බෝ කියන කොට මතක් වෙන්නේ පන්සලක් කෝවිලක් වැනි පූජනීය ස්ථානයක් හෝ කුඩා ළමයෙක්.
කුඩාම ළමයින් බෝ කියන්නේ වතුරටය. බහ තොරන වයසේ ඉන්නා පොඩි උන් පහසුවෙන් පිට කළ හැකි ශබ්ද ඉක්මණින් වචන වලට හරවයි.
උදා: මා – අම්මා
බාබා – කුකුළා / කුරුල්ලා
චා – තාත්තා
බෝ – වතුර
කුඩා ළමයි හබුං කාල බෝ ටිකක් බොන්න ඕනෑය. බෝ නාන්න නං කම්මැලිය.
“පුතේ.. ලිප ටිකක් “බෝ” කරපන්කො වතුර ටිකක් නා ගන්න ” අත්තම්මා කියයි. ඈ ඉන් අදහස් කරන්නේ ලිප මොලවා ගින්දර “බොහෝ” කිරීමය.
ජීවිත කාලයේදි කිවිසුම් පිට නොකළ අයෙක් නැත. නැහැය තුලට යමක් ගිය විට හෝ , යම් අසාත්මිකතාවයක් ( Alergy) නිසා කිවිසුම් යැවේ. රෝගයක් වැළඳි විට ඊට පිළියම් නොලදහොත් ආයුෂ අඩුවේ. යමෙක් කිවිසුම් අරින විට ළඟ ඉන්නා ගැමියා.. ” ආයි බෝං” කියයි. හෙවත් ” ආයු බෝ වේවා” කියා සුබ පතයි. ඉංග්‍රීසි දන්නා අය ” ගෝඩ් බ්ලෙස් යූ ” කියා කියයි. නැත්නම් ලෙඩ අනෙක් අයට බෝවී “බොහෝ” වීමටද පුළුවන.
අපේ ගම් පළාත්වල දෙදෙනෙක් හමුවූ විට වෙලාවක් අවේලාවක් නොබලා ” ආයි බෝං” කියා ගනිති.
තරමක් වියපත් වන විට මතක් වෙන්නේ බෝ ගසය. නැත්නම් බෝධියය. නැත්නම් බෝ මළුවය. අද කාලයේ උගත් , සිල්වත් , ධර්මධර , විනයධර භික්ෂූන් වහන්සේලා ඇතත් දුසිල් මහණුන් ගෙන්ද හිගයක් නැත. ඒත් හිතේ කහටක් නැතිවම අපි හැම චීවර දාරියෙකුටම වැඳ නමස්කාර කරමු. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිහි පත් කර ගෙනය.
අපේ ගමේ පන්සලේ බෝ ගස , බුදුන් පිට දුන් බෝ ගසට නෑ කං නොකියතත් , ඊට ද ඒ හා සමානවම ගරු කරන්නේ බුදුන් වහන්සේ සිහියට නගා ගෙනය.
අළුත් අවුරුදු නිමාවී හිස තෙල් ගාන විටද එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා කියා කියයි.
මගේ “පොල්” ලිපියට ප්‍රතිචාර දක්වන ” මාරයා ” බෝ ගස ඇසතු ගස බව කියයි. ඒ ඇත්තකි. බෝ ගස කියා ගසක් නැත. බුදුන් වහන්සේගේ “බුද්ධිය” “බෝධිය” වී ඇති බවද වෙලාවකට මට සිතේ. බුදුන්ගේ බුද්ධිය අවදි කළ ගසද බෝධියක් වී ඇත.
උද්භිද විද්‍යාවේදී සෑම ශාකයකටම , පැළෑටියකටම විශේෂිත නාමයක් ඇත. ඒ අනුව බෝ ගස ” පිකස් රිලිජියෝසා” නම් වේ. බුදුන්ගේ බුදු වීමෙන් පසු එම සාමාන්‍ය ඇසතු ගස මෙසේ ” රිලිජස්” වී ඇත.
බෝ ගසේ හට ගන්නා කුඩා ගෙඩි කපුටන්ට ආහාරයකි. උන්ගේ වර්චස් සමඟ පිට වන බෝ ඇට තැන තැන පැල වී කපුටු බෝ ගස් ඇතිවේ. එහෙත් ඒද ” බෝ” මය. එහි ඇති රිලිජස් බාවය නිසා කිසිවෙක් ඒවා දරටවත් නොගනී.
ලී ගැන ටිකක් දැනුමක් ඇති කෙනෙක් ලී මිළට ගැනීමට ලී මෝලකට ගියේය. එහි වූ අමුතු ලීයක් දුටු ඔහු ඒ ලීය මොකක්දැයි මෝල් හිමියාගෙන් ඇසීය.
” ඕක මහත්තයා බුදු හේත්තු කියල කැලේ හැදෙන ගහක්” මෝලා බෝ ගසක් ඉරා ඇත. බෝ ගස , කොස් – දෙල් – බුරුත මෙන් තද නැති එහෙත් හොඳ අරටුවක් ඇති ගහකි.
අනුරාධපුරයේ ඇත්තේ බුදුන්ට බුදුවීමට උදව් කළ මුල් බෝ ශාකයේ ශාඛාවකි. එය ඇත්තේ උඩ මලුවේය. එය මහානුභාව සම්පන්නය.
පිට පිට ගැහැණු දරුවන් වැදූ නුවර කලාවියේ ගොවි බිරිඳක් ,
” ඇතෙක් වගේ බයක් නැතුව තනි මං සල යන්නයි
උඩ මළුවේ බෝධි සාමි පිරිමිපුතෙක් දෙන්නයි” කියා බෝධීන් වහන්සේගෙන් ඉල්ලා සිටී.
මම බඩ ජාරියෙක් නූනත් කටට රහට කන්න ආස නිසා , ලංකාවේ තියෙන එළවළු බොහොමයක් තියෙන ඒෂියන් මාකට් එකට නිතර යන කෙනෙකි. ඒවායේ නැත්තේ මං ආසම කරන මුකුණුවැන්න පමණකි.
දිනක් එහි ගිය මගේ එක්කෙනා බිත්තර තියෙන රාක්කය මට පෙන්න පෙන්නා බඩ අල්ලා ගෙන හිනා වෙනවා.
වස විලි ලැජ්ජාවයි. අහල පහල එව්වොත් බලා ගෙන.
” කිම්බෝ එග්ස් ” මේ ගෑනි මේ හිනා වෙන්නෙ ඒකට.
“අනේ මට නං එපා.. ඕකට වෙන නමක් දාන තිබුනෙ නැද්ද?”
ඒවාගේ කින්ග් බෝ ලා අපේ රාජාවලියේද ඇත. ඒ අග්බෝ සහ සඟබෝ වැනි අයවළුන්ය.
මේ හැම වැල් වටාරමක්ම ලිවීමට හේතු වූයේද ” බෝ” ය. ඒ බෝ ඩෙරෙක්ය.
1980 දශකයේ රූ රැජිනක් වූ බෝ ඩෙරෙක් ඈ රඟ පෑ රොමෑන්ටික් කොමඩියක් වූ ” 10 ” නිසා ප්‍රසිද්ධියට පත් විය. ලංකාවෙ රූ ගත කළ ” ටාසන් ද අපේ මෑන්(Tarzan the ape man )” හිද ඈ රඟ පෑවාය.
බටහිර ක්‍රමයට රූප සුන්දරියන්ට ලකුණු දෙන්නේ දහයෙන්ය. ඇය දහයෙන් දහයම හෙවත් ” perfect 10″ ඇත්තියකි.
නොබෝදා ඇමරිකාවේ ලෝන්ග් බීච් හි මාද සහභාගි වූ සමුළුවකට ඇයද පැමිණ සිටියාය.
දැනට 55 වියේ පසුවන ඈ තුල අර පරණ රූමත් කමේ නටබුන් තවමත් දක්නට තිබිණ.
බෝ මළුවේ
බෝ කොළ ගාණට
බෝ දුක් සංසිදෙනා
බෝ වෙන හිතවත්කම් ඉපදී නිති
ආයු බොහෝ වේවා.
ගාල්ලේ රිච්මන්ඩ් එකේ බුදු මැදුර ලග තියනව වසර සිය ගානක් පැරණි බෝ ගහක් මේ බෝ ගස සම්බන්දව අපූරු ඉතිහාස කතාවක් තියනවා.කතෝලික මිෂනාරි වරුන් ආරම්භ කරපු රිච්මන්ඩ් එකේ මිෂනාරි විදුහල්පති නිල නිවස ඉදිරියේ බෝ ගස ඉතිරිවුනේ මෙහෙමයි. 1864 පමණ හිටපු මිෂනාරිවරයා ඒ කාලේ දේශීය කම්කරුවන් ලවා විදුහල හදන බිම ගස් කපලා සකස් කරවන කොට අපේ අය ඔක්කොම ගස් කපලා හැබැයි එක ගහක් විතරක් ඉතිරිකරල . සුද්දට මල පැනල මොකද මේ මිදුල මැද්දෙ එක ගහක් ඉතිරි කරල කපන්න කපන්න කියල අණ දුන්නලු ඒත් අපේ දේශීය කම්කරුවෝ කිසිකෙනෙක් මේ ගහට අත තියන්නෙ නැහැලු කපන්න. ඉතින් මිෂනාරිවරයා ඇහැව්වලු මොකක්ද ප්‍රශ්ණය ඇයි මේ ගහ කපන්න බැරි කියල.අපේ අය දන්න ඉන්ග්‍රීසියෙන් කිව්වලු මේක බෝ ගහක් අපිට නම් කපන්න බැහැ කියල. එක පාරටම මේ මිෂනාරිවරයා ආ එහෙනම් කමක් නෑ තියෙන්න අරින්න කිව්වලු හැබැයි මේ බුද්ධාගාමිකයන්ගේ බෝ ගස නිසා නොවෙයි මේ මිෂනාරිවරයගේ නමත් “බෝ” (Rev. George Baugh -1864 ) මිනිහ හිතුවලු මිනිහගේ නම තියන ගහ හින්ද මේක මිනිස්සු කපන්නේ නෑ කියල මිනිහට ගෞරවයක් විදියට කියල කොහොම හරි මිෂනාරි විදුහලක් ඇතුලේ බෝ ගහ අදටත් ඉතුරු උනා.
ආගම කුමක් වුවත් , හිතට සහනයක් දෙන , හිසට සෙවනක් දෙන ගහක් බෝ ගහ. එය පල්ලියක හෝ පන්සලක මිදුලේ හෝ කොහේ තිබුනත් කමක් නැහැ.
මගේ ලිපිය කියෙව්වාට ස්තූතියි.
සිරිබෝ අයියවත් මතක් වෙනවා
තව බෝ දේවල් මග ඇරුනා.
මමත් ඉස්සර බෝ පැලේ වගේ හිටියෙ….
ඉස්කෝලෙ ගිහින් ටික ටික නරක් වෙලා කාක බෝ පැලේ වුනා
ඒත් දැන් නහින දෙහින කාලෙ ලංවෙලා තවත් බෝ පැලයක් බෝ කරගෙන ඉහ නිකට පැහීගෙන එනකොට ආගම දහම කියන්නෙ මොකක්ද කියලා හිතන්න පටං අරගත්තා… දැන් ඉතිං ආයෙම බෝ පැලේ වගේ ඒවට බර වෙලා පොඩ්ඩක්.. හැබැයි දැන් නම් හදාරන්නේ ආගමේ ගැඹුරු පැත්ත.. ඉස්සර වගේ “බුදුරජානන් වහන්නේ පිරිණිවන් පෑ සේක“ කියපු ගමන් සාධු කියන්නෙ නෑ,.
ඒකටම හරි යන්න ස්වාමීන්වහන්සේලා කීප දෙනෙකුයි වැඩිහිටියෙකුයි සෙට් වෙලා ඉන්නවා සාකච්ඡා කරන්න…
අන්න එහෙමයි බෝ පැලේ කාක බෝ පැලේ වෙලා ආයෙම බෝ ගසක් බවට පත් වෙන්නෙ..
අමරදෙව මාස්ටර් ගේ “බෝදියෙන් වට බෝ පතක් සේ…” මම ආසම සින්දුවක්.
බෝම අගේ ඇති පෝස්ට් එක. ප්‍රවීනා කියල තියනව වගේ එක වචනයක් අල්ලගෙන රට පටලවන්න හරිම රුසියෙක් !