පිවිතුරුය පළමු පෙම.


සිරිදාස ඉරිදා පුවත් පත අතට ගත්තේ කියවන්නම නෙවෙයි. වෙන කරන්න දෙයක් නැති කමට.
එයා මංගල යෝජනා පිටුවට ඇස් යොමු කළා. මනාලයින්ට වඩා මනාලයන්ට ඉල්ලුම වැඩියි. ලංකාවෙ පිරිමි අඩුද ඇත්තට අම්මපා !
වයස අවුරුදු 55 යි. විශ්‍රාමික මහතෙකු 25 ත් 30 ත් අතර රූබර යුවතියකට ඇරයුම් කරයි. මුන්ට අමු කැවිලද මන්ද.. නාකියොත් ඉල්ලන්නෙ ලමිස්සියෝ.

සිරිදාසගෙ නංගීට දැන් 45යි. මෙයාට දැන් නම් ඉතින් මනමාලයෝ හොයනවා බොරු.
මිදුල හැම තැනම අපිළිවෙළකට උඳුපියලිය හැදී තිබුනා. ඒව ගානකට කපල ලස්සන කරන්න කාටවත් ඕන වුනේ නැහැ. ඇරත් කාට බලන්නද ?
ඒ මදිවට හැම තැනම වාගෙ තෙල් කූඹි. රේල් පාරට මූන දාල පරණ තාලෙට හදා තිබූ ඒ ගෙදර බිත්ති පුපුරා යමින් තිබුනා. තැනින් තැන කපරාරුව ගැලවිලා.

තමන්ට පිටු පාල මිදුල අතුගාන තමන්ගේ නංගී, රංජනී දිහා සිරිදාස මොහොතක් බලා හිටියා. නංගී එච්චරම අවලස්සන එකියක්ද ? ඔයිට වඩා අජූව ගෑනු කසාද බැඳල කොච්චර අපූරුවට ඉන්නවද ? නංගී නිසා සිරිදාසට කසාදයක් කර ගන්නත් බැරි වුනා.

ඒ දවස් වල සිරිදාස වැඩ කළේ නුවර කච්චේරියේ. ලිපිකරුවෙක් හැටියට.
ෆිනැන්ස් එකේ ජයපාල , සිරිදාසට මස්සිනා කියන්න පටන් ගත්තේ එයාට බඳින වයසේ නංගී කෙනෙක් ඉන්නව කියල කාගෙන්දෝ දැනගෙන.
ජයපාල රස්සාවට වඩා කළේ සල්ලි පොලියට දෙන එක. ඌ බුලත් හපය උනාට හිත හොඳ එකා.
සිරිදාස දවසක් ජයපාලට ලන්ච් එකකට ආරාධනා කළා.
ඒ අම්මත් ජීවත් වෙල ඉන්න කාලෙ. හැබැයි එදාට පස්සෙ ඉඳල ජයපාල , සිරිදාසට මස්සිනා කියන එක නතර උනා.

නන්දනී කියන්නෙ සිරිදාසට අල්ලපු මේසෙ වැඩකළ අලුත් ලිපි කාරිනිය. එයා අල්ලපු ගමේ. දේශපාලන පත්වීමක්. විෂයට අදාල හැම දෙයක්ම වාගෙ එයා සිරිදාසගෙන් තමයි අහ ගත්තෙ.
නන්දනී හැමදාම වගෙ ඇන්දෙ එකම විදියට. බෝරිච්චි අත් දාපු හැට්ටෙයි, ඔසරියයි. වැඩිපුරම ඇන්දෙ ලා පාට. සිරිදාසගෙ හිත නන්දනී වෙත ඇදිල ගියෙ හරිම වේගෙන්.
දවසක් කැන්ටිමේදී සිරිදාස කෙලින්ම නන්දනීගෙන් ඇහුවා,

” ඔයාට කවුරු හරි ඉන්නවද?” එයාගෙ මූන රතු වෙලා ගියා.
” මම එහෙනම් ඔයා ගැන බලාපොරොත්තුවක් තියාගන්නද?”
” මම දන්නෑ”
එදා ඉඳල කෑවෙ බිව්වෙ, ආවෙ ගියේ දෙන්නම එකට.” ඔෆීස් එකේ ඉන්න අහිංසකම ජෝඩුව” හැමෝම කිව්ව.
ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියනවනෙ. මේ සම්බන්ධය සිරිදාසගෙ අම්මගෙ කනට වැටෙන්න එච්චර දවසක් ගියේ නැහැ.
“උඹ මගුලක් ජෝඩු කර ගත්තද ? මේ නංගිත් තාම ගෙදර ඉන්දැද්දි?”
“උන් එහා ගමේ… අපිට හරියනවද උන් ?”
දින , සති , මාස ගත උනා. නංගිත් ගෙදරටම නාකි උනා. ඒ හින්දම සිරිදාසත් ගෙදරටම නාකි උනා.
” සිරි… අපිට කවදාවත්ම එකතු වෙන්න බැරි වෙයිද?” ඒ නන්දනී…
” නන්දනී . මට ඔයා ගැන දුකයි.. ඔයා ගෙදරින් ගේන යෝජනාවකට කැමති වෙන්න”
” නෑ. අපි හැමදාම මෙහෙම ඉමු”
*********************************************************************************************
කඩුල්ල හරහට දාල තියෙන උණ බටය බිම වැටෙන සද්දෙට සිරිදාස පාර දිහා බැලුව.
——- නන්දනී——-
” හෙට පැන්ෂන් එක ගන්න කීයටද යන්නෙ?”
හැම මාසෙම පැන්ෂන් පඩිය ගන්න දෙන්නම යන්නෙ එකට. පඩියත් අරන්.. ඉස්සර වගේ කැන්ටිමට ගිහින් වඩේ කාල , ප්ලේන්ටි බීල.. දෙන්නම පොලෙත් ගිහින් ගෙදර එනව.
සිරිදාස කඩුල්ලෙන් පැනල ගෙදර එනව. නන්දනී සිරිදාසලගෙ ගේ පහු කරගෙන එයාලගෙ ගෙදර යනව.

(බ්ලොග් දෙකක් නඩත්තු කිරීම අසීරු බැවින් මගේ අනෙක් බ්ලොගය වන “සැබෑ මිනිසා” ට ලියන ලද , මට හොඳයි කියල හිතෙන කතා මේ පැත්තට මාරු කර සැබෑ මිනිසා වසා දැමීමට අදහස් කළා.)

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

20 Responses to පිවිතුරුය පළමු පෙම.

  1. hm පවසයි:

    “මනාලයින්ට වඩා මනාලයන්ට ඉල්ලුම වැඩියි” dekama ekaine

  2. Nihal Gurusinghe පවසයි:

    හැමදාම මගේ කතා කියවල කමෙන්ට් කරන නදී. ඔබා , ඕනයා.. ඇතුළු අනෙක් හැමෝම දුර බැහැර ඉන්න නෑදෑයො බවට පත් වෙලා.

  3. //බ්ලොග් දෙකක් නඩත්තු කිරීම අසීරු බැවින් මගේ අනෙක් බ්ලොගය වන “සැබෑ මිනිසා” ට ලියන ලද , මට හොඳයි කියල හිතෙන කතා මේ පැත්තට මාරු කර සැබෑ මිනිසා වසා දැමීමට අදහස් කළා//

    කියන තැනකට වඳිඤ්ඤා. කප්පාදු කරන්න නං එපෝ, ඔක්කොම ටික ගේන්න. කැපුවා, ඇලෙව්වා, එච්චරයි නෙව. පොඩි කාලෙ ඉඳන් අමාරුවෙන් ‍රැකගෙන තියන “ශ්‍රි නාමයට” හානියක් වෙනවා වගේ ප්‍රශ්ණයක් නම්, කාරියක් නෑ.

  4. කලින් කියවලා තිබ්බත් ආයෙත් රසවිඳින්න ඒකෙන් බාධාවක් නෑ. හරිම ලස්සනයි, ඒ වගේම දුක්බරයි. සදාකාලික ප්‍රේමයක්. ඒත් මේ වගේ අය සැබෑ ලෝකෙ නැතුව ඇති. ආදරය කියන්නෙ මහ ආත්මාර්ථකාමී දෙයක් කියලා කව්ද කියලා තිබුනා මතකයි.

    හැමදෙයක්ම සල්ලිවලට විකිනෙන ලෝකෙ, මනුස්ස කමටත් මිලක් තියනවා කියලයි, මට නම් හිතෙන්නෙ.

  5. Gimhani පවසයි:

    නන්දනීයි සිරිදාසයි අපිට වඩා වාසනාවන්තයි කියල මට හිතෙන්නේ.. ඒ දෙන්න තාමත් පලමු පෙම බුක්තිවිදිනවා.
    මියයනකම්ම ..
    ඒත් අපි….ඒව මතක් කර කර සුසුම්ලනවා…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )