වත්සලා – අවසන් කොටස


මා දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැත්තෙකු වුවද ඈ වෙනුවෙන්
දෙවියන් යැදීමට තීරණය කළා. එයට මා යොමු කළේ ඇගේ
මිතුරියක වන ෆිලීෂියා. ” නිහාල් අපි කියනවට කොච්චිකඩේ
යන්න බලන්න. එතන හාස්කම් තියෙන තැනක්”. මම ඊළඟ
අඟහරුවාදා සෙන්ට් ඇන්තනීස් පිළිරුව ඉදිරියේ දණ ගසා
ඇයට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඉටි පන්දම් දා හතරක්ම
පත්තු කළා.
මිනිසාගේ හා ගැහැණියගේ එක්වීමෙන් අළුත් ජීවියෙක් ඇතිවීම
ජීව විද්‍යාත්මක දෙයකි. එහෙත් අංග සම්පූර්ණ නීරෝගී
ජීවියෙකු නිර්මාණය කිරීම දෙවියන්ගේම වැඩක් බව , හිතට
විරුද්ධව වුවද හිත අන්තයටම අසරණ වී ඇති මෙ මොහොතේ
මා පිළිගත්තා. හඳුනාගන්නට අපහසු කුමක් හෝ බියකින් මගේ
හිත පිරී තිබුණා. ඇඟ ඇතුළතින් වෙවුලන ස්වභාවයක් මට
දැනුනා. මම මගේ මස්සිනා ක්‍රිෂන්ත හමු වෙන්න ගියා.

” මචං.. මට බොන්න ඕන”
” අපි එකට කොච්චර නං බීල ඇද්ද ? අපි බොමු.. ඒත් අද බෑ..
පලයන් ගෙදර”
වෙලාව හවස හයට විතර ඇති.. වත්සලා එළවළු සුප් එකක් හදල
ඉල්ලුවා. ඒක මම ම හැදුවා. මගේ සුප් එකට එයා ආසයි. මගේ
අතින්ම පෙව්වා.
” අද ටිකක් බඩ තද කරනවා වගේ. තව දවස් නම් තියෙනවා..
ඒත් අපි අද යමු හොස්පිට්ල් එකට..”
” ඔයාගෙ ඩොක්ටර් ආසිරි එකටත් එනවා.. සොයිසා එකටත් එනවා. කොහොමද
හොඳ කියල අපි අයියගෙන් අහමු”
” ප්‍රයිවට් හොස්පිට්ල් වලට ගෙනියන්න එපා.. සොයිසා එකට ගෙනියන්න.
ඩොක්ටර් නියාස් මගෙ යාළුවෙක්.. මම පැය දෙකකින් එනවා”
පහුවදා 1.00 විතර වෙන කොට ඇයට ටිකක් අමාරු උනා. ඉක්මණටම
ලේබර් රූම් එකට ගත්තා. ප්‍රධාන හෙදිය රූපසිංහ ඉස්කෝලෙ
මහත්තයගෙ ගෝලයෙක්. වටේටම හතර වරම් දෙවිවරු වගේ
උදව් කාරයො ඉන්දෙද්දී මම මොනවට බය වෙන්නද ? ලෙඩුන් බලන
වෙලාව හරි. සැර කන්කානම් කෙනෙක් ඇවිත් ලෙඩුන් බලන්න ආ අයට සැර
කළා. අපට එයාගෙ නීති බලපෑවෙ නෑ.. ඇතුළෙ ඉන්නෙ ASPගෙ නංගී.
ASP නිළ ඇඳුම් පිටින්ම මා ළඟ.

ලේබර් රූම් එකේ දොර ඇරුනා. ට්‍රොලියක තියා ගත්තු ලෙඩෙක් .. අම්ම
කෙනෙක් ටිකක් වේගෙන් කොහාටද අරන් ගියා. ඒ අරන් ගියේ වත්සලා..
ශල්‍යාගාරයට.. ප්‍රභාත් අයියත් අඳුරන මිසී කෙනෙකුත් ඒ පැත්තට
දිව්වා.
” බබා නෝමල් හම්බවෙන්න ඇවිත්.. ඔලුවත් එක්ක අතකුත් ඇවිත්.. අතක්
කම්මුලේ.. බබා හිර වෙලා.. සීසර් කරන්න අරන් ගියේ,.. දැන් හරි” තව මිසී
කෙනෙක් කීවා. ” අනේ මෙහෙමත් ලෝකයක් කියල බබාට හිතෙන්න ඇති” තව
මිසී කෙනෙක් විහිළුවක් කලා. ඒත් ඒ විහිළුවට හිනා වුනේ අප්සරා –
වත්සලා ගෙ නංගී විතරයි.
අපේ අම්මත් ආව සෝමක්කත් එක්ක හති දාගෙන පඩි පෙළ නැග ගෙන. ඒත්
එක්කම නංගියි , ක්‍රිෂන්තයි…
අපි ශල්‍යාගාරය පැත්තට ගියා… ප්‍රභාත්.. වත්සලාගෙ ලොකු අයියා
ඔලුව උලුවස්සට හේත්තු කර ගෙන දොරකඩ. රූපසිංහ ඉස්කෝලෙ
මහත්තයා එයා ළඟට ගිහින් හිස කෙළින් කළා. පුතා , තාත්තගෙ
අත ගසා දැම්මා. තව දොස්තර කෙනෙක් නිල් පාට කබාය පිටින්ම එළියට
ඇවිත් ප්‍රභාත්ට බැරෑරුම් විදියට මොනවද ඉංග්‍රීසියෙන් කීවා..
” මට විටින් විට ඇහුනා.. කම්ප්ලිකේෂන්ස්… ඩීවීටී , එක්සසිව් ඉන්ටනල්
හිමරේජ්….හයිපටෙන්ෂන් වගේ වචන ගොඩක්..” අයෑම් වෙරි සොරි කියල”
අන්තිමට කීව. ඉස්කෝලෙ මහත්තය හිටි තැනම බිම වාඩි උනා.

මගේ දෑස් නිලංකාර වුනා. ඔලුවට පොල්ලකින් ගැහැව්වාම වගේ
ඇස් වලින් තරු පිට වුනා. තරමක් උණුසුම් වායු දාරාවක් වම් කනෙන් ඇතුල්
වෙලා දකුණු කනෙන් පිට වුනා.. මට මතක එච්චරයි.
ඇස් ඇරල බලන කොට මා වටා බොඳ වුනු මිනිසුන් කීප දෙනෙක් හිටියා.
මම ලී බංකුවක ඇල වෙලා හිටියා. මගේ කමිසය තෙත් වෙලා.
අපේ අම්මයි ,, වත්සලාගෙ අම්මයි එකිනෙකා බදා ගෙන හිටිය. සෝමක්කා
පපුවට ගහ ගත්තා,
” ඇයි දෙයි හාන්දුන්නේ..මේ මොකද්ද උනේ…. මගෙ සිරියාකාන්තාව..
හොරු අරන් ගිහින්…” ඈ නවත්තන්න කවුරුවත් උත්සාහ කළේ නෑ.
ප්‍රභාත් අයියා මා ළඟට ආවා. ” ගොඩාක් ලේ ගිහින්.. ප්‍රෙෂර් එක
හොඳටම අඩුවෙලා.. කර ගන්න දෙයක් ඇත්තෙම නෑ…. දරුවා
හොඳ සනීපෙන්…”
මට කතා කරන්න බෑ.යටි හනු දෙක ලොක් වෙලා .. තද කැක්කුමක් ආවා.
ASP අයියා ආවා. ” දැන් මෙතන ඉඳල තේරුමක් නෑ”
” බබා තව ටිකකින් වාට්ටුවට දානවා”
මගේ කකුල් දෙක මගෙන් අහන්නෙවත් නැතුව මගේ ශරීරය උස්සගෙන බබාලගෙ
වාට්ටුවට ගෙන ගියා. ” තව ලෙඩ්ඩු ඉන්නව මෙතන.. මේ විදියට වාට්ටුවට
එන්න බෑ.. රොබෝ නර්ස් කෙනෙක් මට සැර දැම්මා.

රෝස පාට ප්‍රියාශා ඇස් අරින්නෙ නැතිවම කොට් එකේ දඟලමින් හිටියා. එයාගෙ
එක අතක නොම්මරයක් ගැට ගහල තිබුනා. කට උල් කලා. මුහුණ විරූපී කර
ගෙන ඔළුව එහා මෙහා කළා. එයාට ටිකක් ගණ කළු කොණ්ඩයක් තිබුනා. කවුරු
වගේද කියන්න බෑ. අම්ම මරා ගෙන උපන් අවාසනාවන්ත කෙල්ල.. හිටි හැටියේ
චෑස් ගාල අඬන්න පටන් ගත්ත.. කිරිබඩ ගිනිවෙලා. ලොකු බෙඩ් ජැකට් එකක් ඇඳන්
හිටිය නාඳුනන අම්ම කෙනෙක් විගහට ඇගේ තන පුඩුව ප්‍රියාශගෙ මුවට
කිට්ටු කළා.
” බබාට හෙට වෙන තුරු මෙහේ ඉන්න වෙයි.. ෆාමසියට ගිහින් මේ ජාතියෙ කිරි එකකුයි
බෝතලේකුයි ගේන්න” තරුණ මිසී කෙනෙක් මට තුණ්ඩුවක් දුන්නා.
කවුරුවත් එපා .. මමම යනව ෆාමසියට. වට පිටාව ගැන කල්පනාවක්
නැතිව මම පාර පැන්නා. ත්‍රීවීල් කාරයෙක් මාව යට කරන්න වගේ බ්‍රේක්
ගහල “පිස්සු හුකන්නෙක්” කියල මට බැනල යන්න ගියා.
මම හොටු පෙර පෙර ඇඬුවා. අපි කට්ටිය වත්සලාගෙ ගෙදරට යනකොට
ගේට්ටුව සම්පූර්ණයෙන්ම ඇරල දාල. මිදුලේ විශාල පිරිසක් එක් රොක්ව හිටියා.
කවුරුවත් කාටවත් හිනාවුනේ නෑ..
පහුවදා ඇගේ දේහය සහිත පෙට්ටිය නිවසට ගෙනාවා. හැමෝගෙම දුක
අළුත් උනා.

පේරාදෙණිය.. ගලහ හන්දිය.. කටුගස්තොට .. මල් වත්ත , ගැටඹේ පන්සල..
වැව රවුම ,මාළිගාව…කඩුගන්නාවෙ වංගුව…රත්නපුර, හංවැල්ල ,
නුවර එළිය , හක්ගල , හුන්නස් ෆෝල්ස් , හෝටන් තැන්න , මහජන බැංකුව ,නීති අංශය,
නුගේගොඩ ටොප්ෆෝම් එක ,විජයබා මාවත, , ඔක්සෝනියා එක…මේ ඇගේ සුවඳ තැවරුණු තැන්..

අපි ඉස්සර රණ්ඩුත් උනා. වතාවක් රණ්ඩුවෙලා එයා කෑම වර්ජනය කළා.
වේල් දෙකක්ම කෑවෙ නෑ..මම රෑ ඇහැරිල බලන කොට එයා ඇඳේ නෑ.
කුස්සියෙ ලයිට් දාල තිබුන.. මම දැක්ක එයා මොනවද හොරෙන් කටේ දාගන්නව.
මම දැක්ක විතරයි ඒක ගිල්ල. හිර වුනා. ඇස් වලට කඳුළු ආව.මට ඒක් දැක්කම බකස් ගාල හිනා ගියා.
මම පිටට පාරක් ගහල වතුර පෙව්වා.

” අම්මේහ්.. ඒ පාර නිහාල් අයිය මහ හයියෙන් හිනා වෙනව.. ඔළුව නරක්
වෙලාවත්ද ?
හාමුදුරුවන්ට එන්ට කියමුද පිරිත් ටිකක්වත් කියල බලන්ට ?”

ළඟ ඥාතියෙක් වන ලොකු හාමුදුරුවෝ කෙළින්ම වැඩියෙ මගෙ කාමරේට.
” මොකද මහත්තයා මේ … මම ආවෙ මිනිය බලන්න නෙවි.. මැරුණු මිනිසුන්ගෙන්
මට වැඩක් නෑ.. මම ආස ජීවත්වෙන මිනිස්සු බලන්න.. මේක මේ , මේ ලෝකෙ
වෙච්චි පළමු මරණෙද ?.. මම දන්නව ඔබ දෙපළ එකිනෙකාට බොහොම
ආදරෙන් සෙනේහෙන් හිටිය වග. ඕකට කියන්නෙ ආදරෙ නෙවි.. උපාදානය හෙවත් අල්ලා
ගැනීම කියල.. අපි කූඬැල්ලො වගෙ.. එක කොනක් අල්ල ගෙන අනෙක් කොන අතාරිනව.
මහත්තයා වත්සලා නෝනත් එක්ක තිබුනු උපාදානය වෙනුවට දැන් අළුත්
උපාදානයක් ඇති කරගෙන.. හිතට දහිරිය ගන්න…”

වත්සලාගෙ දේහය තබා තිබුණේ මා හිටි කාමරයට ඉදිරියෙන්. මට එළියට යන්න
ඕන උනා. මම එදෙස නොබලා යන්න හැදුවත් මට ඇස් කොනෙන් පෙනුන ඈ හිනා
වෙනව වගේ.. මායා කාරියො.. උන්ට අපේ ආදරේ තෙරුම් ගන්න බෑ. මා ආසාවෙන්
සිප ගත් දෙතොළ මත මැස්සෙක් වහලා. මම විගැහින් පත්තරයක් අරන් පවන් සැලුවා.

එළියේ පොඩි පහේ පාටියක් වගේ. කාටවත් කිසි බරක් නෑ. ඉස්කෝලෙ මහත්තය සේවය
කළ පාසැලේ ලමුන් එකා පිටි පස්සෙ එකා ඇවිත් වටේට හිටගෙන ආචාර කරල අනෙක්
දොරෙන් එළියට ගියා. කෙනෙක් ළමුන්ට ඔරෙන්ජ් බාර්ලි ඇල්ලුවා.

සියල්ල ඉක්මණින් හමාර උනා. ඉතිරි වුනේ ගෙයි මිදුලේ තාවකාලිකව ඉදි කළ
මඩුවත් , තැන් තැන් වල විසිරුණු තහඩු පුටු ටිකත් , ගොක් කොළ කෑලිත් ,විතරයි.
හරියට ගුවනින් බෝම්බ හෙලූ නගරයක් වගේ.
මව් මරා ගෙන උපන් ප්‍රියාශා රෝස පාට ළපටි අත පය සොළවමින් කෙමෙන් වැඩුනා.
එළිය එන දිසාවට හිස හැරවීමටත්, තොල් උල් කොට ශබ්ද පිට කිරීමටත් තැත් කළා.

සාවිත්‍රි අක්කාත් , ලක්ෂ්මී අක්කත් මගේ නංගීත් දුව හදා වඩා ගැනීමට ඉල්ලා සිටි
නමුත් මගේ එකම තීරණය වූයෙ ඈ මා ළඟ මට පෙනෙන මානයේ සිටිය යුතු බවය.

මම නැවත සේවයට ගියා. සති අන්තයේ පන්ති කිරීම නවතා දැමුවා. දුවගේ
පිරිසිදු කිරීම් ,චූ රෙදි සේදීම මා කළේ ආසාවෙන්. දවස පුරාම ඇගේ චූ ” සුවඳ”
මගේ නාස් කුහර තුළ රැඳී තිබුනා.

කාලය ගෙවුනේ ඉබි ගමනින්. ඈ කෙමෙන් ලොකු වෙද්දී සෝමක්කාට තනිවම ඇගේ කටයුතු
කර ගත නොහැකි වූ නිසා අවුරුදු පහළොවක විතර ඉන්ද්‍රානි නම් වූ ගමේ කෙල්ලක්
ගෙදර වැඩට ආවා.

” මහත්තයා.. මේකිගෙන් ඇති වැඩක් නෑ. ටෙලිපෝන් එක වදින කොට දුව ගෙන එනවා.. ටීවී
එක දාන්න හදනව.. මට වස අප්පිරියයි.. දවසක් බබාගෙ කිරි ටික බොනව මම දැක්ක
බෝතලෙන්ම” සෝමක්කා පැමිණිලි කළා.

ලබන සුමානෙ දිහාවට යමුද පොඩි එකා බලල එන්න. වත්සලාගෙ අම්මා දවසක් කිව්වා.

” පොඩි දුවේ.. අර රත්නපුරේ කට්ටිය ඊයෙත් කෝල් කළා.. අපෙන් වචනයක් ගන්න.. දුව මොකද
කියන්නෙ ?”
” මට බෑ තාත්තේ.. මම කැමති නෑ කියල කියල අරින්න”

” මේ අද පත්තරෙත් තියෙනව හොඳ යෝජනා කීපයක්. මම මාක් කළා.. දුවත්
බලන්න… මේ මනුස්සය අර කිරි සප්පය අපට දෙන්නෙත් නෑ.. මේ ඒ ගෙදර ඇඩ්‍රස් එක නේද..
දැන්වීමක් දාල.. පවුලේ කෙනෙකු මෙන් නැවතී කුඩා දරුවෙක් බලා ගැනීමට මැදිවියේ
ගැහැණු කෙනෙක් අවශ්‍යයි.. හොඳ වැටුපක් ගෙවමි. ග්‍රාම සේවක සහතිකයද සමඟ
සෙනසුරාදා දිනක පැමිණෙන්න…”

” තාත්තේ.. මම හෙට ගිහින් දුව බලල එන්නද..? උදේම ගිහින් හවස් වෙන කොට එන්නම්”

************************************************

” කවුරු හම්බ වෙන්නද ?” -( ඉන්ද්‍රානී)
” අර පත්තරේ දැන්වීමට.. මහත්තය ඉන්නවද ?”
” පොඩ්ඩක් ඉන්න”

මහත්තයා.. කවුද ඇවිල්ල මහත්තය හම්බ වෙන්න.. මිස් කෙනෙක්”
“එන්න කියන්න”

නිහාල් ගුරුසිංහ ඉස්සරහ කන්තෝරු කාමරේ මේසය මත වූ ලිපියකට ඇස් ඔබා ගෙන හිටියා.
ඔහුගේ කෙස් හා රැවුල් වැවී තිබුනා.ඔහු ඔලුව ඉස්සුවෙම නෑ.

” මොකද්ද කාරණාව?”
” බබෙක් බලා ගන්න කෙනෙක් ඉල්ලල තිබුන දැන්වීමට”
” කොහෙද ගම ?”
“කිරිබත්ගොඩ”
“නම?”
” අප්සරා.. අප්සරා විජේනායක”

හවස්කාලයේ හිටි හැටියේ වැටෙන රාස්සිගෙ අව්ව වැනි එළියකින් නිවස ආලෝකමත් වුනා.

අවසානයි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

20 Responses to වත්සලා – අවසන් කොටස

  1. ජනිත පවසයි:

    හොඳයි, බොහොම සරලයි. හැබැයි ඒ දුක විඳලා බලන්න ඕනෙ, එහි ඇති ගැඹුර…………

  2. indika gamage පවසයි:

    අනේ ඇයි නිහාල් අයියේ මේකට ඔය දෙන්නගේ නම් දැම්මේ ……
    මොනවා උනත් ලියන ස්ටයිල් එකට නම් මම මාර ආසයි.

  3. පූසා පවසයි:

    කොටස් තුන හතරකට වඩා දිග කතාවක් ඉවරවෙනකම් බ්ලොග් එකකින් කියෙව්ව පළවෙනිපාර මේක. කියවන්න ආසා හිතෙනවා. ඒත් සමහර තැන් වේගෙන් ගියාදෝ කියලා හිතුනා! අවසාන වශයෙන් කතාව හොඳයි! නමුත් “මා වත්සලා ලිව්වේ ඇයි” කියන කමෙන්ට් එක දැක්කාම මට හිතුනා මේ කතාවේ අපිට දැනුනට වඩා වැඩි දෙයක් ඔබතුමාට දැනෙන්න ඇති කියලා!

  4. නවම් පවසයි:

    //අපි කූඬැල්ලො වගෙ.. එක කොනක් අල්ල ගෙන අනෙක් කොන අතාරිනව//
    මම කැමතිම කොටස.

  5. jaliya1 පවසයි:

    නිහාල් මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. කිසිදා හමු නොවුනත් ඔබත් වත්සලාත් දැන් අපේ ලඟම යාලුවෝ. ඉතින් කියන්න යන්නේ නෑ  මට දැනෙනවා කියලා ඔබේ හිතේ දුවන දේවල් …හැබැයි මට හිතා ගන්න පුළුවන්…බය වෙන්න එපා  ….වත්සලාට කිසි කරදරයක් නොවේවා කියා පතමි 

  6. praveena පවසයි:

    කතාව හිත සසල කලා.
    //මා ආසාවෙන් සිප ගත් දෙතොළ මත මැස්සෙක් වහලා. මම විගැහින් පත්තරයක් අරන් පවන් සැලුවා.//
    //සියල්ල ඉක්මණින් හමාර උනා. ඉතිරි වුනේ ගෙයි මිදුලේ තාවකාලිකව ඉදි කළ
    මඩුවත් , තැන් තැන් වල විසිරුණු තහඩු පුටු ටිකත් , ගොක් කොළ කෑලිත් ,විතරයි.
    හරියට ගුවනින් බෝම්බ හෙලූ නගරයක් වගේ.//

    ඔයාගේ වත්සලාට කිසිම දෙයක් වෙන්නේ නෑ. ඇයට නිරෝගී සුවයත්, දෙන්නාටම වාසනාවන්ත අනාගතයකුත් පතනවා. ඒ කතාව, ඔයාගේ නිර්මාණයට වඩා හිත සසල කලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )