වත්සලා – අවසන් කොටස


මා දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැත්තෙකු වුවද ඈ වෙනුවෙන්
දෙවියන් යැදීමට තීරණය කළා. එයට මා යොමු කළේ ඇගේ
මිතුරියක වන ෆිලීෂියා. ” නිහාල් අපි කියනවට කොච්චිකඩේ
යන්න බලන්න. එතන හාස්කම් තියෙන තැනක්”. මම ඊළඟ
අඟහරුවාදා සෙන්ට් ඇන්තනීස් පිළිරුව ඉදිරියේ දණ ගසා
ඇයට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඉටි පන්දම් දා හතරක්ම
පත්තු කළා.
මිනිසාගේ හා ගැහැණියගේ එක්වීමෙන් අළුත් ජීවියෙක් ඇතිවීම
ජීව විද්‍යාත්මක දෙයකි. එහෙත් අංග සම්පූර්ණ නීරෝගී
ජීවියෙකු නිර්මාණය කිරීම දෙවියන්ගේම වැඩක් බව , හිතට
විරුද්ධව වුවද හිත අන්තයටම අසරණ වී ඇති මෙ මොහොතේ
මා පිළිගත්තා. හඳුනාගන්නට අපහසු කුමක් හෝ බියකින් මගේ
හිත පිරී තිබුණා. ඇඟ ඇතුළතින් වෙවුලන ස්වභාවයක් මට
දැනුනා. මම මගේ මස්සිනා ක්‍රිෂන්ත හමු වෙන්න ගියා.

” මචං.. මට බොන්න ඕන”
” අපි එකට කොච්චර නං බීල ඇද්ද ? අපි බොමු.. ඒත් අද බෑ..
පලයන් ගෙදර”
වෙලාව හවස හයට විතර ඇති.. වත්සලා එළවළු සුප් එකක් හදල
ඉල්ලුවා. ඒක මම ම හැදුවා. මගේ සුප් එකට එයා ආසයි. මගේ
අතින්ම පෙව්වා.
” අද ටිකක් බඩ තද කරනවා වගේ. තව දවස් නම් තියෙනවා..
ඒත් අපි අද යමු හොස්පිට්ල් එකට..”
” ඔයාගෙ ඩොක්ටර් ආසිරි එකටත් එනවා.. සොයිසා එකටත් එනවා. කොහොමද
හොඳ කියල අපි අයියගෙන් අහමු”
” ප්‍රයිවට් හොස්පිට්ල් වලට ගෙනියන්න එපා.. සොයිසා එකට ගෙනියන්න.
ඩොක්ටර් නියාස් මගෙ යාළුවෙක්.. මම පැය දෙකකින් එනවා”
පහුවදා 1.00 විතර වෙන කොට ඇයට ටිකක් අමාරු උනා. ඉක්මණටම
ලේබර් රූම් එකට ගත්තා. ප්‍රධාන හෙදිය රූපසිංහ ඉස්කෝලෙ
මහත්තයගෙ ගෝලයෙක්. වටේටම හතර වරම් දෙවිවරු වගේ
උදව් කාරයො ඉන්දෙද්දී මම මොනවට බය වෙන්නද ? ලෙඩුන් බලන
වෙලාව හරි. සැර කන්කානම් කෙනෙක් ඇවිත් ලෙඩුන් බලන්න ආ අයට සැර
කළා. අපට එයාගෙ නීති බලපෑවෙ නෑ.. ඇතුළෙ ඉන්නෙ ASPගෙ නංගී.
ASP නිළ ඇඳුම් පිටින්ම මා ළඟ.

ලේබර් රූම් එකේ දොර ඇරුනා. ට්‍රොලියක තියා ගත්තු ලෙඩෙක් .. අම්ම
කෙනෙක් ටිකක් වේගෙන් කොහාටද අරන් ගියා. ඒ අරන් ගියේ වත්සලා..
ශල්‍යාගාරයට.. ප්‍රභාත් අයියත් අඳුරන මිසී කෙනෙකුත් ඒ පැත්තට
දිව්වා.
” බබා නෝමල් හම්බවෙන්න ඇවිත්.. ඔලුවත් එක්ක අතකුත් ඇවිත්.. අතක්
කම්මුලේ.. බබා හිර වෙලා.. සීසර් කරන්න අරන් ගියේ,.. දැන් හරි” තව මිසී
කෙනෙක් කීවා. ” අනේ මෙහෙමත් ලෝකයක් කියල බබාට හිතෙන්න ඇති” තව
මිසී කෙනෙක් විහිළුවක් කලා. ඒත් ඒ විහිළුවට හිනා වුනේ අප්සරා –
වත්සලා ගෙ නංගී විතරයි.
අපේ අම්මත් ආව සෝමක්කත් එක්ක හති දාගෙන පඩි පෙළ නැග ගෙන. ඒත්
එක්කම නංගියි , ක්‍රිෂන්තයි…
අපි ශල්‍යාගාරය පැත්තට ගියා… ප්‍රභාත්.. වත්සලාගෙ ලොකු අයියා
ඔලුව උලුවස්සට හේත්තු කර ගෙන දොරකඩ. රූපසිංහ ඉස්කෝලෙ
මහත්තයා එයා ළඟට ගිහින් හිස කෙළින් කළා. පුතා , තාත්තගෙ
අත ගසා දැම්මා. තව දොස්තර කෙනෙක් නිල් පාට කබාය පිටින්ම එළියට
ඇවිත් ප්‍රභාත්ට බැරෑරුම් විදියට මොනවද ඉංග්‍රීසියෙන් කීවා..
” මට විටින් විට ඇහුනා.. කම්ප්ලිකේෂන්ස්… ඩීවීටී , එක්සසිව් ඉන්ටනල්
හිමරේජ්….හයිපටෙන්ෂන් වගේ වචන ගොඩක්..” අයෑම් වෙරි සොරි කියල”
අන්තිමට කීව. ඉස්කෝලෙ මහත්තය හිටි තැනම බිම වාඩි උනා.

මගේ දෑස් නිලංකාර වුනා. ඔලුවට පොල්ලකින් ගැහැව්වාම වගේ
ඇස් වලින් තරු පිට වුනා. තරමක් උණුසුම් වායු දාරාවක් වම් කනෙන් ඇතුල්
වෙලා දකුණු කනෙන් පිට වුනා.. මට මතක එච්චරයි.
ඇස් ඇරල බලන කොට මා වටා බොඳ වුනු මිනිසුන් කීප දෙනෙක් හිටියා.
මම ලී බංකුවක ඇල වෙලා හිටියා. මගේ කමිසය තෙත් වෙලා.
අපේ අම්මයි ,, වත්සලාගෙ අම්මයි එකිනෙකා බදා ගෙන හිටිය. සෝමක්කා
පපුවට ගහ ගත්තා,
” ඇයි දෙයි හාන්දුන්නේ..මේ මොකද්ද උනේ…. මගෙ සිරියාකාන්තාව..
හොරු අරන් ගිහින්…” ඈ නවත්තන්න කවුරුවත් උත්සාහ කළේ නෑ.
ප්‍රභාත් අයියා මා ළඟට ආවා. ” ගොඩාක් ලේ ගිහින්.. ප්‍රෙෂර් එක
හොඳටම අඩුවෙලා.. කර ගන්න දෙයක් ඇත්තෙම නෑ…. දරුවා
හොඳ සනීපෙන්…”
මට කතා කරන්න බෑ.යටි හනු දෙක ලොක් වෙලා .. තද කැක්කුමක් ආවා.
ASP අයියා ආවා. ” දැන් මෙතන ඉඳල තේරුමක් නෑ”
” බබා තව ටිකකින් වාට්ටුවට දානවා”
මගේ කකුල් දෙක මගෙන් අහන්නෙවත් නැතුව මගේ ශරීරය උස්සගෙන බබාලගෙ
වාට්ටුවට ගෙන ගියා. ” තව ලෙඩ්ඩු ඉන්නව මෙතන.. මේ විදියට වාට්ටුවට
එන්න බෑ.. රොබෝ නර්ස් කෙනෙක් මට සැර දැම්මා.

රෝස පාට ප්‍රියාශා ඇස් අරින්නෙ නැතිවම කොට් එකේ දඟලමින් හිටියා. එයාගෙ
එක අතක නොම්මරයක් ගැට ගහල තිබුනා. කට උල් කලා. මුහුණ විරූපී කර
ගෙන ඔළුව එහා මෙහා කළා. එයාට ටිකක් ගණ කළු කොණ්ඩයක් තිබුනා. කවුරු
වගේද කියන්න බෑ. අම්ම මරා ගෙන උපන් අවාසනාවන්ත කෙල්ල.. හිටි හැටියේ
චෑස් ගාල අඬන්න පටන් ගත්ත.. කිරිබඩ ගිනිවෙලා. ලොකු බෙඩ් ජැකට් එකක් ඇඳන්
හිටිය නාඳුනන අම්ම කෙනෙක් විගහට ඇගේ තන පුඩුව ප්‍රියාශගෙ මුවට
කිට්ටු කළා.
” බබාට හෙට වෙන තුරු මෙහේ ඉන්න වෙයි.. ෆාමසියට ගිහින් මේ ජාතියෙ කිරි එකකුයි
බෝතලේකුයි ගේන්න” තරුණ මිසී කෙනෙක් මට තුණ්ඩුවක් දුන්නා.
කවුරුවත් එපා .. මමම යනව ෆාමසියට. වට පිටාව ගැන කල්පනාවක්
නැතිව මම පාර පැන්නා. ත්‍රීවීල් කාරයෙක් මාව යට කරන්න වගේ බ්‍රේක්
ගහල “පිස්සු හුකන්නෙක්” කියල මට බැනල යන්න ගියා.
මම හොටු පෙර පෙර ඇඬුවා. අපි කට්ටිය වත්සලාගෙ ගෙදරට යනකොට
ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇරල දාල. මිදුලේ විශාල පිරිසක් එක් රොක්ව හිටියා.
කවුරුවත් කාටවත් හිනාවුනේ නෑ..
පහුවදා ඇගේ දේහය සහිත පෙට්ටිය නිවසට ගෙනාවා. හැමෝගෙම දුක
අළුත් උනා.

පේරාදෙණිය.. ගලහ හන්දිය.. කටුගස්තොට .. මල් වත්ත , ගැටඹේ පන්සල..
වැව රවුම ,මාළිගාව…කඩුගන්නාවෙ වංගුව…රත්නපුර, හංවැල්ල ,
නුවර එළිය , හක්ගල , හුන්නස් ෆෝල්ස් , හෝටන් තැන්න , මහජන බැංකුව ,නීති අංශය,
නුගේගොඩ ටොප්ෆෝම් එක ,විජයබා මාවත, , ඔක්සෝනියා එක…මේ ඇගේ සුවඳ තැවරුණු තැන්..

අපි ඉස්සර රණ්ඩුත් උනා. වතාවක් රණ්ඩුවෙලා එයා කෑම වර්ජනය කළා.
වේල් දෙකක්ම කෑවෙ නෑ..මම රෑ ඇහැරිල බලන කොට එයා ඇඳේ නෑ.
කුස්සියෙ ලයිට් දාල තිබුන.. මම දැක්ක එයා මොනවද හොරෙන් කටේ දාගන්නව.
මම දැක්ක විතරයි ඒක ගිල්ල. හිර වුනා. ඇස් වලට කඳුළු ආව.මට ඒක් දැක්කම බකස් ගාල හිනා ගියා.
මම පිටට පාරක් ගහල වතුර පෙව්වා.

” අම්මේහ්.. ඒ පාර නිහාල් අයිය මහ හයියෙන් හිනා වෙනව.. ඔළුව නරක්
වෙලාවත්ද ?
හාමුදුරුවන්ට එන්ට කියමුද පිරිත් ටිකක්වත් කියල බලන්ට ?”

ළඟ ඥාතියෙක් වන ලොකු හාමුදුරුවෝ කෙළින්ම වැඩියෙ මගෙ කාමරේට.
” මොකද මහත්තයා මේ … මම ආවෙ මිනිය බලන්න නෙවි.. මැරුණු මිනිසුන්ගෙන්
මට වැඩක් නෑ.. මම ආස ජීවත්වෙන මිනිස්සු බලන්න.. මේක මේ , මේ ලෝකෙ
වෙච්චි පළමු මරණෙද ?.. මම දන්නව ඔබ දෙපළ එකිනෙකාට බොහොම
ආදරෙන් සෙනේහෙන් හිටිය වග. ඕකට කියන්නෙ ආදරෙ නෙවි.. උපාදානය හෙවත් අල්ලා
ගැනීම කියල.. අපි කූඬැල්ලො වගෙ.. එක කොනක් අල්ල ගෙන අනෙක් කොන අතාරිනව.
මහත්තයා වත්සලා නෝනත් එක්ක තිබුනු උපාදානය වෙනුවට දැන් අළුත්
උපාදානයක් ඇති කරගෙන.. හිතට දහිරිය ගන්න…”

වත්සලාගෙ දේහය තබා තිබුණේ මා හිටි කාමරයට ඉදිරියෙන්. මට එළියට යන්න
ඕන උනා. මම එදෙස නොබලා යන්න හැදුවත් මට ඇස් කොනෙන් පෙනුන ඈ හිනා
වෙනව වගේ.. මායා කාරියො.. උන්ට අපේ ආදරේ තෙරුම් ගන්න බෑ. මා ආසාවෙන්
සිප ගත් දෙතොළ මත මැස්සෙක් වහලා. මම විගැහින් පත්තරයක් අරන් පවන් සැලුවා.

එළියේ පොඩි පහේ පාටියක් වගේ. කාටවත් කිසි බරක් නෑ. ඉස්කෝලෙ මහත්තය සේවය
කළ පාසැලේ ලමුන් එකා පිටි පස්සෙ එකා ඇවිත් වටේට හිටගෙන ආචාර කරල අනෙක්
දොරෙන් එළියට ගියා. කෙනෙක් ළමුන්ට ඔරෙන්ජ් බාර්ලි ඇල්ලුවා.

සියල්ල ඉක්මණින් හමාර උනා. ඉතිරි වුනේ ගෙයි මිදුලේ තාවකාලිකව ඉදි කළ
මඩුවත් , තැන් තැන් වල විසිරුණු තහඩු පුටු ටිකත් , ගොක් කොළ කෑලිත් ,විතරයි.
හරියට ගුවනින් බෝම්බ හෙලූ නගරයක් වගේ.
මව් මරා ගෙන උපන් ප්‍රියාශා රෝස පාට ළපටි අත පය සොළවමින් කෙමෙන් වැඩුනා.
එළිය එන දිසාවට හිස හැරවීමටත්, තොල් උල් කොට ශබ්ද පිට කිරීමටත් තැත් කළා.

සාවිත්‍රි අක්කාත් , ලක්ෂ්මී අක්කත් මගේ නංගීත් දුව හදා වඩා ගැනීමට ඉල්ලා සිටි
නමුත් මගේ එකම තීරණය වූයෙ ඈ මා ළඟ මට පෙනෙන මානයේ සිටිය යුතු බවය.

මම නැවත සේවයට ගියා. සති අන්තයේ පන්ති කිරීම නවතා දැමුවා. දුවගේ
පිරිසිදු කිරීම් ,චූ රෙදි සේදීම මා කළේ ආසාවෙන්. දවස පුරාම ඇගේ චූ ” සුවඳ”
මගේ නාස් කුහර තුළ රැඳී තිබුනා.

කාලය ගෙවුනේ ඉබි ගමනින්. ඈ කෙමෙන් ලොකු වෙද්දී සෝමක්කාට තනිවම ඇගේ කටයුතු
කර ගත නොහැකි වූ නිසා අවුරුදු පහළොවක විතර ඉන්ද්‍රානි නම් වූ ගමේ කෙල්ලක්
ගෙදර වැඩට ආවා.

” මහත්තයා.. මේකිගෙන් ඇති වැඩක් නෑ. ටෙලිපෝන් එක වදින කොට දුව ගෙන එනවා.. ටීවී
එක දාන්න හදනව.. මට වස අප්පිරියයි.. දවසක් බබාගෙ කිරි ටික බොනව මම දැක්ක
බෝතලෙන්ම” සෝමක්කා පැමිණිලි කළා.

ලබන සුමානෙ දිහාවට යමුද පොඩි එකා බලල එන්න. වත්සලාගෙ අම්මා දවසක් කිව්වා.

” පොඩි දුවේ.. අර රත්නපුරේ කට්ටිය ඊයෙත් කෝල් කළා.. අපෙන් වචනයක් ගන්න.. දුව මොකද
කියන්නෙ ?”
” මට බෑ තාත්තේ.. මම කැමති නෑ කියල කියල අරින්න”

” මේ අද පත්තරෙත් තියෙනව හොඳ යෝජනා කීපයක්. මම මාක් කළා.. දුවත්
බලන්න… මේ මනුස්සය අර කිරි සප්පය අපට දෙන්නෙත් නෑ.. මේ ඒ ගෙදර ඇඩ්‍රස් එක නේද..
දැන්වීමක් දාල.. පවුලේ කෙනෙකු මෙන් නැවතී කුඩා දරුවෙක් බලා ගැනීමට මැදිවියේ
ගැහැණු කෙනෙක් අවශ්‍යයි.. හොඳ වැටුපක් ගෙවමි. ග්‍රාම සේවක සහතිකයද සමඟ
සෙනසුරාදා දිනක පැමිණෙන්න…”

” තාත්තේ.. මම හෙට ගිහින් දුව බලල එන්නද..? උදේම ගිහින් හවස් වෙන කොට එන්නම්”

************************************************

” කවුරු හම්බ වෙන්නද ?” -( ඉන්ද්‍රානී)
” අර පත්තරේ දැන්වීමට.. මහත්තය ඉන්නවද ?”
” පොඩ්ඩක් ඉන්න”

මහත්තයා.. කවුද ඇවිල්ල මහත්තය හම්බ වෙන්න.. මිස් කෙනෙක්”
“එන්න කියන්න”

නිහාල් ගුරුසිංහ ඉස්සරහ කන්තෝරු කාමරේ මේසය මත වූ ලිපියකට ඇස් ඔබා ගෙන හිටියා.
ඔහුගේ කෙස් හා රැවුල් වැවී තිබුනා.ඔහු ඔලුව ඉස්සුවෙම නෑ.

” මොකද්ද කාරණාව?”
” බබෙක් බලා ගන්න කෙනෙක් ඉල්ලල තිබුන දැන්වීමට”
” කොහෙද ගම ?”
“කිරිබත්ගොඩ”
“නම?”
” අප්සරා.. අප්සරා විජේනායක”

හවස්කාලයේ හිටි හැටියේ වැටෙන රාස්සිගෙ අව්ව වැනි එළියකින් නිවස ආලෝකමත් වුනා.

අවසානයි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

20 Responses to වත්සලා – අවසන් කොටස

  1. පූජිත පවසයි:

    මේ කතාවේ බොහෝ දුරට මගේ ජීවිතයට සම්බන්ධ සිදුවීම් තියෙන නිසා ඇත්තටම මම කතාව ඇතුලේ ජීවත් වුනා.

    ස්තුතියි නිහාල් අයියාට.

  2. Buru පවසයි:

    ඇත්ත වත්සලාට ඉක්මන් සුව පතමි. (ඔය කියන තරම් ලොකු අවුලක් නොවී ඇය ඉක්මනින් සුව වේවි. )

    මම මේල් එකටම මේ පොසෙට් එන හින්ද කොමන්ට් කරන්න එන්නේ නෑ. ඒත් අන්තිම කොටස ලියපු වේගේ වැඩි වගේ හිතුනා.

  3. hesh78 පවසයි:

    නිහාල් අයියේ…. (සමාවෙන්න ආමන්ත්‍රණය වැරදිනම්) අද වෛද්‍ය විද්‍යාව හරි දියුණුයි…. ඔයාගේ නැන්දම්මට වුනු දේ වත්සලාට වෙන්නේ නැහැ….

    මිනිස්සුන්ගේ චිත්ත ශක්තියට ගොඩක් දේවල් කරන්න පුළුවන්… ඔබ යමක ගැන නිතරම සිතුවොත් ඒ දෙය සිද්දවෙන්න තියෙන සම්භාවිතාව හරි ඉහලයි…ඒ නිසා වත්සලා ගැන හොඳම හිතන්න…. ඔබට වරදින්නේ නැහැ…..

  4. hesh78 පවසයි:

    හ්ම්ම්ම් මේ බ්ලොග් එකේ නම නියමෙටම ගැලපෙනවා ලියන කතාවලට…. කවුරු කොහොම අවසානය දකින්න කැමැති වුනත්…. අපි යතාර්තයට මුහුණ දෙන්න ඕනේ…. මට කියන්න, මේ ඇත්ත කතාවක්ද?

    කොටස් ටික කියෙව්වට පස්සේ හිත පිළිගන්නේ නැහැ කතාව බොරුයි කියල….

  5. Nihal Gurusinghe පවසයි:

    මා වත්සලා ලිව්වේ ඇයි ?

    සමහරුන්ට මෙය පහත් ප්‍රේම කතාවක් විදිහට පෙනෙන්න ඇති.
    සමහරු හිතන්න ඇති ඔය වගේ කතා අපි ඕන තරම් කියවලා
    තියෙනවා කියල. මැයි 1 දා වත්සලා 630 දෙනෙක් කියවා තිබෙනවා.

    ඇත්ත වත්සලාගේ අම්මා ගර්භාෂ පිළිකාවකින් මිය ගියා.
    කලකට පෙර. ඇගේ ගර්භාෂය ඉවත් කළත් ඒ වන විට පිළිකාව
    ශරීරය පුරා පැතිරුන එකක් වුනා.

    ඇත්ත වත්සලා දැන් මැදිවියේ. ඇගේත් ගර්භාෂයේ ගෙඩියක්.
    පවුලේ ” පිළිකා ඉතිහාසයක් ” ඇති නිසා එයත් පිළිකාවක් විය
    හැකි බව හා එසේ විය හැකි සම්භාව්‍යතාවය 44% ක් බව
    වෛද්‍යවරු කියනවා. කෙසේ වෙතත් ඒ සඳහා පූර්ව පරීක්ෂණ
    ලබන සතියේ පැවැත්වෙනවා. ඈට ශල්‍යකර්මයක් කරන්න
    තියෙනවා ලබන මාසයේ..

    මා විසින් නිර්මාණය කළ වත්සලා චරිතය සති දෙකක් වැනි
    සුළු කාලයක් තුලදී මා විසින්ම මරා දැමුවේ , ලබන
    මාසයේ යම් අමිහිරි පණිවුඩයක් මට ලැබුනොත් එයට
    මුහුණ දීමේ පෙරහුරුවක් වශයෙනුයි.

    ප්‍රතිචාර කළ හැමටම ස්තූතියි.

    • Dinesh Silva පවසයි:

      කතාව කියෙව්වාට වඩා වැඩි කම්පනයක් ඔබ ගේ Comment එක කියවීමෙන් දැනුණා. ඇත්ත වත්සලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මතක තියාගන්න නිහාල් බෙහෙත් වලින් රෝගයක් සුව කරන්න පුලුවන් 50% දක්වා පමණයි. ඉතුරු 50% එන්න ඕනේ රෝගියා ගෙන්. ඇයට සහ ඔබට මෙයට සාර්ථකව මුහුණ දීමට ධෛර්‍ය ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම නිහාල් ඔබ ඉන්නේ සිහින සැබෑ කරගන්න පුළුවන් ලෙහෙසිම රටේ. බලාපොරොත්තු අත් හැර ගන්න එපා කොයිම වෙලවකවත්.

    • Maheshi පවසයි:

      ඔබේ මේ පිළිතුරු සටහන මා කම්පනයට පත් කලා. ඔබේ බිරිඳ වත්සලාට මම නිදුක් නිරෝගී සුවය පතනවා. අවා වගේම තව බොහෝ දුරක් ඔබ දෙපලට එක්ව යන්නට ලැබේවායි පතනවා. ඔබේ බොහෝ පාටකයන් කියා ඇති පරිදි අද වයිද්‍ය විද්‍යාව දියුණුයි. ඒ නිසා ඔබේ වත්සලා සුවපත් වේවි.

    • පූජිත පවසයි:

      ඔබේ සැබෑ වත්සලාට ඉක්මන් සුවය, දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය සහ ඔබ දෙපලට මෙයට මුහුණ දීමට යහපත් චිත්ත ශක්තිය හා ධෛර්‍ය මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  6. Beetle පවසයි:

    කොටස් වශයෙන් යන කතාවක් එක කොටසක්වත් මගාරින්නේ නැතුව ඉවර වෙනකල් කියෙව්වේ අද තමයි… සේරම හොඳයි… මලගෙදරට සම්පූර්ණ කොටසක්ම වෙන්කලානම් මම කැමති… ඒ පොඩි කෑල්ල මාර ලස්සනට ලියලා…

    තව කතාවක් ලියමු නේද එහෙනම්…?

  7. සහෝධරයා පවසයි:

    මිනිස්සු හැම සත්‍ය අසත්‍ය කතාවක්ම හිතන්නෙ තමන්ට වාසි තමන් කැමති විදියටයි.මොනදේ කිව්වත් ඒ මිනිහ හිතන්නෙ හොද අවසානයක් ගැනයි.
    මමත් සාමන්‍ය මනුස්සයෙක් නිසා වෙන්න ඇති මේ කතාවෙ අවසානයට කැමති නැහැ.

  8. රූ පවසයි:

    දුකද සතුටද දැනුනෙ කියලා නම් තේරුමක් නෑ..ඒත් වර්ග නොකල හැඟීමකින් කතාව වින්දා..
    ලස්සනයි..

  9. ama පවසයි:

    ගොඩක් ලස්සන කතාවක් …

  10. රහස පවසයි:

    මේ කතාව ඇත්ත එකක්…. අපේ ගමේ මෙහෙම නිහාල් කෙනෙක් ඇත්තටම ඉන්නවා. එයා දැන් විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙක්… සාමදාන විනිශ්චකරුවෙක්. සමථ මණ්ඩලයේ සභාපති කෙනෙක්. ඒත් අදත් එයාව මිනිස්සු හදුන්වන්නේ මෙන්න මෙහෙම. ” ආහ් අර අක්කයි නංගියි දෙන්නම සහේට ගත්ත කෙනා ද? ”

    ඔන්න මිනිසුන්ගෙ හැ‍ටි….

    ස්තූතියි නිහාල්….

    මොකක් දෝ ඉවකින් මම දැනන් හිටියා ඔයා “වත්සලා” ව මරණව කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )