හද රැඳි ගීයක්.


අනුන් කරන වැරදි නිසා අනුන්ගෙ පව් වලට කර ගහන , අනුන් නිසාම හැමදාම අවඥාවට ලක්
වන , නින්දා අපහාස විඳින , දඬුවමට ලක් වන , එසේ වූ තවත් එක් ගැහැණියක් ගැන
අද මම මෙසේ ලියමි.

වංගුවේ ගෙදර කුසුමලතා නැන්දා හිටි හැටියේ අපේ ගෙදරට පාත් වෙන්නේ , යමක් කෑමට බීමට ඇත්නම් එයත් සප්පායම් වී , ඒ හිලව්වට ගමේ ඕපාදූප වලින් අපේ අම්මගේ දෙකන්
පිරවීමටය.

” දැන් අරකි අරක එළිපිටම කරන්න පටන් අරන්” කතාව පටන් ගන්නේ එහෙමය.
” පුතේ මන් කියල තියෙනව නේද ලොකු අය කතා කරන දේවල් අහ ගෙන ඉන්න එපා කියල” අම්මා මා එලවා ගත්තා.
ඒත් මා හැමදේම අහගෙනයි…..

” ඔය කෙල්ලත් මැරිච්චි පියදාසගෙ නෙවෙයි කියනවනේ..”

අපි ඇයට සිරියාවතී නැන්දා යයි කියමු. පියදාස , සිරියාවතීගේ සැමියා ලංගම රියැදුරෙක්. පියදාස අකාලෙ මැරුණේ ඔළුවේ නහරයක් පිපිරීමෙන්. පියදාස ජීවත්ව ඉන්න කාලයේ උනත් , ගමේ ගෑණු සිරියාවතීට ඇණුම් පද කීවේ , ඒ ඇත්තටම ඈ ඇහැට කණට පේන ලස්සන කාන්තාවක් වුනු නිසයි.

” ඕකි නාන හැටි දැකල තියේද ලීලා නෝනේ ?.. පෙනේරෙ වගේ තුනී රෙද්දක් ඇඳල… ඒක නැතුවම හිටිය නං ඊට හොඳයි.. අහල පහල පිරිමි හිටියත් ඒකිට වගක් නෑ..”

මා පළමු වරට නග්න ස්ත්‍රී රුවක් දකින විට වයස එකොළහක් ඇති.

සිරියාවතී නැන්දා දිය නා , තෙත දිය රෙද්ද පහලට රූරා වැටෙන්නට හැර , අළුත් චීත්ත රෙද්ද දෙපසට විහිදා රැලි ඇර , තන මතින් හැඳ ගන්නා විට , ඇගේ සියල්ල මා බලාගෙනයි. එය මනස්කාන්ත දසුනක්. දින කීපයක් යන තුරුම එය මගේ මතකයෙන් ඉවත් කළ නොහැකි දසුනක් උනා.

” පුතේ.. නාල අව්වෙ ඉන්න එපා…” අම්මා මට කීවා. අම්මාට කලින් මා දිය නා එගොඩ වී තුවායක් හිසේ පොරවා ගෙන , තුවායේ ඉරුනු තැනකින් , දිය නාන සිරියාවතී නැන්දා නැරඹීම මගේ පුරුද්දක් උනා.
“උඹල ඔය මිනිහ මැරිච්චි ගෑණිට කතන්දර හදනවා.. පියදාස මළාට පස්සෙ උන් කන්නෙ බොන්නෙ කොහොමද .. ජීවත්වෙන්නෙ කොහොමද කියල හොයල බැලුවද.. උනුත් කොහොම හරි ජීවත් වෙන්න එපායැ.”

අපේ අම්මා ප්‍රශ්න දෙස බලන ආකාරය දාර්ශනික යැයි පසු කළෙක මට හිතුනා.

මංගලිකා.. මගේම සම වයසේ වූ සුන්දර යුවතියක්. ඒ සිරියාවතී නැන්දගේ එකම දුව. මවගේ ඡවි වර්ණය හා හැඩ රුව අඩු නැතුවම ඇයට පිහිටා තිබුනා.
හැමදේටම කතන්දර හදන ගමේ ගෑණු කීවේ ඇගේ පියා පියදාස නොව , සමූපේ බඩු කිරන හරිශ්චන්ද්‍ර බවය.

මංගලිකා මට හමුවන්නේ ඉරිදා දහම් පාසලේදී. දහම් පාසල් නිම වී කුඩා රැස්වීමක්. කවුරුන් හෝ ගායනයක් , නර්තනයක්, කතන්දරයක් ඉදිරිපත් කළ යුතුයි.
ඇයට තිබුණේ මිහිරි කට හඬක්. සමහරදාට ඇය නන්දා මාලිනීගේ ගී ගායනා කළා.
” හද විල කළඹන පෙම් ජල රේකා..” ගැයූ ආකාරය මට අද මෙන් මතකයි.

මා දැඩිව පෙම් කළ , ස්තිරවම විශ්වාස කළ මගේ පෙම්වතිය මගෙන් වෙන්වී ගියේ ඊට හේතුවවත් මට නොකියා.
” හේතුවක් නෑ… මම කැමති නෑ.. එච්චරයි.. සේරම අමතක කරල දාන්න”

ඒ වන විට මම රැකියාවක් කළා. මා ඈට වසඟ වී හිටියා කීවොත් එය නිවැරදියි. මට ඕන වුනා ගඟේ පනින්න.. කෝච්චියට පනින්න.. මම බාර් එකට ගිහින් හොඳටම බිව්වා. මම ගෙදර ගියේ ත්‍රීවීලර් එකක.
වැලි පාරෙ යන කොට මම දැක්කේ මංගලිකා.. ඇය තවත් ලස්සන වෙලා. කටුනායක ගාමන්ට් එකක වැඩ කළ ඇය සති දෙකකට සැරයක් අම්මා බලන්න එනව.

” නගින්ට.. මාත් ගෙදර යන ගමන්”
මංගලිකා ඇස් ලොකු කරල බලල ත්‍රීවීලරයට ගොඩ උනා.
” අයිය ගොඩාක් කාලෙකින් දැක්කෙ”
මගෙ හිත විකල් වෙලා. මම ඇගේ උකුළට අත තිබ්බ. ඇය ආයෙත් ඇස් ලොකු කරල බැලුව විතරයි. ඊට විරුද්ධත්වයක් පෙන්නුවෙ නෑ.
” අයිය බීල. මෙහාටත් ගඳ එනව.. මට නම් විශ්වාස කරන්නත් අමාරුයි”

අපි අපේ ගේ පහු කර ගෙන ගියා. මට ඕන වුනා කාගෙත් එක්ක හරි කියවන්න.
” අපේ ගෙදර යං… ටිකක් අඩු වුනාම යන්න බැරියැ. ඔහොම වැනි වැනී යන එක හරි නෑ. කවුරුවත් දකී”

සිරියාවතී නැන්ද මා අඳුර ගත්තෙ නෑ. මංගලිකා ආවෙ කාත් එක්කද කියල බලන්නවත් ඈට වුවමණාවක් නෑ. අමාරුකමටම මට කෙටි නින්දක් ගියා. අවදි වෙන කොට මම ඇගේ ඇඳේ හාන්සි වී හිටියා.
” ඇයි මෙච්චර බිව්වෙ ? කෙල්ලක් නිසාද ?”
“ඔව්.. මට ඕන වුනේ ජීවිතේ නැති කර ගන්න. හොඳ සිහියෙන් ඒ දේ කර ගන්න මට හයියක් නෑ”

” විරහ වේදනාව මට අළුත් දෙයක් නෙවේ. එහෙම නම් මම කී සැරයක් දිවි නහ ගෙනද ? කෙල්ලක් නිසා වටින කියන ජීවිතයක් නැති කර ගන්න එපා. ඕන නම් පලි ගන්න.. හැබැයි තමන් ගෙන් නෙවෙයි”
” මට හංගන්න දෙයක් නෑ.. ගමේ අය තාම දන්නෙ නෑ මගේ රස්සාව මොකද්ද කියල. මට මේ දේ කරන්න සිද්ධ උනා. මම ජීවත් වෙන්න ඕන.. මගේ අම්ම බඩගින්නෙ තියන්න බෑ මට..
මේක නරක තැනක් කියල දැන් ප්‍රසිද්ධයි.. දුක තුනී වෙනකං ඉඳල ගෙදර යන්න. දැන් ඉතින් හෙට ගියත් කමක් නෑ.”

ඇය කාමරයේ දොර වසා දැම්මා.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

25 Responses to හද රැඳි ගීයක්.

  1. Pannilage Nelan Dayarathne පවසයි:

    අති විශිෂ්ඨයි‍්‍.. දුක හි්තන කතාවක්..

  2. indika gamage පවසයි:

    බලාගෙන ගියාම නිහාල් අයියත් ලේසි පහසු මිනිහෙක් නොවේය… අපිත් ඕව කලාට [රෙදි අස්සෙන් බලනව වැනි.]මේවගේ කියන්න තරම් දියුණු නැත………

  3. සංජය පවසයි:

    මෙහි එන මංගලිකා වැනිවූ මංගලිකාවන් බොහොමයකගේ කතාව මීට සමානය යන්න මාගේ විශ්වාසයයි… බොහෝ ගැහැණුන් මංගලිකාවන් බවට පත්වීම සාධාරනීකරණය කිරීම මෙහි අරමුණක් වූයේ නම් එය බොහෝ දුරට ඉටුවී ඇතිබව මාගේ හැගීමයි… ඔබ හද රැදුනේ ගීතය පමණක්දැයි මට සැකයි 🙂

  4. Alchemiya පවසයි:

    මමත් මං මුලා වෙලා පාර හොයාගෙන යද්දි සමනලියක් නොවුනත් මට සමනලියක් වගේ පෙණුනු කෙනෙක්ගෙන් පාර ඇහුවා… දැන් අවුරුදු 19 ක්ම මට පාර පෙන්වන්නෙ ඒ සමනලිය තමයි. හැබැයි අලගිය වැලගිය මුලගිය තැන් ඔක්කොම දන්නෙ උන්දෑ තමයි…
    හැබැයි ඇය මං මුලා වෙලා නොහිටි එක නං මගේ හොඳට ගියා…..
    අපූරු කතාව… අපූරු සිංදුව…. අපූරුවට ගැලපෙනවා… මමත් හරිම ආස සිංදු කිහිපයෙන් එකක්….

  5. භෘංග භූෂිත පවසයි:

    නිහාල් අංකල්,මංගලිකා කාමරේ දොර වැහුවේ එලියෙන් ද ඇතුලෙන් ද? :ඩී

  6. දුකා පවසයි:

    හරිම තාත්විකයි . . . කෙනෙක් ලියන හැම එකක්ම තමන්ගේම අත්දැකීමක් කියලා මිනිස්සු හිතන්නේ තාත්වික බව වැඩි උනාම . . .
    එහෙම නොවීත් තාත්විකව ලියන්න හැකියාව ඇති අය ඉන්නත් පුලුවන් . .
    මොනව වුනත් හරිම අපූරුයි . . .

  7. kathandarakaraya පවසයි:

    ඊලඟ සින්දුව මේකද?
    අභිසාරිකාවන් ගේ
    උන්මාද නෙත් අතරේ
    අයාලේ ගිය ජීවිතේ…

    • Nihal Gurusinghe පවසයි:

      මම එහෙම ගමන් කීපයක් ගිහින් තියෙනව. ඒත් හිත අයාලේ යන තුරු ඒවට ඇබ්බැහි වුනේ නැහැ. තරුණ කාලේ කළ දේවල්. ඕව නොකරන කෙනෙක් නෑ. නොකරන අයත් ඕන තරම් ඇති.
      අපි අනික් අයට ආදරය කරන්න පෙර තමන්ට ආදරය කරන්න ඕන. ගුනදාස කපුගේ එය දැන ගෙන හිටියේ නැහැ. හැම දේටම වඩා මතට මුල් තැන දුන්නා. එහෙම නොවුනා නම් ඒ භාවමය කට හඬ අදත් අප අතර නේද ?

  8. athula ranasinghe පවසයි:

    පිස්සු හෑදෙන සඳ…….. අනේ ඈත්තටම වත්සලා බ්ලොග් කියවන්නේම නෑද්ද නිහාල්?
    මට මේ ඈලපිල්ල හරියට ලියන්න බෑනේ ……

    • Nihal Gurusinghe පවසයි:

      මුලදි මුලදි එයා කියෙව්වා. ඔයාගේ අප්‍රභංශ කියවන්න මට වෙලාවක් නෑ කියල දවසක් කිව්ව.

      සිංහලෙන් ටයිප් කරන්න ඔබ කුමක් භාවිතා කරනවාද මා දන්නෙ නැහැ.
      මම කරන්නෙ මෙහෙමයි.
      නිකම්ම කැපිටල් A ටයිප් කළාම ඇලපිල්ල.
      ” මැ” ටයිප් කරන්නේ m හා කැපිටල් A වලිනුයි.

  9. praveena පවසයි:

    හිත දුකෙන් පුරවන කතාවක්!!!

    ගොඩක් වෙලාවට ලස්සණ වෙලා උපදින එක දුකට හේතුවක් බව දැකලා තියනවා. විශේෂයෙන් දුප්පත්කමත් එක්ක එකට ආවොත්.

    ගීයත්, කතාවටම ගැලපෙනවා. මංමුලාවී පාර හොයාගන යන ගමනේ මංමුලාවූ සමනලියක්ගෙනි පාර අසා තිබුනේ…ඒ වගේ ගැහැනු සමනලියන්ම තමයි… 😦

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )