අලියාගෙ ඉඳල පනුවා දක්වා ලිව්වා. ආයෙ මොක්කු ගැනද ලියන්නෙ කියල හිත හිතා ඉන්න කොටයි අර දෙන්න දාල ගිය , ඉබේටම මගෙ වුනු මාළු ටැංකිය දැක්කෙ. හිත කලබල වෙලාවට මාළු ටැංකිය දිහා ටිකක් වෙලා බලං හිටියාම අර කලබල හිත ටිකක් මෙලෙක් වෙලා ඉහිරිලා යනව. එහෙම නං අද ලියමු මාළු ගැන.
මාළු කියන්නෙ කට නිසා නහින ජාතියක්ලු නෙ. බිලි කොක්කේ නලියන පනුවා කන්ට ගියාම ඌ දන්නෙම නැතිව කොක්කෙ ඇමිණෙනව. ඒත් දැලට අහු වෙන මාළු නහින්නෙ කට නිසා නෙවි , මෝඩකම නිසා හෙවත් ඔළුවක් නැතිකම නිසා.
අපෙ එක්කෙනා දස්සයි මාළු ඔළු හොදි හදන්න.
මම කඩේ යන්න ලෑස්ති වෙන කොට මට කියනව ” ඒයි.. මාළු ගේනවනං ඔළු ටික වෙන ම ඉල්ලගෙන එන්න” කියල.
මං ඇහුව මාළුන්ට ඔළු කොහෙන්ද කියල. එකා පස්සෙ එකා ගිහින් දැලට රිංගනව. ඔළුවක් තියේ නං ඉස්සරහ එකාට වෙන දේ දැකල ඊලඟ එකා හැරිල එන්න එපායැ.
ඒක අහල එයා මාළුවෙක් වගෙ කට උල් කරල මොනවද කිව්ව.
මාළු ටැංකියේ හිටිය ගෝල්ඩ් ෆිශ් කෙනෙකුත් කට උල් කරල වායු බුබුළක් උඩ ඇරිය.
එයා මීන – මාළු ලග්නෙ. මම මේෂ – එළු ලග්නෙ. ඒ උනා බරණ ගනිතාචර්යතුමා කියන්නෙ මේෂ කියන්නෙ මේසෙට කියල.
” පෙර රැස නගා පලහා අන්තිම රාසී
යුග රැස වන් දනෝ
පස් රැස මෙන් දොඩවයි වාසී” ඒ රාශි දොළහ ගැන. වැඩි විස්තර අපේ වෙදනා තුමන් ගෙන් දැන ගන්ට පුළුවන් . ලංකාප්රියත් දන්නව ඇති.
ගෑණු අයගේ ඇස් දිගටි නිසා මාළුවන්ට උපමා කරනව. ඉස්සර හින්දි නිළියක් හිටිය මීනාක්ෂි කියල. පව්.. දැන්නම් හොඳටම නාකි ඇති.
” මීන නුවන් යුගින් බලන් මීනා” කියල වික්ටර් රත්නායක ගයන ගීයකුත් තියෙනව.
අපේ පළාත්වල මාළු කියන්නෙ මාළු පිණි නැත්නම් වෑංජන වලට. රට මැද්දෑවට වෙන්ට තියෙන ගොඩේ ගම් වලට මුහුදු මාළු යන්නෙ නැති නිසා වෙන්නැති ඒ.
පොළොස් මාළුව , අඹ මාළුව , අන්නාසි මාළුව , හත් මාළුව.. හැබැයි ආන මාළු කියන්නෙ කෙසෙල් ජාතියක්.
මාළු ප්‍රධාන වර්ග දෙකයි.
කරදිය මාළු :
මුහුදේ ඉන්න , තෝරු , මෝරු
මිරිදිය මාළු
වැව් මාළු , ගඟෙ මාළු , වෙල් මාළු
ඊට මතරව ටිං මාළු , ෆෝමලින් දැමූ මාළු , අයිස් දැමූ මාළු.
මිරිදිය මාළු වල කටු ටිකක් වැඩියි. පිළී ගඳත් ටිකක් වැඩියි.
” මානෙල් සුවඳමය
කුඩමසු පිළී ගඳමය” කුඩමැස්සත් මිරිදිය මාළුවෙක්.
ආන මාළු වගේ නෙවේ ආඳ මාළු. ලිස්සනව. ආඳ මාළු ඉරට්ටෙන් කෑව වගේ , ආඳා යවා තබාලා වල් පත ගත්තා වගේ කියල ප්‍රස්තා පිරුළු තියෙනව. සමහර මිනිස්සුත් ඉන්නව ගල් ආඳො වගේ ලිස්සල යන.
ආඳ මාළු ලිපේ අළු යට පුච්චල හොඳයිලු ඔයා බවලතුන්ගේ මොකක්ද ලෙඩේකට. නදීලට , ගිම්හානිලට , ප්රවීනලට ඕක සහසුද්දෙන්ම දැනගන්න පුළුවන් වෙදනා තුමාගෙන්.
පුංචි හාල්මැස්සගෙ පටන් තල්මහ දක්වා මුහුදෙ ඉන්න මාළු විවිධාකාරයි. පොඩිම එකා ඊලඟට ටිකක් ලොකු එකාගෙ ආහාරය වෙනව. ඌ , ඊට ටිකක් ලොකු එකාගෙ ආහාරය වෙනව. ඊට අමතරව මුහුදු පැලෑටි කාල මාළු ඉබේටම ලොකු වෙනව. ඒ උනාට මාළු කාරයො අපිට මාළුවල ගණන් කියන්නෙ හරියට කන්ට දීල ඇතිකරල වගේ. එතකොට තමයි ඇඟේ මාළු නටන්නෙ.
මොනරමාළු උඩහල්ලේ තියෙම් මා
අපට මාලු අලකොල දෙයි කුඩම්මා
https://nihalw.wordpress.com/2012/01/02
මා කුඩම්මලා ගැනත් ලියා ඇත.
මාලු ඔලු කන්න මම් නම් ආස නෑ.ඒකට අපේ අක්ක එයා හරිම ආසයි මාලු ඔලු කන්න(බලයෝ,කෙලවල්ලො වගේ ඉව්වම).
මම් දන්න කෙනෙක් ඉන්නව.එයා ගොඩක් ආස මාලුවන්ගෙ ඇස් කන්නලු.මටනම් අප්පිරියයි.
හාල්මැස්සො ඔලුත් බැදලා හෝදලා සම්බෝලෙට අඹරලා ගත්තම රහයි ලු.මම් කාලා නම් නෑ.
මම් ආසම මාලු තමා ලූල්ලු.ලුල්ලු මිරිසට උයලා,සම්බෝල,සුදු කැකුළු බත් එක්ක කන්ඩ පුලුවන් ආය බඩ පැලෙනකම්.මතක් වෙද්දි කටට කෙල උනනනව.
මාත් කැමති මාළු ඔළු කන්න. සුදු නෑදෑයන්ට වැඩිය පුරුදු නෑ මාළුවා සම්පූර්ණයෙන් හදලා මේසයට තිබ්බා ම!
බවලත් අයට මාළු තෙල් තමයි දෙයියන් දුන්න මාසික තෑග්ග ක්‍රමවත් කරන්නෙ. ආඳ මාළු වෙන්න ම අවශ්‍ය නැහැ.