වන්දනාවේ යමු.


ඒ එක්දාස් නමසිය බර ගණන් වලය. අපි ඒ කාලයේ අධ්‍යාපන ගමන් හැරුණු විට ගියේ වන්දනා ගමන්ය. විනෝද ගමන් කියා දෙයක් අපේ ගම් වල නොවීය.

අපේ ගමේ වන්දනා ගමන් සංවිධානය කළේ මැම්බර මාමාය. ගම්සභාවේ නිලයක් දැරූ නිසා ගම්මු ඔහුට ” මැම්බර ” යැයි කීහ.
ඔහු නඩේ ගුරාය. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන නමුත් මේ ගමන් වලින් ඔහුට පාඩුවක් මිස ලාභයක් ලැබුණේ නැත.
එකම වාසිය වන්නේ ඔහුගේ පවුලේ උදවියගේ වියදමද ගමනට සහභාගිවන අය විසින් දැරීමයි.
ඊට අමතරව අනිවාර්යයෙන්ම ගමනට එකවන පංසලේ හාමුදුරුවන්ගේ වියදමද ඔහුට බලා ගැනීමට සිදු විය.

මැම්බර මාමා මෙවර සංවිධානය කළේ දින හතක වට වන්දනාවකි.
පේරාදෙණිය මල්වත්ත නරඹා , එහිදීම දිවා ආහාරය ගෙන , අනතුරුව දළදා වැඳ පුදා ගෙන මාතලේ අළුවිහාරය , කවටයාමුණ දඹුල්ල ,සීගිරිය , අනුරාධපුර පොළොන්නරු ගොස් අටමස්තාන වැඳ පුදා ගැනීම ගමනේ අරමුණ විය.
අය කිරීම එක්කෙනාගෙන් හාල් සේරුවක් , පොල් ගෙඩියක් සහ රුපියල් දාහතරකි.

ගමනට මාසයකට පමණ පෙර ගමේ හැම ගෙදරකටම ගිය මැම්බර මාමා ගමන් විස්තරේ හැමෝටම කියා , ඇක්සයිස් පොතක හරියටම ගමනට සහභාගි වන අයගේ ලැයිස්තුවක් හා අත්තිකාරමක් ගත්තේය.

කුඩාවුන් වූ අප දිනය එනතුරු ඇඟිලි ගැන්නෙමු.
සැලසුමේ හැටියට වූයේ තම තමන්ගේ ගෙවල්වලින් උදේ ආහාරය ගෙන , දවල් කෑම සඳහා බත් මුලක්ද , ගමනට ඇවැසි අනෙක් දෑ ද රැගෙන උදේ 8.00 වෙද්දී පංසල ගාවට එක රැස් වීමය.

ලාහට ගෙම්බන් එකතු කරන ආකාරයට උදේ 9.00 වන විට නඩය සූදානම් කර ගැන්මට මැම්බර මාමා සමත් විය. සියළු දෙනාම ගමනට පේවී බලා සිටියහ. 11.00 වන තුරුත් බස් රථය පැමිණියේ නැත. එය පේරාදෙණියේ සිට ආ යුතුය. හැමෝගේම ඉවසීම සීමා රහිත විය. හැමෝම බෙලි දික් කරමින් පාර දිහා බලන්නට වූහ.
කෙනෙක් මැම්බර මාමාට ආඩපාලි කීය. ගමනට සූදානම් වී සිටි රාහුල හාමුදුරුවෝ ආපසු පංසලට වැඩම කොට බුද්ධ පූජාව තියා , දන් වළඳා ඝංඨාරය තුන් වරක් ගසන විටම වංගුවෙන් බස් රතය මතු විය. හැමෝම සාදුකාර දුන්හ.
එවිට දහවල් 12.00 ද පසුවී තිබුන් බැවින් , නඩේ කට්ටිය අතර මගදී කෑමට පිළියෙල කළ බත් මුල ලිහා කෑමට පටන් ගත්හ.
පුවක් කොලපු වේලා සකස් කර ගත් දවටනයක හෝ කෙහෙල් කොළ වල එතූ හැම බත් මුලකම පාහේ , වියලෙන්නට ඉවූ පරිප්පු මාළුවත් , අල බැදුමත් වීය.

පංසලේ ඇබිත්තයා බස් රථයේ ඉදිරිපස පුවක් මලක් බැඳ එදෙස දුකෙන් බලා සිටියේ තමන්ට ගමනට යා නොහැකි නිසාය.

බස් රතයේ වහල මතට ඇඳුම් බෑග, දර , ඉවීමට ඇවැසි උපකරණ ලහි ලහියේ පැටවින.
රාහුල හාමුදුරුවෝ සිරී පාද කන්ද දිහා බලා ගෙන , හැමෝම පංච ශීලයේ පිහිටුවා , තිසරණ සරණින් නිරුපද්‍රිතව ආපසු ඒමට සමන් දෙවි කරුණාව ඉල්ලා සිටියේය. මැම්බර මාමාද කෙටි කතාවක් කළ පසු සාදුකාර මධ්‍යයේ ගමන ආරම්භ විය.
මා ඇතුළු කුඩාවුන් ජනෙල් අයින් ලබා ගැනීමට පොර කෑහ. බවලත්තු කීප දෙනෙක් තුන්සරණය පොත් දිග හැර ගත්හ.
වැඩිහිටි කාන්තාවක් ගායනය පටන් ගත්තාය. ඇගේ කට හඬ මිහිරිය.
” බුද්ධං සරණේ සිරස දරා ගෙන”…
ඇය මුල් පදය කියවා නිමවනවාත් සමඟම අනෙක් අය එම පදයම සාමුහිකව ගයයි.
“ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන”..
හදිසියේ බෝධියක්, බුදු පිළිමයක්, පන්සලක් දුටු විට හැමෝම ගායනය නවත්වා සාදු සාදු සා…. කියමින් සාදුකාර දෙති.

අපි පොඩි එව්වෝ – මග දෙපස යන්නවුන්ට නොනවත්වා ටටා කීවෙමු.

අපට වඩා මදක් වයසින් වැඩි ළමෝ අභ්‍යාස පොත් පිරෙන්නට , පසු කරන නගරවල නම් ලීවෝය. රාහුල හාමුදුරුවෝ දින පොතේ ගමන් විස්තරය සටහන් කළහ.
පේරාදෙණිය මල් වත්තේ මල් වර්ග වලට වඩා එක පෙළට සිටුවා තිබූ පොල් වැනි තාල වර්ගයේ ගස්, ඉහළ සිට පහලට විහිදුනු විශාල අතු සහිත දැවැන්ත ගස් අප සිත් ගත්තේය.
දළදා මාළිගාවේදී එහි ඉතිහාසය කියා දෙන්නට රාහුල හාමුදුරුවන් වෙහෙසක් ගත්තද, අප වඩාත් ආසා කළේ පොකුණේ වූ ඉබ්බන්ට හා මාළුන්ට පොරි දැමීමටය. පොරි ගොට්ටක් සත 5 ක් විය.
අපගේ බස් රතය ඉතා පරණ ජාතියේ, හොම්බ තියෙන , ගැස්සෙන , වලක වැටෙන විට ඊයේ කෑ ඒවාද උගුරට එන ජාතියේ එකකි. ඇතුළට හමා ආ ඉන්ධන ගඳද, බඩවල් කැකෑරිල්ලද නිසා බවලතුන් බොහොමයක් හා කුඩාවුන් , වීදුරු කවුලු වලින් ඔලු ගෙඩි එළියට දමා වමනය කරන්නට විය. ඒ සමඟම මුළු බස් රතයම වමනය ගඳින් පිරෙන්නට විය.
දඹුල්ලත් , අනුරාධපුරයත් අතර පාසල් ගොඩනැගිල්ලක අප රැයක් ගත කළා මට හොඳට මතකය. පාසල් ගුරු නිවසේ සිටි විදුහල්පතිතුමා ඊට අවසරය ලබා දුන් අතර පිටත් වීමට පෙර අවට පිරිසිදු කර යන ලෙස පමණක් ඉල්ලා සිටියේය.
ඉඩ තියෙන හරියක ලිපක් බැඳ , අහල පහලින්ම දර සොයා ගෙන ගිනි අවුළුවා , රෑ කෑමට බතක් , පොල් සම්බෝලයක් හා කරවල බැදුමක් පිලියෙල විය.
මැම්බර මාමා ඇතුළු වැඩිහිටියන් කීප දෙනෙක් කසු කුසු ගාමින් යමක් සෙවූහ.
කට හැකරයෙකු වූ විදානෙ මාමා කී ” මෙහේ බල්ලන්ට ගහන ඒව නං හොයන්ට බැරි වෙයි මේ වෙලාවෙ වත්තට ගහන එවුවවත් බලමු” යන්නේ තේරුම අපට වැටහුනේම නැත.
බල්ලන්ට ගහන්නේ ” ගල්” ය. වත්තට ගහන්නේ “කටුකම්බි” හෙවත් කසිප්පුය.
බොහෝවිට මෙම වන්දනා ගමන් යොදා ගන්නේ පාසල් නිවාඩුවටය.
නිවාඩුව නිමවී පාසල පටන් ගත් පසු , මා ගිය චාරිකාවක් මැයෙන් රචනාවක් ලිවීමට හැම ළමයෙකුටම සිදුවිය.

දැන් අය යන්නේ වන්දනා ගමන් නොව විනෝද ගමන්ය. සති දෙකකට පමන පෙර හෝටල් වලට හෝ රෙස්ට් හවුස් වලට කතා කොට කාමර වෙන් කරගන්නා දැන් හැදෙන අයට ගමනට අත්‍යවශ්‍යම දේ වන්නේ බෝතලේය.
කුණුහරුප සිංදු කියමින් කෑකොස්සන් ගහමින් , සුරන්ගනීට මාළු ගෙනාවා වැනි අරුත්සුන් ගී ගයමින් යන මෙවන් ගමන් වලට වඩා අප ඒ කාලයේ ගිය ගමන් බිමන් කෙතරම් අව්‍යාජදැයි දැන් සිතේ.

(Buzz රේඩියෝව අරඹා ඇති ප්‍රමෝෂන් සතියට මගේ බ්ලොගයද එකතු කළේ ලාභයක් අපේක්ෂාවෙන් නොවේය.
මා ඊට ඇතුළත් කර ගෙන ඇත.මා වැටුනු අමාරුවක තරම. මට ඊ මේල් කළ
සංවිධායකයෝ 2012 ජූලි 4 දා සිට සතියක් බ්ලොග් ලිපියක් ලිවිය යුතු
බවට කොන්දේසියකි. මට කොහෙන්ද එතරම් ඉවරයක්. පවුල් පන්සල් රකින්නෝ
එය හොඳාකාරව දනී. කෙසේ වෙතත් මගේ අනික් බ්ලොග් එක වන සැබෑ මිනිසා වසා දමන නිසා එහි අඩංගු වූ මෙම ලිපිය මෙහි ඇතුළත් කරමි.
තරඟයෙන් දිනීමට හෝ ජනප්‍රියවීමට කිසිදු අභිලාෂයක් නැත්තේමය.)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

වන්දනාවේ යමු. සදහා ප්‍රතිචාර 17ක් දක්වා ඇත

  1. Kumari ranasinghe පවසයි:

    Hamadama awith kiyawala yanawa. Katha harima lassanai. Kehel koley othapu bath gana amuthuwen kiyanna one na… Oba pahugiya kaleka thalduwe doshthara kenek gana kiyala thibuna.. Ape ammala unda langata thama giye beheth ganna. Obath e paththe wage…

    Oba me lipi wala “Gotukola” sambola ya gana kiyanawa. Kohenda me rate owa hoyaganne. Matath kiyanna puluwanda?

    • Nihal Gurusinghe පවසයි:

      kumari kohedha inne ? samahara asian market wala gotukola thiyenawa

    • Maheshi පවසයි:

      මම ඉන්නේ යුරොපීය රටක. ඇමරිකාවේ වගේ මෙහෙ ලංකාවේ අය ගොඩක් නෑ. ඒ නිසා ගොටුකොල වගේ ලංකාවේ කෑම බීම හොයා ගන්න ටිකක් අමාරුයි. තිබුනත් ඒවා හරිම මිල අධිකයි. අපි ලංකාවෙන් පුංචි ගොටුකොල පැළයක් තැපෑලෙන් ගෙන්නාගෙන පෝච්චියක පැල කළා. එකෙන් බෝ කරගෙන දැන් ගොටුකොල පෝච්චි 7 තියෙනවා. සීත කාලේදී පවා වේලකට 8 දෙනෙකුට පමණ ඇතිවෙන්න දැන් අපිට ගොටුකොල තියෙනවා. ඒ වගේම කතුරුමුරුංග ඇට වලින් හදාගත්ත පුංචි පැල කීපෙකුත් ලොකු පෝච්චි වල හිටවල තියෙනවා. ඒවානම් තාම පොඩියි. ඒ වගේම නිවිති, මුකුණුවැන්න සහ කන්කුන් එහෙමත් අපි පෝච්චි වල හිටවල තියෙනවා. වැඩිය ඉඩ යන්නේ නැති නිසා මේ පෝච්චි ක්‍රමය හරිම පහසුයි, ප්‍රතිපලදායකයි. වැඩේ අමාරු නෑ. කරලා බලන්න. හැමදාම ගොටුකොල සම්බෝල විතරක් නෙවේ ගොටුකොල කැඳ බොන්නත් පුළුවන්.

  2. Maheshi පවසයි:

    හරිම ලස්සනට ලියල තියෙනවා…. අපි නම් තාමත් කනවා කෙසෙල් කොලේ බත් ඔතල… හැබැයි ඉතින් මෙහෙ තියෙන්නේ ශීතකරණයේ දාල කල් තියාගන්න කෙසෙල් කොළ. හොට් ප්ලේට් එකෙන් තවල බත් මුල බඳින එක ලිපේ තවල ගන්න කෙසෙල් කොලේ තරම් රස නැති උනත් ඉදල හිටලා හරි එහෙම කන එකෙන් අපි ආපහු පුංචි කාලෙට යනවා. හැතැම්ම දහස් ගානක දුර ඉදන් හදවතින් ලංකාවට යනවා. කෙසෙල් කොලේ බත් ඔතන දවසට මමත් වේලෙන්න උයන පරිප්පුවයි අල බැදුමයි නම් වරද්දන්නෙ නෑ…:)

  3. indika gamage පවසයි:

    ඇත්තටම ඒ වන්දනාව ගියා වගේය.ඉස්සර කොහොම කොහොම හරි කට්ටිය එකතු කරගෙන ගියත් දැන් යන්න ලැහැස්ති උනොත් එකෙකුට පුළුවන් වූ විට දෙදෙනෙකුට බැරිය.ඒ දෙදෙනාට පුළුවන් වූ විට තවත් දහ දෙනෙකුට බැරිය.ඔන්න අපේ දියුණුව.කොහොම හරි සැට් කරගෙන ගියත් අංක 1 බෝතලේය.ශ්‍රද්දාව අංක 2 ය.

  4. 80 කල්ලිය පවසයි:

    බ්ලොග් සතිය වෙනුවෙන් නිර්මාන ඉදිරිපත් කල ඔබට ස්තූතියි !

  5. Kandyan පවසයි:

    මට තාම මතකයි 70 මැද කාලේ කතරගම වන්දනාවේ ගිය හැටි. කතරගම දේවාලේ විශ්‍රාම ශාලාවේ උදේ තෝසේ පාර වගේ එකක් ආය කවදාවත් කන්ට හම්බුනේ නෑ.

  6. kathandarakaraya පවසයි:

    කටුකම්බි කියන වචනේ එච්චරම පරණ නෑ නේද?
    එදා කියන්න ඇත්තේ දෙයියන්ට ගහන ඒවා සහ බල්ලන්ට ගහන ඒවා යන දෙක ගැනයි!

  7. praveena පවසයි:

    //අය කිරීම එක්කෙනාගෙන් හාල් සේරුවක් , පොල් ගෙඩියක් සහ රුපියල් දාහතරකි.//
    පුදුම අය කිරීමක්නේ. 🙂
    හාල් සේරුව වේල් කීයටද? ඒ කියන්නේ කිලෝ කීයක්ද?
    ඇත්තටම ඒ ට්‍රිප් එක ගියා වගේ. පුවක් කොලවල ඔතපු බත් (පුවක් කොලවල ? ) සුවඳ වගේම අර වමනේ දාපුවා, පාරේ අයට ටටා කියපුවා මැවිලා පෙනුනා.

  8. vimukthi පවසයි:

    පුවක්කොලපුවෙ බත්කනවැඩේනම් ලාවටවගේමතකයි.අපිපොඩිකාල ආච්චිගේගෙදරදී..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )