අවුරුද්දත් කිට්ටු කිට්ටු… සිංහළ අවුරුද්දට දුගී පැල්පතේ හිට මහා මන්දිරය දක්වා හැම නිවසකම තෙල් තාච්චියක් නටනව. ඒ කැවුම් උයන්න. කැවුම් නැත්නම් ඒක අවුරුද්දක් නෙවේ.
කැවුම් ජාති කීයක් තියෙනවද ? හැඳි කැවුම් , කොන්ඩ කැවුම්, මුං කැවුම්..
නා නා ප්රකාර කැවුම්.සමහරු හැඳි කැවුම් වලට අතිරස කියලත්, කොන්ඩ කැවුම් වලට නාරං කැවුම් කියලත් කියනව.සමහරු හැඳි කැවුම මතු පිටට තල ඇට කීපයක් ඉහල රසය තවත් වැඩි කරගන්නව. නටන තෙල් තාච්චියට දියාරු පිටි කැටියක් දමා එයින් කොන්ඩෙ මතු කර ගන්න එක හැමෝටම බැහැ.
අපේ ගමේ කුසුමලතා නැන්ද තමා ඒකට හපනි. අවුරුදු කාලෙට උන්දැට හුස්මක් කටක් ගන්ට වෙලාවක් නෑ.. ගෙවල් කීයකට කියල යන්ටද ? තාච්චියෙ මැද නටන පිටි ගුලියට හැඳි කූර ගහල , ඒක ලතාවකට කරකව කරකව උඩට උස්සනකොට කොන්ඩෙ හැදෙන හැටි බලා ඉන්ට වටින වැඩක්.
අහවල් ගායකයාගෙ කැසට් පටිය උණු කැවුම් වාගෙ විකිණුනා. අහවල් කතුවරයාගෙ අළුත් පොත විකිණුනේ උණු කැවුම් වාගෙ. සමහරු එහෙම කිව්වට මොකද මට නම් තේරෙන්නෙ නෑ ඒකෙ තේරුම. මොකද උණු කැවුම් කන්න බෑ. තෙල් බේරෙනව. කිසි රසක් නෑ.
කැවුම් වඩාත් රස වෙන්නෙ දින තුනක් හතරක් පරණ උනාම. තෙල් එහෙම් බැහැල ගියාම.
අපේ අම්මා සිංහළ අවුරුද්දට කැවුම් හදල මැටි මුට්ටියක අඩුක් කරනව.
කැවුම් වල තෙල් මැටි මුට්ටියට උරා ගන්නව. සමහරදාට වැරදීමකින් මුට්ටි ගොඩේ වෙනත් මුට්ටියකට කැවුමක් දෙකක් වැටිල සතියකට විතර පස්සෙ හම්බ වෙනව.. අන්න කැවුම්.. ඒව මාර රහයි…
පාන් පරන වෙන කොට ඒවායෙ පුස් හැදෙනව. පුස් කියන්නෙ දිලීරයක්. පාන් සුදු පාට නිසා මේ පුස් ඇල්ලුවහම හොඳින් පේනව. ඒත් කැවුම් ටිකක් කලු පාටට හුරු නිසා පුස් පේන්නෑ. මේ පුස් නිසා තමා අර රසේ ඇති වෙන්නෙ.
යුද්ධෙට උපන් සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ හෙවත් ටිකිරි කුමාරයා පරංගින්ට පහර දුන්නෙ කඳවුරු බැඳගෙන. දවස් ගණන් එක දිගට. එහෙම දවස් ගණන් ඉන්න කොට හේවායන්ට කන්න දේකුත් එපායැ. බත් මුල් බැඳගෙන ගිහින් තියාගෙන කන්නත් බෑ.
ඒකයි හේවායෝ යුද්ධෙට යනකොට කැවුම් මල්ලක් අරං ගියේ. කැවුම් තෙල් අධික බර ආහාරයක් වගේම සෑහෙන දින ගාණක් නරක් නොවී තියා ගන්නත් පුළුවන්.
පරංගියාට අහුවුනු සිංහල හේවායන් ළඟ කැවුම් මල්ලක් තියෙනවා දැක්කම උන් කතාවක් හැදුවා ” සිංහළයා මෝඩයා – කැවුම් කන්න යෝධයා ” කියල.
ඒ විතරක්යැ, අපේ හේවායො දැනගෙන හිටිය තුවල වුනාම, තුවාලය මතු පිට කැවුමක් තියල බැන්දාම ඉක්මණට සනීප වෙනව කියලත්. එහෙම වෙන්න හේතුව තමා අර පුස්. පස්සෙ තමා දැන ගත්තෙ මේ පුස් වර්ගය ” පෙනිසිලින් ” නැමති පුස් නැත්නම් දිලීරය කියල.
