මේක කමණිගෙයි ; වීරසිරිගෙයි කතාව. මේ කතාවෙ කතා නායකයො මේ දෙන්න.
මෙයාල ජීවත්වෙන්නේ ඇමරිකාවෙ , කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝ නගරයට කිට්ටුව.
ලංකාවෙන් එන බොහොමයක් විවිධ හේතු නිසා තමන්ට නොගැලපෙන , නුසුදුසු රැකියාවල යෙදෙනව. ප්‍රධානම හේතුව තමයි භාෂා ප්‍රශ්නය. ලංකාවෙ භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයෙක් මේ ප්‍රශ්නය නිසාම පකිස්තාන්කාරයෙක් ළඟ කඩේක වැඩ කෙරුව සැහෙන කාලයක්.
ඒත් කමණිටයි වීරසිරිටයි එහෙම වුනේ නැහැ මොකද්ද වාසනාවකට. කමණි කියන්නෙ ලංකාවෙ අගනුවරට කිට්ටුව ටිකක් පොෂ් පවුලක එක්කෙනෙක්. ඉංග්‍රීසි එහෙම යහමින් පුළුවන්. විධායක නිලධාරින්ට වගේ එක දිගට කතා කරන්න බැරි උනාට වීරසිරිගෙත් ඉංග්‍රීසි දැනුම හොඳයි. ඒ නිසා දෙන්නාටම ඔෆීස් එකක වයිට් කොලර් ජොබ් දෙකක් ලැබුනා.
ලෝකෙ කොයි කෙළවර හිටියත් ප්‍රශ්න නැතිවෙන්නෙ නෑ. ප්‍රශ්න නැති කෙනෙකුත් නෑ. එහෙම ඉන්නවා නම් ඒකත් ප්‍රශ්නයක්.කමණිලාටත් ප්‍රශ්න ආවා. ඒත් දෙවියන් වහන්සේ ප්‍රශ්නත් එක්කම ඒවට පිළිතුරුත් මවල තියෙන නිසා , බලමු මේ දෙන්න එයාලගේ ප්‍රශ්න විසඳ ගත්තෙ කොහොමද කියල.කමණිගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ. වීරසිරිගෙ නං අම්මයි තාත්තයි දෙන්නම ඉන්නව. එයාල නං එච්චර පොෂ් නෑ. ගමේ සමාන්‍ය මිනිස්සු.
මෙයාලට දූල දෙන්නෙක් හිටියෙ. දෙන්නම පාසැල් යන වයසෙ.
” හරි වැඩේනෙ… දැන් ඔයා කොහොමද මේ දෙන්න දාල ඔෆීස් යන්නෙ”? ඔන්න ඕකයි ප්‍රශ්නෙ.
තනියම දාල යන්නත් බැහැ. අවුරුදු 14 වන තුරු. දාල යන්න නම් පුළුවන්.. දොරවල් වහගෙන ඉඳීවි TV බල බල. ඒත් earthquake එකක් එහෙම ආවොත්.. බැරි වෙලාවත් අපේ කවුරු හරි දැන ගෙන 911 කෝල් කලොත්.. අපිට හිරේ යන්න වෙයි ළමයි දෙන්න වෙල්ෆෙයා එකෙන් අරන් යයි.
” අපි මෙහෙම කරමු.. ඊයේ හාමුදුරුවෝ කෝල් කළා. කවුද වයසක ගෑණු කෙනෙක් රස්සාවක් හොයනවලු. බේබි සිටින් වගෙ.. අපි එයා ගේමු”
” ලංකාවෙ එක්කෙනෙක්ද? අපෝ අපෝ එපා. මෙතන නෑ කං කියන්න තියා ගනීවි”
” ඔයාට ඕන මැඩම් කියව ගන්නද ? මෙක්සිකන් ගෑනියක් නං හොයා ගත්තෑකි.. ඒත් ඔයාට මැඩම් කියන එකක් නෑ. නිකම්ම නිකම් කමණි කියයි. ඇරත් සතියකට 300 ක් වත් ඉල්ලයි”
” තව ක්‍රමයක් නම්…. තියෙනවා……..”
වීරසිරි කලක් තිස්සේ හිතේ හිර කර ගෙන කෙලින් කියා ගන්න බැරිව හිටි දෙයක් ආයාසයෙන් එළියට දැම්ම.
‘ඒ මොකක්ද?”
” ඔයා කැමති නම් අපේ අම්මයි තාත්තයි ගෙන්න ගන්න පුළුවන්”
වැව් බැම්මක් කඩා ගෙන ගියා වගේ .. හෝස් ගාල එක පාරටම ඇහිච්ච වචන අදහ ගන්න බැරුව කමණි ඇස් උඩ තියා ගත්ත.
” නෑ මං නිකමට කිව්වෙ.. අම්මට පුළුවන් කුස්සියේ වැඩට උදව් වෙන්න.. තාත්තට පුළුවන් දවල්ට ඉස්කෝලෙට ගිහින් මේ දෙන්න අරන් එන්න.. පඩියක් ගෙවන්න ඕනත් නෑනෙ…”
” ඔයාගෙ කැමැත්තක්”
ගුනවතියි , විල්සනුයි.. ඒ කියන්නෙ වීරසිරිගෙ අම්මයි තාත්තයි ඇමරිකාවට පදිංචියට යන විත්තිය මුළු ගෝනගල්දෙනිය පුරාම පැතිර ගියේ හරියට බට කැලේට ගිනි ගත්තා වගේ.
” දැන් ඉතින් ගුනවතී අක්කටත් චීස්-… බීස් ගාල ඉන්ගිරිසි කතා කරන්න පුළුවන්”
එහෙම කිව්වෙ කෝන්තරේට හිටවපු වැටක් වගේ දත් දෙපේළියක් තියෙන කමලාවතී.
ඉරිසියාවෙන් පැලි පැලී.. එයාගෙත් දුවල දෙන්නෙක්ම ඉන්නව රට. දෝහා කටාර් වල.
අවශ්‍ය කරන ලියකියවිලිවල අඩුපාඩුවක් නොතිබුණු නිසා මාස දෙකක් වගේ සුළු කාලයක් තුල ගුණවතීටයි. විලසන්ටයි වීසා අනුමත වුනා.
******************************************************************************************************************************
මගී කොරිඩෝරය දිගේ ලොකු කාට් දෙකක විශාල ප්‍රමණයේ බෑග් තුන හතරක් පටව ගෙන අම්මයි තාත්තයි එළියට ආව. වීරසිරි අම්මටයි තාත්තටයි හිට ගෙනම වැන්ද. කමණි වීරසිරිට වැලමිටෙන් ඇන්න.
” මිනිස්සු බලන් ඉන්නව.. ඕක ගෙදර ගිහින් කර ගන්න බැරියැ”
අම්ම ඇඳල හිටියෙ සුදු පාට ලොකු මල් තියෙන නිල් පාට නයිලෙක්ස් සාරියක්. බාටා දෙකකුත් දෙපයට දාල. තාත්තා නම් සුපුරුදු ජාතික ඇඳුම.
පොඩි දෙන්න කොළඹ ආච්චිට – සීයට තරම් ගමේ ආච්චිට- සීයට එකතු නෑ. ලොකුම හේතුව වුනේ මෙතෙක් කල් කාමර දෙකක් අයිති කර ගෙන හිටිය දෙන්න , ඉන් එකක් ආච්චිටයි සීයටයි දීල එක කාමරයක් ෂෙයා කර ගන්න වීම.
ගුණවතී , වීරසිරිගෙ අම්මා මහ රෑ ඇහැරලා ගේ ඇතුලෙ ඇවිද්දා. වෙන කොහේ ඇවිදින්නද? කාමරෙන් සාලෙට… සලෙන් කුස්සියට.. කුස්සියෙන් ආයෙම කාමරේට.
” දැන් ලංකාවෙ දවල්නෙ .. වෙලාවෙ වෙනස නිසා අම්මට නින්ද යන්නෙ නැත්තෙ.. තව ටික දවසකින් ඔය ගතිය ඇරිල යයි”
වත්ත පිටියේ.. දෙනියේ , රබර් මංඩියේ ඔහේ ඇවිද්ද ගුනවතියි විල්සනුයි හරියට අත් කකුල් කඩල දාපු සත්තු දෙන්නෙක් වගේ ඔහේ මූනෙන් මූන බලා ගෙන හිටිය.
ඉවස ගන්නම බැරි උනේ ඇඟ හිල් කර ගෙන යන හීතල.
දෙවෙනි දවසේ කමණී නැන්දම්මගෙ අත් දෙකෙන් එහෙම අල්ල ගෙන ” කොහොමද අම්මෙ උඩින් එන කොට බය හිතුනෙ නැද්ද ? ප්ලේන් එකේ කෑම එහෙම කොහොමද ? නා නා ප්‍රකාර ප්‍රශ්න ඇහුව.
ටික දවසකින් නැන්දම්ම අහන ප්‍රශ්න වලට විතරක් උත්තර දුන්න.
තව ටික දවසකින් ඒ ටිකත් නැතුව ගියා.
*********************************************************************************************************************************************
එදා ඉරිදාවක්.. කට්ටියම පන්සල් යන්න ලෑස්ති උනා.
” පුතේ හාමුදුරුවොත් ඉන්ගිරිසියෙන්ද කතා කරන්නෙ ?”
” අම්මේ අපි කියල තියෙන්නෙ අම්මයි තාත්තයි ගුරුවරු.. දැන් පැන්ෂන් කියල.. දෙන්නම ඒ විදියට කියන්න ඕන හොඳේ?”
” අනේ ඇයි පුතේ අපි බොරු කියන්නෙ ? එක බොරුවක් වහගන්න තව බොරු දහයක් ගොතන්න වෙයි නේද ?”
” එහෙම නැතුව බෑ අම්මෙ මෙහේ”
” ඉතින් පුතේ හාමුදුරුවො ඇහුවොත් මොනවද ඉගැන්නුවෙ කියල?”
” කියන්න පොඩි පංති වලට සිංහළයි.. බුද්ධාගමයි කළේ කියල.. ඔන්න තාත්තේ මතකයි නේ… ?”
” වීරෙ අම්මගෙ කකුල් වල ඇඟිලි බලන්නකො.. කොහොමද කියන්නෙ ටීච් කළැයි කියල”
” සීතළටත් එක්ක හොඳයිනෙ මේස් දාන්න කියමු”
” අම්මට රෑට අඳින්න තර්මල් පෑන්ට්ස් අරන් දෙමු. ටික දවසකින් පුරුදු වෙයි. ඊට පස්සෙ මගෙ පරන පෑන්ට්ස් දෙන්න බැරියැ එළියට යනකොට අඳින්න”
වීරසිරි කතාවක් බතාවක් නැතිව ඉස්සරහ බලා ගෙන රතය ධාවනය කළා.
කවුරුවත් කතා නොකරන නිසා වීරසිරිම කතාව පටන් ගත්ත.
” අම්මල ඇවිල්ල මාස දෙකක්ම උනා නේද ? කොහොමද මෙහේ හොඳද?”
” අනේ මගේ හිතට නං හරි මදි.. මහ මොකක්ද වගේ..සේරටම හපන් යාළුවන්ගෙ ගෙවල් වල ගියාම බදා ගෙන මූණු ඉඹින එක”
” ඕව හරියයි.. දේසෙ හැටියට බාසෙ තියෙන්න එපායැ”
*******************************************************************************************************************************************
දවසක් කමණියි වීරසිරියි ළමයි දෙන්නත් එක්ක කොහේද ගියා.. වයසක ජෝඩුවට ගෙදර ඉන්න කියල.
” මේ.. ටිකක් යමුද එළියට ඇවිදින්න.. පළාත හුරු වෙන්නත් එක්ක”
” අපි ටික දුරක් ගිහින් ආපහු එමු.. ඕං මතක තියා ගන්න.. අර බනිස් ගෙඩියක් තියෙන රතු බෝඩ් ලෑල්ල ගාවින් වමට හැරුනම දෙවෙනියට තියෙන ගේ අපෙ පුතාලගෙ”
දෙන්නම අත් අල්ලගෙන පරන ගමේ හෑලි කියව කියව ඉස්සරහට ගියා.
“දැන් ඇති ආපහු යමු”
දෙන්න ගිය පාරෙම ආපහු එන්න පටන් ගත්ත. බනිස් ගෙඩිය තියෙන රතු බෝඩ් ලෑල්ල ගාවින් වමට හැරුනා.. ටික දුරක් ගියා.. පුතාලගෙ ගෙදර එතන නෑ. කාගෙන් අහන්නවත් විදියක් නෑ. දෙන්නම තව ටිකක් ඉස්සරහට ගිය..
පාර වැරදුනා..
**************************************************************************************************************************************************
කමණිල වීරසිරිල ආපහු ගෙදර එනකොට හවස් වෙලා… අම්මයි තාත්තයි නෑ. ගිනි පත්තු උනා.
වීරසිරි 911 කෝල් කරල පොලිසියට විස්තරේ කිව්වා. විනාඩි දහයකින් විතර රතු පාට , දම් පාට ලයිට් දාගෙන ආපු පොලිස් කාර් එකක් වීරසිරිලගෙ ගේ ඉස්සරහ නැවැත්තුව.
පොලිස් නිලධාරියා තදින් අවවාද කළා කමණිටයි වීරසිරිටයි දෙන්නටම.
සීනි හොරෙන් කාළ අහුවුන පොඩි උන් දෙන්නෙක් වගේ අම්මයි තාත්තයි ආපහු කාමරේට රිංගගත්තා.
ෆිනිෂ් ඒක සුපිරි
“සීනි හොරෙන් කාළ අහුවුන පොඩි උන් දෙන්නෙක් වගේ අම්මයි තාත්තයි ආපහු කාමරේට රිංගගත්තා. ”
නියමයි.
සුබ දායක අවසානයක සමඟ පුංචි හිනාවක් අවසානයට මතු කරපු ලස්සන කතාවක්.
How true……
I think the situation in States may be 10x folds worse than in Australia!
Your writing gets to the heart of the reader…well done Nihal
Thank you for your precious comment.