මීට පෙර බෙදිල්ල , කැපිල්ල හා වැනිල්ල ගැන ලියූ මම අද දිවිල්ල ගැන මෙසේ ලියමි.
දිවිල්ල පටන් ගන්නේ දුවන පනින කාලයේමය.
ඒ ” දුවලා.. දුවලා ගිහින් රතු පාට මලක් කඩා ගෙන එන්නටය.”
මගේ පාසැල් කාලයේ මිතුරන් අතර සිටි තිලක් , මහින්ද , සරත් හා චම්පා ජයසිංහ එකම පවුලේ සොයුරු සොයුරියන්ය. ඔවුන් සියළු දෙනාම දිවීමේ සූරයෝය.
පාසැලේ නිවාස තුනට අයත් වූ ඔවුන් නිවාසාන්තර , පාඨශාලාන්තර තරඟ වලදී පාසැලට මහත් කීර්තියක් ගෙන දුන්හ.
” අපි ඉන්නේ අර දුවන ජයසිංහලගෙ ගෙවල් ගාව” , “එයා අපේ දුරින් නෑයො වෙනව”.වැනි දෑ කියන්නටත් , ඔවුන් සමඟ හිත මිත්‍ර කම් පවත්වන්නටත් සියල්ලෝම ආසා කළහ.
පසු කාලීනව ලොකු සමාජයට ගිය කළ , ” අපි — ජයසිංහලා එහෙම එකට හිටියේ” කියා කිව්වේද ඉමහත් ආසාවෙනි.
මේ මමත් දුවන පනින කාලයේ නොයෙක් තරඟ වලට සහභාගි වී ඇතත් , දිනපු වගක් මතක් නොවේ. ඒ නිසාම සහතික , කුසලාන හෝ පදක්කම් මා සතුව නැත.
එක් අවුරුදු උත්සවයකදී ගම හරහා දුවන්ට ගොස් ලෙලි ගිය දණ පොල් කටුවේ ඇති කැළල අත ගාන විට මට ඉමහත් සතුටක් දැනේ.
අපි දුවමු.. හැමදාම දුවන්නේ කාර්යාල සේවකයන්ය. නියර දිගේ මහ පාරට දුවන්නේ බස් එක හෝ දුම් රිය අල්ලා ගන්ටය. ඉන් බැස දුවන්නේ රතු ඉර වදින්ට පෙරය. හවස ආපහු දුවන්නෙ ගෙදර යාමට බස් එක අල්ලා ගන්ටය.
ලෝක සිතියමේ කුඩා තිතක් වූ අපේ රටට කීර්තිය ගෙනාවේ ඩන්කන් වයිට්ය. ඒ ඔලිම්පික් එකට දුවලාය. පසු කලෙකදී සුසන්තිකා වැනි අයද එවන් හපන්කම් පා ” අපිත් යමක් කළ හැකි අය ” බවට ලොවට පෙන්නුවෝය.
සාමාන්‍ය ඇවිදීමකදීට වඩා වේගයෙන් දෙපා චලනය කොට ඇවිදීම ” දිවීම” ලෙස නිර්වචනය කළ හැකිය.
මීට වසර කීපයකට පෙර රතිඤ්ඤා පුපුරන විටත් අපි දිව්වෙමු. හැම බෝම්බ පිපිරීමකටම පසු දින ඇඳිරි නීතිය පැනවෙන නිසා ඊ ළඟට දුවන්නේ සිල්ලර කඩයටය. ඒ දින කීපයකට සෑහෙන බඩු ටිකක් ස්ටොක් කර ගැන්මටය.
” මම දෙන්නෙ දුවන්ට”
” දුවපිය මෙතනින්”
” දුවනවද නැද්ද?”
මගේ තාත්තා මට කියා ඇත. ක්‍රිකට් , බේස් බෝල් , එල්ලේ වැනි ක්‍රීඩාවකදී හැරෙන්නට දුවන අයට ගහන්නේ නැත.
ඒත් ගහන කොට දුවන්නේ නම් නිවටුන්ය.
” මේ ඇඟ පුරා දුවන්නේ හොඳ ලේ බොලව්. සුද්දගෙ මේ වැඩ දකින කොට ඒව උනු වෙනව” එහෙම කිව්වෙ අපේ වීරයෙක් වන පුරන් අප්පු මාතලේදීය.
යූ ඇන් පී කාරයන්ගෙ ඇඟවල් වල කොළ පාට ලේද , ශ්‍රී ලංකා කාරයන්ගේ ඇඟවල්වල නිල් පාට ලේද දුවයි.
” දිව්ව තරමට තමා හති වැටෙන්නේ” අපේ තාත්තා එහෙමත් කියා ඇත. මම දැන් හති අරිමි. ඒත් දිවිල්ල නම් නවත්වන්න නොහිතේ. ඒ කොලෙස්ටරෝල් නිසාය.
ලෝකයේ මුලින්ම මිනිසා ඇති විය.
උන්ට කෑමට ස්වයංජාත හැල් නම් ධාන්‍ය වගයක් පහල විය.
මිනිසුන් දිනපතා ඒ හැල් කෑමට පුරුදු විය.
හැම දාම කනවා වෙනුවට හෙටටත් , අනිද්දාටත් සෑහෙන්න එකවර
හැල් කපා ගෙන යාම සිදු විය. ඒ නිසා වැට , මායිම් ඇතිවිය.
තමන්ගේ ඉඩමේ හැල් ඉවර වූ විට අනෙකා ගෙන් කපා ගෙන දුවන්ට මිනිසා පුරුදුවිය.
ධාන්‍ය හිමිකරු , ධාන්‍ය සොරුන් පසු පස දුවන්ට විය. සොරුන් පණ බේරා ගන්ට දුවන්නට විය.
කොලෙස්ටරෝල් බස්සා ගන්ට ගේ වටා රවුම් කීපයක් දුවන් ගමන් , දිවීම පටන් ගැනුනේ එලෙස වන්නට ඇතැයි මට කල්පනා විය.
හාමුදුරුවන් යන්නේ හෝ දුවන්නේ නැත. වඩිනවාය. ඉස්සරම කාලයේ හාමුදුරුවන්ගේ සිවුරේ ඉදිරි දෙපොට එක්කොට ගැටයක් ගසන්නේ බැරි වෙලාවත් දිව්වොත් සංවර ශීලයට හානි වන නිසාය. එයට “ගැට වටු” කිරීම කියා කියයි.
ඇබිත්තයා සමඟ ගමේ ඇවිදින්ට ගිය පොඩි හාමුදුරුවන් පසු පස කකුල් හතරේ ගොනෙක් පන්නා ආවේය. හාමුදුරුවෝ වැටි වැටී දිව්වෝය.
ඇබිත්තයා සිද්ධිය ලොකු හාමුදුරුවන්ට වාර්තා කළේ මෙහෙමය.
“පොඩි හාමුදුරුවෝ වැඩ්ඩා වැඩිල්ලක් කියලා වැඩක් නෑ”
“ගුරුවරයා හිට ගෙන චූ කරන කොට ගෝලය දුව දුව කරනවා” යයි ගමේ කතාවක් ඇත. එනම් ගුරුවරු හැම විටම නිදොස් නිවැරදි අය විය යුතු බවය. නැත්නම් ගෝලයන් යහ මඟ නොයනු ඇත.
අපේ කාලයේ ටියුෂන් පන්ති තිබුනේ පාසැලේ උගන්වන්නේ නැති අමතර විෂයයන් හැදැරීමටය. ඒකට දැන්. සිංහළ , ආගමට පමණක් නොව පහේ ශිෂ්‍යත්වෙටත් ටියුෂන් පන්ති කරන්නේ අර ගුරාලාමය.
ඒ දුවන්නන් වාලේ දුවන්නන්ටය.
දිවිල්ල කිව්ව ගමන් එක පාරටම මතක් උනේ මැරතන් කරූ ව . මොකද දන්නේ නෑ. කරූ “මැරතන්” නොවී 100m උනානම් බේරෙන්න තිබුනද කියල හිතුනා . එත් එක්කම අර “අම්මයි තාත්තයි පුතයි දුවයි ” කතාව මතක් උනා. එක වසරේදී අහපු විහිළු කතාවක් .
මමත් දුවන්න කොච්චර හිතුවත් , නිතර කරන්න බැරි වෙනවා .
නිහාල් ලියෙනවානම් අඩුවෙලා වගේ .
මාත් දුවන්න පටංගන්න ඕනෙ . . . දැං දැං කෙලිං හිටගත්තාම කකුලෙ මාපට ඇඟිල්ල පේනව හොරයි . . . .
මාත් ඔය කතාව අහල තියනවා, හැබැයි ඒකෙ තියෙන්නෙ මහපට ඇඟිල්ල කියලා නං නෙමයි :))
මාත් මෙව්වා කියන්න ගිහින් අර සත්ගුණවත්, තැන්පත් ඔබා මහත්තයාගෙ ගොඩට යාවිද මන්දා?
මමත් දන්නව බොල . . . මම නිකං ඒක වෙනුවට ඇඟිල්ලක් ගාවගත්තෙ . . .
ඔබාව මතක් කල නිසා . . .
දැකල තියනවද . . . ?? ඔබාගෙත් මහ විසාල බඩක් නොවැ තියෙන්නෙ . . .
දවසක් උදේ ඔබා එක අතකිං කන්නාඩිය අල්ලං රැවුල කපද්දි අත ලිස්සල කන්නාඩිය වැටිනලු බිමට . . . බිම බලපු ඔබා කන්නාඩියෙං මොනවද දැක්කලු . . . කට කොනකට හිනාවක් දාගත්ත අපේ සත් ගුනවත් ඔබ්සර්වර් අයිය මොනාද දන්නවද කන්නාඩිය දිහෑ බලං කියලතියෙන්නෙ . . . . . ???
“අනේ ** . . . . දැක්ක කල් . . !!!”
හාමුදුරුවන් පිටුපස කකුල් හතරක ගොනෙකු පන්නාගෙන ආවේ හොඳ වෙලාවටය…වෙනත් ගොනෙකු පන්නාගෙන ආවා නම් මක්කා වෙයිද ?
මට නම් මතක ඇබිත්තයා කීවේ
හාමුදුරුවො වැඩ්ඩා වැඩිල්ලක් – සිවුර වෙලේ.
කියාය…
අපි හැමෝම දුවනවා නිහාල් අයියේ… බල්ලා දුවනවා වගේ.. හෙමින් ගමනකුත් නෑ බලාගෙන ගියාම ඇති වැඩකුත් නෑ
බුදු හාමුදුරුවො අංගුලිමාලට නවතින්න කිවුවෙ මෙන්න මේ දිවිල්ලෙන්… අපි කොච්චර නැවතුනත් මේ විදිල්ල වගේ දිවිල්ලෙන් නවතින්නෙ කවදද ?
කොච්චර හයියෙන් දිව්වත් …..දුවන ගමන් පොඩ්ඩක් මග තොට බලලා යන්නත්……පොඩි විවේකයක් අරගෙන දුවපු විදිහ ගැන සිංහාවලෝකනයද මොකක්ද එක කරන්නත් හිතුවොත් හොදයි කියලයි මයියට හිතෙන්නේ….
දිවිල්ල කියල ලංකාෙව් නගරයකුත් තියනවා බං….
නුවර ඉදල දිවිල්ලට බසුත් දුවනවා….
ඒ දීවිල්ල.. කෑගල්ල පැත්තෙ.
අපි නම් හැමදාම උදේටයි හවසටයි අම්බානක දුවනව. හැබැයි කොලෙස්ට්‍රෝල් හින්ද නම් නෙවෙයි…..කෝච්චියට.. අපි පන කඩන් දිව්වත් කෝච්චිය එන්නෙ පරක්කු වෙලා.
තාම කෝච්චි පරක්කුද ? අධි වේගී මාර්ග වගේම අධිවේගී වාහනත් , වෙලාවට කාලසටහනට වැඩ කර්න මිනිස්සුත් අවශ්‍යයි. නැත්නම් අපි හැමදාම පරක්කුයි
මටත් නම් දැන් දුවලා ඇතිවෙලා. වඩින්ටයි හිත… 🙂
දිවීම ගැන ඔච්චර ලිව්වත් දිවීමේ නිර්වචය නම් වැරදිය. දිවීම යනු පාද දෙකම එකවිට යම් පියවරකදී ගුවනේ පවතින ලෙස ගමනේ යෙදීමයි.
දිවිල්ල කෙසේවෙතත් ලිවිල්ල අඩුවෙලා මොකෝ කියලි බැලුවේ.. 🙂