ඒ වුනාට පොත පතේ තියෙන්නෙ 1928 ස්කොට් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්ලේමින්ග් පෙනිසිලින් හොයා ගත්තෙ කියල. 1943 තමා ඇමරිකන් හමුදාව මුල් වරට ප්රති ජීවකයක් විදියට පෙනිසිලින් භාවිතා කරල තියෙන්නෙ.
..ටිකිරි කුමාරයා හෙවත් දෙවන රාජසිංහ රජකම් කරල තියෙන්නෙ 1634 – 1684 දක්වා කාලයේදී…. ඔය ඇලෙක්සැන්ඩර්ල ඉපදෙන්න හිතලවත් නෑ එතකොට……………….
හැමෝම කයි කැවුම්,
ඒවා හරි නැවුම්,
ලැබුනොත් යන්න ගම රට මනරම්,
කනවා බඩ පැලෙනකම් කැවුම් මා නම්.
මගේ අඩවියට ආවාට ස්තූතියි
මමයි හාමිනෙයි දෙසැම්බර් ලංකාවට ගියාම කඩෙන් අරන් බඩ පැලෙනකම් කැවුම් කෑවා. අම්ම හදපු කැවුම් තරම් රහ නම් නෑ.. ඒවා කන්න පුළුවන් ඉතින් සිහිනෙන් විතරයි.. අපේ අම්මත් කැවුම හදල මැටි මුට්ටි වලට අහුරනවා ගණන් කරලා.. පන්සලට අරිනකම් කන්න තහනම්. හැබැයි අය්යයි මමයි ඔය මුට්ටි වලට රිංගනවා ඊට ඉස්සෙල්ල.. අපේ බුදු හාමුදුරුවෝ අපිට සමාව දෙයි කියල අය්ය කියන්නේ. හදනකොට වට්ටියෙන් ගැනීම තහනම් කොහොමටත්.. ඉතින් අපිට ඉන්න වෙන්නේ දොරෙන් එහා.. හැබැයි දොර අස්සෙන් ඉරට්ටයක් දාල අපි හෙමින් එක එක ගන්න බව අම්ම කවදාවත් දැනගත්තේ නෑ. ! උණු කැවුම් තෙල් රසයි තම එත් රසයි ඉස්සෙල්ලම කනකොට !! අම්ම අග්ගල හදන්න ගත්තම අත් දෙකේම ඇඟිලි සුද්ද කරන්නේ අපි ! හැබැයි කටින් තමයි..
දැං කඩවල නැති දෙයක් නෑ. කොකිසුත් තියෙනව. ඒත් ගෙදර හදනවා තරම් කිසි ගතියක් නෑ.
නාරං කැවුම් කියන්නෙ කොණ්ඩ කැවුම් වලට නෙමේ මගෙ හිතේ, නාරං කැවුම් කියල පැණිපොල් දාල හදාපු අග්ගලා වගේ ජාතියක් ආච්චිලගෙ ගෙදරින් නම් මම කාල තියෙනව.
මට මතකයි ආච්චි කිතුල් පැණි මුට්ටියක දානව කැවුම ලිපෙන් බාපුගමන්. විනාඩි පහක් දහයක් එහෙම්මම පැණි කැවුමට උරාගන්න තියල බෑවම කැවුම හරිම රහයි.
ඊලඟට කැවුම් කාලයක් ගියාම හයි වෙනවනෙ. එතකොට ආයෙම වණ්ඩුවෙ දාල තැම්බුවාම හරි.
මම හිතාන හිටියෙ කැවුම් ජාතියක් කියල.
ඒක ඇත්ත.නාරං කැවුම් කියන්නෙ කොණ්ඩ කැවුම් වලට නෙමේ
කතාව නම් අවුරුදු ඉවර වෙලා සතියකින් දෙකකින් ලැබෙන කැවුමක් වගේ.හුගක් වටිනව.ඒවගේම රසවත්.
පෙනිසිලින් කතාව නම් මමත් උපුටා ගත්තු එකක්….. ලිපියේ ඒ බව සඳහන් කරන්න බැරි උනා.
කතාව නම් කැවුම් වගේම රසයි.
කැවුමෙ පුස් පෙනිසිලින් කියල දන්නෙ අද. ඒකතාවත් හරියට අපේ මිනිස්සු දියවැඩියාවට පාවිච්චිකල කොතලහිබුටු වලට ජපනා පේටන්ට් බලපත්තරෙ ගත්ත වගෙ.