“පොල් ගස තාල වර්ගයට අයත් ගසකි” එදා පරණගම ටීචර් කියා දුන්නේ එහෙමය. ටීචර් කියූ දෙය ලියා ගත්තා විනා , පන්තියේ හොඳම සහ දක්ෂතම ශිෂ්‍යයා වූ මේ ගුරුසිංහවත් වෙනත් කිසිවෙක් හෝ ” තාල ” වර්ගය යනු කුමක්දැයි ඇසුවේ නැත.
පොල් , පුවක් , කිතුල් , තල් වැනි ” tall ” ගස් තාල වර්ගයට අයත් වේ.
අනෙකුත් ගස්ද “tall ” නමුත් ඒවා අතු ඉති බෙදී මහතට විශාලෙට පෙනෙන නිසා තාල ගණයට නොවැටේ. හරියට මහත මිනිසුන්ගේ උස පෙනෙන්නේ නැතුවා වාගේය.
කෙට්ටු උස හාදයෙක් දුටු විට අප කියන්නේ ” මෙයා නම් ගිය ආත්මයේ පුවක් ගස් පූජා කරල” කියාය.
එහෙම නම් තාල වර්ගය යනු අතු නොබෙදුනු උස ගස් ය.
ඒත් අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කිව්වා වාගේ ඉඳ හිට අතු බෙදුනු පොල් ගස් ගැන ප්‍රවෘත්ති අසන්නට ලැබේ.
පොල් ගස් කප් රුකකි. මුලේ පටන් කරටිය දක්වාම ප්‍රයෝජනවත්ය.
පොල් ගසේ මුල බෙහෙතට ගන්නා බව ” වෙදනා” කියනු ඇත.
පොල් මල , ලාබාල පොල් කොළය හෙවත් ගොක් අත්ත , ලාංකික විශේෂයෙන් බෞද්ධයන්ට වැදගත්වේ. වැදහත් අවස්තාවකදී , විහිදුවන ලද පොල් මල සහිත පුන් කළස සෞභාග්‍යය , සශ්‍රීකත්වය පෙන්වයි.
තොරණ් ගැසීමට , මගුල් මඬු , පිරිත් මඬු ගැසීමට ගොක් අත්ත නැතුවම බැරිය.
පොල් පැණි , පොල් අරක්කු , පොල් රා , පොල් විනාකිරි , පොල් හකුරු, පොල් මල තලා ඉන් බේරෙන තෙලිජ්ජ වලින් බිහිවේ.
හිරමණයෙන් ගාන ලද පොල් ස්වල්පයක් , පොල් පැණියේ දවටා පාන් සමඟ කෑම මගේ ප්‍රියතම ” උදෑසන” කෑම වේලකි.
කඩල තැම්බූදාට හීනියට කපන ලද පොල් කෑලි කන්නේ කඩදාසියෙන් හැදූ ගොටු වලය.
මයියොක්කා , බතල , වැල් අල වැනි කෑම විශේෂයක් “හීලට” ඇතිදාට ඒවා කන්නේද ගාන ලද පොල් සමඟය. කොස් තැම්බූ දාටද කොස් මදුලක් කන්නේ පොල් සමඟය.
තිත්ත කරවිල රවුම් පෙති කපා , ගැඹුරු තෙලේ බැද , හීනියට ලියන ලද අමු මිරිස් , රතු ලූනු , උම්බලකඩ සමග මිශ්‍ර කර කනවාට වඩා මා කරවිල ප්‍රිය කරන්නේ වෑංජනයක් ලෙසටය.
කරවිලවල තිත්ත යෑමට කපන ලද කරවිල පෙති පොල් වතුරේ පැයක් හමාරක් බහා තබයි.
අම්මා මන්නයේ මොට පැත්තෙන් පොල් ගෙඩිය බිඳින විට ඒ අසළ අනිවාර්යයෙන්ම ගැවසෙන දෙදෙනෙකි. ඒ විසිවෙන පොල් කෑල්ලක් ඩැහැ ගැනීමට බලා සිටින කළු බළල් තඩියා සහ පොල් වතුර ටික බීමට බලා සිටින කුඩා ගුරුසිංහත්ය.
පොල් යන වචනය ප්‍රමාණය පෙන්වීමටත් යොදා ගැනේ.
සමහරු පොල් ගෙඩි වන් අකුරු ලියයි. ඒ පොල් බූරුවන් කියා සිතුවත් පොල් ගෙඩි අකුරු ලියන අය හිත හොඳ විවෘත අදහස් ඇත්තවුන්ය.
පොල් ගිරවා ටිකක් ලොකුය. පොල්කිච්චාද කුරුල්ලෙකි. පොල් අඹ අනික්වාට වඩා විශාලය.
පොල් ගසේ කඳ කැබලි කර වෑයෙන් රැස වහලට දාන පරාල සාදයි.
පොල් ලීයෙන් සෑදූ ගෘහභාණ්ඩද ඇත. පොල් කටුවෙන් හැඳි , විසිතුරු බඩු සාදයි. පොල් ලෙල්ලෙන් එන පොල් කොහු , කොහු බත් අගනා ද්‍රව්‍ය වේ.
මාතර ප්‍රසිද්ධ පොල්හේනටය. ඒ නාන තොටක් වී ඇති නොගැඹුරු මුහුදේ කොටසකි. මාතර ගිහින් පොල් හේනෙන් නොනෑවොත් ලොකු අඩුවකි.
පොල් වලට ” නෙරළු” කියාද කියයි. ඉඩම් වෙන්දේසිකාරයන් ලොකු පොල් ඉඩම් කෑලි වලට කඩා පොල් ගස් කපා දමා හිස් ඉඩම ” නෙරළු උයන” කියා නම් කරයි.
ඉස්සර පොල් ත්‍රිකෝණයක් විය. දැන් නම් පොල් රේඛාවක්වත් ඇද්දැයි සැකය.
ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පොල් අරක්කු මට නම් අහිතකරය. බිව්වදාට බඩ අප්සැට් වේ. හිල් කරන ලද පොල් ගෙඩියක වතුර ඉවත් කොට කොට ඒ තුළට අරක්කු බෝතලයක් දමා දවසක් තැබූ විට අර අරක්කු පොල් මදයට උරා ගැනේ. පසුව පොල් ගෙඩිය බිඳ , මදය හීනි කැබලි වලට කපා පීරිසියක තියා කාටත් හොරෙන් රෑ එළි වෙන තුරු පිරිත් කියන ස්වාමීන් වහන්සේලාට පිළිගන්වයි. පාන්දර යාමේ යකුන් එළවීමට ටිකක් හයියෙන් ආටානාටිය කීමට අවශ්‍ය බලය සපයන්නේ මේ පොල් කෑලිය.
මෙනයින් බලන කල පොල් ගස කප් රුකකි. බුදුන්ට බුදුවීමට උදව් කළ බෝ ගස වැඩකට නැති ගසකි. බුදුන් ලංකාවේ සිටියා නම් පිට දීම සඳහා අනිවාර්යයෙන්ම පොල් ගස තෝරා ගන්නවා ඇතැයි සෙනසුරාදා දවසේ වැඩක් නැති නිසා මේ ගුරුසිංහට හිතේ.
ගුරුසිංහ විවාවූදා මහ මුරුගසං වැස්සකි. තව විනාඩි දහයක් පරක්කු වුනා නම් ජෝඩුවට යන්න වෙන්නේ බෝට්ටුවේය.
” නිහාල් අයිය ගලෙන් පොල් කාලා” ගමේ කෙල්ලක් කීවාය. ඇඹරීමට මිරිස් ගල උඩ තියෙන පොල් වලින් ටිකක් කටේ දාගත්තොත් , එයා බඳින දාට මෙසේ ලොකු වැස්සක් වහින බවට ගැමි මතයකි.
” මයෙ අප්ප පොල් වතුර නං බවුසරයක් විතර බීල ඇති ” කියා හැමෝටම ඇහෙන්නට අත්තම්මා කීවේ මංගල සබාව හිනා ගස්සවමින්ය.
පොල්ගස් යට බුදුවෙන්න හිතනවානම් ඉක්මනට බුදු විය යුතුය. පොල් රෑනක් පැහෙන්නට යන්නේ මාස දෙකකි. බුදුවෙන්න කලින් ඔලුවට පොලයක් වැටුනොත් චුත වෙන්නට සිදුවේ.
බුදු හාමුදුරුවෝ පිට තියන්න පොල් ගහ තෝරගත්තා නම් නිවන් දකින්න කලින් ඉස්පිරිතාලෙට යන්න වෙනවා..
පොල් එක්ක කඩල තම්බලා, කටට කෙල ඉනුවා
පොල් වටින ලිපියක් නිහාල් අයියා
ඔන්න මමත් දැන් ” බස්” රේඩියෝ එක අහනවා.