අපේ සැඟිස්කෘතියෙ නිතරම ඇහෙන වචනයක්නෙ මේ ” බාගෙ ” කියන එක.
බලමු ඒක යෙදෙන විවිධ තැන්.
වැදගත්ම එක බර බාගෙ. බාගෙට ආවරණය කළ , කකුල්
හතරෙ ගොනෙක් ඇද ගෙන යන ප්‍රවාහන ක්‍රමයක් ඒක. බර ටිකක් වැඩි උනාම
පදවන්නාත් බාගෙට තල්ලුවක් දෙනව මම දැකල තියෙනව.
පාන් රාත්තල හරි මැදින් දෙකට කැපුවාම බාග දෙකයි. ඕනෑම සම්පූර්ණ
එකකට බාගා දෙකයි. ඒත් අටබාගෙ , දොළොස්බාගෙ , මහබාගෙ කියන අපේ
ගම් වලට ඒ නම් ලැබුණේ කොහොමද මට ප්‍රශ්නයක්?
ඒවගේමයි උඩබාගෙ. උඩ බාගෙ කියන කොට මතක් වෙන්නෙ සුමනා උඩබාගෙ කියන
කිවිඳිය.
ඉඳ හිට පැවැත්වෙන කවි මඬු රස ගුලාවල්. කලින් සකස් කර ගත් හෝ නොගත්
මාතෘකා යටතේ හිටිවනම පබැඳෙන කවි , පිරිස දෙකොටසකට බෙදී
ගයනව. හරිම විනෝද ජනකයි. සමහර ඒව අවසන් වෙන්නෙ ගෝරි වලින්.
සුමනා උඩබාගෙ පුළුල් ලැමක් ඇති තරුණ කිවිඳියක්. ඇය අවුස්සන්නට සිතූ
එක් තලතුනා කවියෙක්;
” සුමනා උඩබාගෙ සුමනා උඩබාගේ
පැය බාගෙකට දෙනවද ඔබෙ යට බාගේ?” කියා ඇසුවේලු.
සුමනත් ලේසියෙන් අරින ජාතියෙ කෙනෙක් නෙවේ.
” ඔය වයසට මොනවටදෝ යට බාගේ
ඕනෑම නම් දෙන්නම් මගෙ පසු බාගේ” යයි උත්තර දී ඇත. මෙහි පසු බාගෙ
යනු පස්ස පැත්තයි.
දවසේ මධ්‍යහ්නයට පෙර පූර්ව භාගය වන අතර ඉන් පසු අපර භාගයයි.
රාත්‍රි කාලයද රෑ දොලහට පෙර ප්‍රතම භාගය වන අතර ඉන්පසු පශ්චිම
භාගයයි. රාත්‍රියේ ප්‍රතම භාගය කවීන්ට , කවි සිතුවිළි ඇත්තන්ට
ශෘංගාරය උපද්දයි.
ඉස්සර අවිස්සාවේල්ලේ දෙමළ දොස්තර ළඟට බේත් ගන්ට ගියාම ගුඩු
මුලකින් බාගයක් මී පැණියෙන් දිය කර බොන්ට කියයි. එහෙම දාක බස් එකෙන්
ආපහු ගෙදර එනකොට අම්මා කොන්දොස්තරට සල්ලි දී ” හංවැල්ලට එකයි
බාගයයි” කීවා. එවිට කොන්දොස්තර මගේ මූණ බලා ” මේ ළමය කොහොමද
බාගෙට යන්නෙ.. දැළි රැවුලත් ඇවිල්ල” යයි කීවේය. මම අම්මා ළඟ නිදා
ගැනීම අත් හළේ එදාය.
” ළමයො වැඩක් කරන කොට හරියට කරපන්.. බාගෙට නොකර” තාත්තා මට
කී වරක් කියා ඇද්ද ?
ඒත් මා ජීවත්වන රටේ මෙහෙම බාගෙට වැඩ දැනගත් අයට ඇත්තේ ලොකු
ඉල්ලුමක්. එහෙම අයට හොඳට හම්බ කරන්නත් පුළුවන්. මෙයාලට කියන්නෙ
“හැන්ඩිමෑන්” කියලයි. ඉලෙක්ට්‍රික් වැඩ , ජලනළ වැඩ, වඩු වැඩ.. මේ ඕන එකක්
හදිසියට කර ගන්න පුළුවන් මෙයාල ලව්ව.
මට මතකයි ඉස්සර මැතිවරණ වේදිකාවල එක පොල් බෑයක් එක අතකටත්, අනික්
බෑය අනික් අතටත් අරන් ” මේක කීයද ?.. මේක කීයද ..?” කියල අහනව
ඒ පොල් ගණන් බව කියන්න. දැන් නම් පුවක් බෑයක් වත් ඒ ගණන් වලට ගන්න
පුළුවන්ද මට සැකයි. මෙහි ” බෑය” කියන්නෙත් බාගෙට. දෙබෑයො කියන්නෙ එක
බඩවැල දෙකට කඩා ගෙන ආ සහෝදරයන්ට.
පොල් බෑය කියන කොට පොල් බාගෙ.. ගල් බාගෙත් මතක් වෙනව. කලක් මා බෝඩිං
වී හිටියෙ සරත් චන්ද්‍රසිරිත් එක්ක. අනේ.. ඌ දැන් කොහේ ඇද්ද? අපි එකට
පාඩම් කළේ. සමහර දාට රෑට දුන්නෙ පාන්. පරිප්පු හොදිත් එක්ක නැත්නම්
බිත්තර හොද්දක් එක්ක. බොහෝවිට. බිත්තර බාගයක්. ” මචන්.. ඔය කිකිළිගෙ
පුකේ බ්ලේඩ් එකක් ගහල තියෙන්නෙ” රෑට හැමදාම වලි. ඇන්ටිගෙ මනුස්සය නියම
බෝඩිම් බිස්නස් කාරය. ” අනේ ළමයි , ඔය ගානට ඔහොම දෙන්නෙත් අමාරුවෙන්..
අපිටත් පුළුවන් පරිප්පු හුණ්ඩු බාගෙකට පාන් පිටි හුණ්ඩු බාගයක් දාල උකුවට
හදන්න” දවසක් හොද්ද දිය රහයි කිව්වාම මෑන් එහෙම කිව්ව.
එහෙම දවසට අපි යනව සරම පිටින්ම ටවුමට. ගල් බාගයයි. කොත්තු බාගයයි
ගේනව. කොත්තු බාගයයි කිව්වෙ එක්කෙනාට බාගයයි. එහෙම නැතුව අපි බාගෙට
කන බොන අය නෙවේ.
ජ.පු.විශ්ව විද්‍යාලෙට තේරුණු නංගිගේ ලොකු දුව බෝඩ් කරන්න දන්න අඳුනන ටීචර්
කෙනෙකුගෙ ගෙදරට ගියාම ඇය කිව්වෙ ” තුන් වේලම කන්ට දීල 3000 යි .. අපි
හොඳට කනව බොනව.. අපි බාගෙට කන අය නෙවේ” කියල. මම හිතුවෙ වෑංජන් දෙක
තුනක් ,මස් මාළු එහෙම එක්ක දීල පස්සෙ කන්න පළතුරක් එහෙමත් ඇති කියල.
ඒත් මාසෙකට පස්සෙ ඒ ළමය ලියල එව්ව ” මෙතන මාර තැනක්.. සැමන් ටින්
එකේ වතුර ටිකෙන් රෑට පාන් කන්න හොද්දක් හදනව.. කෑලි ටික උදේට” කියල.
බාග වෙලාවට , ඒ කියන්නෙ සමහර වෙලාවට ඒකත් හරි.
බාගෙ කියල වාසනාවටත් කියනව. ඒ භාග්‍යය කියන එක. අවාසනාව අබාගෙ.
භාග්‍යය විමර්ශණය කරන එක විබාගෙ වෙන්න ඇති. ඒත් රටින් බාගයක් ඉල්ලූ එක නම්
ප්‍රබාගෙ අබාගෙ.. ඔය වැටිල හිටියෙ ඔළුවෙ බාගෙකුත් නැතුව බාගෙට හෙළුවෙන්
නන්දිකඩාල කලපුවෙ.
බාගෙ කතාව බාගෙට නැතුව ෆුල් කියලා වගේ 🙂
Uparimai
සරත් චන්ද්‍රසිරි කිව්වේ අර නළුවාද?
පොල් ගෙඩියේ බාගෙට පොල් බාගේ නොකියන්නේ තවත් පොල් භාගයක් තියෙන නිසා වෙන්ටෑ