සුරේෂ් සහ තමාරා


සමහර විට ඔබ දැනටමත් හිතනවා ඇති මට මේ තරම් සංවේදී කතා කොහෙන්ද කියා. මේ කතාව ඇත්ත
කතාවක්. මම ටිකක් දැනගෙන හිටියා. ඒත් නිවැරදි තොරතුරු මම දැන ගත්තෙ තව කෙනෙකුගෙන්. මම මෙතැන් සිට කියන්නම් ඒ කතාව.. හැබැයි මට සිදු වුන දෙයක් විදියට. ඒක වඩාත් ලේසියි.
එහෙනම් මේ දිග ඇරෙන්නේ සුරේෂ් හා තමාරගේ කතාවයි.

මම හැමදාම හවසට යනවා ඇවිදින්න. බඩ බස්ස ගන්න. කොලෙස්ටරෝල් අඩු කර ගන්න. එකම රූට් එකේ යන මේ ගමන සාමාන්ය ඇවිදීමකට වඩා ටිකක් වේගවත්. දුර සැතපුම් තුනයි. ගතවන කාලය පැයක් විතර. ඔය ගමනේදී තමා මගේ බ්ලොග් එකේ ලියන්නේ මොනවද කියල කෙටුම්පත් කර ගන්නේ.
එදා ටිකක් රස්නෙ දවසක්. මම සුදු T ෂර්ට් එකක් ඇඳල ටිකක් ලොකු කොට කලිසමක් ඇඳල දෙපයට බාටා සැන්ඩ්ල්ස් දෙකක් දාලයි හිටියෙ. ඔහොම යන කොට මගෙ සෙල් එකට ඇමතුමක් ආවා. ඒ මගේ බිරිඳ ගෙන්.
එයා කිව්වා.. අපි දෙන්න විතරනෙ..රෑට පාන් කමු. එන කොට පාන් ගෙඩියකුත් අරන් එන්න කියල. මම පාන් රාත්තලකුත් අරන් සිලි සිලි බෑග් එකක දාගෙන සුපුරුදු ගමන යනවා.
මට හොඳ සුවඳක් ආවා.ඒ කරවල – ලීක්ස් එකට තෙල් දාන සුවඳ. මී වදේකට ඉව අල්ලන වලස් නාම්බෙක් වගේ මම නැවතිලා හතර අතට ඉව ඇල්ලුවා.
” ආ.. අයිය ලංකාවෙද ?”..මගේ වගේම බඩ ගෙඩියක් තියෙන ඒත් මට වඩා ලා බාල ගැටයෙක් කොහෙන්දෝ මතු උනා.
” අයිය කොහෙද ඉන්නෙ ?.. තනියමද ? ෆැමිලි එකත් එක්කද ? ලංකාවෙ කොහේද ?.. කොහොමද ආවෙ ?” මට හුස්මක් කටක් ගන්න නොදී අරය මගෙන් අහ ගෙන අහ ගෙන යනව.
මට එයාගෙ විලාසෙ ඇල්ලුවෙ නෑ. ඒ නිසා මට හිතුන බොරු ටිකක් කියන්න.සමහර බොරු වර්ග තියෙනව අපා ගත නොවන.
” මමයි වයිෆුයි විතරයි.. මේ කිට්ටුව..කාමරේක… ටික දවසක් වෙනව ඇවිත්..අපි වත්තල.. තවම රස්සාවක් නෑ”

” අයියගෙ කඩ්ඩ එහෙම කොහොමද ? කොහාට හරි දාල දෙන්න පුළුවන්”
” අනේ ලොකු උදව්වක්.. ඉංග්රීසි ටිකක් ගැට ගහ ගන්න පුළුවන්”
” ලංකාවෙ මොකද කළේ ? අයියට පේපර්ස් එහෙම තියෙනවද ?”
” මම බිස්නස් කළේ.. නුගේගොඩ පොඩි රෙදි කඩයක් තිබුන මට.. දැන් එහේ අමාරුයි”
” මට දෙදාහක් දෙන්න පුළුවන් නම් සති දෙකෙන් සෝෂල් සෙකියුරිටි, වර්ක් පර්මිට් සේරම හදල දෙන්න පුළුවන්”

ඒ තමා සුරේෂ්.. ටිකක් මෝඩ පාටක් තිබුණත් ලෝකෙ කාල වතුර බීපු එකෙක්.
“සුරේෂ් මල්ලිද ඒ ඩොක්යුමන්ට්ස් හදන්නෙ?”
” නෑ වෙන කෙනෙක්. ඒත් මගෙ හරහා තමා ගනු දෙනුව වෙන්නෙ.”
” ඒ කියන්නෙ මල්ලිටත් කට් එකක් තියෙනව”
” එහෙම තමයි. ඇමරිකාවෙ කවුද නිකම් කරන්නෙ.. දෙදාහ නතින්.. කාර් හේදුවත් සල්ලි නෙ”
” හොඳයි මට මල්ලිගෙ නම්බර් එක දෙන්නකො”

තව දවසක සුරේෂ් මට හමු උනා. එයාලගෙ අපාට්මන්ට් එක ඉස්සරහදි. තවත් හාදයෙක් එක්ක.
” අයියෙ.. මේ මන්සූර්.. මෙයා තමයි උයන්නෙ.. අපි නිව් යෝක් වල එකට හිටියෙ. එහෙ ටිකක් අමාරුයි.. රස්සාවල් අඩුයි…
මම නම් තව මාස හයකින් සිටිසන් වෙනව”
පුදුමයි.. ඇමරිකාවට ඇවිල්ල මාස කීපයකින් සිටිසන් වෙන්න ලැබෙනව නං. එක්කෝ මෙයා කාට හරි රැවටිල. නැත්නම් මාව ගොනාට අන්දන්න හදනව.
” මම මෙහේ මෙක්සිකන් කෙල්ලක් බඳිනව. එයා මෙහේ සිටිසන්. අයිය අපරාදෙ වයිෆ් එක්ක ආවෙ. නැත්නම් කවුරු හරි බැඳල පට ගාල සිටිසන්ෂිප් හදා ගන්න තිබ්බ. මෙහේ සල්ලි වලට බඳින අය ඕන තරම් ඉන්නව.. සැපක් අර ගෙන ටික දවසකින් අත ඇරල දාන එකනේ” සුරේෂ් ගෙන් බේරුමක් නෑ. එක දිගට කියා ගෙන යනව.

මම මගෙ වයිෆ්ට කිව්ව මේ ස්ටෝරිය. ” අනේ මිනිස්සු කරන දේවල් ? ඒත් ඇයි ඔයා බොරු කිව්වෙ ? කවද හරි දැන ගනී නෙ”
ඇය හරි.. වැඩි කලක් මගේ වග තුග සඟවන්න බැරි උනා. එදා පන්සලේ කඨින පින් කම. අපි දෙන්නත් ගියා. පාකිං එකට යන කොටම මේං ඉස්සරහට එනව සුරේෂ් – තමාර ජෝඩුව. තමාර ප්රෙග්නන්ට්. මාස හය හතක බඩක්. තව අවුරුදු හතරක විතර පිරිමි ළමයෙක්. සුරේෂ් ඇස් උඩ තියා ගත්ත අපි දැකල.ඒත් එක්කම හාමුදුරුවොත් අපි ඉස්සරහට ආපි.
” සුරේෂ්.. මේ මහත්තය අඳුර ගන්න. පන්සලට නිතරම උපකාර කරන කෙනෙක්.”
සුරේෂ් මට අත දුන්නේ බාගෙට. මට ඒකෙන්ම තේරුන මිනිහ හිත නොහොඳින් වග.
“ඉතින් කොහොමද සුරේෂ්?”
“ඔහෙ ඉන්නව”

ටික දවසකින් සුරේෂ් – තමාරා ජෝඩුව අපෙ ගෙදර ආව. ලොකු බබයි.කාට් එකක දා ගත්තු අළුත් බබයි.
” අයියෙ.. මේ තමාර ස්පැනිෂ් , ඉංග්රීසි දෙකම කතා කරනව”
“ලොකු ළමය තමාරගෙ කලින් කසාදෙ..මම හිතන් හිටියෙ පේපර්ස් හදා ගත්තට පස්සෙ මෙයා දික්කසාද කරල දාන්න.මීට කලින් අපේ අයම කීප දෙනෙක් බැඳල එහෙම ලිහල දාල තියෙනව. මට පස්සෙ හිතුන මෙයා හොඳයි කියල. ඒ නිසා දිගටම තියා ගන්නව.
දවසක් ඇවිදින්න ගිය මගේ බිරිඳ – වත්සලා හතිදා ගෙන ආපහු ආව.
” අන්න.. ඔයාගෙ යාළුවට මාංචු දාල පොලිසියට අරන් ගියා. ටිකක් ගිහිල්ල බලනවද ?”

” සුරේෂ් මගෙ ළමයට ගැහුව.. මටත් ගැහුව.. මම පොලිසියට කෝල් කළා”
” දන්නවනේ .. ඩොමෙස්ටික් වයලන්ස්.. නීති තදයි.. මාස තුනක්වත් හිරේ යවයි”

ටික කාලෙකින් සුරේෂ් නිදහස් උනා. ජෝඩුවම දවසක් අපෙ ගෙදර දුවන් ආව.. ලොකු කලබලේකින්.
” අනේ නිහාල් අයිය . අපිට උදව් කරන්න.. මම ගෙවන්නම්.. අපේ ළමයි දෙන්න බාර ගන්න”

” අල්ලපු ගෙදර ගෑනි කම්ප්ලේන් කරල.. මම නිතරම ගෙදර රණ්ඩු වෙනව.. බඩු පොඩි කරනව.. ළමයින්ට ගහනව කියල.. ළමයි දෙන්න වෙල්- ෆෙයා එකෙන් අරන් යනව. අපිට දෙන්නෙ නැතිලු අවුරුදු දෙකකට.. අපේ කවුරු හරි ඉන්නවනම් එයාලට දෙන්න පුළුවන් ලු. අපි අවුරුද්දක් ඉස්කෝලෙ ගිහින් කෝස් එකක් කළාමළු ළමයි ආයෙ ලැබෙන්නෙ.. අනේ අයියෙ අපිට උදව් කරන්න”
මම බිරිඳ ඉස්සරහට දාල ඇයට මුවා උනා..
” අනේ සුරේෂ්.. වෙන ඕන උදව්වක් කරන්නම්. අපිට ඕකට මැදිහත් වෙන්න බෑ. මෙයත් ලෙඩ ගානෙ.. අපි දැන් ටිකක් නිස්කලංකව ඉන්න ඕන කාලෙ.”
සුරේෂ් මූණ නරක් කර ගෙන යන්න ගියා.

තමාරගෙ කලින් කසාදෙ ළමයයි. අළුත් කසාදෙ ළමයයි සතියකට සැරයක් ඈත ඉඳන් බලන්න පුළුවන් සුබ සාධක නිලධාරියෙකුත් එක්ක ගිහින්. පැය කීපයකට.
මෙන්න වැඩක්! තමාරා ආයෙම ප්රෙග්නන්ට් වෙලා. එක එක ප්රෝග්රෑම් වලින් නොමිලේ කෑම බීම ලැබෙන නිසා ගෑණුන්ට ළමයි හදන එක අමතර ආදායම් මාර්ගයක්. සුරේෂ්ල අපේ දිහා එනකොටත් ගේන්නෙ මල්ලක් පුරෝල නිකම් ලැබෙන සීරියල් ලොකු පෙට්ටි.. චීස් වගේ දේවල්. ඒ බබාත් ලැබුණට
පස්සෙ සුරේෂ් ලිකර් ෂොප් එකක වැඩට ගියා රැ කාලයට. දවල්ට බබා බලා ගත්ත. තමරා දවල්ට රස්සාවට ගියා.
” මේ මිනිහ නිතරම මට ගහනව.. ලංකාවෙ හැම මිනිහෙක්ම ඔහොමද ? දවසක් තමාර , වත්සලාගෙන් අහල තියෙනව.

ඔහොම කල් ගත වෙන කොට..එක් දවසක් රෑ 11.00 ට විතර ඇති සයිරන් ගහ ගෙන ආ පොලිස් කාර් හත අටක් පාරවල් බ්ලොක් කලා.
හෙලිකොප්ටරයක් උඩ කැරකි කැරකි සැර ෆ්ලෑශ් එකක් අල්ලලා කාවදෝ හෙව්ව.
සුරේෂ්ට වෙඩි තියලා. ලිකර් ෂොප් එක මංකොල්ල කාලා. ලාච්චුවේ සල්ලි නම් ඩොලර් 80 කට වඩා තිබිල නෑ.
සුරේෂ් මැරිලා.. නෑ මරලා..

එයාලගෙ අපාර්ට්මන්ට් එක ඉස්සරහ කවුදෝ මල් වගයක් තියලා. ඉටි පන්දම් පත්තු කරලා.

ලිකර් ෂොප් එක අයිති කොම්පනියෙන් සෑහෙන වන්දි මුදලක් සුරේෂ් ගේ කසාද බිරිඳ වන තමාරට ලැබුණා.

මම හවසට ඇවිදින රූට් එක වෙනස් කළා.

නිමි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

27 Responses to සුරේෂ් සහ තමාරා

  1. Jagath Chandralal de Silva පවසයි:

    The veteran film and theatre director Dharmasiri Bandaranayake is very keen to produce a sinhala movie based on your “Rata Giya Aththo”- Saparamadu’s story. He wants to discuss this matter with you. How can he contact you. Is it possible for you to send him your contact number. His mbile number is 0777739798. email; . Please revert. many thanks, jagath de Silva

  2. hasithag පවසයි:

    පිටරටකට ගිහින් ජීවිතේ විනාස කරගෙන නොවැ

  3. Dinesh Silva පවසයි:

    මම හිතනවා අපි හැමෝම වෙන රටක ට ආපු ගමන් හිතන්න ඕනේ අපි ශ්‍රී ලංකාව නියෝජන කරන තානාපති වරු කියලා. හැම විටම ලංකාව ට ගෞරවයක් වෙන විදියට ජීවත් වෙන්න.

  4. arunishapiro පවසයි:

    ඉගෙන ගෙන රැකියාවක් හොයාගෙන එහෙ තියලා ආපු පවුල මෙහාට ගෙන්වා ගෙන ඉතා හොඳින් පවුල් ජීවිත ගෙවන ලාංකික පිරිමින් ද ඇමෙරිකාවේ ඉන්නවා කියලාත් අමතක කරන්න නරකයි.

    ලාස් වේගාස් වල ජීවත්වෙන ලාංකික උප්පත්තිය ඇති ස්වාමි පුරුෂයාට තඩිබාන ලාංකික උප්පත්තිය ඇති ගැහැණියෙක් ගැනත් මට අහන්න ලැබිලා තියෙනවා. ඒ දෙන්නා දැන් කොහේදැයි නම් දන්නෙ නැහැ.

    • Nihal Gurusinghe පවසයි:

      මගේ රට ගිය ඇත්තො කියවපු කෙනෙක් මට කමෙන්ට් කරල තිබුන, මේ දවස් වල ග්‍රීන් කාඩ් එකට ඇප්ලිකේෂන් කෝල් කරනව. එයට ඉරිසියාවෙන් මම ඒ කතාව ලිව්ව කියල. මෙහේ ඉඳල යන සමහර අය බොරු කියනව. සුරංගනා ලොවක් මවා පාල කියනව. විශේෂයෙන් මෙහේ ඇති ලිංගික නිදහස ගැන ” අතින් දාල ” කියනව.
      මේ කතාව අරුණි වගේ කෙනෙකුට කීම නුසුදුසුයි ඒත් හැම විටම ඇත්ත කීමට තැත් කිරීම මගේ හැටි. මම මෙහේ ඇවිල්ල ලංකාවට ගිය පළමු ගමනෙදී මගේ යාළුවෙක් ඇහුවෙ ” මචං උඹ ……. කීයක්.. ….ද” ඒ සමහර අය මවා පාල පෙන්වන කතා නිසා. උන් හිතන් ඉන්නේ පාරෙ යන ගෑණු ඇඟට පනිනව කියල.
      ඒකයි මම මගේ කතාවලින් ඇත්ත තත්ත්වය කියන්න හදන්නෙ.
      ඔබතුමිය හරි.. ඉතා උසස් ජීවිත ගත කරන ලාංකිකයන් බොහොමයි. ඔබත් ඉන් එක්කෙනෙක්. මගේ හිතවත් දොස්තර මහතා සතු උස ගොඩනැගිල්ල මුදුනේ සිංහ කොඩියක් ලෙළ දෙන බව මා කියන්නේ ඉතා ආඩම්බරයෙන්. ඒ වගේම නාසා ආයතනයේ ඉහළ තැන්වල ඉන්න ලාංකිකයන් රටට ගෙන දෙන්නේ ලොකු කීර්තියක්.

      • arunishapiro පවසයි:

        නිහාල්,

        මේ පැසුණු කෙස් ඇති මම (ඩයි කරලා හැබැයි තියෙන්නෙ ඔන්න) අහලා නැති දේවල් නෙමෙයි ඕවා නිහාල්. මට කීමට නුසුදුසු වෙන්නෙ නොදන්න මගේ පුද්ගලික වූ කරුණක් දන්නවා වගේ කීම විතරයිනෙ. ඇත්ත කීමට තැත් කිරීම හැම විටම අගය කරමි. නිහාල් ට ඊට ශක්තිය හා වාසනාව තව ලැබේවා!

  5. kathandarakaraya පවසයි:

    මේ කතාවේ එසෙන්ස් එක සර්වලෝකයි, ඇමරිකා එ.ජ.යටම පමණක් අදාල නෑ නේද?

    ඔයිට වඩා කම්බ හොරු ඉන්නවා කොළඹ.

  6. අමා පවසයි:

    මේ මිනිස්සුන්ගේ ජීවිත වල තේරුම මොකද්ද? හිතාගන්ට බෑ. එයාලගේ මුළු ජීවිතේම බොරු. ලෝකෙට විතරක් නෙවි තමන්ටත් බොරු කියාගෙන.
    මෙහෙත් ඉන්නවා සල්ලිවලට බඳින අය. එතෙන්දි දෙපාර්ශවේම පිළිකුල් සහගත යි.

  7. නවම් පවසයි:

    ඔක්කොම පටලැවිල……. සුරේෂ්….. තමාරා….. ළමයි……. ඇමරිකා……… සුන්දරයි කියල හිතාපු ජීවිතේ…. අනේ මන්දා.. කාටද කොතනද වැරදුනේ……… ?

  8. Dulip Sikurajapathy පවසයි:

    “රටකට” පැනගත්තාම සියල්ල ගොඩ කියන සංකල්පෙ පවතින තුරාවට මේ වගේ සිදුවීම් වලක්වන්න බෑ අයියා. මිනිස්සු බලන්නෙ මොන ජිල්මාට් එකක් දාල හරි දියුනුයි කියන රටකට පැනගන්න. ඒ පැනගන්න සිස්ටම් එක අනුව ඉදිරිය ගොඩක් තීරනය වෙනව කියල බහුතරයක් හිතන්නෙ නෑ

    • අමා පවසයි:

      සහතික ඇත්ත අයියේ. ඕස්ට්‍රේලියාවේ පුරවැසි කම ගන්නම බොරුවට එක එක කෝස් කරන්ට කියල හිට මෙහෙ එන අය ඉන්නවා. ඇවිත් ඉතින් පොඩි පොඩි රස්සා කර කර අන්තිමට ඒකෙන් පවුල් නඩත්තු කර ගන්ට අමාරු වෙලා, පවුලුත් අවුල් කර ගන්නවා.

  9. Nihal Gurusinghe පවසයි:

    ඔබ්සර්වර්, බුඩී,සමීර,බස්සා,පූසා ,නලිනි,රූ,සුදත්,ඔබ නොදුටු ලොවක්; ඔබගේ ප්‍රතිචාර මට ශක්තියක්. තව දෙයක් කියන්න ඕන.. මේ කතාව ඔබා උනත් ස්තිර කරයි. සමහර අපේ සිංහළ අය ඉන්නවා බටහිර රටවල ගොස් සැප විඳින අතරම, ඒ රටවලට සාමන්‍ය පවුල් වලින් එන අය හෙලා දකින. මගේ කණට ඇහිල තියෙනවා එක කාන්තාවක් කියූ කියමනක්.. ” ඉස්සර නම් පිට රට යන්නෙ ශිෂ්‍යත්වෙකට.. උසස් අධ්‍යාපනේට, දැන් මේ ලොටරි එකක් නිසා හැම එකාම එනව කියල.
    මා ලියූ “රටගිය ඇත්තෝ” කතාවෙන් සහ මෙම කතාවෙන් නොකියා කියා තිබෙනවා, මෙහාට එන “නොපිළි ගත් ක්‍රම” මිනිස්සු කරන ට්‍රික්ස් වැඩ. එහෙම ආවාම වෙන දේ.
    නිර්මාණයක් කියවලා” පට්ටයි, ලොල්,හික්ස්” කියා කමෙන්ට් කරනවාට වඩා මා ලියූ දෙයක අඩංගු පණිවිඩය යමෙක් අල්ලා ගන්නවා නම් මට එය වඩාත් සතුටක්.

    • Observer පවසයි:

      මට ඇහිල තියෙනව ඔය වගේ කථා හරියට නිහාල්. ලඟදිම අහපු එක තමා ක්‍රිකට් මැච් බලන්න නොයන හේතුව. ‘ students ල ඇවිල්ල තප්පු ගගහ බයිල කියනව, ලැජ්ජාවෙ බෑ’ [ගෑණු පරාණයක් කිව්වෙ]

      මාත් ග්‍රවුන්ඩ් එකට ගිහින් නං මැච් බලන එක අතඇරල ටිකක් කල්. හේතුව නිමාඩු දවසක් නං ග්‍රවුන්ඩ් එකට ගිහින් කට්ට කනවට වඩා සැපයි කියල හිතෙනව, ගෙදර ඉඳන් හීන් අඩියක් හෙම ගහල ටී.වී. එකේ බලනව.
      කොල්ලෝ තපර බෑන්ඩ් එකයි, නළාවයි, ගහනව ඇහෙන කොට නං ගෙදර ඉඳන් නැටෙනවා…හෙහ්…හෙහ්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )