ඊයේ මහ නරකම දවසක්. මහම මහ නරක දවසක්. මේ බ්ලොග් එකවත් නොතිබෙන්න
කාටද මගේ හිතේ තියෙන දේවල් කියන්නෙ ? කොහොමද මගෙ හිතේ හිර කර ගෙන ඉන්න
දේවල් පිට කරන්නෙ ? උන් දෙන්නම යන්න ගියා… අපිව දාල.. හිත් පිත් නැති සත්තු වාගෙ.
පෙරේදා දෙන්නම එකතු වෙලා අපිට ඩිනර් එකක් දුන්න. ඒක ප්‍රංශ කෑම වේලක්.
යාළුවන් ගෙන් අහගෙන. පාන් … ඩක් ලිවර්.. සැමන්..සැලඩ්.. බීමට ඇපල් සයිඩර්. ඉටි පන්දම්
පත්තු කරල. පසු බිමින් මං ආසම කරන යන්නි ගෙ මියුසික් දාල. දෙන්නගෙ බෙස්ට්
ෆ්‍රෙන්ඩ්ස්ල කියල සුදු පාට කොල්ලො දෙන්නෙකුත් ඇවිල්ල හිටිය. මොනව කරන්නද වැල යන අතට
මැස්ස ගහනව මිසක්.
මට මතක් වෙනව අපේ ලංකාවෙ ගෙදරට ගේ කුරුල්ලො ආ දවස. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව උන් ගේ ඇතුළටම ආව. වයිෆ් කිව්ව අපට හොඳ කාලයක් ලබල කියල . මං විගහට මැටි මුට්ටියක් හිල් කරල ගේ පිටි පස්සෙ බිත්තියෙ එල්ලුවා. ගේ කුරුලු ජෝඩුව ඒකෙ පදිංචි උනා.. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව.
කෙලවරක් නැතුව උන් කීචි බීචි ගෑව.
ටික දවසකින් කුරුල්ලගෙ සද්දෙ විතරයි. කිරිල්ලි ගැබ්බර වෙලා. මම බැලුව ඉනිමගක් තියල.
බිත්තර කීපයක්.
ටික දවසකින් එකම ගාල ගෝට්ටියක්. පැටව් දෙන්නෙක්. කුරුළු තාත්තා කෑම හොයා ගෙන ඇවිත් පැටවුන්ට කැව්ව.
මමත් ගේ පුරාම ඇවිද ඇවිද මගේ පැටවුන්ට කැව්ව පරිප්පුයි බතුයි.. අත වේලෙනකං.
කාලය ගතවුනා. සද්දයක් නෑ.. කුරුල්ලයි කිරිල්ලියි විතරයි. උන් යන්න ගිහින්.. වයිෆ් කිව්ව උන් අළුත් කැදැල්ලක් හොයා ගෙන යන්න ඇති කියල. එදා මට නිකමටවත් හිතුනෙ නෑ අපිටත් මේ වගෙ දෙයක්
වෙයි කියල.
අක්ක උතුරු පැත්තට ගියා හැතැප්ම හයසීයක් විතර. නංගි බටහිර පැත්තට ගියා හැතැප්ම
තුන්සීයක් විතර.. වැඩි දුර ඉගෙන ගන්ට. දෙන්නම එයාපෝට් එකේදි අපිට වැන්ද හිට ගෙනම.
හැමෝම බලා ගෙන.
අපි ආපහු ගෙදර ආව. එයත් වචනයක් වත් කතා කළේ නෑ. අපි දෙන්න විතරයි අන්තිමට.
මට හිතුන මහ හයියෙන් හූ කියල කෑ ගහන්න. බිත්ති වලට ගහන්න. පිඟන් පොළොවෙ ගහන්න.
” අහර පිසන්නිය..
කවන්නිය – පොවන්නිය..
මා ගැන ලත වෙන්නිය..
මා පොඩි දියණිය
ඈත් ගොසින්…!”
එදා සිංහයා මුළු ලාට රටම වනසපු එක කොච්චර සාධාරණද ?
මන් දන්නේ නැහැ මොනවා කියන්නද කියල. මන් හුඟක් Notice කරල තියෙනවා ඇමරිකාවේ හැදෙන ලංකාවේ කොල්ලෝ ගොඩක් පුලුවන් තරම් ගෙදරත් එක්කම ඉන්න බලද්දි කෙල්ලො තමයි කොහොම හරි ලැබෙන පලවෙනි Chance එකින්ම එලියට යන්න Try කරන්නේ. Anyway දෙන්නම එක පාරටම ගියේ ඇයි? නිවුන්නු ද?
නැහැ අක්කයි , නංගියි…. දෙන්නම කරන විෂයයන් ළඟ පාතක නැහැ.
එයාල කියන විදියට.. එයාල හරි.. දැන්මම ජීවිතයට මුහුණ දෙන්න, වෙනම බිල් ගෙවන්න.. උයා ගෙන කන්න පුරුදු වෙන්න ඕනලු.
අම්මල තාත්තලත් එක්ක හැදෙන කොල්ලො කවුරුවත් ගණන් ගන්නෙ නැහැ. අනේ මන්ද ? අපි පුංචි කාලෙ මට මතකයි ,සීයත්, සීයගෙ තාත්තත් අපිත් එක්කමයි හිටියෙ
මන් අහල තියෙනවා කවුරු හරි ප්‍රසිද්ධ විද්්‍යඥයෙක් (චාර්ල්ස් ඩාවින් වගේ මට මතක) කියල තියෙනවා එයාට තිබ්බ ලොකුම ශක්තිය උනේ ගෙදරින් ලැබුනු දැඩි ආදරය කියල. හම්බ වෙන පොඩි වෙලාවකට හරි ගෙදර දුවල එන්න එයා ආස කරාලු. අනික බිල් ගෙවන්න වගකීම් ගන්න කොච්චර කාලයක් තියෙනවද අම්මල තාත්තල එක්ක අපි ඉන්නෙ කොච්චර පොඩි කාලයක්ද? ඒ කාලේ එක්ක බලද්දි.
මෙහෙව් අත්දැකීමක් නැතත් නිහාල් අයියගෙ සටහනයි දූ දරුවො ඈතට පියාඹලා ගියපු තාත්තලගෙයි කමෙන්ට්ස් දකිනකොට සම්පූර්ණව නොවුනත් යාන්තං හිතාගන්න පුළුවන් ඒ වියෝව කොච්චර දරුණුයිද කියල.
එහෙම එකේ මං කොහොමෙයි කියන්නෙ “ජීවිතේ ඔහොම තමයි නිහාල් අයියෙ” කියල.
ප්‍රතිචාර දැක්වූ හැමෝටම ස්තූතියි.
ටික දවසක් යන කොට සේරම හරි යයි.
අපේ යාලුවෙක්ගෙ විවාහ දවසේ,එයාල පිටත් වෙන්න යද්දි,ඒ අප්පච්චි සෑහෙන්න ඇඩුවා,මෙච්චර කල් හදාගන කොහොමද කාටවත් දිලා දාන්නේ කියල.එයා එකම දරුව.
ඒ තමයි ජීවිතේ. කුරුලු පැටව් ලොකු වුනාම ඉගිලිලා යනවා.
මැණික්
පොච්චියේ..මොනවා කොරන්ටද..දැන්නං ඉගෙන ගන්ට කියලා කිව්වහැකි..ඒත් ඉතිං කෙල්ලෝ හැදිල්ල අනුන්ගේ වතුවල මල් හිටෝනවා වගේ කියලා අර කවුදත් කියලා තිබ්බේ…
කමෙන්ට් ටික බලන් යනකොට පේන්නේ මෙහෙ ඉන්න අයට වඩා පිට රට ගිය අයට මේ ප්‍රශ්නෙ තදටම බලපානවා වගේ…
@ඔබා අය්යේ..අනේ බං මේ මාව හදා ගන්කෝ දරුකමට..අයේ ඉතිං ඔය කොහේවත් යන්නේ නැහැ..දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන බ්ලොග් එහෙකුත් ලියාගෙන ගෙදරටම වෙලා ඉඤ්ඤං
මාර වෙලාවක තමයි මේක බැලුවේ. මගේ කෙල්ල මාස හයකට පස්සේ ඇවිත් දවස් එකොළහකට..සිකුරාදා රෑ යනවා. තාම පොඩි එකී වගෙයි.. මල්ලි එක්ක දුවනවා පනිනවා. ගේ ඇතුලේ පාන් සීයක් පත්තු කලා වගේ එළියයි… අම්මි නොයෙකුත් දේ හද හද කවනවා . තව දවස් දෙකයි කියල ගණන් හදනවා අපි.. ආයිත් මාස පහක් බලන් ඉන්නවා . skype එකට ගියාම අල්ලගන්නේ අමාරුවෙන්.. මොනවා කරන්නද කෙල්ල පාඩම් කරන්න එපාය.. සෙනසුරාදා ඉරිදා අපි නිකම් මල මිනිස්සු වගේ ඉඳීවි. මොනවා කරන්නද නිහාල්.. අපේ අම්මල තාත්තල වින්ද වේදනා අපි දැන් විඳිනවා. අපේ දරුවෝ ඊටත් වැඩිය විඳීවි .
