ඉස්සර අපේ ගෙදරට සිල් මෑණි කෙනෙක් එනව ඉඳ හිට. මොනව හරි වළඳල , බණ කතාවකුත් කියල , ගානකුත් කඩා ගෙන යනව.
” ඉතින් උපාසකම්මේ , අප මහ බෝසතාණන් , වඳුරු ආත්මයක උත්පත්තිය ලබල, වඳුරු රංචුවේ නායකයා වෙලා ඉන්න කොට …”
ඔන්න ඔහොම තමා කතාව පටන් ගන්නෙ.
” අප මහ බෝසතාණන් ඔය විදියට එක එක ආත්මවල ඉපදිල , ඉහේ කෙස් ගානට ඇස් , මස් , ලේ දන් දීල ඇති”
මගේ ප්‍රශ්නෙ උන් වහන්සේ එක ආත්මයකවත් පනුවෙක් වෙලා ඉපදිල තියෙනවද ?
අපේ නැටුම් කලාවෙ වන්නම් 18 ක් තියෙනව. විවිධ සතුන්ගෙ හැසිරීම් රටාව ආශ්රයෙන් නිර්මාණය වූ. අලියා , නයා , අශ්වයා විතරක් නෙවේ මැඩියා ගැන පවා. ඇයි පනුවා ගැන වන්නමක් නැත්තෙ ?
මෙන්න මා හැදූ පනුවා වන්නම.
තානම: තනාම් දෙනත් තම් දෙනාත් තනම් දෙන තනාම් දෙනාත් තානා.
බෙර පදය : තකට තකට තක් තරිකිට –
තරිකිට තෙයි- තරිකිට තෙයි
ජිංගත් තරිකිට – කුන්දත් තෙයි.
කවිය : ගුලෙන් ගුලට වැද ලැගුම් සොයා හිඳ
ගුල තුලම නිදතෙයි
හොරෙන් එබී බලතෙයි
ගිමන් නිවා යළි හෙමින් හෙමින් ඇදෙතෙයි
අහන මහතුනි පනුවා වන්නම
සියක් නහර පිනතෙයි.
නංගී බලන්න ආ මනමාලයන් කීප දෙනෙකුගෙන් අන්තිමට ආ එකාගේ ජාතිය , කුලය , ආගම ,රැකියාව , වයස සියල්ල සම්පූර්ණ වුනත් , ” එයා පනුවෙක් වගෙ අම්මේ ” නංගී කීවාය.
” ටිකක් උස නම් වැඩියි තමා”
” නෑ බලන්න ඇඹරෙන හැටි කතා කරන කොට”
පනුවන් ඇඹරෙන්නේ උන්ට අස්ථි පංජරයක් නැති නිසාය.
කුඩා ළමුන් පිරිසක් පනුවෙකු අල්ලා ගෙන ඌට යමක් කරමින් සිටියා. එය දුටු සීයා;
” මොකද ළමයි , උඹලා ඔය සතා මරන්න හදනවද ?”
“නෑ සීයේ අපි මූ ආපහු ගුලට දාන්න හදනව”
“ඒක කරන්න බෑ , පනුවා කියන්නෙ දුර්වල සතෙක්”
” සීය රුපියල් පහකට ඔට්ටු අල්ලමුද”?
” හා”
මැරෑටි කොල්ලෙක් වහා ගෙට දුව ගොස් හෙයා ස්ප්‍රේ එකක් ගෙනවුත් පනුවාට විද්දේය. මොහොතකින් ඌ දිග ඇදී ටිකක් ස්ටිෆ් විය. ඉන්පසු පහසුවෙන් ඌ ආපසු ගුලට යැවීමට හැකිවිය.
” හරි හරි උඹල දිනුම්”
පනුවන් වර්ග රාශියකි.
මිනිසා ඇතුළු ක්ෂීරපායියන්ගේ සිරුරු තුල ජීවත්වන පරපෝෂිත පනුවන්,
පටි පනුවා , කොකු පනුවා , වට පනුවා.
පොළව මතු පිට ඉන්නේ බිම් පණුවන්ය. ගස් වල ඉන්නේ කඳන් පනුවන්ය.
නරකම එකා කිරි පනුවාය. ඌ සිටින විට කැසිල්ල ඇතිවන තැන ප්‍රසිද්ධියේ
කැසිය නොහැකි නිසා අපහසුවෙන් ඇඹරෙන විට , ” මොකද පනු ගායද?” කියා වැඩිහිටියන් අසයි.
අප කුඩා කල මාස තුනකට වරක් අයියදුරේ දොස්තර මහතා ළඟට එක්ක යන්නේ මරන්ට ගෙන යන හරක් වගේ ” හිස් බඩ” ය. ඒ කිරි පනුවන් , වට පනුවන් , කොකු පනුවන් වැනි කුඩා බඩවැලේ එල්ලී සිටින පනුවන් හැලෙන්ට ” ඇන්ටිපා” අරන් දීමටය. තිත්තම තිත්ත බෙහෙතක් වන එය එක උගුරට බිවූ පසු ග්ලූකෝස් හැන්දක් දෙකක් ලැබේ. ඒත් අර “කාරම්” ගතිය යන්නේ නැත.
කුරා කූඹියෙකුටවත් හිංසාවක් නොකරන අත්තම්මාගේ බුලත් පාත්තියේ හොඳින් පීදී ගෙන ආ බුලත් දළු කිසිවෙක් හොරෙන් කපා ගෙන ගොස් ඇත.
” මුන් කුණු පනුවො ගහල මැරෙන්න ඕන” අත්තම්මා දෙස් තිබ්බාය.
කුණු පනුවො ගහන්නේ මැරුනාට පසුවය. මළ සිරුරක් වල දමා සති තුනක් ගිය පසු ඕපපාතිකව උපදින කුඩා පනුවන් මළ සිරුර වට කර ගනී.
අපේ ගමේ මහතුන් අයියාගේ බිරිඳ සුසිලා අක්කා පවුලේ ප්‍රශ්නයක් නිසා නිදිපෙති අහුරක් බී දිවි නසා ගත්තාය. කිසිවෙක් යැවූ පෙත්සමක් නිසා මාසෙකට පසුව මළ සිරුර ගොඩ ගැනින. කිසිවක් නොවී මළ සිරුර ඒ විදියටම විය.
” තාත්තෙ.. නිදි පෙති වල සැරට පනුවන්ටත් නින්ද ගියාද දන්නෙ නෑ”
” බූරු කතා නොකිය ඉඳපන්” තාත්තා මට සැර විය.
පොළව යට ජීවත් වන පනුවන්ට වෙන වෙනම පුද්ගල නාම නැත. උන් ඔක්කොම පනුවෝය.
දිනක් ගමනක් යන්ට ලක ලෑස්ති වෙනු දුටු පනුවෙකුගේ බිරිඳ ” කොහෙද මේ හැඩවීලා යන්න හදන්නෙ ?” කියා ඇසීය.
යාබදව හුන් වෙනත් පනුවෙකු සිතුවේ ” හැඩවීලා” කියන්නේ අර පනුවාගේ නම කියලාය. එතැන් සිට ඌ හැඩවිලා වී පසුව ගැඩවිලා විය. ඌ ජීවත්වන ගුලද ” ගැඩ විලා” විය.
ගැඩවිලා පස බුරුල් කරමින් පසේ වාතාශ්‍රය වැඩි කරන නිසා ගොවියාගේ මිතුරෙකි.
සිල්ක් වර්ම් හෙවත් පට පනුවා ගොතන නූල් වලින් වටිනා සේද රෙදි නිමාවේ.
මේ පට පනුවාත් , ගැඩවිල් පනුවාත් හැර සෙස්සන් ගෙන් අවැඩක් මිස වැඩක් සිදු නොවේ. රාත්‍රී කාලයේ ගුල් වලින් එළියට උන් බව බෝග විනාශ කර දමා එළිය වැටෙන්ට කිට්ටුව ආපසු ගුල් වලට රිංගා ගනී.
ඒ පනුවන් අල්ලා ගැනීමට නම් අර්ලි බර්ඩ්ලා එළිය වැටෙන්ට පෙර යායුතුය.
අඩේ ඉඳල ඉඳල හිතන්නේ වත් නැති උන් ගණන් නේ ලොක්ක ලියල තියෙන්නේ…. මරු පණු කතා ටික…
පණු වන්නම නං මරු
හෙයාර් ස්ප්‍රේ කතාව කියෙව්වම “වයග්‍රා” ගහපු නයාගෙ කතාව මතක් වුනා.
වැරදිද මන්ද නිහාල්, මට මතක තිබ්බෙ “ඇන්ටිපා” පැණි රහ සිරප් එකක් වගෙ.
” තාත්තෙ.. නිදි පෙති වල සැරට පනුවන්ටත් නින්ද ගියාද දන්නෙ නෑ” ඒකත් නියම කතාව.
මුළු පෝස්ට් එකම නියමය් නිහාල්.
මටත් ෂුවර් නෑ. ඇන්ටිපා වගෙයි මතක. හැබැයි මාර තිත්තයි.
මැලේරියාවට දුන්නු ක්විනීන් කියන ජාතිය නං හරිම තිත්තය් කියල අහල තියෙනව, අපිට ඒක දුන්න කියල මතකක් නං නැහැ
හික් . . . ඔබ්සර්වර් අයියට දෙන්න තිබුනෙ ක්විනීන් නෙමේ . . . . මී පාසානං
හැටි විතරක් පණුවෙක් වගේ, කනවකො ඔය කටු සරීරෙට මස් ටිකක් දාන්න…… [හැමදාම උදේට කන්න ගියාම අපේ තාත්තා…]
සාඩීනියාවේ Casu marzu කියන චීස් වර්ගය පනුවන් සහිතවම ආහාරයට ගන්නේ. පණුවන්ගෙන් සුවිශේෂී රසයක් එනවාලු.
<img src="http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Casu_Marzu_cheese.jpg/290px-Casu_Marzu_cheese.jpg"
පනු වන්නම නම් මරු…!
හැම වෙලාවෙම ගෝරියට යන පනුවන්ට කියන්නේ “කොකු පනුවා” කියාය..
කැමති කැමති පැත්තට ඇට නැති දිව නැමෙන නිසා ද කොහෙද දෙවියන් වහන්සේලා අපිලාට කියන්නේ “නර පනුවා” කියාය…
අපොයි අදයි පනු වන්නම ගැන ඇහුවේ. හැබැයි පනුවො අපේ ජීවිතේට කොච්චර සමීපද?
ඇත්තටම ඇයි දන්නෙ නැහැ. පනුවට අසාධාරනයක් කලේ?
නයි වන්නමට කොස්ටියුම් ඩිසයින් කරන එක නම් ලේසී.රෙද්දක් අරන් බටයක් වගේ මහන්නනේ තියෙන්නේ.
අපේ අම්මත් අය්ය ගෙදර ආව මුල්ම දවසේ මදැයි හොයාගන තියන එකා හරියට පනුවෙක් වගේ කිව්වා.එයා කෙට්ටුම කෙට්ටුයි උසායි 🙂
අම්ම, අය්යව දැකල තිබුනෙ නැද්ද එච්චර දවසක්, අය්ය අම්මගේ පුතෙක් නෙමේද, මට තේරුං ගන්න බැහැ නදී මොනවද කියන්නෙ කියල.
අය්ය කිව්වෙ මම් යාලුවෙලා හිටිය අය්ය,එක්කුසේපන් අය්ය නෙමේ.
අයියල තමා නංගිල නරක් කරන්නෙ. මටත් ඉස්සර හිටිය ඔහොම නෑදෑ වෙන නංගිල ගොඩාක්. ඒ ගොල්ලො ඈතට ඈතට ගියා.
ඒක මිසක්, දැන්නේ තේරුනේ
මරු වන්නම..
ඇයි සමහර රටවල මිනිස්සු පනුවො පොල්ගෙඩිය ඇතුලට දාල එකෙ ඇතුලේ පනුවා පොල් එහෙම කාල බෝල ගෙඩි වගේ හැදුනම කන්න ගන්නවලු..මොන රහද දන්නේ නෑ. සමහරවිට පොල් රහ ඇති.
රහ ඇති. දැන් බලන්න කූනිස්සො . උනුත් පනුවො වගේනෙ. කොච්චර රහද කූනිස්සො මැල්ලුම . කාල තියෙනවද කූනිස්සො මැල්ලුම රොටිත් එක්ක.
ගිම්හානි . . .සමහර රටවල නෙමේ ලංකාවෙත් තිබිල තියනව ඔය පනු මීල් එක. ඕකට ගන්නෙ කඳං පනුවා (කෙසෙල් ගස්වල බහුලවම ඉන්න ඔලුව කලු කඳ සුදු පාට පනුවා).
වන්නමත් ලස්සනයි. ඕකට නටන එක තමා ප්‍රශ්නේ…:)
ඕකට නටන්න ඕන ” උදැල්ලට කැපුණු පනුවො ” වගෙ.
ඒ පාර අහිංසක පනුවෙක් අල්ලාගන නේද? මදෑ සිංහයාගේ ඉඳන් බැහැලා තියන බැහිල්ල.
හිනාවෙලා පන යනවා අප්පා…ලස්සන පෝස්ට් එක. හරිම රසවත්….කොච්චර හිනාගියාද කීවොත් අනෙක් අයට ඇහෙයි කියලා කටවහගන පනුවෙක් වගේ ඇඹරෙන්ටත් සිද්ධ උනා…හී හී …. 🙂