මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.


” Good night- sweet dreams ” පෙම්වතිය පෙම්වතාගෙන් සමු ගන්නා විට පවසයි. ඒ නැවත වරක් සිහිනෙන් හෝ එකිනෙකා හමුවීමේ අභිලාෂයෙනි. ” සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්.. අවදි නොවී ඉන්නම්” කියන්නේ එනිසාය.

සිහින නොදකින හෝ නුදුටු අයෙක් නැත. අපේ මහ වෙදනා ඇතුළු පෙරදිග වෙදැදුරන් කියන්නේ සිහින පෙනෙන්නේ තුන්දොස්- වා.. පිත්.. සෙම්.. කිපීමෙන් බවය.

මායා දේවියද සිහිනයක් දුටුවාය.

අපරදිග ප්‍රාඥයන් කියන්නේ ඒ උප මනසේ ඇතිවන සිදුවීමක් කියාය.

ධනවත් කොල්ලෙකුට පෙම් කළ දුප්පත් කෙල්ලක් ” මං මේ දකින්නේ හීනයක් නෙවේ නේද ? එහෙමනම් ඒ හීනෙන් මාව නැගිට්ටවන්න එපා” යයි මා කියැවූ බොළඳ නව කතාවක විය.

” මම ලස්සන හීනයක් බල බල හිටියෙ.. ඔයා මාව ඇහැරෙව්ව” සමහරදාට අපේ එක්කෙනා කියයි.
සිහින , නිසල රූප , චලන චිත්‍ර හෝ යම් අදසක් හෝ විය හැකිය.
සමහර හීන ලස්සනය.. සමහර ඒවා බියකරුය. තමා අදහන යම් ආගමක් මෙනෙහි කොට නින්දට යාමෙන් නපුරු හීන නොපෙනෙන බව වැඩිහිටියන් කියයි.

සිහින දකින්නෝ භාග්‍යවන්තයෝය. මක් නිසාද යත් සිහින පෙනෙන්නේ හොඳින් නින්ද ගිය විටය.
එහෙත් දවල් හීන දැකීම එක්තරා මානසික රෝගයක් ලෙසට මුල් කාලවලදී සැළකින. එහෙත් පසුව සොයා ගැනුනේ එමගින් මනසට යම් විදියක ව්‍යායාමයක් ලැබෙන බවය. ඒක ඇත්තය

මම දවල් හීන දකින්නෙක්මි. වරෙක මම හොලිවුඩ් නළුවෙක් වී බිකිනියක් ඇඳගත් සුරූපී ජෙනිෆර් ලෝපෙස් සමඟ මලිබු වෙරළේ අව්ව තපිමි.
තවත් විටෙක . අක්ෂේ කුමාර් මෙන් දිල් තෝ පාගල් හේ කියමින් මධුරිත් සමඟ රංගනයක යෙදෙමි

අප ළමා කාලයේදී අපේ සිත් පිරිසිදුය. මා කුඩා කළ හීනෙන් වතු උයන් වතු කඳු මිටියාවත් උඩින් පියාඹා ගොස් ඇත.
පොඩි උන් නින්දෙන් ඇහැරී අඬන්නේ අර ලස්සන හීන නොපෙනී ගිය නිසාය.

වරෙක මම ලංකාවේ ජනාධිපති වුවොත් රට හදන හැටි සිහින දකිමි.
එකිනෙකා මරා ගන්නා ජඩ දේශපාලනය නැති කොට ගරු කටයුතු සමාජයක් – රටක් හදන හැටි සිහින දකිමි.
යටගිය දවසක අපේ ගම් පළාතේ උත්සවයක් වීය. ප්‍රජා ශාලාව , දිස්පැන්සරිය , සමූපකාර ගොඩනැගිල්ල , පන්සල පුස්තකාලය විවෘත කිරීමයි ඒ. ප්‍රධාන අමුත්තා වූයේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාය.
හුරුබුහුටි , හුරතල් කොලු පැටියෙකු වූ නිහාල් ගුරුසිංහ එතුමාට මල් මාලයක් පැළඳවීමට බලා සිටියේය. ඔහු ඉස්සරහට ගියේය. එතුමා යෝධයෙක් බඳුය. බලා හුන් අය සිනා සුනහ. පොඩි එකා ඇඟිල්ලක් කටේ ගහ ගෙන තම පියා දෙස බැලීය. මල් මාලය දැමීමට ඔහු උස මදිවාය. තාත්තා පොඩි එකා ඔසවා ගත් විට එතුමා ඔලුව මදක් පාත් කළේය. එතුමා පොඩි එකාගේ ඔලුව අත ගා මොනවාදෝ මිමිණුවේය.
ඒ ” ෂෝක් පොඩි එකා ” කියා වෙන්න ඇති.

ඒ දේශපාලන මහත්වරුය.
එතුමා මිය යන තෙක් අවිවාහකව සිටියේ ගැහැණුන් ඇලර්ජික් නිසා නොව වෙනත් හේතුවකටය. මිය යනවිට ඔහුගේ ගිනුමේ රුපියල් හත්සිය ගානක් වූ බව පත්තර වල පළ විය.

මදක් උස් මහත්වූ දාක දෙමාපියන් සමඟ කලු සුදු බයිස්කෝප් එකක් බලන්න ගිය ගුරුසිංහ , තිරයේ නාමාවලිය දිග හැරෙද්දී ” ගරු රඟපෑම්” යන වචනය දැක ඒ ගැන පියා ගෙන් විමසුවේය.

” සමහර විට නිෂ්පාදක හෝ අධ්‍යක්ෂක අඳුරන අය හිතවත් කමට මුදල් අය නොකර රඟ පානවා.
සමහරු ප්‍රසිද්ධියට , සමහරු ක්ෂේත්‍රයට පිවිසීමට මුදල් අය නොකර රඟ පානවා” පියාගේ උත්තරය වීය.

එදා දේශපාලනය ” ගරු ” කටයුතු ක්‍රියාවකි. එහෙත් අද එය විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් නොහොත් සිතූ පැතූ සම්පත් දෙන කල්ප වෘක්ෂයකි. එම සම්පත් ලබා ගැනීමට තම විරුද්ධ පිලේ එකා ගේ පමණක් නොව තම හිතවාදියා ගේ වුව බෙල්ල කපා දැමීමට සිදුවේ.

ඒ සඳහා දාමරිකයන් . මිනී මරුවන් ඇසුරු කිරීමට සිදුවේ.
ඒ නිසාම සතුරන් ඇතිවේ.
එදා ඩඩ්ලි අපේ ගමට එනවිට කොට කලිසම් ඇඳි පොලිස්කාරයන් දෙන්නෙක් පැමිණ සිටියහ. ඔවුන් අත බැටන් පොල්ලකට වඩා යමක් නොවීය. කළ යුතු දෙයක් නැති නිසා උන් දෙන්නා පැත්තකට වී වැනි වැනී සිටියාහ.
ඒත් දැන් පඳුරකට පයින් ගැසූවොත් හැටක් හැත්තෑවක් විසි වෙන සයිස් එකට ඉන්නා ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් ගමට එනවිටත් , විවිධ මාදිළියේ යුනිෆෝම්ධාරීන් , විවිධ මාදිළියේ ආයුධ රැගෙන එතුමන්ගේ රැකවළට එයි.

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

13 Responses to මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.

  1. Alchemiya පවසයි:

    මම “ඇයව“ හීනෙන් දකිනවා සමහර වෙලාවකට….
    ඒ, ඈ මට ලැබුනේ නැති නිසා… ඒ හිනෙ අවුරුදු 20 ක් විතර පරණයි… ඒත් හරිම රසවත්… මම ඒ හිනෙට හරිම ආදරෙයි… ඒ නිසා ඒ හීනෙ පරිඡේද කීපයක් හැම සතියෙම එක දවසක හෝ පේනවා… ඒ කාලෙ තිබුණ ඒ සුන්දර ලෝකෙයි ඒ සුන්දර හීනයි දැන් කාලෙ තරුණයොන්ට නැතුව ඇති…
    උන් බලන්නෙ කතා කළ පළමු දවසෙ ඉඳලම නිදි වදින්න නේ….
    මමත් අර රට හදන සුන්දර හීනෙ දැක්කා කාළයක්… දැන් මම හැදෙන්නේ කොහොමද කියන හීනෙ බලනවා…
    මම දැන් ඒ ඔක්කොටම වඩා ලොකු හීනයක් හැබැහින් දකිනවා… ඌ ඒ හීනෙ හැබෑ කරනකල් මම බලන් ඉන්නවා…

  2. Observer පවසයි:

    මගෙ යාලුවෙක් ඉන්නව,සිහිනෙන් පියාඹන. හරිම අපූරු අත්දැකීමක් කියල හිතෙනවා ඒක.

    නන්දා මාලිනි ගයන ගීතය කලින් වරක් හෝ අසා තිබුනත්, නැවත රස වින්දා.

    අපි පොඩි කාලෙය්, දැනුය් දේශපාලනේ කොය් තරං වෙනස් වෙලාද.

    ලිපියට සහ ගීතයට ස්තුතිය් නිහාල්.

  3. නදී පවසයි:

    මටත් කාලෙකින් හීනයක් පෙනුනේ නෑ.මට ඔනේ ටිකක් බය හිතෙන හීනයක් දකින්න.

  4. හීන නැත්නම් අපි අද කොහෙද ? මම නම් ඉන්නේ හීනම දකිමින්. අපි වෙන මොනවා කරන්නද? දැන් ඉන්න දෙශපාලකයෝ අපේ හීන දකින එකටත් ලෙඩක්දායිද දන්නේ නැහැ.

  5. Gimhani පවසයි:

    මාත් හිතන්නේ අපි රෑට දකින හීන වලට වඩා දවල් හීන වැඩි…ඉඩක් ලැබුන හැටියෙම කරන්නෙ අපි දවල් හීන දකින එක නේද…..

    • Nihal Gurusinghe පවසයි:

      මගේ යාළුවෙක් ඉන්නව. ලොතරැයියක් අරන් දිනලද නැද්ද කියල බලන්නෙ සතියකට විතර පස්සෙ. ඒක දිනපතා අදින ලොතරැයියක්.
      ” පහුවදාම බැලුවම ආතල් එක නැතිවෙනව මචං” මිනිහ කියනව. සතියක්ම අහස් මාළිගා හදනව. ඒකත් හරි එක අතකට. තාවකාලික වින්දනයක්.

  6. kathandarakaraya පවසයි:

    මා හැර අන් අයට සිහිසුන් සේ දිනක් මා නිදමින් සිටින විට දකින සිහින වැදේ ඇසිපිය හෙලා යූඑස්බී එකක සේව් කරගන්නට මට හැකියාව ඇති විය!

  7. praveena පවසයි:

    //වරෙක මම හොලිවුඩ් නළුවෙක් වී බිකිනියක් ඇඳගත් සුරූපී ජෙනිෆර් ලෝපෙස් සමඟ මලිබු වෙරළේ අව්ව තපිමි.
    තවත් විටෙක . අක්ෂේ කුමාර් මෙන් දිල් තෝ පාගල් හේ කියමින් මධුරිත් සමඟ රංගනයක යෙදෙමි//

    මෙන්න මේ හීනේ ටේප් කරලා බලන්ට තිබුනානම් කොච්චර අපූරුද?… 🙂

    මට හිතෙන හැතියට නම්, අපි හැමෝම රෑ හීන වගේම දවල් හීනත් බලන අය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )