අද ලස්සන දවසක් වේවායි පතමින් ගෙදර ගෘහණිය උදෑසන දොර කවුළු පියන් පත් විවෘත කරයි.
විවාහයක් තීන්දු වූ පසු එකිනෙකාගේ ගෙවල් දොරවල් බලන්ට යාම අපේ කාලයේ සිරිතකි. වත්සලාගේ කට්ටිය අපේ ගෙවල් දොරවල් බලන්ට ආ දා මට අද මෙන් මතකය.
ලෝකයේ ප්‍රථමයෙන් ගැහැණුන් හා පිරිමි ඇතිවී උන් ප්‍රසිද්ධියේ එළිමහනේම සංවාසයේ යෙදෙන්නට විය. උන්ට එය ආතල් එකක් උනාට බලා සිටින අයට එය අප්‍රසන්න ජුගුප්සාව දනවන්නක් විය. ඒ නිසා උන්ට ගල් ගසා පන්නා දමන්ට විය.( අදද බලු පූට්ටුවක් දුටු විට චිප් බල්ලා කියා ගල් කැටයක් අතට ගන්නේ ඒ නිසාය.) ඒ නිසා ගෙවල් ද දොරවල් ද බිහිවිය.
දොරට ඉන්ග්‍රීසියෙන් door කියා කියයි. දෙකේම සද්දෙ එක වගේ නිසා උන් අපෙන් කොපි කළාද අපි උන්ගෙන් කොපි කලාද කියා සැකයක් ඇතිවේ.
වතුරට ඉන්ග්‍රීසියෙන් කියන්නේ water කියලනෙ. water කියල සින්ලිශ් වලින් ලියන්නෙ මෙහෙමනෙ..w a t u r a. water – watura කොච්චර සමානද.
ජොන්සන්ගෙ ඉන්ග්‍රීසි සද්දකෝෂය ලියල තියෙන්නෙ එක්දාස් හත්සිය ගණන් වල. අමාවතුර ලියල තියෙන්නෙ එක්දාස් තුන්සිය ගණන් වල. මේ විලි ලැජ්ජ නැති ජාතිය අපෙන් සේරම කොපි කරල . water හැදිල තියෙන්නෙ අපේ වතුරෙන්. එහෙනං door හැදිල තියෙන්නෙත් අපේ දොරෙන්.
දොරවල් දැව-මුවා වෙන්නත් පුළුවන්, ගල්- මුවා වෙන්නත් පුළුවන්.
ඔය කොයි මුවා උනත් වෙලාව ආවාම දොරවල් කඩා ගෙන නිදහස සොයා ගෙන ඉගිල්ලිල යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. මතකනෙ සිංහබාහු ගල් ලෙන බිඳලා ලෙන් දොර කඩා ගෙන ගිය හැටි..
නිවසක ඉදිරි පස හා පසු පස ප්‍රධාන දොර දෙකකි. වැදගත් මිතුරන් , නෑයින් ඉස්සරහ
දොරෙන් ගෙට එන අතර නො වැදගත් අය ගෙට එන්නේ පස්සා දොරෙන්ය.
ඒ නිසාම පිටු පස දොර කලම්ප ගසා ගෝඩි විදියට හදන අපේ අය ඉස්සරහ දොරට කැටයම් , නා නා මෝස්තර දමා වටිනා දැවයෙන් හදයි.කුණු කසළ එළියට ගෙනියන්නේත් පස්සා දොරෙන්ය.
උපාධියකුත් ඇති මගේ නංගීට මහ බැංකුවේ ලිපිකාර තනතුර නොලැබුණේ ඇය ඉස්සරහ දොරෙන් ගිය නිසාය. අපේම නෑ කෙනෙක් වන උසස් පෙළ විතරක් සමත් කළ්‍යාණි අක්කාට ඒ රැකියාව ලැබුණේ ඇය පස්සා දොරෙන් ගිය නිසාය. ඒ නිසා නිවසක උනත් ඉස්සරහ දොර මෙන්ම පස්සා දොරද සම තත්ත්වයේ තිබිය යුතුය.
ඉස්සරහ දොරෙන් එළියට යන පොඩි එකා හෙට ඌට ඇති වැට කඩොළු සියල්ල බිඳ හෙලනවා ඇත.
ඉස්සරහ දොරින් එළියට යෑම දොරට වැඩීමයි. අහවලා ගේ නව ග්‍රන්ථය හෙට දොරට වඩිනු ඇත කියන්නේ එ නිසාවෙනි. රැය පහන් වී ඉස්සරහ දොරට එළිය වැටෙන පහන් දොර- පාන්දර ඕනෑම ගමනකට සුබය.
සැඳෑ අඳුර ගලා ගෙන ගෙට එද්දී වැසෙන්නේ හුළං දොරවල් නොහොත් wind doors හෙවත් windows ය. මුන් ඒකත් අපෙන් කොපි කරලා.
ඔය කසාදෙ කෙරුනොත් උඹට ඔය දොරෙන් මෙහාට එනු බොරු. තාත්තලා කී දෙනෙක් තම දරුවන්ට කියල ඇද්ද ? ඒත් ඊ ළඟ අවුරුද්දෙ දොරට වඩින පොඩි එකා දැක්කම අර වැසුනු දොරවල් ඇරෙන්නේ මැජික් බලයෙන් වගේය.
ඒ නිසා දොරට ජාතියක් ජම්මයක් , උසස් පහත් බේදයක් නැත.
මගේ ප්‍රියතම ගායක නිහාල් නෙල්සන් සොමියට වරෙන් පුතා මගෙ කාමරේට , අගුල දාල නෑ දොරේ කියා අඬ ගසන්නේ දොරේලාටය.
ද්‍රවිඩ බසින් දොරේ යනු මහත්තයා යන්නට සමාන යෙදුමකි. සින්න දොරේ , පෙරිය දොරේ යනු පිළිවෙළින් පොඩි මහත්තයා , ලොකු මහත්තයාය.
ඉස්සරහ දොරට හේත්තු වී පාර බලන් ඉන්නේ විවාහය පරක්කු වෙන කොටය. දැඩි තහංචි මැද ජීවත්වන තරුණ මුස්ලිම් කෙල්ලන් දොරකඩට වී පාර බලමින් සිට පිරිමි පුළුටක් දුටු විගස පර්දාවෙන් හිස වසා ගෙන ගෙට දිව යන්නේ හිත දොර ළඟ තියලාය.
දොරක් බාගෙට වැසී තිබෙන විට එය බාගෙට ඇරී තිබෙනවා කියාද කීමට පුළුවන. මෙලෙස බාගෙට ඇරුණු හෝ වැසුනු දොරෙන් එළියට යන්නේ රහස්‍ය.
මා වරක් සේවය කළ ආයතනයේ ගිණුම් අංශයේ සේවය කළ විසේකාර චන්ද්‍රිකා ඇගේ උසස් නිලධාරියා සමග සෙනසුරාදා දිනක අනඟ රැඟුම් පානු මෙලෙස බාගෙට වැසුනු දොරකින් දුටුවේ පිරිසිදු කිරීමට ආ අබන්ස් සේවකයාය.
සමහර දාට ඇගේ පෙම්වතා ඈ රැගෙන යාමට පැමිණ ඇයට වාහනයේ දොර ඇර දී ඇය එයට නංවා ගන්නේ පූජා බාන්ඩයක් වඩම්මන ආකාරයෙන් සීරුවට උනාට ඇගේ දොර අන් අයටද ඇරී ඇති බව ඔහු නොදනී.
මගේ නිදන කාමරයේ බැල්කනියේ ඇති දොර බාගෙට විවෘත කල විට එහා පැත්තේ නිවසක මිදුලේ උනුනුන් සිප වැළඳ ගන්නා තරුණ මැක්සිකානු යුවල මට පුරුදු දසුනකි. එවිට මගේ හිතේද ආදරය දෝරේ ගලයි.
දොරත් එක්ක එකට යන වචනයකි දොර පොල්ල. පරන ගැමි ගෙවල දොර වසා හරහට දාන දොර පොල්ල කාට හරි නෙලන්නටත් අවශ්‍ය වන්නකි. වරක් අපේ මාමා කෙනෙකුට නෙලන්ට දොර පොල්ල අතට ගත්තද අම්මා එය වැළකූවාය. එහෙම නොවුනා නං , මට ඇරී තිබුණු දොරවල් සදාකාලිකවම වැසෙන්නටද ඉඩ තිබින.
හෝන්දු මාන්දු ගතියෙන් ඉන්න ගැගැණු ලමයි වයස අවුරුදු 12 , 13 වෙනවිට අළු ගසා දමා දොරට වඩී. ඒ අති උත්තම මාතෘ පදවිය ලැබීමට දොරද විවෘත කර ගෙනය.
ඉස්සර අපෙ අම්මා අහල පහල කාට හරි යමක් දුන්නොත් , ” ඔහොම දොර දන් දුන්නොත් හොඳට හිටී” අත්තම්මා කෑ ගහයි.
ඒ කාලයේ රජවරු ඉස්සරහ දොර වල් ඇර දමා හිතූ හැටියට ඕනෑ දෙයක් අරන් පලයල්ලා කියා දන්දීම දොර දන් දීමයි. දැන් අපට රජෙක් නැතත් , ඉඳ හිට අරලිය ගහ මන්දිරෙත් ඔය වගෙ දන්සල් ඇරෙන්නේ අපෙ උත්තමයා හයවන මිහිඳු නමින් රජ වෙන්නවත් හිතලාදෝ ද කියා මට හිතේ.
පිටින් කොච්චර ඔප දැම්මත් දොරටු නමයකින් ඕජස් ගලන අපේ කුණු සැරීරේ කවදා හෝ මහ පොළවට පස් වෙනවාය. ඒත් සිත , කය , වචන යන මේ තුන් දොර පරිස්සම් කර ගතහොත් අපට නිවන් පුර රන් දොරවල් ඇරෙන එක වලක්වන්න එක දොරේ කෙනෙකුටවත් බැරිය.
නියමයි දොරේ…..!!!