වත්සලා – 6


අපේ හනිමූන් එක කෙතරම් අව්‍යාජ එකක්ද ? හොටෙල් එකකට ගිහින්
අනුන්ගෙ කාල සටහනකට වැඩ කරනවාට වඩා. අපිට ඕන
වෙලාවට අවදි උනා. අපිට ඕන දෙයක් කෑවා. අපිට ඕන වෙලාවට
එලියට ගියා… කාගෙන් තහනමක්ද ?…

අපි කොච්චර දේ කතා කරන්න ඇද්ද? දවසකට වචන පන්දාහක් ?
දහදාහක්?…

මට මතක තිබුණු හැටියට මගේ පොඩි කාලෙ කතා , ගමේ කතා ,
පවුලේ කතා… වල් කතා.. කුණුහරප.. මෝඩ විහිළු කතා…
එයා අහගෙන හිටියා.. දෙ වැලමිටි දෙදණ මත තියා ගෙන.. නිකට
ඒ දෑත් මත රුවා ගෙන.. සමහර කතා වලට නවත්ත ගන්න බැරි
තරමට හිනා උනා..

එයත් කතන්දර කිව්වා… ( බෝරිං ගෑණු කතා ) මම අහගෙන හිටියා.
” ඔයා අහගෙනද ඉන්නෙ…?”
“හ්ම්…”
” මොකක්ද මම අන්තිමට කිව්වෙ?”
මම එයා අවුස්ස ගන්න බොරුවක් කියනව.
” අන්න දැක්කද ? ඔයා අහගෙන හිටියෙ නෑ.. තව ලස්සන එකක් තියෙනව..
කියන්නෙම නෑ…”

එයා ඉව්වා.. මම උදව් කළා.. මම ආසම නැති වැඩේ හීනියට කොල
ලියන එක. දවසක් ගෝව කොළ මැල්ලුම්… මමයි කැපුවේ..
” හා.. පෝ… පොරොවෙන් කපල වගේ.. මේව හොඳයි හාවුන්ට දාන්න”

මම එයාට අනල කැව්වා. පොඩි ළමයෙක් වගේ මං කවන තුරු බලන් හිටියා.
මම දවසක් බත් ගුලියක් අස්සෙ අමු මිරිස් කෑල්ලක් හංගල කැව්ව. එයා උඩ
පැන පැන කෑගැහුව.. එයා කවන කොට මම ඇඟිල්ලක් හැපුවා.

” නපුරා”

රාස්සයො ඉන්න කැලෑවක් මැද්දට ගිහින් , සිංහයගෙ කටට අත දාල ගල් ගුහාවෙ යතුර අරන්
මකරුත් එක්ක යුද්ධ කරල බේර ගන්න වටින ජාතියේ ගැහැණියක් ඈ.

අප පිළිගන්න ඉතා සුළු පිරිසක් අපේ ගෙදර රැස් වෙලා හිටියා. මම
කොහොමටත් බොරු සෝබන වලට කැමති නෑ.

සුදු පාවඩයක් මතින් අප දෙදෙනා ගෙට ඇතුළු වුනා.අම්මා අප දෙන්නාටම
කිරි වීදුරුවක් දුන්නා. දවසක් දෙකක් යන තුරු නිවසේ දුර බැහැරින් ආ
නෑයින් කීප දෙනෙක් රැඳිල හිටිය. ගේ ඇතුලේ තිබුනේ අමුතු ආලෝකයක්.
හරියට සුදු හුනු පිරියම් කළ අළුතින් හැදූ ගෙයක් වගේ. ඒ ඇගේ පැමිණීමෙන්
ගෙට ආ එළිය.

” ලොකු නෝනා.. මොනවද රෑට උයන්නෙ… අපි හතර දෙනා විතරයි?”
” මේ.. මේ… දැන් මගෙන් කිසි දෙයක් අහන්න එපා.. අර ඉන්නෙ ළමාතැනී”
” සෝමක්කට දවස් තුනක් නිවාඩු.. මම උයන්නම්”

” ඔයාට ඉස්සෙල්ලම ඕනෙ දුවෙක්ද පුතෙක්ද ?”
මම කිසිවක් කීවෙ නෑ.

” මම ආස දුවෙකුට.. ඇයි දන්නවද ? ලස්සන ඇඳුම් අන්දන්න පුළුවන්..
ලස්සන කොණ්ඩ මෝස්තර දාන්න පුළුවන්….ඔයාල පිරිමි.. ගොබ්බයො.. ජංගි
කොටයක් විතරයි අන්දන්න පුළුවන්..”
” හිටපන්.. උඹට මං….” මම ඈ පසු පස පැන්නුවා.
” අම්මේ… මෙන්න පුතණ්ඩියා…..”

කාලය පියාඹා ගියා.. නිකම්ම නෙවේ.. ලස්සන සිහිවටන අතීතයට එකතු
කරමින්. හිටි හැටියේ වත්සලා අසනීප උනා.

” ඕක අසනීපයක් නෙවි පුතේ.. ටිකක් ඔය දැඟලිල්ල අඩු කළා නං…”

ඈ මවක් වෙන්න යනව. ඇගේ මව දින පතාම ඈට ටෙලිෆෝන් එකෙන් කතා කළා.
ඈ එක දිගටම වමනය කලා. කිසිම කෑමක් බීමක් ගන්න බෑ.. තේ ටිකක් බිව්වත්
වමනෙ දානව.මම ඇගේ හිස , බඩ , පපුව අත ගෑවා.. කියන කියන අත්
බේත් කළා. ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්නා. බාර හාර උනා. පන්සලේ
හාමුදුරුවො එක්කන් ඇවිත් පිරිත් කියෙව්වා..දවසක් හොඳට හිටියොත් ඊළඟ දා ආයෙම
වමනෙ දැම්මා.බැරිම තැන ඉස්පිරිතාලෙ එක්ක ගිහින් නැවැත්තුවා..

” අක්කේ…මොනවත් හිතන්නෙපා.. මෙහේ කිසි අඩු පාඩුවක් නැති වග දන්නවා..තැන
මාරු උනාමවත් හරියයිද කියල බලන්න අපි දුවව එක්ක යන්නද ?”

වත්සලා ඇගේ නිවසට ගියා.

එයාලගේ අල්ලපු ඉඩමේ අළුතින් ගෙයක් හදනවා. බාස්ලා තාවකාලික මඩුවක්
ගහගෙන.. රෑට හැමදාම කට්ටිය බීල බජව් දානව අපට ඇහුනා. එයාගෙ
වමනය ටිකක් අඩු උනා. ඒත් බලා ඉන්න බෑ දුකයි.. ඇටසැකිල්ල විතරයි.

” හොඳ සුවඳක් එනවා..වාඩිය පැත්තෙන්.. මං හිතන්නෙ කරවල බදිනව”

මට ඈ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ..

මම පොල් අරක්කු බෝතලේකුත් කඩදාසි බෑග් එකක දාගෙන අල්ලපු ඉඩමට ගියා.
කට්ටියම සූ ගාල වැඩ.

” මහත්තය කාව හම්බ වෙන්නද ?”
” ලොකු බාස් උන්නැහේ?”
” ලොකු බාස් උන්නැහේ පලංචිය උඩ.”
ලොකු බාස් පලංචියෙන් බැහැල ආව.. බෝතලේ ඉව වැටිලද කොහෙද.

” මම එහා ගෙදර.. මට පොඩි උදව්වක් ඕන. මම කළමණා ගෙනත් දෙන්නම්
මට කෑම එකක් හදල දෙන්න පුළුවන්ද. මගෙ වයිෆ්ට ?” එයාට බබෙක් ලැබෙන්න..”
එතකොට වෙලාව උදේ දහයට විතර ඇති.

” ඕක මොකක්ද… අපේ ගෝලයා තව ටිකකින් දවල්ට උයන්ට පටන් ගන්නවා..
මම කෑම පිඟානක් එවන්නම්..”
මම බලන් හිටිය ගෝලය උයන හැටි.

සුදු හාලෙ බත්.. හිරමණෙන් ගෑ පොල් තව පොල් කට්ටකට දාල , ලූනු , මිරිස් දාල,
මන්න පිහියෙ මිටෙන් කෙටුව.
” ඔන්න සම්බෝලෙ නං හරි”. ඊළඟට කරවල කෑලි ටිකක් හෝදල දර ලිපේ අඟුරු
යට හැංගුවා.
” තව එකයි.. පරිප්පු ටිකක් මිරිසට උයල වේලවල ගත්තම බත් මරන්න පුළුවන්”

” ඕව ඔහොම තමයි මහත්තයෝ.. බවලතුන්ගෙ ආසාවල්.. විහාර මහා දේවියට
මීවදයක් කන්න හිතුනේ?”

දෙවියන්ට ස්තූති වේවා. ඈ නව පණක් ලැබුවා..

විශේෂඥ දොස්තර මහතා ඇය පරීක්ෂා කරල කිව්ව ඈට ඉන්නෙ ගෑනු දරුවෙක්
කියල. සියල්ල සතුටුදායකයි
” අපි එයාට දාමු ප්‍රියාශා කියල.. ටිකක් පරණයි වගෙ පෙනුනට අන් කොමන්.
ඔයාට ඕන නං තව කෑල්ලක් දාන්න”

” මේ බලන්න.. දැන් හොඳට දැනෙනව.. එහාට මෙහාට දඟලනව..
අන්න දැක්කද අතක් හරි කකුලක් හරි එහාට ගියා. අනේ.. මට බයයි…”

මම ඇගේ උදරයට අත තිබ්බා.. ඇත්ත නේන්නම්.
” දැන් එළියට එන්න කිට්ටුයි.. තාත්ත බලන්න.. ඔයා ආස තාත්ත කියනවටද?
අප්පච්චි කියනවටද ?”

මම කිසි හැඟීමක් නැතිව එයා කියවන දේ අහගෙන හිටියා…

( අවසාන කොටස ලබන සතියේ )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

වත්සලා – 6 සදහා ප්‍රතිචාර 19ක් දක්වා ඇත

  1. Dinesh Silva පවසයි:

    හම්බ වෙන්න ඉන්නේ පුතෙක් කියල දැන ගත්තා නම් හැඟීම ක් එන්න තිබ්බ මන් හිතන්නේ. මට මගේ පුතා ඉපදුන දවසට වඩා සතුටක්, හම්බ වෙන්න ඉන්නේ පුතෙක් බව දැන ගත්ත දවසේ දැනුණා.

    • Nihal Gurusinghe පවසයි:

      තාත්තලා ආදරේ දුවලට. ( වැඩියෙන් ) අම්මලා ආදරේ පුතාලට. ඒ ඊඩිපස් කම්ප්ලෙක්ස් එක බවයි මගේ දැනීම. වැරදි නම් අරුණි ෂපිරෝ වගේ කෙනෙක් මා නිවැරදි කරාවි. තාත්තලා කැමති පළමු දරුවා පුතෙක් වනවාට. ඒ තම පරම්පරාව ගෙනියන්ට. ඉස්සර කාලෙ නම් ඒ තම කුඹුරේ – හේනෙ වැඩ වලට යොදා ගන්ට. පවුලේ පිරිමි දරුවන් නැති නිසා ප්‍රශ්න ඇතිවූ පවුල් කීයක් නම් ඇද්ද ?

  2. රූ පවසයි:

    අද කතාව ෆාස්ට් ‍ෆෝවඩ් වුනත් ලස්සනයි..
    සමහර වෙලාවට ආදරේ හින්දා කරන කැප කිරීම් හරිම පුදුමයි..නිහාල් වත්සලාගෙ දොලදුක නිව්ව හැටි කියවපුවාම එහෙම හිතුනා..

    • Nihal Gurusinghe පවසයි:

      වත්සලා නිකම්ම නිකම් ආදර කතාවක් නෙවේ. එය සත්‍ය සිතුවීම් හා මගේ පුද්ගලික අත්දැකීම් මිශ්‍ර ප්‍රබන්ධයක්. අවසානය දුකක්. තිත්තයි. තිත්ත කෂාය එක බාරට බීල දානව මිසක් ටික ටික රස බලන්නෙ නෑනෙ. ඒකයි වත්සලා කතා පිංචත් ටිකක් වේගෙන් යන්නෙ.

  3. රහස පවසයි:

    අනේ…

    ඉස්සෙල්ලම කියන්නෝනි , වත්සලා මේ තරම් ඉක්මනින් ඉවර කරන්නෙපා.

    අනිත් කාරණා ගොඩායි…
    අන්තිම ඉදල පටන් ගත්තොත්. පිරිමින්ගෙ තියෙන ” කිසිම හැඟීමක් නැති ” කම මට කවදාවත් තේරුම් ගන්න බැරි වුන දෙයක්. තමන් තාත්ත කෙනෙක් වෙන්න යද්දිත් ඒ හැඟීම එහෙමම තියෙනව ියල දැක්කම මට පුදුම හිතුනෙත් නැහැ. ( පිරිමින්ට හැඟීමක් එන්නේ එක කාරාණාවකදි විතරයි කියනෙක බොරු කරන්න ‍නිහාල්ට පුලුවන් ද ?(මම කිසි හැඟීමක් නැතිව එයා කියවන දේ අහගෙන හිටියා…)

    අනිත් කාරණා එකි නෙක ගනිද්දි….. මුළු කතාව පුරාම දැනුනේ නිහාල්ගෙ හිතේ වත්සලා කියන අපූරු ගැහැණිය ගැන ඇති වෙලා තියෙන ආදරය. හරිම සුන්දරයි..නිසලයි…

    මේ වගේ කතා මගේ හිතේ ඇතිවෙලා තියෙන බොහොමයක් ගැටළු වලට උත්තර දෙනවා. පුලුවන් නම් කතාව ඉවර කරන්නෙපා ඉක්මනින්. ඉවර කරත් ඉතින් ආයෙත් ලියනව නේ.

    ආහ්………. වත්සලා ලියද්දි ,ඔබ බොහොම තරුණ විදිහට හිතනව කියල දැනෙනවා. ඒ වගේම වත්සලා ලියද්දි ඔබ බොහොම සැහැල්ලුවෙන් සහ ඉතා ඉක්මනින් ලියනව ,කියල මට හිතෙනවා.

    මම
    සොඳුරු සිත හෙවත් තවත් වත්සලා කෙනෙක්

  4. නවම් පවසයි:

    නිහාල් අයියට කියන්න අපේ උන්දැට නං ආවෙ නෑ ඔය දොළදුක. බලං ඉඳල බැරිම තැන මං ඔය අඹ අච්චාරු, දිවුල් සම්බල්, ඉස්සොවඩේ එහෙම අරුන්දැගෙ එකවුන්ට් එකක් දාල ගිලල දැම්ම. හෙහ් හෙහ්…

    කතාව ඉක්මනට ඉක්මනට ගියාට හැම කොටසකම රසටනම් අඩු නෑ.

  5. යොහා පවසයි:

    ෂා….මරේ මාරු ගුරුසිංහ අයියා. මගේ නෝනටත් මේ දවස් වල පලවෙනි බබා හම්බ වෙන්න ඉන්නේ. මට එයාව මතක් වුණා…

    • Nihal Gurusinghe පවසයි:

      යොහා… ප්‍රතිචාරයට පිං.. කවදද බබා ලැබෙන්න නියමිත. අවසාන කොටස මම කෙටුම්පත් කරල ඉවරයි. මෙය ප්‍රබන්ධයක්. ඔබේ බිරිඳට නිරෝගී දරුවෙක් කිසි කරදරයකින් තොරව ලැබෙන්න කියල බොහෝම හිතෛෂී විදියට ප්‍රාර්තනා කරනව.

  6. Maheshi පවසයි:

    ‘රාස්සයො ඉන්න කැලෑවක් මැද්දට ගිහින් , සිංහයගෙ කටට අත දාල ගල් ගුහාවෙ යතුර අරන්
    මකරුත් එක්ක යුද්ධ කරල බේර ගන්න වටින ජාතියේ ගැහැණියක් ඈ.’

    හරිම අපූරුයි නිහාල් අය්යා

    • නවම් පවසයි:

      මාත් පෝස්ට් එක කියවාගෙන එනකොට “හරිම අපූරුයි” කියල හිතුනෙ මෙන්න මේ පේලියට

    • Nihal Gurusinghe පවසයි:

      මහේෂි… නවම්.. මගේ ඇත්ත වයිෆ්ගෙ නමත් වත්සලා.. ඈත් ඒ ජාතියෙ ගෑණියක්. ප්‍රශ්නෙ, මම ලියන බ්ලොග් එක ඔය ගෑනි නොකියවන එකයි.

      • Maheshi පවසයි:

        නිහාල් අය්යේ, ඔයාගේ වයිෆ් මේ බ්ලොග් එක නොකියෙව්වට කාරී නෑ… මොකද කියනවනම් ගැහැණියෙක් සහ පිරිමියෙක් අතර පවතින ආදරය මේ කිසිම දෙයකින් අඩු වැඩි කල නොහැකි නිසා… වැදගත්ම දේ තමා සමහර වෙලාවට ඔයාගේ කතා වලට වස්තු බීජය වෙන්නේ ඔයාගේ හිත යට නිධන් වෙලා ඉන්න ඔයාගෙම වත්සලා… එක එහෙම වෙන්න එක හේතුවක් ඔයාගේ හිතේ එයට තියෙන අසීමිත ආදරය, අනික තමා එය ඔයාට දක්වන අසීමිත ආදරය… මේ දෙකම නිසා තමා ගොඩක් වෙලාවට ඔයාගේ කතා වලට සමහරවිට ඔයත් නොදැනුවත්වම ඔයාගේ ඇත්ත වත්සලා වස්තු බීජයක් වෙන්නේ… මේ කතාවේ නුවර එළියේ කොටස නම් මට හිතෙන්නේ ඔයාගෙයි ඔයාගේ ඇත්ත වත්සලගෙයි කතාව කියලයි.. 🙂

        මොනවා උනත් නිහාල් අය්යේ ඔයාගේ බ්ලොග් එක නම් මරු. මම හැමදාම කමෙන්ට් නොකලට හැමදාම කියවනවා.. බොරු කියන්න ඕනි නෑ ස්ට්‍රෙස් වෙන හැමවෙලාවකම ඉතින් මේ බ්ලොග් එක තමා ඇරලා බලන්නේ.. ස්ට්‍රෙස් කොහෙන් ගියාද නෑ…

  7. praveena පවසයි:

    එයා නම් මකරුන්ගෙන් බේරගන්ට වටින කෙනෙක් තමයි. ගෑනු ලමයෙකුට හීන මවන්ට හොඳ අපූරු මධුසමයක්.
    කතාව හරිම ලස්සනයි. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )