රණසිංහ . ( ඉතිරිය )


දිසානායක මුදියන්සේලාගෙ රණසිංහ පදිංචි වෙලා හිටියෙ ගලගෙදර.
ඒක තරමක් විශාල ගෙයක්. ඉස්සරහ කාමර දෙක කුලියට දීල තිබුන
බැංකුවේ වැඩ කරන ජෝඩුවකට. එක කුස්සියයි තිබුනෙ. ඒ ජෝඩුවයි
රණසිංහගෙ අම්මයි හවුලේ උයා පිහා ගත්ත. තම පුත්‍රයා ආණ්ඩුවෙ ඉහළ
රාජකාරියක් කරන බව රණසිංහ මාතාව නිතරම තම පුතාගේ
පුරජේරුව කිව්ව.

ඉස්සර නම් කාටවත් හම්බු වෙන්න බැරි තැනකයි රණසිංහ වැඩ කළේ. එහෙමයි
ගමේ අයට කියල තිබුණේ. ඒත් ප්‍රමෝෂන් එක ලැබුනට පස්සෙ දොස්තරල
චැනල් කරන්න ග්ලාස් හවුස් යන අයයි, ඇස් රෝහලට යන අයයි, කැළණි විහාරෙ
වඳින්නය යන අයයි රණසිංහ වැඩ කරන තැනත් බලා කියා ගෙන යන්න
ආවෙ අම්මගෙ ඇවිටිල්ල නිසාමයි.

ලොක්කා රණසිංහට වඩා පොඩ්ඩා රනසිංහ හමුවෙන්න එන අමුත්තන් වැඩියි.

” රණේ .. තමුසෙ හම්බ වෙන්නනේ මිනිස්සු එන්නේ.. මං කියන්නද .. තමුසෙ
මගෙ රාජකාරිය කරනවා.” ලොක්ක කිව්වෙ විහිළුවට.

ඉන්ගිරිසි ටිකක් කට ගා ගන්න පුළුවන් නම් උඹල එකෙක්වත් ඔතන තියන්නෑ මං
රණසිංහ තමන්ටම කියා ගත්ත.

-තුන් මාසෙන් ඉංග්‍රීසි කතාව- සුගත් සර්.. අළුත්ම පොස්ටරය රණසිංහගෙ
හිත ආක්‍රමණය කළා.

කොළඹ හතේ ඇලෙක්සැන්ඩ්‍රා එකේ සති අන්තවල පැවැත්වුනු සුගත් සර්ගෙ ඉංග්‍රීසි
පන්තියට බැඳුනු නිසා අම්මා බලන්න යාමත් තාවකාලිකව මග ඇරුණා.

පන්තියේ හිටියෙ වැඩි හරියක් කොල්ලො කෙල්ලො. තමන්ගෙ වයසෙ කීප දෙනෙකුත් හිටිය.

” හව් ” කියන්නේ කොහොමද ?
” මෙනි ” කියන්නේ බොහෝ කියන අර්තය.

සුගත් සර් සරල වාක්‍ය රටා ලියන හැටි ඉගැන්නුවා.

” සර්.. එතකොට හව්මෙනි කියන්නෙ “කොහොමද බොහෝ” කියන එකද ? රණසිංහ
නොතේරුම් කමට අහිංසක ප්‍රශ්නයක් ඇහුවා. පන්තියේ හිටි කොලු කෙල්ලන්
40 ම ” හාස්” ගාල එක හඬින් හිනා උනා. එදායින් පස්සෙ රණසිංහ ඉංග්‍රීසි
පන්තියට ගියේ නෑ.

තමන්ගෙ ආයතනයෙ ලොක්කා, ලොකු රණසිංහ ටෙලිෆෝන් එකෙන් ඉන්ගිරිසියෙන් කතා
කරන හැටි රණසිංහ බලා ගෙන හිටියෙ ඉරිසියාව හා ගෞරවය මිශ්‍ර වුනු
හැඟීමකින්. දෙ අත් විහිදුවමින් , ඔළුවෙන් , ඇස් වලින් , හඬ අඩු වැඩි කරමින්
, සිනා සෙමින් තමන්ටත් එලෙස කතා කිරීමට ඇත්නම්… සප්ලයි එකේ ප්‍රධානියා
වන වසන්ත මහත්තයට නං අර වගේ කතා කරන්ට බැහැ. නිතරම ” යා
මචං.. යා.. යා.. කියනවාට වඩා වැඩි දෙයක් ඔහුගෙන් අහන්ට ලැබුනේ නැහැ.

සප්ලයි එකේ හැමෝම වාගේ උපාධි කාරයො.එයාලට සරිලන්න තමන් ළඟ
දැනුමක් නැති එක ගැන රණසිංහගෙ හිතේ තිබුනේ ලොකු දුකක්. හීන මානය.
රණසිංහ කතා කරන්න දන්නා එකම විෂයය දේශපාලනය. ඒක
වුනත් තමන් දන්නේ කොයි තරම් සුළු ප්‍රමාණයක්ද කියන එක එයාටම තේරුම්
ගියා.
” දැන් බලන්න ගිය අවුරුද්දෙ..ඇමරිකන් ඩොලර් එකක් රුපියල් තිස් හතරයි…….
අපෙ ආණ්ඩුව ආවට පස්සෙ…හැටයි..” ඒක ඇහැව්ව විතරයි තේ බිබී හිටි
කුසුම් මිසීට ඉස්පොල්ලෙත් ගියා.

පුතේ ඔය ගාල්ලෙ කටයුත්ත එකලාසයක් කර ගෙන මේ කිට්ටුවට මාරුවක්
හදා ගනිං…

ඔව් මිස්ටර් රණසිංහ ඇයි තවත් පරක්කු කරන්නෙ.. පහු පහු වෙන කොට කොහු
වෙනව …

ඉස්සරහ කාමරේ ඉන්න ජෝඩුව තම පුතාට මිස්ටර් කියල කතා කරන එක
අම්මට කනේ මී පැණි දාන්නා වාගෙ.

රණේ කවදද අපිට කේක් කෑල්ලක් කන්න ලැබෙන්නෙ?
ඔය අනුන්ගෙ බබාල මොන්ටිසෝරි දක්කන වෙලාවෙ නරකද තමන් ගැන හිතුවොත් ?
හැමෝම කියන්නෙ බැඳපන්… බැඳපන්.මුන්ට නෙ ගාය මටත් වඩා..

ලොක්කට අඳින නාටකය වැඩිදුරටත් කරන් යන්න බැරි උනා. දවසක් කාඩ්බෝඩ්
පෙට්ටියක් උස්ස ගෙන කොරිඩෝව හරහා යන රණසිංහ අතටම මාට්ටු උනා,
හදිස්සියෙන් තම බෑණා බලන්න ආ වෙත්තසිංහට.
” ඔය ළමයට ඉස්තිර ආදායම් මාර්ගයක්.. ගෙයක් දොරක් තියෙන එකේ නිකම්
බොරු මවා පෑම් නැතුව අපි මේ කටයුත්ත එකලහක් කරමුද? ඔය ළමය අපේ
ගෙදර කීප දවසක් ආවා ගියා.. අපේ ළමය වෙන කාටවත් දෙන්න බැරි
වෙයි”

ඔය අතර වාරෙ තමන් වැඩ කළ දේශපාලකයා චන්ද පෙත්සමකින් පැරදුනා.
රණසිංහත් හුළං ගිය බැලුම් බෝලයක් වගේ උනා. අම්මා අසනීප උනා.බේත්
හේත් වලට සෑහෙන ගානක් ගියා. ගාල්ලෙ යන කොටත් හිස් අතින් යන්න බෑනෙ.
බෑණලා තමන්ගෙ නැන්ද මාමලාට බෑ නෑ කියන්නෙ නැහැනේ. තමන්ගෙන් පොලියට
ණය ගත්තු කීප දෙනෙක්ම තමන්ට පොල්ල තිබ්බ. එකෙක් තමා ආරක්ෂක අංශෙ
ආරියදාස. ආරියදාස හොයා ගෙන මාතලේ පලාපත්වෙල ගියා රණසිංහ
දවසක්. එක දවසයි එහේ ගිහින් තියෙන්නෙ මීට කලින්. යාන්තමට මතකයක්
තිබුන නිසා හොයා ගෙන හොයා ගෙන ගියා ගෙදරටම.
” ඒ කට්ටිය දැන් මෙහෙ නෑ.. ආරියදාස ඩුබායි ගියා”

දැන් ඉතින් මක් කොරන්නද? ලබන ආත්මෙ ගෙවාපන් කියල හිතින් බැන බැන ආපහු
එන්ට පිටත් උනා.

කඩේ ළඟ බස් හෝල්ට් එක.කඩෙත් වහල. ළඟ පාත මළ ගෙදරක්. තව
පැයකින් බස් එක තියෙන්නෙ. මළ ගෙදරට ගිය රණසිංහ ෆියුනරල් මූණක් හදා
ගෙන මිනියට ආචාර කරල එළියට ගිහින් වාඩි උනා. ගෑණු ළමයෙක් ඇවිත්
වතුර ඇල්ලුවා. ඒ කෑමට ආරාධනාවක්. බඩ පැලෙන්න වට්ටක්කයි කරෝලයි
කාල , සිගරට් දෙකකුත් සාක්කුවෙ දාගෙන පල්ලම් බහිනකොටම වංගුවෙන්
බස් එක මතු උනා.

රණසිංහගෙ විවා මගුල තිබුනෙ ගලගෙදර එයාගෙ ගෙදරමයි. ගමේ අය
මහන්සි වෙලා එළියෙ මඩුවක් ගහල , ගොක් කොළ වලින් සරසල , වත්තට
ඇතුළුවන තැන “සාදරයෙන් පිළිගනිමු” කියල ගොක් කොළ තොරණකුත් ගැහුව.
හරියටම හවස දෙක වෙන විට ජෝඩුව ආවා. ඔෆීස් එකේ කට්ටිය ඔෆීස්
වාහනෙන්ම ඇවිත් හිටිය. ලොක්ක රණසිංහ කතාවකුත් පැවැත්තුවා.

බැන්දාම ඉතින් ප්‍රශ්න වැඩියිනේ. එක එක ජාතියෙ ප්‍රශ්න. රණසිංහට ණය
වෙන්නත් සිද්ධ උනා.ගන්න පුළුවන් ණය ජාති , බයිසිකල් ණය , ආපදා ණය ,
වාර්ෂික ණය , අර්ත සාධක ණය හැම එකක්ම ගන්න සිද්ධ උනා. ඔය
සේරමත් හරි. පිට මිනිහෙකුගෙන් සියේට විස්සෙ පොලියට ගත්තු ගාන තමා
ඉස උස්සන්න බැරි. මාස දෙක තුනක්ම පොලිය නොගෙවා මග ඇරිය. කොහොම හරි
ණයහිමියා රණසිංහ වැඩ කරන තැනට හොයා ගෙන ආවා.

” වැදගත් මහත්තයෙක් කියල හිතලයි මම ණය දුන්නෙ. අපිත් ජීවත්
වෙන්නෙ මේකෙන්. මම රණසිංහ මහත්තයට සති දෙකක් දෙනව.. නැත්නම්
මම නරක මිනිහ කියන්න එපා.. සති දෙකකින් මම මෙතන ඇති.. මේ වෙලාවටම
මට පොලිය හරි ඕන”

එහෙ බලල මෙහෙ බලන කොට සති දෙක ගිහින්. මොනව කරන්නද ?
රණසිංහ තීරණයක් ගත්ත. අල්ලපු බිල්ඩිමට යන්න. ඒ පවුල් සංවිධාන
එකෙන් වඳ සැත්කම් කරන තැන. ඒක සුළු සැත්කමක්. හිරිවට්ටල කරන විනාඩි විස්සක විතර වැඩක්.
අවශ්‍ය ෆෝම් කොල වල අස්සන් කරල
සත 25 මුද්දරයක් උඩ අස්සන් කරපු රණසිංහට රුපියල් 500 ක් ලැබුනා.
ඒක හරි මේ මාසෙ පොලියට.

ළමයෝ නැද්ද මුකුත් වෙනසක්.. අම්මා තම ලේලියගෙන් ඇහුවා.
කෝ වැඩ.. කට විතරයි.. සප්ලයි එකේ උන් විහිළු කළා.

ඔච්චර කල් කෑ ගැහුවා බැඳපන් බැඳපන් කියල.
දැන් කෑගහනව කෝ බබාල කියල.

මුන්ට වෙන වැඩක් නැද්ද අම්මප ?

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

33 Responses to රණසිංහ . ( ඉතිරිය )

  1. Sarath Lankapriya පවසයි:

    මං වැඩ කල කන්තෝරුවල චරිත දෙක තුනක් එකතු කලොත් මේ වගේ චරිතයක් හදන්න පුළුවන් නිහාල්.. අපුරු කතාව..

  2. ලියවිල්ල නං අපූරුයි නිහාල් අයියෙ….ඒ ගැන ආයෙ අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ… මං අර පිරිල තියෙන වතුර වීදුරුවෙ ඉතුරු ඉඩ ගැන කතා කරනව වගේ දැනෙයි ද මන්ද…. මල ගෙවල්වල කෑමට වතුර අල්ලන්නෙ නෑ කියලයි මං අහල දැකල තියෙන්නෙ….ඒත් ඒක ප්‍රාදේශීයව වෙනස් වෙන්ඩ පුලුවන් දෙයක්නෙ නේද…???

    • Nihal Gurusinghe පවසයි:

      ලංකාව කුඩා උනත් ප්‍රාදේශිකව වෙනස් සිරිත් තියෙනව. ගැමියන් නිතරම බුලත් විට හපනව. සුරුට්ටු උරනව. කෑමට පෙර කට සෝදා ගැනීමට වතුර වීදුරුවක් අවශ්‍යයි. එය පසුව කෑමට කරන ආරාධනාවක් වුනා.
      සමහර පලාත්වල මිනිය නිවසින් බැහැර කරන තුරු ලිප දල්වන්නෙ නැහැ. දුර බැහැරින් එන නෑ මිතුරන්ට ආහාර සැපයෙන්නේ අසල් වැසි නිවස් වලින්. මිනියක් ඇති නිවසක් තුළ විෂ බීජ ඇති බැවින් සමහරු කෑම කන්නේ නෑ, ඒ නිවස තුල. එනිසාම කෑමට ආරාධනා
      කිරීමකුත් නෑ. අසල්වැසි නිවසක එසේ කෑම දෙන විට වතුර ඇල්ලීම කරනවා ඇති. මේ ලිපිය ලියද්දී ඇත්තටම මම ඒ ගැන තැකුවේ නැහැ. හංස කිංකිණිට ස්තූතියි මා දැනුවත් කළාට.

  3. JP පවසයි:

    මට මේක මිස් වෙලානේ . අපුරුයි .

    හැම කන්තොරුවකම වගේම , මම කොළඹ වැඩ කරන දවස් වල අපේ කන්තෝරුවෙත් හිටියා රණසිංහ කෙනෙක්. ගම තිස්ස .

    කොළඹ බොහොම බයාදු ක.ක.ස වන ඔහු , ගමේදී බැංකුවේ මහත්තයාය.
    ඔහු චරිත මාරු කිරීම ගැන දිනක් (බමන මතින් ) අපුරු කතාවක් කිවේය . කොළඹ සිට ගමේ යන විට , කළුතර බෝධියට වැඳ බසයට නැවත ගොඩ වෙන විට බැංකු මහත්තයාගේ චරිතයට ගොඩවෙන බවත් , ආපසු එන විට එතනදීම නැවත අනෙක් චරිතයට පිවිසෙන බවත් කිවේය .

    එතර ඉන්න අපි ගෙදර ගියාම …
    කන්තෝරුවල කටයි ,අනෙක් කටයි වහගෙන වැඩකරන්න වෙන අපි පොඩ්ඩක් සප්පායම් උනාම ….
    එක එක තැන , නෙක නෙක චරිත රගන අපි හැමෝමත් මේ වගේ නොවේද?

  4. නවම් පවසයි:

    මේ යන විදියට ආයෙම ඔය රුපියල් 500 වැඩේ එන්න බැරි නෑ.. හෙහ් හෙහ්.

    ඒකෙ ඉතිහාසය ගැන දන්න කෙනෙක් ඉන්නවද, මම මේ ඇහුවෙ කවුද ඒ වැඩේ නියමුවා, ඇයි එහෙම දෙයක් කියල එහෙම ?

  5. මේකට හොඳම කොමෙන්ට් එක වැටෙන්න තිබුනා, ඔබා හිටිය නම්….

  6. කාලෙකින් ආවෙ ජාලෙ පැත්තට. නිහාල් අයියගෙ අනිත් පෝස්ට් ටිකත් හිමීට කියවන්න ඕනෙ.
    මේ කතාවනං නියමයි. දේශපාලනෙන් පිම්බෙන ගොඩක් අයට වෙන්නෙ ඔය වගේ වැඩ තමයි අන්තිමටම.

  7. nimsha පවසයි:

    අවසානේ හරි වෙනස්..මිට වඩා දෙයක් හිතුවේ..එත් කතාව නම් හරිම රසවත්.

    වද වෙනවාට ඇයි සල්ලි ගෙවන්නේ..එ මනුස්සයා ට එ වාගේ දෙයක්ම කරන්න උනාද සල්ලි ගෙවන්න..ඊට වඩා හොදයි ගෙයක් දොරක් විකුණනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )