පොල් පොල් පොපොල් පොල්….


“පොල් ගස තාල වර්ගයට අයත් ගසකි” එදා පරණගම ටීචර් කියා දුන්නේ එහෙමය. ටීචර් කියූ දෙය ලියා ගත්තා විනා , පන්තියේ හොඳම සහ දක්ෂතම ශිෂ්‍යයා වූ මේ ගුරුසිංහවත් වෙනත් කිසිවෙක් හෝ ” තාල ” වර්ගය යනු කුමක්දැයි ඇසුවේ නැත.

පොල් , පුවක් , කිතුල් , තල් වැනි ” tall ” ගස් තාල වර්ගයට අයත් වේ.
අනෙකුත් ගස්ද “tall ” නමුත් ඒවා අතු ඉති බෙදී මහතට විශාලෙට පෙනෙන නිසා තාල ගණයට නොවැටේ. හරියට මහත මිනිසුන්ගේ උස පෙනෙන්නේ නැතුවා වාගේය.
කෙට්ටු උස හාදයෙක් දුටු විට අප කියන්නේ ” මෙයා නම් ගිය ආත්මයේ පුවක් ගස් පූජා කරල” කියාය.

එහෙම නම් තාල වර්ගය යනු අතු නොබෙදුනු උස ගස් ය.
ඒත් අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කිව්වා වාගේ ඉඳ හිට අතු බෙදුනු පොල් ගස් ගැන ප්‍රවෘත්ති අසන්නට ලැබේ.

පොල් ගස් කප් රුකකි. මුලේ පටන් කරටිය දක්වාම ප්‍රයෝජනවත්ය.
පොල් ගසේ මුල බෙහෙතට ගන්නා බව ” වෙදනා” කියනු ඇත.
පොල් මල , ලාබාල පොල් කොළය හෙවත් ගොක් අත්ත , ලාංකික විශේෂයෙන් බෞද්ධයන්ට වැදගත්වේ. වැදහත් අවස්තාවකදී , විහිදුවන ලද පොල් මල සහිත පුන් කළස සෞභාග්‍යය , සශ්‍රීකත්වය පෙන්වයි.

තොරණ් ගැසීමට , මගුල් මඬු , පිරිත් මඬු ගැසීමට ගොක් අත්ත නැතුවම බැරිය.
පොල් පැණි , පොල් අරක්කු , පොල් රා , පොල් විනාකිරි , පොල් හකුරු, පොල් මල තලා ඉන් බේරෙන තෙලිජ්ජ වලින් බිහිවේ.
හිරමණයෙන් ගාන ලද පොල් ස්වල්පයක් , පොල් පැණියේ දවටා පාන් සමඟ කෑම මගේ ප්‍රියතම ” උදෑසන” කෑම වේලකි.

කඩල තැම්බූදාට හීනියට කපන ලද පොල් කෑලි කන්නේ කඩදාසියෙන් හැදූ ගොටු වලය.
මයියොක්කා , බතල , වැල් අල වැනි කෑම විශේෂයක් “හීලට” ඇතිදාට ඒවා කන්නේද ගාන ලද පොල් සමඟය. කොස් තැම්බූ දාටද කොස් මදුලක් කන්නේ පොල් සමඟය.

තිත්ත කරවිල රවුම් පෙති කපා , ගැඹුරු තෙලේ බැද , හීනියට ලියන ලද අමු මිරිස් , රතු ලූනු , උම්බලකඩ සමග මිශ්‍ර කර කනවාට වඩා මා කරවිල ප්‍රිය කරන්නේ වෑංජනයක් ලෙසටය.
කරවිලවල තිත්ත යෑමට කපන ලද කරවිල පෙති පොල් වතුරේ පැයක් හමාරක් බහා තබයි.

අම්මා මන්නයේ මොට පැත්තෙන් පොල් ගෙඩිය බිඳින විට ඒ අසළ අනිවාර්යයෙන්ම ගැවසෙන දෙදෙනෙකි. ඒ විසිවෙන පොල් කෑල්ලක් ඩැහැ ගැනීමට බලා සිටින කළු බළල් තඩියා සහ පොල් වතුර ටික බීමට බලා සිටින කුඩා ගුරුසිංහත්ය.

පොල් යන වචනය ප්‍රමාණය පෙන්වීමටත් යොදා ගැනේ.
සමහරු පොල් ගෙඩි වන් අකුරු ලියයි. ඒ පොල් බූරුවන් කියා සිතුවත් පොල් ගෙඩි අකුරු ලියන අය හිත හොඳ විවෘත අදහස් ඇත්තවුන්ය.

පොල් ගිරවා ටිකක් ලොකුය. පොල්කිච්චාද කුරුල්ලෙකි. පොල් අඹ අනික්වාට වඩා විශාලය.
පොල් ගසේ කඳ කැබලි කර වෑයෙන් රැස වහලට දාන පරාල සාදයි.
පොල් ලීයෙන් සෑදූ ගෘහභාණ්ඩද ඇත. පොල් කටුවෙන් හැඳි , විසිතුරු බඩු සාදයි. පොල් ලෙල්ලෙන් එන පොල් කොහු , කොහු බත් අගනා ද්‍රව්‍ය වේ.

මාතර ප්‍රසිද්ධ පොල්හේනටය. ඒ නාන තොටක් වී ඇති නොගැඹුරු මුහුදේ කොටසකි. මාතර ගිහින් පොල් හේනෙන් නොනෑවොත් ලොකු අඩුවකි.

පොල් වලට ” නෙරළු” කියාද කියයි. ඉඩම් වෙන්දේසිකාරයන් ලොකු පොල් ඉඩම් කෑලි වලට කඩා පොල් ගස් කපා දමා හිස් ඉඩම ” නෙරළු උයන” කියා නම් කරයි.

ඉස්සර පොල් ත්‍රිකෝණයක් විය. දැන් නම් පොල් රේඛාවක්වත් ඇද්දැයි සැකය.
ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පොල් අරක්කු මට නම් අහිතකරය. බිව්වදාට බඩ අප්සැට් වේ. හිල් කරන ලද පොල් ගෙඩියක වතුර ඉවත් කොට කොට ඒ තුළට අරක්කු බෝතලයක් දමා දවසක් තැබූ විට අර අරක්කු පොල් මදයට උරා ගැනේ. පසුව පොල් ගෙඩිය බිඳ , මදය හීනි කැබලි වලට කපා පීරිසියක තියා කාටත් හොරෙන් රෑ එළි වෙන තුරු පිරිත් කියන ස්වාමීන් වහන්සේලාට පිළිගන්වයි. පාන්දර යාමේ යකුන් එළවීමට ටිකක් හයියෙන් ආටානාටිය කීමට අවශ්‍ය බලය සපයන්නේ මේ පොල් කෑලිය.

මෙනයින් බලන කල පොල් ගස කප් රුකකි. බුදුන්ට බුදුවීමට උදව් කළ බෝ ගස වැඩකට නැති ගසකි. බුදුන් ලංකාවේ සිටියා නම් පිට දීම සඳහා අනිවාර්යයෙන්ම පොල් ගස තෝරා ගන්නවා ඇතැයි සෙනසුරාදා දවසේ වැඩක් නැති නිසා මේ ගුරුසිංහට හිතේ.

ගුරුසිංහ විවාවූදා මහ මුරුගසං වැස්සකි. තව විනාඩි දහයක් පරක්කු වුනා නම් ජෝඩුවට යන්න වෙන්නේ බෝට්ටුවේය.
” නිහාල් අයිය ගලෙන් පොල් කාලා” ගමේ කෙල්ලක් කීවාය. ඇඹරීමට මිරිස් ගල උඩ තියෙන පොල් වලින් ටිකක් කටේ දාගත්තොත් , එයා බඳින දාට මෙසේ ලොකු වැස්සක් වහින බවට ගැමි මතයකි.

” මයෙ අප්ප පොල් වතුර නං බවුසරයක් විතර බීල ඇති ” කියා හැමෝටම ඇහෙන්නට අත්තම්මා කීවේ මංගල සබාව හිනා ගස්සවමින්ය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

30 Responses to පොල් පොල් පොපොල් පොල්….

  1. Weni පවසයි:

    පොල්හේන්ගොඩ හරහා හැමදාම ඔෆිස් යන මම බලන්නෙ පොල් කෝ කියායි..අරක්කු දමන්නෙ කොප්පරා නැත්නම් කොට්ට පොල් වලට.. එතකොට දවසකින් දෙකකින් හොඳට උරා ගන්නව !ගිහි පිරිත් ගෙදරකදිම මම කාලා තියෙනවා..

  2. මාරයා කියා ඇති පරිධි අරක්කු වලට පොල් දැමීමට හැකි යැයි මමත් සිතන්නේ නැහැ. ඒක එහෙමමයි මාරයෝ, ඔබේ ලිපියෙන් එය ඔප්පු වෙනවා. නිහාල් පොල් ගසෙන් විශාල ඖෂධ ප්‍රමාණයක් නිපදවනවා. ඒක පත්තුවලට ගන්න තැන සිට නවීන ක්‍රමයට පෙති කරල් නිපදවීමටත් වැදග්ත්.
    ලංකාවේ පොල් ගහට වැඩේ දෙන්න උදව් වුනේ එක්තරා සුප්‍රසිද්ධ මහාචාර්ය්‍ය වරයෙක්. එතුමාගේ කටේ තිබ්බේ පොල් තෙලින් හෘද රෝග හැදෙනවා කියන එකමයි. ඒක හේතුවක් කරගෙන තමයි අපේ අයියලා පොල් වතුවලට වැඩේ දුන්නේ. හැබැයි කරුමේ ක්යන්නේ මෙතුමා මිය පරලොව ගියෙත් පොල් නොකාම හෘදරෝගයෙන්. තවත් දෙයක් ඇමරිකානුවන් සොයා ගත්තා පර්යේෂණ මගින් පොල් හෘද රෝග වලට හේතු නොවන බවත්, අනෙක් තෙල්වලට වඩා හෘදයට හිතකර බවත්, වැඩිපුර ගත්තොත් පමණක් හානිකර විය හැකි බවත්. අනේ ඒ වෙනකොට අර අපේ මහාචාර්ය්‍ය තුමා දෙව්ලොව ගොස්, රටේ පොල් ඉඩම් වැඩිහරියකුත් ඉවරයි. මිනිස්සුත් වෙන වෙන තෙල් වලට පුරුදු වෙලා. ඔන්න ඔහොමලු වුනේ.

  3. මාරයා... පවසයි:

    ඔය අරක්කු වල පොඟවපු පොල් කතාව මාත් අහලානං තියෙනවා..ඒත් කවදාවත් එහෙම දෙයක් දැකලා අත් විඳලා හෝ එහෙම අත්දැකීමක් ඇත්තටම ලබපු කෙනෙක් ගැනනං අහලා නැහැ. ඕක ඇත්ත කතාවක්නං මට පොඩ්ඩක් හරි දැන ගන්න නොලැබී තියෙන්න විදියකුත් නැහැ මොකද පිරිත් කියන්ට මං ලංකාවේ නොගිය පළාතක් තියෙනවනං ඒ උතුරු හා නැගනහිර පළාත් විතරයි. නැගෙන හිරත් පිරිත් නොකිව්වට මට පන්සල් එක්ක සෑහෙන තරමක සම්බන්ධකම් තිබුනා… ඒ එක පළාතකදීවත් ඔය සම්බන්ධව අහන්න දකින්න ලැබුනේ නැහැ… මමත් සති පිරිත් ඇතුළුව පිරිත් පිංකං පන්සීයයකට වඩා වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වෙච්ච මනුස්සයෙක්… මං හිතන්නේ දැනට ඔහොම දෙයක් වෙනවනං ඒ ප්‍රමාණය ඇති හෝඩුවාවක් දැන ගන්න.. ඔය පොල් හා අරක්කු සම්බන්ධ කතාව මට අහන්න ලැබුනේ ගිහියන් කිහිප දෙනෙක් අතින් පමණයි. ඒ කිසිම කෙනෙක් ඒ සම්බන්ධව ඇත්තක් දැනගෙන කිව්ව අය නෙවෙයි.. නිකං කට මැත දොඩවන කොට කියපු දේවල් විතරයි.දන්නේ නැද්ද සමහරු ආසයිනේ නිකං ඔහොම ටෝක් දෙන්න ඇත්ත නැත්ත කොහොම උනත්… ඒ හින්දා ඒ ගැන එයිට එහාට කියන්න දෙයක් නැහැ…

    ඊ ළගට අර බෝගස් ගැන කියනවනං ඕකේ නියම නම වෙන්නේ “ඇසතු” ඒ වගේම තමා බෞද්ධ කතාවලට අනුව ඒ ඒ කාල වලදී බුදුවන බෝධිසත්වයින් වහන්සේ කෙනෙක් යම් කිසි ගහකට පිට දී බුදු වීමෙන් පසුව එම බුද්ධාන්තර කාලය අවසාන වන තෙක් එම ගහේ වැඩක් ගැනීමට ඇති හැකියාව නැතිව යනවා කියන දේ… ඔය ඇසතු ගෙඩි දැන් කන්න පුළුවන්ද..? ..නිකං ඇට ඇට පිරිච්ච චූට්ටං ගෙඩි විතරයි.. ඒත් බුදු වෙන්නට ප්‍රථම සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ඇසතු ගස් මුල වැටුන ගෙඩි ආහාරයට ගත් වග සදහන් වෙනවා… ඔය විදියට අට විසි බුදුවරයාණන් වහන්සේලා විසින් විවිධ ගස් තම බුද්ධත්වයේදී පිහිට ආධාර කොටගෙන බුදු වී ඇති බව සඳහන් වෙලා තියෙනවා..ඒ අතර නුග..සල්..නා..උණ.. විතරක් නෙවෙයි මේ කෙසෙල් ගහකුත් තියෙනවා… ඇත්තටම ගසේ ප්‍රයෝජනයට ගැනීමේ ශක්තිය නැතිව යන්නේ ඒ හරහා එම ගසට සිදුවන හානිය අවම කිරීම පිණිසය කියලා තමා ඔය සම්බන්ධව මාව දැනුවත් කල කළුතර ප්‍රදේශයේ ආරණ්‍යවාසී දැන උගත් භික්ෂුන් වහන්සේ නමක් මමත් ඔය වගේම පුරස්නයක් උන්වහන්සේගෙන් අහපු වෙලාවේ මට කියලා දුන්නේ…

    • Nihal Gurusinghe පවසයි:

      අපේ ගමේ පන්සලේ හිටපු හාමුදුරු කෙනෙක් කියනවා මගේ කනටම ඇහිල තියෙනව ” පොල් කෑල්ලක්වත් හපන්න තියෙනවා නං හොඳයි” කියල.
      ඇත්තටම මාත් මේක දැකල නෑ.

      • මාරයා... පවසයි:

        හාමුදුරුවෝ එහෙම කිව්ව හින්දා සමහර විට මොනවා හරි දෙයක් එතන ඇති… ඒත් නිහාල් අයියේ මං දන්න කිසිම තැනකදීනං ඔහොම දෙයක් වෙලා නැහැ… අනික දැන් තියෙන පහසුකං එක්ක පොල් මොකටද..? ඊ ළග දේ තමා මණ්ඩපයක් ඇතුලේ අරක්කු බින්දුවක් තිබුනත් පට ගාලා ගඳ දැනෙනවා අහල පහලට… එහෙම තියෙද්දී එහෙමත් කෙනෙක් තමා ඔය වැඩේට බය නැතිව අත තිබ්බොත්…

        තවත් දෙයක්… ඔය පිරිත්වලදී හුග දෙනෙක් ගැම්ම ගන්නේ බුලත් විටෙන්… ඒත් ඇත්තමට ඔය මෙලෝ මඟුලක් ඕන නැහැ ඒකට.. මං කියන්නේ අවුරුදු පහක සම්පූර්ණ අත්දැකීම් ඇතිව… මාත් මුලින්ම අග අල්ල අල්ල හිටලා පොත කියෝලා පස්සේ ආටා නාටිය හමාර දේසනාවට බැහැලා… අන්තිම කාලේ වෙනකොට පිරිතේ එක්ස්පර්ට් අංගය වන සූත්‍ර දේශනාවට බැහැලා හිටිය කෙනෙක්… ලංකාවේ එක පළාතක නායක හිමිනමකගේ තිබුන බොහෝම ලේසියෙන් කෙනෙකුට ඇතුලත් වෙන්න බැරි අංශුමාත්‍රයකවත් වරදක් කියන්න බැරි පිරිත පිරිතක් හැටියට කියන නිතී රීති කප්පරකට ති‍බුන පිරිත් නඩේක දොලොස් දෙනෙකුට ඇතුලත් උන ලාබාලම සාමාජිකයා මං.. මං ගාවට බාල හිමි නමක් හිටියේ අවුරුදු 48ක හිමි නමක්..ඒ 12 දෙනාගෙන් නායක පට්ටමක් නැතිව හිටිය එකම පොඩි එකාත් මං… ඔය කාරණය හින්දා පිරිත්වලට අනිත් හාමුදුරු කෙනෙකුට නොලැබෙන තරමේ අවස්ථාවන් රැසක් මට ලැබුනා.. ඒ හින්දයි මං මගේ විශ්වාසේ පිහිටලා කිව්වේ ඕක මං දන්න තරමින්නං සිද්ධ වෙන දෙයක් නොවෙන කාරණාව…

        “හිල් කරන ලද පොල් ගෙඩියක වතුර ඉවත් කොට කොට ඒ තුළට අරක්කු බෝතලයක් දමා දවසක් තැබූ විට අර අරක්කු පොල් මදයට උරා ගැනේ. පසුව පොල් ගෙඩිය බිඳ , මදය හීනි කැබලි වලට කපා පීරිසියක තියා කාටත් හොරෙන් රෑ එළි වෙන තුරු පිරිත් කියන ස්වාමීන් වහන්සේලාට පිළිගන්වයි. පාන්දර යාමේ යකුන් එළවීමට ටිකක් හයියෙන් ආටානාටිය කීමට අවශ්‍ය බලය සපයන්නේ මේ පොල් කෑලිය.”

        නිහාල් අයියා මේකේ ලියනකොට ගන පිහිටවලා ලියලා තියෙන්නේ මේක අනිවාර්යය අංගයක් හැටියට වගේ නිසයි මං මේ කතාව කිව්වේ… එහෙම නැතිව නිහාල් අයියා යථාර්තවාදියෙක් නෙවේ කියන්න නෙවෙයි..කොහොම උනත් නිහාල් අයියත් හාමුදුරුනමකගෙන් අහපු කතාවක් ඇර ඒ තරම්ම විශ්වාසයෙන් ලියන්න තරං මේ ගැන කරුණු දන්නවයි කියන්න දෙයක් මේ හරහා පේන්නනං නැහැ.. එ හින්දා පොඩ්ඩක් ඒ වගේ දේවල් ගැන ලියද්දි දෙපාරක් හිතනවං හොඳයි කියලයි මං හිතන්නේ.. මොකද සමහර චෝදනාවල ඇත්තක් තිබුනත් අද සමාජයේ ගිහි උදවිය පණ පිහිටවලා කියන හුගාක් චෝදනා සාසනය සම්බන්ධව අතිශෝක්ති විතරයි කියලා මං දන්න හින්දයි… සීයයකට එකක් දෙකක් කරන වැඩ වලට ගහන්නේ අර ඉතිරි සීයයට එයින් වෙන හානිය ගැන සලකා බලලා නෙවෙයිනේ… මට ගිහි සමාජයයි සාසනික සමාජයයි කියන දෙකේම ඇසුර තියෙන හින්දා මට ඔය ටික ගැන සෑහෙන තරමක් අවබෝධයක් තියෙන හින්දා මේ ටික කිව්වේ එහෙම නැතිව වෙන කිසිම දෙයක් හින්දා නෙවෙයි.මං බොහෝම ආසාවෙන් කියවන බ්ලොග් කීපය අතර තියෙන එකක් මේ බ්ලොග් එක.. ස්තූතියි.

        • Nihal Gurusinghe පවසයි:

          මාරයා… මගෙත් සහෝදරයෙක් ඉන්නවා නිතරම ගිහි පිරිත් වලට සහබාගි වෙන. එයත් ඔයවගේ කතාවක් කියල තියෙනවා. ඇත්තටම මම දැකල නෑ. කතාවට යම් අංගයක් එකතු කළා පමණයි.. හැබැයි මේක ප්‍රසිද්ධ රහසක් ගානයි.
          කොහොම වුනත් ඔබ සමඟ මා එකඟයි. මා හැම ආගමකට ගරු කරන කෙනෙක්. හාමුදුරුවරුන් ගැන වැරදි වැටහීමක් දෙන්න උත්සාහ කළා නෙවෙයි.
          ඔබට ස්තූතියි.

    • මාරෙ . . . මම කරල තියනව වැඩේ. .. . හැබැයි හාමුදුරුවන්ට දෙන්න නෙමේ . . . උසස්පෙල පංති යනකාලෙ . . සොමියට

      කොප්පරේකට දැම්මොත් නියමෙට බඩු එනව. අරක්කු බෝතලයක් දැම්මට වැඩක් නෑ . . . උරාගන්නෙ ටිකයි. අනික එක දවසින් බෑ . . .දවස් කීපයක් යනව

      • මාරයා... පවසයි:

        අන්න ඒක ටිකක් පිළිගන්න පුළුවන්..උඹ වගේ නසරානියෙක් කිව්ව හින්දා.. කොහොමත් මං දන්නවා පොල්වලට ලේසියට දෙයක් උරන්නේ නැති විත්තියනං..එකම දෙයයි පොල්වලට ටිකක් හරි උරන්නේ ඒ විනාකිරි..ඒත් පොල් මෙලෙක් වෙනකල් විතරයි..එතනදී වෙන්නෙත් පොල් තැම්බෙනවා වගේ දෙයක් විතරයි… අරක්කුවල තියෙන වාෂ්පීකරණ ස්වභාවය හින්දා තරමක් දුරට උරන්න හැකියාව තියෙනවා.. ඒත් බෝතල් ගණන්නං කීයටවත් උරන්න විදියක් නැහැ… කොට්ට පොල් උනත් උරනවට වඩා තැම්බෙනවා වෙන්න ඕන මොකද කොට්ටපොල්වල තෙල් ගතිය අධිකයි.. තෙල්වලට කොහොමද බං තව දෙයක් උරන්නේ ලේසියකට…අර ජයල ඉවත් වෙලා වේලිලා තියෙන හින්දා බොහෝම සුළු වශයෙන් උරලා කොප්පරා මෙලෙක් ගතියක් එන්නනං පුළුවන්.. ඒත් කාලා වෙරි වෙන්නනං පුළුවන් කියලා මං හිතන්නේ නැහැ…

  4. Alchemiya පවසයි:

    මගේ ඥාති සහෝදරයෙක් හිටියා ඌට සිංහල හරියට ලියා ගන්න බෑ…
    මූ දෙකේ පන්තියේදි පොල් ගස ගැන රචනය පටන් අරන් තිබුණේ..
    “පෙල් ගස තාර වල්ගයට අයත් ගසකි“ කියලා….
    දවසක් මාණ්ඩලික හෙදි කෙනෙකුට ලියුමක් තැපැල් කරලා තිබුණා “මාණ්ඩලික හොදි“ කියලා…

    ගිං ගඟ යෝජනා ක්‍රමයට වේලි බඳින්න ලංකාවට ආපු චීන්නු පොල් ගෙඩියේ වතුර ඉවත් කරලා ඒක ඇතුළට කම්බි පණුවෙක් දාලා සතායකින් විතර ඌ එළියට ගන්නවා.. පොල් කාලා කාලා කම්බි පණුවා ඌරෙක් වගේ මහත් වෙනවා… ඊට පස්සේ ඌ උයලා හරි බැදලා හරි කනවා… ඉස්සර ගමේ කොල්ලො කරන්නේ කුණ් ගොඩවල් අවුස්සලා චීන්නුන්ට කම්බි පණුවෝ ගිහින් දීලා සල්ලි ගන්න එක..

  5. praveena පවසයි:

    මෙහෙම පොල් කතා ගොඩාක් ඇහුවමයි. පොල් ගහ තාල වර්ගයට අයත් බව, පොල් ගාලා සම්බෝල හදනබව, කිරි අරගෙන හොදි හදනබව නම් දැන හිටියා.

    කතන්දර (කකා) කීවම මතක් උනේ, අර පෝරුවෙන් බහිනකොට පොල් බිඳින්නේ. පොල් බෑ දෙකම උඩු අතට හැරිලා තියනකොට හම්බවෙන්නේ පිරිමි ලමයිලු. ‘මැනිකා’ තමා කීවේ. ඇත්තද දන්නේ නෑ…:D

  6. Observer පවසයි:

    ” නිහාල් අයිය ගලෙන් පොල් කාලා”

    නිහාල්ට, එලොව පොල් පේන්න , ගමේ කෙල්ලො වෙන මොනවත් නොකීව එක ලොකු දෙයක්,මගුල් දවසෙ.

  7. kathandarakaraya පවසයි:

    මිසින් ඉන් ඇක්ෂන්
    1. පලි ගසා පොල් ගැසීම
    2. පෝරුවෙන් බහින විට පොල් ගෙඩියක් පැලීම

  8. kathandarakaraya පවසයි:

    පොල් ගෙඩියට පොල් අරක්කු දැමූ විටද පොල් පොල් පොපොල් කියන්නේ?

    මං ඔය පිරිත් කතාව අහලා තියෙනවා. හැබැයි නිච්චියටම දන්නේ නෑ. කවුරු හරි ඉන්නවාද මෙහෙම පොල් හදලා දීලා තියෙන කෙනෙක්?

  9. Gimhani පවසයි:

    නිහාල් අය්යගේ ලිපිය බලා එලොව පොල් පෙනුනි. ඒත් එලොව පොල්වල තේරුම නොදනී..
    දන්නේ මෙලොව පොල් පමනි…

  10. මතක ගොඩක් ඇවිස්සුනා මේක කියෙව්වම..ඉස්සර අම්ම පොල් බිදිනකොට පොල් වතුර බීපු එක. මාතර ගියාම කිතුල් පැනි එක්ක පොල් කාපු එක…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )