එක ගෙයි කෑම.


කොතරම් අත මිට සරු උණත් , නිතරම අඩු පාඩු , අග හිඟකම් ගැන කතා කිරීම ගම් වල ගැහැණුන්ගේ පුරුද්දකි. ” කොහෙ තියෙන සල්ලියක්ද ?”…” අනේ අපිට පුළුවන්ද ඕව කරන්ට ?” ඔවුහු නිතරෝම නැතිවාදමම කියවත්.

වංගුවේ ගෙදර කුසුමලතා නැන්දාද එවැන්නියකි. අපේ අම්මා සමඟ ගමේ ගෑණුන්ගේ ඕපාදූප හුවමාරු කර ගැනීමට නිතර ඈ අපේ ගෙදර ආවා ගියාය.

” අනේ කුසුමේ.. උඹට නම් මොනවයින් අඩුවක්ද.. දෙන්නෙක්ම හම්බ කරන කොට?”
අම්මා කිවූ දේ මට පැහැදිලි උනේ සෑහෙන කලක් ගිය පසුය.

සෙනෙවිරත්න බංඩා සහ ගුණරත්න බංඩා අයිය මලෝ දෙන්නා රජයේ සේවකයන් විය. වැඩුමල් සෙනෙවිරත්න බංඩා පාසැල් ගුරුවරයෙකු වූ අතර මලයා ලිපිකරුවෙකු වීය.
දෙදෙනාගේම වියදමෙන් මහ ගෙදරට යාව ඇමරිකන් පැටන් එකට හැදූ ගෙදරට පදිංචියට ගිය පසු මගුල් කපුවෙක් නිතර යන්ට එන්ට විය.

එසේ පැමිණි දිනක කපුවා අම්මා සමඟ රහස් කතා කරනු මලයා බලා සිටියේය.
” එහෙනං වැඩේ තීන්දුයිනෙ?” අම්ම කියනුද මලයා අසා සිටියේය.
” අයියට අපි මගුලක් කතා කළා. යමක් කමක් තියෙන උදවිය. හොඳ ලස්සන කෙල්ල. මං වතාවක් දෙකක් දැකලත් තියෙනව..”
මලයා මඳක් නිහඬව සිට , කට ඇරියා.
” අම්මා , මං කවද්ද කසාද බඳින්නෙ ?”
” ඒ දැරිවි ගේන්නේ උඹල දෙන්නටම තමා”
” එහෙම හොඳයැ ?”
“හොඳ නැතුව මොකද .. ඕව පරණ චාරිත්තර”

ගුණරත්න බංඩලාගෙ ,සෙනෙවිරත්න බංඩලාගෙ ගෙදර එහෙම කතා වෙද්දී . කුසුමලතාගෙ ගෙදර මෙහෙම කතා වෙන්න ඇති..
කුසුමලතාගෙ යෙහෙළියෝ..” ආව්.. ආව්.. කකුල් දෙකටම කළිසම් අඳින ඉස්කෝල මහත්තයෙක්ලු නේද ?”
තව එකියක්.. ” ඒයි උඹල දන්නවද ?… හැඩකාර ,මල්ලි කෙනෙකුත් ඉන්නවලු මනමාලයට”
” එහෙම තමා බං.. පිං කරල ඉපදුනාම.. අපිට එකෙක්වත් නෑ.. සමහරුන්ට දෙන්න ගානෙ”
කුසුමලතා… පවු කතා කියන්න එපා බං.. ඕව මහ අශීලාචාර වැඩ”

කාලය ගෙවෙද්දී… සෙනෙවිරත්න බංඩා හත්දා මඟුලක් කාල කුසුමලතා ගෙදරට කැන්දන් ආව.

පසුදාක.. අයියා මලයට මෙහෙම කියනවා..
” මං යනව වෙළ පහළට.. ආං උඹට අක්ක කතා කරනව ටිකකට.. මැෂින් එකේ ඉදිකටුව දාගන්ටද කොහෙද ”
ඒවයේ හැටි ඔහොමයි..

කුසුමලතා ගැබ්බර උනා.
” බබා අයිය වගේ වෙයිද.. මං වගේ වෙයිද ?” දවසක් මලය ඇහුව.
“අයියයි , මල්ලියි දෙන්නම එක වගේ වෙච්චි කොට කොහොමද එහෙම කියන්නේ?” ඒත් මට නං හිතෙන්නෙ ඔයා වගේ හිටී කියල”
” ඒ කොහොමද ?”
” අයියට වැඩිය මල්ලිගෙ දාංගලේ වැඩි හින්ද”

ඒ නිධාන කතාව….

“සච්චා ජූතා” ලස්සන හින්දි චිත්‍රපටයක්. ඒකෙ ” දිල්කෝ දේකෝ” ගීතයට මං ආසයි. මට ඇහිච්ච හැටියට වචන වරද්ද වරද්ද හරි තාලෙට ඒක ගයන්න මට පුළුවන්.
මං ඉස්කෝලෙ ඇරිල කොල්ලො රංචුවත් එක්ක එනව. මං ආස කරන සිංදුව මගේ කටින් පිටවුනා..
” දිල්කෝ දේකෝ…”

” උඹෙ අම්මට.. කාටද යකෝ හින්ට් ගහන්නෙ ?”

ඒ කුසුමලතා නැන්දගෙ පුතා නිමල් පද්මසිරි.
ගමේ මිනිස්සු , අප්පලා පුතාල නැති තැන උන්ට කියනෙ ” දෙකෝ ” කියල. දෙකෝලගෙ ගෙදර කියල උන්ගෙ ගෙදරට කිව්වෙ. සමහරු ” ඩබෝල්” කියලත් කිව්ව. පද්මසිරිය හිතුවෙ මම ඌට දෙකෝ කිව්ව කියල. මටත් තද උනා. උගෙ සුදු කමිසෙ X අකුර හිටින්ට තීන්ත පෑන ඉවර වෙන තුරුම තීන්ත විද්දා. ඌත් නිකම් හිටියෙ නෑ.
මගෙ කමිසෙයි.. මූණයි පිරෙන්ට තීන්ත ප්‍රහාර එල්ල කළා.

” මේ මොකද ?” තීන්ත නාගෙන පස්ස දොරෙන් ඇතුළු වෙන කොටම අම්මට අහු උනා.
” අර දෙකෝගෙ කොල්ල තීන්ත ගැහුව”
” කවුරු?”.. උඹට තීන්ත නෙවේ ගහන්න තියෙන්නෙ. ආදෙන්කො තාත්ත..

කවදත් නිවිච්ච හඬින් කතා කරන තාත්තා. මට අවවාද කලා.” ගමේ මිනිස්සු ඕන එකක් කියපුදෙන්.. අපි දැනුම් තේරුම් තියෙන් අය.. අනෙක් අයට අපහාස කරන්න හොඳ නෑ”
තාත්තා කියන්නේ මේ ” එක ගෙයි කෑම ” 14 වන සියවසේ පටන් ලංකාවේ උතුරු මැද හා කඳුකරයේ සමහර පළාත්වල තිබුණු චාරිත්තරයක් බවයි. ඉඩ කඩම් දේපළ යහමින් තියෙන අය ඒවා බෙදි බෙදී යාම අඩු කිරීමට මේ අසම්මත චාරිත්තරය රැක ගෙන ආ බව තාත්තා කිව්වා.

” ඉතින් තාත්තටත් ඉන්නවනෙ බාල සහෝදරයො තුන් දෙනෙක්.. පුංචි අම්මල තුන් දෙනෙක් ගෙනාවෙ ඇයි?”

” නොදකින් විතරක්.. තාත්තල පුතාල කතා වෙන ඒව” අම්ම ගස්ස ගෙන ගෙට ගියා.
අපිට ඒ හැටි දේපළක් නෑ. අනික සිරිත් – විරිත් කියල දෙකක් තියෙන්නෙ ඒකයි. “විරිත්” කියන්නෙ අත් හළ යුතු ඒවටයි. තාත්ත සුපුරුදු සන්සුන් හඬින් කිව්ව.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

30 Responses to එක ගෙයි කෑම.

  1. හීනියට පවසයි:

    නිහාල් අයියෙ, “බ්‍රෙන්ඩට” මක්කැයි බොල උනේ ඉන් පස්සේ….කෝ 20 වසරේ ඉතිරි ටික….

    • Nihal Gurusinghe පවසයි:

      ලංකාවෙ වගේ පැල් බැඳ ගෙන යාළුවො ආශ්‍රය කරන්න මෙහේ බෑ. විවිධ හේතු නිසා.. .. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු , රැකියා වෙනස් වීම නිසා අපේ කට්ටිය සමහරු නොකියාම වෙනත් ප්‍රාන්ත වලට යනව. සමහරු වෙනත් රටවලට යනව. ආයෙම අළුත් යාළුවො එකතු වෙනව. බ්‍රෙන්ඩ ගියා කැනඩාවට එයාගෙ නැන්ද ළඟට. ඊට පස්සෙ ගොඩක් දෙවල් වුනා. සිවා ලක්ෂ්මීත් වෙනත් පළාතකට පදිංචියට ගියා. අපි ටික කාලයක් නිවාඩාවල ඉඳල එහේ හරි රශ්නෙ ඒ නිසා කැලිෆෝනියාවට ආව. ටික කාලයක් සිවාලත් එක්ක .සම්බන්ධකම් තිබුනා. දැන් නම් එයාල කොහේ ඉන්නවද දන්නෙ නැහැ. මටත් වැඩ වැඩි.. හොයල බලන්න ඕන වෙලාවක. ජීවිතේ හැටි ඔහොම තමා. ඇමරිකාවෙ විසි වසරක් දිගටම ලියන්න කම්මැලි හිතුනා. ඒකයි නැවැත්තුවෙ.

  2. Charmi පවසයි:

    එක හැල්මට කියවාගෙන යන්න පුළුවන් විදිහට ලියලා තියෙනවා. අපූරුයි මිත්‍රයා‍

  3. නවම් පවසයි:

    “”ආං උඹට අක්ක කතා කරනව ටිකකට.. මැෂින් එකේ ඉදිකටුව දාගන්ටද කොහෙද “”
    හැමදාම වගේ ලොකු කතාවක් හරිම සුන්දර විදියට ලියල තියනව.

  4. buddie-බුඩී පවසයි:

    එක එක කාලෙට එක එක දේවල් වගේ මේකත් ඉතින් ඒ වගේ. එකගෙයි කෑම
    මොනා වුනත් මේ ගැන මීට වඩා පර්යේෂන වෙන්න ඕනේ. පේන පැත්තම බලන්නේ නැතිව

  5. හීනියට පවසයි:

    මම හිතන්නේ ඕකේ අනිත් පැත්ත තිබ්බෙ බේරුන්ඩ් පක්ෂියා චිත්තර පටියෙ….

  6. Sarath lankapriya පවසයි:

    අන්න මං කිවුව එක .. බොහොම ලස්සනයි කතාව නම්.. අරුණි අහල තිබ්බ මම කියවල තියෙනවද කියල ගැහැනියක් ලියපු එකක් එකගෙයි කෑම ගැන. අනේ කියවන්න ඇත්නම් කොච්චර හොඳද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )