනව.
අවුරුදු කාලෙට මං ආසම කරන දෙයක් තමයි කෙහෙල් කැන් ඉදෙන්න දුම් ගහන එක.
තාත්ත කුස්සිය පැත්තෙ ලොකු වලක් හාරනව. වත්තෙන්ම කපා ගත් ඇඹුල් , ආනමාළු කැන් කීපයක්.. සමහර විට අහල පහල අයගෙ කෙහෙල් කැනුත් බාර ගන්නව ඉදවල දෙන්න. අර වලේ පිදුරු අතුරල , කැප්පෙටිය කොළ එහෙම දාල කෙහෙල් කැන් සීරුවට අඩුක් කරල , වල හරහා ලී දඬු කීපයක් තියල වල තුලට පස් නොවැටෙන විදියට උඩින් ආවරණය කරල , එක් කොනකින් පිදුරු පුරවපු හිල් වෙච්චි මැටි මුට්ටියක් තියල වල ඇතුළට දුම් පිඹිනව. තැනකින් දෙතැනකින් දුම් ලීක් වෙනව.
එහෙම තැන් වලට පස් දාල තද කරන එකයි මට අයිති රාජ කාරිය. දැන් වගේ කාබයිට් ගහන්න ඕන නෑ. පරණ අවුරුද්දට කලින් දා අර කෙහෙල් කැන යස අපූරුවට කහ ගැහිල තියෙයි.
සේන මහත්තය ගමේ වැදගතෙක්. ඒ වැදගත්කම ලැබුණේ පොහොසත්කම නිසාවත් , උගත්කම නිසාවත් නෙවෙයි. පරණ පිනකට. පරම්පරාවෙන් ලැබුනු ඉඩකඩම් බුක්ති විඳ ගෙන සේන මහත්තයා සාමකාමී ජීවිතයක් ගත කලා.
පරණ අවුරුද්දදා උදේ අට වෙන කොට ගමේ හැම ගෙදරකටම ගොඩ වදින්න සේන මහතත්යා අමතක කලේ නැහැ.
” ඕං අපි ආව එහෙනං” අපෙ ගෙට ගොඩ වෙලා එහෙමයි කතාව පටන් ගන්නෙ.
“තව කී පොලකට කියල යන්නද ?” තේ කෝප්පයකින් පමණක් සංග්‍රහ විඳින සේන මහත්තයා අපට මුවා ලකුණ දරණ කොස් ඇට රතිඤ්ඤා පෙට්ටියක් දෙන එකත් වරද්දන්නෙ නෑ.
“තෙල් පැණි ඇත්නම් – කැවුම්ද පංජං” ඒකත් ගමේ ගොඩේ කතාවක්. තෙල් , කිරි , පැණි සරු බවේ සංකේත.
කැවුම් නැති අවුරුද්දක් මොකටද ?
” ඇඹරූ සුදු සහලින්ද
පොල් , කිතුල් , උක් පැණියෙන්ද
මද මද ගිනි පිඹිමින්ද
උකුවට හැඳි ගාමින්ද
හැදෙති කැවුම්
රඹ පත් එළමින්ද
රවුමට හැඩේට වඩමින්ද
තල ඇට මුසු කරමින්ද
බැදෙති කැවුම්….
මහන ගෙදර සුසිලක්කට වගේම තමයි , වංගුවේ ගෙදර කුසුමලතා නැන්දත් ඔය කාලෙට මාර බිසි. කොණ්ඩ කැවුමේ කොණ්ඩෙ ගන්ටත් , වැලිතලපෙ පදම හරියන්ටත් උන්දැගෙ අත් ගුනේ හැමෝටම අවශ්‍යයි.
හැමදාම අවුරුදු නම් කොච්චර හොඳද ? තාත්ත ආපහු යන්න ලැස්ති වෙන කොට දැනෙන දුකටත් වඩා ලොකු පාළුවක් , දුකක් දැනෙනව රතිඤ්ඤා පෙට්ටිය ඉවරවෙලා අවුරුදු ඉවර වෙන කොට.
අප්‍රේල් 16 මගේ උපන් දිනේ.. මේ අවුරුද්ද සිංහළ/ දෙමළ සමඟිය වඩවන , සුව වී ගෙන එන තුවාල ආයෙම නො ඇවිස්සෙන භාග්‍යවත් එකක් වේවා යයි පතන්නේ…
තවත් එක් වසරකින් වියපත් වන යතාර්තවාදියා ය.
nihal please write again..
නිහාල් ඔබ ලියන්නෙ නැති එක නම් සැබෑ පාඩුවක්….
What’s up???????
where is Nihal?
නිහාල් බ්ලොග් අවකාශයෙන් අතුරුදහන් වෙලා…. ඔහු මිය ගොසින් යැයි රාවයක් තිබුනා එහෙත් කවුරුත් හරි තොරතුරක් දන්නෙ නෑ…. කෙසේ වුවත් ඔහුගේ වෙන්වීම රසිකයන් හැටියට අපිට මහත් පාඩුවක්….
හාමුදුරුවන්ගෙ ලිපියෙන් ඔහුට වස් වැදුනාවත්ද?
නැත්නම් මරණ තර්ජනයක් වත්ද?
නිහාල් ගුරුසිංහගේ තොරතුරු අසා ඔහුගේ රසිකයෙකු මට ඊමේලයක් එවා තිබුනා.
කරුණාකර දන්නා කෙනෙකු සොයා බලන්න.
salu නැමති අයෙක් සමග නිහාල් සබදතා පැවැත්වූවා… නමුත් ඔහුට අනුව ඔහුත් නිහාල්ව පුද්ගලිකව දන්නෙ නෑ…
එක්කෝ නිහාල් නමින් මේ බ්ලොග් සටහන තැබූ තැනැත්තා මියගොසින්.. නැතිනම් ඔහු විසින් මෙම නිහාල් ගුරුසිංහව මරා දමලා…..
කෙසේ වුනත් ඔහුගේ ලේඛන හැකියාව ඉතා ඉහලයි…. ඔහුගේ හිස් තැන කවදාවත් නොපිරවෙනු ඇති………