හිනා යන එකක් කියන්නම්.. කෙල්ල අහනවා අම්මිගේ ඇඟ උඩ නැගල නිදාගෙන ඉන්න ගමන්. ” අම්මි දැන් මං බරද ?
” පිස්සුද ඔයාට.. ? තාත්තීගේ කකුලක් ඔයාට වැඩිය බරයි !
පස්සේ මං ඇහුව අර මොකක්ද කිවුවේ කියල එතකොට අත කටට යනවා..
“හය්යෝ !! මට නිකම්ම කියවුනා.”. !!
නිහාල්, මේක හැම දෙමව්පියන්ටම පොදු සත්‍යයක්.මන් හිතන්නෙ ඔය දෙන්නට සතුටු වෙන්න පුළුවන් උන් අයාලෙ නොගිය නිසා. අපේ එක්කෙනෙක් විනාඩි දහයකින් පයින් යන්න පුළුවන් දුර උන්ගෙ පැටියත් එක්ක පදිංචි වෙලා ඉන්න එක සතුටට කාරනාවක්. අනිත් එකා ඉන්නෙ පැය දහයක් විතර පියාඹන්න ඕනෙ දුරක. අපිට “ස්කයිප්” සරණං ගච්චාමි තමා ඉතින්.
ඔව් අය්යා හිත හදා ගන්න ඕන. ගොඩාක් පාලු තමා .
අනිත් එක දූවරුන්ට තාත්තලා ආදරේ වැඩි අම්මලාටත් වඩා. තාත්තලත් එක්ක තමා දූලත් වැඩි හුරතල් නේද?
ඒත් නිහාල් අය්යා එයාලා දැන් ගියේ එයාලගේ අධ්‍යාපන කටයුතු වලට. නමුත් මතක තියාගන්න කවදා හරි එයාල විවාහ දිවියට පත්වී ගෙදරින් ඈත් වෙන බව .
රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ..ඔබයි දිවිය අර්තවත් කලේ.
ගියදා පටන්.. කුරුලු කූඩුවෙන් ..සන්තෝසයක් නෑ හිතේ…
ඕවා ඔහොම තමයි නිහාල් අයියේ….
අපේ තාත්තා කියන්නේ දරුවො තුන්දෙනෙක් හැදුවා, බෙහෙතකට හුජ්ජ කරවගන්න එකෙක් ලඟ පාතක නෑ කියලා…. අපි හැමදාම කතා කරනකල් මග බලන් ඉන්නවා. දවසක් හරි ප්‍රමාද වුනොත් අහනවා මොකද කියලා.
ගිය සතියෙ පැටියා ලෙඩ වෙලා හිටිය වෙලාවෙ බලා ගත් අත බලාගෙන කල්පනා කරාලු….
තාත්තලා ඔහෙම තමයි… දුක පිටට පෙන්නන්නෙ නෑනෙ…..
උන් දෙන්න ඈතක ගියේ කොල්ලො එක්ක පැනලා යන්න ගිහින් නෙවෙයිනේ…අනාගතේ සරු සාර කරගන්න නේ…
දැන් ඉතින් දෙන්නා දෙමාල්ලොන්ට වෙනදට වැඩිය ටිකක් ලංවෙලා ඉන්න බැරියෑ….