ගීයක් අහමු.


පාසැල් සමයේ හත අට පංති වල සිටියදී මා හට අපූරු විනෝදාංශයක් වීය.
ඒ ඉරිදා පුවත් පත් වල පල වන මංගල යෝජනා කියවීමය. ඒවායේ ඇති දෑ
සිනාවට භාජනය නොවිය යුතු වුවත් සිනා උපද්දන සුළුය.

ඉරිදා පුවත් පත් වල වූ මංගල යෝජනා මනාලයන්ට වඩා
මනාලියන් සඳහා වූ ඒවා විය.

වියපත් මහල්ලන්ද ඉල්ලා තිබුනේ අවුරුදු 18- 25 ත් අතර
රූමත් තරුණියන්ය.
අතරින් පතර වැන්දඹු .. වරදට සමාව දෙන වර්ගයේ ඒවාද විය.
බොහොමයක ව්‍යාකරණ ගැලපීමක් තිබුණේම නැත.
මුද්‍රණ දෝෂයක් නිසා එකක තිබුණේ , ” පහත රට රජක කුල ” යන්නට
” පහත රට රජ කකුල” කියාය.
ඔබ මෙවන් ඇරයුම්ද ඕනෑ තරම් දැක ඇතැයි මම සිතමි.

” ගොඩ මඩ ඉඩ කඩම් , නව නිවසක් , ගෘහ භාණ්ඩ , රන් අභරණ දායාද හිමි
පවුලේ එකම දියණියට සුදුසු සහකරුවෙකු , විශ්‍රාම ලත් දෙමාපියන් සොයයි.
නැවතීමට කැමති විය යුතුය.”

ලංකාවේ විවාහ ක්‍රම දෙකකි.
දීග විවාහ
බින්න විවාහ.

දීග විවාහ ක්‍රමයේදී සිදු වන්නේ , මනාලයා විසින් මනාලිය කැන්දා ගෙන
ඔහුගේ ගමට ගෙන යාමය.
බින්න විවාහ ක්‍රමයේදී සිදුවන්නේ මනාලයා , මනාලියගේ නිවසේ නැවතීමය හෙවත් බින්න බැසීමය.

මෙය ඉතා පැරණි සිරිතක් වන අතර මෙයට හේතු කීපයකි.

පවුලේ එකම ගෑණු දරුවා දුර බැහැරට යැවීමට දෙමාපියන් තුල ඇති අකමැත්ත.

වියපත් වූ කළ තමන් බලා ගැනීමට කෙනෙක් සිටිය යුතු වීම.

පවුලේ පිරිමින් නැති කම නිසා දේපළ බලා ගැනීමට පිරිමියෙකු අවශ්‍ය වීම.

හැබැයි බින්න බැහැපු එකා ” හුළු අත්තයි , තල් අත්තයි ” සූදානමෙන් තබා ගෙන සිටිය යුතුය. තමන් ජීවත්වන නිවසට හෝ දේපළට කිසි අයිතියක් බින්න බැහැපු අයට
නොලැබෙන නිසා ” පල ” කිවූ විට මහ වැස්සේ හෝ ගන අඳුරේ හෝ එළියට බැසීමට
සූදනම් සැරීරෙන් සිටිය යුතුය.

මෙම ගීතයේ මද්දුමයා.. ඔහුට වඩා වැඩුමල් අක්කා කෙනෙක් සහ බාල සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙයි . කිසියම් හේතුවක් නිසා විවාහ වී මනාලියගේ නිවසේ බින්න බහී.
එකම පිරිමියා පවුලෙන් ඈත් වීම නිසා ” හඳ පායන්නෑ අපට මළේ කියා ” අක්කා විස්සෝප වේ.

එකම පිරිමියා නැතිව ඔවුන්ට කොහෙවත් යා නොහැක. ” යානා ඒනා මං වරදින්නා”
මහළු දෙමාපියන්ට බේතක් හේතක් කර ගැනීමට සිදාදියට යා නොහැක.

කෙනෙක් කැන්දා ගෙන ඒමට . උඹ විසින්ම හැදූ ගෙදර ඉඩ මදිදැයි..
‘උඹ හැදු උළු වහු මදිද පැලේ ” අක්කා අසයි.

පිටිසර ගැමියන් දින ගණන් ගනින්නේ කැලැන්ඩරයෙන් නොව ” හඳෙන් ” ය. “ඕක සිද්ද උනේ හඳ නියපොත්තක් වගේ” තියෙන දවස් වල ගැමියන් කියයි.
අසවල් දේ සිදුවී පෝය දෙකකුත් උනා යැයිද ඔවුන් කියයි.

” ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා
බිනර මහට කළුවර වී තව පෝයක් ගෙවෙනවා” යැයි තවත් ගීයක එයි.

තම පුත්‍රයා අද ඒදෝ.. හෙට ඒදෝ කියා.. ” අම්මා අප්පා පෝය ගනින්නේ” සමහර විට පිනක් දහමක් කර ගැනීමට .. සිල් ගැනීමට අක්කා ගෙදර තනිකර දමා යෑමට නොහැකි නිසා දෝ විය හැකිය.

විවාහ වීමෙන් පසුව ඇඹලයන් වී ගෑනිගෙ පැත්ත ගෙන තම නිවහන, දෙමාපියන් ,සොයුරන් අමතක කරන පිරිමි අපේ පවුලේද වූය.
” අත අහවරදා” විවේකයක් ලද විටදී වත් අප මතක් නොවන්නේ ” බින්නෙ” බිඳේදෝ
යන බියෙනි. දීගයට වඩා පරිස්සමින් බින්නය ආරක්ෂා කර ගත යුතුය. නැත්නම්
“හුළු අත්තයි – තල් අත්තයි” ?

මා අගයන ගායිකාවක් වන දීපිකා ප්‍රියදර්ශණී ගයන මේ ගීයට යොදා ඇති සංගීත රටාද ශෝචනීය ගතියක් දනවයි.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

22 Responses to ගීයක් අහමු.

  1. Alchemiya පවසයි:

    මරු ලිපිය….
    තවත් මේ වගේ තේරුම් ලියන්න ලැබේවා…
    මගේත් ඉස්සර විනෝදාංශ මංගල යෝජනා කියවිල්ල… සමහර ඒවා රවුම් කරලා තියෙනවා රතු පෑනෙන් අම්මට පේන්න…. අම්මා ඒවා බලලා හිනාවෙලා යනවා… අම්මා දන්නවා මට මගුල් ඕන වෙලා නෙවෙයි, ඒත් ඒවා ගැන උපහාසයෙන් බලන නිසා කියලා….
    මංගල යෝජනා විතරක් නෙවෙයි මරු මරු ලුහුඬු දැන්වීමුත් තියෙනවා… හිනා කාලා බඩ රිදෙන සයිස් එකේ…

    • Nihal Gurusinghe පවසයි:

      ඇයි .. මම දවසක් .. ගෙදර කට්ටියක්ම ඉන්න තැන අම්මගෙන් ඇහුව ” කාන්තාවන්ගේ ඔසප්” කියන්නෙ මොනවද කියල. ලංකාවෙ තරම් ඔය ලෙඩේට දක්ෂ වෙද්දු කොහේවත් නැතුව ඇති. පොල් ගෙඩි අකුරෙන්නෙ ඕව දාන්නෙ. එදා හැමෝම මූනවල් හංග ගෙන හිනා උනා. මට වයස දහයක් විතර ඇති. ( දැන් නම් දන්නව 🙂

  2. Ano පවසයි:

    In addition to “Thal Atta”, “Hulu Atta”, you also need a “Haramitiya” (a walking stick). Because, it you were asked to leave when you have gone old or if you need to cross a deep stream, you gonna need that. Also, it shows that you never know when you would be asked to leave the “wife’s house”. A. P. Gunaratne’s folk story books have nice descriptions of both types of marriages in Sri Lanka.

  3. නදී... පවසයි:

    ස්තුතියි පැහැදිලි කිරීමට.සින්දුව අහලා තිබ්බට තේරුම අදනේ දැනගත්තේ.

  4. ShiraN® පවසයි:

    ඇත්තටම ගොඩක් ස්තුතියි ! මේ වගේ ලිපියක් ලිව්වට
    කොච්චර හොද සිංහල සිංදු තියනවද අපි තේරැම නොදන්න
    මම යෝජනාවක් කරන්න කැමතියි පරණ සිංහල සිංදු වල තේරැම් තියන BLOG එකක් කරන්න කියලා

  5. ඔබ්සර්වර් පවසයි:

    අර්ථයත් එක්කම ගීතය ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් තුති

  6. හීනියට පවසයි:

    අපේ ගැමි පරිසරයෙ හැමදේම ප්‍රායෝගිකයි නේද….

  7. සමීර පවසයි:

    බොහොම ස්තූතියි තේරුම පැහැදිලි කරලා දුන්නාට

  8. Gimhani පවසයි:

    කීපවරක් ගීතය අසා තිබ්බත් නියම තේරුම
    දැනගත්තේ අද තමා.
    අද කාලයේ උනත් එක සහෝදරයෙක් ඉන්න නිවසක
    මේ තත්වය තමා මට හිතෙන්නේ. සහෝදරියන්ට කොපමන
    හයියක්ද සහෝදරයෙක්.
    ස්තූතියි අයියේ

  9. ගුලියා පවසයි:

    අඩේ මටත් තල් ඇත්තයි, හුළු අත්තයි ලෑස්ති කර ගන්න වෙයි වගේ…:(

  10. ranja පවසයි:

    ස්තූතියි නිහාල් අයියද මල්ලිද කියන්න නම් දන්නෙ නෑ. කියන්න වචන නෑ මේකෙ තියන වටිනාකම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )