නයා.


මා කුඩා කල , බිම දිගේ ඇදෙන හැම සර්පයාටම කිව්වේ නයා කියලාය. පනුවාද මට නයෙක්ම විය.
නයා සිංහළ අන්තවාදියෙකැයි මා මුලින් සිතුවෙ උගේ පෙණ ගොබයේ ඇති ” ප ” යන්න නිසාය. එහෙත් පසුව ඌට දෙමළ බසින් ” පාඹු ” කියන වග දැන ගත් පසු නයා සිංහළ දෙමළ මිශ්‍ර සම්භවයක් ඇත්තෙකැයි සිතා ගත්තෙමි.
නයා පෙණ ගොබය පුම්බන විට ලස්සනය. හැකිළී යන විට කැතය. ගැරඬියෙක් වගේය.

“බෝ කොළ අන්දම් පෙණය නගායේ
නා කොළ අන්දම් පෙණ හකුලා යේ ”
කියා නයා ගැන කියැවෙන නයියඩි වන්නමේ එයි.

පෙණ ගොබය බෝ කොළයක් මෙන් දිස් වෙතත් නයියඩි වන්නමේ බුලත් කොළය ගැන සඳහනක් නැත. ඒත් නාග වල්ලී දළු පේතං කියා බුදුන්ට පිදෙන්නේ බුලත්ය. බුලත් නාග ලොවින් ආ පැලෑටියක් යයි ගැමි මතයකි. එහි තවමත් නාග විෂ ඇති බැවින් කෑමට පෙර බුලත් කොළයේ දෙකොන නිය පොත්තෙන් කඩා ඉවත් කරයි.

නාග ලෝකය ඇත්තේ පොළව යටය. නාග කන්‍යාවියන් ඉතා ලක්ෂණය. උන් පොළව මතු පිටට විත් මිනිස් ස්වරූපයක් ගනී. මා කුඩා කළ නරඹා ඇති ” නාග චම්පා ” චිත්‍රපටයද එවන් කතාවක් රැගත්තකි. මෑත කාලයේ ජනප්‍රියවූ නාගීනා චිත්‍රපටයේද මිනිස් ලොවට පැමිණි නාග කන්‍යාවක් මනුෂ්‍ය පුත්‍රයෙක් හා පෙමින් වෙළෙන කතාවක් කියැවේ.

මම ඉගෙන ගන්නා කාලයේ පේරාදෙණියට කිට්ටු සුදුහුම්පොළ නිවසක බෝඩිම් වී සිටියෙමි. මගේ මිතුරා තෙන්නකෝන්ද මා සමඟ විය. බෝඩිමේ ඇන්ටිට , ඉතියෝපියාවේ හැර ලොව හැම රටකම නෑයින් හා මිතුරන් ඇත.

” පුතාලට කියන්ට… අපෙ ලොකු දූගෙ වෙඩින් එකට කේක් පෙට්ටි හැදුවෙ සිංගප්පුරුවේ.. කේක් එක හැදිවෙ හොංකොංවල. ලොකු දුවයි බෑණයි හනි මූන් ගියේ හවායි වලට . මගෙ කසින් කෙනෙකුගෙ හොලිඩේ බංග්ලෝ එකක් තියෙනවා එහෙ.”
එය අසා තෙන්නකෝන්.. ” මචං ඒක නං මුචලින්ද සයිස් නයෙක් ” යැයි කීවේය.
මෙලෙස නයි ඇරීම බඩු මිළ යාමට බලපාන ප්‍රදර්ශන ප්‍රතිවිපාකයේම කොටසකි. අල්ලපු ගෙදර එක්කෙනා නයි අරින විට , තමන්ටද එවැන්නක් ඇත්නම් යයි සිතා කෙසේ හෝ එය මිළට ගනී.

බුදුන් බුදුවී සති හයක් විවේක සුවයෙන් තැන් තැන් වල ගත කළහ. සයවන සතියේදී මහ වැස්සක් ඇති විය. මුචලින්ද නම් දැවැන්ත නාග රාජයෙක් උගේ දරණයෙන් බුදුන් වෙලාගෙන පෙණ ගොබය පුම්බා බුදු සිරසට උඩින් වහලක් මෙන් අල්ලා ගෙන උන් වහන්සේ වැස්සෙන් ආරක්ෂා කළේය.
නයාගේ පෙණයට ඉංග්‍රීසියෙන් යෙදෙන ” හූඩ් ” යන වචනය වහලක් වැනි ආවරනයකටද යොදා ගනී.මෙච්චර විශාල නයි ලෝකේ නැතිව ඇති කියා මිත්‍යා දෘෂ්ටිකයන් කිව්වත් , මිනිසෙක් සම්පූර්ණයෙන් වෙලා ගත හැකි ඇනකොන්ඩා වැනි සර්පයන් ලොව ඇත.

වහල දිගේ ගැරඬියෙක් එනු දකින අම්මා දිග රිටක රෙදි කෑල්ලක් දවටා එය බූමි තෙලෙන් පොඟවා ගැරඬියාගේ ගෑ විට ඌ පණ කඩා ගෙන ඩුවයි. ඒත් නයෙක් දුටු විට ” ඒයි.. නයි හාමි.. යන්නයි කිව්වෙ. මෙහෙ පොඩි ළමයි ඉන්නවා” කියයි. නයාට කන් නැතත් කිසි කරදරයක් නොකර ඇහුනා වගේ ඉවත්ව යයි.
ගැරඬියා දුබලයෙකි. ” අපි ගැරඬි මරල පවු පුරව ගන්නෙ නෑ” දුබලයෙකුට අත උස්සන එකේ තේරුමක් නැත. මරතොත් නයෙක්මය. නයා මාරාන්තික විෂ සහිතය. ” විෂ ඝෝර සරපයා- අත නෑරු මෝඩයා” නයාට යන්තම් තට්ටු කර පොල්ල වරද්දා ගන්නේ නැතිව මරා දැමිය යුතුය. නැත්නම් ඌ වෛර බඳී.
බෞද්ධ සාහිත්‍යයේ හා ජනකතා වල නයාට ඇත්තේ ඉහළ තැනකි. ලංකාවේ පමණක් නොව ග්‍රීක් , මිසර කතන්දර වලද නයාට වැදගත් තැනක් හිමිවේ. ශිව , විෂ්නු, කාලි , ඊශ්වර දෙවි දේවතාවියන් බෙල්ලේ නයෙක් ඔතාගෙන සිටී.

බෙල්ලා සතුව වටිනා මුතුද , මුවාගේ කස්තුරිද , ඇතාගේ ගජ මුතුද , තල්මසාගේ ඇම්බර ද මෙන් නයා ගේ මැණිකක් ඇත. ( එය දුටු කෙනෙක් නැත ) නයා ගොදුරක් ගිලීමට පෙර එය වමාරා පසෙක තබයි.
” මැණිකක් රකිනා නා රජිඳෙකු සේ ” මම මගේ බිරිඳට ? ආදරය කරමි. ඇය රකිමි.
නයා ගැන කතා කරනවා නම් කීමට දේ බොහෝය. අනන්ත නම් නාගයාට මෙන් කටවල් දාහක් තිබුනා නම්…
ඉඳ හිට රට බඩු … රට සල්ලි.. රට බීම දෙන නිසා නයාට අඳු කොළ මෙන් සිටි මගේ ඉරිසියාකාර නෑයෝ දැන් දැන් මා වටා රොක්වේ. මෙය මගේ නයි ඇරිල්ලක් නොව ඇත්තකි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

17 Responses to නයා.

  1. D.G.M බස්සා පවසයි:

    යේක නයියට පෝස්ට්, යපිලට තමා සුම්මා:))

  2. හරි, එහෙමත් කියනවා තමා. “යපිලට විතරයි ‘පුෂ්'”. ඔන්න ඔහේ ඔය බෂ්ෂෙක් ගැනත් ලියලම දාන්ට, ලොක්කා. අර මැණිකෙ කියන්නෙ එයා සුදුයි කියලා:))

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )