ඉලක්කම්.


හැම ඉලක්කමක්ම 0 ත් 9 ත් අතරනේ. ඒ දෙකෙන් තමා හැම එකක්ම ගොඩ නැගෙන්නේ.
බිංදුවේ වටිනාකමක් ඇත්තේම නෑ කියන්න බෑ. මොකද , ඉලක්කමක් අගට බිංදුවක් වැටුනොත් කොහොමට හිටීද ?

දැන් මං ඔය බැඳල ඉන්න වත්සලා කෙල්ලගෙන් මං ඉස්සර අහනව මට කොච්චර ආදරේද ? කියල. එයා කියනව ” අහස තරම්” , “පොළොව තරම්”, “මුහුද තරම්” කියල. මම කිව්ව දවසක් එහෙම නෙවේ ඉලක්කම් වලින් කියන්න කියල. දාහක්… දහදාහක්, ලක්ෂයක් , කෝටියක් වගේ… මේ ගෑනි කියාපි 1 බෙදීම බිංදුවක් කියල. හිතා ගන්න පුළුවන්ද එයාගේ ආදරේ තරම .

අපි බැඳලත් අවුරුදුම 22 ක්. දින 8030 ක්. පැය 192720 ක්. විනාඩි නම් 11,563,200 ක්.
මේවත් ඉලක්කම්. ජීවිතයම ඉලක්කම් ගොඩක්.

වෙලාවකට තරහත් යනව මේ ඉලක්කම් එක්ක. කවුරු හැදුවද දන්නේ නැහැ මේ ඉලක්කම් ?

උපන්දා ඉඳල , සමහර විට ඉපදෙන්ට කලින් ඉඳලම මේ ඉලක්කම් අපිත් එක්ක
සම්බන්ධයි. අප මහ බෝසතානෝ 5 මහ බැලුම් බැලුව. එතන 5 යි. වෙන පොඩි උන් වගේ නෙවේ උපන් ගමන් නෙළුම් මල් 7 ක් උඩ ඇවිද්දා. එතන 7 යි.

සාමාන්‍ය මිනිස් බබාල අම්මිලගේ බඩේ මාස 7 – 9 ත් අතර කාලයක් ගත කරනව. 10 මාසෙ උරේ කත්වා කියල කිව්වට මම නම් අහල නැහැ එහෙම මාස 10 ක් හිටපු බබාල ගැන.

බබා කුසට ආදා ඉඳලම අම්මයි තාත්තයි ගණන් හදනව. මාසෙන් මාසෙට. මාස 3 දී දොස්තරල චැනල් කරනව. බබා නෝමල් කිව්වත් අහන්නෙ නෑ. බබා උපන්නට පස්සෙ බබා ගෙ බෙල්ලේ පංචායුධයක් එල්ලනව. එතනත් 5 යි.
හැම අම්මා කෙනෙකුටම තම දරුවා බෝසතෙක්. වැටි වැටී ඇවිදින්ට හදන දරුවට ” හතායි… හතායි. ” කියල දිරි දෙන්නේ අර නෙළුම් මල් 7 ගැන හිතල වෙන්න ඇති. පොඩි උන් නිතරම ලෙඩ වෙනව. ඒ ග්‍රහයො 9 දෙනා නිසයි. උන්ට 3 වරුවක් පිරිත් කියල දෙහි ගෙඩි 8 ක් කපනව. නූලක් දානව බෙල්ලට හරියටම 108 වරක් මතුරල.
ඊට පස්සෙ අවුරුදු 5 න් ඉස්කෝලෙ දානව. බබා එක්ක බබාගෙ අම්මත් ඉස්කෝල යනව.
12 හමාරට ඇරෙන්නේ. ඔහොම ගිහින් 5 ශිෂ්‍යත්වෙටත් ලියනව. අපිට නම් තිබ්බේ 7 දි.

D 8ක් නැතුව ගෙදර එන්නෙ නෑ.. ඔන්න.. බොරුවට තරව්ටු කරන්නෙ 10 විභාගෙදි.
ඊට පස්සෙ උසස් පෙළ. අපේ කාලේ නම් විෂයයන් 4 යි. දැන් 3 ලු. ඊට පස්සෙ විශ්ව විද්‍යාලෙ..අවුරුදු 3 ක් , 4 ක් හෝ 5 ක්.
ඊළඟට බබාගෙ වටිනාකම වැඩි. ලොකු ඉලක්කම් ගොඩක්. දෑවැදි ඉල්ලනව. සමහරු දෙන්ට එකතු කරනව. බැංකු පොත් වල බැර පැත්තේ ඉලක්කම් ගොඩ ගැහෙනව.

බඳින්න ගියාමත් ඉලක්කම් වලින් ප්‍රශ්න අහන්නෙ. වයස ? ආදායම ? පවුලේ කී දෙනාද ?
මංගල්ලෙට නැකත් හදන්න ඕන. කඩදාසියක කොටු ඇඳල ඒකට ඉලක්කම් පුරවල හොඳ වෙලාවක් බලනව. දකුණු කකුල පෙරට තියල ගිහින් පෝරුවට නැගල ජයමංගල කියන නංගිලා 5 දෙනාට ඉලක්කම් ටිකක් ඇතුලට දාල ලියුම් කවර දෙනව.
ඊළඟට ගෙවල් හදනව.. දෑවැද්දට ලැබුණු පර්චස් 10. කාමර 3 ක් , 4 ක්. සමහර විට තට්ටු 2 ක්. බැල්කනි 4 ක්. උළුවහු ජනෙල් වල එකතුව ඔත්තේ ගානක් වෙන්න බෑ. තට්ටු දෙකට හදනව නම් කොන්ක්‍රීට් ස්ලැබ් එක දාල දවස් 21 ක් තියන්න ඕන වේලෙන්න.
වාහනයක් ගන්නත් එපායැ. එතනත් ඉලක්කම් ගොඩක්. පැට්‍රල් ( ගෑස් ) ගහන්නෙත් ඉලක්කම් වලින්. අපේ කාලෙ තිබුනේ 10 ශ්‍රී 12 ශ්‍රී. දැන් පොඩි ඉරි කෑල්ලක් දෙපැත්තෙ ඉලක්කම් ගොඩක්.
මම ඉස්සෙල්ලම ගත්තෙ බයිසිකල් කටුවක්. ඒක අරන් 8 ගහල පෙන්නන්නත් උනා. 8 නං ගැහුව හරියට. ඒත් දවසක් ටවුම මැද ඇද ගෙන වැටුන. ගැහුන මැහුම් 4 ක් දණ පොල් කට්ටට.

කිසිම දෙයක් නෑ.. කිසිම තැනක් නෑ ඉලක්කම් නැති. වැසිකිළියට ගිහින් දොර වහගන්නෙ ඒ කටයුත්තවත් නිස්කලංකව කරන්න.
” දැන් කොච්චර වෙලාද? අනික් මිනිස්සු යන්නෙ නැද්ද ?ඔරලෝසුවෙත් ඉලක්කම්.

පන්සලකට , පල්ලියකට ගියත් ඉලක්කම්. බෞද්ධයො නම් දන්නව, නමස්කාරෙ 3 වරක් කියල 3 වරක් සාධු කියන්න ඕන. 3 සරණය සහිත 5 සිල් සමාදන් වෙන්න ඕන. නැත්නම් 8 සිල්. දෙවියන්ට 3 වරක් පින් දෙන්න ඕන.

ඔය කොහොම කළත් 120 ක් ඉන්න බෑ. 70 න් කෙරුම් ඉවරයි. ඊට වඩා ඉන්න අයත් ඉන්නව.
ලෙඩ දුක නැත්නම්. ලෙඩ හැදෙන්නෙත් ඉලක්කම් වලින්. බ්ලඩ් ප්‍රෙෂර්. ෂුගර්. කොලෙස්ටරෝල්..
කැලරි ගණන් බලල පොයින්ට් ගානට කාල හැතැප්මක් විතර ඇවිද්ද නම්….
සල්ලි බාගෙ තියෙන අය ජිම් යනව. එක තැන දුවනව. කැරකෙන ඉලක්කම් දිහා බලාගෙන.
35 , 40 පැන්නට පස්සෙ ඇන්ජිම ලෙඩ දෙනව. මුලින්ම ඇස් පෙනීම හොර වෙනව. ඒ 40 දී. මාරය කතා කළාම යන්න වෙනව. මිනිය නිකම්ම වලට අතාරින්නෙ නෑ. වල වටේ 3 වරක් කැරකෙනව. අර බෝධිය වටේ කැරකුනාවගේ
බැංකු පොතේ මෙතෙක් කල් එකතු වුනු ඉලක්කම් ටික බෙදන්ට බලනව ලෙඩ වැඩි වෙන කොට. එහෙම නොකළොත් බෙදා ගන්න පොර කනව.මැරුණට පස්සෙ දවස් 7 න් දානයක් දෙනව. සුළුවට. 3 මාසෙන් ලොකුවට දානයක් දෙනව. අවුරුද්දෙනුත් දෙනව. ඊට පස්සෙ අර ඉලක්කම් ඉවර වෙනව. !

මේ කතාව නම් කියලත් බෑ. නොකියත් බෑ.
අම්මයි , බාප්පයි ( අම්මගෙ දෙවන සැමියා ) නිදා ඉන්න කාමරේට ඇතුළු උනා පුතෙක් , කඩුවකුත් අරන්. පුතයි බාප්පයි එච්චර හොඳ නෑ. එච්චරටම නෙවෙයි කොහොමටත් හොඳ නෑ. පුතාගේ අදහස උනේ බාප්පාගෙ හිසට කඩු පාරක් දෙන්න.
කළුවරේම අම්මගෙ හිස තියෙන තැන අඳුන ගත් පුතා , ඊට එහායින් තියෙන්න බාප්පගෙම හිස නේද කියල එතනට දුන්න කඩු පාරක්. වැඩේ වැරදුනා. කොටල තියෙන්නේ කකුල් දෙකට. බාප්පා ලතෝනි දී ගෙන නැගිට්ටා. කොල්ල පැනල දිව්ව.
අම්ම ඔළුව දාන පැත්තට බාප්ප කකුල් දාල නිදා ගෙන ඉඳල තියෙන්නෙ.
6 යි 9 යි දෙකම එක වගේ. පොඩි වෙනසකට තියෙන්නෙ 6 බඩ පහළින් , 9 බඩ ඉහළින්. 9 නපුරු ඉලක්කමක් උනාට 6 යි 9 යි එකට හේත්තු කළාම හැදෙන 69 නම් හොඳ එකක්. 🙂

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

15 Responses to ඉලක්කම්.

  1. දුකා පවසයි:

    හෙ හෙ හේ . .වටෙන් වටෙන් ලොකු කතා ගොඩක් කියලා

  2. රූ පවසයි:

    //එකට හේත්තු කළාම හැදෙන 69 නම් හොඳ එකක්. //
    මොනවහරි මගෑරුනා/නොතේරුනා වගේ සිතුනා..ඒ නිසා සුභ පැතුම්..

  3. Jp පවසයි:

    අන්තිමේදී පෙට්ටි හොයන්න ගියාමත් ලොකු ලොකු ඉල්ලක්කම් නේද කියවෙන්නේ? . මේක සම්බන්දයි කියල හිතුන නිසා ලියන්නම් , නිහාල් දැක්කද දන්නේ නෑ , ලංකාවේ ජාතික භාෂා ප්‍රතිපත්තිය හදන්න මහජන අදහස්‌ යෝජනා ඉල්ලනවා , හොට් ලයින් නොම්බරේ 1956!

  4. kathandarakaraya පවසයි:

    /* මම නම් අහල නැහැ එහෙම මාස 10 ක් හිටපු බබාල ගැන. */

    ඔහේ ගෙැ කැලැන්ඩර් මාස නොවෙයි, මේ කියන්නේ අර මාරු වෙන මාස ගැන. නිකං චන්ද්‍ර මාස වගේ.

    • Nihal Gurusinghe පවසයි:

      ඒකත් එහෙමද? එක දිගට ලියා ගෙන යනව මිසක් ආයෙ දෙපාරක් හරි වැරදි බලන්නෙ නෑ. ඒව මේව නෙවේ.. ආයෙ 1 සැරයක් ඔහේ මට ඔහේ කියල තිබුණොත් මමත් ඔහේට , ඔහේ කියල 100 සැරයක් කියනව.. හරිය..?

    • Alchemiya පවසයි:

      මාස දහය නොවෙයි සති 40 ක්… මාසෙට සති 4 යි… සති 40 සම්පූර්ණ වීම තමයි එහෙම කියන්නෙ…
      කොච්චර ඉලක්කං ගැන කතා කලත් ඉල්ලංකන්නෙ ඔන්න ඔතැන…
      ඉලක්කං එක්ක ගණිතඥයො වගේම ඩාවින්චිත් ලොකු ලොකු හරඹ කරලා තිබෙනවා… ඒ ගැන මමත් තැනක ලියන්නයි ඉන්නෙ…
      හැබැයි නිහාල් අයියා හතේ හත වැදිලා ඉන්න අපි වගේ අය ගැන ලියලා නෑනෙ..

  5. praveena පවසයි:

    ඉලක්කම් තිබුනේ නැත්නම් වෙන දේවල් පොඩ්ඩක් හිතලා බැලුවද? වැඩ ඉවර කරන වෙලාව…කෝච්චි යන, එන, වෙලාව, ප්ලේන් යන , එන වෙලාව…හපොයි. මිනිස්සු මොනා කරගනීද දන්නේ නෑ. අනෙක මට නම් ඉලක්කම් පේන්නේ නෑ. 🙂

    ඉලක්කම් චිත්‍රේ නම් නියමයි… 😀

  6. henryblogwalker the Dude පවසයි:

    මල් 7යි.
    නිහාල් දැන් වාහන වල ඉරි කෑල්ලත් නෙවෙයි වම් පැත්ත ඉංග්‍රීසි අකුරු දකුණු පැත්ත ඉලක්කම්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )