කිරි.


” බලන්න ! අපේ කට්ටිය..කිරිකොක්කු වගේ.. ඒ බබලන සුද , අපි රින්සෝ වලින් රෙදි
සෝදන නිසයි”

ඒ පරණ ඇඩ් එකක්. කිරි සුදු පාටද ? සුදු කිරි පාටද ?

කිරි නොබිවු කෙනෙක් හෝ කිරි ගැන නොදන්නා කෙනෙක් මේ මිහිපිට නැතුව ඇති.
මිනිස් අම්මලාගේ රතු පාට රුධිරය සුදු පාට කිරට හැරෙන්නේ තම දරුවාට
ඇති ආදරය නිසාලු. කෙහෙම්මල !..එහෙමනම් තිරිසන් අම්මලාටත් කිරි එරෙන්නේ ?

තම දරුවන්, පැටවුන් උපන් විගස තමන්ගේ ස්ථන ග්‍රන්ති වලින් ශ්‍රාවය වන දියරයක්
මගින් පෝෂණය කරන්නේ ක්ෂීරපායියන් හෙවත් මැමේලියාවන්ය. මැමේලියාවන් වන
බල්ලාගේ හා බළලාගේ ගැහැණු සතුන්ද තම පැටවුනට කිරි දෙන නමුත් උපන් හැටියේ
තම පැටවුන් කා දමන බලු හා බළල් අම්මලාද වේ. එම නිසා එම ශ්‍රාවය ,
“හුදු” ආදරය නිසා ඇතිවන්නක් නොව , ප්‍රොලැක්ටින් හා ඔක්සිටොක්සින් හෝමෝන වල
ක්‍රියාකාරිත්වයේ ප්‍රතිපලයකි.

කිරි , සෞභාග්‍යයේ සංකේතයයි. ” මයෙ අප්පට කිරි උතුරන්න ඕන” මගේ අත්තම්මා
මට කියා ඇත. නව නිවසකට ගොඩ වදින විට , උත්සව අවස්තා වලදී කිරි
උතුරවයි. සිංහළ / දෙමළ අළුත් අවුරුදුදා නැකතට කිරි උතුරවයි. ඒ කිරි
අම්මා කෙනෙක් වන ගෙදර ගෘහණිය අතිනි. ඒ සමගම ගෘහාධිපතියා කැත්තක්
ගෙන කිරි ගහකට කොටා වැඩ ආරම්භ කරයි. එවිට කිරි ගහට ඇන්නා වාගේ මුළු
අවුරුද්දම කිරියෙන් පැනියෙන් උතුරයි.

ගස් වලද කිරි ඇත. ඒ කොස් , දෙල් , අඹ , රබර් ආදියේය.අර ” කිරි – කැට්” නම්
කාලය කා දමන සෙල්ලමට ගන්නා බෝලය හදන්නේ රබර් කිරි වලිනි.

ගව – එළු – බැටළුවන්ගෙන් ලබා ගන්න කිරි වියලා හෝ තදින් මුදවා සාදා
ගන්නා පිටිකිරි සෑහෙන කාලයක් රාක්ක වල තබා ගත හැක.

බාලාංශ පන්තියක ළමයෙක් මව් කිරි හා පිටි කිරි අතර වෙනස රචනා කළේ
මෙසේය.

මව් කිරි අපට ඕනෑ වේලාවක බීමට හැකිය.
මව් කිරි රත් කිරීමට හෝ සිසිල් කිරීම අනවශ්‍යය.
මව් කිරි සිත් ගන්නා සුළු භාජන වල අසුරා ඇත.

මව් කිරි ඖෂධීය ගුණයෙන් අනූනය. විශේෂයෙන් විෂ බීජ නාශක ගුණයක්
ඇත. මා කුඩා කළ ඇසේ යමක් ඇනී ඇති වූ තුවාලයට මුලින්ම දැම්මේ තන
කිරි ටිකකි.

ලංකාවේ අම්මලා තම දරුවා එක පාරක් ” චෑස් ” ගෑ සැණින් වෙලාවක් අවේලාවක්
තැනක් නොතැනක් නොබලා කිරි පොවයි. බස් එකක ගමන් කළ තරුණ මවක් තම දරුවාට
කිරි දෙනු , හිට ගෙන හිටි කළිසම්කාර මහත්තයෙක් මහත් ඕනෑ කමින් බලා සිටියේය.
කෝපයට හා ලැජ්ජාවට පත් මව ” පුතේ කුක්කු ටික ඔක්කොම බොන්න , නැත්තං අර
මහත්තයට දෙනව ” කීවාය. මහත්තයා ඊ ළඟ හෝල්ට් එකෙන් බැස අතුරුදහන් විය.

මේ විදියට ” ගඟට උඩින් කොක්කු ගියා – කිරි මුට්ටිය ගඟේ කියා” ගීයට නැළැවෙන
සමහර පොඩි උන් ” කිරි සුදු හාවා – පැන පැන ආවා” කියන තුරුම මවගෙන් කිරි
උරා බොයි. දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන් ගෙන් එකෙක් වූ නන්දිමිත්‍ර තම මවගෙන්
හත් අවුරුද්දක්ම කිරි උරා බිවු ” දස කිරියෙකි”

“කිරි” යන්නෙන් ” හොඳ ” යන්නද ප්‍රකාශ වේ.
ගම්වල කිරි බන්ඩලා , කිරි එතනලා, කිරි මැනිකා ලා ද තව සමහර ගම්වල
කිරි අප්පුලා , කිරි හොඳාලාද ඇත. යම් හොඳ වැඩක් කරන විට යන්තම් හෝ
නරක නාමයක් ගෑවුනොත් එය කිරි කළයකට ගොම බිඳක් දැමීමකි. ඒත් ඉහිරුණු
කිරට අඬා පලක් නැත.

” අපි අපේ ළමයින්ට සත්තුන්ගෙ කිරි දෙන්නෙ නෑ කවදාවත්, අපි දෙන්නෙ ටින් කිරි විතරයි”
ඒ කොළඹ හතේ අම්මා කෙනෙක් කී කතාවකි. නාගරික ” පොෂ් ” අම්මලා තම දරුවනට
කිරි නොදෙන්නේ තම රූ සපුව රැක ගැනීමටය. වසු පැටවුන් , තම මව ගෙන් කිරි
උරා බොනු මා දැක ඇත. වරින් වර හොම්බෙන් අනිමින් ඌ කිරි උරා බොයි. මිනිස් පැටියාද
එසේ තම ළපටි අතින් ගසමින් කිරි උරන විට එයට යම් ව්‍යායාමයක් ලැබෙනවා විනා
රූ සපුවට හානියක් වීමට නුපුළුවන.

බල්ලා ගැන කීමට ගොස් උගේ ඇඟේ ඉන්නා මැක්කා ගැන කිව්වා වාගේ මා වෙන පාරක
යයි. එනිසා නැවත කිරටම හැරෙමු.

මුදවපු කිරි මා ආසා කෑමකි. කිරි , සීනි එක්කත් කෑ හැකි නමුත් අච්චර ආටෝපයක්
නැත. කිරි – පැණි. ඒක එහෙමයි වෙන්න ඕන.රජවරුන් සමග වැඩ කිරීම දැළි පිහියෙන්
කිරි කෑමකි. ඒත් අන්දරේට රජතුමා සැළකුවේ යාළුවෙකුට වගේය. දිනක් රජතුමා ,
අන්දරේට ලන්ච් එකකට ආරාධනා කළේය. බඩ පැලෙන්ට රජ බොජුන් කෑ අන්දරේට
තවත් බෙදා ගන්නා ලෙස රජු පෙරැත්ත කළේය. ” අනේ රජතුමනි ,, ආයෙ නං
ඇඟිල්ලක් ගහන්ටවත් ඉඩක් නෑ” යි කීවේය.
” එහෙනං මේ කිරි පැණි කාපන්” අන්දරේ කිරි හට්ටියක්ම දෙසා බෑවේය. රජතුමාට
හිනා ගියේය. ” ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ කී උඹ කොහොමද මේ කිරි හට්ටියක්ම
කෑවෙ?”
” රජතුමනි , කිරි කියන්නේ රජ කෙනෙක් වගේ”
” මට තේරුනේ නෑ..පැහැදිලි කරපන්”

අන්දරේ , කුඩා කාමරයකට රජුගේ හේවායන් ඇතුල් කළේය. හුස්මක් කටක් ගන්නවත්
දැන් එහි ඉඩක් නැත. ඉන් පසු අන්දරේ රජුට කාමරය තුළට එන ලෙස කීවේය.
තෙරපෙමින් හුන් හේවායෝ , අමාරුවෙන් එහා මෙහා වෙමින් රජතුමාට ඇතුළු වීමට
ඉඩ සලසා දුන්හ.

කිරි ගැන තව කතා එමටය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

22 Responses to කිරි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )